logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම 5

පසුගිය ලිපියෙන් මා පැහැදිලි කළේ විද්‍යාවේ දාර්ශනිකයන් විද්‍යාත්මක යථාර්ථවාදය නමැති සංකල්පය ගොඩනගාගෙන විද්‍යාත්මක සත්‍යය යන සංකල්පය දෙස දෑස්‌ යොමු කළේ කෙසේ ද යන්න ය. මේ ලිපි පෙළේ 5 වැනි කොටසින් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ විද්‍යාත්මක සත්‍ය පිළිබඳව දර්ශනිකයන් ඉදිරිපත් කළ අදහස්‌ කිහිපයකි.

ඊට ප්‍රථමයෙන් කිව යුතු දෙයක්‌ ඇත. විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසූ ආචාර්ය නලින් ද සිල්වා මහතාට ඒ බව ඔප්පු කරන්නට බැරි බව මම පෙන්වා දුන්නෙමි. තව ද සාපේක්‍ෂතාවාදය පිළිබඳව පවා මූලික අවබෝධයක්‌ ඔහුට නැති බව ද පෙන්වා දුන්නෙමි. කරගන්නට දෙයක්‌ නො තිබුණු ඔහු අවසානයේ විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට තැත් කළේ බුදුදහමේ එන ද්වියතානුපස්‌සනා සූත්‍රය විකෘති කොට දක්‌වමිනි. ඔහු එතැනට තල්ලු කිරීම ගැන මට ඇත්තේ ඉමහත් සතුටකි. ඒ, ඔහු වැනි බහුභූතවාදීන් ගෙන් විද්‍යාව බේරාගත යුතු නිසා ය. ඒ කාර්යය සිදු කිරීමෙන් පසු මම විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යන මාතෘකාව අළලා ලිපි ලිවීම නතර කළෙමි. එහෙත් ඔහු කටු අත්තක්‌ මෙන් එල්ලීගෙන මට අපහාස කිරීමේ කාර්යයේ යෙදී සිටින බව පෙනේ. මට කියන්නට ඇත්තේ පැරදීම භාරගෙන වෛරය අඩු කරගෙන වෙන අතක්‌ බලාගන්නට කියා ය. ඔහු ගැන වද නො වී මා ලියන්නට අදහස්‌ කළ ලිපි පෙළ ලියන්නේ විදුසර කතෘ මණ්‌ඩලය එසේ කිරීමට මට ආරධනා කළ නිසා ය. ඔහුට පිළිතුරු සැපයීම නිශ්ඵල කාර්යයක්‌ වන්නේ නැවතත් බුදු දහම විකෘති කොට භාවිත කරන්නට අවසානයේ ඔහු පෙලඹෙන බැවිනි.

විද්‍යාත්මක සත්‍යය යන සංකල්පය මතු වී එන්නේ විද්‍යාව සත්‍ය ගවේෂණය විය යුතු යෑයි සිතන නිසා ය. එහෙත් එසේ නො සිතූ දාර්ශනිකයන් ගේ අදහස්‌ ද තර්කානුකූල විය. විද්‍යාත්මක යථාර්ථවාදය පිළිබඳ කෙටි සටහනක්‌ මීට පෙර ලිපියේ සඳහන් කළෙමි. එහි දී මතු වූ වැදගත් කරුණක්‌ වූයේ ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන්වලට ලබා දෙන තත්ත්වය එසේ නො වන ක්‍රියාදාමයන්වලට ද ලබා දිය යුතුය යන්න ය. එම ප්‍රශ්නයෙන් ඔබ්බට යන දාර්ශනිකයන් සිතන්නේ ඕනෑ ම සොයාගැනීමක්‌ තුළ සත්‍යයක්‌ ඇතැයි යන මූලික අදහස ය. මේ ප්‍රශ්න ඈත අතීතයේ පවා සාකච්ඡාවට භාජන වූ ඒවා බව අපි දනිමු. සොක්‍රටීස්‌ බුදුරදුන් වැනි දාර්ශනිකයන් සහ ආගම් කර්තෘවරුන් මේ ප්‍රශ්නය ගැන අදහස්‌ දක්‌වා ඇති බව අපි දනිමු. ඊට පසු කාලය ආතර් ෂොපන්හොවර් වැනි අගණ්‍ය දාර්ශනිකයන් ද පැවසුවේ සත්‍ය දැනගැනීම කළ නොහැකි කරුණක්‌ බවය.

දාර්ශනිsකයන් ඇතුළු ව බොහෝ අය සිතන්නේ සත්‍යය සහ යථාර්ථය අනුරූපී බව ය. නැතිනම් සමාන බව ය. මිනිසා ගේ මනසින් වටහාගත් දෙයක්‌ සත්‍ය ලෙස සැලකීම කළ හැකි දෙයක්‌ ද යන ප්‍රශ්නය මෙතැන දී පැනනගී. මිනිසාට තම මනස සහ ඉන් බාහිර ලෝකය යන දෙක ම එක විට වටහාගැනීම කළ නොහැකි දෙයකි. එසේ ම ඒ දෙක අතර ඇති සම්බන්ධය වටහාගැනීම කළ නොහැකි දෙයකි. එම නිසා සත්‍යය සහ මනසින් බාහිර වූ ලෝකයේ යථාර්ථය අනුරූපී යෑයි සැලකිය හැකි ද? මේ ප්‍රශ්නය මතු වන්නේ විද්‍යාව සත්‍ය ගවේෂණය විය යුතු යෑයි සිතන නිසා ය. විද්‍යාව සත්‍ය ගවේෂණය නො වන්නේ නම් එය කුමක්‌ විය හැකි ද? මිනිස්‌ මනසින් දැනගන්නා සත්‍ය සහ මිනිස්‌ මනසට බාහිර වූ ලෝකයේ යථාර්ථය එකක්‌ විය යුතු ය යන අදහස පෙරදැරි කරගන්නා අය විද්‍යාව සත්‍ය ගවේෂණය විය යුතු ය යන මතය ඉදිරිපත් කරති. එනමුත් ඇතැම් දාර්ශනිකයන් ගේ මතය වන්නේ විද්‍යාව භාවිත කළ යුත්තේ ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් පිළිබඳ අනාවැකි පළ කිරීම සඳහා මිස සත්‍ය සෙවීම සඳහා නො වන බව ය. සත්‍ය සෙවීම විද්‍යාවට කළ නොහැකි බව ඔවුන් විශ්වාස කරන බව පෙනේ. විද්‍යාත්මක සත්‍ය විය යුත්තේ මෙවැනි ක්‍රමවේදයකට අවතීර්ණ වීම සහ ඉන් පල ප්‍රයෝජන ලබාගැනීම බව ඔවුන් ගේ මතය වී ඇත. ගුරුත්වාකර්ෂණය නිසා අපට පොළොව මත ඇවිදිය හැකි ය. ගුරුත්වාකර්ෂණය නැති නම් අපට එය කළ නො හැකි ය. අප ආකාසයේ පා වී යන්නට ඉඩ ඇත. හඳ මත එසේ සිදු විය හැකි වන්නේ එහි ගුරුත්වාකර්ෂණ බලය අඩු නිසා ය. මෙය ද සත්‍යය? විද්‍යාව සොයන්නේ මෙවැනි සත්‍යයක්‌ ද?

සත්‍ය යනුවෙන් අප හඳුන්වන්නේ කුමක්‌ ද යන ප්‍රශ්නය සලකා බැලිය යුතු ය. යමක්‌ සිදු වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට විද්‍යාව උත්තර සැපයීමට තැත් කරයි. ලබා දෙන උත්තරය හරි හෝ වැරැදි හෝ විය හැකි ය. එම උත්තරය භාවිත කොට යම් කිසි ප්‍රයෝජනයක්‌ ලබාගැනීමට පුළුවන් විය හැකි ය. එහෙත් එම ප්‍රශ්නය වෙනස්‌ විදියකට ඇසුවොත් උත්තරය කුමක්‌ විය හැකි ද? යමක්‌ සිදු වන්නේ ඇයි ද යන ප්‍රශ්නයට උත්තර සැපයීම විද්‍යාවට කළ හැකි ද? උත්තරය තවත් ප්‍රශ්නයකට ඉඩ සලසනවා හැරෙන්නට මෙවැනි ප්‍රශ්නයකට අවසාන පිළිතුර ලෙස පිළිගත හැකි උත්තරයක්‌ විද්‍යාව මෙතෙක්‌ ලබා දී නැත. උදාහරණයක්‌ ලෙස ගුරුත්වාකර්ෂණය ගෙන බලමු. ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ ඇයි ද යන ප්‍රශ්නයට උත්තරයක්‌ ලෙස කිව හැක්‌කේ සියලු ග්‍රහ වස්‌තූන් එකිනෙකට සමතුලිත ව චලනය වීම සඳහා ගුරුත්වාකර්ෂණය අත්‍යවශ්‍ය බවය. එහෙත් මෙය අප ගේ ප්‍රශ්නයට පිළිතුරු නො වන බව තවත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් පෙන්වා දිය හැකි ය. ග්‍රහවස්‌තූන් සමතුලිතව චලනය වන්නේ කුමක්‌ පිණිස ද යන ප්‍රශ්නය ඇසිය හැකි ය. මෙලෙස ප්‍රශ්න ඇසීමේ දී සිදු වන්නේ ග්‍රහ වස්‌තුන් සහ අප සමඟ අනෙකුත් ජීවීන් කුමක්‌ පිණිස පවතින්නේ ද යන ප්‍රශ්නය අවසානයේ දී මතු වීම ය. මේ ප්‍රශ්නයට උත්තරයක්‌ විද්‍යාව මගින් ලබා ගත හැකි ද? සමහර විද්‍යා දාර්ශනිsකයන් ගේ අදහස වන්නේ එය කළ හැකි බව ය. වෙනත් අය පවසන්නේ එය කළ නොහැකි බව ය.

විශ්වය පවතින්නේ කුමක්‌ සඳහා ද? අප ජීවත් වන්නේ ඇයි ද? වැනි ප්‍රශ්නවලට උත්තර සපයාගැනීමට විද්‍යාඥයෝ ද දාර්ශනිකයෝ ද සැම දා වෙහෙස දැරූ හ. හැම දේට ම සරිලන එක මතවාදයක්‌ (Theory of Everything) නිර්මාණය කිරීමට ඔවුන් වෙහෙසුණේ එම නිසා ය. මේ කරුණ පිළිබඳව මීට පෙර ලිපියක සැකෙවින් සඳහන් කොට ඇත.

එක ම මතවාදය සෑම භෞතික ක්‍රියාදාමයක්‌ ම පහදා දී ඒවා සම්බන්ධ කිරීමේ හැකියාව ඇති සැම පර්යේෂණයක ම ප්‍රතිඵල පිළිබඳව අනාවැකි පළ කළ හැකි මතවාදයක්‌ විය යුතු ය. මෙතැන දී වැදගත් වන්නේ භෞතික විද්‍යාවේ ඉතා ම සාර්ථක වූ මතවාද දෙකක්‌ වන සාධාරණ සාපේක්‌ෂතාවාදය සහ ක්‌වොන්ටම් මතවාදය එකතු කිරීමේ හැකියාවක්‌ ඇති එක ම මතවාදයක්‌ ගොඩනගා ගැනීම ය. සාධාරණ සාපේක්‌ෂතාවාදය මඟින් ගුරුත්වාකර්ෂණය සහ අවකාශ කාලය පහදා දීමට සමත් වී ඇත. ක්‌වොන්ටම් මතවාදය විසින් ලෝකය සෑදී ඇති ද්‍රව්‍යවල ව්‍යqහය සහ ගුරුත්වාකර්ෂණය නො වන බල තුන පිළිබඳව පහදා දීමක්‌ සිදු කෙරෙයි. ගුරුත්වාකර්ෂණය නො වන බල තුන හැඳින්වන්නේ දුබල (Weak Forces)ල ප්‍රබල (Strong Forces) සහ විද්යුත් චුම්බක (Electro - Magnetic) අන්තර් ක්‍රියාවන් යනුවෙනි. මේ ප්‍රයත්නය ඉතා ම අසීරු වන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය (quantum mechanics) විද්යුත් චුම්බක ක්‍ෂේත්‍රය පහදා දීමට යොදාගැනීමේ දී ය. ක්‌වොන්ටම් යාන්ත්‍රණය ඉලෙක්‌ට්‍රොaනවල චලනය සහ එම අවස්‌ථාවේ දී ඇති වන ශක්‌තිය නිකුත් වීම පිළිබඳව පහදා දීමක්‌ කරයි. විද්යුත් චුම්බක ක්‍ෂේත්‍රයේ ද ඉලෙක්‌ට්‍රොaනවල චලනයන් සිදු වේ. එනමුත් විද්යුත් චුම්බක ක්‍ෂේත්‍රයේ සිදු වන ඉලෙක්‌ට්‍රොaන චලනය පිළිබඳව පහදා දීමක්‌ කිරීමට ක්‌වොන්ටම් යාන්ත්‍රණයට නො හැකි වී තිබේ. මේ ප්‍රශ්නය අද වන තෙක්‌ විස¹ගෙන නැත. එනමුත් අනාගතයේ දී එය විස¹ගත නොහැකි යෑයි කිව නොහැකි ය.

අනාගතයේ දී මේ ප්‍රශ්න විසඳේ වි යෑයි බලාපොරොත්තු තබාගත හැක්‌කේ එම ප්‍රයත්නය අත නො හැර පැරැණි ගී්‍රසියේ දාර්ශනිsකයන් ගෙන් පටන් ගෙන විද්වත් අයින්ස්‌ටයින් ගේ කාලය දක්‌වා ද ඊට පසු අද දක්‌වා ද පවතින හෙයිනි. ගී්‍රසියේ එම ප්‍රයත්නය ඇති වූයේ විද්වත් ආකිමිඩිස්‌ ගේ මූලිකත්වයෙන් බව පැවසේ. චීනයේ විද්‍යාව 15 වැනි ශතවර්ෂය වන විට යුරෝපයට වඩා ඉදිරියෙන් වූ බව පෙර ලිපිවල සඳහන් කොට ඇත්තෙමි. එසේ නම් එක ම මතවාදයක්‌ සකසාගැනීමට චීන ජාතික විද්‍යාඥයන් තැත් කළේ නැතැයි කිව නො හැකි ය. මේ ගැන ඉදිරි කාලයේ දී ලිවීමට බලාපොරොත්තු වෙමි. විද්වත් ආකිමිඩිස්‌ තැත් කළේ ස්‌වභාව ධර්මයේ සැම ක්‍රියාදාමයක්‌ ම ස්‌වසිද්ධි කිහිපයක්‌ මගින් පහදා දීමට ය. පරමාණුව යන සංකල්පය ඩෙමොක්‍රිටස්‌ නැමැති ගී්‍රක විද්‍යාඥයා යොදාගත්තේ සැම ක්‍රියාදාමයක්‌ ම සිදු වන්නේ පරමාණුවල චලනය නිසා බව පැවසීමෙනි. පරමාණුවල ගැටීම නිසා මේ දේවල් සිදු වන බව පැරැණි ගී්‍රs්‍රක විද්‍යාඥයෝ පැවසූ හ. පරමාණුවල ගැටීම නමැති සංකල්පය එක ම මතවාදයක්‌ (Theory of Everything) ගොඩනගාගැනීමට දැරූ ප්‍රයත්නයක්‌ ලෙස පිළිගත හැකි ය. ස්‌වභාවධර්මයේ ඇති වන සැම බලයක්‌ ම පරමාණුවල ගැටීම නිසා හටගැනෙන බව ඔවුන් ගේ මතය විය.

ඊට පසු 17 වැනි ශත වර්ෂයේ අග භාගයේ විද්වත් අයිසෙක්‌ නිව්ටන් විසින් ප්‍රකාශයට පත් කරන ලද විශාල දුරක්‌ අතර පැවතිය හැකි ගුරුත්වාකර්ෂණ බලය (Long Distance Gravitational Force) නමැති සංකල්පය නිසා සැම ක්‍රියාදාමයක්‌ ම සිදු වන්නේ පරමාණුවල ගැටීම නිසා නො වන බව පිළිගැනිණ. තව ද විද්වත් නිව්ටන් ගේ සාර්වත්‍රික ගුරුත්වාකර්ෂණ න්‍යාය (Law of Universal Gravitation) විසින් විද්වත් ගැලීලියෝ ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ මතය සහ විද්වත් කෙප්ලර් ගේ ග්‍රහලෝක චලනය පිළිබඳ මතය එක්‌ මතවාදයක්‌ තුළට ගන්නා ලදී. මේ විද්‍යාත්මක වර්ධනයන් එක ම මතවාදයක්‌ සකසාගැනීමේ ඵෙතිහාසික ප්‍රයත්නයන් ලෙස පිළිගත හැකි ය. වර්ෂ 1865 දී ඡේම්ස්‌ ක්‌ලාක්‌ මැක්‌ස්‌වෙල් (James Clerk Maxwell) ඉදිරිපත් කළ විද්යුත් චුම්බකත්වය පිළිබඳ මතවාදය විසින් විදුලිය සහ චුම්බකත්වය අතර ඇති සබැඳිතාව පහදා දෙන ලදී. 19 වැනි සහ 20 වැනි ශතවර්ෂවල දී පෙනී යන්නට වූයේ ප්‍රත්‍යස්‌ථතාව (Elasticity), දුස්‌ස්‍රාවිතාව (Viscosity), සංඝර්ෂණය (Friction) වැනි බලයන් ඇති වන්නේ අංශු අතර ඇති වන විද්යුත් ක්‍රියාවලියක ප්‍රතිඑලයක්‌ ලෙස බව ය. වර්ෂ 1949-1950 කාලයේ දී මයිකල් ෆැරඩේ විදුලිය සහ චුම්බකත්වය ගුරුත්වාකර්ෂණය සමග සබැඳිතාවක්‌ ඇති කරන්නේ දැයි සොයා බැලුවේ ය. එවැනි සබැඳිතාවක්‌ සොයාගැනීමට ඔහුට හැකි වූයේ නැත. වර්ෂ 1920 අග භාගයේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් පහදා දෙන ලද්දේ පරමාණු අතර ඇති වන රසායනික බන්ධන විද්යුත් බලය නිසා ඇති වන බව ය. විද්වත් අයින්ස්‌ටයින් විසින් ඔහු ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය ඉදිරිපත් කරන ලද විට ගුරුත්වාකර්ෂණය සහ විද්යුත් චුම්බකත්වය එකතු කිරීම සඳහා ඉමහත් ප්‍රයත්නයක්‌ දරන ලදී. අයින්ස්‌ටයින් ද මේ මතවාද එකතු කිරීමට ඉමහත් ප්‍රයත්නයක්‌ දැරුවේ ය. එහෙත් ඔහු ගේ ප්‍රයත්නය ද අසාර්ථක විය.

20 වැනි ශත වර්ෂයේ දී දුබල සහ ප්‍රබල බලයන් (Weak and Strong Forces) සොයාගැනීම නිසා එක ම මතවාදයක්‌ නිර්මාණය කිරීම පසුබෑමකට ලක්‌ වූයේ එම බලයෙන් ගුරුත්වාකර්ෂණය සහ විද්යුත් චුම්බකත්වය යන බලයන් සම්පූර්ණයෙන් වෙනස්‌ වූ නිසා ය. මේ කාලයේ දී විද්‍යාඥයන් ගේ ප්‍රයත්නය වූයේ ක්‌වොන්ටම් බලයන් වන විද්යුත් චුම්බකත්වය දුබල සහ ප්‍රබල යන බලයන් පැහැදිලි ලෙස අවබෝධ කරගැනීම ය. 1967-1968 කාලයේ දී විද්යුත් චුම්බකත්වය සහ දුබල යන බලයන් එකතු කිරීමට විද්‍යාඥයන් කණ්‌ඩායමකට හැකි විය. එම එකතු කිරීමෙන් නිර්මාණය වූ බලය විද්යුත් - දුබල බලය ලෙස හැඳින්විණි. එලෙස බලය නමැති සංකල්පය වර්ධනය වන්නට විය.

එක ම මතවාදය (Theory of Everything) පිළිබඳ අද පවතින තත්ත්වය ලෙස පිළිගත හැක්‌කේ කරුණු දෙකක්‌ නිසා මෙය සාර්ථක වී නැති බව ය. එකක්‌ නම් ප්‍රබල සහ විද්යුත් - දුබල නමැති බලයන් එකතු කිරීමට නොහැකි වීම ය. අනෙක ස්‌වභාවධර්මයේ මූලික අන්තර්ක්‍රියා වන ගුරුත්වාකර්ෂණය ප්‍රබල අන්තර්ක්‍රියා දුබල අන්තර්ක්‍රියා සහ විද්යුත් චුම්බකත්වය ඒ යටතට ගත යුතු ව ඇත. මෙය සිදු වී නැත. එහෙත් අනාගතයේ දී එය සිදු විය හැකි බව සමහර දාර්ශනිකයන් ගේ මතය වේ. වෙනත් දාර්ශනිකයන් ගේ මතය වී ඇත්තේ එය කවර දා වත් සිදු විය නොහැකි බව ය. මේ ගැන ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc