logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතා ගේ සුපිරි අනාත්මවාදය

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් ඌනිතවාදය ගැන ඔහු ගේ ඇති විශ්වාසය (එය විශ්වාසයක්‌ මිස අන් කිසිවක්‌ නො වේ) පාඨකයන් මත ද පැටවීමට උත්සාහ කරයි. එහෙත් එමගින් ඔහු තමා බෞද්ධයකු නො වන බව ද ලෝකයට හෙළිදරවු කරයි. අපි ඔහු ගේ ලිපියෙහි අදාළ ඡේදයක්‌ උපුටා දක්‌වමු. "කරුණු මෙසේ වුව ද සැම අවස්‌ථාවකට ම ඔබින එක්‌ පොදු සංකල්පයක්‌ නිර්මාණය කිරීම විද්‍යා දාර්ශනිකයන් ගේ ප්‍රයත්නය වූයේ ය. මේ ගැන සොයාබැලීම සඳහා අවශ්‍ය නම් සමාජ විද්‍යාවෙන් වුව ද පටන්ගත හැකි ය. සමාජීය ක්‍රියාදාමයන් ඇති වන්නේ පුද්ගලයන් එකිනෙකා සම්බන්ධව ක්‍රියා කරන අන්දම මත පදනම් ව ය. පුද්ගලයන් ක්‍රියා කරන්නේ ඔවුන් ගේ මනෝ විඤ්ඤාණයේ පාලනයට යටත් ව ය. මනෝ විඤ්ඤාණය ක්‍රියා කරන්නේ මොළයේ ස්‌නායුවල ඇති වන රසායනික ප්‍රතික්‍රියාවලට අනුකූල ව ය. මේ රසායනික ප්‍රතික්‍රියා වනාහි පරමාණුවල ඇති වන සහ නැති වන බන්ධන මිස වෙන කිසිවක්‌ නො වේ. එම නිසා ඒ රසායනික ප්‍රතික්‍රියා ක්‌ෂුද්‍ර භෞතික විද්‍යාව (Micro Physics) ලෙස සැලකිය හැකි ය. මින් පැහැදිලි වන්නේ පුද්ගලයන් අතර ඇති වන සම්බන්ධතා පවා අවසානයේ භෞතික ද්‍රව්‍ය සෑදී ඇති කොටස්‌වල අතිශයින් සංකීර්ණ වූ ක්‍රියාවලියක ඵලයක්‌ ලෙස සැලකිය හැකි බව ය. එම නිසා ද්‍රව්‍ය සෑදී ඇති කොටස්‌වල ව්‍යqහයේ සත්‍ය ස්‌වභාවය සහ සංකීර්ණ වූ එම ක්‍රියාවලියේ ස්‌වභාවය පහදා දීම පොදු සංකල්පයක්‌ නිර්මාණය කිරීමේ දී කළ යුතු දෙයක්‌ වන්නේ ය. සියල්ල සඳහා මතවාදයක්‌ (Theory of Everything) යන සංකල්පය ගොඩනැෙගන්නේ මේ අන්දමට ක්‌වොන්ටම්වාදය තන්තුවාදය වැනි මතවාද එකතු කොට සියල්ලට පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීමට යත්න දරයි."

තියරි ඔෆ් එව්රිතිං (Theory of Everything) යන්නට සංකල්ප ගැන සැලකිල්ලක්‌ නො දක්‌වන අමරතුංග මහතා සුපුරුදු ආකාරයට වැරැදියට සියල්ල සඳහා මතවාදයක්‌ යන්න යොදාගනියි. එය සියල්ලෙහි ප්‍රවාදය ලෙස නිවැරරැදි විය යුතු ය. ඇතැම් බටහිර විද්‍යාඥයන්ට හා බටහිර දාර්ශනිකයන්ට (බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද ඇතුළු ව) සියල්ලෙහි ප්‍රවාදයක්‌ අවශ්‍ය වෙයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එක්‌ ප්‍රවාදයක්‌ මගින් මුළු ලොව ම ඔවුන් ගේ බසින් කියන්නේ නම් තේරුම්ගැනීමට ය. අඩු ම තරමෙන් මුළු ලොව ම නොහැකි වුවත් යම් ක්‍ෂෙත්‍රයක්‌ සියල්ලෙහි ප්‍රවාදයකින් තේරුම් ගැනීම ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මුළු ලොව ම හෝ අඩු තරමෙන් ක්‍ෂෙත්‍රයක්‌ හෝ ප්‍රවාදයකට ඌනනය කිරීම ය. මෙය ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙන් ගලා එන්නකි.

එය බටහිර ගණිතයෙන් ගලා එන්නකි.

පැරැණි ග්‍රීකයෝ ජ්‍යාමිතිය ස්‌වසිද්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) කිහිපයකට ඌනනය කළ හ. යුක්‌ලිඩ් ගේ නමින් ඇති ජ්‍යාමිතිය ස්‌වසිද්ධි කිහිපයකින් ඇරඹෙයි. ඒ ස්‌වසිද්ධි වෙනත් ස්‌වසිද්ධියකින් හෝ ස්‌වසිද්ධිවලින් හෝ ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ හැකි නො වේ. එහෙත් යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි අනෙක්‌ සියලු ප්‍රතිඵල (ප්‍රමේය ද ඇතුළුව) ඒ ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ (Deduce) හැකි ය. ඒ නිගමන සියල්ල ගණිතමය අර්ථයකින් (භෞතික නො ව, එනම් පංචෙන්ද්‍රිය ගෝචර නො වී) සත්‍ය වෙයි. ඒ ප්‍රතිඵල ස්‌වසිද්ධි කිහිපයකට ඌනනය කළ හැකි යෑයි කියෑවෙන්නේ ප්‍රතිඵල සියල්ල ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය ඇසුරෙන් නිගමනය කළ හැකි බැවිනි.

වත්මන් බටහිර ගණිතය ගොඩනැගී ඇත්තේ යුක්‌ලීඩීය ජ්‍යාමිතිය පූර්වාදර්ශය කර ගනිමිනි. සෛද්ධාන්තික භෞතික විද්‍යාව වර්ධනය වත් ම භෞතික විද්‍යාඥයන් අතර ද තම විද්‍යාවෙහි සියලු ප්‍රතිඵල එක්‌ ප්‍රවාදයකට හෝ ප්‍රවාද කිහිපයකට හෝ ඌනනය කළ හැකි ය යන අදහස ඇති විය. මැක්‌ස්‌වෙල් විද්යුතය හා චුම්බකත්වය තම ප්‍රවාදය (සමීකරණ කිහිපයකට) ඌනනය කළේ ය. අයින්ස්‌ටයින් පළමුව අවකාශය හා කාලය සම්බන්ධ ජ්‍යාමිතික (භෞතික) ප්‍රතිඵල උපකල්පන දෙකකටත් පසුව නිදැල්ලේ වැටෙන වස්‌තුවල චරිතය තම සාධාරණ සාපේක්‍ෂතාවාදයටත් ඌනනය කළේ ය. ඔහුට විද්යුත් චුම්බකවාදය ද තම සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග බද්ධ කර එක්‌ ප්‍රවාදයකට ඌනනය කිරීමේ අවශ්‍යතාව විය. එහෙත් ඔහු මිය යන තෙක්‌ ම ඔහුට ඒ කාර්යය ඉටු කරගැනීමට නොහැකි විය. එසේ වුවත් ඇතැම් සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ සියල්ල එක්‌ ප්‍රවාදයකට ඌනනය කිරීමේ අදහස අත් නො හැරිය හ.

අමරතුංග මහතා ද එවැනි අදහසක පිහිටා ඇති බව පෙනී යයි. එහෙත් එයින් කියෑවෙන්නේ ඔහුට සියල්ලෙහි ප්‍රවාදය ගොඩනගාගත හැකි බව නො වේ. සියල්ලෙහි ප්‍රවාදය තබා කිසි ම ප්‍රවාදයක්‌ ගොඩනගාගැනීමට ලංකාවේ ඊනියා විද්‍යාඥයන්ට හැකියාවක්‌ නැත. ඔවුන්ට නව දැනුමක්‌ සම්ම ජාතියේ නිර්මාණය කළ නො හැකි ය. වැඩි ම වුව හොත් ඔවුන්ට කළ හැක්‌කේ තිබෙන දැනුම උපයෝගී කරගනිමින් තම ක්‍ෂේත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටලුවක්‌ විසඳීම පමණකි. එහෙත් ඔවුහු ජනතාව ඉදිරියේ විද්‍යාඥයන් ලෙස පෙනී සිටින්නේ සමාජ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි.

අමරතුංග මහතා බොහෝ දේ අවබෝධ කරගෙන නොමැති බව ඔහු ගේ ඉහත සඳහන් ලිපියෙහි පහත සඳහන් ඡේදයෙන් ද කියෑවෙයි. "මීට පෙර විද්වත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් ද වර්ෂ 1905 සිට 1915 දක්‌වා කාලය තුළ මෙවැනි ම වූ ප්‍රයත්නයක නිරත ව සිටියේ ය. තමා ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය (Theory of Special Relativity) සහ විද්වත් අයිසෙක්‌ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ මතවාදය සහ එවැනි අනෙකුත් මතවාද ආවරණය වන පරිදි එක්‌ පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම ඔහු ගේ අදහස විය. සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය බිහි වූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. ඊට පසු විද්වත් නීල්ස්‌ බොහොර් විසින් ක්‌වොන්ටම්වාදය ඉදිරිපත් කරන ලදී. විද්වත් අයින්ස්‌ටයින් මුල දී ඊට විරුද්ධ විය. පසුව සාපේක්‌ෂතාවාදය සහ ක්‌වොන්ටම්වාදය එකතු කිරීමේ ප්‍රයත්නයක්‌ ද විය."

අප බොහෝ විට කියා ඇති පරිදි අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය යනු විශේෂ සාපේක්‌ෂතාවාදය හා නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය එකතු කර එක්‌ පොදු ප්‍රවාදයක්‌ නිර්මාණය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ නො වේ. එහි දී සිදු වූයේ ගුරුත්වාකර්ෂණය යනුවෙන් බලයක්‌ නොමැති බවත් නිදැල්ලේ වැටෙන (චලනය වන) වස්‌තුවල චලිතය ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක්‌ නිසා නො ව අවකාශ කාලයේ වක්‍රතාව නිසා වන බව පෙන්වා දීමත් ය. නිදැල්ලේ වැටෙන වස්‌තු යන්නට පැහැදිලි අර්ථකථනයක්‌ ලැබුණේ සාධාරණ සාපේක්‌ෂතාවාදය හේතු කොටගෙන ය. නිදැල්ලේ යන්නෙහි කිසි ම බලයක්‌ නොමැති ව යන අර්ථය වෙයි. එහෙත් නිවුටන්ට අනුව නිදැල්ලේ වැටෙන වස්‌තු ගුරුත්වාකර්ෂණ බලයක්‌ යටතෙහි චලිත වෙයි. අයින්ස්‌ටයින්ට අනුව නිදැල්ලේ වැටෙන වස්‌තු මත ක්‍රියා කරන බලයක්‌ නැත. ඒ වස්‌තු එසේ නිදැල්ලේ චලනය වන්නේ අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා ය. නිදැල්ලේ චලනය වන වස්‌තු සම්බන්ධයෙන් නිදැල්ලේ යන වචනයට යුක්‌තිය ඉටු කළේ අයින්ස්‌ටයින් ය. අමරතුංග මහතාට නිදැල්ලේ චලනය වන වස්‌තු නැත. ඔහු ගේ ඊනියා නිදැල්ලේ චලනය වන වස්‌තු ගුරුත්වය යටතේ චලනය වෙයි.

නීල්ස්‌ බෝර් ගේ ක්‌වොන්ටම් භෞතිකය ගැන අමරතුංග මහතා දොඩවන්නේ සන්තතික හා අසන්තතික චලිත පිළිබඳ අවබෝධයක්‌ නැති ව බව පැහැදිලි ය. අයින්ස්‌ටයින් ක්‌වොන්ටම් භෞතිකයට මුල දී පමණක්‌ නො ව පසු වත් විරුද්ධ විය. ඔහුට කිසි දිනෙක ක්‌වොන්ටම් භෞතික විද්‍යාව හා සාධාරණ සාපේක්‌ෂතාවාදය එකතු කිරීමේ අවශ්‍යතාවක්‌ නො වී ය. වෙනත් භෞතික විද්‍යාඥයන්ට ඒ අවශ්‍යතාව තිබිණි ද අද වන තුරු ඒ බද්ධ කිරීමට කිසිවකුට හැකි වී නැත. අමරතුංග මහතා තමා ලියන දේ පිළිබඳ ව නිරවුල් අදහසක්‌ ඇති කරගත යුතු ය.

අමරතුංග මහතාට අනුව පුද්ගලයන් ගේ සමාජයීය ක්‍රියාකාරකම් හෙවත් අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති වන්නේ මනෝ විඤ්ණය හේතු කොටගෙන ය. මනස මෙහි දී ප්‍රධාන වෙයි. එය බුදුදහමට එකග ය. බුදුදහමට අනුව අන්තර් පුද්ගල ක්‍රියාකාරකම් පමණක්‌ පුද්ගලයකු ගේ අභ්‍යන්තර ක්‍රියාකාරම් ද මනස ප්‍රධාන කොට ඇති වෙයි. එහෙත් ප්‍රශ්නය පැන නගින්නේ මනස යනු කුමක්‌ දැයි බටහිර විද්‍යාවට අනුව තේරුම් ගැනීමේ දී ය. අමරතුංග මහතාට අනුව, එනම් ඔහු අනුගමනය කරන බටහිර විද්‍යාඥයන්ට අනුව, ඊනියා මනෝ විඤ්ණය ක්‍රියා කරන්නේ මොළයේ ස්‌නායුවල රසායනික ප්‍රතික්‍රියාවලට අනුකූලව ය. එනම් අමරතුංග මහතා ගේ බටහිර විද්‍යාඥයන්ට අනුව මනස මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියාවලට ඌනනය වෙයි. එවිට කර්මය පෑළ දොරෙන් පැන යයි. මනස සියල්ලට ප්‍රධාන නො වෙයි. පුද්ගලයකු යනු මොළයේ ස්‌නායුවල රසායනික ප්‍රතික්‍රියා ය.

අමරතුංග මහතා ගුරු කොටගන්නා බටහිර විද්‍යාඥයෝ එතැනින් නො නවතිති. ඔවුන්ට අනුව මේ රසායනික ප්‍රතික්‍රියා යනු පරමාණුවල ඇති වන හා නැති වන බන්ධනය ය. අමරතුංග මහතාට අනුව මෙයින් පැහැදිලි වන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතා යනු ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවක ප්‍රතිඵල ය. මෙයින් කියෑවෙන්නේ සම්මුති වශයෙන් වුවත් පුද්ගලයකු නැති බව ය. අප කරන කියන දේ පිළිබඳ ව අප වග කිව යුතු නො වේ. ඒ සියල්ලට වගකිව යුතු වන්නේ ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාව ය. එසේත් නැත්නම් එහි ප්‍රවාද ය.

කලකට පෙර බටහිර විද්‍යාඥයකු වූ ඊ. ඕ. විල්සන් නමැත්තා බටහිර සමාජ විද්‍යාව බටහිර ජීව විද්‍යාවට ඌනනය කිරීමට තැන් කළේ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට පවා එය දිරවාගත නොහැකි විය. ඇතැමුන්ට අනුව බටහිර ජීව විද්‍යාව බටහිර රසායනික විද්‍යාවට ද බටහිර රසායනික විද්‍යාව බටහිර භෞතික විද්‍යාවට ද ඌනනය කළ හැකි ය. අද අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් පසුපස ගොස්‌ පුද්ගලයා යන්න පරමාණුවලට ඌනනය කළ හැකි ය යන්න විශ්වාස කරමින් එය ප්‍රචලිත කිරීමට උත්සාහ ගනියි. ඒ අතින් ගත් කල ඔහු සුපිරි අනාත්මවාදියෙකි. ඔහු ආත්මයක්‌ නැතැයි පෙන්වීමට උත්සාහ කරයි. ඔහුට අනාත්මවාදීන් අතර අග්‍රස්‌ථානය ලබා දිය යුතු යෑයි සිතමි. ඔහුට තරගයක්‌ දිය හැක්‌කේ බටහිර විද්‍යාඥයන් පසුපස ගොස්‌ මනස මොළයට ඌනනය කිරීමට කතා කරන කාලෝ ෆොන්සේකා මහතාට ය.

එහෙත් මේ සුපිරි අනාත්මවාදීහු බුදුදහමට විරුද්ධ වෙති. ඔවුන් බුදුදහමට පක්‍ෂව කතා කරනවා විය හැකි ය. එහෙත් ඔවුහු බෞද්ධයෝ නො වෙති. බෞද්ධයෝ කර්මය ගැන විශ්වාස කරති. සම්මුති වශයෙන් පුද්ගලයකු ඇතැයි සිතති. පුද්ගලයා එවැනි ම සම්මුතියක්‌ වූ පරමාණුවට ඌනනය කළ හැකි යෑයි විශ්වාස නො කරති. තමන් කරන කියන දේට බෞද්ධයෝ පරමාණුවලට වගකීම නො පවරති.

මේ සුපිරි අනාත්මවාදීන් නො දන්නා කරුණක්‌ වෙයි. එනම් ගර්ඩ්ල් ප්‍රමේයයෙන් ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වී ගොස්‌ ඇති බව ය. ගර්ඩ්ල් ප්‍රමේයට අනුව අංක ගණිතය ඇතුළත් පද්ධතියක ඒ පද්ධතියෙහි සත්‍ය වූ එහෙත් පද්ධතියෙහි ස්‌වසිද්ධිවලින් නිගමනය කළ නොහැකි ප්‍රකාශන ඇත. ඒ අනුව එවැනි පද්ධතියක්‌ පද්ධතියෙහි ස්‌වසිද්ධිවලට ඌනනය කළ නො හැකි ය. අමරතුංග මහතා ගේ සුපිරි අනාත්මවාදය එතැනින් කෙළවර වෙයි.

නලින් ද සිල්වා