logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම 16

විද්‍යාවේ පරමාර්ථය සත්‍ය ගවේෂණය නම් ජීවිතයේ අරුත සෙවීම එහි මූලික ප්‍රශ්නය විය යුතු ය. ජීවිතයේ අරුතක්‌ නැතැයි හෝ එය සොයාගැනීම කළ නොහැකි බව හෝ අපට කිව නොහැකි ය. කුමක්‌ නිසා ද? එසේ පැවසීම සඳහා අවශ්‍ය දැනුම අපට නැති හෙයිනි. එම දැනුම අපට නැති බව ද දැනුමකි. දෙවනුව සඳහන් කළ දැනුම අප සතු ව ඇතැයි පවසන අය දෙවි කෙනකු හෝ ඥානවන්ත නිර්මාණ කාරකයක (intelligent design) පිහිට පතමින් ජීවිතයේ අරුත ඒ තුළින් සොයාගනිති. දෙවියන් සමග එකතු වීම ජීවිතයේ අරුත බව ඔවුහු පවසති. එහෙත් දෙවි කෙනකු ගැන විශ්වාසයක්‌ මිස දැනුමක්‌ නැත. ජීවිතයේ අරුත සලකා බැලීමේ දී විශ්වය ඇති වූයේ කෙසේ ද, ජීවීන් ඇති වූයේ කෙසේ ද යන්න පිළිබඳව ඉදිරිපත් වී ඇති මතවාද පසුගිය ලිsපිවලින් සලකා බලා ඇත්තේ ය. පසුගිය සතියේ අපි RNA ලෝකය නමැති සංකල්පය මේ සම්බන්ධව ඉදිරිපත් කළෙමු. (විදුසර 25.3.2015). ඉන් අදහස්‌ වන්නේ අවාඡ්ජනනය සිදු වීමේ දී පළමුවෙන් ම ඇති වූයේ RNA විය හැකි බව ය. DNA සහ ප්‍රොaටීන ජීවින්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වුව ද DNA සෑදීම පිණිස නිර්මාණය වූයේ RNA විය හැකි බව පෙන්වා දුන්නෙමි. RNA ලෝකයට ප්‍රථමයෙන් වෙනත් ද්‍රව්‍ය මුල් කරගත් ලෝක තිබුණු බවට මතවාද ඉදිරිපත් වී ඇත. වෙනත් නියුක්‌ලික්‌ අම්ල මුල් කරගත් පරිවෘත්තීය (metabolic) පද්ධති තිබූ බව එක්‌ මතවාදයක්‌ පවසයි. මේ මතවාද ඔප්පු කිරීම සඳහා සාක්‌ෂි නොමැති වුව ද ඒවා ගැන පවත්වන පර්යේෂණ නැවතී නැත.

ජීවීන් ගේ බිහි වීමක්‌ තිබුණේ ද, විශ්වයේ බිහි වීමක්‌ තිබුණේ ද, නැතිනම් ඒවා සැම දා ඇති වෙමින් නැති වෙමින් තිබුණේ ද? මේවා රේය ලෙස ඇති වූවා ද, නැතිනම් චක්‍රීය ලෙස පවතින්නේ ද, ජීව පරිණාමය විශ්වාස කරන්නකුට චක්‍රීය ක්‍රියාදාමය සමග එකඟ විය නොහැකි ද, ජීව පරිනාමය චක්‍රීය ක්‍රියාදාමයක්‌ ලෙස සිදු විය නොහැකි ද? ජීවීන් RNA ලෙස ඇති වී පරිණාමය වී අවසාන එලය දක්‌වා දිගු ගමනක්‌ ගොස්‌ සම්පූර්ණයෙන් විනාශ වී නැවතත් මුල සිට ආරම්භ වන්නට නොහැකි ද? එය චක්‍රීය ක්‍රියාදාමයක්‌ වන්නේ ය. චක්‍රීය ක්‍රියාදාමය ජීව පරිණාමය සමග විරුද්ධ (Contradication) නො වන්නේ ය. ජීව පරිණාමය බුදුන් ගේ ධර්මයට විරුද්ධ යෑයි පැවසීම අනවශ්‍ය වන්නේ ය. ඒ ලෙස ම විශ්වයේ ආරම්භය ලෙස හැඳින්වෙන මහා පිපිරීම (Bing Bang) වුව ද චක්‍රීය ක්‍රියාදාමයක එක්‌ අවස්‌ථාවක්‌ විය හැකි ය. ජීවීන් ගේ බිහි වීම, ජීව පරිණාමය, මහා පිපිරීම වැනි මතවාද රේය හෝ චක්‍රීය ක්‍රියාදාමයක අවස්‌ථා විය හැකි ය. එම මතවාද චක්‍රීය ක්‍රියාදාමයන් සමග පෑහෙන්නේ නැතැයි කිව නොහැකි ය. මහා පිපිරීම, ජීවීන් ගේ බිහි වීම, ජීව පරිණාමය ප්‍රත්‍යාවර්තී නැත හොත් නැවත නැවත සිදු වන චක්‍රීය ක්‍රියාදාමයක අවස්‌ථා විය නොහැකි යෑයි කිව නොහැකි ය.

ද්‍රව්‍ය (matter) සෑදී ඇති අංශූ සහ ශක්‌තිය අලුතින් සෑදිය හැකි වන්නේ වත් සම්පූර්ණයෙන් විනාශ කිරීම වත් කළ නොහැකි නිසා චක්‍රීය ක්‍රියාදාමය පිළිගැනීම වඩා නුවණට හුරු දෙයකි. ද්‍රව්‍ය අලුතින් සෑදිය හැකි වන්නේ දෙවි කෙනකුට විය යුතු ය. රේය ක්‍රියාදාමයක ආරම්භයක්‌ සොයා ගිය විට නතර වන්නේ ද්‍රව්‍ය අලුතින් නිෂ්පාදනය කරන්නට හැකි කාරකයක්‌ හෝ දෙවි කෙනකු ළඟ ය. එවැනි කෙනෙකු පිළිබඳ සාක්‌ෂි සොයාගෙන නැත. පුද්ගලයකු ගේ සිතේ තිබෙන විශ්වාසය මත පදනම් වී එවැනි මතයක්‌ පිළිගත නොහැකි ය. චක්‍රීය ක්‍රියාදාමයේ ආරම්භයක්‌ හෝ අවසානයක්‌ හෝ නැත. මහා පිපිරීම වුව ද නැවත නැවතත් සිදු වන ක්‍රියාදාමයක්‌ ලෙස සැලකිය හැකි නම් චක්‍රීය ක්‍රියාදාමයට එය ගැලපේ. එහෙත් එය එක්‌ වරක්‌ සිදු වන දෙයක්‌ යෑයි සිතුවොත් එය විශ්වයේ ආරම්භය වන බව ද මේ ක්‍රියාදාමය චක්‍රීය නො ව රේය බව ද පිළිගන්නට සිදු වේ. එහෙත් එවැනි අවශ්‍යතාවක්‌ නොමැත. රෙය ක්‍රියාදාමයට පටන්ගැන්මක්‌ තිබිය යුතු ය. ද්‍රව්‍ය නිපදවීමේ හැකියාවක්‌ ඇති කාරකයක්‌ තිබිය යුතු ය. එවැනි කාරකයක්‌ සර්ව බලධාරී කෙනකු විය යුතු ය. එම නිසා අප ගේ ප්‍රයත්නය වන විශ්වයේ සහ ජීවීන් ගේ ආරම්භය සෙවීම, ජීව පරිණාමය පිළිගැනීම, මහා පිපිරීම පිළිගැනීම වනාහී දෙවි කෙනකූ හෝ මුල් ප්‍රතිෂ්ඨාව (first
cause) පිළිගැනීම හෝ බටහිර දර්ශනය පිළිගැනීම හෝ එයට නතු වීම ලෙස සැලකිය නොහැකි ය.

මිනිසා ඒක සෛලී ජීවියකු ගෙන් පැවත එන බව පිළිගැනීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්‌ෂි ඇත. එම නිසා ප්‍රශ්නය නිරාකරණය කරගන්නා තෙක්‌ ඒ මුල් ආරම්භය ලෙස සැලකිය හැකි ය. මෙසේ සැලකීම චක්‍රීය ක්‍රියාදාමය අත්හැරීම නො වේ. ජීවීන් බිහි වූයේ කුමක්‌ නිසා ද යන ප්‍රශ්නයට එහි මුල අදාළ විය හැකි ය. ජීවීන් බිහි වූයේ එක්‌ වරක්‌ පමණක්‌ බව මම නො කියමි. එය චක්‍රිය ලෙස බිහි වෙමින් නැති වෙමින් පැවතිය හැකි ය. එම නිසා අප ගේ මතය බටහිර එකක්‌ බව පැවසීම වැරැදි නිගමනයකි.

ජීවීන් ගේ බිහි වීම සිදු වූයේ ඡේ. බී. එස්‌. හැල්ඩේන් විස්‌තර කළ ආද්‍ය සූපය තුළ වූයේ නම් එම සූපය කෙබඳු එකක්‌ දැයි සොයා බැලිය යුතු ය. RNAවලට ප්‍රථමයෙන් පැවැතියේ යෑයි කියන නියුක්‌ලික්‌ අම්ල මුල් කරගත් පරිවෘත්තීය (metabolic) පද්ධති එවැනි ආද්‍ය සූපයක්‌ බිහි වූයේ යෑයි පවසන විද්‍යාඥයෝ සිටිති. ප්‍රාග් ජෛවී සාගරය (prebiotic ocean) එවැනි සූපයක්‌ ලෙස පැවති බව ජීව විද්‍යාඥයන් ගේ මතය බව පෙර ලිපිවල පවසා ඇත. මෙවැනි ආද්‍ය සූපයක්‌ පිළිබඳව පළමු වරට අදහස්‌ දක්‌වන ලද්දේ රුසියානු ජීව විද්‍යාඥ ඇලේක්‌සැන්ඩර් ඔපරීන් (Alexander Oparin 1924) විසිනි. ජීව රසායනික විද්‍යාඥ රොබට්‌ ශැපිරෝ මීට සම්බන්ධ වී ඉදිරිපත් කළ අදහස්‌ තව දුරට වර්ධනය කරමින් හැල්ඩේන් ආද්‍ය සූපය නමැති සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔවුනට අනුව ආද්‍ය පෘථිවිය මත වූයේ ඔක්‌සිහරණය (reducing) සිදු වන වායුගෝලයකි. මේ වායුගෝලය තුළ විවිධ ශක්‌ති ප්‍රභේදවලට භාජන වී නොයෙකුත් සරල කාබනික ද්‍රව්‍ය (monomer) සෑදෙන්නට විය. මේ ද්‍රව්‍ය තැත් තැන්වල එකතු වී සාගරයේ සූපයක්‌ ලෙස පැවතියේ ය. මේ කාබනික ද්‍රව්‍ය තවත් සංකීර්ණ බවට පත් වී බහු අවයවක වස්‌තු (polymers) සෑදී ජීවීන් බිහි විය. මේ සූපය බඳු ද්‍රdවණයක්‌ තුළ ඇමයිනෝ අම්ල පොලිපෙප්ටයිඩ් වැල් වැනි දේ සෑදිය හැකි බව ස්‌ටැන්ලි මිලර් සහ හැරල්ඩ් යුරි පෙන්වූQ බව පෙර ලිපිවල සඳහන් කළෙමි. තවද ඊට පසුව ජෝන් ඔරෝ ඇමොනියම් සයනයිඩ්වලින් පටන් ගෙන ඇඩිනීන් (adenine) නිර්මාණය කළේ ය. ඇඩිනීන් වනාහි RNAල DNA සාදන නියුක්‌ලික්‌ අම්ලවල අඩිතාලම (base) වන්නේ ය. මේ සොයාගැනීම්වලින් මතු කරගෙන ඇති මතවාද පිළිගැනීමට තරම් සාක්‌ෂි නැත්තේ ඔවුන් භාවිත කළ සූපය තුළ වෙනත් නොයෙකුත් ද්‍රව්‍ය ද සෑදුණු නිසා ය. මේ අමතර ද්‍රව්‍යවලට බහු අවයවක ද්‍රව්‍ය (polymers) සැදීම නතර කිරීමේ හැකියාව තිබෙන්නට ඇත. කරුණු මෙසේ හෙයින් හැල්ඩේන් ගේ සූපය හෝ මිලර් සහ යුරිගේ සොයාගැනීම් කෙතරම් වැදගත් වුවත් සම්පූර්ණයෙන් පිළිගැනීම තවමත් කළ නොහැකි ය.

මේ ආද්‍ය සූපය පිළිබඳ මතය වුව ද චක්‍රීය ක්‍රියාදාමයකට විරුද්ධ වන්නේ යෑයි කිව නොහැකි ය. චක්‍රීය ක්‍රියාදාමයේ හෝ රේය ක්‍රීයාදාමයේ හෝ එක්‌ අවස්‌ථාවක්‌ ආද්‍ය සුපය විය හැකි ය. වෙනසකට ඇත්තේ චක්‍රීය ක්‍රමයේ දී මේ අවස්‌ථා කැරකී නැවතත් ආද්‍ය සූපය වෙත පැමිණීම ය. රේය ක්‍රමයේ දී එසේ සිදු නො වේ. ආද්‍ය සූපය අවස්‌ථාව පසු කළ පසු නැවත ආද්‍ය සූපයක්‌ ඇති නො වේ.

ජීව පරිණාමය පිළිබඳව බුදුන් පවසා ඇති දේ ගැන ද සලකා බැලිය යුතු ය. උන්වහන්සේ මේ ගැන සාකච්ජා කර ඇත්තේ දීඝ නිකායේ එන අග්ගඤ්ඤ සුත්තාන්තයේ ය. එම දේශනයේ පරමාර්ථය වූයේ ලෝකය බිහි වීම හෝ ජීව පරිණාමය හෝ පහදා දීම නො වේ. එහි මූලික පරමාර්ථය වූයේ ඉන්දියාවේ එකල පැවැති ඉතා ම දරුණු වූ කුල සිරිත් හෙලාදැකීම විය. මේ කුල හේදය ජනතාව තලා පෙලා දැමීමට පාවිච්චි කරන ලදී. ජනතාව ගේ දුක හඳුනන බුදුහු මේ ක්‍රමයට විරුද්ධව සටන් කළ සේක. අග්ගඤ්ඤ සුත්තාන්තය දේශනා කරන ලද්දේ උන්වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන සමයේ දී ය. බුදුන් සමග විසූ භික්‌ෂූන් අතර වාසෙත්ත සහ භාරද්වජ නම් වූ බ්‍රාහ්මණ කුලයට අයත් වූ දෙදෙනෙක්‌ මහණ වීමට අපේක්‌ෂාවෙන් වාසය කළ හ. දිනක්‌ බුදුන් ඔවුන් දෙදෙනා ගෙන් විමසුවේ ඔවුන් උසස්‌ යෑයි සැලකෙන බ්‍රහ්මණ කුලයට අයත් නිසා මේ ලෙස ගිහි ජීවිතය අත්හැර මහණ දම් පිරීම බ්‍රහ්මණයන් ගේ අවමනට පාත්‍ර වනවා දැයි යන්න ය. ඔවුන් දෙදෙනා උත්තර දුන්නේ අපමන අවමානයට පාත්‍ර වන බව කියමිනි. එවිට බුදුන් ඔවුන්ට පහදා දුන්නේ මිනිසකු කුලවන්තයකු හෝ කුලහීනයකු හෝ වන්නේ උත්පත්තිය නිසා නො ව ඔහු ගේ ක්‍රියාවන් නිසා බව ය. බ්‍රාහ්මණ කුලයට අයත් වන අය බ්‍රහ්මයා ගේ මුවින් උපන් බව ඔවුන් විශ්වාස කළ නිසා එය වැරැදි බව පෙන්වීමට කිසිවකු බ්‍රහ්මයා ගේ මුවින් හෝ අත්පාවලින් ඉපදෙන්නේ නැති බව බුදුහු පහදා දුන් හ. මේ බව තවත් පැහැදිලි කිරීමට ලෝකය සහ ජීවීන් ඇති වූ අන්දම විස්‌තර කළ හ. බුදුන්ට අනුව එම ක්‍රියාදාමය ඇති වීම නැති වීම වශයෙන් පරිණාමය සහ විනාශය සිදු වන චක්‍රීය එකක්‌ විය. මේ චක්‍රීය ක්‍රියාදාමය තවත් විස්‌තර කිරීමට උන්වහන්සේ අංගුත්තර නිකායේ අඩංගු වන සූර්ය නැමැති සූත්‍රය ද දේශනා කළ සේක. සූර්යයන් හතක්‌ පායා ලෝක විනාශය සිදු වන අන්දම එහි විස්‌තර කොට ඇත. මේ දේශනාවේ දී බුදුන් පහදා දුන්නේ සැම දෙයක්‌ ම අනිත්‍ය බව ය. සූර්යයන් හතක්‌ පායනවා සේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීම අප දැනට ම අත්දකින සිදුවීමකි.

මහා පිපිරීම (Bing Bang Theory) හෝ ජීව පරිණාමය හෝ ස්‌වාභාවික වරණය හෝ බුදුන් ගේ අග්ගඤ්ඤ සූත්‍රයට පටහැනි වන්නේ නැත. එම ක්‍රියාදාමයන් රේය වෙනුවට චක්‍රීය ලෙස සිදු වනවා යෑයි සිතා ගැනීම ඉතා ම පහසු ය. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ද ජීවීන් හට ගැනෙන්නේ ආද්‍ය සූපය (primordial soup) වැනි ජලය තුළ ය. එම ජලය තුළ පවා සුවඳ, රස, ගිතෙල්වල පාට, රසය, බටර්වල පාට රසය, පැණිවල රසය තිබුණු බව විස්‌තර කොට ඇත. මෙලෙස එම ජලය විස්‌තර කොට ඇත්තේ එහි ජීවීන් බිහි වීමට අවශ්‍ය දේ තිබෙන බව පහදා දීම සඳහා ය. ලෝකය විනාශ වන විට ආභස්‌සර ලෝකයට සංක්‍රමණය වූ ජීවීන් එහි දී පැවතුණේa මනස මුල් කරගත් අවස්‌ථාවක්‌ හැටියට ය. ආහාරය වෙනුවට ඔවුහු සතුට භුක්‌ති වින්දොa ය. දිළිසෙන ක්‍රියාදාමයන් ලෙස ඔවුහු හැසුරුණෝ ය. ලෝකය නැවතත් පරිණාමය වී ජීවීන් ගේ ආපසු පැමිණීමට සුදුසු තත්ත්වයකට පත් වන විට පෙර සඳහන් කළ ජලය එහි තුළ වූ ගුණාංග සහිතව නිර්මාණය විය. ආභස්‌සර ලෝකයේ සිටි ජීවීන් ආපසු ලෝකයට පැමිණි විට ඔවුන් ජීවත් වූයේ එම ජලයේ ය. එම ජලයේ රසය වින්ද ජීවීන් තුළ තෘෂ්ණාව ඇති වූ බව බුදුන් දේශනා කර ඇත.

ඡේ. බී. එස්‌. හැල්ඩේන් ගේ ආද්‍ය සූපය තුළ ජීවීන් ඇති වීම බුදුන් ගේ ධර්මයට පටහැනි නො වන්නේ ය. හැල්ඩේන් තෘෂ්ණාව ගැන සඳහන් නො කළාට ඔහු ගේ මතවාදය බුදුන් ගේ දැනුමට පටහැනි නැත. තව ද මහා පිපිරීම (Bing Bang
Theory) යන මතවාදය චක්‍රීය ක්‍රියාදාමයක්‌ විය නොහැකි දැයි සොයා බැලිය යුතු ය. එම මතවාදය පවසන්නේ පෘථිවියේ පටන් ගැන්ම විය හැකි ය. මුළු විශ්වය ම ඉතා ම ඝන අවස්‌ථාවක තිබී විශාල ලෙස ප්‍රසාරණය විය. නැවැත සිසිල් වීමේ දී පරමාණුqක අංශු සෑදී ඒවා දුහුවිලි වලාකුළු සේ පැවතිණි. මේවා ගුරුත්වාකර්ෂණය නිසා එකතු වී තාරකා සහ මන්දාකිණි ඇති විය. මෙය සිදු වී ඇත්තේ අවුරුදු බිලියන 13.8කට පමණ පෙර බව පැවසේ. මහා පිපිරීම මෙලෙස කෙටියෙන් හඳුන්වා දිය හැකි ය. මේ මතවාදය පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තුවල ආරම්භය මෙලෙස විස්‌තර කළා වුව ද ඊට ප්‍රථමයෙන් තිබුණේ කුමක්‌ ද යන්න ගැන පහදා දීමක්‌ කරන්නේ නැත. මහා පිපිරීම යනුවෙන් හැඳින්වෙන ප්‍රසාරණයට ප්‍රථමයෙන් ඝනත්වයෙන් වැඩි වූ යම් දෙයක්‌ තිබුණු බව එම මතවාදය පවසයි. මින් පෙනී යන්නේ රේඛීය වූ ක්‍රියාදාමයක ආරම්භය මහා පිපිරීම Big Bang යෑයි පැවසිය නොහැකි බව ය. මහා පිපිරීම රේඛීය ක්‍රියාදාමයට පටහැනි බවත් පැවසිය නොහැකි ය. මහා පිපිරීම චක්‍රීය ක්‍රියාදාමයක එක්‌ අවස්‌ථාවක්‌ බව ද එම ක්‍රියාදාමය මහා පිපිරීම පසු කොට ගොස්‌ රවුමක්‌ කැරකී නැවතත් මහා පිsපිරීම දක්‌වා ගමන් කරන්නට පුළුවන් බව ද මින් පෙනී යයි.

මහා පිපිරීම, ජීවීන් ගේ බිහි වීම, ජීවී පරිණාමය, ස්‌වාභාවික වරණය වැනි මතවාද බටහිර විද්‍යා දාර්ශනිකයන් ගේ මතවාද විය හැකි ය. ඒවා ඉවත දමන්නේ ඒවා තුළ බටහිර චින්තනය ගැබ් වී ඇති නිසා බව සමහරු පවසති. රේය ලක්‌ෂණය බටහිර චින්තනයේ ගැබ් වී ඇතැයි පවසති. එහෙත් විද්‍යාව සත්‍ය ගවේෂණය නම් රේය සහ චක්‍රීය ලක්‌ෂණවලට කොටු නො වී සත්‍ය සොයා යා යුතු ය. මේ ගැන ඉදිරි ලිපිවල දී තවත් කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc