logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතා සාපේක්‌ෂතාව පිළිගනියි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාගේ ම වූ මතයක්‌, අදහසක්‌ ඉදිරිපත් කරන බවක්‌ අපට කියයි. මේ අදහස ඊනියා විද්‍යාත්මක ප්‍රවාදයක්‌ ද යන්න ඔහු අපට පවසන්නේ ද? එය පංචෙන්ද්‍රිය ගෝචර පරීක්‌ෂණවලින් තහවුරු කළ හැකි ද? පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් තොර ලෝකයක්‌ නැති කාලෝ ෆොන්සේකා මහතා අමරතුංග මහතා ගේ නව අදහස පිළිගන්නේa ද? පංචෙන්ද්‍රිය ගෝචර නො වන පට්‌ටපල් බොරුවක්‌ වූ ගුරුත්වාකර්ෂණය ඇතැයි කියා පිළිගන්නා අමරතුංග මහතාට මෙන් ම කාලෝ ෆොන්සේකා (ඔහු තවමත් ඉරිදා රිවිර පුවත්පත මගින් හා විදුසර මගින් සංවාදයකට එළඹීමට කරන ලද අරාධනා පිළිගෙන නැත. ඔහු ඒ පිළිබඳව නො දන්නේ ය කියා ගැලවීමට නො හැකි ය. මේ සැම ලිපියක්‌ ම ඔහුට ඉලෙක්‌ට්‍රොනික තැපෑලෙන් යෑවෙයි. කාලෝ ෆොන්සේකා තම මිතුරකු ලවා ගිනි පෑගුවේ යෑයි ප්‍රකාශ කර අභියෝග කළේ බෞද්ධ හා හින්දු සංස්‌කෘතිවලට ය. ඔහු කොරුන් ඇවිද්දවන්නේ යෑයි කියන බිහිරි අයට ඇසෙන්නට සලස්‌වන්නේ යෑයි කියන කතෝලික හා ක්‍රිස්‌තියානි සංස්‌කෘතීන්ට අභියෝග නො කරයි. අප බිහිරන් හා අන්ධයන් නො වන බව පමණක්‌ ඒ මහතාට කියා සිටිමු.) මහතාට ද ඔවුන් මොන තරම් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන කතා කළත් ඇතැම විට අමරතුංග මහතා ගේ නව අදහස ඊනියා පරීක්‌ෂණවලින් තහවුරු කරගත හැකි ද යන්න ප්‍රශ්නයක්‌ නො වීමට ඉඩ ඇත.

අමරතුංග මහතා පසුගිය 18 වැනි දා තම ලිපියෙන් කියා ඇති කරුණට අපි ප්‍රථමයෙන් මූලික අවධානයක්‌ පමණක්‌ කරමු. අපි ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකට පසුව එළඹෙමු. ඒ මහතා තම ලිපියෙහි මෙසේ කියයි. "පළමුව ස්‌වාභාවික වරණය සහ ජාන විකෘති වීම සැලකිල්ලට භාජන කරමින් අප ගේ මතයක්‌ වන (මෙය බටහිර අදහසක්‌ නො වේ) ජීවිතයේ අරුත වන්නේ ජාන වර්ධනය සඳහා වාහකයක්‌ සැපයීම බව තව ටිකක්‌ දුරට සාකච්ඡා කරමු. මා පවසා ඇත්තේ මිනිසා ජීවත් වන්නේ මිනිසා පිණිස නො ව විශ්වය පිණිස බව ය. මිනිසා ගෙන් විශ්වයට සිදු කෙරෙන සේවය ජාන වර්ධනයට වාහකයක්‌ සැපයීම ය. ස්‌වාභාවික වරණය සහ ජාන විකෘති වීම යන සංකල්ප තුළින් මේ අදහස අධ්‍යයනය කිරීමට උත්සාහයක්‌ ගත හැකි ය. ස්‌වභාවක ජාන විකෘති වීම මගින් විශාල සංඛ්‍යාවක්‌ ජාන සංසදයට (ජාන කිටුවට) එකතු වේ. මින් මිනිසාට යහපතක්‌ සිදු වන ජාන ඇත්තේ ස්‌වල්පයකි. අයහපත් ජාන ඉවත් වන්නේ ය. යහපතක්‌ හෝ අයහපතක්‌ හෝ සිදු නො කරන ජාන රාශියක්‌ ජාන සංසදයට එකතු වේ. සමහර රෝග ගෙන දෙන ජාන ද නැති නො වී පවතී. මේ ජාන ප්‍රයෝජනයක්‌ නැතැයි නිගමනය කරන්නේ අප ය. ඒ අපට පෙනෙන විධිය ය."

මෙලෙස තරමක්‌ දීර්ඝ ලෙස උපුටා දැක්‌වීමට සිදුවීම ගැන කණගාටු වෙමි. එහෙත් එසේ නොමැති ව අමරතුංග මහතා ගේ අවුල් සහගත අදහස්‌ පාඨකයාට දැනගැනීමට සැලැස්‌විය හැකි නො වේ. ඔහු බොහොa මහාචාර්යවරුන් මෙන් ම පටලැවුණු අදහස්‌වලින් යුක්‌ත වෙයි. ඔහු ජනවාරි 28 වැනි දා ලිපියෙන් ක්‌වොන්ටම් භෞතිකයේ ක්‍ෂුද්‍ර අංශූවල ගුණ ද්‍රව්‍යයේ හා ශක්‌තියේ ඊනියා ද්වෛතයකට අනුව තේරුම්ගත හැකි යෑයි කීවේ ය. ඉන්පසු එවැනි අංශූවක පිහිටුම හා ගම්‍යතාව එකවිට මැන ගැනීමට නොහැකි ඇයි දැයි තේරුම් කර දීමට ගොස්‌ තම නො දන්නාකම හෙළි කළේ ය. ඒ පිළිබඳව පසුගිය ලිපිවල මා සඳහන් කර ඇත. යමකු ගේ නො දන්නා බව එතරම් ප්‍රශ්නයක්‌ නො වේ. එය ප්‍රශ්නයක්‌ වන්නේ තමන් නො දන්නා දේ පඩියකු බව පෙන්වමින් අනෙක්‌ අයට කියා දීමට තැත් කිරීමේ දී ය. එයටත් වඩා ප්‍රශ්නයක්‌ වන්නේ තම අදහස්‌ නිරවුල් නො වූ විට ය.

අමරතුංග මහතා මේ අදහස්‌ ලබාගන්නේ ජනප්‍රිය පොත්වලින් විය යුතු ය. බටහිර ගණිතය නො දන්නා ඔහුට හිල්බට්‌ අවකාශයේ දෛශික, කාරක (Operators) ආදිය මත පදනම් වී අනිශ්චය මූලධර්මය අපෝහනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනුමක්‌ නැත. ද්‍රව්‍යය හා ශක්‌තිය අතර ඊනියා ද්වෛතයක්‌ නැත. ද්‍රව්‍යය යනු එක්‌තරා අයුරකින් ගත හොත් ඇතැම් අංශූ හා වස්‌තු සම්බන්ධයෙන් ගත් කල ඉංගිරිසි ස්‌ටa (Stuff) යන අරුතින් ගත හොත් දෙයකි. ශක්‌තිය යනු ද්‍රව්‍යයෙහි ගුණයකි. එවැනි ද්‍රව්‍යයට ස්‌කන්ධයක්‌ ඇති අවස්‌ථාවල ශක්‌තිය හා ස්‌කන්ධය අතර සම්බන්ධයක්‌ වෙයි. එය
E=mc2 යන්නෙන් දැක්‌වෙයි. ජනප්‍රිය පොතෙහි කෙසේ කීවත් ඒ අර්ථයෙන් ද්‍රව්‍යය හා ශක්‌තිය අතර ද්වෛතයක්‌ නැත. එහෙත් ශක්‌තිය හා ද්‍රව්‍යය යනු එකක්‌ නො වේ.

මා ශක්‌තිය හා ද්‍රව්‍ය අතර අනිශ්චය මූලධර්මය යෙදෙන ආකාරය පෙන්වන ලෙස අමරතුංග මහතාට අභියෝග කළේ ම ඒ එකක්‌ නො වන නිසා ය. පිහිටුම හා ගම්‍යතාව අතර අනිශ්චය මූලධර්මය වලංගු වන්නේ ද ඒ රාශි දෙක එකක්‌ ම නො වන බැවිනි. ඒ අතර ඒකත්වයක්‌ (Unity) නැත. ඇතැමුන් සිතන්නේ
E=mc2 සඳහන් කිරීමෙන් මා ශක්‌තිය හා ද්‍රව්‍යය අතර ඒකත්වයක්‌ ඇතැයි කියන බව ය. ඔවුන් ගේ නොදැනුම හා අනවබෝධය ගැන අපට කළ හැක්‌කේ කුමක්‌ ද?
ෆොaටෝනවලට නිශ්චලතා ස්‌කන්ධයක්‌ (rest mass) නොමැත. එහෙත් එහි ශක්‌තියක්‌ වෙයි. ෆොaටෝනවලට තරංගවල ගුණ ඇත. තරංගයෙහි සංඛ්‍යාතය වන විට එහි ශක්‌තිය E = h යනුවෙන් දැක්‌වෙයි. (මෙය නිවැරැදි ව යතුරු ලියනයෙන් ලිවීමේ අපහසුතාවක්‌ වෙයි.) යමකුට අවශ්‍ය නම් යම් සමුද්දේශ රාමුවකට සාපේක්‌ෂව ෆොaටෝනයකට ස්‌කන්ධයක්‌ පැණවිය හැකි ය.
E=mc2 හා E=h උපයෝගී කරගනිමින් යම් සමුද්දේශ රාමුවක ෆොaටෝනයක ස්‌කන්ධය h/c2 යෑයි කිව හැකි ය. ෆොaටෝනයකට ස්‌කන්ධයක්‌ ඇත් ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක්‌ නො වේ. අපි එයට ස්‌aකන්ධයක්‌ ලබා දෙමු.

ඉලෙක්‌ට්‍රොaනයක හෝ මහේක්‌ෂ අංශුවක හෝ ස්‌කන්ධය නියම කරන්නේ ද අප ය. ඒ සියල්ල අපේ නිර්මාණ ය. ෆොaටෝනයකට ද ස්‌කන්ධයක්‌ නිර්මාණය කිරීමට, නියම කිරීමට අපට හැකි ය. ෆොaටෝනයක සංඛ්‍යාතිය සමුද්දේශ රාමුවෙන් රාමුවට වෙනස්‌ වන බැවින් අප විසින් අර්ථ දැක්‌වෙන ස්‌කන්ධය ද සමුද්දේශ රාමුවෙන් රාමුවට වෙනස්‌ වෙයි. ඒ කෙසේ වෙතත් ද්‍රව්‍යයෙහි හා ශක්‌තියෙහි ඊනියා ද්වෛතයක්‌ නැත. ක්‌වොන්ටම් භෞතිකයෙහි ද්වෛතයක්‌ (duality) ඇත. ඒ තරංග හා අංශු අතර ය. ෆොaටෝනවලට ද අනෙක්‌ ක්‍ෂුද්‍ර අංශුවලට ද තරංග මෙන් ම අංශු ගුණ ද වෙයි. ඒ බටහිරයන් දකින ආකාරයට ය. සුප්‍රසිද්ධ ද්විත්ව සිදුරු පරීක්‌ෂණය ඒ මත ර පවතියි.

ආලෝකයට තරංග ගුණ ඇතැයි තරංගවාදයෙන් කියෑවෙයි. එහෙත් ප්‍රකාශ විද්යුත් ආචරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ ආලෝකයට අංශු ගුණ ද ඇති බවය. ප්ලෑන්ක්‌ තම ක්‌වොන්ටම් සංකල්පය ඉදිරිපත් කිරීමේ දී තරංග පැකට්‌ටු ගැන කතා කළේ ය. ෆොaටෝන යන සංකල්පය ලැබෙන්නේ ආලෝකයේ ඇති අංශු ගුණය සංකල්පගත කිරීමේ දී ය. අලෝකයට තරංග මෙන් ම අංශු ගුණ ඇති පරිදි ඉලෙක්‌ට්‍රොaන වැනි අංශුවලට තරංග ගුණ ඇත. ක්‌වොන්ටම් භෞතිකයට මේ තරංග හා අංශු අතර ද්වෛතය වැදගත් විය.

ක්‌වොන්ටම් යාන්ත්‍රිකයේ මුල් අවධියෙහි තරංග යාන්ත්‍රිකය (wave mechanics) යන නම ද යොදාගනු ලැබිණි. ෂ්රෝඩිංගර් අංශු ක්‍ෂුද්‍ර අංශු සඳහා තරංග සමීකරණයක්‌ ලිවී ය. තරංග යාන්ත්‍රිකය බිහි වූයේ එපරිදි ය. තරංග හා අංශු අතර එලෙස ද්වෛතයක්‌ ඇති නමුත් ශක්‌තිය හා ද්‍රව්‍යය අතර ඇති ද්වෛතය කුමක්‌ ද? අමරතුංග මහතාට ජනප්‍රිය පොතක්‌ කියවා එයට පිළිතුරක්‌ දිය හැකි ද?

දැන් අපි මේ ලිපියෙහි මුල සඳහන් කර ඇති උද්ධෘතය සලකමු. එය අමරතුංග මහතා ගේ නව අදහසක්‌ යෑයි සිතමු. එය බටහිරයන් ගේ අදහස්‌ නො වේ යෑයි ඒ මහතා පවසයි. අමරතුංග මහතාට අනුව ජීවිතයේ අරමුණ ජාන වර්ධනයට වාහකයක්‌ සැපයීම ය. ඔහුට අනුව මිනිසා ජීවත් වන්නේ මිනිසා පිණිස නො ව විශ්වය සඳහා ය. ස්‌වාභාවික ජාන විකෘති වීම නිසා ජාන විශාල සංඛ්‍යාවක්‌ ජාන සංසදයට එකතු වන්නේ ය වැනි අදහසක්‌ අමරතුංග මහතා පවසයි. එහෙත් ඔහු කියන්නේ එය ම දැයි පැහැදිලි නැත්තේ ඔහුට නිරවුල් ව වාක්‍යයක්‌ ලියා ගත නොහැකි බැවිනි. එහෙත් ඔහු ඒ සමග ලියා ඇති දේ සලකන්න. "මින් මිනිසාට යහපතක්‌ සිදු වන ජාන ඇත්තේ ස්‌වල්පයකි. අයහපත් ජාන ඉවත් වන්නේ ය. යහපතක්‌ හෝ අයහපතක්‌ හෝ සිදු නො කරන ජාන රාශියක්‌ ජාන සංසදයට එකතු වේ. සමහර රෝග ගෙන දෙන ජාන ද නැති නො වී පවතී. මේ ජාන ප්‍රයෝජනයක්‌ නැතැයි නිගමනය කරන්නේ අප ය. ඒ අපට පෙනෙන විධිය ය."

අමරතුංග මහතා පළමුව මේ සියල්ල බටහිර විද්‍යාවේ දාර්ශනික පදනමට දායක වන්නේ කෙසේ දැයි විස්‌තර කළේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් ඔහු කියන්නේ විකෘතියෙන් ඇති වන අයහපත් ජාන ඉවත් වන බව ය. එහෙත් ඒ සමග ම ඔහු කියන්නේ රෝග ගෙන දෙන ජාන ද සංසදයට එකතු වන බව ය. ඉන්පසු කියන්නේ මේ ජාන ප්‍රයෝජයක්‌ නැතැයි කියන්නේ නැති බව ය. එසේ නම් ඇතැම් ජාන අයහපත් යෑයි කියන්නේ ද අප විය යුතු ය. වෙනත් වචනවලින් කියන්නේ නම් වාස්‌තවික අයහපත් ජාන යනුවෙන් ජාන නැත. මේ අදහසට නම් මම එකඟ වෙමි. විශේෂයෙන් ම ඔහු ජාන ප්‍රයෝජනයක්‌ නැතැයි කියන්නේ අප බවත් ඒ අපට පෙනෙන ආකාරය බවත් කියන විට මම ඔහු සමඟ එකඟ වෙමි.

මේ සාපේක්‌ෂතා දර්ශනය මිස අනෙකක්‌ නො වේ. අවුරුදු තිහක පමණ කාලයක්‌ මා උත්සාහ දරන්නේ මේ සාපේක්‌ෂතා දර්ශනය අනෙක්‌ අයට එත්තු ගැන්වීමට ය. අමරතුංග මහතා ඒ දර්ශනය සමග එකඟ වන විට මට ඇත්තේ සතුටකි. එහෙත් ඔහු ඉන්පසුව තමන්ට සුපුරුදු ආකාරයට අවුල් සහගත අදහස්‌ පවසයි. එය තරමක්‌ දීර්ඝ ව සාකච්ඡා කළ යුතු ය. අපි එය පසුවට කල් දමමු.

නලින් ද සිල්වා