logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම (25)

අප සාකච්ජා කරමින සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳ යම් අදහසක්‌ විද්‍යාව තුළින් ලබා ගත හැකි දැයි යන්න ගැන ය. අප පවසා ඇත්තේ ජීවිතයේ අරුත විය හැක්‌කේ ජාන වර්ධනය බව ය. මේ අදහසට ළඟා වීමට ඉවහල් වූ කරුණු යළිත් වරක්‌ ආවර්ජනය කිරීම කියවන්නන් ගේ ප්‍රයෝජනය පිණිස විය හැකි ය.

1. අප කෙටි කාලයක්‌ නොසතුටින් ජීවත් වී මරණයට පත් වන්නේ ය.

2. මෙහි තේරුම කිම?

3. අප සැම දා සතුටින් ජීවත් වන්නේ නම් මේ ප්‍රශ්නය නො නැෙග්.

4. මේ ප්‍රශ්නය අප කවුරුත් පුන පුනා අසන්නේ ජීවිතයේ යම් කිසිවක්‌ අප ගේ ප්‍රයෝජනය සඳහා තිබිය යුතු යෑයි යන ස්‌ථාවරයේ පිහිටා ය.

5. එහෙත් එවැනි ස්‌ථාවරයක පිහිටීමට අපට අයිතියක්‌ නැත.

6. මක්‌ නිසා ද අප ගේ ජීවිත අපට නො ව විශ්වයේ වෙනත් දෙයක ප්‍රයෝජනය පිණිස විය හැකි බැවිනි.

7. අප ගේ මරණින් පසු (ඊළඟ පරපුර තුළ) ඉතිරි වන්නේ අප ගේ ජාන ය. ඒවා ඊළඟ පරම්පරාව තුළ වෙනස්‌ වී දියුණු වී දිගට ම පවතිනවා ඇත.

8. අප ගේ ජීවිත සැකසී නිර්මාණය වී ඇත්තේ ජාන වෙනස්‌ කිරීමට, දියුණු කිරීමට සහ අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ය.

9. මෙසේ දියුණු වන ජාන හෝ ඉන් ලැබෙන වෙනත් එලයක්‌ හෝ විශ්වයේ කුමක්‌ හෝ ක්‍රියාදාමයකට ප්‍රයෝජනවත් විය හැකි ය.

මේ අදහස බටහිර එකක්‌ නො වන්නේ ය. අප ගේ ජීවිතයේ අරුත පිළිබඳව බටහිර දර්ශනයේ මූලික ම අදහස්‌ දෙකක්‌ ඇත. එකක්‌ මැවුම්කාර දෙවියකු සමඟ සම්බන්ධ වී ඇත. අනෙක එවැනි දෙවියකු නැතැයි යන මතවාදය වන්නේ ය. මේ මතවාද දෙකේ නොයෙකුත් ගු=රුකුල තිබෙන බව පෙනේ. උදාහරණයක්‌ ලෙස අදේවවාදය තුළ ද්‍රව්‍යවාදය තිබිය හැකි ය. ද්‍රව්‍යවාදීන් හෝ වෙනත් අදේවවාදී ගණයට අයත් කිසිවකු හෝ ඉහත සඳහන් අදහස ඉදිරිපත් කොට නැත.

අප ගේ අදහස මැවුම්කාර දේවවාදය සමඟ එකඟ වන්නේ නැත. මක්‌ නිසාද දේවවාදයට අනුව මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේ ය. මරණින් පසු මිනිසා දෙවියන් සමග එකතු වන්නේ ය. මේ වාදයට අනුව මිනිසා මවා ඇත්තේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස ය. මිනිසා මූලික මැවීම වන්නේ ය. අන් සියල්ල මවා ඇත්තේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස ය. මා ඉහත සඳහන් කොට ඇති අදහස මීට හාත්පසින් විරුද්ධ වන්නේ ය.

ද්‍රව්‍යවාදීන් පවසන්නේ ජීවිතය ද්‍රව්‍ය මිස වෙන දෙයක්‌ නො වන බවත් ඊට හේතුවක්‌ හෝ අරුතක්‌ තිබිය නොහැකි බවත් ය. ජීවත් වන කෙටි කාලය තුළ පුළුවන් තරමින් විනෝද වී මරණයෙන් අවසන් වීම ජීවිතයේ තේරුම වන්නේ ය. එහෙත් විනෝදකාමී ජීවිතයක්‌ අපට ගත කළ හැකි ද? අප ගේ ජීවිත දුක්‌ත බව බුදුන් පමණක්‌ නො ව අනෙකුත් ආගමික කර්තෘවරුන් ද පෙන්වා දී ඇත. දුකින් මිදෙන ක්‍රමය මේ ආගමික කර්තෘවරුන් පෙන්වා දී ඇත. අපට දුකක්‌ නැත්නම් ආගම්වල අවශ්‍යතාව ද නැති තරම් ය. දුකට හේතුව ලෙස බුදුන් පෙන්වා දුන්නේ තෘෂ්ණාව ය. මෙහි සත්‍යය අප ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් තුළින් දැන ගත හැකි ය. ක්‍රිස්‌තියානි ආගමට අනුව අප ගේ ජීවිත දුක්‌ත වී ඇත්තේ මුලින් ම මැවූ මිනිසා සහ ගැහැනිය පාපී ක්‍රියාවක්‌ සිදු කළ නිසාය. අප පාපී ක්‍රියාවේ බැඳෙනසුලු වන්නේ ය. දෙවියන්ට භක්‌තිය දැක්‌වීමෙන් පාපයෙන් ගැලවෙන්නට පුළුවන. පාපය යනු තෘෂ්ණාවෙන් හට ගැනෙන දෙයක්‌ බව කිව යුතු ය.

තෘෂ්ණාව අපට ජන්ම වී ඇත්තේ කෙසේ ද? එය කොහෙන් ආපු දෙයක්‌ ද? තෘෂ්ණාව යම් ප්‍රමාණයකට සත්ත්වයන් තුළ ද තිබෙන බව කිව හැකි ය. කාම ආශාව සත්ත්වයින් තුළ දැකගත හැකි ය. එසේ ම උන් ගේ ගෙවල් ලස්‌සනට සාදා ගැනීමේ ආශාව ද දැකගත හැකි ය. අයිති කරගැනීමේ ආශාව ද සත්ත්වයන් තුළ අඩු වැඩි වශයෙන් දැකගත හැකි ය. මේ ආශාවන් වර්ධනය වී පරිණාමය මාර්ගයෙන් මිනිසා තුළ ද දැකිය හැකි ය. මිනිසා තුළ ඇත්තේ ඉතා ම උග්‍ර ලෙස වර්ධනය වී ඇති තෘෂ්ණාවකි. තෘප්තියට පත් නොවන සන්සිඳ වීමට අමාරු තෘෂ්ණාවකි, අප තුළ ඇත්තේ. තෘප්තියට පත් නො වන නිසා ඒ තුළින් දුක මතු වේ. මෙලෙස ඇති වන දුක සත්ත්වයන් තුළ ද ඇති වේ යෑයි සිතිය හැකි ය.

මිනිසා ඇතුළු සත්ත්වයා තුළ තෘෂ්ණාව ඇති වීමට හේතුවක්‌ ඇති ද? අප මොහොතකට ආගම් අමතක කොට ජීව විද්‍යාව තුළින් මේ ගැන සොයා බලමු. සත්ත්වයන් තුළ කාම ආශාව නැතිනම් ජීවීන් ගේ ප්‍රජනනය සිදු නො වන්නට ඉඩ ඇත. අලිංගික ප්‍රජනනය නොදියුණු ජීවීන් තුළ දක්‌නට ලැබුණ ද දියුණු සත්ත්වයන් තුළ එය දක්‌නට නොමැත. කෑමට ආසාවක්‌ නැති නම් අපට කෑම ගත නොහැකි ය. ජීවත් වීමට අවශ්‍ය අනෙකුත් දේ පිළිබඳව ඇති ආශාව ගැන ද කිව හැක්‌කේ මෙය ම ය. එහෙත් ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ ආශාවන් වැඩි වී ඇත. මෙසේ වැඩි වීම එම ආශාවන් ගේ ස්‌වභාවය වන්නේ ය. එය ජීව පරිණාමය මගින් සිදු වූ දෙයක්‌ බව කිව හැකි ය. පරිණාම වෘක්‌ෂයේ දියුණු යෑයි සැලකෙන සත්ත්වයන් තුළ ඇති ආශාවන් නොදියුණු යෑයි සැලකෙන ජීවීන් ගේ ආශාවන්වලට වඩා වැඩි ය. පරිණාම වෘක්‌ෂයේ ඉහළට යන විට ජීවීන් ගේ ආශාවන් වැඩි වන බව පෙනෙන්නට ඇත. මේ ලෙස ආශාවන් වැඩි වීම ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයකි. පරිණාමය ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයක්‌ වන නිසා ය. මෙය අහඹු සිදුවීමක්‌ නො වේ. හේතුවක්‌ නොමැති ව සිදු වූ දෙයක්‌ නො වේ. ඊට හේතුවක්‌ නැතැයි කීම මුළු විශ්වයට හේතුවක්‌ නැතැයි කීම හා සමාන ය. එය ද්‍රව්‍ය වාදය තුළින් මතු වන අදහසකි. ද්‍රව්‍ය වාදය පවසන්නේ ද්‍රව්‍ය පවතින්නේ ද්‍රව්‍ය සඳහා මිස වෙන දෙයක්‌ පිණිස නො වන බව ය. ද්‍රව්‍යවලට හේතුවක්‌ නැත.

ද්‍රව්‍යවලට, විශ්වයට ජීවිතයට අරුතක්‌ ඇත්නම් ජීවින් ගේ ආශාවන්ට ද ඒවායේ වර්ධනයට ද අරුතක්‌ තිබිය යුතු ය. මෙසේ වර්ධනය වන ආශාවන් නිසා සිදු වන්නේ කුමක්‌ ද? අයිsති කරගැනීමේ ආශාව, රැස්‌ කරගැනීමේ ආශාව උදාහරණයක්‌ ලෙස ගනිමු. මේ ආශාව නිසා නොයෙකුත් භාණ්‌ඩ, යුද උපකරණ, බෝම්බ නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව හටගනී. අලුත් විසිතුරු සිත්ගන්නාසුලු භාණ්‌ඩ නිෂ්පාදනය සිදු වේ. සැප පහසුවට ඇති ආශාව නිසා ඒ ලෙස ම නව භාණ්‌ඩ නිෂ්පාදනය වේ. ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමේ ආශාව නිසා අලුත් බෙහෙත් වර්ග උපකරණ නිෂ්පාදනය වේ. ගවේෂණය කිරීමේ ආශාව නිසා අලුත් වාහන, නැව්, ගුවන් යානා, රොකට්‌ නිෂ්පාදනය වේ. මේ භාණ්‌ඩ නිෂ්aපාදනය කිරීමේ දී දැනුම ඥානය වැනි මිනිස්‌ මොළය සමග සම්බන්ධ ක්‍රියාදාමයන් වැඩි දියුණු වේ. මේ වැඩි දියුණු වූ ඥානය ජාන මාර්ගයෙන් ඊළඟ පරම්පරාවට උරුම වේ. වැඩි වන ආශාව ද උරුම කෙරේ. ආශාවට හේතුව මෝඩකම නම් එය ද ඊළඟ පරම්පරාවට තවත් වර්ධනය වී උරුම වේ.

ඒක සෛලී ජීවියා ගෙන් පටන්ගෙන විශාල දුරක්‌ ගෙවා ඉතා ම ඥානවන්ත වූ මිනිසා වෙතට අප පැමිණ ඇත. මෙය මෙසේ සිදුවීමට ඇති හේතුව කවරේ ද? හේතුව අපි නො දනිමු. එහෙත් හේතුව නො දන්නාකම හේතුවක්‌ නැතැයි කීමට සාධකයක්‌ නො වේ. හේතුව සෙවීමට අප දායක විය යුතු ය. මෙවැනි ජීව පරිණාමයක්‌ සිදු වන්නේ විශ්වයේ අවශ්‍යතාවකට බව පැවසිය හැකි ය. ජීවීන් විශ්වයේ කොටස්‌කරුවන් ය. විශ්වයට අරුතක්‌ ඇත්නම් එම අරුතේ කොටස්‌කරුවන් ලෙස ජීවීන් ද සිටිය යුතු ය. විශ්වය යම්කිසි අරුතක්‌ ඇති ව ක්‍රියාදාමයක යෙදෙනවා විය යුතු ය. එම ක්‍රියාදාමයේ අත්‍යවශ්‍ය කාර්යභාරයක්‌ ජීවීන් සිදු කරනවා විය යුතු ය. විශ්වයේ ජීවීන් සිටින්නේ පෘථිවියේ පමණක්‌ යෑයි සිතීමට කිසි ම හේතුවක්‌ නැත. නව සොයාගැනීම්වලට අනුව විශ්වයේ ග්‍රහලෝකවලින් 5%ක පමණ ජීවීන් ගේ පැවැත්මට සුදුසු පරිසරයක්‌ ඇති බව පැවසේ. මෙය සත්‍ය නම් මේ සැම ග්‍රහ ලොවක ම අප වැනි ම ජීවීන් සිටිනවා විය හැකි ය. ඔවුන් ද අප වැනි ම ක්‍රියාදාමයක්‌ ඉටු කරනවා විය හැකි ය. ඔවුන් ද පරිණාමය මාර්ගයෙන් දියුණු වූ ඥානය උග්‍ර වූ තෘෂ්ණාව තාක්‌ෂණ දැනුමින් යුක්‌තව තව තවත් ඉදිරියට හෝ දියුණුවට හෝ යනවා විය හැකි ය. ඥානයේ වර්ධනය දියුණුවක්‌ නැත හොත් හොඳ දෙයක්‌ ලෙස සලකන්නේ අප ය. ස්‌වභාවධර්මය එසේ සලකන්නේ නැත. ඊට අවශ්‍ය කාර්යභාරය එය විසින් ජීවියා ලවා ඉටු කරගනී. හොඳ ගතිගුණ හොඳ නේ ද? නරක ගතිගුණ නරක නේ ද? යනුවෙන් කෙනකුට තර්ක කළ හැකි ය. ඒ අපට පෙනෙන අන්දම ය. අප සිත් තුළ ඇති කරුණාව දයාව නිසා හොඳ ගති ගුණ නමින් හැඳින්වෙන ගුණාංග අපි හඳුනාගනිමු. එලෙස ම නරක ගතිගුණ නරක ලෙස හැඳිනගනිමු. මේ ගුණාංග සියල්ල ම නිසා ජාන වර්ධනයේ වෙනස්‌කම් සහ ස්‌වාභාවික වරණය මගින් සිදු කරන ක්‍රියාවලිය මගින් ස්‌වභාවධර්මයට අවශ්‍ය දෙය සිදු වනවා ඇත. අප අතර සිටින්නේ කරුණාව දයාවෙන් පිරි පුද්ගලයන් නම් ඔවුහු හොඳ ගතිගුණ හඳුනාගනිsති. අප අතර සිටින පුද්ගලයන් නරක ගතිගුණ ඇති අය නම් එම ගතිගුණවලින් ඔවුහු එල ප්‍රයෝජන ලබාගනිති. ස්‌වභාවධර්මයට මේ දෙගොල්ලන් ගෙන් ම ප්‍රයෝජන තිබෙන්නට පුළුවන. ඒ ජාන වර්ධනය පිණිස ය.

මේ ලෙස වර්ධනය වූ ජාන සම්භාරයක්‌ විශ්වයේ ඇත. තව ද මේ ජාන මගින් නිර්මාණය වූ ප්‍රොaටීන විශ්වයක්‌ ද (protein universe) ඇති බව පෙර ලිපිවල සඳහන් ය. DNA, RNA, ප්‍රොaටීන නමැති ද්‍රව්‍ය තුන විශ්වය විසින් විශාල වශයෙන් නිර්මාණය කොට ඇති බව ද පෙර ලිපිවල සඳහන් ය. ඒවා නිපදවන්නේ ජීවීන් ගේ ශරීරය තුළ ය. ජීවියා මරණයට පත් වේ. එහෙත් ස්‌වභාවධර්මයට අවශ්‍ය පරිදි පරිණාමය සහ ස්‌වාභාවික වරණය මගින් DNA, RNA, ප්‍රොaටීන් වර්ධනය නො නැවතී ඉදිරියට යයි. මේ ක්‍රියාදාමය මෙහෙයවනු ලබන්නේ ශක්‌තිය විසින් බව අප පෙන්වා දී ඇත. DNA මගින් ප්‍රොaටීන නිර්මාණය වීම ශක්‌තිය විසින් පාලනය කෙරෙයි. ස්‌වාභාවික වරණය ශක්‌තිය විසින් පාලනය කෙරෙයි. මේවා පිළිබඳ දීර්ඝ විස්‌තර මීට පෙර ලිපිවල සඳහන් කොට ඇත.

විශ්වයේ ඇත්තේ ශක්‌තිය මූලික වූ ක්‍රියාදාමයකි. විශ්වයේ තැනින් තැන එකතු වී ඇති ද්‍රව්‍ය ශක්‌තියේ ම එකතු වීමක්‌ මිස වෙන දෙයක්‌ නො වේ. අප ඇතුළු ජීවීන් ශක්‌ති පුංජයන් ලෙස හැඳින්විය හැකි ය. ශක්‌තිය විශ්වයේ හැසිරෙන අන්දම නොයෙකුත් න්‍යාය මගින් පහදා දීමට විද්‍යාඥයන් තැත් කර ඇති අන්දම පෙර ලිපිවල විස්‌තර සහිතව සඳහන් වී ඇත. විද්වත් ඇරිස්‌ටෝටල් ගෙන් පටන්ගෙන විද්වත් නිව්ටන් දක්‌වා ද, විද්වත් අයින්ස්‌ටයින් දක්‌වා ද, විද්වත් නීල්ස්‌ බෝර් දක්‌වා ද ඔවුන් නිර්මාණය කොට ඇති න්‍යාය ශක්‌තිය මුල් කොටගෙන නිර්මාණය වී ඇති බව පෙනී යා යුතු ය. ශක්‌තිය පිළිබඳ නිර්මාණය වී ඇති ප්‍රධාන න්‍යාය වන්නේ ශක්‌තිය සංරක්‌ෂණය (energy conservation) යන්න ය. තාප ගතික විද්‍යාවේ න්‍යාය ද ශක්‌තිය හැසිරෙන අන්දම පහදා දෙයි. ශක්‌තිය පිළිබඳ තවත් න්‍යාය බොහොමයක්‌ ඇත. මේවා ගැන විස්‌තර වශයෙන් පෙර ලිපිවල සඳහන් වේ.

අපගේ ජීවිතයේ අරුත ශක්‌තිය විසින් පාලනය කෙරෙන බව පෙනී යා යුතු ය. විශ්වය ශක්‌තියට සමාන ය. වෙන දෙයක්‌ නැත. අප එකිනෙකාට ප්‍රේම කළත් වෛර කළත් ශක්‌තිය නමැති විශ්වයට ඉන් කම් නැත. විශ්වය, ප්‍රේමය සහ වෛරය ද ශක්‌තිය මගින් පහදා දිය හැකි ය. DNA, RNA, ප්‍රොaටීන විශ්වයේ යම්කිසි ක්‍රියාදාමයකට අත්‍යාවශ්‍ය විය හැකි ය. එම නිසා ය ජීවීන් මරණයට පත් වුවත් ඒවා විනාශ නො වී සත්ත්ව ප්‍රජනනය මගින් කල් පවතින ලෙස නිර්මාණය වී ඇත්තේ. සත්ත්ව ප්‍රජනනය වෙන කුමක්‌ සඳහා නිර්මාණය වී ඇත් ද? ස්‌වභාවධර්මයට අවශ්‍ය වූයේ ජීවියකු නිර්මාණය කිරීම නම් නො මැරෙන සතුටින් ඉන්නා ජීවියෙකු නිර්මාණය කළ හැකි ව තිබිණි. එහෙත් ස්‌වභාවධර්මයට අවශ්‍ය වූයේ DNA, RNA, ප්‍රොaටීන විශ්වයක්‌ නිර්මාණය කිරීම නම් නො මැරෙන සතුටින් ඉන්න ජීවියකු ගේ මාර්ගයෙන් එය කළ නොහැකි ය. අසතුටින් සහ සංසිඳිය නොහැකි තෘෂ්ණාවකින් පාලනය වන, ටික කලකින් මැරෙන ජීවියකු තුළ ඊළඟ පරම්පරාවට දායාද කරන DNA, RNA, ප්‍රොaටීන නිර්මාණය කළ හැකි පද්ධතියකි ස්‌වභාවධර්මයට අවශ්‍ය වන්නේ. ඒ නිසා ය අප මේ ලොවට බිහි වී ඇත්තේ. අප ගේ ජීවිතයේ අරුත එය ය. එහෙත් විශ්වයට (ශක්‌තියට) DNA, RNA, ප්‍රොaටීන් ලෝකයක්‌ අවශ්‍ය ඇයි දැයි අපි නො දනිමු. අප නො දන්නා දේ එමට ය. ටිකින් ටික අපි ඒවා සොයාගනිමු. දැනට අප දන්නා දේ පහත සඳහන් ලෙස දැක්‌විය හැකි ය.

විද්‍යාවේ දාර්ශනික පදනම යන මාතෘකාව යටතේ මේ වන විට ලිපි කොටස්‌ වශයෙන් 25ක්‌ විදුසර සඟරාවේ පළ වී ඇත. විද්‍යාව යනු කිම, එය පැරැණි ශිෂ්ටාචාරයන් තුළ ඇති වූයේ කෙසේ ද? එහි දර්ශනය වර්ධනය වූයේ කෙසේ ද? එසේ ආරම්භ වූ විද්‍යාව අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූයේ කෙසේ ද? යුරෝපයේ විද්‍යා දර්ශනය තවත් දියුණු වූයේ කෙසේ ද යන කරුණු මේ ලිපිවලින් සාකච්ජා විය. තව ද මේ දාර්ශනික පසුබිම මත පිහිටා අප ගේ ජීවිතයේ අරුත කුමක්‌ විය හැකි දැයි යන්න සාකච්ඡා කළෙමු. මේ සාකච්ජා යම්තාක්‌ දුරකට සාර්ථක බව ඉහත සඳහන් රූපීය සටහනින් වුව ද පෙනී යා යුතු ය.

ඉදිරි කාලයේ දී මේ සාකච්ඡා වෙනත් මාතෘකාවක්‌ යටතේ සිදු කරන්නට බලාපොරොත්තු වෙමි. අප පවසා ඇත්තේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. මේ අදහස ඉතා ම සාර්ථක ලෙස විස්‌තර වශයෙන් පහදා දීමට පෙර ලිපි මගින් අපට පුළුවන් වී ඇත. ජීවිතයේ අරුත පිළිබඳ සාකච්ඡාවලට ද මේ අදහස්‌ අදාළ විය හැකි ය. එම නිසා ඉදිරි ලිපිවලින් මා බලාපොරොත්තු වන්නේ පැරැණි ශිෂ්ටාචාරවල තිබූ විද්‍යාව සහ එහි දර්ශනය පිළිබඳව සාකච්ජා කිරීමට ය.

පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය යන මාතෘකාව යටතේ මේ ලිපි සකස්‌ කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.