logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම (4 වැනි කොටස)

විද්‍යාවේ දාර්ශනික පදනම සෝපාධික නිගාමි ක්‍රමය (hypothetico-deductive method) දක්‌වා වර්ධනය වූ සැටි ද, එම ක්‍රමයේ දුර්වලතාවන් විසඳාගැනීම පිණිස සම්භාව්‍යතාව (probability), අසත්‍යකරණය (falsification), ස්‌වසිද්ධි මූලික අවබෝධය (axiomatic conception) සහ අර්ථ විචාර අවබෝධය (semantic conception) වැනි සංකල්ප ඉදිරිපත් වූ සැටි ද පිළිබඳව කෙටි විස්‌තරයක්‌ මීට පෙර පළ වූ ලිපිවල සඳහන් විය. මේ සන්ධිස්‌ථාන පසු කරමින් විද්‍යාවේ දාර්ශනිකයන් සියල්ල සඳහා මතවාදයක්‌ සොයාගැනීමේ ප්‍රයත්නය දක්‌වා පැමිණි සැටි පසුගිය ලිපියේ සඳහන් කළෙමි. (විදුසර 12. 11. 14). මේ ලිපි පෙළේ 4 වැනි කොටසින් අදහස්‌ කරන්නේ එම ප්‍රයන්තය වර්ධනය වීමේ දී මතු වූ දාර්ශනික ගැටලු කිහිපයක්‌ පිළිබඳව සාකච්ජා කිරීම ය.

අවශ්‍ය නම් සමාජ විද්‍යාව උදාහරණයක්‌ ලෙස ගෙන ප්‍රශ්නය පටන්ගත හැක්‌කේ කෙසේ දැයි එම ලිපියේ සඳහන් කළෙමි. සමාජීය ක්‍රියාකාරකම් සිදු වන්නේ මිනිසා ගේ මොළයේ ස්‌නායු තුළ සිදු වන ක්‍ෂුද්‍ර භෞතික (micro physics) ක්‍රියාවලියක්‌ ලෙස බව පෙන්වා දුන්නෙමි. මේ සියල්ල සඳහා මතවාදය සැම විද්‍යාවක්‌ ම ආවරණය වන පරිදි නිර්මාණය කළ යුතු බව විද්‍යාඥයෝ වටහාගත් හ. එකිනෙකා අතර සිදු වන ක්‍රියාවන් පවා සිදු වන්නේ මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියා නිසා බව පෙන්වා දිය හැකි බව ඔවුහු වටහාගත් හ. එහෙත් ඉහත සඳහන් අන්දමට මොළයේ ක්‍රියාදාමයන් ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ බවට ඌන (reduction) කිරීම කළ හැකි දෙයක්‌ දැයි ප්‍රශ්නයක්‌ පැනනගී. සියලු විද්‍යාවන් ආවරණය වන පරිදි එක ම මතවාදයක්‌ නිර්මාණය කළ හැකි ද? මනෝ විඥානය ජීව විද්‍යාවට අයත් වන්නකි. එය ක්‍ෂුද්‍ර විද්‍යාවක්‌ දක්‌වා ඌනනය කළ හැකි දැයි දාර්ශනික ප්‍රශ්නයක්‌ පැනනැගීම වළක්‌වා ලිය නොහැකි ය. අප ගේ සිතුම් පැතුම් රසායනික හෝ භෞතික හෝ ප්‍රතික්‍රියාවකට ඌන කළ හැකි ද?

ඌනනය කිරීම යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ දැයි සලකා බැලිය යුතු ය. අර්නස්‌ට්‌ නයිජෙල් (Ernest Nigel) නමැති විද්‍යා දාර්ශනිකයා ස්‌වසිද්ධිමූලික අවබෝධය තුළ සිතා බලමින් කියා සිටියේ ඌනනය වූ මතවාදයක ස්‌වසිද්ධි භාවිත කොට ඌනනය කරන්නා වූ මතවාදයක ස්‌වසිද්ධි ලබාගත හැකි නම් එම මතවාදය විසින් අනෙක ඌනනය කෙරෙන බවයි.

මේ අදහස භාවිත කරගනිමින් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව දක්‌වා ඌනනය කිරීමට ද ඒ ලෙස ම මනෝ විද්‍යාව ස්‌නායු පිළිබඳ විද්‍යාව දක්‌වා ඌනනය කිරීමට ද විද්‍යා දාර්ශනිකයන්ට අවශ්‍ය විය. එහෙත් ප්‍රශ්නය වූයේ ජීව විද්‍යාවේ භාවිත වන වචන මාලාව භෞතික විද්‍යාවේ වචන මාලාවක්‌ සමඟ සම්බන්ධ කිරීමේ දී පාවිචිචි කළ හැකි මූලධර්මයක්‌ සොයාගැනීම උගහට වීම ය. උදාහරණයක්‌ ලෙස ජාන (genes) පිළිබඳ වචන මාලා සහ රසායනික විද්‍යාවේ වචන මාලා විසින් අණුව (molecule) වර්ගීකරණය කෙරෙන්නේ එක ම අන්දමකට හෝ සම්බන්ධ කිරීමට හැකි අන්දමකට හෝ නො වේ. මේ නිසා ඌනනය කිරීම දාර්ශනික ඇසින් බලන විට ලෙහෙසි දෙයක්‌ නො වන බව පෙනෙන්නට ඇත. මේ නිසා සියල්ල සඳහා එක්‌ මතවාදයක්‌ නිර්මාණය කිරීම කළ නොහැකි දෙයක්‌ බව සමහර දාර්ශනිකයන් ගේ අදහස විය. කරුණු මෙසේ හෙයින් අර්ථ විචාර අවබෝධය (sementic conception) විසින් ඉදිරිපත් කෙරෙන මතවාදය යනු ආකෘති එකතුවක්‌ (theory is a collection of models) යන සංකල්පය සැම විට ම අදාළ නො වන බව සමහරුන් ගේ අදහස විය. උදාහරණයක්‌ ලෙස ඔවුන් පෙන්වා දුන්නේ විද්වත් අයිසෙක්‌ නිවුටන් ගේ චලිතය පිළිබඳ දෙවැනි න්‍යාය සැම විට අදාළ නො වන බව ය. ආකෘති අදාළ වන්නේ යම් කිසි පිළිවෙළක්‌ පවතින අවස්‌ථාවල දී පමණක්‌ බව ය. කුලුනක මුදුනේ සිට මුදල් නෝට්‌ටුවක්‌ අතහැරිය හොත් එය වැටෙන්නේ නිවුටන් ගේ ඉහත සඳහන් න්‍යායට අනුව නො වන බව ඔවුහු පවසති. අභ්‍යාවකාශ වස්‌තුන් ගේ හෝ ලම්බනයේ (pendulum) හෝ චලනය එම න්‍යායට අනුව සිදු වනවා වන්නට පුළුවන. එහෙත් සැම විට එම න්‍යාය භාවිත කළ නොහැකි බව ඔවුන් ගේ අදහස විය.

තව ද විද්‍යාත්මක වර්ධනය වනාහි සත්‍යයේ එකතු වීමක්‌ (accumulation of truth) යන සාමාන්‍ය අදහස ද මේ නිසා අර්බුදයට භාජන විය. තර්කානුකූල ආනුභූතිකවාදීන් ගේ (logical empiricist) අදහස්‌ මේ ලෙස විවේචනයට භාජන විය. ඉතා ම වැදගත් වූ විද්‍යාත්මක සොයාගැනීම් පවා සත්‍ය ගවේෂණයේ ප්‍රතිඑලයක්‌ හෝ සත්‍ය එකතු විමේ ප්‍රතිඑලයක්‌ ලෙස සැලකිය නොහැකි බව ද මේ විවේචකයන් ගේ අදහස විය. ඔවුන් පැවසුවේ වැදගත් වූ විද්‍යාත්මක සොයාගැනීම් සිදු වූයේ තර්කානුකූල ආනුභුතිකවාදීන් ගේ අදහස්‌වලට අනුකූලව ක්‍රියා කිරීමෙන් නො වන බව ය. මේ අදහසට විරුද්ධ මතධාරීහු තම අදහස්‌ ද ඉතා ම තර්කානුකූල ලෙස ඉදිරිපත් කරන්නට වූ හ. තර්කානුකූල ආනුභූතිsවාදය හෝ එවැනි සංකල්ප හෝ නීතිරීති හෝ විද්‍යාවේ වර්ධනයට අවශ්‍ය නැතැයි පවසන ලද්දේ එන්. ආර්. හැන්සන් (1924-67), ස්‌ටීවන් ටොල්මින්, පෝල් ෆෙයාර්බෙන්ඩ් සහ තෝමස්‌ කූන් වැනි අය විසිනි. ඔවුහු විද්‍යාත්මක වර්ධනයේ ඉතිභාසය පොත පතින් හදාරා අදහස්‌ ඉදිරිපත් කළ අය වූ හ. ෆෙයාර්බෙන්ඩ් සහ තෝමස්‌ කූන් ගැන මා මීට පෙර විස්‌තර සහිතව ලියා ඇති හෙයින් මේ කරුණු පිළිබඳව නැවතත් ලිවීම අනවශ්‍ය ය.

විද්‍යාව වනාහි සත්‍ය ගවේෂණය විය යුතු යෑයි සිතු දාර්ශනිකයෝ ඒ පිළිබඳව සිය අදහස්‌ ඉදිරිපත් කරන්නට වූ හ. කාල් පොපර් ගේ අසත්‍යකරණය (falsification) නමැති සංකල්ප රාමුව තුළ ක්‍රියා කළ ඉම්රෙ ලැකටොස්‌ (Imre Lakatos 1922-74) නමැති දාර්ශනිකයා කියා සිටියේ විද්‍යාවේ වර්ධනය සැලකිය යුත්තේ එහි තුළ ඇති සත්‍යයේ වර්ධනයක්‌ ලෙස බව ය. මේ අදහස විද්‍යාවේ ක්‍රමවේදය විසින් සැලකිල්ලට ගනු ලැබිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. ඇමෙරිකානු දාර්ශනිකයකු වූ ලැරි ලෝඩන් (Larry Laudon) විද්‍යාවේ වර්ධනය මැනිය යුත්තේ ඊට ඇති ප්‍රශ්න විසඳීමේ හැකියාව සැලකිල්ලට ගෙන බව පැවසී ය. ප්‍රශ්න විසඳීමේ හැකියාව මැනිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. එහෙත් ප්‍රශ්නයක්‌ විසඳී ඇතැයි නිගමනය කරන විට සත්‍යය කුමක්‌ දැයි යන සංකල්පය අදාළ වන බව සිතිය යුතු ය. මක්‌නිසා ද ප්‍රශ්න විසඳනවා යන්නෙන් අදහස්‌ වන්නේ සත්‍ය වූ විසඳුමක්‌ හෝ පිළිතුරක්‌ හෝ ලබාගැනීම බව අමතක කළ නොහැකි නිසා ය.

විද්‍යාත්මක වර්ධනයක්‌ ලෙස සැලකිය හැකි දෙයක්‌ නැති බව පැවසූ තෝමස්‌ කූන් වැනි අය ගේ අදහස්‌වලට විරුද්ධ වූ දාර්ශනිකයන්ට අවශ්‍ය වූයේ විද්‍යාවේ වර්ධනය සත්‍යයට කිට්‌ටු වෙමින් පවතින බව පෙන්වා දීමට ය. ඔවුන් ගේ එම ප්‍රයත්නයට ප්‍රශ්නයක්‌ වූයේ සත්‍යය යන සංකල්පය හෝ ඊට කිට්‌ටු වනවා යන අදහස හෝ පැහැදිලි ලෙස අවබෝධ කොටගෙන නො තිබුණු බව ය. මේ අර්බුදය නිසා විද්‍යාත්මක යථාර්ථවාදයේ ස්‌වශක්‌තාව පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක ඇති වන්නට විය. විද්‍යාව හදාරන්නෝ, දාර්ශනිකයෝ, ඉතිභාසඥයෝ සහ වෙනත් චින්තකයෝ මේ විවාදයට සම්බන්ධ වූ හ. විද්‍යාත්මක යථාර්ථවාදය (scientific realism) කරළියට පැමිණියේ මේ අන්දමට ය.

විද්‍යාත්මක යථාර්ථවාදය පිළිබඳ සංවාදය තර්කානුකූල ආනුභූතිකවාදය තුළ සිදු වූ විද්‍යාත්මක මතවාද (scientific theories) ගැන ඉදිරිපත් වූ අදහස්‌වල ද අඩංගු විය. මතවාදාත්මක භාෂාව (theoretical language) තේරුමක්‌ නැතැයි පැවසූ දාර්ශනිකයන් ගේ මතය වූයේ විද්‍යාත්මක මතවාදවල හරයක්‌ හෝ තේරුමක්‌ හෝ නැත්තේ ඒවායින් විස්‌තර වන ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් ගේ යථාර්ථය පිළිබඳ ප්‍රශ්න තිබෙන බව ය. ඔවුන් උදාහරණයක්‌ ලෙස ඉලෙක්‌ට්‍රොaනය ගෙන පැවසුවේ ඉලෙක්‌ට්‍රොaනය යන වචනය ඉතා කුඩා ඉන්ද්‍රිය ගෝචර නො වන අංශු සඳහා භාවිත කිරීම වැරැදි බව ය. ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන් පිළිබඳ අනාවැකි පළ කිරීමේ දී එම වචනය භාවිත කිරීම වරදක්‌ බව ද ඔවුහු පැවසූ හ. මේ අදහසට විරුද්ධ වූ අය පැවසුවේ ඉලෙක්‌ට්‍රොaනයේ හෝ එම අංශුවේ හෝ යථාර්ථය විශ්වාස නො කර රසායනික බන්ධන සහ මූලද්‍රව්‍ය එකතු වී සංකිර්ණ ද්‍රව්‍ය සෑදෙන අන්දම වටහාගැනීම නො කළ හැකි බව ය.

මේ සංවාදය යථාර්ථවාදීන් ගේ පැත්තට වාසි ලෙස හැරුණේ 1960-70 යන කාල පරිච්ඡේදයේ වර්ධනය වූ නව අදහස්‌ නිසා ය. මේවායින් ඉතා ම වැදගත් වූයේ ඇමෙරිකානු දාර්ශනිකයකු වූ ග්‍රෝවර් මැක්‌ස්‌වෙල් (Grover Maxwell 1918-81) ඉදිරිපත් කළ අදහසකි. ඔහු කියා සිටියේ ඉන්ද්‍රිය ගෝචර යන ක්‍රියාදාමය භාවිත කරන උපකරණවලට අනුව වෙනස්‌ වන බව ය. සමහරුන්ට උපැස්‌ යුවලක්‌ පැළඳීමෙන් ඇස්‌වලට පෙනෙන දේ වැඩි කරගත හැකි ය. අණ්‌වික්‌ෂය භාවිත කිරීමෙන් සාමාන්‍ය ඇසට නො පෙනෙන දේ දැකගත හැකි ය. මේ නිසා සිදු වන්නේ ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් හෝ දේවල් වෙන් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය උද්ගත වීම ය. එම නිසා යමක්‌ ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා ම එය නො පවතින බව පැවසිය නොහැකි ය. වෙනත් මාර්ගවලින් ඉන්ද්‍රිය ගෝචර බව ලබාගත හැකි බැවිනි. අතීතයේ ඉන්ද්‍රිය ගෝචර නො වේ යෑයි සැලකූ දේවල් වර්තමානයේ ඉන්ද්‍රිය ගොAචර ලෙස පිළිගැනෙන අවස්‌ථා ඇති බව ඔවුහු පෙන්වා දෙති. එසේ ම අනාගතයේ ද එසේ විය හැකි ය.

මීටත් වඩා වැදගත් වූ අදහසක්‌ ඉදිරිපත් කළේ සැල්මන් (Salmon) නමැති දාර්ශනිකයා ය. පරමාණුවේ යථාර්ථය තහවුරු කිරීමට භාවිත කරන නොයෙකුත් එකිනෙකින් වෙනස්‌ වූ ක්‍රමවේදයන් ගෙන් ලැබෙන ප්‍රතිඑල එක හා සමාන බව ඔහු පෙන්වා දුන්නේ ය. ඉන්ද්‍රිය ගෝචර නො වන දේවල් නො පවතින්නේ නම් මෙය මෙසේ සිදු විය නොහැකි බව ඔහු පැවසුවේ ය. එලෙස ම J. J. ස්‌මාර්ට්‌, පුට්‌නම් සහ රිචඩ් බොයිඩ් (J J C Smart, Putnum" Richard Boyd) යන දාර්ශනිකයෝ ද ඉතා ම වැදගත් අදහසක්‌ ඉදිරිපත් කළෝ ය. රසායනික ප්‍රතික්‍රියාවල දී නිකුත් වන ශක්‌ති ප්‍රමාණය ඉතා ම සාර්ථක ලෙස නිශ්චිත ව ගණනය කිරීම පිණිස භාවිත කළ හැකි මතවාද කිහිපයක්‌ ඇති බව ඔවුහු පෙන්වා දුන් හ. මේ මතවාද යම්කිසි ප්‍රමාණයකට සත්‍ය නො වූයේ නම් මේ ගණනය කිරීමේ දී සෑම අවස්‌ථාවක ම නිශ්චිත අගයක්‌ දීම විස්‌මයට කරුණක්‌ බව ද ඔවුහු පැවසුවෝ ය. එහි සත්‍ය භාවයක්‌ නැතැයි පැවසිය නොහැකි බව ඔවුන් ගේ අදහස විය. කරුණු මෙසේ වුව ද විද්‍යාත්මක යථාර්ථවාදයට විරුද්ධ වූ අදහස්‌ ඉදිරිපත් වීම නැවතුණේ නැත. වර්ෂ 1990 දශකයේ දී වැන් ෆ්රැසන් (Van Frassen) නමැති දාර්ශනිකයා පැවසුවේ යම් මතවාදයක්‌ එහි ඇති ඉන්ද්‍රිය ගෝචර නො වන අන්තර්ගතය භාවිත කොට ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයක්‌ පහදා දුන් පලියට එම මතවාදය සත්‍යයට කිට්‌ටු යෑයි පැවසිය නොහැකි බව ය. අර්ථවිචාර අවබෝධය (sementic conception) යන සංකල්පයේ භාවිත වන ආකෘති (models) සත්‍ය ලෙස විශ්වාසයක්‌ තබාගැනීම අනවශ්‍ය බව ඔහු පැවසී ය. අවශ්‍ය වන්නේ නැත හොත් විද්‍යාව විසින් කරනු ලැබිය යුත්තේ ඉන්ද්‍රිය ගෝචර දේවල් පිළිබඳ අනාවැකි පළ කිරීම පමණක්‌ බව ඔහු ගේ අදහස විය. ලෝඩන් (Laudon) නමැති දාර්ශනිකයා ද විද්‍යාත්මක යථාර්ථවාදයට විරුද්ධ අදහස්‌ ඉදිරිපත් කළේ ය. ඔහු පැවසුවේ අතීතයේ ඉතා ම සාර්ථක ලෙස සැලකූ විද්‍යාත්මක මතවාද වර්තමානයේ සත්‍යයෙන් තොර වූ ඒවා ලෙස ඉවත දමා ඇති බව ය. ඒ ලෙස ම වර්තමානයේ සත්‍ය ලෙස සලකන මතවාද අනාගතයේ දී අසත්‍ය ලෙස සැලකීම සිදු නො වේ යෑයි විශ්වාසයක්‌ තබාගත නොහැකි ය.

මෙතැන දී අපට පෙනී යා යුත්තේ විද්‍යාත්මක යථාර්ථවාදීන් ගේ ප්‍රයන්තය වූයේ සාර්ථකත්වය සත්‍යයට සම්බන්ධ කිරීම බව ය. විද්‍යාවේ සාර්ථකත්වය විසින් එය සත්‍යතාව වෙත තල්ලු කෙරෙන බව ය. විරුද්ධ පක්‌ෂය කියා සිටියේ එවැනි අවශ්‍යතාවක්‌ නැති බවත් විද්‍යාව කළ යුතු වන්නේ ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන් පිළිබඳව අනාවැකි පළ කිරීම බවත් ය. අතීතයේ සත්‍ය ලෙස සැලකූ මතවාද වර්තමානයේ අසත්‍ය ලෙස සැලකූ අවස්‌ථාවල දී දකින්නට ඇත්තේ එම මතවාදවල කිසි ම සත්‍යතාවයක්‌ නොමැති බව ය. උදාහරණයක්‌ ලෙස මධ්‍ය කාලීන මතවාදයක්‌ වූ රෝග සෑදෙන්නේ ශරීරයේ ඕජස අසමබර වූ විට යන්න ගත හැකි ය. වර්තමානයේ විද්‍යාත්මක සොයාගැනීම්වලින් අනාවරණය වන්නේ මේ මතවාදයේ කිසි ම සත්‍යයක්‌ නොමැති බව ය. එහෙත් සමහර මතවාද තුළ සත්‍ය වූ කොටස්‌ සහ අසත්‍ය වූ කොටස්‌ යන දෙක ම තිබිය හැකි ය. එම අතීත මතවාද තුළ වූ සත්‍ය කොටස්‌ ප්‍රයෝජනයට ගෙන නව මතවාද නිර්මාණය කළ හැකි ය. මේ සංකල්පයේ වැදගත්කම පහදා දීමට ඔගස්‌ටින් ජීන් ෆ්රෙස්‌නල් (Augustin Jean Fresnel 1788 - 1827) ඉදිරිපත් කළ ආලෝකයේ චලිතය පිළිබඳ මතවාදය උදාහරණයක්‌ ලෙස ගත හැකි ය. ඔහු ආලෝකයේ චලනය සිදු වන්නේ තරංග ලෙස බව පවසා විවර්තනය පහදා දීම සිදු කළේ ය. ඔහු පැවසුවේ තරංග ලෙස චලනය වීම සඳහා යම් කිසි මාධ්‍යයක්‌ අවශ්‍ය බවත් අවකාශයේ ඊතර නමැති මාධ්‍යයක්‌ තිබෙන නිසා ආලෝකය තරංග ලෙස ඒ තුළ චලනය වන බවත් ය. වර්තමාන විද්‍යාව ඊතර් යන සංකල්පය සම්පූර්ණයෙන් ඉවත දමා ඇත. එහෙත් විවර්තනය පිළිබඳව ෆ්රේස්‌නල් ඉදිරිපත් කළ මතවාද තවමත් ප්‍රයෝජනයට ගනු ලැබේ. වර්තමානයේ ප්‍රකාශ විද්‍යාව (optics) ඊතර් යන මතවාදය පිළිනොගන්නේ වුව ද තරංග සංකල්පය පිළිගනියි. තරංග සංකල්පය යොදාගෙන සාර්ථක ප්‍රතිඑල ලබාගත හැකි ය. මින් පෙනී යන්නේ අතීතයේ දී සාර්ථක වූ යම් මතවාදයක කොටස්‌ වර්තමානයේ දී ද සාර්ථක විය හැකි බව ය. එහි වෙනත් කොටස්‌ සාර්ථක නො වන්නට පුළුවන. සාර්ථකත්වය සහ සත්‍යය සම්බන්ධ කිරීමේ යථාර්ථවාදීන් ගේ ව්‍යායාමය මේ ලෙසින් ඉදිරියට ගෙන යන ලදී.

මතවාදයක්‌ තුළ සම්පූර්ණ සත්‍යතාවක්‌ බලාපොරොත්තු විය නොහැකි බව විද්‍යාත්මක යථාර්ථවාදීහු පිළිගත් හ. ඒ නමුත් එහි කොටස්‌ තුළ වුව ද සත්‍යතාවක්‌ තීබීම සාර්ථකත්වය සහ සත්‍යය සම්බන්ධ කිරීමේ ව්‍යායාමයට ඉතා බලවත් රුකුලක්‌ බව ඔවුන් ගේ අදහස විය. තව ද යම් අවස්‌ථාවල දී සාර්ථකත්වය ර පවතින්නේ තාවකාලිකව ඉන්ද්‍රිය ගෝචර නො වූ ක්‍රියාදාමයන් පිළිබඳව යම් අදහසක්‌ ඇති කරගැනීමේ හැකියාව මත බව ඔවුහු පවසති. මතවාදයක්‌ සම්පූර්ණයෙන් සත්‍ය හෝ අසත්‍ය ලෙස සැලකිය නොහැකි බව ඔවුන් පිළිගන්නා අතර ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් යම් දුරකට පිළිගන්නා අන්දම ඒ ලෙසින් පහදා දීමට ඔවුහු සමත් වූ හ. මෙලෙස විද්‍යාත්මක සත්‍යය (scientific truth) යන සංකල්පය වෙත ඔවුහු පැමිණිය හ. මේ පිළිබඳව ඉදිරියේ දී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc