logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දාර්ශනය (02)

අප අලුතින් පටන් ගත් ලිපිවලින් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ පැරණි ශිෂ්ටාචාරවල තිබූ විද්‍යාවේ දර්ශනය පිළිබඳව ය. මේ සාකච්ඡාවේ ආරම්භක ලිපියේ සැකෙවින් අප විස්‌තර කළේ චීනයේ ඉතිහාසය ඒ රටේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය, සහ ඔවුන් ගේ දර්ශනය විද්‍යාවට බල පෑ අයුරු ය. අප එම ලිපියේ අවසානයේ පැවසුවේ චීන දර්ශනය ස්‌වභාවධර්මයට අනුකූලව චක්‍රීය වූ එකක්‌ බව ය. එය වර්ධනය වූයේ කෙසේ දැයි පෙන්වා දී ඇත. එසේ ම යුරෝපයේ දර්ශනය කාලය සමග බැඳුණු රේය එකක්‌ බව ද පෙන්වා දුන්නෙමි. දර්ශනය යනු කුමක්‌ දැයි නො දන්නා බහුභූතවාදියා මේවා ගැන නන් දොඩවයි. ඒ ඔහුට අලුතින් කීමට දෙයක්‌ නැති නිසා ය. කරන්නට වෙන වැඩක්‌ ද නැති නිසා අප ගේ ලිපියෙන් බාගයක්‌ උපුටා දක්‌වමින් විදුසර පිටු පුරවයි. මට කිව හැක්‌කේ තමන් ගේ වැඩක්‌ බලාගන්න කියා ය. මෝඩකම සහ නොදැනුවත්කම එළිදරව් නො කර සිටින මෙන්ය.

තව ද මා පෙන්වා දී ඇත්තේ යුරෝපයේ දර්ශනය රේය වුව ද එහි විද්‍යාව චීනයේ විද්‍යාවට වෙනස්‌ නො වුණු බව ය. නිරීක්‌ෂණය පරීක්‌ෂණය නිගමනය යන ක්‍රමවේදය කොතැනත් කවදත් තිබුණු විද්‍යාවේ ක්‍රමවේදය විය. චක්‍රීය දර්ශනයක්‌ වර්ධනය වූ චීනයේ ද රේය දර්ශනයක්‌ වර්ධනය වූ යුරෝපයේ ද විද්‍යාවේ ක්‍රමවේදය සමාන විය. චීනයේ විද්‍යාත්මක සොයාගැනීම් යුරෝපයේ සොයාගැනීම් හා සමාන විය. චීනය ඉදිරියෙන් සිටියා වුව ද විද්‍යාත්මක සොයාගැනීම් වෙනස්‌ නො වී ය. චීනය ප්‍රථමයෙන් සොයාගත් දේ යුරෝපය පසුව සොයාගත්තේ ය. එසේ සොයාගනු ලැබුවේ එක ම ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් ය. ඔවුන් වෙනස්‌ ක්‍රමවේදයක්‌ භාවිත කළා යෑයි කියනවා නම් එය කුමක්‌ දැයි බහුභූතවාදියා පෙන්වා දිය යුතු ය. වචන පමණක්‌ ලියමින් කිසි ම අලුත් අදහසක්‌ ඉදිරිපත් නො කරමින් පිටු පිරවීමේ තේරුම කුමක්‌ ද? මා වැරැදියි කියා පැවසීම ඉතා ම ලෙහෙසි ය. වරද කුමක්‌ ද නිවැරැදි දෙය කුමක්‌ ද යන්න පැහැදිලි නො කර එසේ පැවසීම බහුභූතවාදියා කරන්න දන්න එක ම දෙය වන්නේ ය. මා පමණක්‌ නො ව විද්වත් බෝධි ධනපාල, විද්වත් චන්ද්‍ර ධර්මවර්ධන යන මහතුන් ද මේ බව පෙන්වා දී ඇත.

චීනයේ විද්‍යාව 15 වැනි ශත වර්ෂය දක්‌වා ශීඝ්‍රයෙන් වර්ධනය වූයේ ඊට දායක වු පිරිස්‌ සමාජයේ සැම ස්‌ථරයක ම ජීවත් වූ සාමාන්‍ය ජනී ජනයා වූ නිසා ය. විද්‍යාව සමාජ තරාතිරමකට සීමා නො වී සැම ගේ සහභාගිත්වය ඒ සඳහා යොදාගැනීම එහි උන්නතියට රුකුලක්‌ විය. මේ බව විද්වත් ජෝශප් නිඩ්හම් ඉතා පැහැදිලිව තම කෘතියෙන් පෙන්වා දී ඇත. පෙර ලිපියේ මේ ගැන විස්‌තරයක්‌ ඉදිරිපත් කොට ඇත. පැරැණි චීන තාක්‌ෂණික ශිල්පීන් වැඩි වශයෙන් භාවිත කළේ තම පරිසරයෙන් ලබාගත හැකි අමුද්‍රව්‍ය විය. උණ බම්බුවල කුසලතාව ඔවුහු හොඳින් හඳුනාගත් හ. ඒවායින් නො කළ හැකි දෙයක්‌ නැති තරම් විය. ගෙවල්, පාලම්, පුටු, මේස වැනි භාණ්‌ඩ ජල නළ, ටර්බයින, වා රෝද, ජල රෝද වැනි නිමක්‌ නැති දේ උණ බම්බුවලින් නිෂ්පාදනය කරන ලදී. යකඩ සහ වානේ පිළිබඳව ඔවුන් නො දැන සිටියා නො වේ. යුරෝපය ඒවා ගැන දැනගැනීමට බොහෝ කලකට පෙර චීනය ඒවා ගැන දැන සිටියේ ය.

චීන සමාජයේ warring states නමැති කාලයේ (480-221 BC) තාක්‌ෂණය සහ නිෂ්පාදනයේ නියෑළුණු සමාජය කොටස්‌ සයකට බෙදා වෙන් කළ හැකි ය. ඉන් එක්‌ කණ්‌ඩායමක්‌ Dao (Tao) පිළිබඳව සාකච්ජා පැවැත්වූ හ. මෙතැන Dao යන්නේ අදහස සමාජීය යන්න ය. මෙසේ සාකච්ඡා කොට ගත් තීරණ ක්‍රියාවට නඟන ලද්දේ අනෙක්‌ කණ්‌ඩායම් විසිනි. චීනයේ පැරැණි තාක්‌ෂණය පිළිබඳව ලියවී ඇති Kao Gong Ji නමැති කෘතිය දක්‌වන පරිදි එම තීරණ ක්‍රියාවට නැංවීමේ දී එක කණ්‌ඩායමක්‌ පරිසරයේ තිබූ අමුද්‍රව්‍ය ගැන සොයා බැලුවේ ය. තවත් කණ්‌ඩායමක්‌ අමුතු විස්‌මයජනක දේවල් රැගෙනවිත් ඒවා ගැන සොයා බලා අලුත් නිෂ්පාදන බිහි කළේ ය. ඒ ලෙස නොයෙකුත් කාර්යයන් කිරීම සඳහා කණ්‌ඩායම් වෙන් කොට තිබුණේa ය. ඥානය තිබුණු අය අලුත් ආයුධ ආම්පන්න නිපදවූ හ. ඒවා භාවිත කොට පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ගියේ නිර්මාණාත්මක දක්‌ෂකමක්‌ පෙන්වූ අය ය. Dao පිළිබඳව නිරීක්‌ෂණ කළේ කුමාරවරුන් සහ ප්‍රභූ පංතිය විය. එම තීරණ ක්‍රියාවට නංවන ලද්දේ ඇමැතිවරුන් විසිනි.

මින් පෙනී යන්නේ අලුත් නිෂ්පාදන සඳහා නිරන්තරව නිරීක්‌ෂණය භාවිත වූ බව ය. නිරීක්‌ෂණය නොමැති ව කිසිවක්‌ සිදු වූයේ නැත. නිරීක්‌ෂණ සිදු කළේ ආනුභාවික ක්‍රම මගිනි. වෙනත් ක්‍රමවේදයක්‌ ගැන සඳහනක්‌ චීන ග්‍රන්ථවල දැකගන්නට නැත. වෙනත් ක්‍රමවේදයක්‌ චීනයේ තිබුණු බව දන්නා කෙනකු ඉන්නවා නම් අප ගේ දැනගැනීමට ඒ ගැන විදුසර සඟරාවේ ලියන මෙන් ඉල්ලමි. මා ගේ වැරැදි පමණක්‌ ගැන ලියන්නේ චීනයේ තිබූ විද්‍යාව ගැන නො දන්න නිසා ය.

චීනයේ අවට රටවල් චීන විද්‍යාඥයන්ට ඉමහත් පිළිගැනීමක්‌ සහ ගරුසරු බවක්‌ පෙන්වී ය. ඔවුන් ගෙන් උදව් උපදෙස්‌ ලබා ගත්තේ ය. මොන්ගෝලියානු රජය චීනයේ එක්‌ පළාතක්‌ යටත් කරගත් විට ඉල්ලා සිටින්නේ තාක්‌ෂණ ශිල්පීන් ලබා දෙන ලෙස ය. වර්ෂ 1675 රුසියානු තනාපති කණ්‌ඩායමක්‌ බීජින්ග් නුවරට පැමිණ පාලම් තනන තාක්‌ෂණය දන්නා ශිල්පීන් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේ ය. ගල් කණු භාවිත කොට පාලම් තනන්නට ප්‍රථමයෙන් ඒවායේ ශක්‌තිය මැන බැලීමේ තාක්‌ෂණය විද්‍යාඥයන් සොයා ගෙන තිබිණි.

චීනයේ තාක්‌ෂණ ශිල්පීන්ට විශේෂ සැලකිලි ලැබිණි. වහල් පංතියට අයත් වූ ශිල්පීන් පවා වෙනයම් වැඩකට යෙදවීම තහනම් වී තිබිණි. යුද්ධයට බඳවා ගත්තා වුව ද ඔවුනට කරන්නට නියම වූයේ ඔවුන්ට පුරුදු තාක්‌ෂණ ශිල්පය හැර වෙන දෙයක්‌ නො වී ය. මින්ග් රාජ්‍ය වංශ කාලයේ තාක්‌ෂණ ශිල්පීන්ට උසස්‌වීම් ලැබීමට අවස්‌ථාව එළඹිණි. උදාහරණයක්‌ ලෙස ෂු ගාඩ් නමැති ශිල්පියා ඔහුට අයත් අංශයේ අධිපති තත්ත්වයට පත් විය.

විද්‍යාව සහ තාක්‌ෂණය පිළිබඳ චීන දර්ශනය තුළ දක්‌නට ලැබෙන ලක්‌ෂණ කිහිපයක්‌ පහත සඳහන් ලෙස ඉදිරිපත් කළ හැකි ය.

01. චීන දර්ශනය ස්‌වභාවධර්මය මත පදනම් වූ චක්‍රීය එකක්‌ විය. ඉර, හඳ, තරු, හුළග, අව්ව වැනි චක්‍රිය ක්‍රියාදාමයන් මත එය පදනම් විය.

02. ස්‌වභාවධර්මයේ එම ක්‍රියාදාමයන් චක්‍රීය බව ඔවුන් සොයාගත්තේ ආනුභාවික ක්‍රම භාවිත කොට ය. ඔවුන් ගේ විද්‍යාව එම නිසා සම්පූර්ණයෙන් අත්දැකීම් තුළින් ලබාගන්නා දැනුම මත පදනම් විය.

03. ස්‌වභාවධර්මය මත පදනම් වූ ඔවුන් ගේ තාක්‌ෂණය ස්‌වභාවධර්මය ආරක්‌ෂා කිරීමට බැඳි තිබිණි. ස්‌වභාවධර්මයේ සම්පත් පරිහරණය කළේ ඉතා ම පරෙස්‌සමිනි. උණ බම්බුවෙන් කළ හැකි වැඩකට යකඩ බම්බුවක්‌ පාවිච්චි නො කළේ යකඩ ගැන දැනුමක්‌ නැති නිසා නො ව සම්පත් සංරක්‌ෂණය ඔවුන් ගේ දර්ශනයේ උදාර ලක්‌ෂණයක්‌ වූ නිසා ය.

04. පහත් යෑයි සැලකෙන සමාජ ස්‌ථරවලට අයත් වූ තාක්‌ෂණ ශිල්පීන්ට විද්‍යාඥයන්ට පවා ඉතා හොඳින් සැලකූ නිසා ඔවුන් ගේ කාර්යයන් ඉතා හොඳින් කිරීමට ඔවුනට හැකි විය.

05. ශිල්පීන් සැම ගේ දැනුම වර්ධනය වීමට අවශ්‍ය සම්පූර්ණ සහාය සහ නිදහස ලබා දෙන ලදි. උදාහරණයක්‌ ලෙස ෂින්ටු ශැන්ග් (525 AD) නමැති අර්ධ වහල් පංතියට අයත් විද්‍යාඥයාට විශාල පුස්‌තකාලයක්‌ එකතු කරගැනීමට අවශ්‍ය සියලු උදව් ලබා දෙන ලදී.

මේ පිළිබඳව තවත් කරුණු ඉදිරියේ දී ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි. ඊට පෙර හෑව් රාජ්‍ය වංශයේ දී කරළියට පැමිණි කොන්ෆියුසියස්‌ ධර්මය පිළිබඳව කෙටි සටහනක්‌ තැබීම කළ යුතු ව ඇත. මේ ධර්මය චීන ජීවිතයේ සැම අංශයකට ම බලපෑමක්‌ කළ හෙයින් ඒ ගැන සඳහන් කිරීම අවශ්‍ය වන්නේ ය. කොන්ෆියුසියස්‌ පඬිවරයා (551-470 BC) ගුරුවරයෙක්‌, කර්තෘවරයෙක්‌, දේශපාලඥයෙක්‌ සහ දර්ශනිකයෙක්‌ විය. එතුමා ජීවත් වූයේ චීන ඉතිහාසයේ spring and autumn period නමින් හැඳින්වූ කාල පරිච්ඡේදයේ ය. එතුමා ගේ දර්ශනයට විෂය වූයේ පුද්ගල සහ රාජ්‍ය සදාචාරය, සමාජීය සම්බන්ධතා, යුක්‌තිය සහ අව්‍යාජභාවය විය. මේ ධර්මයට විරුද්ධ වූවන් තාවකාලික ජයග්‍රහණයක්‌ ලබාගත්තා වුව ද හෑන් රාජ්‍ය වංශය කාලයේ දී රාජ්‍ය අනුග්‍රහය කොන්ෆියුසියස්‌ ධර්මයට නොමදව ලැබී කොන්ෆියුසියස්‌ වාදය ලෙස ප්‍රසිද්ධියට පත් විය. චීනයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගණනාවක්‌ එතුමා විසින් ලියන ලදී. එතුමා ගේ මූලධර්ම චීනයේ ජන ජීවිතයේ විශ්වාස සහ සම්ප්‍රදාය මත පදනම් වී ඇති බව කිව හැකි ය. එතුමා ශැන්ග් රාජ්‍ය වංශ පෙළපතට අයත් වූවෙකි. දේශපාලනයට සම්බන්ධ වූ එතුමා පැවසුවේ රාජ්‍ය පාලනය සඳහා හොඳ ම ක්‍රමය පවුලක්‌ විසින් එය පාලනය කරනු ලැබීම බව ය. තමා විඳින්නට අකැමැති දෙයක්‌ අනුන්ට විදින්නට සලස්‌වන්න එපා යන ප්‍රතිපත්තිය එතුමා විසින් දේශනා කරන ලදී. දේශපාලන ජීවිතයේ එතුමාට ලැබුණු උසස්‌ තනාන්තරය වූයේ අපරාධ පිළිබඳ ඇමැතිකම ය.

කොන්ෆියුසියස්‌වාදය චීනයේ ආගමක්‌ ලෙස ඇදහුවා වුව ද ඒ තුළ ආගමික ගුණාංග ඇත්තේ ස්‌වල්පයක්‌ පමණි. සදාචාරාත්මක ජීවිතය පිළිබඳව බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කරන නුමුදු එය ආත්මය වැනි ආධ්‍යාත්මික පැතිකඩ දෙස බලන්නේ මද වශයෙනි. තමා ගේ ම ප්‍රබල මතවාදයක්‌ ඉදිරිපත් නො කර පැරැණි පතපොත අධ්‍යයනය කිරීමෙන් හොඳ ජීවිතයකට මගපාදාගත හැකි බව එතුමා පෙන්වා දුන්නේ ය. නීතිය දැනගැනීමට වඩා කළ යුත්තේ ආදර්ශවත් ජීවිතයක්‌ ගත කිරීම බව එතුමා පැවසුවේ ය. එතුමා ගත කළ ආදර්ශවත් ජීවිතය වියුක්‌ත මූලධර්ම දේශනයට වඩා ජනතාවට ප්‍රයෝජනවත් විය.

යින් සහ යෑන්ග් Yin and Yang යන සංකල්පය කොන්ෆියුසියස්‌ ධර්මයේ මෙන්ම ටාඕ ධර්මයේ ද ලක්‌ෂණයකි. මේ සංකල්පය නිර්මාණය කරන ලද්දේ ෂාහු යෑන් (Shau yan) විසිනි. මෙය විරුද්ධත්වයේ අන්තර් ක්‍රියාව ලෙස හැඳින්විය හැකි ය. (primal interplay of opposites). ජීවිතය පවතින්නේ විරුද්ධ අන්තර් ක්‍රියා තුළ වන්නේ ය. උඩ, යට, උණුසුම, ශීතල, ගැහැනු, පිරිමි, වියළි, තෙත, සතුට, අසතුට යනුවෙන් මේ විරුද්ධත්වය විදහා දැක්‌විය හැකි ය. ජීවිතයේ ශක්‌තිය යින් සහ යෑන්ග් යන්නෙන් පැහැදිලි කරයි. හොඳ සහ දුෂ්ට යන විරුද්ධ පද යින් සහ යෑන්ග් සංකල්පය තුළ දක්‌නට නො ලැබේ. එය සලකන්නේ සැම දෙයක්‌ ම හොඳ ලෙසිනි. නරක ක්‍රියාදාමයන් ලෙස සැලකෙන ගිනිකඳු පිපිරීම්, භු චලන වැනි ස්‌වාභාවික ආපදාවන් නොයෙකුත් හානි සිදු කළා වුව ද අවසාන එලය පෘථිවියට සහ විශ්වයට සහ එහි ශක්‌තියට හොඳක්‌ සිදු වන බව මේ සංකල්පය පෙන්වා දෙයි. යින් සහ යෑන්ග් සංකල්පය ස්‌වභාවධර්මයට කෙතරම් හිතෛෂි ධර්මයක්‌ දැයි මින් පෙන්නුම් කෙරේ. ස්‌වභාවධර්මයේ අනර්ථකාරී විපත් පවා හොඳ දේවල් හැටියට පිsළිගැනීම විශිෂ්ට වූ අදහසක්‌ බව පිළිගත හැකි ය. මෙවැනි අදහසක්‌ යුරෝපීය දර්ශනය තුළ දැකිය නොහැකි ය. යුරෝපීය දර්ශනය ප්‍රමුඛත්වය දෙන්නේ ස්‌වභාවධර්මයට නො ව එය පාලනය කිරීමේ හැකියාව ඇති විද්‍යාත්මක ක්‍රමවලට ය. ස්‌වභාවධර්මය පාලනය කිරීම යුරෝපීය විද්‍යා දර්ශනයේ ලක්‌ෂණයකි.

චීන දර්ශනය ස්‌වභාවධර්මයට පුමුඛත්වය දී ඇත. ස්‌වභාවධර්මය මිනිසාට සේවය කරන්නට සෑදී පැහැදී ඇති ක්‍රියාදාමයක්‌ නො වන බව චීන දර්ශනය පිළිගන්නා බව පෙනෙන්නට ඇත. ගිනි කඳු පිපිරීම්, භූ චලන වැනි ක්‍රියාදාමයන් මිනිසාට විනාශකාරී වූවාට ඒවා දෙස එම දෘෂ්ටියෙන් බලන්නට චීන දර්ශනිකයන් පෙලඹුණේ නැත. එම ක්‍රියාදාමයන් ස්‌වභාවධර්මයට යම් කිසි සේවයක්‌ කරන බව ඔවුහු පිළිගත් හ.

මේ දර්ශනය අප පවසා ඇති අදහසට සමාන බව පෙනී යා යුතු ය. අප පවසා ඇත්තේ මිනිසා නිර්මාණය වී ඇත්තේ ස්‌වභාවධර්මයට සේවය කරන්නට මිස ස්‌වභාවධර්මය නිර්මාණය වී ඇත්තේ මිනිසාට සේවය කරන්නට නො වන බව ය. චීනය ස්‌වභාවධර්මයට ගරු කළේ ස්‌වභාවධර්මයේ අහිතකර ක්‍රියාදාමයන් පිළිබඳව හරි වැටහීමක්‌ ඇති කරගනිමිනි. එම වැටහීම දේව බලයකින් ඔවුනට ලැබුණු දැනුමක්‌ නො ව ඔවුන් ගේ ආනුභාවික විද්‍යා ක්‍රමවේදය භාවිත කොට ලබාගත් දැනුමක්‌ විය. යුරෝපීය දර්ශනය පදනම් වී තිබුණේ දෙවියන් ලෝකය මැව්වේ මිනිසා ගේ ප්‍රයෝජනයට යෑයි පැවසූ දේව වාක්‍යයක්‌ මත ය. මෙවැනි විශ්වාසයකට ඉඩක්‌ නැති බව ස්‌වභාවධර්මය හරිහැටි අධ්‍යයනය කළ චීන දර්ශනිකයෝ විද්‍යාඥයෝ වටහාගත් හ.

චීන දර්ශනය ජීවිතයේ අරුත පිළිබඳව අප පවසා ඇති අදහස්‌ සමග ගැලපෙන බව පැවසිය හැකි ය. අප පවසා ඇති අදහස්‌වලට අනුව මිනිසා පුමුඛත්වයට පත් වන්නේ නැත. එවැනි මිනිසකු තුළ ආත්මයක්‌ තිබිය නොහැකි ය. මිනිසකු තුළ නිත්‍ය වූ සැම දා පවතින ආත්මයක්‌ ඇතැයි කිව හැක්‌කේ මිනිසා ස්‌වභාවධර්මයට වඩා ඉහළින් තබන මතවාදයකට පමණි. මා ඉදිරිපත් කොට ඇති මතවාදය ස්‌වභාවධර්මය මිනිසාට වඩා ඉහළින් තබා ඇත. මිනිසා සේවය කරන්නේ ස්‌වභාවධර්මයට ය. මෙවැනි මිනිසකු තුළ ආත්මයක්‌ තිබිය නොහැකි ය. මෙය නො තේරෙන බහුභූතවාදියා මා ආත්මවාදයක්‌ ඉදිරිපත් කර ඇතැයි පවසයි. මෙවැනි අඥානයන් සමග වාද විවාද කුමට ද?

චීන දර්ශනය තුළින් අප ගේ මතයට සහාය වන වැදගත් කරුණු ඉහත සඳහන් අයුරින් සොයා ගැනීමට අපට පුළුවන් විය. තවත් පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශන මේ අරමුණින් යුතු ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.