logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 9

පොදු මතවාදයක්‌ (Theory of Everything) නිර්මාණය කිරීමේ දී සාධාරණ සාපේක්‌ෂතාවාදය සහ ක්‌වොන්ටම් මතවාදය එකතු කිරීමේ අසීරුතාව හැරෙන්නට අලුතින් මතු වී ඇති මතවාද එය තුළට ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද මීට පෙර ලිපිවල සාකච්ඡා කර ඇත. අලුතින් මතු වී ඇති එක්‌ මතවාදයක්‌ වන්නේ ජීව පරිණාමයේ එන ස්‌වාභාවික වරණයයි (Natural Selection). ඒ ගැන විස්‌තර කිරීමේ දී ජාන නැත හොත් DNA, RNA සහ ප්‍රොaටීන් පිළිබඳ කෙටි සටහනක්‌ ඉදිරිපත් කෙරුවෙමි. DNA විසින් RNA ද RNA විසින් ප්‍රොaටීන් ද නිෂ්පාදනය කෙරෙයි. ප්‍රොaටීන් සම්මිඤ්ජනය (protein folding) සිදු වන්නේ කෙසේ ද යන්න සොයා බලා ඇත. ඒ ගැන අවසාන තීරණයකට ඒමට ජීව විද්‍යාඥයන්ට පුළුවන් වී නැත. DNA වෙනස්‌ වී නැත හොත් විකෘති වී ස්‌වාභාවික වරණය සිදු වන බව ඔප්පු කළ හැකි ය. එහෙත් පොදු මතවාදය යටතට ගැනීමට ඉදිරිපත් කොට ඇති මතවාදවලට අනුව DNA විකෘති වීම සිදු වන බව ඔප්පු කර නැත. පොදු මතවාදය යටතට ගැනීමට ඉදිරිපත් කොට ඇති මතවාද වන්නේ, විද්යුත් චුම්බක බලය, ප්‍රබල න්‍යෂ්ටික බලය, දුබල න්‍යෂ්ටික බලය සහ ගුරුත්වාකර්ෂණ බලය වන්නේ ය. DNA වෙනස්‌ වන්නේ මේ කිනම් බලයක්‌ කරණ කොටගෙන ද? DNA වෙනස්‌ වීම නිසා සත්ත්වයා ගේ ඇති වන වෙනස සිදු වන්නට බොහෝ කාලයක්‌ ගත වේ. ජීව පරිණාමයේ යාන්ත්‍රණය වන ස්‌වාභාවික වරණය පොදු මතවාදය තුළට ගත යුතු ද නැද්ද යන්න සලකා බැලීමේ දී DNA, RNA සහ ප්‍රොaටීන්වල සිදු වන අණුක පරිණාමය (molecular evolution) ගැන පළමුවෙන් සොයා බැලිය යුතු ය. පොදු මතවාදය තුළට ගත යුතු ද නැද්ද යන ප්‍රශ්නය අදාළ වන්නේ ස්‌වාභාවික වරණය සඳහා පමණක්‌ නො වේ. එවැනි සxකීර්ණ ක්‍රියාදාමයන් මෙන්ම වෙනත් මූලික න්‍යායයන් ද ඒ ගණයට වැෙටි. එවැනි තවත් න්‍යායක්‌ වන්නේ තාප ගතික විද්‍යාවේ දෙවැනි න්‍යාය ය. මේ ගැන පසුව සාකච්ඡා කරමු.

පළමුව DNA, RNA සහ ප්‍රොaටීන්වලට අදාළ අණුක පරිණාමය පිළිබඳව සලකා බලමු. අණුක පරිණාමය යනුවෙන් හැඳින්වෙන්නේ ඒවායේ අනුක්‍රමික ව්‍යqහයේ (sequential structure) බොහෝ කාලයක්‌ තුළ සිදු විය හැකි වෙනස්‌ වීම් ය. අණුක පරිණාම ක්‌ෂේත්‍රයේ සාකච්ඡා විය යුතු විෂයන්වලින් අපට වැදගත් වන්නේ නියුක්‌ලියොටයිඩයක සිදු වන වෙනසක වේගය සහ ඉන් ඇති වන බලපෑම ය. මෙතැන දී වැදගත් වන්නේ ජාන විකෘතිය (gene mutation) නමින් හැඳින්විය හැකි වෙනස්‌වීම ය. බොහෝ ජාන විකෘතිය නියුක්‌ලියොටයිඩයක සිදු වන වෙනසකි. වෙනත් වෙනස්‌වීම් අපට වැදගත් නැත. මෙසේ සිදු වන ජාන විකෘතිවලින් සමහරක්‌ ජීවියාට බලපෑමක්‌ නො කරයි. සමහරක්‌ ජීවියාට හිතකර වන්නේ ය. තවත් සමහරක්‌ ජීවියාට අහිතකර වන්නේ ය. අහිතකර ජාන විකෘතිවීම්වලට මුහුණ දුන් ජාන ස්‌වාභාවික වරණය විසින් ඉවත් කරනු ලබන්නේ ය. මෙතැන දී සිදු වන්නේ ජීවියා ගේ නැති වීමට වඩා අහිතකර ජාන නැති වීම සහ හිතකර ජාන ඊළඟ පරම්පරාවන් මගින් ප්‍රවර්තනය වීම ය. මේ ලෙස හිතකර පමණක්‌ නො ව නිෂ්ක්‍රිය යෑයි අප සිතන ජාන විශාල සxඛ්‍යාවක්‌ එකතු වේ. ජාන කිටුව (gene pool) නමින් හැඳින්වෙන්නේ මෙය ය. ස්‌වාභාවික වරණය සිදු වන්නේ මේ ජාන සxසදය තුළ ය. මිනිස්‌ වර්ගයා අවුරුදු සියයකට කිට්‌ටු වන්නට ජීවත් වන නිසා ඔවුන් ගේ ජාන වෙනස්‌ වන ආකාරය මිනිසාට ම සොයාගැනීම දුෂ්කර ක්‍රියාවකි. එහෙත් කෙටි කාලයක්‌ ජීවත් වන ජීවීන් එමට ඇත. බැක්‌ටීරියා ඉන් එක්‌ වර්ගයකි. E-coli නමැති බැක්‌ටීරියා භාවිත කොට මිචිගන් විශ්වවිද්‍යාලයයේ රිචඩ් ලෙන්ස්‌කි නමැති විද්‍යාඥයා ස්‌වාභාවික වරණය සිදු වන අන්දම සොයා බලා ඇත. මේ පර්යේෂණය සඳහා අවුරුදු දහයක්‌ පමණ ගත විය. එහෙත් ප්‍රතිඵල ඉතා ම සතුටුදායක විය. ස්‌වාභාවික වරණය ඔප්පු කිරීම සඳහා මේ ප්‍රතිඵල මගින් වටිනා දත්ත රැසක්‌ ලබා දෙන ලදී.

ජාන හෝ DNAවල ස්‌වාභාවික ලෙස වෙනස්‌ විම් සිදු වන වේගය එක්‌ පරම්පරාවකට 10.9 - සිට 10.8- දක්‌වා බව ගණන් බලා තිබේ. මේ වේගය බොහෝ ජීවීන්ට අදාළ ය. මේ නියුක්‌ලියොටයිඩයක සිදු වන විකෘතියක්‌ වන්නේ ය. ජීවිත කාලය පැය හෝ දින කිහිපයකට සීමා වන ජීවීන් ගේ ජානවල සිදු වන විකෘති අධ්‍යයනය කිරීම එතරම් අසීරු නැත. එවැනි ජීවියකු ගේ පරම්පරා දස දහස්‌ ගණනක දී සිදු වන වෙනස අප ගේ කාල නිර්ණයට අනුව අවුරුදු දහයක්‌ වැනි කාලයක දී දැක බලාගත හැකි ය. නියුක්‌ලියොටයිඩ වර්ග හතරක්‌ ජාන තැනීමට භාවිත වී ඇත. ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා අදාළ උපදේශ ලියවී ඇත්තේ නියුක්‌ලියොටයිඩ අමුණා ඇති අනුක්‍රමික පිළිවෙළට අනුව ය. එම අනුක්‍රමික පිළිවෙළ වෙනස්‌ වුවොත් වෙනත් ප්‍රොaටීනයක්‌ නිෂ්පාදනය වී ජීවියා ගේ ශරීරයේ වෙනසක්‌ සිදු වන්නට ඉඩ ඇත. මෙසේ සිදු වන වෙනස්‌වීමි තුනක්‌ ජාන විකෘති වීමේ දී දැකගත හැකි ය. නියුක්‌ලියොටයිඩ එකක්‌ අඩු වීම හෝ එකක්‌ වැඩි වීම හෝ ස්‌ථාන මාරු වීම එසේ සිදු වන වෙනස්‌ වීම් ය.

මෙවැනි වෙනසක්‌ කෘත්‍රිම ලෙස කරන්නට හැකි වන්නේ රසායනික ද්‍රව්‍යයකට හෝ ශක්‌තියකට හෝ පමණි. එවැනි රසායනික ද්‍රව්‍ය බොහොමයක්‌ ඇත. ඉන් කිහිපයක්‌ නම් ඇල්ෆාටොක්‌සින් (Alfaxtoxin), බෙන්සොපයරීන්, LSD, වැනි ද්‍රව්‍ය වන්නේ ය. ජාන විකෘති සිදු කිරීමට හැකි ශක්‌තිය සඳහා උදාහරණයක්‌ වන්නේ x-ray වැනි කිරණ ය. x-ray වැනි කිරණ සෛලයක්‌ තුළ තිබෙන ජානවල නියුක්‌ලියොටයිඩ හරහා ගමන් කළොත් එය ගැලවී යන්නට ඉඩ ඇත. නියුක්‌ලියොටයිඩ එසේ ගැලවී යන විට සිදු වන ක්‌ෂුද්‍ර භෞතික ක්‍රියාදාමය කුමක්‌ විය හැකි ද? නියුක්‌ලියොටයිඩ එකිනෙකට අමුණා ඇති බන්ධන මිථස්‌ථායි (metastable) අවස්‌ථාවේ පවතින බව පෙර ලිපියක සඳහන් කළෙමි. x-කිරණ සෛලය තුළින් මේ අවස්‌ථාවේ පවතින බන්ධන හරහා යන විට එය ගැලවෙන්නේ මිථස්‌ථායි තත්ත්වය වෙනස්‌ කරමිනි. මෙය සිදු වන්නේ විද්යුත් චුම්බකත්වයේ නීතිවලට අනුව ද? නැතිනම් x-කිරණවල ඇති අxශු නියුක්‌ලියොටයිඩ බන්ධනවල ඇති අxශු මත ගැටීම නිසා ද? එය චාලක ශක්‌තිය ද? නැතිනම් විද්යුත් බලයක්‌ ද? රසායනික ද්‍රව්‍ය විසින් මේ බන්ධන විසන්ධි කෙරෙන විට සිදු වන්නේ කුමක්‌ ද? මිථස්‌ථායි තත්ත්වය වෙනස්‌ කිරීමක්‌ ද? මේ කුමක්‌ සිදු වුවත් ඒ සඳහා භාවිත වන ක්‍රියාදාමය ක්‌ෂුද්‍ර භෞතික මට්‌ටමේ දී සමාන බවක්‌ පෙන්නුම් කරනවා ද?

අණුවක ඉලෙක්‌ට්‍රොaන න්‍යෂ්ටිය සමග එකතු වී ඉන්නේ විද්යුත් බලය නිසා ය. න්‍යෂ්ටිය තුළ ඇති ප්‍රොaටෝන සහ න්‍යqට්‍රොaන එකතු වී ඉන්නේ ප්‍රබල න්‍යෂ්ටික බලය හේතු කොටගෙන ය. ප්‍රබල න්‍යෂ්ටික බලය විසින් ප්‍රොaටෝන සහ නිHqට්‍රොaන එකිනෙක වෙත ද ප්‍රබල ආකර්ෂණයක්‌ ඇති කරයි. x-කිරණවලින් මේ බන්ධනයන්ට හානියක්‌ සිදු වන්නේ නැත. එම නිසා නියුක්‌ලියොටයිඩ ගැලවී යන්නේ ප්‍රබල න්‍යෂ්ටික බලය බිඳීම නිසා නො වේ. එසේ ම දුබල න්‍යෂ්ටික බලය නිසා සිදු වන්නේ විකිරණශීලී ක්‌ෂය වීම සහ න්‍යෂ්ටික පිපිරීම ය. (radioactive decay and nuclear fission). ඒවා ජාන විකෘති වීමට අදාළ නො වන්නට ඉඩ ඇත.

රසායනික බන්ධන ඇති වන්නේ පරමාණු අතර ආකර්ෂණයක්‌ ඇති වූ විට බව අපි දනිමු. මෙය ඇති වන්නේ විද්යුත් ස්‌ථිති බලය නිසා ය. මේ බලය ඉලෙක්‌ට්‍රොaන සහ න්‍යෂ්ටිය අතර හෝ ද්විධ්‍රැවීය (dipole) හෝ විය හැකි ය. මේ බන්ධනවල සවිය විශාල ලෙස වෙනස්‌ විය හැකි ය. සහසංයුජතාව හෝ අයනික බන්ධන (covalent or ionic bonds) ප්‍රබල බන්ධන වන්නේ ය. දුබල බන්ධන ද්විධ්‍රැවක අතර ඇති වන බන්ධන සහ හයිඩ්‍රජන් බන්ධන විය හැකි ය. ප්‍රබල බන්ධන ඇති වන්නේ ඉලෙක්‌ට්‍රොaනයක්‌ න්‍යෂ්ටි දෙකකට මැදින් තීබීම හේතු කොටගෙන ය.

DNAවල නියුක්‌ලියොටයිඩ අතර තිබෙන බන්ධන ෆොස්‌ෆොඩයිඑස්‌ටර් (phosphodiester bond) නමින් හැඳින්වේ. ෆොස්‌ෆොරික්‌ අම්ලයේ හයිෙඩ්‍රාක්‌සයිල් කාණ්‌ඩ වෙනත් අණුවල ඇති හයිෙඩ්‍රාක්‌සයිල් කාණ්‌ඩ සමග ප්‍රතික්‍රියා කොට එස්‌ටර් බන්ධන දෙකක්‌ සෑදීමෙන් ෆොස්‌ෆොඩයිඑස්‌ටර් බන්ධන සෑදේ. මේවා ප්‍රබල සහසංයුජතා බන්ධන වන්නේ ය.

ජීව පරිණාමයේ දී ජාන විකෘති වීම් බොහොමයක්‌ සිදු වන්නේ ස්‌වාභාවික අන්දමට ය. උදාහරණයක්‌ ලෙස සෛල බෙදීමේ දී ඇති වන DNA පිටපත් කිරීම වැරැදි ලෙස සිදු විය හැකි ය. අප මෙය වරදක්‌ ලෙස සැලකිය යුතු නැත. එය අත්හදාබැලීමක්‌ විය හැකි ය. අත්හදාබැලීමේ දී ජීවියාට අයහපත් ජාන නිර්මාණය වූවා නම් ස්‌වාභාවික වරණයේ දී එම ජාන ඉවත් වීමට ඉඩ ඇත. ස්‌වාභාවික ජාන විකෘති වීම කුමක්‌ හේතු කොටගෙන කෙසේ සිදු වනවා දැයි තවමත් සොයාගෙන නැත. පෙර කල විසූ වේගයෙන් දුවන්නට බැරි කොටියකුට ගොදුර ඩැහැගන්නට බැරි වූ විට බඩගින්න දැනී ඒ මාර්ගයෙන් ජාන විකෘතියක්‌ ඇති කොට මාxශ පේශිවල ජවය වැඩි වී කොටියාට වේගයෙන් දුවන්නට හැකි වූ විට ඒ කොටියා ගේ ප්‍රවර්ථනය ස්‌වාභාවික වරණය විසින් සහතික කෙරෙන බව පෙර ලිපියක සඳහන් කළෙමි. බඩගින්න වැනි උත්තේජයකින් ජාන විකෘතියක්‌ ඇති කරන්නේ කෙසේ ද? මෙතැන දී සිදු වන රසායනික හෝ ක්‌ෂුද්‍ර භෞතික ක්‍රියාදාමය කුමක්‌ දැයි සොයාගෙන නැත. එහෙත් එය එසේ සිදු වන බවට සාක්‌ෂි එමට ඇත.

මේ ලිපියේ සඳහන් වන රිචඩ් ලෙන්ස්‌කි E-coli නමැති බැක්‌ටිරියා භාවිත කොට සිදු කළ පර්යේෂණවලින් ස්‌වාභාවික වරණය තහවුරු වී ඇත. E-coli බැක්‌ටිරියා කාණ්‌ඩ 12ක්‌ ග්ලූකෝස්‌ ද්‍රdවණයක්‌ සහිත භාජන 12ක වැඩෙන්නට ඉඩ දෙන ලදී. දිනපතා එක භාජනයකින් අලුත් භාජනයකට එක්‌තරා බැක්‌ටිරියා ප්‍රමාණයක්‌ ඇතළු කරන ලදී. සැම භාජනයක ම පැවැති බැක්‌ටිරියා ප්‍රමාණය ද දිනපතා ගණනය කරන ලදී. භාජනයේ ග්ලූකෝස්‌ ප්‍රමාණය අඩු වන විට බැක්‌ටිරියා වර්ධනය අඩු වී එක්‌ මට්‌ටමකට පැමිණියේ ය. කල් යත් ම අඩු ග්ලූකෝස්‌ ප්‍රමාණයට සුදුසු ලෙස බැක්‌ටිරියා වෙනස්‌ වන්නට විය. එම වෙනස සිදු වූයේ ජාන විකෘති වීම මගිනි. භාජන 12ක වර්ධනය වූ බැක්‌ටිරියා කාණ්‌ඩ 12 එක ම ජාන විකෘතියක්‌ පෙන්නුම් කළේ නැත. එහෙත් කිහිපයක්‌ එසේ පෙන්නුම් කළේ ය. ස්‌වාභාවික වරණය නො වන්නට මේ දේවල් මෙසේ සිදු වන්නේ නැත. අඩු ග්ලූකෝස්‌ පරිසරයට සුදුසු ලෙස වෙනස්‌ වූ බැක්‌ටිරියා විනාශ නො වී ප්‍රවර්ථනය විය. එසේ නො වූ බැක්‌ටිරියා ස්‌වාභාවික වරණය විසින් ඉවත් කරන ලදී.

අප ගේ මුල් තේමාවෙන් ඉවත් ව යම් දුරක්‌ යන්නට සිදු වූයේ ජාන විකෘති වීම යන ක්‍රියාදාමය පහදාගැනීම පිණිස ය. ජීව පරිණාමයට මූලික වන්නේ ජාන විකෘති වීම බව වටහාගත යුතු ය. ජාන සෑදී ඇත්තේ නියුක්‌ලියොටයිඩ හතරක එකතු වීමෙනි. එම නියුක්‌ලියොටයිඩ හතර දිග නූලක්‌ ලෙස ඇමිණී ඇත. නියුක්‌ලියොටයිඩ එකකට එකක්‌ සම්බන්ධ වී ඇත්තේ ෆොස්‌ෆොඩයිඑස්‌ටර් නමැති බන්ධනයෙනි. මේ බන්ධනය කැඩීමට හැකි එන්සයිමයක්‌ ජීවීන් ගේ ශරීරයේ ඇත. එහි නම ෆොaස්‌ෆොඩයිඑස්‌ටරේස්‌ වන්නේ ය. එහෙත් මේ එන්සයිමය ශරීරයේ ස්‌වාභාවික ව භාවිත වන්නේ පළුදු වූ DNA සුව කිරීම සඳහා ය. එම නිසා ස්‌වාභාවික ජාන විකෘති වීම කෙසේ සිදු වනවා දැයි තවමත් සොයාගෙන නැත.

පෙර සඳහන් වූ E-coli බැක්‌ටීරියා භාවිත කොට සිදු කළ පර්යේෂණයේ දී දක්‌නට ලැබුණේ එම පර්යේෂණ සිදු වූ අවුරුදු දහය තුළ එම බැක්‌ටීරියා ජාන විකෘති විශාල සංඛ්‍යාවකට මුහුණ දුන් බව ය. එහෙත් එම ජාන විකෘතිවලින් සුළු ප්‍රමාණයක්‌ පමණි අඩු ග්ලූකෝස්‌ පරිසරයට මුහුණු දීමට සුදුසු බැක්‌ටිරියා නිර්මාණය කළේ. මින් පෙනී යන්නේ එම ජාන විකෘති වීම සසම්භාවී (random) ලෙස සිදු වූ බව ය. එසේ ම ග්ලූකෝස්‌ අඩු පරිසරය ජාන විකෘති සිදුවීම පිණිස උත්තේජයක්‌ වූවාට එය විශේෂී උත්තේජයක්‌ (specific stimulus) වූයේ නැත. එම උත්තේජයට ප්‍රතිචාරය වශයෙන් ජාන විකෘති විශාල සංඛ්‍යාවක්‌ සිදු විණි. ඉන් කිහිපයක්‌ පමණි ග්ලූකෝස්‌ අඩු පරිසරයට සුදුසු බැක්‌ටීරියා නිර්මාණය කරන්නට හැකියාව පෙන්නුම් කළේ. ග්ලූකෝස්‌ අඩු පරිසරය උත්තේජයක්‌ ලෙස ක්‍රියා කොට ජාන විකෘති සිදු වීමේ දී ඇති වන රසායනික හෝ ක්‌ෂුද්‍ර භෞතික ක්‍රියාදාමයන් මොනවා දැයි සොයාගෙන නැත.

සමහර රෝග සෑදෙන්නේ ජාන විකෘති වීම නිසා ය. උදාහරණයක්‌ ලෙස පිළිකා රෝගය ඉදිරිපත් කළ හැකි ය. පිළිකා පිළිබඳව රෝග කාරකය ද විකෘති වීම සිදු වන්නේ කුමන ජානවල ද වැනි දේවල් සොයාගෙන ඇත. උත්තේජය කුමක්‌ ද එහි විශේෂීභාවය ද එය ක්‍රියා කරන්නේ කුමන ජාන මත ද වැනි දේවල් ද සොයාගෙන ඇත. මෙතැන දී ද ජාන විකෘතිවීම් විශාල සxඛ්‍යාවක්‌ සිදු වන්නේ ය. එහෙත් ඒ සියල්ල පිළිකාකාරක නො වන්නේ ය.

ස්‌වාභාවික ජාන විකෘති වීම (natural mutation) ජීව පරිණාමය සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාදාමයකි. එය සසම්භාවී නො වී විශේෂී ලෙස, උත්තේජනයට ගැලපෙන ප්‍රතිචාර එකක්‌ ලෙස සිදු වූයේ නම් ජීව විවිධත්වය වෙනුවට පරිසරයට ගැලපෙන ජීවීන් කිහිප දෙනකු පමණක්‌ මුල දී ම නිර්මාණය වීමට ඉඩ තිබිණි. එසේ නම් මිනිසා බිහි වීමට එපමණ කලක්‌ ගත නො වනු ඇත. මින් පෙනී යන්නේ ජීව විවිධත්වය විශ්වයට අත්‍යවශ්‍ය දෙයක්‌ වන්නට පුළුවන් බව ය. ජීවිතයේ අරුත, මා ගේ අදහස පරිදි, ජාන වර්ධනයට වාහකයක්‌ සැපයීම නම් ජීව විවිධත්වය ඒ සඳහා වැදගත් විය හැකි ය. ජීව විවිධත්වය තූළ සිදු විය හැකි ජාන වර්ධනය අති විශාල ය. එවැනි විවිධත්වයක්‌ නො තිබුණේ නම් එතරම් විශාල ජාන වර්ධනයක්‌ ඇති විය නොහැකි ය.

මේ නයින් බලන කල අප ගේ මූලික තේමාව වන ස්‌වාභාවික වරණය පොදු මතවාදය තුළට ගත හැකි ද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක්‌ නැත්තේ ස්‌වාභාවික ලෙස, නැතිනම් පරිසරයේ උත්තේජයකට ප්‍රතිචාරයක්‌ ලෙස සිදු වන ජාන විකෘති වීම සිදු වන්නේ කුමන ක්‌ෂුද්‍ර භෞතික නීතිවලට අනුව දැයි නො දන්නා නිසා ය. සෛල බෙදීම සිදු වන විට මේ ස්‌වාභාවික ජාන විකෘති වීම සිදු විය හැකි බව සොයාගෙන ඇත. ඒ නමුත් උත්තේජය සහ විකෘති වීම අතර ඇති සම්බන්ධය රසායනික හෝ ක්‌ෂුද්‍ර භෞතික මට්‌ටමින් පහදා දීම සිදු වී නැත.

අප ගේ උදාහරණය වන E-coli බැක්‌ටීරියා ග්ලූකෝස්‌ අඩු වෙමින් පවතින පරිසරයක සිටින විට සෛලවල යම්කිසි වෙනසක්‌ සිදු වන්නට ඉඩ ඇත. එම වෙනස්‌ වීම උත්තේජයක්‌ ලෙස ක්‍රියා කරමින් ජාන විකෘති විශාල සxඛ්‍යාවක්‌ ඇති කරන්නේ ඇයි? එය කා ගේ යහපත සඳහා ද? එම ජාන බැක්‌ටීරියාවල යහපත සඳහා නම් ඒවා විනාශ නො වී ඉතිරි වේ. අයහපත් ජාන ඉවත් වේ. මේ අත්හදාබැලීම එසේ සිදු නො වී අවශ්‍ය ජාන පමණක්‌ සාදාගැනීමට ස්‌වභාවධර්මයට හැකියාවක්‌ නැති ද? මෙයින් සිදු වන්නේ ජාන සංසදය (කිටුව) වැඩි වීම නො වේ ද? මෙය විශ්වයට අවශ්‍ය ක්‍රියාදාමයක්‌ විය හැකි ය. අප ගේ එක්‌ මූලික ප්‍රශ්නයක්‌ වන ජීවිතයේ අරුත කුමක්‌ දැයි යන්නට ලබා දුන් උත්තරය වූයේ ජීවීන් ජාන නිෂ්පාදනය සඳහා භාවිත වන වාහකය යන්න ය. එසේ නම් ජාන විකෘති වීම එම කාර්යය සඳහා නිර්මාණය වූ ක්‍රියාදාමයක්‌ විය යුතු ය. පොදු මතවාදයක්‌ සෑදීමේ අවසාන අරමුණ විය යුත්තේ ජීවිතයේ අරුත ඒ තුළින් පහදාගැනීම ය. එම නිසා ජීවීන් ගේ වැදගත් ක්‍රියාදාමයන් පොදු මතවාදය තුළට ගත යුතු ය. ජීව පරිණාමය ඒ අතරින් ඉතා වැදගත් වන්නේ ය.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc