logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 12

මේ ලිපි පෙළ මගින් අප සාකච්ජා කරමින් සිටින්නේ පොදු මතවාදය (Theory of Everything) නමැති සංකල්පය පිළිබඳව දැනට ඉදිරිපත් වී ඇති මතවාදවලට පිටින් තිsබෙන ස්‌වාභාවික වරණය, පාරිසරික න්‍යාය වැනි මතවාද පොදු මතවාදය තුළට ගත හැකි ද යන්න ය. ඒ ගැන සාකච්ජා කිරීමට අවශ්‍ය වී ඇත්තේ අවසානයේ දී මතු වන ප්‍රශ්නය වන ජීවිතයේ අරුත කිම යන්නට පිළිතුරක්‌ ලබාගත හැකි දැයි සොයාබැලීම පිණිස ය. අප සඳහන් කොට ඇත්තේ ජීවිතයේ අරුත විය හැක්‌කේ ස්‌වභාවධර්මයට අවශ්‍ය වන ජාන වර්ධනය සඳහා ජීවීන් විශේෂයෙන් ම මනුෂ්‍ය වර්යා විසින් වාහනයක්‌ (vehicle) සැපයෙන බව ය. ස්‌වාභාවික වරණය සිදුවීමේ දී ජාන විකෘති වීම සිදු වන හෙයින් එම ක්‍රියාදාමය පොදු මතවාදයේ එන න්‍යායවලට අනුව සිදු වන බව පෙන්වා දිය හැකි නම් ප්‍රශ්නය යම් දුරකට විස ගත හැකි ය. සමහර ජීව විද්‍යාඥයන් ගේ අදහස වන්නේ ස්‌වාභාවික වරණය සිදු වන්නේ දැනට පවතින මූලික න්‍යායවලට අනුව බව ය. එම නිසා ස්‌වාභාවික වරණය තවත් මූලිsක න්‍යායක්‌ ලෙස වෙන් කොට සැලකිය නොහැකි බව ය.

ජීවිතයේ අරුත සොයා බැලීමේ දී පොදු මතවාදයක්‌ තිබීම අත්‍යවශ්‍ය වන්නේ ය. සියල්ල සිදු වන්නේ ජීවිතයේ අරුත සඳහා බව පෙන්වා දිය යුතු ය. ජීවිතයේ අරුත විශ්වයේ සිදු වන සියල්ල සමඟ බැඳී පවතින බව පෙන්වා දිය යුතු ය. මේ සඳහා පොදු මතවාදයක අවශ්‍යතාව ඇතැයි සිතිsය හැකි ය.

ජීවිතයේ අරුත ජාන වර්ධනය සඳහා වාහකයක්‌ සැපයීම බවට මා පවසා ඇති මේ අදහස බුදුදහමට කිසිසේa විරුද්ධ වන්නේ නැති බව ද පෙන්වා දී ඇත. බුදුන් විශ්වය පිළිබඳව පවසා ඇත්තේ ඒ ගැන වාද කිරීම උන්වහන්සේ ගේ ධර්මයේ අරමුණ සාක්‌ෂාත් කරගැනීමට බාධාවක්‌ බව ය. ඒ බව චුලමාලූන්ක්‍ය සූත්‍රය සහ අග්ගිවච්ච ගොත්ත සූත්‍රය මඟින් පහදා දී ඇත. විශ්වය අනන්ත ද නැද්ද හෝ සදාකාලික ද නැද්ද යන්න පිළිබඳව බුදුහු පිළිතුරක්‌ නුදුන් සේක. එසේ ම උන්වහන්සේ පැවසුවේ ජීවියා නිත්‍ය නො වන බව ය. එය දුකක්‌ බව ය. "මම" යනුවෙන් කිසිවකු නැති බව ය. මින් පෙනී යන්නේ මිනිසා ගේ ජීවිතය මිනිසාට අයත් නැති බව ය. විශ්වය මිනිසා පිණිස පවතින දෙයක්‌ නො වන බව ය.

ක්‍රිස්‌තියානි ධර්මයේ පැවසෙන්නේ විශ්වය දෙවියන් විසින් මවන ලද්දේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස බව ය. මෙය වැරැදි බව පෙන්වා දිය හැකි ය. විශ්වය මිනිසා සඳහා නිර්මාණය වී ඇති නම් ජීවිතය විශ්වයේ බිංදු මාත්‍රයක්‌ වූයේ කෙසේ ද? ස්‌වල්පයක්‌ වූ ජීවිතය දුක්‌ විඳ මරණයට පත් වන්නේ කුමක්‌ පිණිස ද? බුදුන් පවසන්නේ විශ්වය අති විශාල බව ය. එය ගැන සිතීSම දුක නැති කරගැනීමේ අරමුණට බාධාවක්‌ බව ය. මේ ධර්මය මා පවසන දෙයට විරුද්ධ නැත. මා පවසන්නේ මිනිසා විශ්වය සඳහා ඇති වී ඇති බව ය. විශ්වය මිනිසා සඳහා ඇති වූ දෙයක්‌ නො වන්නේ ය. මිනිසා දුක්‌ විඳ මරණයට පත් වන්නේ ශරීරය තුළ වර්ධනය වූ ජාන ඊළඟ පරම්පරාවට දායාද කොට ය. ජානවල අවිච්චින්න පැවැත්ම අවශ්‍ය වන්නේ කුමක්‌ පිණිස ද? එය මිනිසාට අවශ්‍ය ද? කොහෙත් ම නැත. අප මරණයට පත් වූවාට පසු අපට අවශ්‍ය දෙයක්‌ ඇත් ද? අප තුළ වර්ධනය වූ සමහර ජාන ඊළඟ පරම්පරාවට ප්‍රයෝඡනවත් විය හැකි ය. එහෙත් එසේ සිදු වන්නේ ස්‌වාභාවික වරණය සිදු වීම පිණිස මිස මරණයෙන් කෙළවර වන ඊළඟ පරම්පරාවේ කෙනකු ගේ යහපත සඳහා ම නො වේ.

විශ්වය හෝ අප ගේ ජීවිතය අපට අවශ්‍ය පරිදි නිර්මාණය වී නැත. එසේ වූවා නම් අප දුක්‌ත ජීවිතයක්‌ ගත කොට මරණයට පත් වන්නේ නැත. අපට අවශ්‍ය පරිදි සැපවත් අමරණීය ජීවිතයක්‌ නිර්මාණය කරගන්නට අපට බැරි ය. අප පවතින්නේ විශ්වයට අවශ්‍ය පරිදි ය. අප ගේ දුක ඇති වන්නේ තෘෂ්ණාව නිසා ය. මේ බව බුදුන් පහදා දී ඇත. දුක නැති කරගැනීම පිණිස අප කරන්නේ තෘෂ්ණාවට ඉඩ දී ඊට අවශ්‍ය දේ සපයාගැනීමට වෙර දැරීම ය. අප ගේ ජීවිත සුත මුදිත කරගැනීමේ ආසාව අසීමිත ය. අයිති කරගැනීමේ ආසාව අසීමිත ය. මේ සඳහා නොයෙකුත් නව නිර්මාණ භාණ්‌ඩ තැනිය යුතු ය. නොයෙකුත් ප්‍රශ්න නිරාකරණය කරගත යුතු ය. ලෙඩ රෝග සුවපත් කරගත යුතු ය. මේ සැම දේ ම කර ගැනීමේ දී අප ගේ ඥානයේ වර්ධනයක්‌ සිදු වන්නේ ය. නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වන්නේ ය. අවයව, ඉන්ද්‍රිය වර්ධනය වන්නේ ය. මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වන්නේ ය. මේ සැම දෙයක්‌ ම ජානවලට බලපෑමක්‌ කරන්නේ ය. ප්‍රතිඑලය ජාන වර්ධනය වීම ය.

