logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම

පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි සැමට පොදු මතවාදයක්‌ (
theory of everything) නිර්මාණය කරගැනීමට විද්‍යාඥයන් ගත් ප්‍රයත්නය සාර්ථක වී නැති බව පෙන්වා දුන්නෙමි (විදුසර 03.12.14සහ 17.12.114). එවැනි මතවාදයක්‌ විසින් කළ යුත්තේ ස්‌වභාවධර්මයේ පවතින නොයෙකුත් අන්තර් ක්‍රියාවන් සම්බන්ධ කිරීම ය. මෙතැන දී ගුරුත්වාකර්ෂණය ප්‍රබල අන්තර්ක්‍රියා (Strong Interaction) දුබල අන්තර්ක්‍රියා (Weak Interaction) සහ විද්යුත් චුම්බකත්වය යන ක්‍රියාදාමයන් එක්‌ මතවාදයක්‌ යටතට ගැනීම සිදු විය යුතු ය. දුබල අන්තර්ක්‍රියා විසින් මූලික අංශු (Elementary particles) එක්‌ වර්ගයකින් වෙනත් වර්ගයකට හැරවීමේ හැකියාව පෙන්නුම් කරන නිසා පොදු මතවාදය විසින් මූලික අංශු පිළිබඳව ද ගැඹුරු පැහැදිලි කිරීමක්‌ කළ යුතු ය. ස්‌වභාවධර්මයේ අන්තර්ක්‍රියා පිළිබඳ දැනට ඇති මතවාද එකතු කොට අවසානයේ ලබාගත හැකි පොදු මතවාදය නිර්මාණය විය යුතු ආකාරය පහත සඳහන් වේ.

මෙහි අවසාන පියවර වන විද්යුත්-න්‍යෂ්ටික බලය සහ ගුරුත්වාකර්ෂණය එකතු කිරීම මෙතෙක්‌ සිදු වී නැත. එම නිසා පොදු මතවාදය තවමත් නිර්මාණය වී නොමැත. එහෙත් මේ පිළිබඳව කිව යුතු තවත් දෙයක්‌ ඇත. 1990 වර්ෂයට පසුව තන්තුවාදය (
String Theory) නමින් හැඳින්වෙන මතවාදය සැමට පොදු මතවාදය ලෙස සමහර විද්‍යාඥයන් පිළිගනිති. එනමුත් මේ පිළිබඳව එකගතාවක්‌ නොමැත. මතවාදාත්මක භෞතික විද්‍යාවේ ගැලී සිටින විද්‍යාඥයන් ගේ අවධානය බොහෝ සෙයින් ලබාගෙන ඇත්තේ තන්තුවාදය බව ද කිව හැකි ය. පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම සඳහා දැනට ඇති වැදගත් ම සංකල්පය තන්තුවාදය බව පිළිගැනේ. ද්‍රව්‍ය මූල අංශුවල ක්‍රියාදාමයන් ද විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් ද (උදා - black hole) පහදා දීමේ යම්කිසි හැකියාවක්‌ තන්තුවාදය තුළ ඇති බව දැනගැනීමෙන් මේ විද්‍යාඥයන් ධෛර්යයට පත් වී ඇත. අප ගේ පෘථිවියේ පවතින ද්‍රව්‍යවලින් ඔබ්බට ගිය අඟුරු ද්‍රව්‍ය (Dark Matter) සහ මෙතෙක්‌ සොයාගෙන නැති මූලික අංශු පිළිබඳව කෙරීගෙන යන පර්යේෂණවල ප්‍රතිඵල තුළිsන් පොදු මතවාදය ගැන යම් දුරක පැහැදිලි කිරීමක්‌ සිදු වෙතැයි ඔවුහු බලාපොරොත්තු තබාගෙන සිටියි.

මේ කරුණුවලින් ලැබෙන ඉඟියක්‌ වන්නේ මේවායේ රහස අභ්‍යවකාශයේ කිසියම් තැනක හෝ වස්‌තුවක තිබිය හැකි බව ය. විද්යුත් චුම්බක බලය සහ ගුරුත්වාකර්ෂණය එකතු කරන මතවාදයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම ලබාගත හැක්‌කේ අභ්‍යවකාශයෙන් විය හැකි ය. මෙය කිරීමට තවමත් කිසි ම දෙයක්‌ නො දන්නා අභ්‍යවකාශයේ තිබෙන ස්‌ථානයකට මිනිසාට යැමට හෝ උපකරණයක්‌ යෑවීමට හෝ සිදු වනු ඇතැයි සමහර විද්‍යාඥයන් ගේ මතය වී ඇත.

මේ ප්‍රශ්නය විද්‍යා දාර්ශනිකයන් ගේ සැලකිල්ලට ද භාජන වී ඇත. සැම ප්‍රශ්නයකට ම සර්ව සම්පූර්ණ පිළිතුරක්‌ ලබා දීමට තැත් කළ යුතු ය යන මතයේ සිටියේ ප්ලේටෝ සහ ඇරිස්‌ටෝටල් වැනි අග්‍ර ගණ්‍ය දාර්ශනිකයෝ වූ හ. 17-18 වැනි ශත වර්ෂවල දී ප්‍රශ්නවලට පිළිතුරු සපයා පද්ධතියක්‌ නිර්මාණය කරන්නට යොදාගැනුණේ ප්‍රධාන ලෙස තර්කය විය. ඔවුහු ප්‍රාගානුභූත (
Apriori) තර්කය භාවිත කොට ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් පැහැදිලි කරන්නට තැත් කළෝ ය. විද්වත් ඩෙස්‌කාර්ට්‌ (Rene Descarte), ස්‌පයිනොෂා (Spinoza) වැනි දාර්ශනිsකයෝ මේ කාලයේ පෙරමුණේ සිටියෝ ය. එහෙත් පසුව කරළියට පැමිණි විද්‍යා දාර්ශනිකයන් සර්ව සම්පූර්ණ පිළිතුරු සැපයීම තරම් උසකට තම අරමුණ ඉලක්‌ක කළේ නැත. විද්වත් ස්‌ටීවන් හෝකින්ග් පැවසුවේ පොදු මතවාදයක්‌ නිර්මාණය කළා වුව ද එය ගණිත සමීකරණයකට එහා ගිය එකක්‌ විය නොහැකි බව ය. සමහර විද්‍යා දාර්ශනිකයන් පොදු මතවාදයක්‌ තිබිය නොහැකි බවට සාධක ලෙස ගෙනහැර පෑවේ කර්ට්‌ ගොඩෙල් (Kurt Godel 1931) නමැති ගණිතඥයා ඉදිරිපත් කළ අසම්පූර්ණ නියමය (Incompleteness theorem ) ලෙස හැඳින්වෙන ගණිත විද්‍යාවේ ගැටලු පෙන්වා දෙන නියමයන් විය. ගොඩෙල් ඉදිරිපත් කළ නියමයන් දෙකක්‌ වන්නේ ය. ඉන් පළමුවැන්නෙන් කියවෙන්නේ සිද්ධාන්තවලින් සමන්විත ස්‌ථාවර පද්ධතියකින් ගණිත ඉලක්‌කම් අතර ඇති සම්බන්ධතාව ඔප්පු කළ නොහැකි බව ය. දෙවැන්නෙන් කියවෙන්නේ එවැනි පද්ධතියක ස්‌ථාවරත්වය එය තුළිsන් ම ඔප්පු කළ නොහැකි බව ය. මේ නියමයන් නිවැරැදි නම් පොදු මතවාදයක්‌ නිර්මාණය කළ නොහැකි ය. ගොඩෙල් ගේ නියමයන් තුළිsන් පෙන්නුම් කෙරෙන්නේ ශුද්ධ ගණිතය අසීමිත හෝ අනන්ත වූ පද්ධතියක්‌ බවයි. මෙහි අදහස වන්නේ යම් න්‍යාය භාවිත කොට කුමන ප්‍රශ්නයක්‌ විසඳුව ද එම න්‍යාය මගින් විසඳිය නොහැකි ප්‍රශ්න තිබෙන බව ය. භෞතික විද්‍යාව තුළ ද ඇත්තේ ගණිතය පිළිබඳ න්‍යාය වන හෙයින් එම විද්‍යාව ද ක්‌ෂය නො කළ හැකි අසීමිත නැත හොත් අනන්ත එකක්‌ වන්නේ ය. එම නිසා එක ම මතවාදයක්‌ තිබිය නොහැකි ය. ස්‌ටීවන් හෝකින්ග් පළමුව විශ්වාස කළේ පොදු මතවාදයක්‌ නිර්මාණය කළ හැකි බව ය. එහෙත් ගොඩෙල් ගේ අදහස ඉදිරිපත් වූවාට පසු ඔහු තමා ගේ මතය වෙනස්‌ කර ගත්තේ ය.

මේ අදහස්‌වලට පටහැනි මතයක්‌ ඉදිරිපත් කිරීමට වෙනත් විද්‍යා දාර්ශනිකයන් තැත් කළ බව පෙනෙන්නට ඇත. විද්වත් ජර්ගන් ක්‍ෂ්මිඩූබර් (
Jurgen Schmidhuber 1997) පැවසුවේ ගොඩෙල් ගේ නියමයන් ගණනය කළ හැකි භෞතික විද්‍යාවට (Computable Physics) අදාළ වන්නේ නැති බව ය. ගණනය කළ හැකි නමුත් සීමිත වූ නිර්ණායන සකසා ගැනීමට ඔහුට හැකි විය. මෙවැනි පද්ධතියක පදනම වූ නියමයන් පොදු මතවාදය ලෙස පිළිගත හැකි බව සමහර භෞතික විද්‍යාඥයෝ පැවසූ හ.

කෙසේ නමුත් පොදු මතවාදය පමණක්‌ මූලික න්‍යාය (
Fundamental Laws) ලෙස පිළිගත නොහැකි බව විශ්වාස කරන දාර්ශනිsකයන් ද සිටින බව පෙනේ. මේ අය පවසන්නේ සංකීර්ණ වූ පද්ධතීන් පාලනය කරන අලුතින් සොයාගෙන ඇති න්‍යාය වුව ද මූලික න්‍යාය ලෙස පිළිගත යුතු බව ය. තාප-ගති විද්‍යාවේ (Thermo-dynamics) දෙවැනි න්‍යාය ද, සත්ත්ව පරිණාමවාදයේ එන ස්‌වාභාවික වරණය ද (Natural Selection) මෙවැනි මූලික න්‍යාය ලෙස පිළිගත හැකි බව ඔවුහු විශ්වාස කරති. මෙවැනි සංකීර්ණ පද්ධති හෝ ජෛව පද්ධති ඉතා කුඩා සූක්‌ෂම සහ අණ්‌වීක්‌ෂිත න්‍යාය (උදා( ක්‌වොන්ටම් න්‍යාය)වලට යටත් නො වන බව කිව හැකි ය. එම නිසා එවැනි න්‍යාය (උදා( ස්‌වාභාවික වරණය) වුව ද පොදු මතවාදය තරම් වූ මූලික න්‍යාය (fundamental laws) ලෙස පිළිගත යුතු වන්නේ ය. ස්‌වාභාවික වරණය සිදු වන්නේ ජෛව පද්ධතිය තුළ ය. එය සිදු වීමේ දී ඉතා කුඩා අංශුවල වෙනසක්‌ සිදු විය හැකි ය. උදාහරණයක්‌ ලෙස ජාන වෙනස්‌ වීම (Genetic Mutation) සිදුවීමේ දී රසායනික බන්ධනවල වෙනස්‌ වීමක්‌ සිදු විය යුතු ය. ස්‌වාභාවික වරණය සඳහා ජාන වෙනස්‌ වීම අත්‍යවශ්‍ය ය. එහෙත් රසායනික බන්ධන මත පදනම් වී ස්‌වාභාවික වරණය පහදා දිය නොහැකි ය. කළ හැක්‌කේ ජාන වෙනස්‌ වීම තුළ සිදු වන රසායනික ක්‍රියාදාමය පැහැදිලි කිරීම පමණ ය. එම රසායනික ක්‍රියාදාමය ජීවියා ගේ වෙනස්‌ වීමට හේතු වූ සාධකය සමඟ සම්බන්ධ වන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීම දුෂ්කර වන්නේ ය. රසායනික බන්ධන ඇති වීම සහ නැති වීම ක්‌ෂුද්‍ර භෞතික (Micro-Physics) ක්‍රියාදාමයක්‌ බව අපි දනිමු. මා පෙර ලිපියක සඳහන් කළ ලෙස මෙවැනි භෞතික ක්‍රියාදාමයන් සහ ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයන් සම්බන්ධ කිරීම ඉතා ම අසීරු වන්නේ ය. මේ ප්‍රශ්නය අනාගතයේ දී විසඳීමට ඉඩ ඇත.

ස්‌වාභාවික වරණය මූලික න්‍යායක්‌ නැතිනම් සැමට පොදු මතවාදය තරම් ම මූලික වූ න්‍යායක්‌ ලෙස ගත හැක්‌කේ කෙසේ ද? ස්‌වාභාවික වරණය ගෙනහැර දැක්‌විය හැකි සරල උදාහරණයක්‌ ගනිමු. වතුරේ ජීවත් වන මාළුවකු ගේ පිටේ පාට, වැවේ පතුලේ පාටට ගැලපෙන ලෙස වෙනස්‌ වී ඇතැයි ජීව විද්‍යාඥයෝ පවසති. එවිට මාළුවා ගේ හතුරු සහ ගොදුරු ලෙස සැලකෙන වෙනත් ජීවීන්ට එම මාළුවා ලෙහෙසියෙන් දැකගත නොහැකි බව ඔවුහු පවසති. මේ ක්‍රියාදාමය ආවරණය වන පරිදි පොදු මතවාදය ගොඩනැඟිය හැකි ද? වර්තමානයේ එසේ කිරීමට නොහැකි නිසා ස්‌වාභාවික වරණය මූලික න්‍යායක්‌ බවට පත් වන්නේ ද?

මේ නයිsන් බලන කල පෙනී යන්නේ පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම අසීරු කරුණක්‌ බව ය. එනමුත් එම වෑයම අත් හළ යුතු නැත. විද්‍යාවේ හතුරෝ එසේ කළ යුතු බව පවසති. එහෙත් එම වෑයමේ අතුරු ඵල මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වී ඇත. උදාහරණයක්‌ ලෙස විදුලිය නිපදවන ඩයිනමෝව සොයාගැනුණේ විදුලිය සහ චුම්බකත්වය අතර ඇති සම්බන්ධය පරීක්‌ෂාවට ලක්‌ කිරීමේ දී ය.

සමහර දාර්ශනිsකයන්ට සහ විද්‍යාවේ සතුරන්ට අනුව විද්‍යාත්මක මතවාද අසීමිත වන්නේ ය. මේ මතවාද අනුක්‍රමික පිළිවෙළකට අසීමිත ලෙස අනාගතයට විහිදී යයි. මේ අදහස පිළිගන්නේ නම් ස්‌වාභාවික ක්‍රියාදාමයන් අසීමිත ය යන සංකල්පය ද පිළිගන්නට සිදු වේ. උදාහරණයක්‌ ලෙස ද්‍රව්‍ය (
Matter) සෑදී ඇති අංශු වර්ග අසීමිත ප්‍රමාණයක්‌ ඇති බව පිළිගත යුතු ය. එනමුත් ක්‌වොන්ටම් මතවාදය (Quantum Theory) පෙන්වා දෙන්නේ ස්‌වාභාවික ක්‍රියාදාමයන් අසීමිත නො වන බව ය.

එසේ ම සමහර දාර්ශනිකයෝ ගණනය කිරීමේ දී ඇති දුර්වලතාවන් විද්‍යාව අසාර්ථක බව පෙන්වා දීම සඳහා ගෙනහැර දක්‌වති. උදාහරණයක්‌ ලෙස අභ්‍යවකාශයට විද්ද වස්‌තුවක (
Projectile) චලනය නිශ්චිත ලෙස ගණනය කිරීම කළ නොහැකි ය. එසේ නම් එවැනි චලනයක්‌a පිළිබඳව සර්ව සම්පූර්ණ න්‍යායක්‌ නිර්මාණය වී ඇතැයි පවසන්නේ කෙසේ දැයි ඔවුහු අසති. එනමුත් එවැනි න්‍යාය සරල ක්‍රියාදාමයන් පිළිබඳව භාවිත කළ විට සාර්ථක ප්‍රතිඑල ලැබෙන බව පෙන්වා දිය හැකි ය. උදාහරණයක්‌ ලෙස විද්වත් නිව්ටන් ගේ න්‍යාය අභ්‍යවකාශයේ ග්‍රහයන් ගේ චලනය පිළිබඳ දැනුමක්‌ ලබාගැනීම පිණිස භාවිත කළ හැකි ය. එසේ ලබා ගන්නා දැනුම සරල නො වන සංකීර්ණ වූ ක්‍රියාදාමයන් සඳහා ද භාවිත කළ හැකි බවට විශ්වාසයක්‌ ඇති කරගත හැකි ය. එම නිසා පොදු මතවාදයක්‌ නිර්මාණය කළ යුත්තේ සරල වූ ක්‍රියාදාමයන් රාශියක්‌ ආවරණය වන පරිදි ය. එසේ කළ විට එම මතවාදය භෞතික විද්‍යාවේ සැම ක්‍රියාදාමයක්‌ සඳහා ම යොදාගත හැකි බවට විශ්වාසයක්‌ ඇති කරගත හැකි ය. මේ ඇතැම් දාර්ශනිකයන් ගේ අදහස්‌ ය.

ද්‍රව්‍යමූල අංශු (
Elementary particles) වල හැසීරීම මෙන්ම අභ්‍යවකාශයේ බ්ලැක්‌ හෝල් (Black Hole) වැනි ක්‍රියාදාමයන් පිළිබඳව යම්කිසි පහදා දීමක්‌ තන්තුවාදය (String Theory) මගින් කළ හැකි බවට විශ්වාසයක්‌ විද්‍යා දාර්ශනිකයන් අතර තිබෙන බව මේ ලිපියේ මුල දී සඳහන් කොට ඇත. තන්තුවාදය තැත් කරන්නේ ප්‍රධාන වශයෙන් අංශුවල හැසිරීම පහදා දීමට ය. තිතක්‌ ලෙස පැවතීම වෙනුවට එක්‌ මානයකින් (Mono- dimensional string) සමන්විත තන්තු ලෙස පැවතීමට මේවාට හැකියාවක්‌ ඇතැයි සිතන්නට විද්‍යාඥයන් පෙලඹුණේ එවැනි ආකෘතියක්‌ (Model) තනාගැනීමෙන් මෙතෙක්‌ අපැහැදිලිව තිබූ ක්‍රියාදාමයන් යම් දුරකට පැහැදිලි කර ගත හැකි වීම නිසා ය. මේ මූලික අංශු (Elementary particles)වල ව්‍යqහය, පැවැත්ම, චලනය, වෙනස්‌ ස්‌වරූපයක්‌ ගැනීම වැනි දේවල් පිළිබඳව විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ සර්ව සම්පූර්ණ වූ දැනුමක්‌ නො වේ. යම් කිසි ක්‍රියාදාමයක්‌ අංශුවල හැසිරීම සමඟ සම්බන්ධ කිරීමට හෝ ඒ මගින් එම ක්‍රියාදාමය පැහැදිලි කිරීමට හෝ ගන්නා ප්‍රයත්නයේ දී මතවාද නිපදවන්නට සිදු වේ. එම මතවාද යම් අවස්‌ථාවල දී ගණිතමය මොඩලයක්‌ ලෙස ඉදිරිපත් වේ. විද්වත් අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය උදාහරණයක්‌ ලෙස දැක්‌විය හැකි ය. තන්තුවාදය ද එවැන්නකි. මූලික අංශු තිත (Point) ලෙස නො ගෙන එක්‌ මානයකින් සමන්විත (Mono-dimentional) තන්තු (String) ලෙස සැලකීමෙන් ප්‍රශ්න කිහිපයක්‌ විසදාගත හැකි බව විද්‍යාඥයන් ගේ මතය වී ඇත. මේ ලෙස විසදාගත හැකි වැදගත් ප්‍රශ්න වන්නේ ක්‌වොන්ටම් ක්‍ෂේත්‍ර (Quantum Field Theory) සහ ක්‌වොන්ටම් ගුරුත්වාකර්ෂණය වන්නේ ය. මේවා එක මතවාදයක්‌ බවට පත් කිරීමට විද්‍යාඥයන් තැත් කරන බව පෙනේ. මීට පෙර ක්‌වොන්ටම්වාදය හෝ එහි එන බලයන් (උදා: විද්යුත් න්‍යෂ්ක බලය) සමග ගුරුත්වාකර්ෂණය බලය සම්බන්ධ කිරීම කළ නොහැකි ව තිබිණි. තන්තුවාදය මෙය කිරීමට උත්සාහ දරයි. එහි ප්‍රතිඑල හොඳ නිසා බලාපොරොත්තු ඇති කරගැනීමේ හැකියාවක්‌ ඇති බව විද්‍යාඥයෝ පවසති.

බොහෝ විද්‍යාඥයන්ට අනුව (උදා:
Stephen Hawking) තන්තුවාදය ස්‌වභාවධර්මයේ මූලික ධර්ම පැහැදිලි කිරීම සඳහා ගත් නිවැරැදි පියවරක්‌ වන්නේ ය. ඔවුන් මෙසේ සිතන්නේ තන්තුවාදය විසින් පහත සඳහන් දේ ඉටු කෙරෙන නිසාය.

1. ක්‌වොන්ටම් කේෂත්‍ර මතවාදය (
Quantum Field Theory) සහ සාධාරණ සාපේක්‌ෂතාවාදය එකතු කිරීමට ඉඩ දීම.

2. ක්‌වොන්ටම් ගුරුත්වාකර්ෂණයේ (
Quantum Gravity) එන බ්ලැක්‌ හෝල් (Black hole)වලට අදාළ තාප-ගති විද්‍යාව (Thermo-dynamics) යම් තරමකට පහදා දීම.

3. මතවාදාත්මක මෙවලමක්‌ ලෙස භෞතික විද්‍යාව තුළ භාවිත කිරීමේ හැකියාව.

4. අදාළ පර්යේෂණ රාශියක්‌ සාර්ථක වීම.

වෙනත් විද්‍යාඥයෝ මේ අදහස සමග එකග නො වෙති. ප්‍රවේශ වීමට හැකි බලයන් (
Accessible Forces) පිළිබඳ නවීන වූ පර්යේෂණ මාර්ගයෙන් කිසි ම අනාවැකියක්‌ තන්තුවාදයට සොයාගත නොහැකි වීම ඔවුන් ගේ කනස්‌සල්ලට හේතුව වී ඇත. උදාහරණයක්‌ ලෙස විද්යුත් බලය පිළිබඳ අනාවැකි ලබා දීමට හැකි අලුත් පර්යේෂණ සාර්ථක වී නැත. කෙසේ නමුත් සැමට පොදු මතවාදයක්‌ නිර්මාණය කළ හැකි බවට බලාපොරොත්තු තබාගත හැකි ය.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc