logo3.gif (702 bytes)

HOME


අශෝකට එරෙහි ව අමරතුංග

ඩී.එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා කරවටක්‌ මඩේ එරී ඇත. ඔහු වැඩි කල් නො ගොස්‌ මුළුමනින් ම මඩේ එරෙනු ඇත. ඔහු තමාට කියෑවීමට ලැබුණු ජනප්‍රිය ඉංගිරිසි පොතකින් (පොත්වලින්) කරුණු කිහිපයක්‌ අහුලාගෙන (ඒ තේරුම් ගෙන නො වේ) සුපුරුදු පරිදි වචනවල අර්ථ ගැන විමසීමකින් තොර ව ඒ විදුසර පාඨකයන් වෙත දමා ගසයි. අපට ඇති මූලික ම ප්‍රශ්නය නම් අමරතුංග මහතා බටහිර විද්‍යාව හා වෙනත් දාර්ශනිකයන් බටහිර විද්‍යාව පිළිබඳ කියා ඇති දේ විදුසර පාඨකයන්ට කියන්නේ ඇයි ද යන්න ය.

මේ දාර්ශනිකයන් ලියන්නේ පහළොස්‌ වැනි සියවසෙන් පසුව බටහිර ඇති වූ විද්‍යාව ගැන ය. එනම් බටහිර විද්‍යාව ගැන ය. ඔවුන්ට අවශ්‍ය බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වූ දැනුම් පද්ධතියක්‌ බව පෙන්වීම ය. එහි දී ඔවුහු අනෙක්‌ දැනුම් පද්ධතිවලට නැති දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ බටහිර විද්‍යාවට ඇතැයි කීමට යත්න දරති. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙනස්‌ බව මම ද පිළිගන්නෙමි. එහෙත් ඒ බටහිර දාර්ශනිකයන් කියන දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ එහි ඇති නිසා නො වේ.

බටහිර විද්‍යාවේ චින්තනයක්‌ ඇත. එය නිර්මාණය කෙරෙන්නේ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට සාපේක්‌ෂ ව ය. එහි දී කෙරෙන්නේ අමරතුංග මහතා බටහිර දාර්ශනිකයන් ගේ මත පුනරුච්චාරණය කරමින් තම නොවැම්බර් 12 වැනි දින ලිපියෙන් කියන පරිදි ඊනියා යථාර්ථයක්‌ තේරුම්ගැනීමට උත්සාහ කිරීම නො ව පංෙච්න්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම්ගැනීම සඳහා පට්‌ටපල් බොරු කතාන්දර ගෙතීම ය. අප කියන්නේත් බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ බව ය. එහෙත් ඒ බටහිර දාර්ශනිකයන් බටහිර විද්‍යාවේ දර්ශනයක්‌ ගැන ගොතන බොරු කතාන්දර නිසා නො වේ.

අමරතුංග මහතා කියා සිටියේ ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. එසේ නම් බටහිර විද්‍යාවට අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙනස්‌ වූ දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ තිබිය නොහැකි ය. එයට ම ආවේණික වූ දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ ඇතැයි කියන බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලට වඩා වෙනස්‌ විය යුතු ය. එහෙත් දිගින් දිගට ම අමරතුංග මහතා ගේ ස්‌ථාවරය වූයේ ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. දැන් අමරතුංග මහතා උපුටා දක්‌වන්නේ එසේ නො ව බටහිර විද්‍යාවට අනන්‍ය වූ දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ ඇති බැවින් එය අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙනස්‌ වන්නේ යෑයි කියන දාර්ශනිකයන් ගේ කියුම් ය.

බටහිර විද්‍යාවේ හා අනෙක්‌ දැනුම් පද්ධතීන් අතර වෙනසක්‌ නැති බව අමරතුංග මහතා පෙන්වා දෙන්නේ කෙසේ ද? බටහිර දාර්ශනිකයන් බටහිර විද්‍යාවේ ඇතැයි කියන දර්ශනය හා විධික්‍රමය අනෙක්‌ දනුම් පද්ධතිවලත් ඇතැයි අමරතුංග මහතාට පෙන්වා දිය හැකි ද? එසේ නො කරන තාක්‌ අමරතුංග මහතාට ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ යෑයි කිව හැකි නො වේ. අමරතුංග මහතා තමාට විරුද්ධ ව ම කරුණු ඉදිරිපත් කරන්නේ ඇයි දැයි තේරුම් ගන්නේ කෙසේ ද?

මෙහි දී අමරතුංග මහතා ගේ උපක්‍රමය වී ඇත්තේ සියලු විද්‍යා ආනුභවික යෑයි කීම ය. ඇතැම් දැනුම් පද්ධතීන් පංෙච්න්ද්‍රිය ගෝචර සංසිද්ධිවලින් පටන්ගන්නා බව සැබෑ ය. එහෙත් එයින් ඒ සියලු දැනුම් පද්ධතීන් බටහිර විද්‍යාව මෙන් වූ විද්‍යාවන් යෑයි කිව හැකි නො වේ. වඩාත් වැදගත් වන්නේ ඒ ඒ දැනුම් පද්ධතියෙහි පංෙච්න්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දෙන්නේ කෙසේ ද යන්න ය.

උදාහරණයක්‌ ලෙස ලෝකයේ පවතින බව, බොහෝ දැනුම් පද්ධතීන්ට අනුව පංචෙන්ද්‍රිය ගෝචර ය. එහෙත් ඒ ලෝකය ඇති වූයේ කෙසේ ද යන්න විවිධ දැනුම් පද්ධතීන් තේරුම්ගන්නේ විවිධ ආකාරයෙනි. බටහිර විද්‍යාවට අනුව ලෝකය (විශ්වය) ආරම්භ වූයේ මහා පිපිරුමෙනි. එය ඇති වූ වහා ම උද්ධමනයකට (Inflation) යටත් වී යෑයි ඊයේ පෙරේදා වනතුරු ම බටහිර විශ්වවේදියෝ කියා සිටිය හ. එහෙත් දැන් ඔවුන් කියන්නේ උද්ධමනයක්‌ නො වූ බව ය. එසේත් නැත හොත් උද්ධමනය යනු පට්‌ටපල් බොරුවක්‌ බව ය. ඔවුන් නො කියන්නේ ඒ ඔවුන් ගෙතූ පට්‌ටපල් බොරුවක්‌ බව ය.

එහෙත් දේව ධර්මයන්ට අනුව ලෝකය ආරම්භ වී ඇත්තේ මහා පිපිරුමෙන් නො වේ. දේවධර්මයන්ට අනුව ද ලෝකය පැවතීම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ ලෙස සැලකිය හැකි ය. එහෙත් දේව ධර්මයට අනුව ලෝකය ආරම්භ වී ඇත්තේ දෙවියන් වහන්සේ ගේ මැවීමත් සම`ග ය. ලෝකයේ පැවැත්ම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ ලෙස සලකමින් දේව ධර්මය ද විද්‍යාවක්‌ ලෙස සැලකීමට අමරතුංග මහතා සූදානම් ද? එසේ නැත්නම් දේවධර්මයට අනුව පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය පංචෙන්ද්‍රිය ගෝචර ආනුභවික සංසිද්ධියකින් ආරම්භ වීත් එය විද්‍යාවක්‌ නො වන්නේ ඇයි දැයි අමරතුංග මහතාට තේරුම් කර දිය හැකි ද?

අමරතුංග මහතා කිසිවක්‌ ඉගෙනීමට සූදානම් නැත. ඔහුට වචන ගැන සැලකිලිමත් විය යුතු බව කෙතරම් කීවත් ඔහු ඒ ගැන කිසි ම තැකීමක්‌ නො කරයි. ඔහුට දැන් බටහිර විද්‍යාවේ ඇති දුර්වලකම් පිළිගැනීමට සිදු වී ඇත. එහෙත් ඔහු එහි දී ද ඉන්පසුව ද මතවාදය යන වචනය කිසි ම වගවිභාගයකින් තොර ව යොදාගනියි. අපි ඔහු ගේ නොවැම්බර් 12 වැනි දින ලිපියෙන් උපුටා දක්‌වමු. "විද්‍යාව තුළ දුර්වලතා කොතෙක්‌ තිබුණත් යම් මතවාදයක්‌ ස්‌ථිර ව ම ඔප්පු කරන්නට හැකි වෙනත් ක්‍රමයක්‌ නැති බව දාර්ශනිකයන් පෙන්වා දී ඇති බව ද එම ලිපියේ සඳහන් කොට ඇත. විද්‍යාව සැම විට ම සාර්ථක නො වන බව සැබෑ ය. එහෙත් විද්‍යාව ඉවත දැමීමට එම දුර්වලතාව හේතුවක්‌ නො වන්නේ ය. විද්‍යාව ඉවත දැමීම කළ නොහැකි, නො කළ යුතු දෙයක්‌ වුව ද එහි දාර්ශනික පදනමේ ඇති නොයෙකුත් ගැටලු පිළිබඳව සොයා බැලීම කළ යුතු දෙයකි. ඉන් විද්‍යාවේ දියුණුව සිදු විය හැකි බැවිනි"

