logo3.gif (702 bytes)

HOME


හේතුව හා ඵලය

හේතුව හා ඵලය ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට පිළිතුරු දීමට අද එතරම් ඉඩක්‌ වැය නො කරමි. ඔහු ශක්‌තිය යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි තවමත් පැහැදිලි ව කියා නැත. බටහිර විද්‍යාවේ ශක්‌තිය හා බුදුදහමෙහි ශක්‌තිය යනු එකක්‌ ම ද දෙකක්‌ ද යන්න අමරතුංග මහතා පහසු විටෙක තේaරුම් කරන්නේ නම් මැනවි. අපි අද ඒ මහතා මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන කියන එක්‌ කරුණක්‌ පමණක්‌ සලකා බලමු.

ලීලා කෘතියෙහි සංඥපනයෙහි මාර්ටින් වික්‍රමසිංහ මහතා සඳහන් කරන කරුණක්‌ අමරතුංග මහතා විසින් උපුටා දැක්‌වෙයි. "ආසියාතිකයන්ට එක ශාස්‌ත්‍රයකුත් යුරෝපීයයන්ට එක ශාස්‌ත්‍රයකුත් යනුවෙන් ශාස්‌ත්‍ර දෙකක්‌ තිබිය නොහැකියි".

මෙයින් අමරතුංග මහතා කියන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාට අනුවත් ලෝකයේ ඇත්තේ එක ම විද්‍යාවක්‌ බව ය. එහෙත් වික්‍රමසිංහ මහතා බටහිර විද්‍යාත්මක චින්තනයක්‌ මෙරටට හඳුන්වා දුන් බව බොහෝ උගත්තු කියති. උදාහරණයක්‌ ලෙස කාලෝ ෆොන්සේකා මහතා වටමඩලෙහි මෙසේ කියයි. "වාසනාවකට වත්මන් දරු පරපුර ලෝකය දෙස බලන්නේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලක්‌වැසි ජනතාව යොමු කිරීමට යත්න දැරූ විධියට ය." ඒ එසේ නම් බටහිරයන් බලන ආකාරය (මාර්ටින් වික්‍රමසිංහ බැලීමට යොමු කළ ආකාරය) යනුවෙන් වෙන ම ආකාරයක්‌ ඇත. බලන ආකාරය අනුව අපේ දැනුම ද වෙනස්‌ වෙයි. මෙයින් පැහැදිලි වන්නේ අමරතුංග මහතා කියන අන්දමට නො ව ලෝකයේ විවිධ දැනුම් පද්ධති තිබෙන බව ය.

අපි දැන් ධනපාල මහතා වෙත යොමු වෙමු. බෝධි ධනපාල මහතා ගේ ප්‍රශ්නය ඔහු කියවා ඇති දේ දිරවාගැනීමට නොහැකි වීම බව අපි කිහිප අවස්‌ථාවක ම කියා ඇත්තෙමු. ඒ හේතුවෙන් ඔහු බොහෝ විට වැරැදි අර්ථකථන දෙයි. ඇතැම් අර්ථකථන ඔහු වුවමනාවෙන් ම විකෘති කරයි. එමෙන් ම ඔහුට දෙන පිළිතුරු ගැන ඔහු සැලකිලිමත් නො වී ඔහු එක ම වරද නැවත නැවත කරයි. අපි උදාහරණ කිහිපයක්‌ ගනිමු.

ඔහුට අනුව මා අනුකාරකයෙකි. ඒ සඳහා ඔහු උදාහරණයට (එක ම උදාහරණයෘ) ගන්නේ ම ජිම් බැගට්‌ ගේ පොතෙන් දත්තයක්‌ දෙකක්‌ ලබාගැනීම ය. එක්‌කෝ ඔහු අනුකාරකයා යන්නෙහි තේරුම නො දනියි. නැත්නම් වුවමනාවෙන් කරුණු විකෘති කරයි. අනුකරණය යනු යමක්‌ සංශෝධනය නො කර, තම සංස්‌කෘතියට අවශෝෂණය නො කර මුල් කෘතිය (වස්‌තුව, දැනුම, මතවාදය) ඒ ආකාරයෙන් ම ලබාගැනීම ය. ග්‍රෙගරි යන්න සුද්දන් උච්චාරණය කරන අයුරින් ම උච්චාරණය කිරීම අනුකරණයකි. අනුකාරකයන් නො වූ ගැමියෝ ඒ ගිරිගෝරිස්‌ කරගත් හ. මෑතක්‌ වන තුරු ම කොළඹ ගිරිගෝරිස්‌ නමින් පාරක්‌ විය. ද බෘලි යන්න ද එසේ ම ය. එය ප්‍රංශකාරයන් කෙසේ උච්චාරණය කළත් අපට එය "ද බෘලි" වෙයි.

මම බැගට්‌ ගෙන් මතවාදයක්‌, ප්‍රවාදයක්‌ ලබා නො ගත්තෙමි. මා කියා ඇත්තේ 1927 දී ඔහු මතවාදයක්‌ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ බව ය. එය මට වැදගත් වූයේ ෂ්රොඩිංගර් (මේ නව ජර්මානුවන් උච්චාරණය කරන්නේ කෙසේ දැයි නො දනිමි. මට ඒ නම ඇසී ඇත්තේ ෂ්රොඩිංගර් හෝ ෂ්රූඩිංගර් හෝ ආකාරයට ය.) ඒ සභාවේ සිටි නිසා ය. ඔහු ගේ නමින් ඇති සමීකරණයට මුල් බීජය වූයේ ද බෘලි එදා කළ දේශනය ය. කෙසේ වෙතත් ඒ දත්තය, එනම් 1927 දී ඒ ප්‍රසිද්ධ දේශනය කළ බව මා දැනගත්තේ බැගට්‌ ගේ පොතෙනි. එය අනුකරණයක්‌ නො ව දත්තයක්‌ ලබාගැනීමක්‌ පමණකි. අනුකරණය යනු කුමක්‌ දැයි නො දන්නා බෝධි ධනපාල මහතාට අනුව නම් ඒ අනුකරණයකි.

බටහිර දැනුම වුව ද අපි ප්‍රතික්‌ෂේප නො කරමු. මගේ අවුරුදු තිහක පමණ ලියවිලි පරීක්‌ෂා කරන අයකුට පැහැදිලි වන කරුණ නම් බටහිර දැනුම ද අවශ්‍ය නම් හා හැකි නම් අවශෝෂණය කළ හැකි බව ය. මේ පිළිබඳ විස්‌තරයක්‌ අද ඊයේ නො ව 1986 දී පළ කළ මගේ ලෝකය කෘතියෙහි සඳහන් වෙයි. අනුකරණය හා අවශෝෂණය යනු එකක්‌ නො වේ. වීලර් ගේ ප්‍රමාද තේරීම් පරීක්‌ෂණය පිළිබඳව බෝම් කියා ඇත්තේ කුමක්‌ දැයි ප්‍රකාශ කරන ලෙස අනෙක්‌ අය ගේ මත උපුටා දක්‌වන ධර්මවර්ධන මහතා ගෙන් ඉල්ලා සිටියෙමි. එහි දී ධනපාල මහතා කීවේ ප්‍රමාද තේරීම් පරීක්‌ෂණය කුමක්‌ දොa පොතකින් ලබාගෙන මා ද කරන්නේ උපුටා දැක්‌වීමක්‌ බව ය. මා කර ඇත්තේ අදාළ පරීක්‌ෂණය ගැන සඳහන් කිරීම ය. එය එසේ නො කර මා ඒ ගැන කතා කරන්නේ කෙසේ ද? මට අහවල් පරීක්‌ෂණය යනුවෙන් පරීක්‌ෂණය නම් කිරීමට සිදු වෙයි. එසේ නැත හොත් පාඨකයා ඒ පරීක්‌ෂණය ගැන කියන්නේ කුමක්‌ ද?

ධනපාල මහතා ට අනුව වුව ද මා කියා ඇත්තේ මෙයයි. "මම සිංහල බෞද්ධ භෞතික විද්‍යාඥයන්ට ප්‍රශ්නයක්‌ යොමු කරමි. වීලර් ගේ ප්‍රමාද තේරීමට අනුව වර්තමානය විසින් අතීතය තීරණය කෙරෙන්නේ යෑයි කියෑවෙයි. ඒ ගැන මේ විද්‍යාඥයන්ට කීමට ඇත්තේ කුමක්‌ ද? අනුන් ගේ මත උපුටා දක්‌වන ධර්මවර්ධන මහතාට බෝම් මේ ගැන කියන්නේ කුමක්‌ දැයි කිව හැකි ද? "මෙය මතවාදයක්‌, ප්‍රවාදයක්‌, තේරුම් කිරීමක්‌ උපුටා දැක්‌වීමක්‌ නො ව යම් පරීක්‌ෂණයක්‌ ගැන සිංහල බෞද්ධ භෞතික විද්‍යාඥයන්ට කීමට ඇත්තේ කුමක්‌ ද යන්න දැනගැනීමට කරන ලද ප්‍රයත්නයකි.

තව ද මා කියා ඇත්තේ ප්‍රමාද තේරීමට අනුව වර්තමානය විසින් අතීතය තීරණය කෙරෙන්නේ යෑයි කියෑවෙන බව ය. එය වීලර් ගේ අර්ථකථනයක්‌ නො වේ. වීලර් ඒ අර්ථකථනයට විරුද්ධ විය. ධනපාල මහතා ඒ බව නො දැන වීලර් ගැන උපහාසයෙන් කතා කරයි. ධනපාල මහතා ජෝන් ආච්බෝල්ඩ් වීලර්ට වඩා ඉහළ මට්‌ටමේ භෞතික විද්‍යාඥයකු වන්නේ යෑයි මම සිතමි. එමෙන් ම ධනපාල මහතා සිංහල බෞද්ධ යෑයි ද මම සිතමි. මට අවශ්‍ය වන්නේ එවැනි උසස්‌ මට්‌ටමේ සිංහල බෞද්ධ විද්‍යාඥයන් මේ පරීක්‌ෂණය අර්ථකථනය කරන්නේ කෙසේ දැයි දැනගැනීම ය. වීලර් වර්තමානය විසින් අතීතය නිර්ණය කෙරෙන්නේ ය යන්නට විරුද්ධ විය.

ධර්මවර්ධන මහතා ගේ පොතේ බෝමියානු භෞතික විද්‍යාව අනුව මේ පරීක්‌ෂණය ගැන කියා ඇති දේ මම කියවා ඇත්තෙමි. එහෙත් මම එයින් සෑහීමකට පත් නො වීමි. ක්‌වොන්ටම් භෞතිකය පිළිබඳ බෝම් ගේ සමස්‌ත අර්ථකථනය සමග මම එකග නො වෙමි. බටහිර භෞතික විද්‍යාඥයන් ගෙන් ද ඒ සමග එකග වන්නේ සුළුතරයකි. එහෙත් ඒ පිළිබඳ තව තවත් විස්‌තර දැනගැනීමට මම කැමැත්තෙමි. ධර්මවර්ධන මහතාට මා ආරාධනය කළේ ඒ අරමුණෙනි.

සිංහල බෞද්ධ භෞතික විද්‍යාඥයන්ට මා ප්‍රශ්නය යොමු කරන්නේ ම බුදුදහම විද්‍යාත්මක බවට කරන ප්‍රකාශ නිසා සිංහල බෞද්ධයනට ඒ පිළිබඳ අදහස්‌ ඇතැයි යන විශ්වාසය උඩ ය. බුදුදහම විද්‍යාත්මක නම් ථෙරවාදය නිර්මල බුදුදහම යෑයි සිතන සිංහල බෞද්ධයනට බටහිර විද්‍යාවෙහි ප්‍රවාදයක්‌ නිර්මාණය කිරිමට බැරි නම් අඩු තරමින් පරීක්‌ෂණයකට අර්ථකථනයක්‌ වත් දීමට හැකි විය යුතු ය. මේ පරීක්‌ෂණය සම්බන්ධයෙන් මට ද අර්ථකථනයක්‌ ඇත. මම ඒ මේ අවස්‌ථාවේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නො වෙමි. ධනපාල මහතා හා අමරතුංග මහතා වැනි මට වඩා උගත් දක්‌ෂ නිර්මාණශීලී සිංහල බෞද්ධ විද්‍යාඥයෝ සිය ගණනින් මෙරට හා පිටරට සිටිති. ඔවුන්ට ඉඩ දීම මගේ ප්‍රතිපත්තිය වෙයි.

එහෙත් එකක්‌ නො කියා ම බැරි ය. ඒ ධනපාල මහතා අද වැරැදි වැටහීමකින් සිටින බැවිනි. ඒ මහතා උපහාසයෙන් හා අපහාසයෙන් කියන්නේ මට අනුව වර්තමානය විසින් අතීතය නිර්ණය කෙරෙන බව ය. ඔහු ඒ බව අතෝරක්‌ නැති ව පවසයි. ඒ මහතා එවැනි නිගමනයකට පැමිණියේ කෙසේ ද? මා කොහේ වත් එවැන්නක්‌ කියා නැත. මෙය ද ධනපාල මහතා ගේ අනවබෝධය හෝ කරුණු විකෘති කිරීමට ඇති දක්‌ෂතාව හෝ නිසා සිදු වන්නකි.

ඒ මහතා එතැනින් නො නැවතී කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන සඳහන් කරමින් ග්ලයිෆොසේට්‌ හඳුන්වා දීමට පෙර ඇතැම් පෙදෙස්‌වල රෝගය තිබූ බව පවසයි. එයින් ඒ මහතා කීමට බලාපොරොත්තු වන්නේ හේතුවට පෙර ඵලය තිබූ බවත් එය කාලය පිළිබඳ මගේ අර්ථකථනය සමග නම් එකග වන බවත් ය. පළමුවෙන් ම කිව යුත්තේ මගේ එවැනි අර්ථකථනයක්‌ නැති බවත් ඒ ධනපාල මහතා ගේ හිතළුවක්‌ පමණක්‌ බවත් ය. දෙවනුව කිව යුත්තේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා (ඒ මහතාට පසුගිය දා කෘෂි රසායනික වකුගඩු රෝගය පිළිබඳව කරන ලද පර්යේෂණ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයයෙන් අචාර්ය උපාධියක්‌ ලැබුණු බව සඳහන් කළ යුතු ය) පෙන්වා දී ඇත්තේ එකී රෝගය පැතිරීමට පෙර අදාළ ප්‍රදේශවල ග්ලයිෆොසේට්‌ යොදාගැනුණු බව ය.
ෆොaටෝනයේ ස්‌කන්ධය ගැන මා නොයෙකුත් වර කියා ඇත. කීර්ති තෙන්නකෝන් මහතා ද ඒ ගැන සඳහන් කර ඇත. එමෙන් ම ගුරු ධර්මවර්ධන මහතා ද වෙනත් අය ගේ මත උපුටා දක්‌වමින් (මත යන්න අවධාරණය කළ යුතු ය) අශූද්ධ ෆොaටෝන ස්‌කන්ධයක්‌ ඇති සේ හැසිරෙන බව කියයි. ඉතා අධික ශක්‌තිය ඇති ෆොaටෝන දෙකක්‌ එකිනෙක පසාරු කර නො ගොස්‌ අන්තර් ක්‍රියාවක යෙදෙන බව මා කී විට පාසල් ගුරුවරයකු වූ ධනපාල මහතා පාසල් ශිෂ්‍යයකුට ඔබින ලෙස තර්ක කරමින් කියන්නේ ඒ ෆොaටෝන උච්ඡේදනය කරන බවයෘ එය අන්තර් ක්‍රියාවක්‌ නො වේ ද? මම නැවතත් කියමි. අල්ලාගත හැකි ද්‍රව්‍යය නැති ශක්‌ති පුංජවල ස්‌කන්ධය පිළිබඳ හොඳ කතන්දරයක්‌ බටහිර භෞතික විද්‍යාවට නැත. බටහිර විද්‍යාව ඒ අර්ථයෙන් ගත් කල ස්‌කන්ධය යනු කුමක්‌ දැයි නො දනියි.

ධනපාල මහතා නිර්මාණාත්මක සාපේක්‌ෂතාවාදය ගැන කිසිවක්‌ නො දන්නා බව පැහැදිලි ය. එක්‌ සංස්‌කෘතියක වලංගු එහෙත් වෙනත් සංස්‌කෘතියක වලංගු නො වන විද්‍යාත්මක සත්‍යයක්‌ තිබේ දැයි ඔහු අසයි. නිර්මාණාත්මක සාපේක්‌ෂතාවාදයෙහි ඊනියා වලංගු විද්‍යාත්මක සත්‍ය ගැන සඳහන් නො වෙයි. විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන කතා නො කරන දැනුම් පද්ධතියක එවැනි ප්‍රශ්නයක්‌ ඇසිය නො හැකි ය. බටහිර විද්‍යාවේ අර්ථකථනවල වුව ද සත්‍යය යනු කුමක්‌ දැයි අර්ථකථනය කෙරී නැත. එහි ඇතැම්හු සත්‍යයට ළගා වීමක්‌ ගැන කතා කරති. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍යයක්‌ ද? සත්‍යයට ළගා වීම ගැන කතා කළ හැක්‌කේ සත්‍යය යනු කුමක්‌ දැයි දන්නේ නම් පමණකි. එක්‌ ප්‍රවාදයක්‌ වෙනත් ප්‍රවාදයකට වඩා සත්‍යයට ආසන්න යෑයි කියන්නේ කිනම් අර්ථයකින් ද ?

ඒ කෙසේ වෙතත් මේ සත්‍යය නිර්මාණාත්මක සාපේක්‌ෂතාවාදයට අදාළ නො වේ. එහි කියෑවෙන්නේ දැනුම නිර්මාණය පිළිබඳ ව මිස දැනුමේ ඊනියා සත්‍යයක්‌ ගැන නො වේ. අප කියන්නේ දැනුම යම් චින්තනයක්‌ පදනම් කරගනිමින් යම් සංස්‌කෘතියකට සාපේක්‌ෂව අවිඡ්ජාව නිසා නිර්මාණය කෙරෙන බවය. මෙහි අවිඡ්ජාව යනු ත්‍රිලක්‌ෂණය නො දැනීම ය.

නලින් ද සිල්වා