තෘෂ්ණාව, කාමාශාව, අයිති කරගැනීමේ ආශාව, ජීවිතය සැපවත් කරගැනීමේ ආශාව එතරම් හොඳ ගතිගුණ නො වන්නේ යෑයි අප පවසන්නේ අප විසින් ම සාදාගනු ලබන සාදාචාර පද්ධතියකට අනු ව ය. එහෙත් එය විශ්වය සමග සසඳන විට ස්‌වල්පයක්‌ වූ අප ගේ අදහසකි. එය විශ්වයට වැදගත් නො වන්නේ ය. විශ්වයට වැදගත් වන්නේ අප ගේ එම ගුණාංග නිසා වර්ධනය වන ජාන පමණක්‌ විය හැකි ය. තෘෂ්ණාව ජාන වර්ධනය පිණිස විශාල කර්තව්‍යයක්‌ සිදු කරන බව කිව හැකි ය. මිනිසා සතු කරුණාව, දයාව, පරෝපකාරය, තෘෂ්ණාව, ක්‍රෝධය වැනි ගුණාංග හොඳ සහ නරක ලෙස වෙන් කොට හැඳිනගැනෙන්නේ අප විසිනි. එම ගුණාංග මිනිසා හැරෙන්නට වෙනත් සත්ත්වයන් තුළ ද අඩු වැඩි වශයෙන් පවතින බව පෙන්වා දිය හැකි ය. ජීව පරිණාමය හේතු කොටගෙන මේ ගුණාංග වර්ධනය වී මිනිසා තුළ සත්ත්වයන්ට වඩා අධික ලෙස ඒවා පවතින බව පෙනෙන්නට ඇත. හොඳ සහ නරක ලෙස සැලකෙන සැම ගුණාංගයක්‌ ම මිනිසා තුළ මේ ආකාරයට වැඩි වී ඇත. වර්ධනය වී ඇත්තේ හොඳ ලෙස සැලකෙන ගුණාංග පමණක්‌ නො වේ. ඇත්තෙන් ම කියවෙන්නේ තෘෂ්ණාව ඇතුළු නරක ලෙස සැලකෙන ගුණාංග කරුණාව, දයාව වැනි හොඳ යෑයි සැලකෙන ගුණාංගවලට වඩා මිනිසා තුළ වර්ධනය වී ඇති බව පෙනෙන්නට තිබෙන බව ය. මේවා සිදු වන්නේ අපට අවශ්‍ය පරිදි නො වන බව ඉන් වටහාගත යුතු ය. අපට අවශ්‍ය පරිදි ඒවා සිදු වනවා නම් වර්ධනය විය යුත්තේ කරුණාව වැනි හොඳ යෑයි සැලකෙන ගුණාංග විය යුතු ය. කරුණාව, දයාව, තෘෂ්ණාව, ආත්මත්තකාමය, ක්‍රෝධය වර්ධනය වන්නේ මිනිසා ගේ ස්‌වභාවය එය නිසා ය. මනුෂ්‍ය ස්‌වභාවය නිර්මාණය වී ඇත්තේ අපට වුවමනා ලෙස නො වේ. එය ස්‌වභාවධර්මයේ අංගයක්‌ වන්නේ ය. අප ස්‌වභාවධර්මයේ කොටසක්‌ නම් අප ගේ ස්‌වභාවය ද එහි කොටසකි. අප ගේ ස්‌වභාවය වෙනස්‌ කිරීමට අපට හැකියාවක්‌ ඇතත් එය සීමිත වූ හැකියාවකි. එම නිසා ය නරක යෑයි සැලකෙන ගුණාංග වර්ධනය වන්නේ.

මේ නයින් බලන කල පෙනී යන්නේ තෘෂ්ණාව සහ ඒ මගින් වර්ධනය වන ඥානය (intelligence - ප්‍රාඥාව නො වේ- not
wisdom) පෘථිවිය මත විශාල වශයෙන් වර්ධනය වී ඇති බව ය. ඥානය වර්ධනය වී ඇති රටවල තෘෂ්ණාව ද ඒ ලෙස ම වර්ධනය වී ඇති බව පෙනේ. උදාහරණයක්‌ ලෙස ඇමෙරිකාව ගත හොත්a පෙනී යන්නේ ඒ රට තුළ ඥානය බොහෝ ලෙස වර්ධනය වී ඇති බව ය. ඒ ලෙස ම තෘෂ්ණාව ද බොහෝ ලෙසින් වර්ධනය වී ඇති බව ය. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ මුළු ලොව ම තම ග්‍රහණයට ගැනීමට ය. ලෝකය පමණක්‌ නො ව අභ්‍යවකාශය, එහි ඇති වස්‌තු අල්ලා ගැනීමට ද ඔවුනට අවශ්‍ය වී ඇත. ඔවුහු ලෝකය නතු කරගැනීමටත් අභ්‍යවකාශය අල්ලාගැනීමටත් ඔවුන් ගේ වර්ධනය වන ඥානය භාවිත කරති. ඔවුන් ගේ තෘෂ්ණාව නිසා ඔවුන් ගේ ඥානය වර්ධනය වන්නේ ය. නව නිර්මාණ, ආයුධ, බෝම්බ, ගුවන්යානා, රොකට්‌, නැව්, න්‍යෂ්ටික බලය, මේවා සැම දෙයක්‌ ම නිර්මාණය වී ඇත්තේ තෘෂ්ණාව මුල් කරගෙන ය. සුඛෝපභෝගී වාහන, සුවිසල් මැදුරු, පරිගණක ආදි දේ නිපදවී ඇත්තේ තෘෂ්ණාව මුල් කරගෙන ඇති වූ ඕනෑකම නිසා ය. මේවා නිර්මාණය කිරීමට මූලික ව ඒ සඳහා වුවමනාවක්‌ ද ඥානය ද අවශ්‍ය ය. මේ දෙක ම වර්ධනය වන්නේ ඒ ලෙස ය. එම වර්ධනය සඳහා ජානවල විකෘති වීමක්‌ අවශ්‍ය වන්නේ ය. ජාන වර්ධනය වන්නේ ඒ ලෙස ය. ජාන වර්ධනය සඳහා මිනිසා වාහකයක්‌ වන්නේ ය. මිනිසා තම කාර්යය ඉටු කොට ජාන වර්ධනයට ඉඩ දී මරණයට පත් වන්නේ ය. ජාන වර්ධනය ඊළග පරම්පාරාවේ නො නැවතී ඉදිරියට යන්නේ ය.

බුදුහු තෘෂ්ණාව සමනය කරගත යුතු බව පැවසූ සේක. ඒ සඳහා ප්‍රඥාව ඇති කරගත යුතු ය. බුදුහු, රහත්හු ඒ ලෙස අවශ්‍ය ප්‍රාඥාව ළඟා කර ගත්තෝ ය. එය කළ හැකි බව උන්වහන්සේ පෙන්වා දුන් සේක. අප සැවොම යා යුත්තේ ඒ මාර්ගයේ ය. එහෙත් බෞද්ධයන් ඇතුළු ලොවෙහි ජීවත් වන විශාල බහුතරයක්‌ ඒ මාර්ගයේ යන්නේ නැත. තෘෂ්ණාව නිසා ඇති වන දුක පෙනී පෙනී එය පිනවීම ජීවිතයේ අරමුණ කරගත් මිනිසා ඒ මාර්ගයේ යන්නේ ය. එය එසේ සිදු වන්නේ මිනිසා ගේ ස්‌වභාවය එය නිසා ය. එම ස්‌වභාවය ස්‌වභාවධර්මයේ එක්‌ අංගයක්‌ වන නිසා ය.

බුqදුන් ඇතුළු ආගමික කර්තෘවරු මනුෂ්‍යයෝ ය. උන්වහන්සේ, ජීවිතයේ දුක සහ එහි අරුත දැනගැනීමට ඉමහත් ප්‍රයත්නයක්‌ දැරූ හ. එහි ප්‍රතිඑලයක්‌ ලෙස ආගම් බිහි විය. දෙවියන් විශ්වාස කළ ආගම් කතෘවරු ජීවිතයේ අරුත දෙවියන් තුළ ඇතැයි පවැසුවෝ ය. දෙවියන් විශ්වාස නො කළ ආගම් කර්තෘවරු හොඳ ජීවිතයක්‌ ගත කරන අන්දම දේශනා කළෝ ය. දුකෙන් මිදෙන අන්දම පහදා දුන්නෝ ය. සාමාන්‍ය ජනතාවට මේ ලෙස අවවාද අනුශාසනා කළ බුදුහු ඉතා ම ගැඹුරු ධර්මයක්‌ දේශනා කළ සේක. එහි පදනම වූයේ ජීවිතය විවරණය කරන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිත්වය විය. ආර්ය අෂ්ටාංගික මාර්ගය මඟින් දුකෙන් මිදෙන අන්දම ද පහදා දෙයි. දුකෙන් නිරෝධ වීම හෝ නිදහස්‌ (freedom) වීම නිවන ලෙස හැඳින්වෙයි. නිවන තුළ නිත්‍යතාවක්‌ නැති බව අප වටහාගත යුතු ය. අමරණීයත්aවයක්‌ ඒ තුළට ඇතුළු කරන්නට තැත් කරන ලද්දේ මහායානවාදීන් විසිනි. ඔවුනට අවශ්‍ය වූයේ බුදුරදුන් සහ බුදුදහම ලෝකොත්තර (transcendental) _තත්ත්වයට පත් කිරීමට ය.

බුදු දහම අප ගේ සාකච්ජාවට සම්බන්ධ කරන්නට සිදු වූයේ ජීවිතයේ අරුත පහදාගැනීමේ දී දුක පිළිබඳ ගැඹුරෙන් සිතන්නට අවශ්‍ය වන නිසා ය. මිනිසා දුකක්‌ නැති ව සතුටින් අමරණීය ලෙස ජීවත් වේ නම් ජිවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නය මතු වන්නේ නැත. එහෙත් මුළු ලොව සැම දෙන දුකින් ජීවත්a වී මරණයට පත් වෙති. එම නිසා ය ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නය නැෙගන්නේ. එA නිසා ය ජීවිතයේ අරුත සොයන විට මුළු විශ්වය ගැන ද සිතන්නට වන්නේ. බුදුන් පැවසුවේ ඒ ගැන සිතිsය යුතු නැති බව ය. බුදුන් දුක නැති කිරීමේ මාර්ගය සොයාගැනීම තම අරමුණ කර ගත් නිසා වෙනත් දේ බුදුන්ට වැදගත් වූයේ නැත. ජීවිතයේ අරුත පිළිබඳව බුදුන් වෙහෙසුණේ නැත. උන්වහන්සේට පෙර විසූ දාර්ශනිකයන් ඒ ගැන වෙහෙසුණු බව උපනිෂද් ග්‍රන්ථ අධ්‍යයනය කරන්නකුට පැහැදිලි විය යුතු ය. උන්වහන්සේ ගේ සමකාලීන දාර්ශනිකයෝ ද ජීවිතයේ අරුත සොයමින් පෙනෙන්නට නො සිටි දෙවි කෙනකු සමග එකතු වීම ජීවිතයේ අරුත බව පැවසුවෝ ය. ජීවිතයේ අරුත සෙවීම වෙනුවට බුදුන් සලකා බැලුවේ තමා වටා තවත් අසරණ ජනී ජනයා ගේ දුක සමනය කළ හැකි මගකි. නිර්වාණය ළඟා කරගැනීම එම මාර්ගයේ අවසාන එලය විය. නිවන පවතින හෝ නො පවතින දෙයක්‌ නො වන බව උන්වහන්සේ වදාළ හ. එය ද්‍රව්‍යයමය (substantialist) අවස්‌ථාවක්‌ නො වන බව ද පහදා දී ඇත. නිවන අමරණිය තත්ත්වයක්‌ නො වන බව උන්වහන්සේ පවසා ඇත. අරහත් අමරණිය නො වන බව උන්වහන්සේ පවසා ඇත. ජීවිතයේ අරුත සොයාගැනීම නො ව දුක දුරු කිsරීම බුදුන් ගේ අරමුණ විය.

ජීවිතයේ අරුත සොයාගැනීම විද්‍යාවේ අවසාන අරමුණ විය යුතු බව පිළිබඳව ප්‍රශ්නයක්‌ නැත. සත්‍ය ගවේෂණය යන්නෙහි තේරුම එය විය යුතු ය. මතවාද සියල්ලේ ම අරමුණ එය ය. පොදු මතවාදයක්‌ අවශ්‍ය වන්නේ ඒ නිසා විය යුතු ය. ජීවිතයේ අරුත විශ්වය සහ එහි අරමුණ සමග බැඳී පවතී නම් විශ්වයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මතවාද ජීවීන් ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මතවාද අතර ගැටීමක්‌ නො තිබිය යුතු ය. එම නිසා ස්‌වාභාවික වරණය යන සංකල්aපය සහ පොදු මතවාදය යන සංකල්පය අතර ඇති සම්බන්ධය කුමක්‌ ද යන්න සොයා බැලිsය යුතු ය. ස්‌වභාවධර්මය ජාන විකෘති වීම පිණිස දෙනු ලබන සංඥාව ජාන නැත හොත් DNA සැදී ඇත්තේ නියුක්‌ලියොටයඩ් එකක්‌ අඩු වීම හෝ එකක්‌ වැඩි වීම හෝ ඒවායේ ස්‌ථාන මාරු විම සඳහා ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න දැනට සොයාගෙන නැත. ජීව සෛලය ප්‍රථම වරට සෑදුණේ කෙසේ ද යන්න පිsළිබඳව දැනට සොයාගෙන ඇති කරුණු මීට පෙර ලිපිවල කෙටියෙන් සාකච්ජා කෙරුවෙමු. ඉදිරි ලිපිවල ඒ ගැන ද ප්‍රොaටීන පිළිබඳව ද තවත් කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි. මේ ලිපිවල අරමුණ පොදු මතවාදය තු=ළින් ජීවිතයේ අරුත සොයාගත හැකි ද යන්න සාකච්ඡාවට භාජන කිරීම වන්නේ ය.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc