logo3.gif (702 bytes)

HOME


බටහිර දාර්ශනිකයන් ගේ බංකොළොත් බව

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට නො තේරෙන දේ ජනප්‍රිය ඉංගිරිසි පොතපතින් කියවා සිංහලෙන් ලිවීමට ගොස්‌ අමාරුවේ වැටී ඇත. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද අමාරුවේ වැටී ඇත්තේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්පවලින් තේරුම්ගන්නේ කෙසේ දැයි විස්‌තර කිරීමේ දී ය. අපි අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් ම දීර්ඝ වශයෙන් උපුටා දක්‌වමු. එසේ දීර්ඝ වශයෙන් උපුටා නො දක්‌වා බටහිර විද්‍යා දාර්ශනිකයන් ගේ අවුල තේරුම්ගැනීමට නොහැකි බැවිනි.

කරුණු මෙසේ හෙයින් වර්තමානයේ සමහර විද්‍යා දාර්ශනිකයෝ විද්‍යාත්මක මතවාදයේ ස්‌වභාවය (The Structure of Scientific Theory) පැත්තකට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් එම ප්‍රශ්නය තර්කානුකූල ආනුqභූතිකවාදීන්ට ඉතා වැදගත් වූ බව අප මීට ඉහත දී සඳහන් කොට ඇත. ඔවුන් මතවාදය (Theory) කුමක්‌ දැයි නිර්වචනය කරගෙන තිබිණි. ඊට අනුව මතවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශන (Axiomatic Statements) සහ ඒවායෙන් ලැබෙන නිගාමි එලය (Deductive Consequence) වන්නේ ය. මේ නිර්වචනයට අනුව සාපේක්‌ෂතාවාදය ස්‌වසිද්ධිමූලක (axiomatize) බව පෙන්වා දීමට ඔවුහු සමත් වූ හ. මෙවැනි ක්‍රියාවන් නිශ්එල ක්‍රියාවක්‌ ලෙස සැලකිය නොහැකි ය. ප්‍රායෝගික වූ විද්‍යාව තේරුමක්‌ නැති දාර්ශනික සාකච්ඡාවලින් වෙන් කිරීම පිණිස එවැනි ක්‍රියාවන් වැදගත් වන නිසා ය. මේ සඳහා ඥානාත්මක අර්ථාන්විතභාවය (Cognitive Significance) තහවුරු කිරීම පිණිස නිශ්චිත නිර්ණායක (Precise Criterion) අවශ්‍ය විය. මෙවැනි නිර්ණායක නිර්මාණය කිරීමේ දී භාවිත වන විශේෂ වූ භාෂාව සහ වචන මාලා විද්‍යාත්මක මතවාද පහදා දීම සඳහා සුදුසු දැයි ප්‍රශ්නයක්‌ මතු විය. මේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය බව තර්කානුකූල ආනුභූතිකවාදීහු වටහාගත් හ.

ඊට පිළිතුරු වශයෙන් ඔවුහු භාෂා දෙවර්ගයක්‌ හඳුනාගත් හ. එකක්‌ ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ විස්‌තර කිරීම සඳහා ද, අනෙක එසේ නො වන මතවාද සඳහා ද සුදුසු ය යන්න ඔවුන් ගේ අදහස විය. මෙලෙස Observational Language සහ ඔTheoretical Language වශයෙන් භාෂා දෙවර්ගයක්‌ හඳුනා ගැනිණ.

ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ සහ එසේ නො වන මතවාද අතර ඇති වෙනස මෙලෙස ප්‍රශ්නයක්‌ බවට පත් විය. එම ප්‍රශ්නය භාෂා භාවිතය සහ වචනමාලා සම්පාදනය දක්‌වා වර්ධනය වීම එහි බැරෑරුම්කම විදහා දක්‌වයි. එනමුත් සමහර දාර්ශනිකයන් පැවසුවේ මේ ප්‍රශ්නය භාෂාව මත බලපෑමක්‌ ඇති නො කළ යුතු බව ය. ඔවුන් පැවසුවේ සමහර අවස්‌ථාවල මෙවැනි භාෂාත්මක වෙනසක්‌ දැකිය නොහැකි බව ය. ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ විස්‌තර කිරීමේ දී සමහර අවස්‌ථාවල දී මතවාදාත්මක භාෂාව (Theoretical Language) භාවිත වන බවත් එලෙස ම ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් විස්‌තර කිරීමේ දී නිරීක්‌ෂණ භාෂාව (Observational Language) භාවිත වන බවත් උදාහරණ සහිත ව ඔවුහු පෙන්වා දුන් හ. එක්‌ උදාහරණයක්‌ වූයේ වර්ණාවලික්‌ෂය (Spectroscope) විය.

මෙලෙස භාෂාව පිළිබඳ ප්‍රශ්නය විසඳාගැනීමේ දී වැදගත් දෙයක්‌ සිදු විය. මතවාදාත්මක භාෂාව සහ වචන මාලා ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන් විස්‌තර කිරීම සඳහා භාවිත කළ හැකි බව තර්කානුකූල ආනුභූ=තිකවාදීන්ට පවා පිළිගන්නට සිදු විය. මීට පෙර මතවාදාත්මක භාෂාව පිළිබඳ තැකීමක්‌ ඔවුන් තුළ නො තිබිණි. ද්‍රව්‍ය සෑදී ඇත්තේ කුඩා අංශුවලින් යෑයි පැවසීමේ දී ද්‍රව්‍ය ඉන්ද්‍රිය ගෝචර වන බවත් අංශු එසේ නො වන බවත් අමතක කළ යුතු නැත. ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන් පහදා දීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නො වන දේවල් සහ ඒවාට සම්බන්ධ වචන මාලා භාවිත වන බව මෙතැන දී පැහැදිලි විය යුතු ය. ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් විද්‍යාව විසින් විග්‍රහ කිරීමේ දී භාෂාව පරිහරණය කිරීමේ ගැටලු මෙසේ සාකච්ඡා වීම දාර්ශනිකයන් අතින් සිදු විය යුතු ය. එය ඉතා ම ගැඹුරු ලෙස සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එනමුත් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන්වල වෙනස දාර්ශනිකයන් ගේ අධ්‍යයනයට හැම විට ම භාජන වීම සිදු විය යුතු ක්‍රියාවකි. ගුරුත්වාකර්ෂණය වැනි ක්‍රියාදාමයන් ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එනමුත් එම ක්‍රියාදාමය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්ත භාවිත කිරීම අත්‍යවශ්‍ය ය. එතැන දී භාෂාව පරිහරණය කිරීම ගැටලු සහගත නො විය යුතු ය. තර්කානුකූල ආනුභූතිකවාදීහු මේ ප්‍රශ්නය ගැන මහත් සේ වද වින්දොa ය. එහෙත් එසේ විය යුතු නැති බව ඇමෙරිකානු දාර්ශනිකයකු වන හිලරි පට්‌නම් (Hilary Putnam) පෙන්වා දී ඇත. වර්ණාවලික්‌ෂය (Spectroscope) උදාහරණයක්‌ ලෙස ගෙන ඔහු මේ බව පහදා දී ඇත.

මෙතැන දී අපට වැදගත් වන්නේ විද්‍යා දාර්ශනිකයන් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් වෙන් කොට හැඳිනගන්නා අන්දම ය. ඊට දී ඇති වැදගත්කම ය. උදාහරණයක්‌ ලෙස ගුරුත්වාකර්ෂණය ගත හැකි ය. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එහෙත් එහි ඵල අපට ඉන්ද්‍රිය ගෝචර වන්නේ ය. එම ඵල විද්‍යානුqකූලව පහදා දීමේ දී ගුරුත්වාකර්ෂණය නමැති සංකල්පය ගොඩනැෙග්. මෙහි දී භාෂාව පරිහරණය කිරීමේ අවදානම සමහර දාර්ශනිකයන්ට තීරණාත්මක ලෙස වැදගත් ය. සමහරුන්ට එසේ නැත.

පළමුව සුපුරුදු පරිදි වචන භාවිතය ගැන යමක්‌ කිව යුතු ය. අමරතුංග මහතා මුල දී මෙන් නො ව දැන් වචන ගැන තරමක සැලකිල්ලක්‌ දක්‌වයි. එහෙත් ඔහුට ඒ තවත් වැඩි දියුණු කරගත හැකි ය. භාෂාව පරිහරණය කිරීමේ දී හැකිතාක්‌ පරෙස්‌සම් විය යුතු ය. අමරතුංග මහතා කාගෙ දොa කියමනක්‌ උපුටා දක්‌වමින් (ඔහු මෙය උපුටාගත්තේ කිනම් පොතකින් ද යන්න සඳහන් කළේ නම් මැනවි) භාෂාව පරිහරණය කිරීමේ අවදානමක්‌ ගැන කියයි. ඔහු මෙය තරමක්‌ දුරට වුවත් විස්‌තර කළේ නම් මැනවි. කෙසේ වෙතත් කොග්නිටිව් (Cognitive) යන්නට ඥනන යන්න වඩා යෝග්‍ය වෙයි. පාරිභාෂික ශබ්දමාලාවල සඳහන් වන්නේ ඥනන මිස ඥනාත්මක යන්න නො වේ. එමෙන් ම ප්‍රිසයිස්‌ ක්‍රයිටීරයන් (Precise Criterion) යන්නෙහි ප්‍රිසයිස්‌ යන්න යෙදෙන්නේ නිශ්චිත යන අර්ථයෙන් නො වේ. ප්‍රිසයිස්‌ සඳහා මලලසේකර ශබ්දකෝෂයෙහි ඇත්තේ යථාතථ්‍ය, නිරවද්‍ය, නියම, ඒකාන්ත, නිශ්චිත, නියත යන වචන ය. මෙහි දී සුදුසු වචන වනුයේ යථාතථ්‍ය හා නිරවද්‍ය යන්න ය. එයින් ද පාරිභාෂික ශබ්දමාලාවෙහි සඳහන් වන්නේ යථාතථ්‍ය යන්න ය. යථාව හා තථ්‍ය පිළිබඳ දාර්ශනික ගැටලු වෙතත්, ඒ අමතක කර යථාතථ්‍ය යන්න යොදාගැනීම යෝග්‍ය යෑයි අදහස්‌ කරමි. ගිය සතියේ ද සඳහන් කළ පරිදි කොන්සික්‌න්ස්‌ (Consequence) යන්න සංවිපාකය විය යුතු ය. ස්‌වසිද්ධිමූලක යනු ඇක්‌සියොමැටික්‌ (Axiomatic) යන්න ය.

අයින්ස්‌ටයිනීය සාපේක්‌ෂතාවාදය (විශේෂ යෑයි සිතමි) ඊනියා ස්‌වසිද්ධිමූලක යෑයි යම් බටහිර දාර්ශනිකයකු පවසන්නේ නම් ඔහුට සාපේක්‌ෂතාවාදය ගැන වැටහීමක්‌ නැති බව කිව යුතු ය. පසුගිය සතියේ ද කී පරිදි බටහිර ගණිතය නම් ස්‌වසිද්ධිමූලක දැනුම් පද්ධතියකි. එහි ස්‌වසිද්ධි හෝ ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගැනීමෙන් ලබාගන්නා නිගමන හෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කර ඒ සත්‍ය දැයි, එනම් එම නිගමන අදාළ සංසිද්ධි සමග සංගත වේ දැයි, සොයා බැලීමේ අවශ්‍යතාවක්‌ පැන නො නගියි. එහෙත් සාපේක්‌ෂතාවාදය එසේ නො වේ. විශේෂ සාපේක්‌ෂතාවාදය පටන් ගැනෙන්නේ උපකල්පන දෙකක්‌ ගෙනහැර දැක්‌වීමෙනි. මේ උපකල්පන ස්‌වසිද්ධි ලෙස සැලකීමේ බාධාවක්‌ නැත. එහෙත් ඉන් ලබාගන්නා නිගමන බටහිර ගණිතයෙහි මෙන් හුදු ප්‍රකාශන (ප්‍රමේය) ලෙස නො පවතියි.

ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ යුතු ව ඇත. ප්‍රශ්නය පැන නගින්නේ එවිට ය. ස්‌වසිද්ධි වියුක්‌ත ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඉන් ලබාගන්නා නිගමන ද පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ යුතු ව ඇත. මෙය ඊනියා මතවාදාත්මක (Theoretical Language) භාෂාවක්‌ හා නිරීක්‌ෂණ භාෂාවක්‌ (Observational Language) අතර ඇති ප්‍රශ්නයක්‌ නො වේ. (මෙය ප්‍රවාදාත්මක භාෂාවක්‌ හා නිරීක්‌ෂණ භාෂාවක්‌ යනුවෙන් නිවැරැදි විය යුතු ය.) ප්‍රවාදාත්මක භාෂාව පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණවල දී ද, නිරීක්‌ෂණීය භාෂාව ඉන්ද්‍රිය ගෝචර නොවන ක්‍රියාවලින් ද යොදාගැනෙන්නේ යෑයි කීමෙන් ප්‍රශ්නයෙන් පලාගිය නො හැකි ය.

ඇතැම් බටහිර දාර්ශනිකයන් මතවාදාත්මක හා නිරීක්‌ෂණීය භාෂා පිළිබඳ ප්‍රකාශ කරන අදහස්‌ නිවැරැදි නො වේ. ඇතැම් වචන පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්‌ත ප්‍රවාදවල දී මෙන් ම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිවල දී ද යොදාගැනෙයි. එහෙත් එයින් අදහස්‌ වන්නේ ඒ ඒ අවස්‌ථාවල අදාළ වචනවලින් එක ම දෙයක්‌ කියෑවෙන බව නො වේ. එක ම වචනය ඒ ඒ සංදර්භයේ දී යෙදෙන්නේ විවිධ අර්ථ ඇති ව ය. පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්පයක්‌ කිසි විටකත් ඒ අරුතෙන් ම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක දී යොදාගත නො හැකි ය. වචනය එක ම වුව ද සංදර්භ වෙනස්‌ වන විට සංකල්ප ද වෙනස්‌ වෙයි. සරල රේඛාව යන්න බටහිර ගණිතයෙහි යෙදෙන අර්ථයෙන් බටහිර භෞතික විද්‍යාවේ දී යොදාගත නො හැකි ය. බටහිර ගණිතයෙහි එන සරල රේඛා සිතෙන් මවාගත නො හැකි ය. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙහි සරල රේඛා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි නම් පංචෙන්ද්‍රිය ගෝචර නො වන, එහෙත් සිතෙන් මවාගන්නා ෆොaටෝනවල ගමන් මාර්ග ය.

ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි එකිනෙක ආකර්ෂණය කෙරෙනුයේ පංචෙන්ද්‍රිය ගෝචර නො වන අංශු හා වස්‌තු ය. මේ වස්‌තු හා අංශු නිරීක්‍ෂණය කළ හැකි නො වේ. ඒ වියුක්‌ත සංකල්ප පමණ ය. එහෙත් අප නිරීක්‍ෂණය කරන්නේ ගසකින් වැටෙන ගෙඩියක්‌ වැනි ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් කියෑවෙන වස්‌තු ය. එපමණක්‌ නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය ම රිටකින් ගැරඩි හැවක්‌ ඉවත් කිරිමේ දී යොදාගන්නා බලය වැනි භෞතික බලයක්‌ නො වේ. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්පයකි. එය පට්‌ටබල් බොරුවක්‌ වූ නිවුටන් ගේ හුදු කතාන්දරයක්‌ පමණකි. කිසිවකුට කිසි දා ගුරුත්වාකර්ෂණ බලය නිරීක්‌ෂණය කළ නො හැකි ය.

නලින් ද සිල්වා