![]() |
|||||
විද්‍යාවේ දාර්ශනික පදනම - 11
පොදු මතවාදය නිර්මාණය කිරීමේ දී ඒ තුළට ගත යුතු මතවාදවලට අමතරව මූලික න්‍යාය වශයෙන් පැවතිය හැකි තවත් මතවාද හඳුනාගෙන ඇත. මීට පෙර ලිපිවල සඳහන් වූ අන්දමට ඒවා අතරින් වැදගත් සංකල්පයක් වන ස්‌වාභාවික වරණය දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එවැනි තවත් සංකල්පයක් වන්නේ තාපගතික විද්‍යාෙවි දෙවැනි න්‍යාය ය. එහෙත් අප ගේ මූලික ප්‍රශ්නය වන ජීවිතයේ අරුත කුමක් ද යන්නට වඩා අදාළ විය හැක්‌කේ ස්‌වාභාවික වරණය විය හැකි යෑයි අපි අනුමාන කළෙමු. එනමුත් මේ සියල්ලේ පදනම නැතිනම් මූලික යාන්ත්‍රණය කුඩා අංශුවල ක්‍රියාකාරීත්වය බව අප වටහාගත යුතු ය. කුඩා අංශුවල ක්‍රියාකාරීත්වය ක්‌වොන්ටම් යාන්ත්‍රණය මගින් පහදා දී ඇත. එහි එන අන්තර්ක්‍රියා (interactions) ක්‌වොන්ටම් ක්‌ෂේත්‍ර නිර්මාණය කොට ඒ තුළට ගෙන ඇති ආකාරය ද පසුගිය ලිපියේ සාකච්ඡා කළෙමු. මේ ක්‌වොන්ටම් ක්‌ෂෙත්‍ර එකතු කොට පොදු මතවාදයක් සාදාගන්නට නොහැකි වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය ඒ තුළට තවමත් ගත නොහැකි වී ඇති නිසා ය. එනමුත් තවත් මූලික න්‍යාය (fundamental laws) ඉන් පිටත තිබෙන බව ද ඒවා දැනට සලකා බැලෙන තන්තුවාදය තුළට ද ගත නොහැකි බව ද පැවසේ. පළමුව ස්‌වාභාවික වරණය සහ ජාන විකෘති වීම සැලකිල්ලට භාජන කරමින් අප ගේ මතයක් වන (මෙය බටහිර අදහසක් නො වේ) ජීවිතයේ අරුත වන්නේ ජාන වර්ධනය සඳහා වාහකයක් සැපයීම බව තව ටිකක් දුරට සාකච්ඡා කරමු. මා පවසා ඇත්තේ මිනිසා ජීවත් වන්නේ මිනිසා පිණිස නො ව විශ්වය පිණිස බව ය. මිනිසා ගෙන් විශ්වයට සිදු කෙරෙන සේවය ජාන වර්ධනයට වාහකයක් සැපයීම ය. ස්‌වාභාවික වරණය සහ ජාන විකෘති වීම යන සංකල්ප තුළින් මේ අදහස අධ්‍යයනය කිරීමට උත්සාහයක් ගත හැකි ය. ස්‌වාභාවික ජාන විකෘති වීම මගින් විශාල සංඛ්‍යාවක් ජාන සංසදයට (ජාන කිටුවට) එකතු වේ. මින් මිනිසාට යහපතක් සිදු වන ජාන ඇත්තේ ස්‌වල්පයකි. අයහපත් ජාන ඉවත් වන්නේ ය. යහපතක් හෝ අයහපතක් හෝ සිදු නො කරන ජාන රාශියක් ජාන සංසදයට එකතු වේ. සමහර රෝග ගෙන දෙන ජාන ද නැති නො වී පවතී. මේ ජාන ප්‍රයෝජනයක් නැතැයි නිගමනය කරන්නේ අප ය. ඒ අපට පෙනෙන විධිය ය. එහෙත් විශ්වයට මේ ජානවලින් යම්කිසි ප්‍රයෝජනයක් නැතැයි අපට කිව නොහැකි ය. එසේ කියන්නට තරම් දැනුමක් අපට නැත. ස්‌වභාවධර්මය නිකරුණේ කිසිවක් කරන්නේ වත් නාස්‌ති කරන්නේ වත් නැති බව අප විශ්වාස කළ යුතු ය. ප්‍රයෝජනයක් නැතැයි පැවසූ බොහෝ දේවල් අද වන විට ප්‍රයෝජනයක් ඇති දේවල් බව සොයාගෙන ඇත. ජීවීන් ගේ සෛල තුළ ඇති සමහර කොටස් (organelle) ප්‍රයෝජනයක් නැති ඒවා ලෙස සැලකු කාලයක් තිබිණ. ඒවායේ ප්‍රයෝජන සොයාගත්තාට පසුව එම අදහස් වෙනස් කරන්නට සිදු විය. ජීවී පරිනාමය මිනිසා සඳහා සිදු වූ දෙයක් විය නොහැක්‌කේ මිනිසා දුකින් කාලය ගත කොට මරණයට පත් වන නිසා බව මා පවසා ඇත. එහෙත් මිනිසා මැරුණත් ඔහු තුළ වර්ධනය වූ ජාන විනාශ නො වී ඊළඟ පරම්පරාව තුළ පවතී. එසේ පැවතීම සඳහා ස්‌වභාවධර්මය විසින් ඉතා ම සාර්ථක ක්‍රමවේදයක් නිර්මාණය කෙරී ඇත. ජාන වර්ධනය සහ එහි ප්‍රවර්ධනය සාක්‌ෂාත් කරගැනීම පිණිස ස්‌වභාවධර්මය විසින් ජීවීන් නිර්මාණය කෙරී ඇත. ලිංගික ප්‍රජනනය, ලිංගික සම්බන්ධයට ඇති අධික තෘෂ්ණාව, කුඩා පැටවුන් හදා වඩාගැනීමට ඇති ආදරය සහ වුවමනාව වැනි සත්ත්වයන් ගේ ගුණාංග මේ සඳහා යොදාගෙන ඇති බව පෙර ලිපිවල සඳහන් කළෙමි. මේ ක්‍රියාදාමය ජාන වර්ධනයට නො වේ නම් කුමක් පිණිස ද? ජීවිතයේ අරුත ජාන වර්ධනයට වාහකයක් සැපයීම හැර වෙන කුමක් විය හැකි ද? අප නො දන්නේ ස්‌වභාවධර්මයට හෝ විශ්වයට ජාන වර්ධනයෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද යන්න ය. බුදුන් ගේ ධර්මය විසින් ජීවිතය පිළිබඳව ඉදිරිපත් කොට ඇති දර්ශනය ඉහත සඳහන් මතයට පටහැනි නො වන්නේ ය. බුදුන් ගේ දර්ශනයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිත්වයෙන් පහදා දෙන්නේ මිනිස් ජිවිතය මිනිසා සඳහා නො වන බව ය. එහි නිත්‍ය කිසිවක් නැත. සැප යෑයි සලකන සැම දෙයක් ම අවසානයේ දුකක් වන්නේ ය. තව ද "මම" කියා කෙනකු නැත. මිනිසා ගේ ජීවිතය මිනිසා සඳහා නො වේ යෑයි මා ඉදිරිපත් කොට ඇති ඉහත සඳහන් අදහසට බුදුන් ගේ ධර්මය විරුද්ධ වන්නේ ද? කොහෙත් ම නැත. තවත් කිව යුතු දෙයක් ඇත. නිවන තුළ අමරණීයත්වයක් ඇති බව ද ජීවිතයේ අරුත එය බව ද පවසන්නේ බුදු දහම තුළට ලෝකෝත්තර ධර්මය ඇතුළු කරන්නට තැත් කළ මහායානවාදීන් ය. තෘෂ්ණාව මිනිසා තුළ ස්‌වභාවධර්මය විසින් නිපදවනු ලැබ ඇති ගුණාංගයකි. එය කෙසේ වත් තෘප්තියකට පමුණුවන්නට නොහැකි ආශාවකි. මෙවැනි ගූණංගයක් ස්‌වභාවධර්මයට අවශ්‍ය වන්නේ ජාන වර්ධනයට තෘෂ්ණාව අවශ්‍ය නිසා ය. තෘෂ්ණාව අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක නිෂ්පාදන තව තවත් බිහි කිරීමට ය. මිනිසා ගේ අවශ්‍යතාවන් වැඩි වන්නේ තෘෂ්ණාව නිසා ය. එහි ප්‍රතිඑලයක් ලෙස නව නිර්මාණ බිහි වීම සිදු වේ. මේ සඳහා ඥානයේ වර්ධනයක් ද සිදු විය යුතු ය. මේ ඥාන වර්ධනය ජාන විකෘති වීම මගින් ලේඛනගත කෙරෙන බව විශ්වාස කළ හැකි ය. පෙර ලිපියක සඳහන් කළ පරිදි මිනිසා තවමත් පරිණාමය වෙමින් පවතින බව ද එසේ පරිණාමය වන එක් අංශයක් වන්නේ මොළයේ ඥානයට සම්බන්ධ කොටස් බව ද පර්යේෂණ මාර්ගයෙන් සොයාගෙන ඇත. තෘෂ්ණාව නරක ගුණාංගයක් ලෙස සලකනු ලබන්නේ අප විසිනි. විශ්වය හෝ ස්‌වභාවධර්මය හෝ එසේ කරන්නේ නැත. තෘෂ්ණාව ස්‌වභාවධර්මයට අවශ්‍ය වනවා විය හැකි ය. ස්‌වභාවධර්මය මිනිසා නිර්මාණය කර ඇත්තේ ප්‍රධාන ගුණාංග වන දුක, තෘෂ්ණාව සහ ඥානය ඇතුළත් කරමිනි. තවත් ගුණාංග නැත්තේ නො වේ. මේ ගුණාංග සටහන් වී ඇත්තේ ජානවල ය. ඒවා වෙනස් වන්නේ පරිසරයට අනුව ඉන් ලැබෙන උත්තේජ නිසා ය. පරිසරය නිර්මාණය වන්නේ විශ්වයට නැත හොත් ස්‌වභාවධර්මයට වුවමනා අන්දමට ය. එම නිසා මිනිස් ගුණාංග නිර්මාණය වන්නේ ස්‌වභාවධර්මයට අවශ්‍ය පරිදි ය. මේ ගුණාංග සමනය කරගැනීමේ මාර්ගයක් බුදුන් පෙන්වා දී ඇත. ඒ මාර්ගයේ ගමන් කොට මේ ගුණාංග සියල්ලක් නිෂේධ හෝ සමනය හෝ කොටගත හැකි ය. එහෙත් එසේ කරගන්නට කැමැත්තක් දක්‌වන්නේ කීයෙන් කී දෙනා ද? බොහෝ අය මෝහයෙන් මුළා වී ලෝබයේ ගැලී ක්‍රෝධයෙන් ජීවිත ගත කරති. ඔවුහු ස්‌වභාවධර්මයේ අවශ්‍යතාව සපුරාලමින් සිටිති. කරුණු මෙසේ හෙයින් ජීවිතයේ අරුත ජාන වර්ධනයට වාහකයක් සැපයීම හෝ වෙනයම් දෙයක් හෝ වුවත් එය කුමක් දැයි සොයාගැනීම සඳහා ජිවීන් ගේ ආරම්භය කොතැනක කෙසේ වූයේ දැයි සොයාගත යුතු ය. ඒ සඳහා පොදු මතවාදයක් නිර්මාණය කරගැනීම උපකාරී වන්නට පුළුවන. එක ම ක්‍රියාදාමයක් නිසා මේ සියලු දේ සිදු වන බව පෙන්වා දිය හැකි නම් ද්‍රව්‍ය (matter) මුලට ම සෑදුණේ කෙසේ ද යන ප්‍රශ්නයට උත්තරයක් වෙත ළං විය හැකි ය. මේ සැම දෙයක් ම සිදු වන්නේ අංශුවල චලනය නිසා බව හෝ ශක්‌තිය සහ ද්‍රව්‍ය යනු එක ම දෙයක අවස්‌ථා දෙකක් බව හෝ ඔප්පු කළ හොත් මේ ප්‍රශ්න නිරාකරණය කරගත හැකි යෑයි බලාපොරොත්තු තබාගත හැකි ය. ජීවීන් ගේ ආරම්භය සොයාගැනීමේ කර්තව්‍යය සඳහා ජීව පරිණාමය, ස්‌වාභාවික වරණය සහ ජාන විකෘති වීම ඉතා ම වැදගත් සංකල්ප වන්නේ ය. මේ ක්‍රියාදාමයන් තුළ සිදු වන මයික්‍රො (ක්‌ෂුද්‍ර) භෞතික වෙනස්‌වීම් පිළිබඳව පෙර ලිපිවල සාකච්ඡා කළෙමු. කෘත්‍රිම ලෙස ජාන විකෘති වීම කෙසේ වුවත් ස්‌වාභාවික ජාන විකෘති වීම කෙසේ සිදු වනවා දැයි සොයාගෙන නැත. පරිසරයෙන් ලැබෙන පණිවිඩවලට අනුව ජාන විකෘති සිදු වන බව ඔප්පු කළ හැකි ය. එහෙත් ඒ සඳහා සහභාගි වන ක්‌ෂුද්‍ර භෞතික ක්‍රියාදාමයන් මොනවා දැයි සොයාගෙන නැත. ස්‌වභාවධර්මය නැත හොත් විශ්වය සහ ජාන අතර ඇති සම්බන්ධය පහත සඳහන් ලෙස පෙන්වා දිය හැකි ය. ![]()
ජාන සංසදය (ජාන කිටුව) ස්‌වභාවධර්මයට හෝ විශ්වයට අවශ්‍ය විය හැක්‌කේ කුමක් පිණිස
විය හැකි ද? විශ්වය සෑදී ඇත්තේ විශාල වශයෙන් හයිඩ්‍රජන්වලිනි. කාබන් නයිට්‍රජන් සහ
ඔක්‌සිජන් ඇත්තේ ඉතා ම ස්‌වල්ප වශයෙනි. අප දන්නා මූලද්‍රව්‍ය සියල්ල සෑදී ඇත්තේ ඉතා
ම උෂ්ණත්වය අධික තාරකා තුළ ය. එම තාරකා පිපිරී දුහුවිලි වලාකුළු බවට පත් වී පසුව
සිසිල් වූ විට එකතු වී තාරකා සහ ග්‍රහයන් ගෙන් සමන්විත වූ මණ්‌ඩලයක් සෑදේ.
මූලද්‍රව්‍ය මෙලෙස නිර්මාණය වීම පිණිස හයිඩ්‍ර්‍රජන් පරමාණු එකතු විය යුතු ය. එසේ
එකතු වීමේ දී හයිඩ්‍රජන් පරමාණුවකින් ශක්‌තිය ලෙස කැඩී යා යුතු ස්‌කන්ධය මුළු
පරමාණුවෙන් 0.007ක් වන්නේ ය. මෙය ප්‍රබල බලය (strong
force) නමින් පෙර ලිපිවල
සඳහන් කළෙමි. අප ගේ විශ්වයේ මේ අංකය 0.007ක් වීම නිසා හයිඩ්‍රජන් එකතු වී
ද්‍රව්‍යයන් නිෂ්පාදනය වීම සිදු විය හැකි ය. එම අංකය ඊට අඩු හෝ වැඩි හෝ වූයේ නම් අප
ගේ විශ්වයේ රසායනික ව්‍යqහය මීට හාත්පසින් වෙනස් වන්නේ ය. මේ ලෙස සෑදී ඇති රසායනික
මූලද්‍රව්‍ය 90ක් වැනි සංඛ්‍යාවක් පෘථිවියේ ඇත. මේ රසායනික පද්ධතිය ජීවීන්ට
අත්‍යවශ්‍ය වන්නේ ය. ජලය සෑදෙන්නේ ඒ තුළ ය. ජලය නොමැති ව ජීවීන් ගේ හටගැනීමක්
පැවැත්මක් නොමැත. |
|
||||
|