logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 8

පසුගිය ලිපියේ සාකච්ජා කළේ ජීවිතයේ අරුත කුමක්‌ විය හැකි ද යන්න පිළිබඳව සහ අරුතක්‌ ඇතොත් එය පොදු මතවාදයක්‌ සමග සම්බන්ධ විය යුත්තේ ඇයි ද යන්න පිළිබඳව ය. (විදුසර 04.01.15). තව ද පරිණාමවාදයේa එන ස්‌වාභාවික වරණය වැනි සංකල්ප වුව ද පොදු මතවාදයක්‌ යටතට ගැනීමේ අවශ්‍යතාවක්‌ තිබෙන බව මීට පෙර ලිපිවල සාකච්ජා කළෙමි. ජීවිතයේ අරුත සෙවීමේ දී මේ සංකල්ප වැදගත් වන්නේ ය. ස්‌වාභාවික වරණය නමැති සංකල්පය ඔප්පු කිරීමට අවශ්‍ය සාධක සොයාගෙන තිබේ ද? ස්‌වාභාවික වරණය (
Natural Selection) යන්නෙන් හැඳින්වෙන්නේ කුමක්‌ දැයි පහදා ගත යුතු ය. ඒ සඳහා පළමුවෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ වන්නේ සමහර පැරැණි මතවාද ලෙස පරිණාමවාදය ද අසත්‍ය යෑයි ඔප්පු කළ හැකි ද යන්න ය. ඇරිස්‌ටෝටල් ගෙන් පටන් ගෙන නිව්ටන් දක්‌වා ගෙනහැර බැලුවොත් පෙනී යන්නේ ඔවුන් ගේ සමහර මතවාද අසත්‍ය ලෙස පෙන්වා දී ඇති බවයි. එලෙස ම පරිණාමවාදය බොරු බවට ඉදිරිපත් කළ සාක්‌ෂි ඇත් ද? එසේ නැතිනම් එම වාදය ඔප්පු කරන්නට අවශ්‍ය සාක්‌ෂි මදි ද? අතීතයේ නම් සාක්‌ෂිවල මඳ බවක්‌ පෙනෙන්නට තිබිණි. එහෙත් අලුතින් සොයාගෙන ඇති සාක්‌ෂිවලින් පෙනී යන්නේ ජීව පරිණාමය ඔප්පු කරන්නට අවශ්‍ය සාක්‌ෂි දැන් ඇති බව ය. අතීතයේ ඉදිරිපත් වූ මතවාද සියල්ලක්‌ බොරු වූයේ නැත. එසේ ම දැන් ඉදිරිපත් වී ඇති මතවාද සියල්ල අනාගතයේ දී බොරු වේ යෑයි කිව නොහැකි ය. මතවාදයක්‌ අනාගතයේ දී බොරු වන්නට ඉඩ ඇතැයි සිතිය හැක්‌කේ වර්තමානයේ ඊට අදාළ සාක්‌ෂිවල ශක්‌තිය මත ය. එම සාක්‌ෂි දුර්වල නම් අදාළ මතවාදය ඉදිරියේ දී අසත්‍ය ලෙස ඔප්පු වන්නට ඉඩ ඇත. වර්තමානයේ ප්‍රබල සාක්‌ෂියක්‌ අනාගතයේ දී දුර්වල හෝ තවත් ප්‍රබල බවට පත් විය හැකි ය. එම සාක්‌ෂිය සොයාගත් ක්‍රමයේ හෝ උපකරණවල හෝ දියුණුවක්‌ ඇති වුවොත් එසේ සිදු විය හැකි ය. පරිණාමවාදය පිළිබඳව කිව හැක්‌කේ සාක්‌ෂි සොයාගන්නා ක්‍රමය සහ උපකරණ දියුණු වන්නට වන්නට සාක්‌ෂි තව තවත් ප්‍රබල වූ බව ය. එම නිසා අද පවතින තත්ත්වය වන්නේ පරිණාමවාදය තුළ දෙගිඩියාවක්‌ හෝ දුර්වලතාවක්‌ නො තිබෙන බව ය.

එම නිසා කිව හැක්‌කේ පරිණාමවාදය නිකම් ම නිකම් වාදයක්‌ නො ව සත්‍ය ලෙස ඔප්පු වී ඇති සාධ්‍යයක්‌ බවයි. විද්වත් චාර්ල්ස්‌ ඩාවින් තම මතවාදය සැලකුවේ මතවාදයක්‌ ලෙස පමණි. තව ද ස්‌වාභාවික වරණය ද ඔහු සැලකුවේ මතවාදයක්‌ ලෙස ය. එනමුත් අද වන විට පරිණාමවාදය පිළිබඳව ප්‍රබල සාක්‌ෂි ඉදිරිපත් වී ඇත. සත්ත්ව ව්‍යqහය ගල් වූ සත්ත්ව ඇට කටු පැළෑටි ෙÁdසිල (
fossil) ඒවායේ අනුක්‍රමික සම්බන්ධතා කාබන් කාලනිර්ණය නැත හොත් පැළෑටි සහ සත්ත්ව ෙÁdසිල කොයි කාලයේ ජීවත් වූ ජීවීන් ගේ දැයි නිගමනය කිරීම (Carbon Dating) ඊටත් වඩා දියුණු වූ Radiometric Luminescence, Dendro Chromology Amino acid Dating වැනි ක්‍රම මගින් කාල නිර්ණය ජාන සහ එහි ඇති හැකියාව සහ ගුණාංග අණුක ජීව විද්‍යාව (Molecular Biology) යන ක්‍රමවලින් සොයාගෙන ඇති සාක්‌ෂි පරිණාමවාදය ඔප්පු වී ඇති සාධ්‍යයක්‌ බවට පත් කොට ඇත. එසේ නම් සත්ත්ව පරිණාමය ඉදිරියට ගෙන යන යාන්ත්‍රණය වන ස්‌වාභාවික වරණය (Natural Selection) පිළිබඳව කිව හැක්‌කේ කුමක්‌ ද? ස්‌වාභාවික වරණය යනු කුමක්‌ ද? එය ක්‍රියා කරන්නේ කෙසේ ද? පළමුව මේ ප්‍රශ්න සලකා බැලිය යුතු ය.

ජාන නිර්මාණය වී ඇත්තේ
Deoxyribonucleic acid හෙවත් DභA යන කෙටි නාමයෙන් හැඳින්වෙන ඉතා ම සංකීර්ණ වූ ද්‍රව්‍යවලිනි. අද දක්‌වා DNA විද්‍යාගාරයේ නිර්මාණය කරන්නට බැරි වී ඇත. එසේ කළ හොත් අප ජීවියකු නිර්මාණය කරනවා හා සමාන ය. එය නිම වී ඇති මූලික ද්‍රව්‍ය භාවිත තොට පෘථිවිය මත ඇති විද්‍යාගාරවල DNA නිපදවිය නොහැකි ය. අද වන තෙක්‌ එය සිදු වී නැත. එය සිදු වුව හොත් ජීවීන් බිහි වීමේ රහස සොයාගන්නට හැකි වේ. ජීව පරිණාමයේ දී සිදු වන්නේ කුමක්‌ දැයි වටහාගත යුතු ය. පරිණාමය මාර්ගයෙන් සිදු වන්නේ පරිසරයට වඩාත් සුදුසු ලෙස සැකසූ ජීවියකු නිර්මාණය වීම යෑයි නිගමනය කිරීම සඳහා අවශ්‍ය සාක්‌ෂි එමට ඇත. මෙය සිදු වන්නේ ජානවල වෙනසකින් එනම් DNAවල වෙනස්‌ වීමකින් විය යුතු ය. ජීවීන් ගේ අනාගත පැවැත්ම සඳහා වර්තමානයේ දී කුමක්‌ කළ යුතු ද යන්න සොයාගත හැක්‌කේ අතීතයේ දී ඉගෙනගත් පාඩම්වලිනි. හෙට ජීවත් වීමට අද කළ යුතු දේ දැනගත හැක්‌කේ ඊයේ ඉගෙනගත් පාඩම්වලිනි. එම පාඩම් සටහන් වී ඇත්තේ DNAවල ය. පාඩම්වලට අනුව ව්‍යqහයේ හෝ ක්‍රියාකාරීත්වයේ වෙනස්‌ වීමක්‌ අවශ්‍ය වන්නේ ය. එම වෙනස්‌ වීම සිදු වූයේ නැත්නම් එම ජීවියා ගේ ප්‍රවර්තනය සහතික කළ නොහැකි ය. එම ජීවියා වෙනස්‌ වී පැවැත්ම රැකගන්නේ නම් එය ස්‌වාභාවික සිදුවීමකි. එම ජීවියා වෙනස්‌ නො වී පැවැත්ම රැක නො ගත්තේ නම් එය ද ස්‌වාභාවික සිදුවීමකි. මෙය ස්‌වාභාවික වරණය (Natural Selection) නම් වේ. මෙය සුදුස්‌සා ගේ ප්‍රවර්තනය (Survival of the Fittest) නො වන්නේ ය. එසේ ම මෙය සසම්භාවි වරණය ද (Random Selection) නො වන්නේ ය. මෙතැන දී සිදු වන්නේ සුදුසු ජීවියා තෝරාගන්නවාට වඩා නුසුදුසු ජාන ස්‌වභාවධර්මය විසින් ඉවත් කරනු ලැබීම ය. මෙය ස්‌වාභාවික වරණය වන්නේ ය.

එහෙත් අප ගේ සාකච්ජාවේ තේමාව ජීව පරිණාමය හෝ ස්‌වාභාවික වරණය හෝ නො වේ. අප සොයා බැලිය යුත්තේ ස්‌වාභාවික වරණය පොදු මතවාදයක්‌ යටතට ගත යුතු ද යන්න ය. නැත හොත් එය මූලික න්‍යායක්‌ (
Fundamental law) වශයෙන් සැලකිය යුතු ද යන්න ය. එම ප්‍රශ්නය විද්‍යා දාර්ශනිකයන් විසින් ගැඹුරෙන් අධ්‍යයනය කරනු ලබන දෙයකි. සමහර දාර්ශනිකයන් සිතන්නේ ස්‌වාභාවික වරණය මූලික න්‍යායක්‌ ලෙස වෙන ම සැලකිය යුතු බව ය. ස්‌වාභාවික වරණය මූලික න්‍යායක්‌ ලෙස සලකනවා යන්නෙන් අදහස්‌ වන්නේ පොදු මතවාදය යටතට එන මතවාදවලින් එය වෙන් කොට හඳුනාගැනීම වන්නේ ය. එසේ කිරීමේ දී සිදු වන්නේ පෘථිවියේ තිබෙන ද්‍රව්‍ය සෑදී ඇත්තේ කෙසේ ද යන ප්‍රශ්නය සහ ජීවීන් සෑදී ඇත්තේ කෙසේ ද යන ප්‍රශ්නය වෙන් කොට සැලකීම ය. එය කළ හැකි ද? ජීවීන් සෑදී ඇත්තේ ද එම ද්‍රව්‍යවලිනි. එසේ නම් එම ද්‍රව්‍යවල රහස විසදගත්තේ නම් ජීවීන් ගේ රහස එනම් ජීවීන් ඇති වූයේ කවදා ද කොතැන ද යන ප්‍රශ්නය විසදගැනීම පහසු වීමට ඉඩ ඇත. එම නිසා ස්‌වාභාවික වරණය වෙන් කොට හැඳින නො ගෙන පොදු මතවාදය යටතට ගැනීම කළ යුතු ව ඇත.

තව ද ස්‌වාභාවික වරණය පිළිබඳව නව සොයාගැනීම් සලකා බැලීමේ දී පෙනී යන්නේ එම සංකල්පය පොදු මතවාදය යටතට ගැනීම කළ යුතු බව ය. ස්‌වාභාවික වරණයේ දී සිදු වන්නේ ප්‍රවර්තනයට සුදුසු ජාන ඉතිරි වී නුසුදුසු ජාන ඉවත් වීම ය. ජාන වෙනස්‌ වන්නේ වරකට ඉතා ස්‌වල්ප වශයෙනි. එම නිසා වෙනස්‌ වීමක්‌ ජීවියා ගේ ව්‍යqහයේ පෙන්නුම් කෙරෙන්නට බොහෝ කාලයක්‌ ගත වේ. එම වෙනස ජීවියා ගේ පරිසරයට වඩා සුදුසු නම් ජීවියා ගේ ප්‍රවර්තනය සඳහා ඇති සම්භාව්‍යතාව වැඩි වන්නේ ය.

මෙය වටහාගැනීම පිණිස ජානවල ව්‍යqහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික වැටහීමක්‌ අවශ්‍ය වන්නේ ය. එම වැටහීම ජාන පිළිබඳ දැනුමක්‌ පමණක්‌ නො ව විද්‍යාත්මක ක්‍රමවේදයේ මූලික ආයුධයක්‌ වන අනුමිතිය (
Inference) කෙතරම් දුරකට විශ්වසනීයත්වයක්‌ දරන්නේ දැයි යන්න පිළිබඳව ද දැනගත හැකි වීමකි. ජාන කේතාංකනය (encode) කිරීම සිදු වන්නේ ඩිඔක්‌සිරයිබොනියුකලික්‌ අම්ල (Deoxyriboneucleic acid)වල ය. කස්‌කුරුප්පු ජෝඩුවක හැඩය ගත් (double helix) එය දික්‌ වූ නූලක්‌ වැනි ය. ජීවියකු ගේ ජාන සියල්ලේ එකමුතුව හැඳින්වන්නේ ගෙනෝමය (genome) ලෙස ය. මිනිස්‌ ගෙනෝමයේ සම්පූර්ණ ව්‍යqහය සිඩ්නි බ්‍රෙනර් (Sydney Brenner) සහ ප්‍රැන්සිස්‌ ක්‍රික්‌ (Francis Crick) විසින් මේ ළඟ දී සොයාගන්නා ලදි. ජානවල භාවිත වන කේතායන (code) නැත හොක්‌ සංකේත ජීවීන් සැමට පොදු ය. එහෙත් ජාන වෙනස්‌ ය. මෙය භාෂාවකට සම කළ හොත් භාෂාවක ඇත්තේ එක ම අකුරු සංඛ්‍යාවක්‌ වූවාට ඒවායින් ලියවෙන වචන විශාල සංඛ්‍යාවක්‌ තිබිය හැකි ය. අකුරු සංකේත නැත හොත් කේතායන වන්නේ ය. වචන ජාන වන්නේ ය. සෛලයක්‌ තුළ තිබෙන ජානවලින් සිදු වන ක්‍රියවලිය කුමක්‌ ද? ජාන මඟින් පාලනය වන්නේ ප්‍රොaටීන් නිෂ්පාදනය ය. ප්‍රොaටීන් වනාහි නොයෙකුත් හැඩවලට නැවෙන්නට හැකි එම නිසා නොයකුත් හැඩයන් අත් කරගත හැකි ද්‍රව්‍යයක්‌ වන්නේ ය. ප්‍රොaටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල (Amino acids)වලිනි. මිනිසා ගේ ප්‍රොaටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල විස්‌සකිනි. ඇමයිනෝ අම්ල විස්‌සකින් ප්‍රොaටීන වර්ග විශාල ප්‍රමාණයක්‌ සාදාගත හැකි ය. ඇමයිනෝ අම්ල එකට එක අමුණා ප්‍රොaටීන සෑදේ. අමුණන අනුපිළිවෙළ අනුව ප්‍රොaටීනවල ව්‍යqහය සහ ක්‍රියාකාරීත්වය වෙනස්‌ වේ. අමුණන අනුපිළිවෙළ නිගමනය කෙරෙන්නේ ජාන විසිනි. මෙය ජීව පරිණාමය සඳහා ඉතා වැදගත් ක්‍රියාදාමයක්‌ වන්නේ ය. ශරීරයේ ව්‍යqහය සහ ක්‍රියාකාරීත්වය නිර්මාණය වන්නේa විශාල වශයෙන් ප්‍රොaටීන් මගිනි. මේ ප්‍රොaටීන් බොහොමයක්‌ එන්සයිම (enzyme) වන්නේ ය. සෛල මගින් නිෂ්පාදනය කරන ශරීරයට අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මේ එන්සයිම නැති ව ම බැරිය. එම එන්සයිම නැති ව එම ද්‍රව්‍යයන් නිෂ්පාදනය නො වන්නේ ය.

ජාන මගින් නිගමනය කරන ලෙස නිර්මාණය වන ප්‍රොaටීන් එක්‌ එක්‌ අතට නැමී සැදෙන හැඩය ඉතා ම වැදගත් වන්නේ ය. එන්සයිමය විසින් උත්ප්‍රේරණය කෙරෙන්නේ කුමන ද්‍රව්‍යයක නිෂ්පාදනය ද යන්න නිගමනය වන්නේ එම හැඩයට අනුරූපී ව ය. මෙතන සිදු වන්නේ ක්‌ෂුද්‍ර නැත හොත් මයික්‍රො භෞතික විද්‍යාත්මක (
Micro Physics) වෙනසකි. එන්සයිමයේ ප්‍රොaටීන් එක්‌ එක්‌ අතට නැමෙන්නේ එය සෑදී ඇති ඇමයිනෝ අම්ල එකින් එක අමුණා ඇති අනුපිළිවෙළට ය. අමුණා ඇති ඇමයිනෝ අම්ලවල අනුපිළිවෙළ නිගමනය කරන්නේ ජාන මගිනි. ජාන DNA සැදී ඇති අන්දම කෙසේ ද යත් ඒවායේ පළුදු කඩතොළු අහුමුලු සංඛ්‍යාවක්‌ දැකිය හැකි ය. මේවා සැදී ඇත්තේ ඇමයිනෝ අම්ල එකින් එක අමුණා ප්‍රොaටීන් සැදීම පිණිස ය. ජාන වෙනස්‌ වන විට මේ පළුදු කඩාතොළු අහුමුලුවල හැඩය වෙනස්‌ වන්නේ ය. ඒ අනුව ඒ ජානවලින් නිෂ්පාදනය වන ප්‍රොaටීනවල වෙනසක්‌ සිදු වන්නේ ය. ප්‍රොaටීනවල වෙනස නිසා ජීවියා ගේ ව්‍යqහය හෝ ක්‍රියාකාරීත්වය වෙනස්‌ වන්නේ ය. එම වෙනස්‌ වීම නිසා එම ජීවියා තම පරිසරයට වඩා සුදුසු නම් එම ජීවියා ගේ ප්‍රවර්තනය සඳහා වැඩි සම්භාව්‍යතාවක්‌ ඇති වන්නේ ය.

ඇමයිනෝ අම්ල ඇමිණීමෙන් සෑදෙන ප්‍රොaටීන එක්‌ එක්‌ අතට නැමී යම් හැඩයක්‌ ගන්නේ ඉහත සඳහන් පරිදි ක්‌ෂුද්‍ර භෞතික විද්‍යාත්මක නීතිවලට අනුකුලව ය. මෙසේ සිදු වන දෙවල් ස්‌වාභාවික වරණයට සම්බන්ධ කළ හැකි ද? ඒ ගැන සොයාබැලීම කළ යුතු ය. පෙර කල විසූ කොටියකුට ගොදුරක්‌ ඩැහැගන්නට බැරි වූයේ දිවීමේ හැකියාව මදි වූ නිසා යෑයි සිතමු. කෑම නැති ව බඩගින්නේ සිටින විට දිවීමේ ශක්‌තිය මඳ බව ඌට කල්පනා වන්නට ඇත. බඩගින්න ඇති වීම ඊට හේතුව බව වටහාගැනීම යන්න මයික්‍රෝ භෞතික විද්‍යාත්මක ක්‍රියාදාමයන් නිසා සිදු වන දේවල් විය යුතු ය. ජිවීන් ගේ කිසි ම ක්‍රියාදාමයක්‌ එසේ නො වන්නට බැරි ය. කොටියා ගේ ශරීරය තුළ සිදු වූ මේ ක්‍රියාදාමය නිසා ශරීරයේ මාංශ පේශීන් නිර්මාණයට වගකියන ජානවල වෙනසක්‌ සිදු විය හැකි ය. එම වෙනස නිසා මාංශ පේශීන් ගේ වෙනසක්‌ ඇති වී කොටියාට වඩා වේගයෙන් දිවිය හැකි වන්නේ ය. මේ සියල්ල සිදු වන්නට දිගු කාලයක්‌ ගත වන්නේ ය. එහි ප්‍රතිඑලයක්‌ වශයෙන් කොටියා ගේ ප්‍රවර්තනය වැඩි වන්නේ ය.

මේ නයින් බලන කල ස්‌වාභාවික වරණය නමැති ක්‍රියාදාමයේ දී සිදු වන්නේ ජාන තෝරාගැනීමක්‌ බව පැහැදිලි ය. මුළු ක්‍රියාදාමය ම ක්‌ෂුද්‍ර භෞතික විද්‍යාත්මක ක්‍රියාදාමයක්‌ බව පැවසීම වැරැදි නැත. ඉහත සඳහන් කොටියා ගේ ප්‍රවර්තනය සිදු වන්නේ ඒ අනුව ය. කොටියා ප්‍රජනනයේ යෙදී මැරී ගියාට පසුව ද ස්‌වාභාවික වරණය විසින් තෝරාගැනෙන ජාන උගේ පැටවුන් ගේ ශරීරය තුළ තවත් කාලයක්‌ පවතිනවා ඇත. තව ද ස්‌වාභාවික වරණය වනාහි ක්‌ෂුද්‍ර භෞතික විද්‍යාත්මක ක්‍රියාදාමයක්‌ වන්නේ ය.

ක්‌ෂුද්‍ර භෞතික විද්‍යාත්මක ක්‍රියාදාමයක්‌ යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? මි.මි. 1කට අඩු පරිමාණයේ ක්‍ෂෙත්‍රයක්‌ තුළ ඇති වන හෝ සියලු මිනුම් මි.මි. 1කට අඩු ප්‍රමාණයකින් සිදු වන ක්‍රියාදාමයන් එම ගණයට අයත් වේ. උදාහරණ කිහිපයක්‌ වන්නේ ක්‌වොන්ටම් භෞතික විද්‍යාව, අණුක භෞතික විද්‍යාව, න්‍යෂ්ටික භෞතික විද්‍යාව, අණුක ජීව විද්‍යාව යන ක්‍ෂෙත්‍රයන් ය. ජීවීන් ගේ පරිණාමය සහ ස්‌වාභාවික වරණය පිළිබඳව සලකා බැලීමේ දී වැදගත් වන්නේ අණුක ජීව විද්‍යාව ය. (
Molecular Biology). මේ කේෂත්‍රය ගැන අප ඉහත සඳහන් අන්දමට ජාන පිළිබඳව සාකච්ජා කොට ඇති නිසා නැවතත් ඒ ගැන ලිවීමට අවශ්‍ය නැත. එහෙත් ඇමයිනෝ අම්ල අමුණා ඇති අන්දමට ප්‍රොaටීන් විවිධ අතට නැමී විවිධ ස්‌වරූප ලබාගන්නේ කුමන විද්‍යාත්මක නීතිවලට අනුව දැයි සොයා බැලිය යුතු ය. මුළු ස්‌වාභාවික වරණය රඳා පවතින්නේ ඒ මත බැවිනි.

කාන්දම්වලින් තැනූ මාලයක්‌ මෙන් ඇමයිනෝ අම්ල වැල නැමෙමින් විවිධ ස්‌වරූප ගනී. එහෙත් කාන්දම් වැලේ කාන්දම් මාරු කිරීමෙන් එතරම් විවිධත්වයක්‌ ලබාගත නොහැකි ය. ඇමයිනෝ අම්ල විස්‌සක්‌ මිනිසා ගේ ප්‍රොaටීන් සැදීමට යොදාගැනේ. එම ඇමයිනෝ අම්ල මාරු කර ඇමිණීමෙන් විවිධ වූ ප්‍රොaටීන් ව්‍යqහයන් සහ ස්‌වරූප විශාල සංඛ්‍යාවක්‌ සෑදිය හැකි ය. ඇමයිනෝ අම්ල වැල නැමෙන්නේ කුමක්‌ නිසා ද? එය චුම්බකත්වය නිසා ද? විද්යුත් චුම්බකත්වය නිසා ද? ක්‌වොන්ටම් මතවාදය භාවිත කොට රසායනික ප්‍රතික්‍රියා රසායනික ව්‍යqහය සහ රසායනික බන්ධන පහදාගැනීමට එම මතවාදය එළි දක්‌වා ටික කාලයකට පසුව වෑයමක්‌ දරන ලදී. ඇමයිනෝ අම්ල වැල් විවිධ අතට නැමෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඑලයක්‌ නිසා නො වන බව පැහැදිලි ය. එතැන රසායනික බන්ධනයක්‌ සිදු වන බව ද දැනගන්නට නැත. මේ ගැන සාකච්ජා කිරීම සඳහා ක්‌වොන්ටම් රසායනය පිළිබඳ මූලික වැටහීමක්‌ ලබාගත යුතු ය. ක්‌වොන්ටම් රසායනය යන්නෙන් හැඳින්වෙන්නේ භෞතික ආකෘති සහ රසායනික පද්ධති පිළිබඳ පර්යේෂණ පහදා දීමට ක්‌වොන්ටම් යාන්ත්‍රණය යොදාගැනීම ය. මුල් ක්‌වොන්ටම් මතවාදයට වඩා බොහෝ රසායනික පද්ධති පහදා දීම සඳහා ක්‌වොන්ටම් යාන්ත්‍රණය භාවිත කළ හැකි බව සොයාගෙන ඇත.

අප ගේ මුල් ප්‍රශ්නය වන්නේ ස්‌වාභාවික වරණය පොදු මතවාදය (
Theory of Everything) තුළට ගත හැකි ද යන්න ය. එසේ නැත්නම් ස්‌වාභාවික වරණය මූලික නීතියක්‌ (fundamental law) ලෙස වෙන ම පැවතීමට අවශ්‍ය ගූණාංග තිබේ දැයි සොයා බැලිය යුතු ය. මෙසේ කළ යුත්තේ පොදු මතවාදය පහදා ගැනීම පිණිස ය. අප පැමිණ ඇත්තේ ස්‌වාභාවික වරණය වනාහි පරිසරයට සුදුසු ජාන තෝරාගැනීම යන අදහස වෙත ය. ජානවල සිදු වන වෙනස ක්‌වොන්ටම් යාන්ත්‍රණය මගින් වටහාගත හැකි නම් අපට මේ ප්‍රශ්නය විසදගැනීම සඳහා යම්කිසි දුරක්‌ යා හැකි වන්නේ ය. මේ අදහස්‌ සාකච්ජා කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග Dගීජ.