logo3.gif (702 bytes)

HOME


ශක්‌තිය හා මනස

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බෞද්ධයකු නො වන බව පැහැදිලි ය. ඔහු විඤ්ඥාණය තේරුම් කරන්නේ පටිච්චසමුප්පාදය ඇසුරෙන් නො ව බටහිර විද්‍යාව ඇසුරෙනි. ඔහු ගේ ඌනිතවාදී විද්‍යාව ගැන බොහෝ දේ කීමට ඇති මුත් බෝධි ධනපාල හා කීර්ති තෙන්නකෝන් මහතුන්ට පිළිතුරු දීමට ඇති බැවින් ඒ පමා කිරීමට සිදු වෙයි. එහෙත් පාඨකයාට අමරතුංග මහතා ගේ ලිපිය විචාරාත්මක කියවීම සඳහා දැනට ඔහු ගේ මැයි මස 20 වැනි දා ලිපියෙන් උපුටාගැනීම් කිහිපයක්‌ පළ කර විවේචනයක්‌ කිරීමට සිදු වෙයි.

අමරතුංග මහතා ශක්‌තිය ගැන කතා කරයි. මේ ශක්‌තිය බටහිර විද්‍යාවේ කියෑවෙන ශක්‌තිය ද? ඒ ශක්‌ති සංස්‌ථිති නියමයට යටත් ද? එය සාපේක්‌ෂතාවාදයේ ශක්‌ති ගම්‍යතා ආතානකය හා සම්බන්ධ වන්නේ කෙසේ ද? ඒ කතා අපි පසුව සාකච්ඡා කරමු. දැනට පහත සඳහන් වාක්‍ය පිළිබඳ ව පාඨකයා ගේ අවධානය යොමු කරමු.

මොළය ක්‍රියා විරහිත වූ විට මනස ද ක්‍රියා විරහිත වේ. එවැනි අවස්‌ථාවක හැඟීම්, විඤ්ඤාණය, උද්වේගය වැනි දේ ක්‍රියා කරන්නේ නැත. එහෙත් මනස ක්‍රියා විරහිත වූ විට මොළය ක්‍රියා විරහිත වන්නේ නැත. විඤ්ඤාණය, හැඟීම්, උද්වේගය වැනි දේ මනසේ ක්‍රියාදාමයන් ලෙස ගත හැකි ය. හෘදය, ශ්වසනය, වැනි ක්‍රියාදාම මොළය විසින් පාලනය කෙරෙයි. එහෙත් හෘද ස්‌පන්දනය බියක්‌ වැනි හැඟීම් නිසා ද වෙනස්‌ වන හැඟීම් බව පෙනේ. දැනීම ඖෂධ මගින් අඩු කළ හැකි ය. එතැන දී සිදු වන්නේ මනසේ ක්‍රියාකාරිත්වය අඩු වීම ද නැත්නම් මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වීම ද? මොළය සහ මනස වෙන් කරගැනීම එතරම් ලෙහෙසි නැති බව පෙනී යයි. සාමාන්‍යයෙන් ශරීරයේ භෞතික ක්‍රියාවන් මොළය මගින් ද මානසික ක්‍රියාවන් මනස මගින් ද සිදු කෙරන බව පැවසුව ද මොළය සහ මනස සංකීර්ණ වූ එතම පද්ධතියක්‌ ලෙස හැඳිනගැනීම වඩා නිවැරැදි විය හැකි ය."

මොළය නැති සත්ත්වයන්ට විඤ්ඥාණයක්‌ නැත් ද යන ප්‍රශ්නය නැවත නැවතත් අමරතුංග මහතා ගෙන් ඇසීමට සිදු වෙයි. මොළය සෑදී ඇත්තේ ද්‍රව්‍යයෙනි. එය බටහිර විද්‍යාවේ කියෑවෙන ද්‍රව්‍යය යෑයි ගනිමු. අමරතුංග මහතා දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත ආදී සත්ත්වයන් සිටින බව විශ්වාස කරන්නේ ද? ඔවුන් පංෙච්න්ද්‍රිය ගෝචර නො වන බැවින් අමරතුංග මහතාට ඒ සත්ත්වයන් ගැන විශ්වාසයක්‌ නැද්ද? නැත්නම් කරුණාකර ඒ බව කියන්න. එවැනි සත්ත්වයන් ඇති බව අමරතුංග මහතා විශ්වාස කරන්නේ නම් පංෙච්න්ද්‍රිය ගෝචර ආනුභවික බටහිර විද්‍යාවට කුමක්‌ වේ ද? ඔවුන් ගේ ශරීර සෑදී ඇත්තේ බටහිර විද්‍යාවේ ද්‍රව්‍යයෙන් ද?

අමරතුංග මහතා මෙසේ ද කියා ඇත. "ශරීරයේ මානසික ක්‍රියාදාමයන් මනසේ ක්‍රියාකාරී බව, විඤ්ඥාණයේ ස්‌වභාවය යනාදිය තුළ ද ශක්‌තිය විශාල ලෙස සහභාගි වන බව කිව හැකි ය. මොළය (brain), මනස (mind), හැඟීම් (feelings), උද්වේගය (emotion), විඤ්ඥාණය (consciousness) යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ දැයි සොයා බැලිය යුතු ය. මේ සඳහා ස්‌නායු කායික විද්‍යාවේ (neurophysiology) සහාය මෙන්ම බුදුදහමේ මේ ගැන කර ඇති විග්‍රහයන් ද ප්‍රයෝජනයට ගත හැකි ය."

අපට අමරතුංග මහතා කියන ශක්‌තිය කුමක්‌ දැයි නිශ්චිත ව දැනගැනීම අවශ්‍ය ය. මේ ශක්‌තිය ද්‍රව්‍ය බවටත් ද්‍රව්‍යය ශක්‌තිය බවටත් පත් කළ හැකි ද? ඒ මහතා විඤ්ඥාණය යනුවෙන් හඳුනාගන්නේ ඉංගිරිසියෙන් කොන්ෂස්‌නස්‌ යනුවෙන් කියෑවෙන දෙය ය. ස්‌නායු කායික විද්‍යාව හා බුදුදහම අතර ඇති සම්බන්ධය කුමක්‌ ද? විඤ්ඥාණයේ ස්‌වභාවය තුළ ශක්‌තිය විශාල ලෙස සහභාගි වන බව අමරතුංග මහතා කියයි. එයින් ඒ මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි නැත. ඊනියා ශක්‌තිය නැති වූ විට විඤ්ඥාණය නැති වේ ද? නිවන් අවබෝධ කරගැනීමේ දී මේ ශක්‌තියට සිදු වන්නේ කුමක්‌ ද? එය වෙනත් ශක්‌ති ප්‍රභේදයකට පෙරළෙන්නේ ද? එසේත් නැත්නම් විශ්වයෙන් පිටට කාන්දු වෙයි ද?

බෝධි ධනපාල මහතා මේ කාන්දු වීමේ කතාව කීවේ ය. විශ්වයෙන් පිටත ඇත්තේ කුමක්‌ ද? විශ්වය යනු සියල්ල නො වේ ද? බටහිර විද්‍යාවට පැහැදිලිව ම විශ්වය යන්න වත් අර්ථ දක්‌වා ගත නොහැකි ය. විශ්වයෙන් පිටතට කාන්දු වන්නේ යෑයි කීම ම අර්ථශුන්‍ය ය. විශ්වයෙන් පිට කිසිවක්‌ තිබිය නොහැකි ය. පට්‌ටපල් බොරු වූ බටහිර විද්‍යාවට සංගත ව විශ්වය යනු කුමක්‌ දැයි කිව නො හැකි ය. විශ්වයෙන් පිටතට කිසිවක්‌ කාන්දු විය නො හැකි ය. අපි ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. දැන් නැවතත් අමරතුංග මහතා දෙසට හැරෙමු.

"එහෙත් මෙසේ පාලනය වන්නේ අපට අවදි ව සිහියෙන් සිටීමට අවශ්‍ය සංඥ පමණක්‌ ද? අප තුළ සිතිවිලි හැඟීම් ඇති වන්නේ කෙසේ ද? ඥනය භාවිත වන්නේ කෙසේ ද? ආත්මීය ක්‍රියාදාමය සිදු වන්නේ කෙසේ ද? තැලමසයේ තිබෙන විශේෂ වූ කොටසක්‌ වන intra laminar nuclei වනාහි ආත්මීය ක්‍රියාදාමය සිදු වන ස්‌ථානය බව විශ්වාස කරන විද්‍යාඥයෝ සිටිති. (J. Bogen, B. Baab, J. Newman). මේ අදහස ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි ලෙස ඔවුන් පවසන්නේ එම ස්‌ථානයට සුළු රෝගයක්‌ වුව සෑදුණොත් මුළු විඤ්ඥාණය වෙනස්‌ වනවා මිස සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වන්නේ නැත."

ආත්මීය ක්‍රියාදාමය යනුවෙන් අමරතුංග මහතා හඳුන්වන්නේ කුමක්‌ ද? කරුණාකර ඒ පැහැදිලි කර දිය හැකි ද? අමරතුංග මහතා යම් කිසි ඉංගිsරිසි පොතකින් හෝ පොත්වලින් මේ කරුණු ලබාගන්නා බව පැහැදිලි ය. ඒ මහතා අඩු තරමෙන් තමන් ආත්මීය යනුවෙන් පරිවර්තනය කරන්නේ කිනම් ඉංගිරිසි වදනක්‌ ද යන්න කියන්නේ නම් මැනවි. කෙසේ වෙතත් මොළයේ තැලමසයේ විශේෂ කොටසකට සුළු රෝගයක්‌ වුව සිදු වුව හොත් මුළු විඤ්ඤාණය ම ක්‍රියා විරහිත වන බව ය. එයින් කියෑවෙන්නේ එවිට විඤ්ඥාණය නැති වන බව ද? ඒ සුළු රෝගය සුව නො කර එසේ ම තිබෙන්නට හැරිය හොත් මරණය තෙක්‌ ඒ පුද්ගලයාට විඤ්ඥාණයක්‌ නැත් ද? පටිච්චසමුප්පාදයට කුමක්‌ සිදු වේ ද? විඤ්ඥාණයක්‌ නැති ඔහුට නිවන් අවබෝධ වේ ද? අමරතුංග මහතා මේ කරුණු පැහැදිලි කරන්නේ නම් මැනවි.

ධනපාල මහතා තම ලිපිවල ඉහත සඳහන් අන්දමට ශක්‌තිය කාන්දු වීමක්‌ ගැන කියා තිබිණි. ඔහු කුමක්‌ නමුත් කියා පාසල් ශිෂ්‍යයකු මෙන් තමන් විවාදයෙන් ජයගත්තේ යෑයි සිතයි. මම විශ්වයේ ශක්‌ති එකතුව ගැන කතා කළෙමි. මගේ ප්‍රශ්නය වූයේ ශක්‌ති සංස්‌ථිති නියමය බුදුදහමට එකග ද යන්න ය. ශක්‌තිය නමින් සමස්‌තය ලෙස වෙනස්‌ නො වන රාශියක්‌ තිබීම ආත්මවාදී නිත්‍යවාදී අදහසකි. එය බුදුදහමට පටහැනි ය. මා ප්‍රශ්න කෙළේ විශ්වයේ ම ඇති ශක්‌තිය පිළිබඳව ය. එය සමස්‌ත විශ්වය කරා ගෙන යැම අනිවාර්ය නො වේ. යම්කිසි සංවෘත පද්ධතියක ශක්‌තිය වුව ද සංස්‌ථිතියක්‌ නම් එය බුදුදහමට පටහැනි ය. මෙහි දී ශක්‌තිය එක්‌ ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට මාරු වීම නො ව සියලු ශක්‌තීන් ගේ (ප්‍රභේදයන් ගේ) එකතුව සැලකෙයි. එය වෙනස්‌ නො වෙයි. එහි දී අනිත්‍ය හා අනාත්මය අවලංගු කාසි බවට පත් වෙයි.

විශ්වය සම්බන්ධයෙන් ශක්‌තිය සංස්‌ථිති නො වන ආකෘතියක්‌ තම දර්ශනපති උපාධියට ඉදිරිපත් කළ නිබන්ධය මගින් මගේ ශිෂ්‍යයකු නිර්මාණය කළ බැව් මම සඳහන් කළෙමි. එහි දී ධනපාල මහතා තම පාසල් ශිෂ්‍ය වෘත්තය අනුගමනය කරමින් කියන්නේ මා ඒ ශිෂ්‍යයා නොමග යවා ඇති බව ය. ඒ ශිෂ්‍යයාට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඒ නිබන්ධය පදනම් කර ගනිමින් දර්ශනපති උපාධියක්‌ පිරිනැමිණි. ඒ උපාධිය නිකම් ආවාට ගියාට පිරිනමන ලද්දක්‌ නො වේ. නිබන්ධය කියවා පරීක්‌ෂා කිරීම සඳහා පරීක්‌ෂකවරුන් දෙදෙනකු පළමුව විශ්වවිද්‍යාලයෙන් පත් කෙරිණි. ඉන්පසු ඒ දෙදෙනා ද ඇතුළත් වූ පරීක්‌ෂක මණ්‌ඩලයක්‌ ඉදිරියේ ශිෂ්‍යයා වාචික පරීක්‌ෂණයට පෙනී සිටිය යුතු විය.

දන් මේ පරීක්‌ෂකවරුන් දෙදෙනා ලෙස කැලණිය විශ්වවිද්‍යාලය විසින් පත් කෙරුණේ පාසල් ගුරුවරයකු හා දන්ත වෛද්‍ය පීඨයක මහාචාර්යවරයකු නො වේ. ඒ පිළිබඳව නම් විශ්වවිද්‍යාලයට දොස්‌ පැවරිය යුතු ය. විශ්වවිද්‍යාලය විසින් පරීක්‌ෂකවරුන් ලෙස පත් කෙරුණේ ලංකාවේ විශ්වවිද්‍යාලවල භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් ය. සමහර විට ධනපාල මහතා කියනු ඇත්තේ ඔවුන් මගේ මිතුරන් බව හෝ මට ඇති බිය නිසා අදාළ ශිෂ්‍යයා පරීක්‌ෂණයෙන් සමත් කළ බව ය. ධනපාල මහතාට තම මතය තහවුරු කරනු වස්‌ කිව නොහැකි දෙයක්‌ නැත. ඔහු ගේ තාර්කික විධික්‍රමය එබඳු ය.

විශ්වය විවෘත ද සංවෘත ද යන ප්‍රශ්නය මෙහි දී අදාළ නො වේ. විශ්වය යනු සියල්ල ය. බටහිර විද්‍යාවට විශ්වයේ බාහිර වූ දේ ගැන කතා කිරීමට සිදු වන්නේ පට්‌ටපල් බොරුවලට සංගත වීම අසීරු බැවිනි. විශ්වයේ ශක්‌තිය යනු විශ්වයේ කොටස්‌වල එකතුවක්‌ ලෙස ගත හැකි නම් ඒ කොටස්‌වල ශක්‌තිවල එකතුව ය. ඒ කොටස්‌ සංඛ්‍යාව අනන්තයක්‌ ද නැද්ද යන්නවත් ශක්‌තිවල එකතුව අභිසාරී ද අපසාරී ද යන්න වත් මෙහි දී ප්‍රශ්න නො වේ. මා ප්‍රශ්න කරන්නේ ඒ එකතුව නිත්‍ය ද යන්නත් එලෙස ශක්‌තියක්‌ ඇත් ද යන්නත් ය. ඒ දෙක ම අනිත්‍යයට හා අනාත්මයට පටහැනි ය. ශක්‌තිය සංස්‌ථිති නො වීමක්‌ ගැන කීමට ධනපාල මහතා ඊනියා කාන්දු වීමක්‌ ඇද ගනියි. ශක්‌තිය විශ්වයෙන් පිටතට කාන්දු වන්නේ යෑයි කීම ම බංකොළොත් සංකල්පයකි. විශ්වයෙන් පිට කිසිවක්‌ නැත. රික්‌තයක්‌ වත් නැත. සියලු රික්‌ත විශ්වයට අයත් ය.

ඇතැම් සිංහල බෞද්ධයන් අනිත්‍යය යන්න තම තමන්ට අවශ්‍ය ආකාරයට බටහිර විද්‍යාවට යට කර තේරුම් ගනු දක්‌නට හැකි ය. අනිත්‍යය යනු පවතින යමක්‌ වෙනස්‌ වීම නො වේ. මට අනිත්‍ය යනු කුමක්‌ දැයි නො තේරෙයි. අනිත්‍යය, දුක්‌ඛය, අනාත්ම අවබෝධ වන්නේ නිවන් අවබෝධයෙහි දී ය. එහෙත් මට දැනෙන දෙයක්‌ ඇත. අනිත්‍යය යන්න යමක වෙනස්‌ වීමක්‌ ලෙස ගැනීම ඒ යමක්‌ ඇති බව ගැනීමකි. එසේ ගැනීම ආත්මවාදී ය. මා වයසට යන්නේ යෑයි කීම, වයසට ගියත් මා යනුවෙන් කෙනකු හඳුනාගත හැකි යෑයි පැවසීම ආත්මවාදී ය. වෙනස්‌ වන වස්‌තුවක්‌ හෝ පුද්ගලයකු හෝ නැති ව වෙනස්‌ වීම තේරුම්ගැනීම අනිත්‍ය අනාත්ම අවබෝධයට සමීප යෑයි සිතමි.

මා මේ කරුණු වර්ධනය කරන්නේ අවුරුදු තිහක පමණ කාලයක්‌ තිස්‌සේ ය. ධනපාල මහතා වැන්නෝ ඒ කිසිවක්‌ නො දනිති. ශක්‌ති සංස්‌ථිතිය දෙවියන්වහන්සේ මැවූ ලෝකයේ ශක්‌තිය විනාශ කළ නොහැකි ය හා එයට ශක්‌තිය එකතු කළ නොහැකි ය යන්නෙන් ගලා එන බව කී විට ධනපාල මහතා අසන්නේ එය කෝරානයෙන් හෝ වෙනත් තැනකින් හෝ ලබාගත්තක්‌ ද යන්න ය. මා එය ලබාගන්නේ මා ලියා ඇති කරුණුවලිනි. ඒ එහි අඩංගු ය.

බටහිර විද්‍යාව වර්ධනය වන්නේ යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි බව මා කියා ඇත්තේ එක්‌ වරක්‌ නො වේ. ඕනෑ ම දැනුම් පද්ධතියක්‌ යම් චින්තනයක්‌ පදනම් කරගනිමින් යම් සංස්‌කෘතියක නිර්මාණය වෙයි. යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ආරම්භයක්‌ ඇත. ආරම්භයක්‌ යනු නිර්මාණයකි. එහි දී නිර්මාපකයකු සහභාගී වන්නේ ද නැද්ද යන්න ප්‍රශ්නයක්‌ නො වේ. විශ්වයට ඇත්තේ එක්‌ ආරම්භයකි. එහි දී විශ්වයට ලැබුණු ශක්‌තිය නො නැසී පවතියි. බටහිර විද්‍යාවේ ශක්‌ති සංස්‌ථිති නියමය ගලා එන්නේ එතැනිනි. බෞද්ධයනට ආරම්භයක්‌ කොහෙන් ද? විශ්වයේ ආරම්භය අචින්ත්‍ය වෙයි. හීන මානයෙන් පිරුණු ඇතැම් සිංහල බෞද්ධයන් බටහිර විද්‍යාවට කිසි ම එකතුවක්‌ නො කර තමන් විද්‍යාඥයන් බව පළ කරමින් බුදුදහම බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට යට කිරීම පරාජය කළ යුතු ය.

නලින් ද සිල්වා