logo3.gif (702 bytes)

HOME


ධනපාල මහතා ගේ අවුල

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ ඊනියා ජීවිතයේ අරුත, බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම ආදිය ගැන ලියන ලිපි පෙළට ප්‍රතිචාර දැක්‌වීම සති කිහිපයකට කල් දැමීමට සිදු වී ඇත. එයට හේතුව බෝධි ධනපාල නම් මහතකු පසුගිය හතර වැනි දා ලියා පළ කර ඇති ලිපියකට පිළිතුරු දීම අවශ්‍ය නිසා ය. බෝධි ධනපාල මහතා ගැන මා දන්නේ නමින් පමණකි. ඔහු කැනඩාවේ ජීවත් වන බවත් එහි ක්‌විබෙක්‌ ප්‍රාන්තයේ පාසලක රසායන විද්‍යාව උගන්වන බවත් එකල විෙද්‍යාදය විශ්වවිද්‍යාලය නමින් හඳුන්වනු ලැබූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරියකු බවත් වාර්තා වන කරුණු ඇසුරෙන් නිගමනය කළ හැකි ය.

ඔහු ඉලෙක්‌ට්‍රොනික තැපෑල මගින් මා සමග බටහිර විද්‍යාව සම්බන්ධ සංවාදයක ද නිරත වන බව පාඨකයා ගේ දැනගැනීම සඳහා කිව යුතු ය. එහි ඔහු කියන කරුණු අනුව නිගමනය කළ හැක්‌කේ ඔහු බටහිර විද්‍යාව සත්‍ය යෑයි පිළිගන්නා බව ය. මා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කියන විට ඔහු උරණ වෙයි. එහෙත් ඔහුට අශෝක අමරතුංග මහතාට මෙන් ම මා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කියන්නේ කිනම් අර්ථයකින් දැයි තේරුම්ගැනීමට නොහැකි වී ඇත.

මගේ අදහස පිළිබඳ පාඨකයන් ගේ මතකය අලුත් කර ගැනීම සඳහා පසුගිය ජනවාරි හතර වැනි දා මා විදුසර පුවත්පතෙන් ඉදිරිපත් කළ කරුණු කිහිපයක්‌ උපුටා දක්‌වමි. එය බෝධි ධනපාල මහතාට ද ප්‍රයෝජනවත් විය හැකි ය. "බුදුදහමට අනුව අපේ (පෘථග්ජනයන් ගේ) සියලු සංකල්ප, ප්‍රවාද ඇතුළත් දැනුම මුසා වෙයි. මේ දැනුම කොටස්‌ තුනකට බෙදිය හැකි ය. ඒ මනසෙන් පමණක්‌ ගන්නා ප්‍රත්‍යක්‌ෂ, මනස හා පංචෙන්ද්‍රිය එකතු වී ගන්නා ප්‍රත්‍යක්‌ෂ හා ප්‍රත්‍යක්‌ෂ නො වන දැනුම ය....... ප්‍රත්‍යක්‌ෂ යනු පංචෙන්ද්‍රියන් මගින් ලැබෙන (මනස විසින් නිර්මාණය කෙරෙන) සෘජු දැනුම ය. එහි නිරුක්‌තියට අක්‌ෂි යන්න වැදගත් වුවත් ප්‍රත්‍යක්‌ෂ සැම ඉන්ද්‍රියක්‌ සම්බන්ධයෙන් ම ඇත. කණ හා මනස එක්‌ වීමෙන් මෙන්ම නාසය හා මනස එක්‌ වීමෙන් ද ප්‍රත්‍යක්‌ෂ ලැබෙයි. ප්‍රත්‍යක්‌ෂ ඉහත සඳහන් පරිදි කොටස්‌ දෙකකට බෙදිය (වර්ග කළ) හැකි ය. ඒ පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ නො වී මනසෙන් පමණක්‌ නිර්මාණය කෙරෙන ප්‍රත්‍යක්‌ෂ හා පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන ප්‍රත්‍යක්‌ෂ යනුවෙනි. ඒ අවස්‌ථා දෙකෙහි ම ප්‍රත්‍යක්‌ෂයෙන් ගන්නා දැනුම නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනස සියල්ලට ම මුල් වෙයි. මනස ප්‍රධාන වෙයි.

ප්‍රත්‍යක්‌ෂවල දී සංකල්ප යොදා ගැනෙයි. එහෙත් ඉන් ඔබ්බට යන දැනුමක්‌ නැත. ප්‍රත්‍යක්‌ෂ නො වන දැනුම එසේ නො වේ. ඒ උපකල්පනය, එසේත් නැති නම් හිතළු ය. එසේත් නැත්නම් ඉතිහාසය වැනි දැනුමකි. ඒ දැනුම් ඇතැම් විට මනසෙන් (සිතෙන්) මවාගත හැකි ය. තවත් දේ හිතෙන් වත් මවාගත නො හැකි ය........ ගැමුණු රජු පිළිබඳ දැනුම පට්‌ටපල් බොරුවක්‌ නො වේ. එසේ වුවත් එය ද මුසාවකි. ඒ බුදුදහම අනුව පුද්ගලයකු නැති බැවිනි. අප විසින් වෙනත් පුද්ගලයෝ ද මවනු ලැබෙති. බුදුදහමට අනුව මිරිසවැටිය යනුවෙන් ඊනියා වාස්‌තවික චෛත්‍යයක්‌ ද නැත. එය ද මුසාවකි.

බටහිර විද්‍යාවෙහි ඇත්තේ වෙනත් ආකාරයක දැනුමකි. එහි දී අපට පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඇත. මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පළමුවෙන් ම බටහිර විද්‍යාඥයන් විසින් සාධාරණීකරණයට ලක්‌ කෙරෙයි. සාධාරණීකරණය වූ දැනුම වියුක්‌ත දැනුමකි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. කිසිවකුට යම් කරුණක්‌ සම්බන්ධයෙන් සියලු නිරීක්‌ෂණ කළ නො හැකි ය. සියලු බටහිර විද්‍යාඥයන් එකතු වුවත් ඒ කළ හැකි නො වේ. සියලු කපුටන් නිරීක්‌ෂණය කර ඔවුන් ගේ පාට පිළිබඳ යමක්‌ කිව නො හැකි ය. බටහිර විද්‍යාඥයන් කරන්නේ නිරීක්‌ෂණ කිහිපයකින් සියලු කපුටන් කළු පාට යෑයි උද්ගමනය කිරීම ය. එය වියුක්‌ත ය. සියලු කපුටන් යන්න ම වියුක්‌ත සංකල්පයකි. ඒ මනසෙන් (සිතෙන්) මවාගත නො හැකි ය..........

බටහිර විද්‍යාවෙහි වියුක්‌ත උද්ගමනය නිර්මාණය කිරීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ වියුක්‌ත හිතළු (අනුමිනිත) ඉදිරිපත් කරති. ඉන්පසු ඒ වියුක්‌ත හිතළුවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් වියුක්‌ත නිගමනවලට පැමිණෙති. ඔවුහු ඒ වියුක්‌ත නිගමන සංයුක්‌ත නිරීක්‌ෂණ සමග සන්සන්දනය කර වඩා සාර්ථක හිතළුව (එනම් සංයුක්‌ත නිරීක්‌ෂණ සමග වඩා ගැලපෙන) ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කරති. මෙය කෙතරම් දුරට ඊනියා සත්‍යය හෙළිදරවු කරන්නේ ද? බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද බවට පත් වන හිතළු පට්‌ටපල් බොරු වෙයි. ඒ වියුක්‌ත ය. අඩු ම තරමෙන් සිතෙන් මවා ගැනීමට වත් නො හැකි ය. බටහිර විද්‍යාවේ බංකොළොත් දර්ශනයට අනුව අප තෝරාගත යුත්තේ වඩා සාර්ථක පට්‌ටපල් බොරුව ය.'

දීර්ඝ වශයෙන් උපුටා දැක්‌වූයේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු ය යන්නෙන් මා කියන්නේ කුමක්‌ දැයි තේරුම් කර දීම සඳහා ය. එය තේරුම්ගැනීම මේ සියලු සංවාදවල මූලික කාර්යය වෙයි. එසේ නොමැති ව පට්‌ටපල් බොරු යන්නට තම තමන් කැමැති අර්ථකථන, විවරණ ආදිය සපයා මා මේ සම්බන්ධයෙන් ලියන ලිපි විවේචනය කිරීමෙන් කිසිවකුටත් කිසි යහපතක්‌ නො වෙයි. තමන් විසින් විවේචනය කෙරෙන කරුණු අවබෝධ කර නො ගෙන විවේචනය කරන්නන් ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? හැකි නම් මගේ ජනවාරි 07 වැනි දා ලිපිය සම්පූර්ණයෙන් කියවන මෙන් පාඨකයන් ගෙන් ඉල්ලා සිටිමි.

මම නිරීක්‌ෂකයා ගෙන් තොර ව වාස්‌තවික ව පවතින ලෝකයක්‌ ගැන විශ්වාස නො කරමි. ඇතැම් බෞද්ධයෝ එවැනි ලෝකයක්‌ ඇතැයි විශ්වාස කරති. කිසිවකු බුදුන් වහන්සේ එසේ ලෝකයක්‌ පවතින බව ඒකාන්ත ව දේශනා කර ඇති තැනක්‌ සංදර්භය සහිත ව පෙන්වන්නේ නම් කෘතඥ වෙමි. බුදුදහම, බුදුන් වහන්සේ දෙසූ කරුණු සංදර්භයෙන් ස්‌වායක්‌ත නො වේ. සියල්ල සංදර්භයට සාපේක්‌ෂ ය. ආනන්ද හිමියන් එවං මේ සුතං ආදී වශයෙන් මා විසින් මෙසේ අසන ලදී යනුවෙන් දේශනා කරන්නේ මේ සංදර්භය ය.

බුදුන් වහන්සේ ද්වෛතය බොහෝ අවස්‌ථාවල ප්‍රතික්‍ෂේප කළ හ. මා දන්නා තරමින් (මා සූත්‍ර පිටකය මුළුමනින් ම කියවා නැත) උන්වහන්සේ ද්වෛතයක්‌ ගැන දේශනා කළ එක්‌ අවස්‌ථාවක්‌ සුත්තනිපාතයෙහි ද්වායතානුපස්‌සනා සූත්‍රයෙහි දැක්‌වෙයි. ඒ අනුව පෘථග්ජනයන් සත්‍ය ලෙස පිළිගන්නා දේ රහතන් වහන්සේට අනුව මුසා ය. රහතන් වහන්සේ පිළිගන්නා දේ පෘථග්ජනයන්ට අනුව මුසා ය. මේ ද්වෛතය වැදගත් වෙයි. මම ද පෘථග්ජනයෙක්‌මි. එහෙත් අපේ සංකල්ප, ප්‍රවාද ඇතුළු සියල්ල මුසා බව මම විශ්වාස කරමි. ඇතැමකු සුත්තනිපාතය බුදුන්වහන්සේගේ දේශනයක්‌ නො වේ යෑයි කීමට ද ඉඩ ඇත. අපි දැනට ඒ පිළිබඳ සංවාදයකට නො එළඹෙමු.

ඉතා කෙටියෙන් කිව හොත් සියලු ප්‍රත්‍යක්‌ෂ (මනසින් පමණක්‌ කෙරෙන ප්‍රත්‍යක්‌ෂ හා මනසෙහි ආධාරයෙන් පංචෙන්ද්‍රියන් මගින් කෙරෙන ප්‍රත්‍යක්‌ෂ) බොරු ය. ප්‍රත්‍යක්‌ෂ නො වන වියුක්‌ත ප්‍රවාද ආදිය පට්‌ටපල් බොරු ය. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ ඒ අර්ථයෙනි.

බෝධි ධනපාල මහතා පසුගිය හතරවැනි දා පළ කර ඇති ලිපියෙහි මාතෘකාව ම මේ සියල්ලට විරුද්ධ ය. ඒ මාතෘකාව ක්‌වොන්ටම්වාදයෙන් හෙළි වන ලෝකයේ ස්‌වභාවය යන්න ය. මෙයින් කියෑවෙන්නේ නිරීක්‌ෂකයා ගෙන් තොර ව ලෝකයක්‌ පවතින බවත් ඒ ලෝකය ක්‌වොන්ටම් භෞතිකයෙන් හෙළි වන බවත් ය. ප්‍රශ්නය පටන්ගන්නේ මෙතැනින් ම ය. මම සිංහල බෞද්ධයෙක්‌මි. මගේ සිංහල බුද්ධාගමෙහි (සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි) නිරීක්‌ෂකයා ගෙන් තොර ව පවතින ලෝකයක්‌ නැත. එහෙත් වෙනත් අයකු ගේ බුද්ධාගමෙහි එවැනි ලෝකයක්‌ තිබිය හැකි ය. එවැන්නන් ගෙන් මා ඉල්ලා සිටින්නේ බුදුන් වහන්සේ එලෙස ලෝකයක්‌ ගැන දෙසූ තැනක්‌ සංදර්භය සහිතව පෙන්වන ලෙස ය. මම එය අසාධාරණ ඉල්ලීමක්‌ යෑයි නො සිතමි.

බෝධි ධනපාල මහතා ද අශෝක අමරතුංග මහතා මෙන් ම අනෙක්‌ අය ලියන ලිපි සංයමයකින් නො කියවන බව පැහැදිලි ය. මේ ලිපිය එවැනි එක්‌ කරුණක්‌ ගැන පමණක්‌ සඳහන් කිරීමෙන් අවසන් කරමි. බෝධි ධනපාල මහතා තම ලිපියෙහි අවසාන භාගයෙහි මෙසේ සඳහන් කරයි. මම ධනපාල මහතා හා අමරතුංග මහතා මෙන් අනෙක්‌ අය ගේ ලිපි සම්බන්ධයෙන් තමන්ට තේරෙන පරිදි තමන් කරන අර්ථකථන ඉදිරිපත් නො කරමි. දීර්ඝ වුවත් ඔවුන් ගේ ලිපිවලින් ම උපුටා දක්‌වමි. මේ ධනපාල මහතා ගේ ලිපියෙනි.

'අමරතුංග මහතා පරමාණු ගැන සාකච්ඡා කරන විට ශක්‌තිය සහ ස්‌කන්ධය 'ද්වෛධයක්‌' යයි කියා ඇත." ද්වෛධයක්‌ යනු කුමක්‌ දැයි මම නො දනිමි. බෝධි ධනපාල මහතා ඒ වචනය ඉහතත් තම ඉලෙක්‌ට්‍රොනික ලිපිවලත් යොදන්නේ එහි අර්ථය දැනගෙන ද? ඒ වචනය තේරුම් කර දෙන ලෙස මා ඉල්ලා ඇති නමුත් අමරතුංග මහතා හෝ ධනපාල මහතා එයට ප්‍රතිචාර දක්‌වා නැත. මා දන්නේ ද්වෛතය, ද්විත්වය වැනි වචන ය. අමරතුංග මහතා තම ජනවාරි 28 වැනි දින ලිපියෙන් කියා ඇත්තේ මෙසේ ය. 'අනු පරමාණුක අංශූවල හැසිරීම් ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් පැහැදිලි කෙරෙන්නේ ශක්‌තිය සහ ද්‍රව්‍ය යන ද්වෛධ (Energy and matter duality) මගිනි. අංශූවක පිහිටීම සහ ගම්‍යතාව හෝ එහි ශක්‌තිය සහ කාලය ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් නිවැරැදිව සපයා දෙනු ලබන්නේ නැත. එය විසින් සපයා දෙනු ලබන්නේ සම්භාව්‍යතාව පමණි'.

මේ සියල්ල ලියා තිබුණේ එක ම ඡේදයක ය. මේ මහාචාර්යවරයකු ගේ ලිපියකි. මෙයින් යමකුට වටහාගැනීමට හැකි වන්නේ කුමක්‌ ද? මා දන්නා තරමින් ද්වෛධය යනුවෙන් ඉංගිරිසි Duality යන්න පරිවර්තනය කළ නොහැකි ය. මගේ නොදැනුම්කම නිසා දොa මම ද්වෛධය යනු කුමක්‌ දැයි නො දන්නෙමි. මේ වන තුරු අමරතුංග මහතා හෝ ධනපාල මහතා හෝ එය විස්‌තර කර දී නැත. ද්වෛධයක්‌ ගැන කීමෙන් පසු අමරතුංග මහතා ඒ ඡේදයෙහි ම ඊළග වාක්‍යයෙහි ශක්‌තිය හා කාලය ගැන ලියයි. ශක්‌තිය හා කාලය ඊනියා ද්වෛධයක්‌ ද? අපි පසුව මෙය වැඩිදුරටත් සාකච්ඡා කරමු.

එයට පළමු ධනපාල මහතා ගේ ලිපියෙහි ඉහත සඳහන් වාක්‍යයට පසුව ඒ ඡේදයෙහි ම ඇති වාක්‍ය කිහිපයක්‌ සලකමු. 'නලින් ද සිල්වා මහතා
E=mc2 බව සඳහන් කරමින් මෙවැනි ද්විත්වයක්‌ නොමැති බව කියයි. සිල්වා මහතා ගේ මතය අනුව එක ම ශක්‌තියක්‌ (E) ඇති මූල අංශූ දෙකකට එක ම ස්‌කන්ධයක්‌ (m) තිබිය යුතු ය. මෙය සම්පූර්ණයෙන් වැරැදි ය. එක ම ශක්‌තියක්‌ ඇති ඉලෙක්‌ට්‍රොaනයක්‌, ප්‍රොaටෝනයක්‌ (proton) සහ ෆොaටෝනයක්‌ (photon) වෙනස්‌ ස්‌කන්ධයන් ඇති අංශූ බව ද, ෆොaටෝනයට ස්‌කන්ධයක්‌ නැති බව ද අපි දනිමු. මෙවැනි නොමග ගිය දේ කියන සිල්වා මහතා අමරතුංග මහතාට ගැරහිය නො යුතු ය. '

මගේ මතය අනුව එක ම ශක්‌තියක්‌ ඇති මූල අංශූ දෙකකට එක ම ස්‌කන්ධයක්‌ තිබිය යුතු යෑයි ධනපාල මහතා නිගමනය කර ඇත. ඔහු ඒ නිගමනයට පැමිණියේ කිනම් අවබෝධයකින් ද? ඔහුට අනුව මා නොමග ගිය දේ කියයි. මා දැන් නො දන්නේ මා ධනපාල මහතා ගේ අවබෝධ ශක්‌තිය ගැන කුමක්‌ කිව යුතු ද යන්න ය. ඔහු කියනු ඇත්තේ මා ඔහුට ද ගරහන බව ය. විශේෂ සාපේක්‌ෂතාවාදය අනුව යම්කිසි අවස්‌ථිති සමුද්දේශ රාමුවක මැනෙන අංශූවක ස්‌කන්ධය
m=m0/(1-v2/c2)1/2 යන්නෙන් දෙනු ලැබෙයි. මෙහි m0 යනු අංශූවෙහි නිශ්චලතා ස්‌කන්ධය වෙයි. අප E=mc2 හි කතා කරන්නේ යම් අවස්‌ථිති සමුද්දේශ රාමුවක අංශූවෙහි ස්‌කන්ධය මිස එහි නිශ්චලතා ස්‌කන්ධය නො වෙයි. ධනපාල මහතා නොමග ගොස්‌ ඇත්තේ m යන්න නිශ්චලතා ස්‌කන්ධය ලෙස ගැනීමෙනි. සාමාන්‍යයෙන් නිශ්චලතා ස්‌කන්ධය m0 ලෙස ලියවෙන බැවින් ධනපාල මහතා ගේ අවුලට හේතුව කුමක්‌ ද?

නලින් ද සිල්වා