logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම -9

පසුගිය ලිපියේ සාකච්ඡා කළේ ජීව පරිණාමවාදයේ එන ස්‌වාභාවික වරණය පොදු මතවාදය තුළට ගත යුතු ද සහ එය කෙසේ කළ හැකි ද යන කරුණු පිළිබඳ ව ය. (විදුසර 14.1.2015). එහි අවසානයේ ජාන සහ ප්‍රොaටීනවල ක්‍රියාදාමය ගැන සඳහන් විය. ප්‍රොaටීන සෑදෙන්නේ ඇමයිනෝ අම්ල මාලයක්‌ සේ ඇමිණීමෙනි. ඒවා ඇමිණෙන අනුක්‍රමික පිළිවෙළ අනුව ප්‍රොaටීන මාලය නොයෙක්‌ අතට නැමෙන බව සඳහන් විය. මෙසේ නැමීමෙන් සෑදෙන හැඩය විසින් සකස්‌ කෙරෙන කඩතොළු එම ප්‍රොaටීනය එන්සයිමයක්‌ ලෙස සිදු කරන විශේෂ කාර්යය කුමක්‌ දැයි නිගමනය කරන බව ද සඳහන් විය. ප්‍රොaටීන නැමෙන්නේ යම්කිසි නීතියකට අනුව විය යුතු ය. එම නීති පොදු මතවාදය තුළ දැනට දක්‌නට ලැබෙන නීතිවලින් එකක්‌ ද? මේ ප්‍රශ්න අප ගේ මුල් තේමාව වන පොදු මතවාදය කුමක්‌ ද සහ මිනිස්‌ ජීවිතයේ අරුතක්‌ ඇත්නම් ඒ තුළින් එය කුමක්‌ දැයි වටහාගත හැකි ද යන ප්‍රශ්නවලට අදාළ ය.

ප්‍රොaටීන නැමෙන අන්දම සොයාබැලීම එම නිසා ඉතා වැදගත් ය. නැමීම හෝ නැමෙන හෝ නැමෙනවා යන වචන වෙනුවට ඊට වඩා යෝග්‍ය වචනයක්‌ යොදාගනිමු. සම්මිඤ්ජනය නමැති වචනය මේ සඳහා ගැලපේ. ක්‌වොන්ටම් මතවාදය ඉදිරිපත් කළ විද්වත් නීල්ස්‌ බොහර් පවසා ඇත්තේ ජීව විද්‍යාවේ ප්‍රශ්න භෞතික විද්‍යාව භාවිතයෙන් සොයා බැලීමේ දී ස්‌වාභාවික ලෝකය ගැන වැටහීමක්‌ ලැබෙන බව ය. අප ගේ වෑයම ද එය ම වන්නේ ය. තව ද ඔහු පවසා ඇත්තේ ජීව පද්ධති තුළින් මතු විය හැකි දාර්ශනික ද්වෛධය (paradox) හෝ විරුද්ධාභාසය විසින් ඒවා ගැඹුරින් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව මතු කෙරෙන බව ය. ප්‍රොaටීන සම්මිඤ්ජනය අධ්‍යයනය කිරීමේ දී මෙවැනි දාර්ශනිsක ද්වෛධ කිහිපයක්‌ මතු වී ඇත. මේ ගැන සඳහන් කිරීමට ප්‍රථම ප්‍රොaටීන සම්මිඤ්ජනය සිදු වන ආකාරය පිළිබඳව ඉදිරිපත් වී ඇති මතයන් සොයා බලමු.

ප්‍රොaටීන සම්මිඤ්ජනය අධ්‍යයනය ආරම්භ වූයේ 1968 සිට ය. ඒ එහි වැදගත්කම වටහාගත්තාට පසුව ය. එනම් එය සැම ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයකටම මැදිහත් වන බව වටහාගත්තාට පසුව ය. ප්‍රොaටීනවල ක්‍රියාකාරිත්වය සිදු වන්නේ එය සම්මිඤ්ජනය වූවාට පසු ව ය. වැරැදි ලෙස නැමුණු ප්‍රොaටීනවලින් ලෙඩ රෝග සෑදෙන බව ද සොයාගෙන ඇත. වැරැදි ලෙස නැමුණු ප්‍රොaටීන ඉවත් නො වී ශරීරයේ එකතු වේ. එසේ එකතු වන ද්‍රව්‍ය හැඳින්වන්නේ ඇමීලොයිඩ් යනුවෙනි. ඒ ලෙස සෑදෙන ලෙඩ අතර ඇල්ෂයිමර්ස්‌ (Alzhemiers) සහ පාර්කින්සන් (Parkinsons) යන රෝග විශේෂ වන්නේ ය.

ප්‍රොaටීන් සම්මිඤ්ජනයේ දී එම ක්‍රියාදාමය එක්‌තරා නිශ්චිත මාර්ගයක්‌ ගන්නා බව පෙනෙන්නට ඇත. එසේ නොමැති ව සසම්භාවී ලෙස (random) එය සිදු වනවා නම් සිදු වීමට ගන්නා කාලය ඉතා දිගු වන්නට ඉඩ ඇත. එහෙත් ස්‌වභාවධර්මයේ එය සිදු වන්නේ නැනෝ තත්පර හෝ පිකෝ තත්පර ගණනක දී ය. ජීවී ශරීරයේ එසේ සිදු විය යුතු වන්නේ ය. ප්‍රොaටීනයක්‌ එන්සයිමයක්‌ ලෙස ක්‍රියා කරන්නේ නම් ඉන් ලැබෙන එලය ක්‌ෂණයකින් ලැබිය යුතු ය. එසේ නොමැති ව ජීවීන් ගේ ශරීරයේ ක්‍රියාවන් නිසි පරිදි සිදු විය නොහැකි ය. ප්‍රොaටීන සම්මිඤ්ජනය සිදු වන්නේ චාලක ශක්‌තිය නිසා හෝ තාපගතික ශක්‌තිය නිසා හෝ බව මතවාදයක්‌ ලෙස ඉදිරිපත් වී ඇත. මේ අදහස ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ලද්දේ ලෙවින්තාල් (C. Levinthal 1968) විසිනි. මේ අදහස ලෙවින්තාල් ද්වෛධය (Levinthal paradox) නමින් හැඳින්වේ. ලෙවින්තාල් පැවසුවේ මෙය මෙසේ සිදු වී ඇත්තේ ජීව පරිණාමයේ ප්‍රතිඑලයක්‌ ලෙස බව ය.

ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳව ලෙවින්තාල් විසින් උපන්‍යාසයන් දෙකක්‌ ඉදිරිපත් කරන ලදී. එකක්‌ චාලක උපන්‍යාසය (kinetic hypothesisි) වන්නේ ය. අනෙක තාපගතික උපන්‍යාසය (thermodynamic hypothesis) වන්නේ ය. මේ උපන්‍යාසයන් දෙක ම ප්‍රොaටීන ස්‌වාභාවික අවස්‌ථාවේ පවතින විට එහි අඩංගු ශක්‌ති ප්‍රමාණය වෙනත් අවස්‌ථාවල දී තිබිය හැකි ශක්‌ති ප්‍රමාණයට සාපේක්‌ෂව සලකා බලයි. තාපගතික උපන්‍යාසයට අනුව ප්‍රොaටීන ස්‌ථාවර අවස්‌ථාවක පවතින්නේ එහි අඩංගු ශක්‌ති ප්‍රමාණය අවම වූ විට ය. මෙය සිදු වන්නේ ප්‍රොaටීන සෑදී ඇති ඇමයිනෝ අම්ල සම්මිඤ්ජනය වී ඇති අනුපිළිවෙළ සහ පරිසරයේ ගුණාංගවලට අනුව ය. චාලක උපන්‍යාසයට අනුව අවම ශක්‌ති ප්‍රමාණයට ළඟා වන්නේ සම්මිඤ්ජනය සිදු වන නිශ්චිත මාර්ගයට අනුව ය. මේ උපන්‍යාසයන් දෙකට ම සහාය දෙන පරීක්‌ෂණ සිදු කොට ඇත. එනමුත් තවමත් එකක්‌ හෝ සත්‍යයක්‌ හැටියට පිළිගත හැකි සාක්‌ෂි ඉදිරිපත් වී නැත.

මේ සාකච්ජාව තව ඉදිරියට ගෙන යැමට මිථස්‌ථායි (metastableැ) යන්න පිළිබඳව කෙටියෙන් සඳහන් කළ යුතු ව ඇත. එය ස්‌ථායි (Stable) යන වචනයෙන් ලැබෙන තේරුම ඔබ්බට ගෙන යැමට යොදාගැනෙන වචනයකි. ජලයට උෂ්ණත්වයට අනුව ඝන, ද්‍රව සහ වායු යන අවස්‌ථාවල ස්‌ථායි ලෙස පැවතිය හැකි ය. එසේ ම ජලය උෂ්ණත්වය 00Cට පහළ තිබෙන විට දී පවා ද්‍රව අවස්‌ථාවේ පැවතිය හැකි බව අපි දනිමු. එවැනි අවස්‌ථාවක්‌ මිථස්‌ථායි අවස්‌ථාවක්‌ ලෙස හැඳින්වේ. DNA, RNA සහ ප්‍රොටීනවල ක්‍රියාකාරී අවස්‌ථාව පවතින්නේ මිථස්‌ථායි අවස්‌ථාව ලෙස ය. ප්‍රොaටීන සෑදෙන ඇමයිනෝ අම්ල අතර ඇති වන බන්ධන (bonds) මිථස්‌ථායි අවස්‌ථාවේ පැවතෙන බව පැවසේ. අනු පරමාණුක (subatomic) අංශු එකතු වීමෙන් සෑදෙන පද්ධතියක්‌ විවිධ අවස්‌ථාවල පැවතිය හැකි ය. එහෙත් ඉන් එක අවස්‌ථාවකට පමණ ය අනියත ආකාරයට බොහෝ කාලයක්‌ පැවතිය හැක්‌කේ. මීට පාදස්‌ථ අවස්‌ථාව (ground state) නැතිනම් ගෝලීය අවමය (global minimum) යෑයි කියනු ලැබේ. මිථස්‌ථායි අවස්‌ථාව බොහෝ කාලයක්‌ පැවතිය හැකි ය. එහෙත් එය අනන්ත නො වන්නේ ය. මිථස්‌ථායි අවස්‌ථාව එසේ දිගු කාලයක්‌ පවතින්නේ අවට ඇති වෙනත් ශක්‌තිවලට සාපේක්‌ෂ ව ය. මේ අවස්‌ථාව වෙනස්‌ වන්නේ ඒ තුළ ඇති ශක්‌ති ප්‍රමාණය වැඩි වූ විට ය. මිථස්‌ථායි අවස්‌ථාවේ ඇත්තේ අවම ශක්‌ති ප්‍රමාණයක්‌ වන්නේ ය. ජාන සහ ප්‍රොaටීනවල ක්‍රියාවන් වටහාගැනීමට මේ කරුණු වැදගත් වන්නේ ය.

නිශ්චිත සම්මිඤ්ජන මාර්ග එකක්‌ වෙනුවට කිහිපයක්‌ ඇති බව ද ඒවා එකතු ව පුනීලයක හැඩය ගන්නා බව ද පසුව ඉදිරිපත් වූ අදහසක්‌ වේ. මේවා නිගමනය වන්නේ ප්‍රොaටීන පවතින පරිසරයට අනුකූලව ය. මේ අදහස්‌ මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ කේ. ඒ. ඩිල් (K.A. Dill 1995) නමැති විද්‍යාඥයා විසිනි. කෙසේ නමුත් මේ කිසිවක්‌ අවසාන වශයෙන් නිරාකරණය වී නැත. මෑතක දී කරන ලද පර්යේෂණවලින් පෙනී යන්නේ ප්‍රොaටීන සම්මිඤ්ජනය සඳහා වෙනස්‌ වූ නිශ්චිත මාර්ග බොහෝ ප්‍රමාණයක්‌ තිබිය හැකි බවත්, මාර්ගය නිගමනය වන්නේ ප්‍රොaටීනවල ව්‍යුහයේ ඇමයිනෝ අම්ල ඇමිණී ඇති අනුක්‍රමය සහ එය අවට පරිසරයේ ගුණාංගවලින් ඇති වන බලපෑම්වලට අනුකූලව බවත් ය.

අප ගේ මූලික තේමාව වූයේ ජීව පරිණාමයේ එන ස්‌වාභාවික වරණය පොදු මතවාදයක්‌ (theory of everything) යටතට ගත හැකි ද නැතිනම් එය මූලික නීතියක්‌ (fundamental law) ලෙස සැලකිය යුතු ද යන්න ය. ස්‌වාභාවික වරණය සිදු වීමේ දී ප්‍රොaටීනවල වැදගත්කම සහ එහි සම්මිඤ්ජනය (protein folding) විසින් ඉටු කෙරෙන වැඩ කොටස අපි සාකච්ඡා කළෙමු. ප්‍රොaටීන සම්ඤ්ජනයේ දී චාලක හෝ තාපගතික ක්‍රියාදාමයක්‌ සිදු වන බව ද සඳහන් කළෙමු. අණු පරමාණුක අංශුවල ස්‌ථායි සහ මිථස්‌ථායි පැවැත්ම එම ක්‍රියාදාමයට අදාළ විය හැකි වන්නේ ප්‍රොaටීන ක්‍රියාකාරී වන්නේ එහි පාදස්‌ථ අවස්‌ථාව ලෙස පවතින විට නිසා ය. එහි පාදස්‌ථ අවස්‌ථාව මිථස්‌ථායි අවස්‌ථාව වන්නේ ය. ප්‍රොaටීන ක්‍රියාකාරී වන්නේ මිථස්‌ථායි අවස්‌ථාවේ දී ය. ඒ අවස්‌ථාව ශක්‌තිය අවම අවස්‌ථාව වන්නේ ය. ඉලෙක්‌ට්‍රොaන නියුට්‍රොaන වැනි අංශු මිථස්‌ථායි අවස්‌ථාවේ තිබෙන විට බොහෝ කලක්‌ පවතින්නේ ය. ප්‍රොaටීන ගැන ද කිව හැක්‌කේ එය ම ය. ප්‍රොaටීන සම්මිඤ්ජනය තුළ අණුපරමාණුක අංශු ක්‍රියාකාරී වන බව පැහැදිලි ය. එහෙත් එය කෙසේ සිදු වනවා දැයි කිව නොහැකි ය. මෙය ක්‌වොන්ටම් යාන්ත්‍රණයට අයත් වන ක්‍රියාදාමයක්‌ ද? පොදු මතවාදයේ අවසාන පියවර වන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය සහ සාධාරණ සාපේක්‌ෂතාවාදය නැත හොත් ගුරුත්වාකර්ෂණය එකට සම්බන්ධ කිරීම වන්නේ ය. එම නිසා ස්‌වාභාවික වරණය සිදු වන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණයට අනුව දැයි සොයා බැලිය යුතු ය. එවිට ස්‌වාභාවික වරණය මූලික න්‍යායක්‌ ලෙස වෙන ම සැලකිය නොහැකි බව පෙන්වා දිය හැකි ය.

ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් අනු පරමාණුක අංශුවල (subatomic particles) හැසිරීම සහ ඒවායේ ශක්‌තිය ද ද්‍රව්‍යයන් අතර ඇති අන්තර් ක්‍රියාවන් ද ගණිතමය ලෙස පහදා දීමට තැත් කෙරෙයි. මේ හැසිරීම් සමහරක්‌ මහේක්‌ෂ (macroscopic) පරිමාණයේ ඒවා ය. ඒවා සිදු වන්නේ ඉතා ම ඉහළ හෝ පහළ ශක්‌තිය හෝ උෂ්ණත්වය තුළ ය. අනු පරමාණුක අංශුවල හැසිරීම් ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් පැහැදිලි කෙරෙන්නේ ශක්‌තිය සහ ද්‍රව්‍ය යන ද්වෛධ (energy and matter duality) ම`ගිනි. අංශුවක පිහිටීම සහ ගම්‍යතාව හෝ එහි ශක්‌තිය සහ කාලය ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් නිවැරැදිව සපයා දෙනු ලබන්නේ නැත. එය විසින් සපයා දෙනු ලබන්නේ ඒවායේ සම්භාව්‍යතාව පමණි. අංශුවක පිහිටීම මැනීමට එය එක තැන තිබිය යුතු ය. එසේ ම එහි ගම්‍යතාව මැනීමට එය නිදහසේ චලනය විය යුතු ය. මේ දෙක පරස්‌පර විරෝධී නිසා අංශුවේ මේ ගුණාංග, නිවැරැදිව මැනිය නොහැකි ය. මෙසේ සිදු වන්නේ එක්‌ අංශුවක්‌ ගෙන එහි හැසීරීම මැනීමට තැත් කරන විට ය. එහෙත් අංශු විශාල ප්‍රමාණයක්‌ සලකා බලන විට සසම්භාවී (random) ලෙස හැසිරීමේ සම්භාව්‍යතාව බිංදුව දක්‌වා වෙනස්‌ වේ. මින් හැඟී යන්නේ සම්භාව්‍ය යාන්ත්‍රණය (classical mechanisms) වනාහි ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ ප්‍රසාරණයක්‌ හෝ විශාල පද්ධතියකට එය යෙදීම ලෙස සැලකිය හැකි ය. එසේ නම් සම්භාව්‍ය ආකෘතියකින් පටන් ගෙන යටින් තිබෙන ක්‌වොන්ටම් ආකෘතිය ගැන අදහසක්‌ ලබාගත හැකි ය.

මේ අදහස්‌වල ප්‍රතිඑලයක්‌ ලෙස ක්‌වොන්ටම් ක්‌ෂේත්‍ර මතවාදය බිහි විය. එක්‌ අංශුවක්‌ වෙනුවට මුළු ක්‌ෂේත්‍රයකට අදාළ වන පරිදි මතවාදය නිර්මාණය විය යුතු ය. මෙසේ නිපැයුණු පළමු ක්‌වොන්ටම් ක්‌ෂේත්‍ර මතවාදය වූයේ ක්‌වොන්ටම් විද්යුත් ගතිකය (Quantum Electrodynamics) විය. එය විසින් විද්යුත්චුම්බක (eකැජඑරද ප්ටබැඑසජ) අන්තර්ක්‍රියා පහදා දෙන ලදී. ප්‍රබල න්‍යෂ්ටික බලය (strong nuclear force) සහ දුබල න්‍යෂ්ටික බලය (weak nuclear force) සඳහා ද ක්‌වොන්ටම් ක්‌ෂේත්‍ර මතවාද නිර්මාණය වී ඇත. දුබල න්‍යෂ්ටික බලය සහ විද්යුත්චුම්බක බලය එකතු කොට එක්‌ ක්‌වොන්ටම් ක්‌ෂේත්‍රයක්‌ යටතට ගැනිණි. එම ක්‌ෂේත්‍රය හැඳින්වෙන්නේ විද්යුත් දුබල මතවාදය (electro weak theory) නමිනි. මෙය සිදු කරන ලද්දේ අබ්දුස්‌ සලාම්, පේලඩන් ගලැෂෝ සහ ස්‌ටීවන් වයින්බර්ග් විසිනි. මේ භෞතික විද්‍යාඥයන් තිදෙනාට නොබෙල් ත්‍යාගය 1979 දී පිරිනමන ලදී. අබ්දුස්‌ සලාම් නොබෙල් ත්‍යාගය දිනූ ප්‍රථම පාකිස්‌තානු ජාතිකයා වන්නේ ය.

ගැටලුව වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය සහ ක්‌වොන්ටම් යාන්ත්‍රණය එකතු කිsරීම ය. පෙර ලිපිවල කිව් පරිදි තන්තුවාදය (String theory) මේ සඳහා ඉදිරිපත් වූ එක්‌ මතවාදයක්‌ විය. එහෙත් තන්තුවාදය නොයෙකුත් ගැටලු විසඳුව ද පොදු මතවාදයක්‌ දක්‌වා වර්ධනය වූයේ නැත. සම්භාව්‍ය මතවාද සහ ක්‌වොන්ටම් මතවාද අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ ක්‌වොන්ටම් සංසක්‌තය (quantum coherence) වන්නේ ය. ක්‌වොන්ටම් සංසක්‌තය මහේක්‌ෂ්‍ය (macroscopic) පරිමාණවල දක්‌නට නො ලැබේ. එහෙත් මහේක්‌ෂ්‍ය ගුණාංගවලට වගකිව යුත්තේ කුඩා අංශුවල හැසිරීම බව අමතක නො කළ යුතු ය. උදාහරණ ලෙස විශාල වස්‌තුවල ස්‌ථාවරභාවය ඝන වස්‌තුවල සවිය සහ යාන්ත්‍රික තාපය රසායනික චුම්බක යන ගුණාංග සියල්ල ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ නීතිවලට යටත් ව විද්යුත් ආරෝපණය නිසා ලැබෙන ඒවා වන්නේ ය.

ප්‍රොaටීන සම්මිඤ්ජනය සිදු වන්නේ ඉතා වේගයෙන් විය යුතු ය. එන්සයිමයක්‌ නිර්මාණය වීම නැනෝ හෝ පිකෝ තත්පරවලින් සිදු විය යුතු ය. එසේ නොමැති ව ජීවීන් ගේ ශරීරයේ ක්‍රියාවන් සිදු වන්නේ නැත. එම නිසා ජීව පරිණාමයේ යාන්ත්‍රණය වන ස්‌වාභාවික වරණය පොදු මතවාදය යටතට ගැනීමට නම් පළමුව ඊට පාදක වන ක්‌වොන්ටම් යාන්ත්‍රණය වටහාගත යුතු ය. ප්‍රොaටීන සම්මිඤ්ජන සිදු වන්නේ චාලක හෝ තාප ගතික හෝ ශක්‌තියට අනුකූලව යෑයි මතවාදයක්‌ ඇති නමුත් ඉහත සඳහන් අන්දමට එය තවමත් ඔප්පු වී නැත. ඊටත් වඩා ගැටලුසහගත ප්‍රශ්නයක්‌ වන්නේ පරිණාමය සිදු වීමේ දී ජාන නැත හොත් DNA වෙනස්‌ වන්නේ කෙසේ ද යන්න ය. මෙය සිදු වන්නේ ඉතා ම සෙමිනි. එහෙත් ඉතා කුඩා වෙනස්‌ වීම් ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ නීතිවලට අනුකුලව වේගයෙන් සිදු විය හැකි ය. ජීවියා ගේ ව්‍යුහයේ සහ ක්‍රියාකාරිත්වයේ වෙනසක්‌ ඇති වීමට තරම් වෙනසක්‌ DNAවල සිදු වීමට බොහෝ කාලයක්‌ ගත විය හැකි ය. එහෙත් සුළු වෙනස්‌ වීම් වේගයෙන් සිදු වීමට හැකි ය. සුළු වෙනස්‌වීම් එක්‌ රැස්‌ වූ විට ජීවියා ගේ වෙනස්‌ වීමක්‌ සිදු විය හැකි ය. ජානවල සිදු වන මේ වෙනස්‌වීම් ක්‌වොන්ටම් ක්‌ෂේත්‍රයක්‌ තුළට ගත හැකි ද? ඒ කරුණ සාකච්ඡා කිරීම සඳහා DNA, RNA සහ ප්‍රොaටීනවල මිථස්‌ථායි අවස්‌ථා සහ පොදු මතවාදය තුළ දැනට තිබෙන විද්යුත් චුම්බක බලය පිළිබඳ මූලික දැනුමක්‌ අවශ්‍ය වන්නේ ය. මේ නිසා ය ඉහත සඳහන් විස්‌තර කෙටියෙන් සපයා ඇත්තේ. තව ද ජීව පරිණාමයේ එන ස්‌වාභාවික වරණය සහ ජාන විකෘති වීම ගැන ද වැටහීමක්‌ අවශ්‍ය ය. මේ කරුණු ඉදිරියේ දී සාකච්ජා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.