logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය (03)

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව ය. එය සාකච්ඡා නො කරන්නේ නම් කුමක්‌ සාකච්ඡා කරන්න ද? ආගම, සංස්‌කෘතිය, කලාව, විද්‍යාව, දර්ශනය යන දේවල් ජීවිතයේ අරුත සමඟ බැඳී ඇත. කලාව නිතර වෑයම් කරන්නේ ජීවිතයේ පැතිකඩක්‌ පෙන්වා දීමට ය. විද්‍යාව ජීවිතයේ අරුත සොයයි. දර්ශනයේ මූලික විභාගය ඒ ගැන ය. ආගම ඒ ගැන අදහස්‌ පළ කරයි. ජීවිතයේ අරුත අප දන්නවා නම් ආගම, විද්‍යාව, කලාව, දර්ශනය වෙන මගක්‌ ගන්නවාට සැක නැත. ඒවා දැන් ගෙන ඇති මාර්ගයේ යන්නේ ජීවිතයේ අරුත අප නො දන්නා නිසා ය. ජීවිතයේ අරුත අප දැනගත් දාට අප තුළ විශාල වෙනසක්‌ සිදු වන්නට ඉඩ ඇත. අප ගේ මුල් ලිපිවල ජීවිතයේ සහ විශ්වයේ පටන් ගැන්ම පිළිබඳව විද්‍යාව, ආගම, බුදු දහම සඳහන් කරන කරුණු කාරණා සාකච්ඡා කළෙමු.

පසුගිය සතියේ අප සාකච්ඡා කළේ චීනයේ පැරැණි විද්‍යාව සහ එය පදනම් වූ දර්ශනය පිළිබඳ කරුණු ය. අප පැවසුවේ චීන දර්ශනය ස්‌වභාවධර්මයේ චක්‍රීය ක්‍රියාදාමයන් මත පදනම් වන බවයි. මෙය යුරෝපයේ කාලය නමැති සංකල්පය මත පදනම් වූ රේය දර්ශනයට ඉඳුරා ම වෙනස්‌ ය. එහෙත් පැරැණි චීනයේ සහ යුරෝපයේ තිබුණේ එක ම විද්‍යාවකි. චීනයේ ප්‍රථමයෙන් සිදු වූ සොයාගැනීම් යුරෝපයේ පසුව සිදු විණි. භාවිත වූයේ එක ම ආනුභාවික ක්‍රමවේදයකි. දර්ශනය වෙනස්‌ වූ නිසා විද්‍යාව වෙනස්‌ වූයේ නැත. එහෙත් දර්ශනය වෙනස්‌ වූ නිසා විද්‍යාව යෙදෙව්වේ වෙනස්‌ වූ අරමුණුවලට ය. චීනය විද්‍යාව ස්‌වභාවධර්මය පාලනය කිරීමට යෙදෙව්වේ නැත. යුරෝපය ඔවුන් ගේ දර්ශනයට අනුව ක්‍රියා කරමින් ස්‌වභාවධර්මය පාලනය කිරීමට වෑයම් කළේ ය. එහෙත් විද්‍යාව එකක්‌ ම විය.

තව ද යින් සහ යෑන්ග් නමැති චීන සංකල්පය ස්‌වභාවධර්මයේ චක්‍රීය ක්‍රියාදාමයන් මත පදනම් විය. ස්‌වභාවධර්මයේ විනාශකාරී යෑයි අප සලකන ගිනිකඳු පිපිරීම්, භූ චලන වැනි විපත් නරක දේවල් ලෙස යින් සහ යෑන්ග් සංකල්පය සලකන්නේ නැත. ඒවා ස්‌වභාවධර්මයට යම්කිසි හොඳක්‌ සිදු කරන බව එය පවසයි. ස්‌වාභාවික විපත් ස්‌වභාවධර්මයට හොඳක්‌ කරනවා යෑයි විශ්වාස කළ හැක්‌කේ ස්‌aවභාවධර්මය මිනිසාට වඩා ඉහළින් තබන ඊට ප්‍රමුඛස්‌ථානය දෙන දර්ශනයකට පමණ ය. මිනිසාට ස්‌වභාවධර්මය සේවය කරන්නේ යෑයි සිතන දර්ශනයකට එවැනි දෙයක්‌ විශ්වාස කිරීමට නොහැකි ය. යුරෝපීය දර්ශනයට එසේ සිතිය නොහැකි ය. ස්‌වභාවධර්මයට ප්‍රමඛස්‌ථානය දෙන දර්ශනය දැකගත හැක්‌කේ චීනයේ ය. තවත් නැෙගනහිර පැරැණි දර්ශන තුළ එවැනි අදහස්‌ තිබේ දැයි ඉදිරි කාලයේ දී සොයා බැලිය යුතු ය. මක්‌නිසා ද එම දාර්ශනික අදහස ඉතා ම වැදගත් වන නිසා ය. ජීවිතයේ අරුත පිළිබඳව අප පවසා ඇති අදහස්‌ සමග ද මේ යින් සහ යෑන්ග් සංකල්පය එකඟ වන බව පෙනේ. මෙය ස්‌වභාවධර්මවාදය (Naturalism) ලෙස බටහිරයෝ සඳහන් කරති. අප ද කියා සිටියේ ස්‌වභාවධර්මය මිනිසාට වඩා ඉහළින් සිටින බව ය. ස්‌වභාවධර්මය පවතින්නේ අප සඳහා නො වන බව ය. අප ස්‌වභාවධර්මයට සේවයක්‌ කරන බව ය. අප ගේ ජීවිතයේ අරුත එය බව ය. ජීවීන් නිෂ්පාදනය කරන DNA, RNA සහ ප්‍රොaටීන් ස්‌වභාවධර්මයට අවශ්‍ය වන ද්‍රව්‍ය වන්නට පුළුවන. කුමකට දැයි අපි නො දනිමු. අප නො දන්නා දේ කෙතරම් ඇත් ද?

ස්‌වභාවධර්මය අලුතින් තාරකා, ග්‍රහ ලෝක නිපදවන්නේ ඇයි ද? තවත් තාරකා විනාශ කරන්නේ ඇයි ද? අලුතින් නිපදවෙන සමහර ග්‍රහලෝකවල ජීවන් ඇති වනවා ද? අප පෘථිවිය මත නිෂ්පාදනය කරන DNA, RNA සහ ප්‍රොaටීන් ඒ සඳහා යොදා ගන්නවා ද? පෘථිවිය වැනි ජීවීන්ට සුදුසු තවත් ග්‍රහලෝක විශාල සංඛ්‍යාවක්‌ ඇති බව සොයාගෙන ඇත. ඒවායේ ජීවීන් නිෂ්පාදනය සිදු වෙමින්a ඇති ද?

අපි තවත් පැරැණි ශිෂ්ටාචාරයක්‌ වන ඉන්දීය ශිෂ්ටාචාරය දෙස බලමු. එය තුළ අප ගේ අදහස්‌වලට එකඟ වන කරුණු ගැබ් වී ඇත් දැයි සොයා බලමු. කාල් ජාස්‌පර්ස්‌ නමැති චින්තකයා පවසා ඇත්තේ පැරැණි ශිෂ්ටාචාරවල දාර්ශනිsක අදහස්‌ ඇති වූයේ ක්‍රි. පූර්ව 7 වැනි ශත වර්ෂයේ බව හා ඒවා ක්‍රි. පූර්ව 3 වැනි ශත වර්ෂය දක්‌වා වර්ධනය වූ බව ය. මේ දාර්ශනික අදහස්‌ එක කාලයේ එක විට ඇති වූ බව ඔහු පැවසුවත් අපට ඔහු සමග එකඟ විය නොහැකි ය. අප පවසන්නේ බටහිරට වඩා බෙහෝ ඉදිරියෙන් චීනය සහ ඉන්දියාව මේ යුගවල සිටි බව ය. ඉන්දියාවේ දර්ශනය ශ්‍රමණ සම්ප්‍රදාය සහ වෛදික සම්ප්‍රදායේ මිශ්‍රණයක්‌ වන්නේ ය. වෛදික සම්ප්‍රදාය වනාහි ස්‌වභාවධර්මයේ න්‍යාය පිළිබඳව ද විශ්වයේ ආරම්භය පිළිබඳව ද මිනිසා ගේ ජීවිතයේ අරුත පිළිබඳව ද ප්‍රශ්න ඇසූ දර්ශනයක්‌ වන්නේ ය. ආනුභාවික ක්‍රියාදාමයන් ගේ හේතුව සහ සැම දෙයක ම ආරම්භය පිළිබඳව එය ප්‍රශ්න ඇසුවේ ය.

ශ්‍රමණ සම්ප්‍රදාය සංසාරය දුක්‌ත බව ද හැම දෙයින් ම ඈත් වී අතහැර දිවි ගෙවීම සුදුසු බව ද පැවසුවේ ය. අහිංසාව, කර්මය, ධ්‍යාන, සංසාරය, මෝක්‌ෂය වැනි සංකල්ප එම සම්ප්‍රදාය ඉදිරිපත් කළේ ය. බුදු දහම මේ සම්ප්‍රදාය තුළින් ආභාසයක්‌ ලද බව කිව හැකි ය.

පසු කලක මේ සම්ප්‍රදායන් ගේ මිශ්‍ර වීමේ එලයක්‌ ලෙස දාර්ශනිsක ගුරුකුල සයක්‌ වර්ධනය වී නොයෙකුත් දාර්ශනික ප්‍රශ්න සාකච්ජා කිරීම ආරම්භ විය. එම ගුරුකුල විසින් අසන ලද ප්‍රශ්නවලින් කිහිපයක්‌ මෙසේ සඳහන් කළ හැකි ය. විඤ්ණයේ පැවැත්මේ ස්‌වභාවය කුමක්‌ ද? දැනුම අත්විදින්නේ කෙසේ ද? මනස ෙච්තනාන්විත ද? ඥානයේ ස්‌වයං ව්‍යqහයක්‌ ඇත් ද?

පැරැණි සහ මධ්‍යකාලීන ඉන්දියාවේ විද්‍යාව සැම අංශයකින් ම දියුණු වී තිබිණි. මිනිස්‌ දැනුම තුළ වූ සැම විශේෂ අංශයකින් ම, ගණිතය, තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, කාර්මික සහ තාක්‌ෂණික ඉංජිනේරු විද්‍යාව, නැව් සෑදීම සහ යාන්ත්‍රණය තුළ මේ දියුණුව දකින්නට ලැබිණි. කලාව සහ ක්‍රීඩාවන් ද දියුණු මට්‌ටමක පැවතිණි. ගණිතය පිළිබඳව කතා කරන විට කිව හැක්‌කේ බිංදුව පිළිබඳ සංකල්ප, වීජ ගණිතයේ න්‍යාය, ඇල්ගොරිතම (algorithm), වර්ගමූලය, ඝනමූලය, ඉන්දියානු ගණිතඥයන් දැන සිටි වග ය. කැල්කියුලස්‌ (Calculus) ක්‍රමයේ ආරම්භය ඉන්දියාවේ සිදු වූ බව කිව හැකි ය. එය යුරෝපයේ ලීබ්නිට්‌ස්‌ සහ නිව්ටන් ආරම්භ කරන්නට අවුරුදු 300කට පෙර ඉන්දියාවේ ආරම්භ විය. පරමාණුව පිළිබඳ සංකල්ප සහ සාපේක්‌ෂතාවාදය ක්‍රි. පූ. 600 දී පමණ ඉන්දීය දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරන ලදි. වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ග්‍රන්ථයන් ඉන්දියාවේ නිකුත් වූයේ ක්‍රි. පූ. 800 වර්ෂයේ දී ය. මොහොන්ජොදාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය පෙන්වන්නේ ඉතා දියුණු ඉංජිනේරු විද්‍යාවක්‌ සහ වාස්‌තු විද්‍යාවක්‌ තිබුණු බව ය. මොළය පාවිච්චි කරන්නට අවශ්‍ය ක්‍රීඩාවක්‌ වන චෙස්‌ නිර්මාණය වූයේ ඉන්දියාවේ ය.

ඉන්දියාවේ වර්ධනය වූ ගණිත මූලධර්ම අරාබිය විසින් ඔවුන් ගේ විද්‍යාව තුළට ඇතුළු කරගන්නා ලදි. පසුව ඒවා යුරෝපයට සංක්‍රමණය විය. අද පවා යුරෝපයේ සහ මුළු ලොව ම භාවිත කරන්නේ මේ ගණිත මූලධර්ම වන්නේ ය. ඇමෙරිකානු ඉතිහාසඥයකු වන විල් ඩරන්ට්‌ (Will Durant 1885 - 1981) පවසන්නේ ගණිත විද්‍යා දර්ශනයේ මව ලෙස ඉන්දියාව සැලකිය හැකිය යනුවෙනි. ඉන්දියාවේ විසිර පැවැති ගණිත සංකල්ප එකතු කොට තවත් දියුණු කොට ග්‍රන්ථයක්‌ නිෂ්පාදනය කළේ විශිෂ්ට ඉන්දීය දාශනිකයකු වූ ආර්යභට්‌ට ය. (Aryabhatta 5th Century). 12 වැනි ශත වර්ෂයේ ජීවත් වූ තවත් ඉන්දියානු ගණිතඥයකු වන බාස්‌කරාචාර්ය (Bhaskaracharya) විසින් ද ගණිතය පිළිබඳ ග්‍රන්ථ කිහිපයක්‌ නිෂ්පාදනය කෙරිණි. මේ ගණිත දැනුම විශාල වශයෙන් අරාබි විද්‍යාඥයෝ ලබාගෙන ඒවා තවත් දියුණු කළ හ. අල්-කහාවාරිශ්මි (Al-khawarizmi) නමැති අරාබි ගණිතඥයා ඉන්දියානු ග්‍රන්ථ අරාබි භාෂාවට පරිවර්තනය කළේ ය. 12 වැනි ශත වර්ෂයේ දී එම ග්‍රන්ථ ලතින් භාෂාවට පරිවර්තනය විය. එම පරිවර්තන ග්‍රන්ථයේ නම වූයේ The System of Indian Numerals විය. අරාබියේ ගණිතඥයන් හැඳින්වූයේ හින්ඩ්සා (Hindsa) යනුවෙනි. එම වචනයේ අර්ථය වූයේ ඉන්දියාවෙන් යන්න ය. 14 වැනි ශත වර්ෂයේ ජීවත් වූ මාධව නම් ඉන්දියානු ගණිතඥයා කේරලයේ තවත් ගණිතඥයන් සමග එක්‌ වී අපරිමිත ශේ්‍රණිය, අභිසාරිතාව, විභේදනය සහ අරේය සමීකරණ විසඳීමේ ක්‍රම අධ්‍යයනය කළේ ය. කැල්කියුලස්‌ ක්‍රමය පිළිබඳ ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය 14 වැනි ශත වර්ෂයේ කේරල ගුරුකුලයට අයත් වූ ඡේයස්‌තදේව නමැති ගණිතඥයා විසින් ලියන ලදි. මෙවැනි දෙයක්‌ යුරෝපයේ ලියෑවුණේ 17 වැනි ශත වර්ෂයේ ය. පයිතගරස්‌ තම න්‍යාය ඉදිරිපත් කරන්නට ප්‍රථම ඉන්දියාවේ එය නිර්මාණය වී තිබිණි. වීජ ගණිතය ලොවට ප්‍රදානය කරන ලද්දේ ඉන්දියානු ගණිතඥයන් විසිනි.

ගණිතය විද්‍යාවේ බොහෝ මතවාද ඔප්පු කිරීමට යොදාගනියි. ගණිතය විද්‍යාවේ අඩිතාලම නම් ඉන්දියාවේ බිහි වූ ගණිතය කෙතරම් වැදගත් දැයි සිතිය හැකි ය. එසේ නම් යුරෝපයේ ඉන්දියාවෙන් වෙනස්‌ වූ විද්‍යාවක්‌ තිබිය හැකි ද?

ආයුර්වේදය ආරම්භ වූයේ ඉන්දියාවේ ය. මේ වෛද්‍ය ක්‍රමය සම්පූර්ණයෙන් ම රෝග ලක්‌ෂණ මත පදනම් විය. එනම් ආනුභාවික වූ රෝග ලක්‌ෂණ යොදාගනිමින් රෝග විනිශ්චය සිදු කළ බව ය. එසේ ම ආනුභාවික නැත හොත් අත්හදාබැලීම් තුළින් ලබාගත් දැනුම භාවිත කොට ශාකවලින් ලබා ගත් ඖෂධ රෝග ප්‍රතිකාරය සඳහා යොදාගන්නා ලදී. සැම ශිෂ්ටාචාරයක ම පැරැන්නන් රෝග ප්‍රතිකාරයට බොහෝ විට පාවිච්චි කළේ ශාකවලින් ලබා ගන්නා ඖෂධ විය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආයුර්වේදය විසින් පිටුදකින ලදි. මේ ක්‍රමවේදය වැනි ම වූ ක්‍රමවේදයක්‌ පැරැණි යුරෝපයේ භාවිත විය. එසේ ම වෙනත් පැරැණි ශිෂ්ටාචාරවල ද එවැන්නක්‌ භාවිත විය. අරාබියේ එම ක්‍රම ඉතා දියුණු තත්ත්වයකට පත් විණ. යුරෝපය බොහෝ ලෙස මේ වෛද්‍ය ක්‍රමය අරාබියෙන් ලබාගත්තේ ය. ඔවුන්ට එය අද තත්ත්වයට දියුණු කරගන්නට හැකි වූයේ කාරණා කිහිපයක්‌ හේතු කොටගෙන ය. එකක්‌ අන් රටවල් ආක්‍රමණය කොට තම ආර්ථිකය නංවා ගන්නට යුරෝපයට හැකි වීම ය. මේ හේතුවෙන් ඔවුන් ගේ තාක්‌ෂණයට ද විද්‍යාවට ද 15 වැනි ශත වර්ෂයට පසුව අනෙක්‌ රටවල් අභිබවා පෙරට යන්නට හැකි විය. ඉන්දියාව යටත් රාජ්‍යයක්‌ බවට පත් වීමත් සමග ඔවුන් ගේ ගණිතය ද විද්‍යාව ද ආයුර්වේදය ද දියුණු වීම අඩපණ විය.

පෙර සඳහන් කාලයේ ඉන්දීය දාර්ශනිකයෝ විඤ්ඤාණය, මනස, ඥානය, ෙච්තනාව වැනි ගැඹුරු තේමාවන් අධ්‍යයනය කිරීමට පෙලඹුණ හ. චීන දාර්ශනිsකයන් මෙතරම් ගැඹුරු විෂයයන් පිළිබඳ අවධානය යොමු කළේ නැත. එදිනෙදා ජීවිතය හොඳින් ගත කරන්නේ කෙසේ ද? සදාචාරය වැනි විෂයයන් ඔවුන් ගේ සැලකිල්ලට භාජන විය. බුදුරදුන් ගේ සම්ප්‍රාප්තියත් සමග ඉන්දීය දර්ශනය තවත් ගැඹුරු අදියරකට පත් විය. උන්වහන්සේ ජීවිතයේ අරුත සොයා යැම පිළිබඳව තමන්වහන්සේ ගේ අවධානය යොමු කළේ නැත. උන්වහන්සේ ගේ සමකාලීන දාර්ශනිකයෝ ජීවිතයේ අරුත, විශ්වයේ ආරම්භය වැනි විෂයයන් ගැන තම අවධානය යොමු කළෝ ය. බුදුන් ඒවා පිළිබඳ වැඩි අවධානයක්‌ නො කළේ ඒවා ආනුභාවික නො වූ විෂයයන් වූ නිසාත් ඊට වඩා වැදගත් ප්‍රශ්නවලට මුහුණ දී සිටි දුක්‌ත මිනිසුන් ගේ දුක නැති කිරීමේ මාර්ගයක්‌ සොයා යැම කළ යුතු දෙයක්‌ යෑයි සිතූ නිසාත් ය. උන්වහන්සේ ජීවිතයේ අනිත්‍යභාවය, ඒ නිසා ම දුක්‌තභාවය සහ ඒ නිසා ම මම ය මගේ ය යෑයි කිසිවක්‌ නැති බව ද, අනාත්ම බව ද ආනුභාවික මාර්ගයෙන් සොයාගත් සේක. දුකට හේතුව අධික තෘෂ්ණාව බව උන්වහන්සේ අත්දැකීමෙන් දැනගත් සේක. ඊට පසුව තෘෂ්ණාව නැති කරගැනීමේ මාර්ගය සොයා පරීක්‌ෂණ කළ සේක. තමා ගේ ම මනස පිළිබඳව පරික්‌ෂණ කළ සේක. ශරීරයට කිසි ම සුවයක්‌ සැපයක්‌ නො දී නොයෙකුත් දුෂ්කරක්‍රියා සිදු කොට තෘෂ්ණාව නැති කර ගත හැකි දැයි සොයා බැලූ සේක. එවැනි අධික වූ දුෂ්කරක්‍රියා ඊට පෙර කිසිවකු සිදු කොට නැත. එම ක්‍රමය වැරැදි බව අත්දැකීමෙන් දැනගත් උන්වහන්සේ කාම සැපය ද අධික දුෂ්කර ක්‍රියා ද යන අන්ත දෙක තුළ ම තෘෂ්ණාව නැති කරගන්නා ක්‍රමයක්‌ නැති බව සොයාගත් සේක. ඊට පසු භාවනා ක්‍රම අත්හදා බලා එම ක්‍රමය අලුත් ම තලයකට ගෙන යන්නට උන්වහන්සේට පුළුවන් විය. එම ක්‍රමයෙන් මනස තුළට ගලා එන කෙළෙස්‌ නවතාලිය හැකි බව උන්වහන්සේ සොයාගත් සේක. එම අලුත් දැනුම නිවන ලෙස හැඳින්වූයේ ඊට සිත නිවන්නට හැකි වූ නිසා ය. ගිනිගෙන දැවෙන ඉන්ද්‍රිය නිවී ඇති බව උන්වහන්සේ පැවසූ සේක. තෘෂ්ණාව ක්‍රෝධය සහ මෝහය නමැති ගින්නෙක්‌ දැවෙන ඉන්ද්‍රිය සහ ඒවායේ විඥානය නිවී ඇති බව උන්වහන්සේ පැවසූ සේක - (සංයුක්‌ත නිකාය iv පිටු 19-20).

මනස පිළිබඳව බුදුන් සිදු කළ පර්යේෂණ ඊට පෙර වෙන කිසිවකු සිදු කොට නැත. උන්වහන්සේ ගේ ශ්‍රාවක භික්‌ෂූන් ඒ මග යමින් නිවන අවබෝධ කරගත් බව ත්‍රිපිටකයේ සඳහන් වේ. මනස පිළිබඳව පර්යේෂණ සිදු කරන අද කාලයේ සිටින මනෝ විද්‍යාඥයන් මෙවැනි ක්‍රම භාවිත කරන බව ඔවුන් ලියන ලිපිවලින් දැනගත හැකි ය. ඔවුන් ඒවා ඉගෙනගෙන ඇත්තේ බුදු දහමින් බව ඔවුන් පවසා ඇත.

ඉන්දීය දාර්ශනිකයෝ ද ජීවිතයේ දුක්‌ත බව අනිත්‍ය බව හැඳිනගත්තෝ ය. බුදුන් එය තුළ මම කියා දෙයක්‌ නැති බව හැඳිනගත් සේක. මිනිසා ගේ අසරණභාවය අපිළිසරණ භාවය බුදුහු හැඳිනගත් සේක. දුකින් මුදවාගැනීමට තමා ගේ ම ශක්‌තියෙන් යුතු ව ක්‍රියා කළ යුතු බව දේශනා කළ සේක. අප පවසා ඇත්තේ මිනිසා ස්‌වභාවධර්මයට වඩා ඉහළින් හිඳිමින් පුමුඛත්වයක්‌ ලබාගත නොහැකි බව ය. මිනිසා විඥාන පුංජයක්‌ පමණක්‌ බව බුදු දහම පවසයි. මිනිසා ශක්‌ති පුංජයක්‌ බව අප පෙන්වා දී ඇත. විඤ්ඤාණය ශක්‌ති වර්ගයක්‌ විය හැකි ය යන අදහස ද අප ඉදිරිපත් කර ඇත. එසේ නම් අප ගේ ජීවිත අපට අයිති නැති එකකි. එය විශ්වයේ පාලනයට නැතිනම් ශක්‌තියේ පාලනයට යටත් වන බව අප පවසා ඇත. අපේ ජීවිත විශ්වයට අවශ්‍ය පරිදි ජීවත් වනවා පමණක්‌ නො ව ඊට අවශ්‍ය සේවයක්‌ ද කරනවා විය හැකි ය. මේ දුක්‌ත වූ වහල් සේවයෙන් මිදෙන මාර්ගයක්‌ බුදුන් පෙන්වා දී ඇත.

තවත් පැරැණි ශිෂ්චාචාරවල විද්‍යා දර්ශනය පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.