logo3.gif (702 bytes)

HOME


අමරතුංග ගේ ආකෘතිය

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට ලැබී ඇති ජනප්‍රිය ඉංගිරිසි පොත හෝ පොත් හෝ තමන්ට තේරෙන පරිදි උපුටා දැක්‌වීමට ගොස්‌ අමාරුවේ වැටෙන්නේ එහි ඇත්තේ බොහෝ විට ඔහුට කෙසේ වත් නො තේරෙන බටහිර භෞතික විද්‍යාව සම්බන්ධ කරුණු බැවිනි. අමරතුංග මහතා උසස්‌ පෙළ පරීක්‌ෂණයෙන් පසු ඉගෙනගත් භෞතික විද්‍යාවක්‌ නැත. ඔහු කාලෝ ෆොaන්සේකා මෙන් ම බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව ගැන දනියි. ඒ ජනප්‍රිය පොතපත කියවීමෙනි. එහෙත් ඔවුන් දෙදෙනා ගෙන් එක්‌ අයෙකුට වත් බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ නැත. ඒ අවබෝධය ලබාගැනීමට බටහිර ගණිතය පිළිබඳ අවබෝධයක්‌ අවශ්‍ය වෙයි. එහෙත් ඔවුන්ට ඒ අවබෝධය නැත. මා සමග මුහුණට මුහුණ කරන සංවාදයකට හෝ විවාදයකට එළඹෙන්නේ නම් විනාඩි දහයකින් ඔවුන් ගේ අනවබෝධය හෙළිදරවු කරමි.

අමරතුංග මහතා තම දෙසැම්බර් 03 ලිපියෙන් අගාධයෙන් අගාධයට යයි. බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යයක්‌ හෝ සත්‍ය කරා ළඟා වීමක්‌ හෝ නැති බව බටහිර දාර්ශනිකයන් ම උපුටා දක්‌වමින් ඔහු පවසයි. දැන් ඔහු කතා කරන්නේ ඊනියා විද්‍යාත්මක යථාර්ථයක්‌ හා විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන ය. ඔහු මෙසේ කියයි. "මතවාදයක්‌ තුළ සම්පූර්ණ සත්‍යතාවක්‌ බලාපොරොත්තු විය නොහැකි බව විද්‍යාත්මක යථාර්ථවාදීහු පිළිගත් හ. ඒ නමුත් එහි කොටස්‌ තුළ වුව ද සත්‍යතාවක්‌ තීබීම සාර්ථකත්වය සහ සත්‍යය සම්බන්ධ කිරීමේ ව්‍යායාමයට ඉතා බලවත් රුකුලක්‌ බව ඔවුන් ගේ අදහස විය. තව ද යම් අවස්‌ථාවල දී සාර්ථකත්වය ර¹ පවතින්නේ තාවකාලිකව ඉන්ද්‍රිය ගෝචර නො වූ ක්‍රියාදාමයන් පිළිබඳව යම් අදහසක්‌ ඇති කරගැනීමේ හැකියාව මත බව ඔවුහු පවසති. මතවාදයක්‌ සම්පූර්ණයෙන් සත්‍ය හෝ අසත්‍ය ලෙස සැලකිය නොහැකි බව ඔවුන් පිළිගන්නා අතර ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් යම් දුරකට පිළිගන්නා අන්දම ඒ ලෙසින් පහදා දීමට ඔවුහු සමත් වූ හ. මෙලෙස විද්‍යාත්මක සත්‍යය (Scientific truth) යන සංකල්පය වෙත ඔවුහු පැමිණිය හ. මේ පිළිබඳව ඉදිරියේ දී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි." අපි මේ බංකොලොත් නිගමන ගැන පසුව සාකච්ඡා කරමු. එහෙත් දැනට කිව යුත්තේ බටහිර විද්‍යාවේ ප්‍රවාදවල (අමරතුංග මහතා ගේ ඊනියා මතවාද) සත්‍යයක්‌ නැති බවත් එයින් ඊනියා යථාර්ථයක්‌ පිළිsබිඹු නො වන බවත් බටහිර දාර්ශනිකයන්ට වුව ද පිළිගැනීමට සිදු වී ඇති බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක යථාර්ථයක්‌ හා විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන කියවන්නේ එබැවිනි.

අප නැවතත් අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියට අවධානය යොමු කරන්නේ දෙසැම්බර් 03 වැනි දා ලිපියෙහි සඳහන් කරුණු පසුව සැලකිල්ලට ගැනීමේ බලාපොරොත්තුවෙනි. අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. "මෙහි එක්‌ ප්‍රතිඑලයක්‌ වූයේ අර්ථවිචාර අවබෝධය (Semantic Conception) බිහි වීම ය. එම සංකල්පයට අනුව මතවාද (Theory) වනාහි ආකෘති සමූහයක එකමුතුවක්‌ (Collection of Models) ලෙස සැලකේ. මේ ආකෘති ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් සමඟ එකඟ වන්නේ කෙසේ දැයි උපන්‍යාසයකින් (Hypothesis) පහදා දිය යුතු වන්නේ ය. මේ ආකෘති ගණිතමය ස්‌වභාවයක්‌ (Mathematical Structure) ලෙස හෝ භෞතික හැඩයක්‌ ගත් ආකෘතියක්‌ හෝ විය හැකි ය. ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය ගණිතමය ආකෘතියක්‌ ලෙස ඉදිරිපත් වූයේ මේ සංකල්ප බිහි වීමට පෙර වර්ෂ 1905 සහ 1915 දී ය. ජෝන් ඩෝල්ටන් (1766 ඡ් 1844 දී) ඔහු ගේ පරමාණුකවාදය භෞතික හැඩයක්‌ ගත් ආකෘතියක්‌ ලෙස ඉදිරිපත් කළේ ඊටත් පෙර ය. මොවුන් ගේ අදහස්‌ සහ නිපැයුම් ඉහත සඳහන් අර්ථවිචාර සංකල්පය වර්ධනය වීමට රුකුලක්‌ වූවාට සැක නැත. මින් ඔප්පු වන්නේ ද විද්‍යාව කඩින් කඩ නො ව අවිච්äන්න වර්ධනයක්‌ පෙන්නුම් කරන බව ය. තෝමස්‌ කූන් ගේ සුසමාදර්ශ සංකල්පය ද මින් නිශ්ප්‍රභ කළ හැකි ය."

අමරතුංග මහතා කරුණු ඉදිරිපත් කරන්නේ ඔහු වෙනුවෙන් නම් නො වේ. ඇතැම් විට ඒ ඒ මහතා දැන් කියවන පොතේ ඇති කරුණු අවබෝධයකින් තොර ව ඉදිරිපත් කරනවා විය හැකි ය. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද (අමරතුංග මහතා ගේ ඊනියා මතවාද) යනු ආකෘති එකතුවකි. එයින් කියෑවෙන්නේ කුමක්‌ ද? ප්‍රවාද යනු ආකෘතින්හි එකතුවක්‌ නම් ප්‍රවාද ඊනියා සත්‍ය විය නොහැකි ය. වැඩිම වුව හොත් ප්‍රවාද යනු ඊනියා සත්‍යයෙහි ආකෘතීන් වෙයි. එයින් කියෑවෙනුයේ ඇතැම් බටහිර දාර්ශනිකයන්ට අනුව බටහිර විද්‍යාවෙහි දී කෙරෙනුයේ ඊනියා සත්‍යයට ආකෘති සැපයීම ය. මෙහි දී ප්‍රශ්නයක්‌ වනුයේ තමන් නො දන්නා සත්‍යයක්‌ සඳහා බටහිර විද්‍යාවෙහි ආකෘති තනන බව මේ බටහිර දාර්ශනිකයන් දන්නේ කෙසේ ද යන්න ය. බටහිර විද්‍යාඥයෝ ඊනියා සත්‍යය නො දනිති. එහෙත් ඔවුහු තමන් නො දන්නා සත්‍යයට ආකෘති තනති. ඔවුන් එසේ කරන්නේ කෙසේ ද?

අද ලංකාවේ ද ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ ඉටි රූප නිර්මාණය කිරීමේ කලාවක්‌ වෙයි. මේ ඉටි රූප නිර්මාණය කරන්නේ අප කවුරුත් පාහේ දන්නා පුද්ගලයන් ගේ ආකෘති ලෙස ය. මෙහි දී ආකෘතියක්‌ නිර්මාණය කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නො න`ගී. එයට හේතුව ආකෘතියෙන් නිරූපණය වන පුද්ගලයා ගැන වැටහීමක්‌ ආකෘතිය නිර්මාණය කරන කලාකරුවාට තිබීම ය. එහෙත් බටහිර විද්‍යාඥයා ආකෘති නිර්මාණය කරන්නේ තමන් නො දන්නා ඊනියා යථාර්ථයක්‌ නිරූපණය කිරීමට ය. එසේ නම් එයට ආකෘති නිර්මාණයක්‌ යෑයි කියන්නේ කෙසේ ද?

බටහිර විද්‍යාඥයා කරන්නේ අනුමිනිතයක්‌ (Guess) ඉදිරිපත් කිරීම පමණකි. (ඉංගිරිසියෙන් ඉන්ෆරන්ස්‌ - nference - යන්නට යෙදෙන්නේ අනුමානය යන්න ය. ඒ අනුමානය අනුමිනිතය සම`ග පටලවා ගත යුතු නො වේ.) එය හුදු හිතළුවක්‌ පමණකි. බටහිර විද්‍යාඥයෝ යම් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ තේරුම් කර දීම සඳහා අනුමිනිත, එනම් හිතළු කිහිපයක්‌ ඉදිරිපත් කරති. මේ හිතළු පට්‌ටපල් බොරු ය. ඒ හිතළු පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. බටහිර විද්‍යාඥයෝ තම පට්‌ටපල් බොරු වූ අනුමිනිත ආධාරයෙන් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දීමට උත්සාහ කරති.

ඔවුන් එහි දී කරන්නේ තම හිතළු ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් යම් නිගමනවලට පැමිණීම ය. ඉන්පසු ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සන්සන්දය කිරීම ය. එහි දී කිසි ම හිතළුවක්‌ ඇසුරෙන් ලබාගන්නා නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සියයට සියයක්‌ එක`ග නො වන බැවින් බටහිර විද්‍යාඥයෝ බටහිර සංඛ්‍යානය යොදාගනිමින් යම් සම්භාවිතාවකට අනුරූප ව තම හිතළුවලින් එකක්‌ හෝ කිහිපයක්‌ හෝ අදාළ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් කරන්නේ යෑයි පවසති.

මේ ආකෘති වත්මන් බටහිර භෞතික විද්‍යාවෙහි දී නම් බොහෝ විට ඉදිරිපත් වන්නේ බටහිර ගණිතය ආධාරයෙනි. එහෙත් ඒ කිසිවක්‌ ගණිතමය ආකෘති නො වේ. අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදයෙහි (විශේෂ මෙන් ම සාධාරණ) බටහිර ගණිතය යොදාගන්නා බව සැබෑ ය. එහෙත් ඒ එකක්‌ වත් ගණිතමය ආකෘති නො වේ. අයින්ස්‌ටයින් ගේ උපකල්පන, හිතළු කිසිසේත් ම ගණිතමය ආකෘති නො වේ. විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි මෙන් ම සාධාරණ සාපේක්‌ෂතාවාදයෙහි ද උපකල්පන හෙවත් ස්‌වසිද්ධි හෙවත් හිතළු ඉදිරිපත් කෙරී ඇත්තේ ගණිතයක්‌ ආධාරයෙන් නො වේ. කෙසේ වෙතත් අයින්ස්‌ටයින් දක්‌ෂ ගණිතඥයෙක්‌ නො වී ය. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයට අවකාශ - කාල සන්තානය (Continuum) මගින් බටහිර ගණිතය එකතු කළේ ඔහු ගේ ගුරුවරයකු වූ මින්කොවිස්‌කි ය. ඔහු ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදයට ගණිතය එකතු කරනු ලැබුයේ ඔහු ගේ ශිෂ්‍යයන් කිහිප දෙනකු විසිනි.

ඩෝල්ටන් ගේ ආකෘතිය භෞතික හැඩයක්‌ ගත්තේ වී නමුදු එය ද හිතළුවක්‌ පමණකි. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. පරමාණුවක්‌ දැක ඇති, ස්‌පර්ශ කර ඇති, පුද්ගලයෙකු වේ ද? මේ හිතළු, පට්‌ටපල් බොරු ය. එහෙත් පට්‌ටපල් බොරු යොදාගනිමින් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මෙහි දී බටහිර විද්‍යාවට පිහිටට එන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ද බොරු වීම ය. මම යන්න මොන තරම් බොරුවක්‌ දැයි සිංහල බෞද්ධයෝ දනිති. එහෙත් මේ බොරු නොමැති ව අපට ජීවත් විය නො හැකි ය. බටහිර විද්‍යාවෙහි දී කෙරෙන්නේ බොරු පට්‌ටපල් බොරුවලින් තේරුම් කිරීම ය. අනෙක්‌ දැනුම් පද්ධතිවල බොරු, බොරුවලින් ම තේරුම් කෙරෙයි. මා දන්නා බුදුදහම දැනුම් පද්ධතියක්‌ නො වේ. එහි දී කෙරෙන්නේ දැනුම් පද්ධතිවලින් ඉවත් වීම ය.

මේ කිසිවකින් බටහිර විද්‍යාව අවිච්äන්න ව වැඩෙන පද්ධතියක්‌ යෑයි ගම්‍ය නො වේ. අයින්ස්‌ටයින් හා නිවුටන් අතර හෝ ඩෝල්ටන් හා බෝර් අතර හෝ එවැනි අවිච්äන්න සම්බන්ධයක්‌ නැත. එබැවින් අමරතුංග මහතා ඉදිරිපත් කරන කරුණුවලින් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය කඩින් කඩ සුසමාදර්ශ ඔස්‌සේ සිදු වන බවට පළ කර ඇති මතය සාමාන්‍ය සම්මුතිය යටතේ බොරු වන්නේ නැත. බුදුදහමට අනුව නම් කූන් ද කියා ඇත්තේ බොරු ය. එහෙත් සම්මුතියෙහි ඔහු කියා ඇත්තේ බොරුවක්‌ නො වේ.

කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන්ට මුහුණපෑමට සිදු වන ප්‍රධාන ම කරුණක්‌ නම් පංචෙන්ද්‍රිය ගෝචර නො වන හිතළු හෙවත් පට්‌ටපල් බොරු යොදාගැනීම ය. බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර නො වන දේ නො පිළිගනිති. ඔවුහු පුනබ්භවය, දෙවියන්, ප්‍රේතයන් විශ්වාස නො කරති. එහෙත් ඔවුන්ට පංචෙන්ද්‍රිය ගෝචර නො වන ගුරුත්වාකර්ෂණය ආදී සංකල්ප, ප්‍රවාද පිළිගැනීමට සිදු වී ඇත. එහි දී ඔවුන් වැටී ඇති අගාධය අමරතුංග මහතා සඳහන් කරන දෙයින්a පැහැදිලි වෙයි. නොවැම්බර් 12 වැනි දා ලිපියෙහි ඔහු මෙසේ කියයි.

"ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් විද්‍යාව විසින් විග්‍රහ කිරීමේ දී භාෂාව පරිහරණය කිරීමේ ගැටලු මෙසේ සාකච්ඡා වීම දාර්ශනිකයන් අතින් සිදු විය යුතු ය. ඒ ඉතා ම ගැඹුරු ලෙස සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එනමුත් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන්වල වෙනස දාර්ශනිකයන් ගේ අධ්‍යයනයට සැම විට ම භාජන වීම සිදු විය යුතු ක්‍රියාවකි. ගුරුත්වාකර්ෂණය වැනි ක්‍රියාදාමයන් ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එනමුත් එම ක්‍රියාදාමය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්ත භාවිත කිරීම අත්‍යවශ්‍ය ය."

අමරතුංග මහතා තමා කියන්නේ කුමක්‌ දැයි නො දනියි. ඉහත සඳහන් ඡේදයෙහි අවසන් වාක්‍ය දෙකෙන් ඔහු කියන්නේ කුමක්‌ ද? ගුරුත්වාකර්ෂණය සංකල්පයක්‌ ලෙස ගත්ත ද, ප්‍රවාදයක්‌ ලෙස ගත්ත ද පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි භාවිත කිරීම අත්‍යවශ්‍ය යෑයි අමරතුංග මහතා කියන්නේ එක්‌කෝ ඔහු ගේ පොත ඔහු වැරැදියට තේරුම්ගෙන ඇති බැවිනි. එසේත් නැත්නම් පොත වැරැදි බැවිනි. අමරතුංග මහතා තමා උපුටා ගන්නේ කිනම් පොතකින් දැයි කියන්නේ නම් ඒ උහතෝකෝටිකය විස¹ගත හැකි ය.

එතෙක්‌ මෙහි දි සඳහන් කළ යුත්තේ ගහකින් ගෙඩියක්‌ වැටීම වැනි පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම්ගැනීමට යෑයි කියමින් ගුරුත්වාකර්ෂණය යොදාගැනීම මිස ගුරුත්වාකර්ෂණය පහදා දීම පිණිස එවැනි සංසිද්ධි භාවිත කිරීමක්‌ බටහිර විද්‍යාවෙහි දී සිදු නො වීම ය. අමරතුංග මහතා ගේ අවබෝධය ගැන කියනුම කවරේ ද?

නලින් ද සිල්වා