logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය (01)

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව ය. පෙර ලිපි 25ක අරමුණ වූයේ විද්‍යා දර්ශනය මගින් ඒ ගැන කරුණු සොයාගත හැකි ද යන්න සොයාබැලීම ය. අප ගේ ජීවිතයෙන් අපට ලැබෙන ප්‍රයෝජනවලට වඩා විශ්වයට ප්‍රයෝජන ඇතැයි යන මතය අපි ඉදිරිපත් කළෙමු. ඊට අවශ්‍ය සාධක ඉදිරිපත් කළෙමු. විශ්වයට ලැබෙන ප්‍රයෝජන කුමක්‌ විය හැකි දැයි පෙන්වා දුන්නෙමු. අප ගේ ජීවිතයේ අරුත විශ්වයේ ප්‍රයෝජනය සඳහා DNA, RNA, ප්‍රොaටීන නිෂ්පාදනය කිරීමට දායක වීම විය හැකි බව පෙන්වා දුන්නෙමු. එහෙත් එම ද්‍රව්‍ය විශ්වයට අවශ්‍ය වන්නේ ඇයි දැයි නො දනිමු. අප නො දන්නා දේ එමට ය. ඒවා පිළිබඳව සොයාබැලීම අත් නො හරිමු.

කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව බව පැහැදිලිව ඔප්පු කොට පෙන්වා දී ඇත්තේ අප ගේ මුල් ලිපි මගිනි. ජීවිතයේ අරුත කුමක්‌ දැයි විද්‍යාව තුළින් සොයා බලන විට ලෝකයේ චීනයේ, ඉන්දියාවේ, අරාබියේ, ඇමෙරිකාවේ තිබූ පැරණි ශිෂ්ටාචාරවල පැවැති විද්‍යාවන් වෙනස්‌ වූයේ ද, එසේ නම් ඒ වෙනස කුමක්‌ද යන්න සොයා බැලිය යුතු ය. එම ලිපිවල විස්‌තර කොට ඇති අන්දමට 12 වැනි ශත වර්ෂයේ දී ටොලිඩෝ විද්‍යාලයීය පරිවර්තකයන් විසින් සිදු කරන ලද මහා ලතින් පරිවර්තනය (The Great Latin Translation) හේතු කොටගෙන අරාබියේ තිබූ විද්‍යාව, දැනුම අතින් පසුබැස සිටි යුරෝපය විසින් සොරාගන්නා ලදී. එය ඔවුන් ගේ විද්‍යාව බව පෙන්වා ලොව ම ජයගන්නට යුරෝපීයයන් පසුබට වූයේ නැත. මේවා ගැන හාංකවිසියක්‌ නො දන්නා පඩියෝ, නැති බටහිර විද්‍යාවක්‌ හඳුනාගෙන කොතැනත් කවදත් තිබූ විද්‍යාව හදාරන අය බටහිර දාසයන් ලෙස හංවඩු ගසති. වෙනත් විද්‍යාවක්‌ කොතැනක හෝ ඇත්දැයි පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට අද වන තෙක්‌ පිළිතුරක්‌ නැත. චීනයේ තිබුණේ වෙනස්‌ වූ විද්‍යාවක්‌ බව විද්වත් ජෝශප් නීඩ්හම් (Joseph Needham) පවසා ඇති බව මේ අඥානයන් පවසා ඇත. ඒ බව විස්‌තර සහිතව පහදා දෙන බව කීව ද තවමත් ඒ ගැන ද වචනයක්‌ නැත.

එහෙත් අප ඒ පැරණි ශිෂ්ටාචාර තුළ තිබූ විද්‍යාව කුමක්‌ දැයි සොයා බලන්නේ ඒවා වෙනස්‌ නිසා නො ව ඒ තුළින් ජීවිතයේ අරුත පිළිබඳ අප ඉදිරිපත් කොට ඇති අදහස්‌වලට ආධාර වන කරුණු ඇති දැයි දැනගැනීමට මෙන්ම එම විද්‍යාවට පසුබිම් වූ දර්ශනය කෙතරම් ශක්‌තිමත් ද යන්න දැනගැනීමට ය. 15 වැනි ශත වර්ෂයට පෙර චීනය විද්‍යාව අතින් යුරෝපයට වඩා අවුරුදු සිය ගණනකින් ඉදිරියෙන් සිටියේ ය.

පළමුව චීනයේ පැරණි ශිෂ්ටාචාරය සහ එහි පැවති දර්ශනය පිළිබඳ තොරතුරු කෙටියෙන් සොයා බලමු. චීන ශිෂ්ටාචාරය අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණි වූවකි. චීන දර්ශනය පිළිබඳ ප්‍රථමයෙන් ලියෑවී ඇති යර්න්ග් (The Book of Changes) නමැති පොත ක්‍රි. පූ. 672 වර්ෂයේ ලියවුණු කෘතියකි. Warning States නමින් හැඳින්වෙන යුගයේ Hundred Schools of Thought නමැති කාල පරිච්ඡේදයේ දී චීන දර්ශනය බිහි වූ බව පැට්‌ටි්‍රෂියා ඒබ් (Patricia
Ebey 2010) පවසයි. මේ කාලයේ "කොන්sයුසියස්‌ ධර්මය නීතිගරුක වාදය (Legalism) ටාඕ ධර්මය වැනි දර්ශන බිහි විය. ක්‌වින් රාජවංශයට (Qin Dynasty) පසුව කොන්sයුසියස්‌ ධර්මය පුමුඛත්වයට පත් විය. ඊට විරුද්ධ වන්නට හැකි වූයේ නීතිගරුකවාදයට සහ මොහිස්‌ ධර්මයට පමණි. නීතිගරුකවාදය නැති වී ගියා වුව ද එහි ගැබ් වූ අදහස්‌ රාජවංශ පාලනය යටපත් වන තුරු චීන සමාජයේ පැවතිණිs. චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස සැලකෙන්නේ කහ ගං (yellow river) නිම්නයි. චීනයේ මිනිස්‌ වාසය ආරම්භ වූයේ අවුරුදු මිලියනයකටත් කලින් බව පැවසේ. අවුරුදු මිලියන 1.36 කට කලින් භාවිත වූ ගල් ආයුධ චීනයේ Xiachangliang නමැති කැණීම් ස්‌ථානයෙන් සොයාගෙන ඇත. චීනයේ පළමු වතාවට ගින්දර පාවිචිච් කොට ඇත්තේ අවුරුදු මිලියන 1.27කට පෙර බව ද සොයාගෙන ඇත. කෘෂිකර්මය ආරම්භ වූයේ ක්‍රි.පූ 7000 දී පමණ ය. කෘෂිකර්මය නිසා බිහි වූ සංස්‌කෘතියේ ලක්‌ෂණ වන ගලේ නෙළුE සූර්යයා, සඳ, තරු, දෙවියන් වැනි කැටයම් රාශියක්‌ ක්‍රි. පූ. 6000-5000 කාලයේ තිබුණු බව සොයාගෙන ඇත. ක්‍රි. පූ. 5500 - 4900 කාලයේ පැවැති දියුණු නිර්මාණයන් සහිත ජනාවාසයක ලකුණු වන ගෙවල් දොරවල්, හැලි වළං, වැනි දේ සහිත ගම්මානයක නටබුන් සොයාගෙන ඇත. කහ ගං නිම්නයේ සහ ඒ අවට පැවැති සංස්‌කෘති කිහිපයක්‌ හැඳිනගෙන ඇත. ඒවා නම් - Peiligang Culture (5500 4900 BC, Yangsha Culture (5000-3000 BC), Longshan Culture (3000 2000 BC) වේ. එසේ ම පැරැණි රාජවංශ පාලන බොහොමයක්‌ හඳුනාගෙන ඇත. ඒවා නම්, Xia Dynasty (2100 1600 BC), Shang Dynasty (1600-1046 BC), Zhon Dynasty (1046-256 BC), Spring and Autumn Period (722 476 BC), Warring States period (476-221 BC), Qin Dynasty (221-206 BC), Hon Dynasty (202 BC AD 220) Southern & Northern Dynasties (AD 420 589), Sui Dynasty (AD 589-618) Tang Dynasty (AD 618 907) Yuon Dynasty (AD 1271 1368) Ming Dynasty (AD 1368-1644). අවසානයේ පැවැති Ming Dynasty පාලනය පෙරළා දමා Sun Yesten චීන ජනරජයක්‌ පිහිටුවන ලදී. ඊට පසු වර්ෂ 1925 දී චියෑන්ග් කයිෂෙක්‌ විසින් පාලනය සිය අතට ගෙන අලුතින් පිහිටුවන ලද චීන කොමියුනිස්‌ට්‌ පක්‌ෂයට විරුද්ධ ව සටන් වැදිණි. මාඕ සේතුං විසින් සංවිධානය කරන ලද කොමියුනිස්‌ට්‌ පක්‌ෂය වර්ෂ 1949 පමණ වන විට චීනයේ පාලනය ඔවුන් ගේ යටතට පත් කරගන්නා ලදි.

අවුරුදු 2500කට පෙර Warring States periodා නමැති කාල පරිච්ඡේදයේ දී නොයෙකුත් මතවාදී ගුරුකුල සංඛ්‍යාවක්‌ චීනයේ නොයෙක්‌ ප්‍රදේශවලින් මතු විය. මේවා Hundred schools of thought නමින් හැඳින්වේ. විද්වත් ජෝශප් නීඩහම් මේ ගුරුකුල පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කොට ඇත. මේ ගුරුකුල විසින් පාලකයන්ට නිතර අවවාද කරන ලදී. උදාහරණයක්‌ ලෙස ස්‌වර්ණමය යුගයක්‌ නිර්මාණය කළ හෑන් රාජවංශ පාලකයන්ට නීතිය ක්‍රමවේදයට වඩා වැදගත් බව පෙන්වා දෙන ලද්දේ එවැනි ගුරුකුලයක්‌ විසිනි. හරස්‌ දුන්න (cross bow) නිර්මාණය වූයේ Qin dynasty කාලයේ ය. පසු කාලයක මේ ආයුධය යුරෝපයේ ප්‍රධාන අවියක්‌ බවට පත් විය. මේ ලෙස ම තාරකා ශාස්‌ත්‍රය, වෛද්‍ය විද්‍යාව, ගණිතය, වැනි විද්‍යාවන් දියුණු වූයේ ය. මහා නිර්මාණ සතර යනුවෙන් හැඳින්වෙන වෙඩි බෙහෙත්, මුද්‍රණ යන්ත්‍රය, මාලිමා යන්ත්‍රය සහ කඩදාසි පළමුවෙන් ම නිර්මාණය කරන ලද්දේ චීනයේ ය.

මෙවැනි දැවැන්ත විද්‍යාත්මක සහ තාක්‌ෂණ දියුණුවක්‌ ලබාගැනීමට චීනයේ පැවැති දර්ශනය කුමක්‌ දැයි සොයා බලමු. ශැන්ග් රාජ්‍ය වංශ කාලයේ (1600-1046 BC) අදහස්‌ නිර්මාණය වීම චක්‍රීය පදනමක්‌ මත සිදු විය. මේ චක්‍රීය පදනමේ බිහි වීම ස්‌වාභාවික ක්‍රියාදාමයන් වන රෑ දවල්, සූර්ය ගමන, කාලගුණය වැනි චක්‍රීය ක්‍රියාදාමයන් තුළින් සිදු වූ බව සිතිය හැකි ය. මේ චක්‍රීය වූ දර්ශනය යුරෝපයේ පැවති කාලය යන සංකල්පය තුළින් බිහි වූ රේය පදනමක්‌ මත බිහි වූ දර්ශනයට ඉඳුරා ම වෙනස්‌ විය.

මීට පසු බිහි වු ෂාහු රාජ්‍ය වංශය කාලයේ දී නව දාර්ශනික අදහස්‌ එකතු විය. Mandate of Heaven (ස්‌වර්ග වරම) යනුවෙන් හැඳින්වූ මේ අදහස්‌ විසින් අධ්‍යාපනය වැනි දේ අගය කරන ලදී. තව ද දෙවියන් පිළිබඳ විශ්වාසය තරමක්‌ දුරට අඩු වී ලෞකික දේ කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය විය. කොන්ෆියුසියස්‌ ධර්මය ස්‌ථාපිත වීමෙන් පසුව ද මේ චක්‍රීය පදනම සහිත වූ දර්ශනය චීනයේ සෑම ක්‍රියාදාමයක්‌ මත බලපෑමක්‌ සිදු කළ බව පෙනේ. එම ධර්මය විසින් නිර්මාණය කරන ලද යින් යෑන්ග් නමැති සංකල්පය ද චක්‍රීය වූ එකක්‌ බව පිළිගත හැකිය. ස්‌වභාවධර්මයේ ආශීර්වාදයෙන් බිහි වූ මේ දර්ශනය හේතු කොටගෙන සම්පත් භාවිත කිරීමේ දී අපතේ යැම අවම කරගැනීමට චීන ඉංජිනේරුවරු සමත් වූ හ. උණ බම්බුවලින් කළ හැකි වැඩකට ඔවුන් යකඩ යොදාගත්තේ නැත. වානේ සෑදීම යකඩ උණු කිරීම වැනි තාක්‌ෂණයෙන් යුරෝපයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි නුමුදු ඔවුන් ඒවා භාවිත කළේ අත්‍යවශ්‍ය අවස්‌ථාවල දී පමණි.

යුරෝපයේ ඉංජිනේරුවරුන් සම්බන්ධයෙන් භාවිත කරන භාෂාව මිලිටරි නැත හොත් හමුදාමය සම්බන්ධතාවක්‌ පෙන්නුම් කළේ ය. එහෙත් චීනයේ මේ භාෂාව සිවිල් සමාජය සමග වැඩි සම්බන්ධතාවක්‌ තිබූ බව විද්වත් ජෝශප් නිඩ්හම් පවසයි. ඉංජිනේරුවරු ස්‌වල්ප දෙනෙක්‌ රජයේ සේවකයන් ලෙස රජයට අවශ්‍ය නොයෙකුත් භාණ්‌ඩ නිෂ්පාදනය කළෝ ය. මේ ඉංජිනේරුවරුන් සහ කාර්මික ශිල්පීන් ඔවුන් ගේ අධ්‍යාපනික සහ සමාජීය පසුබිමට අනුව කොටස්‌ පහකට බෙදිය හැකි ය. පළමුවෙන් ඉහළ නිලධාරීන් ගෙන් පැවත එන්නන් විය. ඊළඟට සාමාන්‍ය ජනතාව ගෙන් පැවත එන්නන් ද ඊට පසු අර්ධ වහල් භාවයේ සිටින්නන් ගෙන් පැවත එන්නන් ද විය. හතරවැනි කණ්‌ඩායම වූයේ වහලුන් ය. පස්‌වැනි කණ්‌ඩායම වූයේ සුළු නිලධාරීන් ය. මේ කොටස්‌වලින් පළමුවැනි කණ්‌ඩායමෙන් උදාහරණයක්‌ ගෙන හැර දක්‌වමු. ශැන්ග් හෙන්ග් නමැති ක්‍රි. ව. 120 දී ජීවත් වූ ඉංජිනේරුවරයා මුළු ලෝකයෙන් ම පළමුවැනි වතාවට භූචලන මානය නිර්මාණය කළේ ය. ඔහු අති දක්‌ෂ ගණිතඥයෙක්‌ ද විය. ඊළගට පහත් යෑයි සැලකෙන සමාජ ස්‌ථරයකින් තවත් උදාහරණයක්‌ ගනිමු. ෂින්ඩු ශැන්ග් ක්‍රි. ව. 525 අර්ධ වහල් භාවයේ සිටියෙක්‌ විය. එහෙත් ඔහු ගේ නිර්මාණ ඉතා ම වැදගත් ඒවා විය. තාරකා ශාස්‌ත්‍රයේ අති දක්‌ෂකම් පෙන් වූ ඔහු එම අංශයේ අගනා ග්‍රන්ථයක්‌ ද නිර්මාණය කළේ ය.

මින් පෙන්නුම් වන්නේ චීනයේ පැරැණි ශිෂ්ටාචාරයේ දක්‌ෂයකුට නිර්මාණය පිළිබඳව වැට කඩොලූ බැඳ නො තිබුණු බව ය. වහලකුට වූව ද හැකියාව තිබේ නම් තම දක්‌ෂකම් පෙන්වීමේ ඉඩ ප්‍රස්‌ථාව නොමඳව ලැබුණු බව පෙනේ. යුරෝපීය රටවල මෙවැනි පහත් යෑයි සැලකෙන සමාජ ස්‌ථරවල ජීවත් වූ මිනිසුන් නව නිර්මාණ නිසා ප්‍රසිද්ධ වූයේ කලාතුරකිනි. චීනයේ දහස්‌ ගණනක්‌ මෙවැනි අය බිහි වූ බව විද්වත් නිඩ්හම් පවසයි. මෙවැනි ඉංජිනේරුවරුන් සහ කාර්මික ශිල්පීන් විසින් නව නිර්මාණ දස දහස්‌ ගණනක්‌ චීනය පුරා නිපදවන ලදී.

නව තාක්‌ෂණික නිර්මාණ පමණක්‌ නො ව විද්‍යාව සහ එහි න්‍යාය, සිද්ධාන්ත, මතවාද, පිළිබඳව ද මේ නිර්මාණකරුවෝ පොත් පත් ලිවීමෙහි යෙදුණෝ ය. උදාහරණයක්‌ ලෙස යැන් ෂු (ක්‍රි.ව. 1030) වනාහි විවිධ ක්‍ෂෙත්‍රයන්හි උපරිම දක්‌ෂකම් පෑ විද්වතෙක්‌ විය. පොත්පත් ලිවීම, චිත්‍ර කර්මය, තාක්‌ෂණික විද්‍යාව, වැනි ක්‍ෂෙත්‍රයන්හි ඔහු වැජඹුණේ ය. ඔහු ලියූ නිබන්ධ කාලය, වඩදිය බාදිය වැනි තේමාවන් පිළිබඳව විය. මෙවැනි පොත්වලින් එළි වන එක්‌ දෙයක්‌ ඇත. ඒ මේ නිර්මාණවලට අවශ්‍ය දැනුම ඔවුන් ලබාගත්තේ ආනුභාවික ක්‍රමවලින් බව ය. ඔවුන් ගේ දෛනික ජීවිතයේ ලැබෙන අත්දැකිම් පිළිබඳ නිරීක්‌ෂණ, පරීක්‌ෂණ සහ නිගමනවලට ඔවුන් යොමු වූ බව මේ පොත් පත්වලින් එළිදරව් වේ.

චීනයේ තිබුණේ කවදත් කොතැනත් තිබුණු විද්‍යාව ය. මේ බව විද්වත් ජෝශප් නීඩ්හම් ඉතා ම පැහැදිලි ලෙස එතුමා ගේ Science and Civilization in China (1954) නමැති ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. මේ බව නො දන්නා ලෝකයේ විද්‍යාවන් බොහොමයක්‌ තිබෙනවා යෑයි සිතන අඥානයෝ, තවමත් ලෝකය පැතලි යෑයි සිතන අඥානයින් මෙන්, බහුභූත දොඩවති. එවැනි විද්‍යාවන් තිබේ නම් පෙන්වා දෙන්නැයි කළ අභියෝගයට පිළිතුරු තවමත් නැත. විද්වත් මාර්ටින් වික්‍රමසිංහයන් පැවසූ දෙය විකෘති කොට දක්‌වනවාට වඩා යමක්‌ කීමට ඔවුනට නුපුළුවන. ඔවුන් කළ යුත්තේ වෙනත් විද්‍යාවක්‌ ඇතොත් එය කුමක්‌ දැයි පෙන්වා දීම ය. එවැනි විද්‍යාවක ක්‍රමවේදය කුමක්‌ දැයි පහදා දීම ය. එසේ නො කර, අනන් මනන් දොඩවමින්, පත්තර පිටු පුරවන්නේ නැති ඥානවන්තභාවයක්‌ ආරූඪ කරගැනීමට ය. වෙන වැඩක්‌ නැති නිසා ය. මේ මෝඩකම පෙන්වා දීමට විද්වතුන් කිහිප දෙනකු ම දැන් ඉදිරිපත් වී සිටීම භාග්‍යයට කාරණයකි.

යුරෝපයේ වූයේ කාලය මත පදනම් වූ රේය දර්ශනයකි. චීනයේ පැවතුණේ ස්‌වභාවධර්මය, ඉර, හඳ, තාරකා, මුල් කරගත් චක්‍රීය දර්ශනයකි. එහෙත් මේ දර්ශනයන් ප්‍රතිවිරුද්ධ වූවාට ඒවා තුළින් වර්ධනය වු විද්‍යාව එක ම විද්‍යාවක්‌ විය. වෙනත් දෙයක්‌ සිදු විය නොහැකි ය. යුරෝපයේත් චීනයේත් ඇත්තේ එක ම ස්‌නායු පද්ධතියකි. එසේ ම එක ම ස්‌වභාවධර්මයකි. එක ම ස්‌නායු පද්ධතියක්‌ එක ම ස්‌වභාවධර්මය පිළිබඳව සොයා බැලිය හැක්‌කේ මූලිකව එක ම ක්‍රමවේදයකට අනුව ය. වෙනස්‌ විද්‍යාවක්‌ තිබිය නොහැකි ය. මීට චීනයේ විද්‍යා ඉතිභාසය සාක්‌ෂි දරයි. මේ පිළිබඳව ඉදිරි ලිපිවල තවත් කරුණු සාකච්ජා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.