logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතාට අනුව ද චීන දර්ශනය වෙනස්‌ ය

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බොහෝ විට විශේෂයෙන් ම වෙනත් වෙබ් අඩවිවල සහ විද්යුත් ලිපි සංසදවල ප්‍රකාශ කරන කරුණක්‌ නම් මා ඔහුට අපහාස කරන බව ය. ඔහු ඉන් අදහස්‌ කරන්නේ තමා එලෙස අපහාස නො කරන බව ය. එහෙත් මගේ සේවය දිගු කිරීම පිළිබඳව සඳහන් කරමින් ඔහු කීවේ මා සියල්ල කරන්නේ මගේ පෞද්ගලික යහපත වෙනුවෙන් බව ය. ඒ පෞද්ගලික දිගුවක්‌ නො ව ආසනික්‌ පර්යේෂණ කරගෙන යැම සඳහා නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණියා මැදිහත් වීමෙන් කරන ලද දිගුවකි. ඒ පිළිබඳව මම වැඩිදුර කතා නො කරමි.

එහෙත් ඒ මහතා ජූලි 01 වැනි දා විදුසර පුවත්පතෙහි සඳහන් කළ කරුණක්‌ උපුටා නො දක්‌වා නො හැකි ය. එම ලිපිවල විස්‌තර කොට ඇති අන්දමට 12 වැනි ශත වර්ෂයේ දී ටොලිඩෝ විද්‍යාලයීය පරිවර්තකයන් විසින් සිදු කරන ලද මහා ලතින් පරිවර්තනය (The Great Latin Translation) හේතු කොටගෙන අරාබියේ තිබූ විද්‍යාව, දැනුම අතින් පසුබැස සිටි යුරෝපය විසින් සොරාගන්නා ලදී. එය ඔවුන් ගේ විද්‍යාව බව පෙන්වා ලොව ම ජයගන්නට යුරෝපීයයන් පසුබට වූයේ නැත. මේවා ගැන හාංකවිසියක්‌ නො දන්නා පඩියෝ, නැති බටහිර විද්‍යාවක්‌ හඳුනාගෙන කොතැනත් කවදත් තිබූ විද්‍යාව හදාරන අය බටහිර දාසයන් ලෙස හංවඩු ගසති. වෙනත් විද්‍යාවක්‌ කොතැනක හෝ ඇත් දැයි පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට අද වන තෙක්‌ පිළිතුරක්‌ නැත. චීනයේ තිබුණේ වෙනස්‌ වූ විද්‍යාවක්‌ බව විද්වත් ජෝශප් නීඩ්හම් (Joseph Needham) පවසා ඇති බව මේ අඥානයන් පවසා ඇත. ඒ බව විස්‌තර සහිතව පහදා දෙන බව කීව ද තවමත් ඒ ගැන ද වචනයක්‌ නැත.

අමරතුංග මහතා සිතනු ඇත්තේ ප්‍රතිවාදියාට අඥනයා යෑයී කීම ගෞරව කිරීමක්‌ ලෙස ය. කෙසේ වෙතත් ඔහුට ප්‍රතිවාදියා ගේ නම සඳහන් කිරීමට තරම් වත් එඩිතරකමක්‌ නැත. ඔහු ඒ ලිපියෙහි ම තවත් තැනක මෙසේ කියයි. චීනයේ තිබුණේ කවදත් කොතැනත් තිබුණු විද්‍යාව ය. මේ බව විද්වත් ජෝශප් නීඩ්හම් ඉතා ම පැහැදිලි ලෙස එතුමා ගේ Science and Civilization in China (1954) නමැති ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. මේ බව නො දන්නා ලෝකයේ විද්‍යාවන් බොහොමයක්‌ තිබෙනවා යෑයි සිතන අඥානයෝ, තවමත් ලෝකය පැතලි යෑයි සිතන අඥානයන් මෙන්, බහුභූත දොඩවති. එවැනි විද්‍යාවන් තිබේ නම් පෙන්වා දෙන්නැයි කළ අභියෝගයට පිළිතුරු තවමත් නැත. විද්වත් මාර්ටින් වික්‍රමසිංහයන් පැවසූ දෙය විකෘති කොට දක්‌වනවාට වඩා යමක්‌ කීමට ඔවුනට නුපුළුවන. ඔවුන් කළ යුත්තේ වෙනත් විද්‍යාවක්‌ ඇතොත් එය කුමක්‌ දැයි පෙන්වා දීම ය. එවැනි විද්‍යාවක ක්‍රමවේදය කුමක්‌ දැයි පහදා දීම ය. එසේ නො කර, අනන් මනන් දොඩවමින්, පත්තර පිටු පුරවන්නේ නැති ඥානවන්තභාවයක්‌ ආරූඪ කරගැනීමට ය. වෙන වැඩක්‌ නැති නිසා ය. මේ මෝඩකම පෙන්වා දීමට විද්වතුන් කිහිප දෙනකු ම දැන් ඉදිරිපත් වී සිටීම භාග්‍යයට කාරණයකි.

මෙසේ ඉදිරිපත් වී සිටින විද්වත්හු කවරහු ද? කරුණාකර ඔවුන් නම් කරන මෙන් ඉල්ලා සිටිමි. ඔවුන් අතර කැනඩාවේ වාසය කරන බෝධි ධනපාල සිටින්නේ ද? පසුගිය සතියේ මා සඳහන් කර සිටියේ ධනපාල මහතා මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹීම සඳහා ලංකාවට පැමිණීමට කරන ලද ආරාධනය පිළිගෙන ඇති බව ය. මම ඔහුට ඒ පිළිබඳ ස්‌තූතිවන්ත වීමි. එහෙත් ඉන් දින කිහිපයකට පසුව ඔහු අමරතුංග මහතා මෙන් ම ප්‍රසිද්ධ විවාදයෙන් පලා ගියේ ය. මා ඔහුට යවන ලද විද්යුත් ලිපිය මෙහි දී ඉදිරිපත් කරන්නේ මේ විද්වතුන් ගේ තරම දැන ගැනීම සඳහා ය.

බෝධි ධනපාල මහතා 2015 ජූනි 29 වැනි දා එවූ විද්යුත් ලිපිය මෙසේ ය. "I will come to Sri Lanka after the elections and if possible privately meet Dr. de Silva; there will be no debate as the terms of the debate were changed by Dr. Silva who added the word “abstract” before the word “gravitational”. Furthermore, if we cannot even agree on the date of the Schrodinger equation (well established date), and the Solvay conferece (well established date), what is there to debate?” (2015 June 29)

දින පහක පමණ ප්‍රමාදයකින් පසුව වුව ද එයට ඉතා කෙටි ප්‍රතිචාරයක්‌ (සාකච්ඡාවක්‌ නො වේ) දැක්‌විය යුතු ය. එහි කරුණු තුනක්‌ සඳහන් වෙයි.

(1) ඔහු මැතිවරණයෙන් පසු ලංකාවට පැමිණෙන බවත් හැකි නම් මා පෞද්ගලික ව මුණගැසෙන බවත් කියයි.

මට ඔහු පෞද්ගලිකව මුණගැසීමේ අවශ්‍යතාවක්‌ නැති බව දන්වනු කැමැත්තෙමි. මේ විවාදය ලංකාවේ කෙරෙන ප්‍රසිද්ධ විවාදයක්‌ ලෙස පැවැත්වීම මගේ අවශ්‍යතාව විය. විද්යුත් ලිපි මගින් පැවැත්වූ විවාදය ගැන කියමින් ඒ බව මා මෙසේ පවසා ඇත.

"මේ විවාදය සත පහක්‌ වටින විවාදයක්‌ නො වන්නේ එයින් ලංකාවට කිසි ම බලපෑමක්‌ නො වන බව ය. එහෙත් ඒ ලංකාවේ දී කෙරෙන ප්‍රසිද්ධ විවාදයක්‌ බවට පත් වූ විට මට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව තවත් විශාල පිරිසකට තේරුම් කර දීමට හැකි වනු ඇත. (2015 ජූනි 24)

පෞද්ගලික මුණගැසීම් මගින් සත පහක බලපෑමක්‌ ලංකාවට නො සිදු වෙයි.

(2) මා ගුරුත්වාකර්ෂණ යන වචනයට පෙර වියුක්‌ත යන වචනය එකතු කිරීමෙන් විවාදයේ කොන්දේසි බිඳ දමා ඇත. එබැවින් විවාදය නො පැවැත්වෙයි.

මා විවාදය යෝජනා කළේ 2015 ජූනි 22 වැනි දා ය. මා ජූනි 24 වැනි දා ද වියුක්‌ත ගුරුත්වාකර්ෂණය යන්න සඳහන් කර ඇත. "මා නාථ දෙවියන් පෙන්වන්නේ ධනපාල මහතා හෝ වෙනත් කවරකු හෝ වියුක්‌ත ගුරුත්වාකර්ෂණ බලය (ක්‌ෂේත්‍රය) මට පෙන්වන්නේ නම් පමණක්‌ බව මා කියා ඇත. මම පොරොන්දු කඩ නො කරමි. "

ධනපාල මහතා ජූනි 29 දින තෙක්‌ එයට විරුද්ධ නො වී ය. මා ජූනි 22 වැනි දාට පසු එහි වෙනසක්‌ කර නැත. මම කොන්දේසියක්‌ කඩ නො කෙළෙමි. ධනපාල මහතා ගේ දැනගනීම පිණිස කිව යුත්තේ විවාදය යෝජනා කිරීමට පෙර දින ද ජූනි 21 වැනි දා මා වියුක්‌ත ගුරුවාකර්ෂණය යන්න යොදාගෙන ඇති බව ය.

"එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිකය ගෝචරව දැනගත් අයකු නැත. එය සූචක කියවීමකින් (පොයින්ටර් රීඩින් Pointer Reading) වෙනස්‌ ය. සූචක කියවීමකට ගුරුත්වාකර්ෂණය හසු නො වේ. වියුක්‌ත (ඇබ්ස්‌ට්‌රැක්‌ට්‌ abstract) ගුරුවාකර්ෂණය යොදාගැනීමෙන් ලබාගන්නා වියුක්‌ත නිගමන තර්ක විරෝධීව සංයුක්‌ත (කොන්ක්‌රීට්‌ Concrete) නිදර්ශන සමග සංසන්දනය කිරීම ගුරුත්වාකර්ෂණය සූචක කියවීමකට හසු කරගැනීමක්‌ නො වේ"

වියුක්‌ත යන්න එකතු කිරීම නිසා විවාදය නැතැයි කීම විශ්වසනීය නො වූ හේතුවක්‌ පමණකි.

(3) දින ගැන එකගතාවකට පැමිණිය නොහැකි නම් විවාදයක්‌ කිරීමට ඇත්තේ කුමකට ද? විවාදයක්‌ පැවැතිය යුත්තේ ඒ දින සම්බන්ධයෙන් ද බව කිව යුතු ය. ජූනි 26 වැනි දින මම මෙසේ සඳහන් කළෙමි. "අපට මේ සියල්ල ලංකාවේ දී සාකච්ඡා කළ හැකි ය. ඔබේ බුද්ධිමය වංචනික බව හෝ සුවිශේෂත්වය හෝ ලංකාවේ දී ප්‍රදර්ශනය කළ හැකි ය. කරුණාකර ඔබ ලංකාවට පැමිණෙන දිනය පමණක්‌ දන්වන්න. මේ කරුණ පිළිබඳ ව ඔබ සමග මින් ඉදිරියට සාකච්ඡා කෙරෙනුයේ ලංකාවේ දී පමණක්‌ බව මා දන්වා ඇත."

අමරතුංග මහතා කිසිවක්‌ උපුටා නො දක්‌වයි. ඔහු යමක්‌ සඳහන් කරන්නේ ඔහු කී පමණින් අප ඒ පිළිගත යුතු ය යන හැඟීමෙනි. ජෝසෆ් නීඩ්හම් තම පොතක චීනයේ තිබුණේ කවදත් ලෝකයේ තිබූ එක ම විද්‍යාව යෑයි කියා ඇතැයි අමරතුංග මහතා කී නිසා ම අප ඒ පිළිගැනීමට බැඳී නැත. කරුණාකර පොතේ අදාළ පිටු සඳහන් කර අදාළ ඡේදය (හෝ ඡේද) උපුටා දක්‌වන්න. අමරතුංග මහතා කෙතෙක්‌ බටහිර දැනුම ගැන කතා කළත් පරිච්ඡේදය හා කවිය (Chapter and Verse) උපුටා දැක්‌වීමේ බටහිර බයිබල් සම්ප්‍රදාය ඉගෙන නැත. මා මාර්ටින් වික්‍රමසිංහ විකෘති කර ඇතැයි කියනවාට වඩා මගේ ලිපියේ අදාළ කොටස්‌ උපුටා දක්‌වා මා ඔහු විකෘති කර ඇති ආකාරය පෙන්වා දිය යුතු ය. නීඩ්හම් කියා ඇත්තේ චීනයේ බටහිර විද්‍යාව වර්ධනය නො වූ බව ය. ඒ බව මම වැඩි කල් නො ගොස්‌ පෙන්වා දෙමි. එයට පළමුව අමරතුංග මහතා නීඩ්හම් චීනයේ තිබුණේ ද හැම තැන ම ඇති විද්‍යාව යෑයි කියා ඇති ඡේද උපුටා දක්‌වන්නේ නම් මැනවි.

චීනයේ තිබූ විද්‍යාව වෙනත් එකක්‌ බව අමරතුංග මහතා ගේ පහත සඳහන් ප්‍රකාශවලින් ම පැහැදිලි වෙයි. ඒ ප්‍රකාශ ද ඒ මහතා ගේ ජූලි 1 වැනි දා ලිපියෙනි. "මෙවැනි දැවැන්ත විද්‍යාත්මක සහ තාක්‌ෂණ දියුණුවක්‌ ලබාගැනීමට චීනයේ පැවති දර්ශනය කුමක්‌ දැයි සොයා බලමු. ශැන්ග් රාජ්‍ය වංශ කාලයේ (1600-1046 BC) අදහස්‌ නිර්මාණය වීම චක්‍රීය පදනමක්‌ මත සිදු විය. මේ චක්‍රීය පදනමේ බිහි වීම ස්‌වාභාවික ක්‍රියාදාමයන් වන රෑ, දවල්, සූර්ය ගමන, කාලගුණය වැනි චක්‍රීය ක්‍රියාදාමයන් තුළින් සිදු වූ බව සිතිය හැකි ය. මේ චක්‍ර වූ දර්ශනය යුරෝපයේ පැවැති කාලය යන සංකල්පය තුළින් බිහි වූ රේ‚ය පදනමක්‌ මත බිහි වූ දර්ශනයට ඉඳුරා ම වෙනස්‌ විය."

මීට පසු බිහි වූ ෂාහු රාජ්‍ය වංශය කාලයේ දී නව දාර්ශනික අදහස්‌ එකතු විය. Mandate of Heaven (ස්‌වර්ග වරම) යනුවෙන් හැඳින්වූ මේ අදහස්‌ විසින් අධ්‍යාපනය වැනි දේ අගය කරන ලදී. තව ද දෙවියන් පිළිබඳ විශ්වාසය තරමක්‌ දුරට අඩු වී ලෞකික දේ කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය විය. කොන්ෆියුසියස්‌ ධර්මය ස්‌ථාපිත වීමෙන් පසුව ද මේ චක්‍රීය පදනම සහිත වූ දර්ශනය චීනයේ සැම ක්‍රියාදාමයක්‌ මත බලපෑමක්‌ සිදු කළ බව පෙනේ. එම ධර්මය විසින් නිර්මාණය කරන ලද යින් යෑන්ග් නමැති සංකල්පය ද චක්‍රීය වූ එකක්‌ බව පිළිගත හැකි ය. ස්‌වභාවධර්මයේ ආශීර්වාදයෙන් බිහි වූ මේ දර්ශනය හේතු කොටගෙන සම්පත් භාවිත කිරීමේ දී අපතේ යැම අවම කරගැනීමට චීන ඉංජිනේරුවරු සමත් වූ හ. උණ බම්බුවලින් කළ හැකි වැඩකට ඔවුන් යකඩ යොදාගත්තේ නැත. වානේ සෑදීම යකඩ උණු කිරීම වැනි තාක්‌ෂණයෙන් යුරෝපයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි නුමුදු ඔවුන් ඒවා භාවිත කළේ අත්‍යවශ්‍ය අවස්‌ථාවල දී පමණි.

මෙවැනි දර්ශනයක්‌ සහිත ව බටහිර විද්‍යාව හා තාක්‌ෂණය චීනයේ බිහි විය නොහැකි ය. ලංකාවේ ද සිංහලයෝ වානේ සෑදීම දැන සිටිය හ. එහෙත් එය එතැනින් "ඉදිරියට" නො ගියේ ය. චීනය ද එසේ ම ය. එයට හේතුව තාඕවාදය බටහිර දර්ශනයෙන් වෙනස්‌ වීම ය. අමරතුංග මහතා කලකට පෙරත් අරාබි දැනුම යුරෝපයට ගියේ යෑයි කීවේ ය. එහෙත් එය වැරදි ය. යුරෝපීයයෝ අරාබින් ගේ, චීනුන් ගේ හා භාරතීයයන් ගේ දැනුම තම සංස්‌කෘතියට අවශෝෂණය කරගත් හ. ඒ අරුතින් ගත් කල යුරෝපීය දැනුම අරාබි හෝ භාරතීය හෝ දැනුම නො වේ. යුරෝපීයයෝ භාරතීය ගණිතය ද වියුක්‌තකරණයට ලක්‌ කළ හ. බටහිරයන් ගේ න්‍යාය (Logic) ද භාරතීය න්‍යායෙන් වෙනස්‌ විය.

කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව නම් බටහිර ජීවත් වන සිංහල බෞද්ධයනට ද අද බටහිර විද්‍යාවේ නව සංකල්ප හා ප්‍රවාද ගොඩනඟාගැනීමට නොහැකි ඇයි? කරුණාකර අමරතුංග මහතා ඒ ප්‍රශ්නයට පිළිතුරක්‌ දෙන්නේ ද? අමරතුංග මහතා වියුක්‌තය යනු කුමක්‌ දැයි නො දනියි. සිංහල බෞද්ධයනට යුදෙවුවනට මෙන් වියුක්‌ත ව සිතීමට නොහැකි sය. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙනස්‌ වන්නේ එහි පට්‌ටපල් බොරු වූ වියුක්‌ත සංකල්ප හා ප්‍රවාද යොදාගන්නා බැවිනි.

නලින් ද සිල්වා