logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම (21)

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත කුමක්‌ දැයි සොයා බැලීමට විද්‍යාවෙන් ගත හැකි කරුණු පිළිබඳව ය.

ජීවිතයේ අරුත විද්‍යාවේ දාර්ශනික පදනම සමග යම්කිසි සබඳතාවක්‌ තිබිය යුතු වන්නේ විද්‍යාව සත්‍ය ගවේෂණය වන නිසා ය. සත්‍ය යනු ජීවිතයේ අරුත පහදා දිය යුතු විද්‍යාව වන්නේ ය. එය වෙනත් දෙයක්‌ විය නොහැකි ය. ජීවිතයේ අරුත සෙවිය යුතු වන්නේ එය අප නො දන්නා නිසා ය. එය දන්නවා යෑයි සිතා සිටින අය ඔවුන් ගේ ම පෞද්ගලික වූ යම්කිසි අරුතක්‌ ලුහුබඳිනවා විය හැකි ය. එහෙත් එය ද මිථ්‍යාවක්‌ බව බොහෝ විට වැටහෙනවා විය හැකි ය. මා පෙර ලිපිවල කී පරිදි අප සතුටින් සැම දා ජීවත් වනවා නම් ජීවිතයේ අරුත එය යෑයි සිතා සැනසෙන්නට පුළුවන. එහෙත් අප දුකින් කල් ගෙවා කෙටි කාලයක දී මිය යන්නේ ය. මෙහි අරුත කිම? ජීවිතයේ අරුතක්‌ තිබිය යුතු යෑයි මෙසේ සිතන්නේ අප ගේ ජීවිතයේ අපට ප්‍රයෝජනවත් වන අරුතක්‌ තිබිය යුතු යෑයි අප සිතන නිසා ය. එහෙත් අප ගේ ජීවිතයේa වෙන කිසිවකට ප්‍රයෝජනයක්‌ තිබිය නොහැකි ද? අප ගේ ජීවිතය සේවය කරන්නේ අපට නො ව වෙනත් කිසිවක්‌ පිණිස ද යන්න අප සොයා බැලිය යුතු ය. අප ගේ ප්‍රයත්නය සර්ව සම්පූර්ණ වන්නේ එවිට ය.

අප මරණයට පත් වූ පසු ඉතිරි වන්නේ අප ගේ ජාන බව අපි දන්නෙමු. අප ගේ ඊළග පරම්පරාව තුළ මේ ජාන ගබඩා වී ඇත. ඒවා අප තුළ තිබූ ජානවලට වඩා දියුණු ඒවා විය හැකි ය. ඒවා දියුණු වී ඇත්තේ අප කරන ක්‍රියාවන්, සිතන සිතුම් පැතුම්, ලිහන ගැටලු, විසඳන ප්‍රහේළිකා, නටන නැටුම්, ලියන කවි සී පද, කියන බහුභූත, විඳින වේදනා, කරන ඊර්ෂ්‍යා, බනින බැණුම්, වැනි සැම දෙයක ම ප්‍රතිඵලයක්‌ ලෙස විය හැකි ය. අප පරිණාමය වී ඇත්තේ ද මේ දේවල් කිරීම පිණිස ය. අප නිර්මාණය වී ඇත්තේ ජාන දියුණු කොට ප්‍රජනනය මගින් ඊළග පරම්පරාවට ඒවා දායද කිරීම පිණිස විය හැකි ය. වෙන කුමක්‌ හෝ තේරුමක්‌ අප ගේ ජීවිතයේ ඇත් ද? ජාන යනුවෙන් දෙයක්‌ ඇත්තේ වෙන කුමක්‌ සඳහා විය හැකි ද? මේ ගැන ජීව පරිණාමය ගෙන හැර ගැඹුරින් සාකච්ජා කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන්නෙමි.

ඊට පෙර පසුගිය ලිපියේ සාකච්ජා වූ මොළය, මනස සහ විඤ්ඤාණය පිළිබඳව තවත් කරුණු ඉදිරිපත් කළ යුතු වන්නේ ය. එය අවශ්‍ය වන්නේ විඤ්ඤාණය මරණින් පසු ඉතිරි විය හැකි ශක්‌ති විශේෂයක්‌ ද යන්න සලකා බැලීම පිණිස ය. පෙර ලිපියේ සඳහන් වූයේ ආත්මීය සංජානනය (subjective perception) පිණිස මොළයේ වෙන් වූ පෙදෙසක්‌ ඇත්නම් එය තිබිය හැක්‌කේ තැලමසයේ (Thalamus) intralaminar nuclei යන කොටසේ විය හැකි බව ය. මා ඊට පෙර පවසා ඇත්තේ මනස (mind) යනුවෙන් හැඳින්විය හැකි මොළයේ කොටසක්‌ මෙතෙක්‌ හඳුනාගෙන නැති බව ය. ආත්මීය සංජානනය මනසේ ක්‍රියාදාමයක්‌ නම් මා කියන දෙය පරස්‌පරයක්‌ බව හැම දේ ම නොපිටට දකින බහුභූතවාදීන්ට සිතෙනවා වන්නට පුළුවන. අප ගේ තර්කය ඉදිරියට ගෙන යැම පිණිස මෙලෙස සාකච්ජා කිරීම සාධාරණ බව පාඨකයන් දන්නවා ඇත. මනස පිළිබඳ අවසාන නිගමනයකට විද්‍යාඥයන් පැමිණ නැති බව අපි දනිමු.

තැලමසයේ Intralaminar nuclei (මීට පසු ILN) යන කොටස ගැන තවත් ටිකක්‌ සොයා බලමු. අප පවසා ඇත්තේ මේ පෙදෙසට සුළු තුවාලයක්‌ වුවත් විඤ්ඤාණය සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වන බව ය. මොළයේ වෙනත් ස්‌ථානවලට එසේ වූ විට විඤ්ණය සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වන්නේ නැත. ILN නමැති පෙදෙස ඉදිරිපස කාණ්‌ඩය සහ පසුපස කාණ්‌ඩය යනුවෙන් කොටස්‌ දෙකකට බෙදේ. මේවා සෛල එකතුවක්‌ ලෙස පවතියි. Nuclei යන ඉංගී්‍රසි වචනයේ තේරුම න්‍යෂ්ටි යන්න ය. මොළයේ මෙවැනි සෛල එකතුවක්‌ න්‍යෂ්ටියක්‌ ලෙස හැඳින්වේ. මෙවැනි න්‍යෂ්ටි කිහිපයක්‌ එකතු වී යම් යම් ක්‍රියාවන් පාලනය කිරීම සඳහා කේන්ද්‍ර හෝ මධ්‍යස්‌ථාන සෑදී ඇත. උදාහරණයක්‌ ලෙස හෘද වස්‌තුව පාලනය කිරීමේ මධ්‍යස්‌ථාන පිහිටා ඇත්තේ medulla නමැති කොටසේ ය. තැලමසයේ ILNවල ඉදිරිපස කාණ්‌ඩයේ න්‍යෂ්ටි තුනක්‌ ද පසුපස කාණ්‌ඩයේ න්‍යෂ්ටි දෙකක්‌ ද පිහිටා ඇත. පසුපස කාණ්‌ඩයේ ව්‍යqහය සහ ක්‍රියාකාරීත්වය පෙන්වා දෙන්නේ එය ඥානය සම්බන්ධ වූ ද මතකය සම්බන්ධ වූ ද ක්‍රියාවන් සිදු කරන බව ය. මතකය සහ ඥානය පිරිහීම රෝග ලක්‌ෂණ වන සමහර රෝග ඇති විට මේ න්‍යෂ්ටිවල සෛල අඩු වන බව සොයාගෙන ඇත. පාර්කින්සන් (Parkinson) සහ ඇල්සයිමර් (Alzeimer) නමින් හැඳින්වන රෝගවල දී මෙය සිදු වන බව කිව හැකි ය.

මෑතක දී සිදු කරන ලද පරීක්‌ෂණවලින් පෙනී යන්නේ ඥාන සම්බන්ධ එක්‌ එක්‌ වර්ගයේ ක්‍රියාවන් සඳහා වර්ගයේ වෙන් වූ න්‍යෂ්ටි තැලමසයේ ILNවල පිහිටා ඇති බව ය. (Y. D. Van de Werf et al 2002). මීට පෙර සිතා සිටියේ මෙවැනි ක්‍රියාවන් සඳහා ILNවල ව්‍යqහයේ වෙනස්‌ වීමක්‌ නැතැයි කියා ය. මින් පෙන්නුම් වන්නේ මනස නමැති ප්‍රහේළිකාව විසදාගැනීම කරා අප ළගා වෙමින් සිටින බව විය හැකි ය. ඉගෙනගැනීම, මතකය, අවධානය, වැනි කාර්යයන් සඳහා මේ න්‍යෂ්ටි අවශ්‍ය බව පෙන්වා දී ඇත. ඉහත සඳහන් විද්‍යාඥයන් ගේ කාණ්‌ඩායම විසින් ILN න්‍යෂ්ටි කොටස්‌ හතරකට වෙන් කොට හඳුනා ගැනෙයි. තව ද ඒවාට වෙන් වූ කාර්යභාරයන් ඇති බව ද ඔවුහු පවසති. මතකය පිළිබඳව ද මෙලෙසින් වෙන් වූ න්‍යෂ්ටි ඇති බව පැවසේ. මතකයේ හඳුනාගත හැකි නොයෙකුත් ගුණාංග සඳහා ව්‍යqහයේ වෙන් වීමක්‌ සහ වෙන් වූ න්‍යෂ්ටි ඇති බව ද වෙනත් විද්‍යාඥයන් සොයාගෙන ඇත (J. Lopaz et al, 2009).

ඉහත සඳහන් කරුණු සිත්හි තබාගෙන මනස පිළිබඳව විද්‍යාඥයන් සොයාගෙන ඇති දේවල් ගැන සොයා බලමු. මනස විසින් සිදු කෙරෙන ක්‍රියාවන් මොනවා දැයි සොයා බලමු. සිතීම (Thought), මතකය (Memory), පරිකල්පනය (Imagination), විඤ්ඤාණය (Consciousness) යන ක්‍රියාවන් මනස විසින් සිදු කෙරෙන බව පැවසේ. සිතීම යනු අදහස්‌ අර්ථ නිරූපණය කිරීම මගින් සංකල්ප ඇති කරගැනීම, ප්‍රශ්න නිරාකරණය කරගැනීම සහ තර්කානුකූලව නිගමනවලට එළඹීම බව විශ්වාස කෙරේ. අප ගේ දැනුම සහ අත්දැකීම් මතකයේ ගබඩා කොට අවශ්‍ය වූ විට ප්‍රත්‍යායනය කිරීම ද මනසේ ක්‍රියාවක්‌ වන්නේ ය. පරිකල්පනය වනාහි නව මානසික චිත්තොත්පාදනය කිරීම වන්නේ ය. මනසේ මේ ක්‍රියාව සම්පූර්ණයෙන් ආත්මීය ක්‍රියාදාමයක්‌ බව කිව හැකි ය. බටහිර යෑයි කියන විද්‍යාඥයන් ගේ සොයාගැනීම්වලට අනුව විඤ්ඤාණය වනාහි ආත්මීය ලෙස සංවේදී වීම සහ පරිසරය සමග අප ඇති කරගන්නා සම්බන්ධතාව සංජානනය කිරීම වන්නේ ය. අප අවට ඇති දේ සතා සිව්පාවා සහ අප අතර ඇති සම්බන්ධතාව ගැන ආත්මීය හැගීsම විඤ්ඤාණය වන්නේ ය. zමම් යෑයි දැනුම ද විඤ්ඤාණය වන්නේ ය. සමහර දාර්ශනිකයන් විඤ්ඤාණය වර්ග දෙකකට බෙදා දක්‌වති. (N. Block 1995). එකක්‌ ප්‍රපංච විඤ්ඤාණය (phenomenal consciousness) වන්නේ ය. එය ආත්මීය අත්දැකීම් විය හැකි ය. අනෙක සම්ප්‍රවේශ විඤ්ඤාණය (Access consciousness) වන්නේ ය. එය මොළයේ සැකසුම් මධ්‍යස්‌ථානවලට අවශ්‍ය දත්ත ලබා ගැනීමේ ප්‍රස්‌ථාව ලෙස හැඳින්වේ.

මනස සහ භෞතික ශරීරය අතර ඇති සම්බන්ධතාව පිළිබඳව දාර්ශනිකයන් ගේ අවධානය පෙර කල සිට ම නොමද ව ලැබිණි. මේ ප්‍රශ්නය පෙර අපරදෙදිග දර්ශනයේ ඉතා වැදගත් ස්‌ථානයක්‌ ඉසිලුවේ ය. මේ පිළිබඳව දාර්ශනික අදහස්‌ තුනක්‌ පෙර කල සිට ම තිබූ බව පෙනේ. ඒවා නම් 1. ද්වෛතවාදය (Dualism) - මින් අදහස්‌ වන්නේ මනස ශරීරයෙන් වෙන් ව පවතින බව ය. 2. භෞතිකවාදය (Materialism) - මින් අදහස්‌ වන්නේ මනස වනාහි මොළයේ ස්‌නායුවල ක්‍රියාදාමයක්‌ මිස වෙන දෙයක්‌ නො වන බව ය. 3. විඤ්ඤාණවාදය - මින් අදහස්‌ වන්නේ සැම දෙයක්‌ ම මනසේ ක්‍රියාදාමයක්‌ පමණක්‌ බව ය. එහෙත් නවීන සොයාගැනීම් නිසා මේ අදහස්‌ ක්‍රමයෙන් වෙනස්‌ වෙමින් පවතී. මොළයට යම්කිසි තුවාලයක්‌ සිදු වූ විට මනස වෙනස්‌ වන අන්දම මේ දෙක අතර ඇති සම්බන්ධය පෙන්නුම් කරයි. තව ද මොළය මත ක්‍රියා කරන ඖෂධවලින් මනසේ ක්‍රියාකාරීත්වය වෙනස්‌ කළ හැකි බව ද මේ දෙක අතර ඇති සම්බන්ධයට සාක්‌ෂි සපයයි. මොළය සහ මනස අතර ඇති සමීප සන්ධිය මොළය මත ක්‍රියා කරන ඖෂධ මගින් ඔප්පු කළ හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. (P. C. Churchland, 1989).

මේ ප්‍රශ්නය පිළිබඳව තවත් සාධක සොයාගැනීම පිණිස මිනිස්‌ ඥානය පරිණාමය වී ඇත්තේ කෙසේ දැයි සොයාබැලීම යෝග්‍ය වේ. මෙය මිනිස්‌ මොළයේ පරිණාමය සහ මිනිසා ගේ භාෂාවේ පරිණාමය සමග කිට්‌ටු සම්බන්ධතාවක්‌ ඇති බව පෙනේ.

මිනිස්‌ පරිණාමය අවුරුදු මිලියන 7ක්‌ පමණ කාලයක දී සිදු වූවා යෑයි විශ්වාස කෙරේ. මිනිසා ගේ චර්යා නූත්‍යත්වය අවුරුදු 50000ක පමණ කාලයක සිදු වීමක්‌ ලෙස සැලකේ. අවුරුදු මිලියන හතෙන් තුනක්‌ තුළ Sahelanthropus නමින් හැඳින්වෙන මානව වර්ගයා වර්ධනය විය. ඊළග අවුරුදු මිලියන දෙකේ දී Australopithecus නමැති මානව වර්ගයා ද ඊට පසු මනුෂ්‍ය (Human) වර්ගයා ගේ වර්ධනය ද සිදු විය. මනුෂ්‍ය ඥනය සමග බැඳී පවතින සමහර ගුණාංග වානරයන් අතර ද අඩු වශයෙන් දැකගත හැකි බව කිව යුතු ය. කරුණාව, කණගාටුව, ආචාරධර්ම, චිම්පන්සින් වැනි වානරයන් අතර ඇති බව දැක ගත හැකි ය. මින් පෙනී යන්නේ මනස මිනිසා තුළ හිටි හැටියේ පහළ වූ දෙයක්‌ නො ව පරිනාමය හේතු කොටගෙන ක්‍රමයෙන් වර්ධනය වූ දෙයක්‌ බව ය.

ඉහත සඳහන් කරුණුවලින් පෙනී යන්නේ මනස මොළයෙන් වෙන් කොට හැඳිනගත නොහැකි දෙයක්‌ බව ය. තව ද මනස වනාහි මොළයේ ක්‍රියාදාමයක්‌ මිස වෙන දෙයක්‌ නො වන බව ය. ආත්මීය සංජානනය (Subjective perception) සිදු වන්නේ මොළයේ කොතැනක දැයි නිසැක ව කිව නොහැකි වුව ද ස්‌නායු විද්‍යාව (Neuroscience) ඒ ගැන අදහස්‌ කිහිපයක්‌ ප්‍රකාශ කොට ඇත. සමහරක්‌ ඉහත සඳහන් විය. මේ සඳහා පරිගණකය භාවිත කරමින් ස්‌නායු විද්‍යාඥයන් මොළයේ නොයෙකුත් පෙදෙස්‌වල ආකෘති නිර්මාණය කොට මනස විසින් සිදු කෙරෙන ක්‍රියාවන් එම ආකෘතිවලට කළ හැකි දැයි සොයා බලා ඇත. මේ පර්යේෂණ යම්කිසි දුරකට සාර්ථකත්වයක්‌ ලබාගෙන ඇත. මෙලෙස පර්යේෂණයට භාජන වී ඇති මොළයේ පෙදෙස්‌ වන්නේ තැලමස, Basal ganglia, Prefrontal cortex, Motor cortex, සහ Occipital cortex ය. මේ ආකෘතිවලට යම් තරමකට ඉගෙනීම, දෘෂ්ටි සංඥාවලට ප්‍රතිචාර දැක්‌වීම, මතකය ඇති කරගැනීම, වැනි ක්‍රියාවන් කළ හැකි බව සඳහන් වේ. (Waterloo Centre for Theoretical Neuroscience, 2013).

මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධතාව පැහැදිලි ලෙස වටහාගත හැකි ය. එසේ ම මනස වනාහි මොළයේ ක්‍රියාදාමයක්‌ බව ද කිව හැකි ය. මිනිසා මරණයට පත් වූ විට මොළය ද ශරීරය ද ක්‍රියා විරහිත වන්නේ ය. මොළයේ යම් කොටස්‌ ක්‍රියාවිරහිත වූ විට මරණය සිදු නො වී ජීවිතය පැවතිය හැකි ය. එම අවස්‌ථාවල මනස ක්‍රියා විරහිත යෑයි කිව නොහැකි ය. එහෙත් මොළයේ තැලමසයේ ILN යන න්‍යෂ්ටිවලට සුළු තුවාලයක්‌ ඇති වුව ද මනස ක්‍රියාවිරහිත වන බව ඉහත සඳහන් වේ. මනස සමග බැඳී ඇති වෙනත් කොටස්‌වලට සිදු වන සුළු තුවාලයක්‌ නිසා එසේ සිදු නො වේ.

මොළය සහ මනස පිළිබඳව අප සාකච්ඡා කළේ ජීවිතයේ අරුත සොයා යැමේ දී මනස මූලික වූ විඤ්ඤාණය ගැන වැටහීමක්‌ අවශ්‍ය නිසා ය. බුදු දහමට අනුව මරණින් පසු ඊළග උත්පත්තිය ලබාගැනීමට හේතු වන්නේ විඤ්ඤාණය බැවිsන් එහි පැවැත්ම අවශ්‍ය වන්නේ ය. එය ද මරණයත් සමග විනාශ වන්නේ නම් පුනරුත්පත්තිය සිදු විය නොහැකි ය. ක්‍රිස්‌තියානි ධර්මය මනස ආත්මයෙන් වෙන් කොට හැඳින ගනී. හින්දු ආගම විසින් ආත්මය බ්‍රහ්ම නමැති යථාර්ථයෙන් වෙන් කොට හඳුනාගනී. මේ නයින් බලන කල සැම ආගමක ම පාහේ මරණින් පසු ඉතිරි වන යමක්‌ ඇති බව පෙනේ. එහෙත් මේවා පිළිබඳව ඇත්තේ විශ්වාසයක්‌ මිස ඔප්පු කිරීමට අවශ්‍ය සාධක නො වේ.

එනමුත් බුදුදහම මනස පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කොට ඇත. මුල් බුදුදහමේ ද ඊට පසුව වැඩ සිටි නාගර්ජුන හිමි ධර්මකීර්ති හිමි වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ දාර්ශනික භික්‌ෂුන් ද මේ ගැන දේශනා කොට ඇත. සූත්‍ර පිටකයේ ද අභිධර්මයේ ද සඳහන් වන අන්දමට මනස ගැන විස්‌තර කරන විට වචන තුනක්‌ භාවිත කොට ඇත - මනෝ, චිත්ත සහ විඤ්ණ යනු ඒ වචන වන්නේ ය. මනෝ යන්නෙන් අදහස්‌ වන්නේ සංජානනය මගින් ලබාගන්නා දත්ත තේරුම් කරගැනීමේ ක්‍රියාවලිය ය. චිත්ත යනුවෙන් හැඳින්වෙන ක්‍රියාදාමය කෙලෙස්‌වලින් කිලටි විය හැකි ය. එසේ ම එය පිරිසිදු කළ විට සංසාරයෙන් මිදෙන්නට හැකි වන්නේ ය. විඤ්ඤාණය ලෙස ගැනෙන්නේ දනුම ඇති කරගන්නට ඉවහල් වන ක්‍රියාදාමය සහ සංසාරයේ දිගට ම පැවතීමට අවශ්‍ය ක්‍රියාදාමය වන්නේ ය. තව ද මනස වනාහී ඉන්ද්‍රිය හයෙන් එකක්‌ වන්නේ ය. මනස නමැති ඉන්ද්‍රියෙන් සිදු වන්නේ සිතිවිලි ජනිත වීමය. සැම ඉන්ද්‍රියයක්‌ ම දත්ත ගෙන ඒමේ දී විඤ්ඤාණය සමග සම්බන්ධ වෙයි. ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ මනස යන ඉන්ද්‍රියයන් හය ක්‍රියාකාරී වන විට එAවාට සම්බන්ධ විඤ්ඤාණය ද ක්‍රියාකාරී වේ. ඇස මගින් දැකීම සමග සම්බන්ධ වන විඤ්ඤාණය චක්‌ඛු විඤ්ඤාණය ලෙස නම් කොට ඇත. අනෙක්‌ ඉන්ද්‍රියයන් සමග ද සම්බන්ධ වන විඤ්ඤාණය ඔබින අයුරින් නම් කොට ඇත. මධුපිණ්‌ඩික සුත්තයෙහි සංජානනය පිළිබඳ පැහැදිලි කිරීමක්‌ දක්‌නට ලැබේ. ඇස තිබෙන විsට වස්‌තුවක්‌ තිබෙන විට සහ චක්‌ඛු විඤ්ඤාණය තිබෙන විට සංවේදී ගැටීම ඇති වන බව එම සූත්‍රය පහදා දෙයි.

මරණින් පසු පුනරුත්පත්තිය සඳහා විඤ්ඤාණය කෙසේ ක්‍රියාකාරී වන්නේ ද? මිනිsස්‌ ශරීරයත් සමග සම්බන්ධ වූ පුනර්භවිකො භවසංඛාරො යනුවෙන් හැඳින්වෙන පුනර්ජීවය සඳහා සෑදුණු සංඛාර ඇති බව බුදුදහම පවසයි. තව ද ශරීරයේ අනිත්‍ය නො වූ දෙයක්‌ නැත. පුනර්භවය සඳහා විඤ්ඤාණසෝත හෝ භවසෝත නමින් හැඳින්වෙන අනිත්‍ය වූ විඤ්ඤාණය ශෝත්‍රයක්‌ හෝ ප්‍රවාහයක්‌ ඇති බව බුදුදහම දේශනා කොට ඇත. මෙය ආත්මය නො වන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මිනිස්‌ ශරීරය සහ ජීවිතය මනෝභෞතික නැතිනම් ශුද්ධ සංඛාර පුංජයක්‌ ලෙස හැඳින්විය හැකි ක්‍රියාදාමයක්‌ පමණි. එහෙත් එහි පුනර්භවය පිණිස අවශ්‍ය සංඛාර ඇත. මරණයෙන් පසු විඤ්ඤාණය ශෝත්‍රයක්‌ ඇති වන්නේ ඒ නිසා ය. විඤ්ඤාණ ශෝත්‍රය යනු කුමක්‌ ද? විද්‍යාව භාවිත කොට මෙය සොයා බැලීම නො කළ යුතු පාප ක්‍රියාවක්‌ ද? විද්‍යාව සැමට පොදු විය යුතු සත්‍ය ගවේෂණය නම් එසේ විය යුතු නැත. එසේ ම මොළය, මනස, විඤ්ඤාණය, පිළිබඳව විද්‍යාව සහ බුදුදහම ඉදිරිපත් කොට ඇති අදහස්‌ එක සේ සංකීර්ණ බව පැහැදිලි ය. මේ ගැන ඉදිරියේ දී සාකච්ඡා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.