logo3.gif (702 bytes)

HOME


තමන්ට ගැලපෙන නිවැරැදි මාර්ගය හඳුනාගෙන සාධාරණව එහි ගමන් කළ යුතුයි

මහාචාර්ය එම්. එම්. එම්. නජීම් මහතා කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයෙහි පරිසර සංරක්‌ෂණය සහ කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙකි. විද්‍යාභිවර්ධන සංගමයේ මහලේකම්වරයා වන ඔහු විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශය, ශ්‍රී ලංකා කෘෂි ඉංජිනේරු සංගමය ආදී වූ විවිධ ආයතනයන්හි ක්‍රියාකාරී තනතුරු දැරූ සාමාජිකයෙකි.



"කාලය රන් හා සමානයි" යනු පැරැණි කියමනකි. මනා වූ කාල කළමනාකරණය ජීවිතයේ රන් මාවත විවර කරයි. කාල කළමනාකරණය තම ජීවිතයට ආලෝකයක්‌ කරගත් මහාචාර්ය එම්. එම්. එම්. නජීම් මහතා කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයෙහි පරිසර සංරක්‌ෂණය සහ කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙකි. විද්‍යාභිවර්ධන සංගමයේ මහලේකම්වරයා වන ඔහු 2007 වර්ෂයේ සිට මේ දක්‌වා විද්‍යාභිවර්ධන සංගමයේ විවිධ වූ තනතුරු දැරූ අයෙකි. විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශය, ශ්‍රී ලංකා කෘෂි ඉංජිනේරු සංගමය ආදී වූ විවිධ ආයතනයන්හි ක්‍රියාකාරී තනතුරු දැරූ සාමාජිකයෙකි. මෙවර විදුසර හමුවේ කතාබහ ඔහු සමගිනි.

ගාල්ල නාවින්නේ අර්ධ නාගරික ප්‍රදේශයක උපත ලැබූ ඔහු උපතින් ඉස්‌ලාම් භක්‌තිකයෙකි. මුස්‌ලිම් ජාතික දෙපළක්‌ වන මව හා පියා දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද හා ඉගැන්වීම් කටයුතුවල නිරත වන ගුරුවරුන් දෙපළකි. කුඩා නජීම් ගේ අධ්‍යාපන කටයුතු සිංහල මාධ්‍යයෙන් ඇරඹෙන්නේ මාපියන් ගේ අවශ්‍යතාව අනුව ය. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයයේ පහ ශ්‍රේණිය දක්‌වා ඉගෙනගන්නා ඔහු බුදු දහම විෂයයක්‌ ලෙස තෝරාගනියි.

"විද්‍යාලෝකෙ ඉස්‌ලාම් ආගම උගන්නන්න ගුරුවරයෙක්‌ හිටියෙ නෑ. ඒකයි මම බුද්ධාගම ඉගෙනගත්තේ. කොහොම හරි පංතියෙ බුද්ධාගමට වැඩි ම ලකුණු ගත්තෙත් මම. සර් ඒ දවස්‌වල පංතියෙ අනිත් ළමයින්ට බනිනවා, බුද්ධාගමේ නො වන මම බුද්ධාගමේ ළමයින්ට වඩා ලකුණු ගන්නවා. මාව ආදර්ශයකට ගන්න කියල."

ඔහු සිනාමුසුව පවසයි.

"තාත්තට ඕන වුණේ මුලින් ම මාව රිච්මන්ඩ් විද්‍යාලයට දාන්න. ඒත් බැරි වුණා. ශිෂ්‍යත්වෙ පාස්‌ වෙලා මම ගාල්ල රිච්මන්ඩ් එකට ගියා. එහෙ දි ගුරුවරයෙක්‌ හිටපු නිසා මම ආගම විදිහට ඉගෙනගත්තෙ ඉස්‌ලාම් ආගම. මගේ අම්මටයි තාත්තටයි ඕන වුණේ මාව වෛද්‍යවරයෙක්‌ වෙනව දකින්න. ඉතිං මම ජීව විද්‍යාව තමයි හැදෑරුවේ. ඒ කාලෙ Z-Score ක්‍රමය තිබුණෙ නෑ. මම පළමුවර උසස්‌ පෙළට ලකුණු 270ක්‌ ලබාගත්තා."

ඔහු මදක්‌ නිහඬ ව සිට යළිත් කතාව ඇරඹී ය.

"ඒ 1987 වර්ෂය. රටේ බොහොම කලබලකාරී තත්ත්වයක්‌ තිබුණෙ. ඒ හින්ද අම්මල මාව ගෙදර තියාගන්න බය වුණා. මම කොළඹ මාමල ගෙ ගෙදර තමයි ඒ කාලෙ හිටියෙ. එහෙ දි විවිධ පාඨමාලා හැදෑරුවා. මට උසස්‌ පෙළ ලකුණු පිළිබඳ කිසි ම ගැටලුවක්‌ තිබුණෙ නෑ. ඔය අතරවාරෙ දි තමයි සරසවි ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් වුණේ. වෛද්‍ය පීඨය 273, දන්ත වෛද්‍ය 272, පශු වෛද්‍ය 271, කෘෂිකර්මය 270. මට ලකුණු 03කින් වෛද්‍ය පීඨය අහිමි වුණා. පොඩි දුකක්‌ හිතට නාවම නෙවෙයි.

ගෙදර ඇවිත් අම්මට මම ලකුණු ගැන කිව්වා. අම්මා හිනාවෙලා කිව්වා තේරුණ විෂයෙන් ඉස්‌සරහට වැඩ කරන්න කියලා. මම ඒ නිසා තව වරක්‌ උසස්‌ පෙළ කළේ නෑ. ඒ ප්‍රතිඵලවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයට ආවා.

කෘෂිකර්මය විෂය ඉගෙනගන්න ආපු අය අතරේ මගේ වයසේ ළමයි හිටියේ ටික දෙනයි. වැඩි දෙනෙක්‌ වැඩි වයස්‌වල පසු වූ අය. බොහෝ අය දෙවැනි වර, තෙවැනි වර උසස්‌ පෙළ ප්‍රතිඵලවලින් සරසවි ප්‍රවේශය ලබාගත් අය. ඔය කාලෙ මට මහාචාර්ය කපිල ගුණසේකර මහතා ලියූ ලිපියක්‌ පුවත්පතකින් කියවන්න ලැබුණා. එහි සඳහන් කරල තිබුණ කෘෂි ඉංජිනේරු විද්‍යාවේ වැදගත්කම හා එය අධ්‍යයනයට යොමු වන ශිෂ්‍යයන් ගේ හිඟය පිළිබඳව. ඒ ලිපිය මගේ අම්මලත් කියවල තිබුණා. ඔය නිසා ම මම තෝරගත්තෙ කෘෂි ඉංජිනේරු විෂයයි. මට අවශ්‍ය වුණා ඒ විෂය හොඳින් හදාරන්න. 1994 වර්ෂයේ ප්‍රථම පංති ගෞරව සාමර්ථ්‍යයක්‌ සහිතව මම මගේ උපාධිය අවසන් කළා."

ඔහු සිනාමුසුව පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්ය භූමිකාවට ඔබ අවතීර්ණ වුණේ කොහොම ද?

"ප්‍රථම උපාධියට ලබාගත් ප්‍රතිඵල නිසා ම 1995 තාවකාලික කථිකාචාර්යවරයෙක්‌ ලෙස මම පත්වීම භාර ගත්තා. අපි ආපු දවසෙ අපිට අපේ මහාචාර්යවරයා කිව්වා කාලය ප්‍රයෝජනවත් විදිහට භාවිත කරන්න පුරුදු වෙන්න කියලා. සාමාන්‍යයෙන් විද්‍යාගාර අරින්නේ උදේ 8.00ට. මම 7.30 වෙද්දි ඇවිත් ඉන්නවා. නියමිත වැඩ කොටස පුළුවන් තරම් හොඳට ඉටු කිරීම තමයි මගේ අපේක්‌ෂාව වුණේ. මාස 13ක්‌ මම එහි සේවය කළා. වසරක පත්වීමක්‌ තමයි අපිට ලැබුණේ.

ඔය කාලෙ දි සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව සඳහා ආධුනික කථිකාචාර්යවරුන් බඳවාගත්තා. මගේ සුදුසුකම් අනුව ඔවුන් ඒ සඳහා මාව තෝරාගත්තා. වසර දෙකකට ආසන්න කාලයක්‌ මම එහි සේවය කළා. ඒ වසර දෙකක කාලය තුළ ව්‍යවහාරික විද්‍යාව විශ්ව විද්‍යාලය තුළ පුළුල් කිරිම පිළිබඳ සාකච්ඡාවක්‌ ඇති වුණා. ඒ අනුව නව විෂයක්‌ ඇතුළත් නව විෂය නිර්දේශයක්‌ සකස්‌ වුණා. මටත් හැකියාව ලැබුණා ඊට මගේ දායකත්වය ලබා දෙන්න."

"මොනවද එහි දී ඔබ නිර්මාණය කළ නව විෂයන්?"

"Soil science, Hydrology වැනි විෂයන් එසේ මා ඇතුළත් කළ විෂයන් අතර පවතිනවා. අපිට පුළුවන් වුණා මේ විෂයන් ශිෂ්‍යයන් අතර ජනප්‍රිය කරවන්න. මම එසේ නිර්මාණය කළ ඇතැම් විෂයන් අදටත් සබරගමු විශ්වවිද්‍යාලයේ උගන්නනවා. මට ඒ ගැන තියෙන්නෙ ලොකු සතුටක්‌"

ඔහු සොම්නසින් පවසයි.

"ඊට පස්‌සෙ රුහුණ විශ්වවිද්‍යාලයයේ ස්‌ථිර කථිකාචාර්යවරුන් සඳහා අයදුම්පත් කැඳවා තිබුණා. මම ඊට ඉල්ලුම් කරන්න හදන විට මගේ ආචාර්යවරයා වූ මහාචාර්ය කපිල ගුණසේකර මහතා මාව වැළැක්‌කුවා."

"ඒ ඇයි?" මම මදක්‌ කුතුහලයෙන් විමසුවෙමි.

"සර්ට අවශ්‍ය වුණේ මාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස තියා ගන්න. රුහුණ විශ්වවිද්‍යාලයේ අයදුම්පත් කැඳවීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලය අයදුම්පත් කැඳෙව්වා. ඒ අනුව 1998 මම ආධුනික කථිකාචාර්යවරයෙක්‌ ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා."

"ඔබ විද්‍යාපති උපාධිය හැදෑරුවේත්a පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ම ද?"

"නැහැ. මම ඒ සඳහා තායිලන්තයට ගියා. එහි Asia Institute of Technology (AIT)හි තමයි මම විද්‍යාපති උපාධිය හැදෑරුවේ. ජල සම්පත් කළමනාකරණය තමයි මගේ අධ්‍යයන ක්‌ෂේත්‍රය වුණේ. AIS සිවිල් ඉංජිනේරු පීඨයේ තමයි අපි අධ්‍යයන කටයුතු කළේ. මගේ විෂය වුණේ වාරිමාර්ග ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය. (Irrigation Engineering and Management).

"එහි දී ලද අත්දැකීම් ගැන සඳහන් කළොත්?"

"එය ඉංජිනේරු විෂයක්‌. මේ විෂය අධ්‍යයනය සඳහා නේපාලය, බංග්ලාදේශය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, බුරුමය යන රටවල උපාධිධාරීන් පැමිණියා. ඔවුන් සියලු දෙනා ම ඉංජිනේරුවන්. විද්‍යාවේදී උපාධිධාරියකු වූයේ මා පමණයි. ඒ නිසා මට එම විෂය අධ්‍යයනයට බොහෝ සේ කැප වීමට සිදු වුණා. මට අවශ්‍ය වුණා එම විෂය ඉතා හොඳින් ඉගෙනගන්න. සාමාන්‍යයෙන් මම පාන්දර 05ට අවදි වෙනවා. ඒ වගේ ම රාත්‍රී 9 වන විට නිදාගන්නවා. ඒ අතර කාලය තුළ කිසිදු හේතුවක්‌ නිසා නිදාගන්නෙ නෑ. පුළුවන් තරම් දවස තුළ ඉටු කළ යුතු වැඩ එම කාලය තුළ අවසන් කරනවා. ප්‍රථම උපාධියේ දී වත් කිසිදු හේතුවක්‌ නිසා රෑ 9 පසු වී නිදාගෙන නැහැ. ඒ මගේ සාමාන්‍ය දින චර්යාව. නමුත් විද්‍යාපති උපාධියේ දී මට සිදු වුණා එම ක්‍රියාවලිය වෙනස්‌ කරන්න. ඇතැම් දිනවල රාත්‍රී 12 පසු වන තෙක්‌ අවදි ව අධ්‍යයන කටයුතුවල නිරත වුණා. ප්‍රතිඵලය හරි ම සුන්දරයි. මට හැකියාව ලැබුණා මගේ විද්‍යාපති උපාධියට වැඩි ම ලකුණු ලබාගන්න. ඒ වගේ ම ඒ සඳහා පිරිනමන සම්මානය දිනාගැනීමටත් මට හැකියාව ලැබුණා."

ඔහු ගේ වදන් ජයග්‍රාහී ය.

"මම විද්‍යාපති උපාධියට අදාළව පර්යේෂණ පත්‍රිකා දෙකක්‌ ලිව්වා. ඒ දෙක ම විද්‍යාත්මක උපුටන සූචිත ජර්නලවල (Science citation indexed journals) පළ වුණා. මගේ පර්යේෂණය සිදු වුණේ ජල දූෂණය පිළිබඳව. ඒ පිළිබඳ පරිගණක මෘදුකාංගයක්‌ මම නිර්මාණය කළා.

"ඔබේ ආචාර්ය උපාධිය පිළිබඳව සඳහන් කළොත්?"

"ජල සම්පත් ඉංජිනේරු විද්‍යා විෂයට විශේෂිතව තමයි මගේ ආචාර්ය උපාධි අධ්‍යයනය කළේ. මෙහි දී කුඹුරු පද්ධති සඳහා ජලය භාවිත කිරීම පිළිබඳ පරිගණක මෘදුකාංගයක්‌ නිර්මාණය කිරීම මා සිදු කළා. මැලේසියාවේ University of
Putra තමයි ආචාර්ය උපාධි පර්යේෂණය සිදු කළේ. මේ පර්යේෂණයට අදාළව පර්යේෂණ පත්‍රිකා 06ක්‌ මම පළ කළා."

ඔහු වසර 2009 වර්ෂයේ සිය ආචාර්ය උපාධිය අවසන් කරන්නේ වසර 03ක පර්යේෂණයකට පසුව ය. ඉන්පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ඔහු 2005 වසරේ සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස වැඩ භාරගනී.

"පේරාදෙණියෙත් විෂය නිර්දේශ වෙනස්‌ කරන්න මම දායක වුණා. මම ඉගෙනගත්ත විශ්ව විද්‍යාලය නිසා මගේ පර්යේෂණ සඳහා විශාල දායකත්වයක්‌ මට ලැබුණා. මේ වෙද්දී නවාතැන පිළිබඳ ගැටලුවක්‌ මට ඇති වෙලා තිබුණා. මගේ බිරිඳ හා දරුවන් පදිංචි වෙලා හිටියේ කොළඹ. ඒ නිසා සති අන්තයේ නිවසට යැමටත් සතියේ දිනවල නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමටත් සිදු වුණා.

ඔය කාලෙ දි තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ආරාධනාවක්‌ ලැබුණෙ. ඒ අනුව මම කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණියා. මම පේරාදෙණියෙන් ඉවත් වෙනවට එහි ආචාර්ය මණ්‌ඩලය එකඟ වුණේ නෑ. ඒ තරම් විශාල බැඳීමක්‌ ඔවුන් සමඟ මට තිබුණා. මම ස්‌වාධීනව වැඩ කළ අයෙක්‌. ඒ නිසා මා කා සමග වත් ගැටුම් ඇති කරගෙන නැහැ. අදටත් ඔවුන් සමඟ මා මිත්‍රශීලීව කටයුතු කරනවා."

"කැලණිය විශ්වවිද්‍යාලයට ආචාර්යවරයකු ලෙස පැමිණීම ඔබේ ජීවිතයේ හැරවුම් ලක්‌ෂ්‍යය වුණා කිව්වොත් හරි ද?"

"සැබැවින් ම කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණීම නිසා ආචාර්යවරයකු ගේ භූමිකාවෙන් පරිබාහිර වූ ක්‍රියාකාරිත්වයන් රැසකට සම්බන්ධ වීමට මට හැකි වුණා. විද්‍යාභිවර්ධන සංගමය SLAAS - Sri Lnka Association for Advancement of Sciences), තරුණ විද්‍යාඥයන් ගේ ෆොaරමය (YSF - Young Scientists Forum), ශ්‍රී ලංකා ධීවර කටයුතු හා ජලජ සම්පත් සංගමය (Sri Lanka Association for Fisheries & Aquatic Resources වැනි ආයතන ඒ අතර විශේෂයි."

2006 වර්ෂයේ විද්‍යාභිවර්ධන සංගමයට සම්බන්ධ වූ මහාචාර්ය නජීම් මහතා 2007 වර්ෂයේ දී විද්‍යාභිවර්ධන සංගමයේ ඊ අංශයේ උප සභාපති ලෙස ද, 2008 වසරේ දී සභාපති ලෙස ද තේරී පත් විය. 2010 හා 2009 වර්ෂවල අන්තර්ජාතික සබඳතා පිළිබඳ ලේකම් ලෙස ද ඔහු කටයුතු කර ඇත. 2004 වර්ෂයේ ලංකා කෘෂි ඉංජිනේරු සංගමයේ සංස්‌කාරක ලෙස ඔහු කටයුතු කළේ ය. ශ්‍රී ලංකා විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශයෙන් 2008 හා 2009 වර්ෂවල සංවිධානය කළ තරුණ විද්‍යාඥයන් ගේ සමුළුවේ (Young Scientists Forum)හි සභාපති හා ලේකම් ලෙස ද ඔහු කටයුතු කර තිබේ. මීට අමතරව Sri Lankan Association for Fisheries & Aquatic Resources (SLAFAR)හි ලේකම් ලෙස වසර 02ක කාලයක්‌ ඔහු සේවය කළේ ය.

"මේ තරම් පරිපාලන කටයුතුවලට දායක වීම ගැටලුවක්‌ වුණේ නැද්ද?" මම විමසුවෙමි.

"නෑ කොහෙත් ම නෑ. මම එදා දවසේ අවසන් කළ යුතු වැඩ එදා ම කෙසේ හෝ අවසන් කරනවා. වැඩ කල් දැමීම තමයි වැඩ අධික වීමට හේතු වන්නේ. මට පුළුවන් වුණා සමබරව සියල්ල සිදු කරන්න. ඒ අතර මම සමාජ කටයුතු සඳහාත් මගේ දායකත්වය ලබා දුන්නා."

"ඒ කියන්නේ ඔබ සමාජ සේවකයෙක්‌"

"2004 ඇති වූ සුනාමි ව්‍යසනය නිසා බොහෝ මුහුදුබඩවාසීන්ට නිවාස අහිමි වුණා. එම කාලයේ මගේ සියලු ම රාජකාරිවලින් ඉවත් ව සති 02ක්‌ රාජ්‍ය නො වන සංවිධානයන් හා එක්‌ ව අවතැන් වූ ජනතාවට සහන ලබා දීමට එක්‌ වුණා. කළුතර සිට හම්බන්තොට දක්‌වා ප්‍රදේශයන්වල සහන ලබා දීම සම්බන්ධීකරණය කිරීම තමයි මම සිදු කළේ...."

"ඔබේ පර්යේෂණ ක්‌ෂේත්‍රය ගැන අපි තවදුරටත් කතා කරමු"

"ජල කළමනාකරණය තමයි මගේ විෂය. මම මේ විෂයට අදාළව බොහෝ පර්යේෂණ සිදු කළා. නිවෙස්‌ හා හෝටල්වලින් ඉවත් කරන පරිහරණය කරන ලද අපවිත්‍ර ජලය හා වෙනත් හේතූන් නිසා අපවිත්‍ර වූ ජලය වගාකටයුතු සඳහා භාවිත කිරීම පිළිබඳ පර්යේෂණ මේ අතර විශේෂයි.

"ඒ කිව්වේ..?" මම පැහැදිලි කිරීමක්‌ අපේක්‌ෂාවෙන් ඇසුවෙමි.

"දේශගුණ විපර්යාසය නිසා, ජනගහන වර්ධනය හා නාගරීකරණය නිසා ජල අවශ්‍යතාව වේගයෙන් වැඩි වෙනවා. ඒ වගේ ම ගලන ජලය ක්‍රමවත් කිරීමත් වැදගත්. මේ සඳහා මනා වූ ජල කළමනාකරණයක්‌ අවශ්‍යයි. මේ පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කර තිබෙන අතර ඉදිරියටත් ඒ පිළිබඳ පර්යේෂණ සිදු වනවා. මගේ ශිෂ්‍යයන් ද මේ පිළිබඳ විවිධ පර්යේෂණවල නියෑළෙනවා."

"ඔබ ගේ පර්යේෂණ ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වී තිබෙනවා. ඒ පිළිබඳ සඳහන් කළොත්.."

"ජාතික විද්‍යා හා තාක්‌ෂණ කොමිසමෙන් (NASTEC) විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා දැක්‌වූ දායකත්වය පිළිබඳ සම්මානයත් මම දිනාගත්තා. 2003 හා 2004 වර්ෂයේ සිදු කළ පර්යේෂණ සඳහා ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවා."

"මෙසේ සම්මානයට පාත්‍ර වූ ඔබට පර්යේෂණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම අභියෝගයක්‌ වුණේ නැද්ද?" මම බොහෝ පර්යේෂකයන් නඟන මැසිවිල්ලක්‌ මතු කළෙමි.

"ඇතැම් පර්යේෂණවලට ප්‍රතිපාදන අත්‍යවශ්‍ය වුණේ නෑ. එය එහි එක්‌ පැතිකඩක්‌ පමණයි. මගේ පර්යේෂණ ඉතා සරලව, සැලසුම් සහගතව සිදු කළා. මම පර්යේෂණ සඳහා භාවිත කළ සම්පත් සපයාගැනීම මට එතරම් ගැටලුවක්‌ වුණේ නෑ. මම ඉතා ම අඩු වියදමෙන් පර්යේෂණ සිදු කළා. මට අවශ්‍ය වුණේ අඩු වියදමකින් උපරිම දෙයක්‌ කිරීම. ඒ නිසා ප්‍රතිපාදන මට අභියෝගයක්‌ වුණේ නෑ."

"මෙතෙක්‌ ඔබ පැමිණි ගමන් මඟ තුළින් ඔබ ලබාගත් අත්දැකීම්වලින් අපේ පාඨකයන්ට ලබා දෙන පණිවිඩය කුමක්‌ ද?"

"පළමුවැනි කාරණය තමයි තමන් ගෙ ශක්‌තිය, හැකියාව තමන් නිවැරැදිව හඳුනාගැනීම. තමන් කරන වැඩවලට ඇති කැමැත්ත තමයි ඒ කාර්යයන් සාර්ථක කිරීමට හේතු වෙන්නෙ. අනිත් කාරණය තමයි සරල වීම. සරල වීම දියුණුවට හේතුවක්‌. තමන් කරන හැම වැඩක්‌ ම උපරිමයෙන් ඉටු කිරීමට තමන්ට හැකි විය යුතුයි. එය සාධාරණව ඉටු කිරීමත් වැදගත්. එවිට තවත් අයකු සමඟ අනවශ්‍ය තරගයක්‌ ඇති වෙන්නෙ නෑ. අද බොහෝ ළමයින් වැඩ කරන්නේ විශාල තරගයකට. උසස්‌ පෙළින් පසුව තරගය අවසාන විය යුතුයි. එයත් එක්‌ තරග විභාගයක්‌ විතරයි. ඉන්පසු තමන් ගේ හැකියාව අනුව ගමන් කිරීමට විවිධ වූ මාර්ග හොයාගත යුතුයි. තමන්ට ගැලපෙන නිවැරැදි මාර්ගය හඳුනාගැනීම හා එය තෝරාගැනීම වැදගත්. සාධාරණව එහි ගමන් කළ යුතුයි. තමන්ට හැකි පමණ අනුන්ට උදව් කිරීමත් වැදගත්. මට මගේ ජීවිතයට ඉන් බොහෝ දේවල් ලබා ගත්තා"

සාකච්ඡා කළේ

මනුරි පබසරී මැණිකේ