බටහිර විද්‍යාව ඉවත දැමීමක්‌ ගැන අප කිසි විටෙකත් කියා නැත. බටහිර විද්‍යාව පමණක්‌ නො ව බටහිර කිසි ම දැනුම් පද්ධතියක්‌ ඉවත දැමිය යුතු යෑයි අපි කියා නැත්තෙමු. එසේ කියා ඇති තැනක්‌ ඇත්නම් ඒ බව නිදර්ශන සහිත ව පෙන්වා දෙන මෙන් අපි අමරතුංග මහතාට අභියෝග කරමු. අප කියා ඇත්තේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ය. එහෙත් අපේ ජීවිතයේ දී අපි පට්‌ටපල් බොරු ද වෙනත් විවිධාකාරයේ බොරු ද යොදාගන්නෙමු. මම යනුවෙන් අයකු ඇතැයි සැලකීමට වඩා බොරුවක්‌ තවත් වේ ද? අපට අවශ්‍ය නම් හා අපට ගැලපේ නම් බටහිර බොරු හා පට්‌ටපල් බොරු යොදාගත හැකි ය. අපට බොරු නැති ව ජීවත් විය නො හැකිය. අමරතුංග මහතා ගේ ලිපිවලට ප්‍රතිචාර දැක්‌වීමට සිදු නො වන්නට ඇත්ත හා බොරුව ගැන සාකච්ඡාවක්‌ සඳහා අපට මෙයට වඩා ඉඩකඩ ලැබෙන්නට තිබිණි. අපි මඳක්‌ පමා වී වුව ඒ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. එහෙත් කරවටක්‌ මඩේ එරී ඇති අමරතුංග මහතාට තව තවත් මඩේ එරීමට අප අවස්‌ථාව සලසා දිය යුතු ය. එබැවින් අමරතුංග මහතා ගේ ලිපිවලට ප්‍රතිචාර දැක්‌වීමට සිදු වේ. මා දන්නා බුදුදහමට අනුව අනෙක්‌ දැනුම් පද්ධතීන් අසත්‍ය වන අතර බුදුදහම සත්‍ය හෝ අසත්‍ය නො වේ. බුදුදහමෙහි ඉගැන්වෙන්නේ අසත්‍යයෙන් වෙන් වීම ය.

අපි නැවතත් අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියට අවධානය යොමු කරමු. එහි මෙසේ සඳහන් වෙයි. "..... වර්තමානයේ සමහර විද්‍යා දාර්ශනිකයෝ විද්‍යාත්මක මතවාදයේ ස්‌වභාවය (The Structure of Scientific Theory) පැත්තකට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් එම ප්‍රශ්නය තර්කානුකූල ආනුභූතිකවාදීන්ට ඉතා වැදගත් වූ බව අප මීට ඉහත දී ද සඳහන් කොට ඇත. ඔවුන් මතවාදය (Theory) කුමක්‌ දැයි නිර්වචනය කරගෙන තිබිණි. ඊට අනුව මතවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශන (Axiomatic) සහ ඒවායෙන් ලැබෙන නිගාමී ඵලය (Deductive Consequenceැ) වන්නේ ය." අමරතුංග මහතා මතවාදය යන්න යොදාගන්නේ තියරි (Theory) යන වචනය සඳහා ය. මේ වැරැදි බව අප කිහිප වතාවක්‌ ම පෙන්වා දී ඇති නමුත් තම ගෞරවය හේතුවෙන් දෝ ඔහු ඒ කිසිවක්‌ නො සලකයි. තියරි යනු ප්‍රවාදය ය. මතවාදය යන්න අවශ්‍ය නම් අයිඩියොලොජි (Ideology) යන්න වෙනුවට යොදාගත හැකි ය. අනෙක්‌ අතට ස්‌ට්‍රක්‌චර් (Structure) යනු ස්‌වභාවය නො වේ. ස්‌ට්‍රක්‌චර් යන්නට යොදාගත හැක්‌කේ ව්‍යqහය යන්න ය. එහි අරුත ස්‌වභාවය යන්නෙන් කෙතරම් වෙනස්‌ ද? ව්‍යqහය හා ස්‌වභාවය එකක්‌ ලෙස සැලකිය හැකි ද? අමරතුංග මහතාට සිංහල හෝ ඉංගී්‍රසි හෝ දෙක ම හෝ නො තේරෙයි.

කෙසේ වෙතත් අමරතුංග මහතා කීමට තැත් කරන්නේ පහත සඳහන් කරුණු යෑයි සිතිය හැකි ය. සමහර බටහිර විද්‍යා දාර්ශනිකයෝ බටහිර විද්‍යාත්මක ප්‍රවාදවලට ව්‍යqහය ඉවතට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් තර්කානුසාරී ආනුභවිකවාදීන් ප්‍රවාදය යනු කුමක්‌ දැයි නිර්වචනය කර ඇත. ඔවුන්ට අනුව ප්‍රවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශ හා එහි නිගාමී සංවිපාක ය. අමරතුංග මහතා දක්‌වා ඇති අන්දමට නම් මෙහි පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සම්බන්ධයක්‌ නැත. මේ නිර්වචනයට අනුව බටහිර ගණිතයෙහි දක්‌නට ලැබෙන ප්‍රමේය ද ප්‍රවාද ය. අමරතුංග මහතා ගේ අවබෝධය එබඳු ය.

නලින් ද සිල්වා