logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 19

අප මේ ලිපි මගින් සාකච්ඡා කරන්නේ මූලිකව ජීවිතයේ අරුත පිළිබඳව ය. විද්‍යාවේ දර්ශනය තුළින් එම ප්‍රශ්නය පිළිබඳව කරුණු සොයාගත හැකි ද යන්න ගැන අප ගේ අවධානය යොමු වී ඇත. පසුගිය ලිපිවලින් පෙන්වා දුන්නේ ශක්‌තිය කෙතරම් මේ ප්‍රශ්නයට අදාළ ද යන්න ය. ශක්‌තිය ගැන තවත් කරුණු කිහීපයක්‌ මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

ක්‌වොන්ටම් යාන්ත්‍රණ පද්ධතියක හෝ අංශුවක (quantum mechanical system or particle) තිබිය හැක්‌කේ එක්‌තරා ශක්‌ති ප්‍රමාණයකි. සම්භාව්‍ය භෞතිකයේ එන අංශුවල (classical particles) තිබිය හැකි ශක්‌ති ප්‍රමාණය එසේ සීමිත නො වන්නේ ය. එසේ සීමිත ලෙස වෙන් ව (discrete) පවත්නා ශක්‌ති ප්‍රමාණය හඳුන්වන්නේ ශක්‌ති තලාව (energy levels) යනුවෙනි. සාමාන්‍යයෙන් ඉලෙක්‌ට්‍රොaන, අණු, අයනවල ඇති ශක්‌ති ප්‍රමාණය මේ ලෙස ශක්‌ති තලාව වශයෙන් හැඳිනගනී. එම ශක්‌ති තලාව අවම අවස්‌ථාවක තිබෙන විට එය පාදස්‌ථ අවස්‌ථාව (ground state) ලෙස සැලකේ. වැඩියෙන් තිබෙන විට උත්තේජිත අවස්‌ථාව (excited) ලෙස සැලකේ. මෙලෙස ශක්‌තිය ක්‌වොන්ටීකෘත (quantized) වන්නේ එහි ඇති ශක්‌තිය සහ එහි තරංග ආයාමය (wave length) අතර ඇති සම්බන්ධතාව හේතු කොටගෙන ය. ජීවීන් ගේ ශාරීරික ක්‍රියාදාමයන්වලට ද ශක්‌ති තලාව අදාළ වන්නේ ය. උදාහරණයක්‌ ලෙස ප්‍රොaටීන සම්මිඤ්ජනය වන්නේ ශක්‌ති තලාව පාදස්‌ථ අවස්‌ථාවට ගැනීමේ ව්‍යායාමය හේතු කොටගෙන ය. ජීවී පරිනාමයේ මුල් අවස්‌ථාවල දී ද ස්‌වාභාවික වරණය සිදු වීමේ දී ද ශක්‌තිය මේ ලෙස දායක වන බව පෙර ලිපිවල සඳහන් කොට ඇත.

හයිඩ්‍රජන් වැනි ඉලෙක්‌ට්‍රොaනයක ඇති පරමාණුක (atomic) ශක්‌ති ප්‍රමාණය නිගමනය වන්නේ එම ඉලෙක්‌ට්‍රොaනය සහ න්‍යෂ්ටිය අතර ඇති ස්‌ථිති විද්යුත් (electrostatic) අන්තර්ක්‍රියා මගිනි. එකකට වඩා ඉලෙක්‌ට්‍රොaන තිබේ නම් ඒවා අතර ඇති අන්තර්ක්‍රියා නිසා ශක්‌ති ප්‍රමාණය වැඩි වන්නේ ය. අණුවක (molecule) තත්ත්වය මීට වෙනස්‌ ය. කෙටියෙන් කියනවා නම් එහි ශක්‌ති ප්‍රමාණය ඉලෙක්‌ට්‍රොනික (electronic) කම්පන (vibrational), භ්‍රමණ (rotational), න්‍යෂ්ටික (nuclear), උත්තාරණ (translational) යන සියලු ශක්‌ති වර්ගවල එකතුවකි.

අණුවක හෝ පරමාණුවක හෝ ඇති ඉලෙක්‌ට්‍රොaනවල ශක්‌ති තලාව වෙනස්‌ විය හැකි ය. එසේ සිදු වන්නේ ෆොaටෝනයක්‌ පිට කිරීමෙන් හෝ ඇද ගැනීමෙනි. පිට කළ හොත් ශක්‌ති තලාව අඩු වේ. ඇද ගත හොත් වැඩි වේ. ඉලෙක්‌ට්‍රොaනයක්‌ අණුවකින් හෝ පරමාණුවකින් හෝ සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි ය. එවිට අයනීකරණය (ionization) සිදු වේ. අණුවක හෝ පරමාණුවක හෝ ඇති අංශු මෙලෙස ඉවත් විය හැකි ය. එසේ ම අලුතින් අංශු එකතු විය හැකි ය.

ශක්‌තිය එක වස්‌තුවකින් තවත් වස්‌තුවකට සංක්‍රමණය විය හැකි ය. නැත හොත් වෙනත් ප්‍රභේදයකට මාරු කළ හැකි ය. එහෙත් අලුතින් සෑදීම හෝ විනාශ කිරීම හෝ නො කළ හැකි ය. ශක්‌ති ප්‍රභේද සංඛ්‍යාවක්‌ ඇති බව අපි දනිමු. ඒවායින් බහුලව පවතින්නේ චාලක ශක්‌තිය (චලනය වන වස්‌තුවක), විකිරණ ශක්‌තිය (ආලෝකය), රසායනික ශක්‌තිය (ඉන්ධන), තාප ශක්‌තිය, විභව ශක්‌තිය යන ඒවා ය. විභව ශක්‌තිය (potential energy) ඇත්තේ යම්කිසි වස්‌තුවක පිහිටීම බල ක්‍ෂෙත්‍රයක්‌ තුළ වූ විට ය. එම බල ක්‍ෂෙත්‍ර ගුරුත්වාකර්ෂණ, විද්යුත් හෝ චුම්බක විය හැකි ය.

අප ගේ සූර්යයා ඒ තුළ ඇති (න්‍යෂ්ටික) විභව ශක්‌තිය වෙනත් ශක්‌ති ප්‍රභේදවලට හරවයි. මෙය සිදු වන විට සූර්යයා ගේ ශක්‌තිය හෝ ස්‌කන්ධය හෝ අඩු වන්නේ නැත. එනමුත් එම ශක්‌තිය පරිසරයට විකිරණ ලෙස මුදා හළ විට සූර්යයා ගේ ස්‌කන්ධය අඩු වන බව පැවසේ. තාපගතික විද්‍යාවේ පළමුවැනි න්‍යාය පවසන්නේ පද්ධතියක ශක්‌තිය වෙනස්‌ නො වන බව ය. තව ද එය වෙනස්‌ වන්නේ පිටින් ශක්‌තිය එකතු කළ විට හෝ ශක්‌තිය පිටට ගත හොත් හෝ පමණි. එසේ සිදු වන විට ශක්‌තිය නැති වන්නේ නැත. තාප ගතිකයේ දෙවැනි න්‍යාය පවසන්නේ යම් පද්ධතියක්‌ යම් කාර්යයක්‌ කරන විට යම් කිසි ශක්‌ති ප්‍රමාණයක්‌ තාපය ලෙස අපතේ යන බව ය. මේ නිසා එම නාස්‌ති වන ශක්‌ති ප්‍රමාණය කාර්යයක්‌ සඳහා ගත නොහැකි ය. මේ තාප ගතිකයේ දෙවැනි න්‍යාය ගර්විත ඒකීකෘතවාදය (Grand Unified Theory) තුළට ගත හැකි ද යන්න ප්‍රශ්නයක්‌ වී ඇත.

ශක්‌තිය ජීවීන් තුළ ක්‍රියාකාරී වන්නේ කෙසේ දැයි සොයා බලමු. ජීවීන් වැඩෙන්නට ද ඔවුන් ගේ නොයෙකුත් ක්‍රියාවන් සඳහා ද ශක්‌තිය අවශ්‍ය ය. එහෙත් ආහාර වශයෙන් සත්ත්වයන් ගන්නා ශක්‌තියෙන් ක්‍රියාවන් සඳහා යොදවාගන්නේ ඉතා ස්‌වල්පයකි. පෑළෑටිවල සිදු වන ප්‍රභාසංශ්ලේෂණය මගින් ලැබෙන ශක්‌තියෙන් 52%ක්‌ නැවත
CO2වලට සහ තාපය බවට පත් වේ. ඉතිරි ශක්‌ති ප්‍රමාණය පැළෑටියේ කාර්ය සඳහා වැය වේ. පැළෑටි වනාහි ආහාර දාමයේ (food chain) පළමුවැනි අවස්‌ථාව වන්නේ ය. මේ ලෙස බලන කල පෙනී යන්නේ ජීවීන් විසින් ආහාර මාර්ගයෙන් ලබාගනු ලබන ශක්‌තියෙන් විශාල කොටසක්‌ තාපය බවට හැරවෙන බව ය. ජීවීන් ගේ සැම පරිවෘත්තීය (metabolic) රසායනික ප්‍රතික්‍රියාවක දීම ශක්‌තියෙන් කොටසක්‌ තාපය බවට හැරෙන්නේ ය. තාපගතික විද්‍යාවේ දෙවැනි න්‍යාය පවසන්නේ ශක්‌තිය සමානාත්මක ලෙස විශ්වයේ ව්‍යාප්ත වීමට නැඹුරු වු ක්‍රියාදාමයක්‌ බව ය. ජීවීන් සපයා ගන්නා ශක්‌ති ප්‍රමාණයෙන් කොටසක්‌ තාපය බවට හැරෙන්නේ තාප ගතිකයේ දෙවැනි න්‍යාමයට ශක්‌තිය අවනත වන නිසා ය.

ස්‌වභාවධර්මයේ ඇති වන ආපදා, සුළි සුළං, ගංවතුර, කුණාටු, වැනි දේ බොහොමයක්‌ සූර්යයා ගේ ශක්‌තිය විසින් ඇති කෙරෙන ක්‍රියාදාමයන් වේ. එසේ ම භූචලන, ගිනි කඳු පිපිරීම්, සුනාමි, වැනි දේ පොළොව තුළ තිබෙන ශක්‌තිය (geothermal) නිසා සිදු වන බව පෙන්වා දිය හැකි ය.

මෙලෙස බලන කල පෙනී යන්නේ විශ්වයේ සැම ක්‍රියාදාමයක්‌ ම පාලනය කෙරෙන්නේ ශක්‌තිය විසින් බව ය. ද්‍රව්‍යවල ඇති වීම පැවැත්ම නැති වීම ජිවීන් ගේ බිහි වීම පැවැත්ම නැති වීම ඇතුළුව මුළු විශ්වය පාලනය වන්නේ ශක්‌තිය විසින් බව පෙනී යා යුතු ය. ශක්‌තියේ ස්‌වභාවය හැසිරීම යනාදිය පිළිබඳව න්‍යායන් රැසක්‌ විද්‍යාඥයන් දාර්ශනිකයන් නිර්මාණය කොට ඇත. ශක්‌තිය පිළිබඳ අප දන්නා දේ ආවරණය වන පරිදි නිර්මාණය වී ඇති මේ න්‍යායන් ශක්‌තිය පිළිබඳව අප නො දන්නා දේ ගැන කිසිවක්‌ නො කියන බව අපට කිව නොහැකි ය. සමහර විට අප නො දන්නා දේ සොයාගන්නා විට මේ න්‍යායන් එම දැනුම සඳහා ද යෙදිය හැකි වන්නට ඉඩ තිබේ. නැත හොත් නව න්‍යායන් නිර්මාණය කරන්නට අවශ්‍ය වන්නේ ය.

අප ගේ ශරීරය සෑදී තිබෙන්නේ නොයෙකුත් ද්‍රව්‍යවලිනි. එහි වැඩි වශයෙන් ඇත්තේ ශක්‌තිය බව ද අප පවසා ඇත. අප ගේ භෞතික වූ ශරීරයේ මානසික කොටස ගැන ද සලකා බැලිය යුතු ය. මනස තුළ ශක්‌තිය කුමන අන්දමේ කාර්යයක්‌ ඉටු කරන්නේ දැයි සොයා බැලිය යුතු ය. මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධය සොයා බැලිය යුතු ය. මොළය සහ මනස එකක්‌ ද දෙකක්‌ ද යන්න සලකා බැලිය යුතු ය. මනස වනාහි ස්‌කන්ධය සහ ශක්‌තිය මුල් කරගත් ක්‍රියාදාමයක්‌ ද යන්න සලකා බැලිය යුතු ය. සිතිවිලි, උද්වේගය, භෞතික ක්‍රියාදාමයක්‌ ද? එහි දී සිදු වන්නේ කුමක්‌ ද? මරණයේ දී ශරීරය සෑදී ඇති ද්‍රව්‍ය සම්පූර්ණයෙන් නැති වී යන්නේ ද? එවිට සිතිවිලි ස්‌කන්ධය හෝ ශක්‌තිය ලෙස ඉතිරි වන්නේ ද? විඤ්ඤාණය එසේ පවතී ද? මොළයේ විඤ්ඤාණය ඇති වන්නේ කෙසේ ද? මරණින් පසු ඉතිරි විය හැකි දෙයක්‌ එහි ඇත් ද? බුදුදහමේ එන පුනරුත්පත්තිය සිදු වන්නේ විඤ්ඤාණය මගින් බව සූත්‍ර පිඨකයේ සඳහන් වේ. විඤ්ඤාණය ශක්‌තිය හෝ අංශු වශයෙන් පවතී ද? අංශු ශක්‌තිය බවට ද ශක්‌තිය අංශු බවට ද පත් විය හැකි බව ඉහත සඳහන් වේ. මේ ලෙස සිතීම බුදුදහම විද්‍යාත්මක පරික්‌ෂණයකට භාජන කිරීමක්‌ බව සමහරුන් කියන්නට ඉඩ ඇත. නැත. විද්‍යාවෙන් සහ බුදුදහමින් කරුණු සොයා ඒ මගින් ජීවිතයේ අරුත සෙවීම මෙහි අරමුණ වන්නේ ය. එම සුසංයෝගය මේ ක්‍රියාව පිණිස උපයෝගී කොටගත හැකි සුදුසු ම සහ සම්පූර්ණ වූ ක්‍රමය බව කිව යුතු ය.

අප ගේ ජීවිතයේ අරුත සොයා යැමේ දී ශක්‌තිය යනු කුමක්‌ ද යන්න ඉතා ම වැදගත් වන්නේ ය. අප ගේ මරණින් පසු අප තුළ ඇති ශක්‌තියට කුමක්‌ සිදු වන්නේ ද? ඒවා විනාශ කළ නොහැකි වූ නමුත් විශ්වයේ ද්‍රව්‍ය සහ ශක්‌තිය ලෙස පවතිනවා හැරෙන්නට ඒවාට විශේෂ දෙයක්‌ සිදු වන්නේ නැතැයි දෙහාත්මවාදියකු තර්ක කළ හැකි ය. එහෙත් විඤ්ඤාණය සහ මනස ශක්‌ති හෝ අංශු විශේෂයක්‌ නම් මේ ගැන සිතා බැලීම කළ යුතු ය.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc