logo3.gif (702 bytes)

HOME


ලොව ප්‍රථම ඇමෙරිකානු අජටාකාශගාමිනියන් සය දෙනා අතරින් කෙනකු සමග විදුසර මාධ්‍යවේදිනිය කළ පිළිසඳරක්‌

වෛද්‍ය, අභ්‍යවකාශ හෝ පොදුවේ ලෝක ඉතිහාසයෙහි සුවිශේෂී සටහනක්‌ තැබූ පුද්ගලයන් එදිනෙදා ජීවිතයේ දී මුණගැසීම සාමාන්‍යයෙන් සාමාන්‍යයක්‌ නො වේ. එහෙත් පසුගියදා ලන්ඩනයේ දී සාමාන්‍යයෙන් සාමාන්‍ය නො වූ විරල හමු වීමක්‌ අත්දකින්නට මම යළිත් භාග්‍යවන්ත විමි.

ඒ වෛද්‍ය රේ සෙඩන් (Dr. Rhea Seddon) හමුව ය. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක සහ අජටාකාශගාමිනියක ද වෙයි. ඇමෙරිකානු අභ්‍යවකාශ ක්‌ෂේත්‍රයේ ඉතා ම ඉහළ පිළිගැනීමක්‌ ලෙස සලකනු ලබන හෝල් ඔෆ් ෆේම් (Astronaut Hall of fame) සම්මානයෙන් පසුගිය මැයි 30 වැනි දා පිදුම් ලබමින් එම සම්මානයෙන් පිදුම් ලැබූ කාන්තාවන් අතළොස්‌ස අතරට එක්‌ වූවා ය.

සැබැවින් ම අතිශය දිරිය කාන්තාවක වන ඇය අභ්‍යවකාශ ඉතිහාසයේ කොටස්‌කාරියකි. සිය සිහින හඹා ගොස්‌ ඉතා ම සොඳුරු ලෙස ඉතිහාසය ලියා තැබූ අයුරු විමසූ මා හා ඇය පිළිසඳරක යෙදුණේ ඉතා සුහදශීලීව ය. එම පිළිසඳර මා ආදරණීය විදුසර වෙනුවෙන් කළ සාකච්ඡාවක්‌ කරා දික්‌ ගැසුණු අතර ඈ සිය අත්දැකීම් මා හා බෙදාගත්තේ ඉතා ම උද්යෝගයකිනි.

ඉතා ම කාර්යබහුල හදිසි අනතුරු අංශයක සේවය කළ කායික වෛද්‍යවරිය වර්ෂ 1979 දී නාසා අභ්‍යවකාශගාමිනියක්‌ වුණා. එවන් වෘත්තීය පෙරැළියක්‌ සිදු කරන්නට තරම් සමත් වූ ප්‍රබෝධාත්මක ආවේගය වූයේ කුමක්‌ ද?

මට මතකයි රුසියානුවන් ස්‌පුට්‌නික්‌ කක්‌ෂගත කිරීම. ඒ වන විට ඇමෙරිකාව අභිබවා රුසියාව අභ්‍යවකාශ ක්‌ෂේත්‍රයේ ඉදිරියෙන් සිටියා. ඒ නිසා ම වැඩි වැඩියෙන් ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් බිහි කළ යුතු මය යන මතයක්‌ ජාතික මට්‌ටමෙන් බිහි වුණා. එය අප ළඟා කරගත යුතු ඉලක්‌කයක්‌ ලෙස තරුණ පරපුර සිතුවා. නැවුම් ඒ වගේ ම බොහොම විශිෂ්ට මතයක්‌ ලෙස තරුණ පරපුර එය පිළිගත්තා.

වෘත්තීය අජටාකාශගාමිනියක වන්නට වෘත්තියෙන් වෛද්‍යවරියක ව සිටීම ඔබට කිසියම් ආකාරයක බලපෑමක්‌ සිදු කළා ද?

ඔව්. ගුරුත්වයෙන් තොර වූ අභ්‍යවකාශයේ මිනිස්‌ හා අන් ජීවීන් ගේ පැවැත්ම සිදු වන ආකාරය තේරුම්ගැනීමට මා බොහෝ කාලයක සිට ආශාවකින් සිටියා. ඒ වගේ ම මිනිසුන් පෘථිවියේ දීත්, අභ්‍යවකාශයේ දීත් අනතුරු හා ලෙඩ රෝගවලට මුහුණ දෙන ආකාරයේ වෙනසක්‌ ඇත් ද යන්න දැනගැනීමටත් මා දැඩි කැමැත්තකින් පෙළුණා.

ඇමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතිය යටතේ නියමිත පුහුණුව සම්පූර්ණ කර 1979 දී ලොව ප්‍රථම ඇමෙරිකානු අජටාකාශගාමිනියන් සය දෙනා අතරින් කෙනකු ලෙස ඔබ ඉතිහාසයට එක්‌ වනවා. එම සය දෙනා අතරින් වෛද්‍ය උපාධියක්‌ දැරූ ප්‍රථම අජටාකාශගාමිනිය වූයේත් ඔබ ද?

"නැහැ" මා සමග එකට පුහුණුව ලැබූ ඇනා ෆිෂර් (Anna Fisher) ද කායික වෛද්‍යවරියක ලෙස සේවය කළ අයෙක්‌.

ඔබේ ප්‍ර්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම ඩිස්‌කවරි (Discovery) ෂටලය මඟින් 1985 දී සිදු කළ STS 51-D. මේ කුළුඳුල් අභ්‍යවකාශ මෙහෙයුමේ විශේෂ සිදුවීම් මොනවා ද?

අපේ චන්ද්‍රිකාවලින් එකක්‌ නිසියාකාර ව වැඩ කළේ නැහැ. ඉතිං අපට අනපේක්‌ෂිත ලෙස එය හා කක්‌ෂයේ දී සම්බන්ධ වීමට (Rendezvous) සිදු වුණා.

එහි දී අපේ කණ්‌ඩායමේ අභ්‍යවකාශගාමීන් දෙදෙනකුට සැලසුම් නො කළ අනපේක්‌ෂිත අභ්‍යවකාශ "ඇවිදීම්" (Space walks) දෙකක්‌ කරන්න සිදු වුණා. රොබෝ අතක්‌ හසුරුවමින් (Robotic arm operation) එම චන්ද්‍රිකාවේ කටයුතු යළි ක්‍රියාත්මක කිරීමට මට සිදු වුණා. ඒ වගේ ම අභ්‍යවකාශයේ දී ළමා සෙල්ලම් බඩු (toys) ක්‍රියා කරන ආකාරය අප රූපගත කළා.

ලොව ප්‍රථම වරට අභ්‍යවකාශයේ දී සිදු කරනු ලැබූ ප්‍රතිවනි ඛන්තු රේඛනය (Echocaradiography) ඔබ විසින් සිදු කරන්නට යෙදුණේ ද මේ ෂටල මෙහෙයුමේ දී නේ ද?

ඔව්. අභ්‍යවකාශයේ දී හෘදයේ ක්‍රියාකාරීත්වය වෙනස්‌ වන ආකාරය දැකීම බොහෝ ම චමත්කාරජනක අත්දැකීමක්‌ වුණා.

වර්ෂ 1991 දී කොලම්බියා (Columbia) ෂටලය මඟින් සිදු කළ STS 40 ඔබේ දෙවැනි ෂටල මෙහෙයුම. මෙය අභ්‍යවකාශය හා ජීව විද්‍යාව (Space and life sciences) වෙනුවෙන් ම වෙන් කෙරුණු මෙහෙයුමක්‌ ලෙසයි හැඳින්වෙන්නේ. මෙහි දී මිනිස්‌ හා සත්ත්ව සෛල ක්‍ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයට (Microgravity) ප්‍රතිචාර දක්‌වන ආකාරයත් නැවත පෘථිවියට පැමිණීමේ දී පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හැඩගැසෙන ආකාරයත් පිළිබඳ පර්යේෂණයෙහි යෙදුණා. මෙහෙයුම් විශේෂඥවරිය (Mission Specialist) ලෙස ඔබ කටයුතු කළ මේ මෙහෙයුමේ දී සිදු කළ පර්යේෂණවල සාර්ථකත්වය පිළිබඳව ඔබට කිව හැක්‌කේ මොනවා ද?

මෙහි දී අප හුගක්‌ සාර්ථක ප්‍රතිඵල ලැබුවා. අභ්‍යවකාශ ෂටලය තුළ ඇවිදීම සිදු නො වන නිසා මිනිස්‌ සිරුරේ අස්‌ථිවල කැල්සියම් ප්‍රතිශතය අඩු වීම, අභ්‍යවකාශයේ දී ගුරුත්වයට එරෙහි ව ක්‍රියා නො කිරීම නිසා මාංශ පේශිවල ප්‍රොaටීන සංයුතිය අඩු වී ඒවා දුර්වල වීම, ගුරුත්වයෙන් තොර තත්ත්වයෙන් සිටීම නිසා ගුරුත්වයට ප්‍රතිචාර දැක්‌වීමට අමතක වී සිරුරේ සමතුලිත බව (balance) වෙනස්‌ වීම සහ හිටගැනීමට ප්‍රතිචාර දැක්‌වීමට අමතක ව යැමෙන් පෘථිවියට ගොඩබැසීමෙන් පසුව රුධිර පීඩනය නිසියාකාරව පවත්වාගැනීමේ අපහසුතාවය යනාදිය එම පර්යේෂණ තුළින් අප දුටුවා.

මා එම පර්යේෂණ සිදු කළේ අජටාකාශගාමීන් දෙදෙනකු හා අජටාකාශගාමිනියන් දෙදෙනකු යොදාගනිමින්. නමුත් මේ සියලු පර්යේෂණවල දී ගැහැනුන් සහ පිරිමින් දෙකොටස ම අභ්‍යවකාශ තත්ත්වවලට ප්‍රතිචාර දක්‌වා තිබුණේ එක ම ආකාරයකට.

වර්ෂ 1993 දී කොලම්බියා (Columbia) ෂටලයෙන් සිදු කරනු ලැබූ ඔබේ තුන්වැනි ෂටල මෙහෙයුම නාසා පරිපාලන සම්මානයකින් (NASA Management Recognition Award) පිදුම් ලැබුවා. ඒ, ඒ දක්‌වා සිදු කරනු ලැබූ සියලු ම ෂටල මෙහෙයුම් අතරින් අතිසාර්ථක වූ ද වඩාත් කාර්යක්‌ෂම වූ ද අභ්‍යවකාශ පර්යේෂණාගාරය (Space lab) ලෙස. මේ මෙහෙයුමේ පර්යේෂණ විධායකවරිය (Payload Commander) ලෙස කටයුතු කළේ ඔබ. එවන් සාර්ථකත්වයක්‌ ලැබූ මේ මෙහෙයුම ඔබේ අත්දැකීමෙන් විස්‌තර කරන්නේ කොහොම ද?

මෙහි දී අප සිදු කළ පර්යේෂණ බොහෝ දුරට 1991 දී කළ පර්යේෂණවලට ම සමානත්වයක්‌ දැරුවා. නමුත් සියල්ල ඉතා ම කාර්යක්‌ෂම ලෙස අප සැලසුම් කළ කාල රාමුව තුළ සිදු කරන්නට අප සමත් වුණා. ඒ වගේ ම මෙහි දී සිදු කරනු ලැබූ සැම පර්යේෂණයක්‌ ම සිදු කළ යුතු ආකාරය පිළිබඳව අප හොඳ පෙර පුහුණුවක්‌ ලබා තිබුණා. ඒ නිසා ම ෂටල මෙහෙයුමේ දී ඒවා අතිසාර්ථකව සිදු කරන්නට අපට හැකියාව ලැබුණා. එම විධායක තනතුර දරන්නට ලැබීම මා සලකන්නේ විශාල ගෞරවයක්‌ ලෙස. එහි දී අභ්‍යවකාශ කණ්‌ඩායම භාර ව කටයුතු කිරීමට අමතරව පරිපාලන නිලධාරීන්, ඉංජිනේරුවන්, ගවේෂකයන් ආදී ඉතා ම පුළුල් වූ පරාසයක නිලධාරීන් සමූහයක්‌ සමග ඉතා ම සමීප ව සහයෝගයෙන් වැඩ කරන්නට මට සිදු වුණා.

අභ්‍යවකාශයේ දී සිදු කරන්නට යෙදුණු සියලු ම පර්යේෂණ අතරින් ඔබේ ප්‍රියතම පර්යේෂණය ලෙස ඔබ හඳුන්වන්නේ කුමක්‌ ද?

මගේ තෙවැනි ෂටල මෙහෙයුමේ දී පශූ වෛද්‍ය මා(ර්)ටි ෆෙට්‌මන් (Dr Marty Fettman) සමග එක්‌ ව අභ්‍යවකාශයේ දී සිදු කළ සත්ත්ව විච්ඡේදන. ඒවා අභ්‍යවකාශයේ දී සිදු කරනු ලැබූ පළමු හා එක ම සත්ත්ව විච්ඡේදන වනවා. මිනිස්‌ සිරුරු තුළ සිදු වනවා යෑයි කිසි දා සාධනය කර පෙන්විය නොහැකි වෙනස්‌කම් රාශියක්‌ අපට මීයන් ගේ පටකවල දැකගන්නට ලැබුණා.

වෛද්‍ය සෙඩන්, වෘත්තියෙන් භෞතචිකිත්සකවරියක ලෙස මා දැනගන්නට කැමතියි වේලාව නොවරදවා ව්‍යායාම කිරීමෙහි වැදගත්කම පිළිබඳ පර්යේෂණ ද ඔබේ අභ්‍යවකාශ පර්යේෂණ අතර තිබුණා ද කියා.

ඔව්, අනිවාර්යයෙන් ම. කක්‍ෂයේ දී කැල්සියම් හා නයිට්‍රජන් සමතුලිතාතාව පවත්වාගැනීම පිළිබඳ අප පර්යේෂණ කළා.

අභ්‍යවකාශයේ දී අස්‌ථිවල ඇති කැල්සියම් හානි වීමෙහි විවිධත්වයක්‌ අප දුටුවා. ඒ වගේ ම මාංශපේශිවල හානි වීම වඩාත් ම කැපී පෙනුණත් කකුල්, කොන්ද, බෙල්ල, ආදියේ ඇති ප්‍රතිගුරුත්ව මාංශ පේශීන් ගේ (Anti gravity
muscles). අභ්‍යවකාශ ෂටලය තුළ ඒවා භාවිත නො වීමයි එයට හේතුව. ඒ අනුව මාංශ පේශීන් ගේ හා අස්‌ථිවල නිරෝගීභාවය රැකගැනීමට අභ්‍යවකාශ ෂටල ගමන්වල නිරත වන අභ්‍යවකාශගාමීන් අනිවාර්යයෙන් ම දිනකට පැයකට වඩා දිගු කාලයක්‌ ශාරීරික ව්‍යායාමයන්හි නිරත විය යුතු බව අපට පෙනී ගියා.

ඔබ විසින් සිදු කරන්නට යෙදුණු වෛද්‍ය පර්යේෂණ අතරින් අනාගත අභ්‍යවකාශ ගවේෂණයන්හි දී පුළුල් ලෙස උපයෝගී කරගන්නට සමත් වූ ප්‍රතිඵල ලබා දුන් පර්යේෂණ තිබුණා ද?

ඔව්. උදාහරණයක්‌ ලෙස, කලින් කී ආකාරයට අභ්‍යවකාශගාමීන් ශාරීරික ව්‍යායාමයන්හි යෙදිය යුතු ආකාරය පිළිබඳව පැවැත්වූ පර්යේෂණ හඳුන්වන්නට පුළුවන්.

වර්ෂ 1986 දී සිදු වූ චැලෙන්ජර් ඛෙදවාචකයෙන් අජටාකාශගාමිනියක ඇතුළුව ඔබ සමඟ පුහුණුව ලැබූ අජටාකාශගාමීන් කිහිප දෙනකු ගේ ම ජීවිත අහිමි වුණා. ඉනික්‌බිතිව අනාගත ෂටල මෙහෙයුම්වල යෙදෙන්නට ඔබ යළිත් ආත්ම ශක්‌තිය ගොඩනඟාගන්නේ කොහොම ද?

එය ඉතා ම වේදනාත්මක කාලයක්‌. නමුත් අවදානම හා ප්‍රතිලාභ තුලනය කරන්නට අපට සිද්ධ වුණා. අප කළ යුතු ව තිබූ කාර්යභාරය වෙනුවෙන් අවදානමකට මුහුණ දෙන්න අප සියලු දෙනා ම සූදානම් වුණා. ජීවිතේ පුරා ම ආශාවෙන් මඟ බලාගෙන හිටපු අභ්‍යවකාශ ජීව විද්‍යා මෙහෙයුමේ (Life sciences mission) පුහුණුවීම් කටයුතු ඒ වන විටත් මා ආරම්භ කරලයි තිබුණේ. කෙසේ වෙතත්, අභ්‍යවකාශ ව්‍යාපෘතිය අපේ ආරක්‌ෂාව තහවුරු කරා වි ය කියන ආත්ම විශ්වාසය අපට ඇති වුණා.

ඔබ පුරා වසර 18ක්‌ අජටාකාශගාමිනියක ලෙස සේවය කළා. ඔබේ අභ්‍යවකාශ වෘත්තීය ජීවිතයේ මිහිරිතම මතක සටහන කුමක්‌ ද?

මගේ එක්‌ ෂටල මෙහෙයුමක දී පාසල් දරුවන්ට උඩුගුවනේ සිටින අභ්‍යවකාශගාමීන් හා කථා කිරීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දෙන වැඩසටහනක්‌ සංවිධානය කර තිබුණා. මගේ කුඩා පුතු ගේ පංතියත් එයට ඉල්ලීම් කර තිබුණා. පංතියේ ළමයින් ගේ සියලු ප්‍රශ්න ඇසීම් අවසානයේ දී ගුවන් විදුලි සම්බන්ධතාව නැති වී යනවාත් සමඟ ම මගේ කුඩා පුතු "මම අම්මට ආදරෙයි. අම්මා පරෙස්‌සමෙන් ගෙදර එන්න" කියලා කියනවා මට ඇහුණා.

වෛද්‍ය සෙඩන්, ඔබ අජටාකාශගාමිනියක ලෙස ෂටල මෙහෙයුම් 3ක්‌ සාර්ථක ව නිම කළා. අර්ධකාලීන ව වෛද්‍යවරියක ලෙස ද සේවය කළා. ඔබ තිදරු මවක්‌. ඒ වගේ ම ඉතා ම කාර්යබහුල අභ්‍යවකාශ ෂටල විධායකවරයකු ගේ (ෂටල මෙහෙයුම් 5ක්‌ සාර්ථක ව නිම කළ කපිතාන් රොබර්ට්‌ ගිබ්සන්) බිරිඳ. ඔබ කොහොම ද මේ සියල්ල තුලනය කරගන්නේ?

සමහර කාලවල දී ඒ තරමට පහසු වුණේ නැහැ. නමුත් මා කරන්නට යෙදුණු සියලු දේ මට ඉතා ම වැදගත් වූ දේවල්. අතහැර දාන්න නැතිනම් නතර කර දමන්න, මට කොහෙත්ම හැකියාවක්‌ නොතිබූ දේවල්. නමුත් මගේ දෙවැනි දරුවා ඉපදුණු දවස්‌වල ජොආන් පවෙල් නම් වූ කාන්තාවක්‌ අපට මුණ ගැසුණා. පුරා වසර 25ක්‌ ම අප හා රැඳෙමින් ඇය අපට උදව් කළා. ඇගේ සහාය නො තිබුණා නම්, අප කළ රාජකාරි කිසිවක්‌ අපට ඒ ආකාරයෙන් කරන්න ලැබෙන්නේ නැහැ.

මා අසා තිබෙනවා ඔබ තරුණ පරපුර විද්‍යා හා තාක්‌ෂණ අධ්‍යාපනය ලබාගැනීමට දිරි ගන්වන ව්‍යාපෘති සහ වැඩසටහන් හා සම්බන්ධ ව සිටින බව. මා කියූ දේ නිවැරැදි නම්, මේ පිළිබඳව ඔබේ අදහස්‌ අප සමග බෙදාගන්න පුළුවන් ද?

ඔව්. යොවුන් පරපුරට විශේෂයෙන් ම තරුණ ළාබාල ගැහැනු දරුවන්ට තමා අගය කරන ආදර්ශ චරිත (Role models) තිබීම වැදගත්. එම චරිත සිය ජීවිතවල විවිධාකාර ජයග්‍රහණ හා ඉලක්‌ක ළඟා කරගත් චරිත වීම ද වැදගත්. ඉතා ම ධෛර්යවන්ත ව, ඉතා වැදගත් දේ කිරීමට ඔවුන් දිරිගැන්වීම තුළින් තමා කරන්නට රුචි දේ පිළිබඳව ඔවුන් තුළ විශාල ආත්ම විශ්වාසයක්‌ ගොඩනංවන්නට පුළුවන්.

ඉතා ම ධෛර්යවන්තව කැප වීමකින් මම ජීවිතය පුරා වැඩ කළා. ඒ නිසා ම "ඈත අහසේ තරු කරා ළඟා වන්නට" මට පුළුවන්කම ලැබුණා. මේ අනුව තරුණ පරපුරට ආදර්ශයක්‌ වන්නට හැකි ය යන විශ්වාසය මා තුළ පවතිනවා.

ඇමෙරිකාවෙන් බිහි වූ ප්‍රථම අජටාකාශගාමිනියන් සය දෙනා අතරින් අයකු ලෙස ජීවිතයේ ඉතා ඉහළ ඉලක්‌ක ළඟා කරගන්නට කැමැති ශ්‍රී ලාංකික තරුණ පරපුරට ඔබ දෙන ඔබ දෙන පණිවිඩය කුමක්‌ ද?

හැම විට ම ජීවිතයේ ඉලක්‌ක තබාගන්න. අවස්‌ථාව ලැබුණු විට එය මඟහරින්න එපා. ග්‍රහණය කර ගන්න. ඉලක්‌කය ළඟා කරගන්නට අවශ්‍ය දිශාවට ගමන් කරන්න.

නාසා ආයතනයේ හිටපු අභ්‍යවකාශ ෂටල මෙහෙයුම් විශේෂඥ (Mission specialist) වෛද්‍ය රේ සෙඩන්

සමඟ සාකච්ඡා කළේ

මදාරා සරසි ද සිල්වා

(එක්‌සත් රාජධානියේ සිට)