logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතා ෆෙයරාබන්ඩ් අගයයි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා ලියන්නේ මොනවා දැයි නො දන්නා බව පැහැදිලි ය. ඔහුට තමා ලියන දේ නො තේරෙයි. එබැවින් ඔහු ලියන දේ පාඨකයන් තේරුම් ගනී වි යෑයි සිතීම අපහසු ය. පසුගිය ඔක්‌තෝබර් 22 වැනි දා විද්‍යාවේ දාර්ශනික පදනම ගැන ඔහු ලියා ඇති ලිපිය ඒ සඳහා කදිම උදාහරණයකි. ඒ ලිපියෙහි ඇති සම්භාවිතාව අසත්‍යකරණය ආදිය පිළිබඳ අදහස්‌ ඔහුට නො වැටහෙයි. ඔහුට එවැනි අදහස්‌ තබා කාල වකවානු පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ ද නැත. තමන්ට නො තේරෙන අදහස්‌ රැගත් ඉංගිරිසි පොතපත සිංහලට පරිවර්තනය කර පළ කිරීමේ දී සිදු වන්නේ තමන්ට නැති පාණ්‌ඩිත්‍යයක්‌ ප්‍රදර්ශනය කිරීම නො ව මොනර සෙයHdවෙන් රංගන ඉදිරිපත් කිරීමකි.

ඉහත සඳහන් ලිපියෙන් උපුටාගෙන ඇති පහත සඳහන් වාක්‍ය දෙස සිත යොමු කරන්න. ඉහත සඳහන් දුර්වලතාව ඇත්තේ සෝපාධික නිගාමී ක්‍රමයේ ගුණාත්මක සාධාරණකරණ ක්‍රමය තුළ බව මතක තබාගත යුතු ය. මේ ගුණාත්මක (qualitative) සාධාරණ කිරීමේ ක්‍රමය වෙනුවට ප්‍රමාණාත්මක (quantitative) සාධාරණ කිරීම තර්කානුකූල ආනුභූතවාදීන් (Logistical Empiricist Rudolf
Carnap 1891-1970) විසින් අනුගමනය කරන්නට යෙදුණේ ඉහත සඳහන් දාර්ශනික ප්‍රශ්නයෙන් ගැලවීමට ය. ඕනෑ ම අදහස්‌ දෙකක්‌ සැලකිල්ලට භාජන කිරීමේ දී එකක්‌ අනෙකට ආධාරකයක්‌ වන්නේ හෝ එකග වන්නේ කිනම් ප්‍රමාණයකට ද යන්න ගණනය කළ හැකි බව ඔවුහු පැවසුවෝ ය. මේ ගණනය කිරීම සම්භාවිතාව (probability) ලෙස හැඳින්වේ. මේ ක්‍රමය නැත හොත් සම්භාවිතාව මගින් යම් අදහස්‌ දෙකක්‌ අතර ඇති එකඟතාව ප්‍රමාණාත්මක ලෙස සාධාරණ කිරීම තවත් දුරට වර්ධනය කරන ලද්දේ තෝමස්‌ බේයස්‌ (Thomas
Bayes-1702- 61) නමැති ගණිතඥයා විසිනි. ඔහු ගේ අදහස වූයේ සාක්‌ෂි ලැබෙන විට සම්භාව්‍යතාව වෙනස්‌ වන බව ය. යම්කිසි උපන්‍යාසයක්‌ සත්‍ය වීමේ සම්භාව්‍යතාව ප්‍රථමයෙන් 1/50 යෑයි සිතමු. සාක්‌ෂි කිහිපයක්‌ ලැබෙන විට එය 1/25 දක්‌වා වෙනස්‌ විය හැකි ය. තවත් සාක්‌ෂි ලැබෙන විට එය 1/10 දක්‌වා වෙනස්‌ විය හැකි ය."

පළමුව අමරතුංග මහතාට ලොජිස්‌ටිකල් (logistical) යන වචනය හා ලොජිකල් (logical) යන වචනය අතර වෙනස නො තේරෙන බව පැහැදිලි ය. අමරතුංග මහතාට අවශ්‍ය කාර්නැප් කවුරුන් දැයි පාඨකයාට හඳුන්වා දීම ද? එය පැහැදිලි නැත. ලොජිකල් යන්නට තර්කානුකූල, තර්කානුසාරී යන වචන පාරිභාෂිත ශබ්දමාලාවල සඳහන් වෙයි. ඒ අනුව ලොජිකල් එම්පිරිසියම් (logical empiricism) යනු තර්කානුසාරී අනුභූතිවාදය වෙයි.

ලොජිස්‌ටිකල් යන්නට ශබ්දකෝෂවල දී ඇත්තේ ක්‍රමානුකූල ව සංවිධානය, හමුදා මෙහෙයුම් සංවිධානය ආදි අදහස්‌ දෙන තේරුම් ය. එසේ වුවත් පාරිභාෂික ශබ්දමාලාවල සඳහන් වන්නේ ප්‍රවර්ධන, සංකේත තර්ක ශාස්‌ත්‍රය ආදිය ය. ඒ අනුව ලොජිස්‌ටිකල් එම්පිරිසියම් යනු ප්‍රවර්ධන අනුභූතිවාදය, සංකේත තර්කානුසාරී අනුභූතිවාදය ආදිය ය. ඉතා පැහැදිලි කරුණ නම් ලොජිස්‌ටිකල් එම්පිරිසියම් යනු තර්කානුසාරී අනුභූතිවාදය නො වන බව ය. එහෙත් අමරතුංග මහතාට ඉන් කම් නැති. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාට වචනවලින් දමා ගසා ඔවුන් නොමග යෑවීම ය.

ඉහත සඳහන් වාක්‍ය කියවීමෙන් යමකුට සම්භාවිතාව යනු කුමක්‌ දැයි දල වශයෙන් වත් තේරුම් ගත හැකි ද? එම ඡේදය කියවන විට යමකුට සම්භාවිතාව ඇති කළේa කාර්නැප් ආදීන් යෑයි සිතෙනු ඇත. එහෙත් ඒ සමග ම මෙන් අමරතුංග මහතා පවසන්නේ බේස්‌ මේ අදහස්‌ තවදුරටත් වර්ධනය කළ බව ය. එසේ වුවත් කාර්නැප් 1891-1970හි ජීවත් වී ඇති අතර බේස්‌ ජීවත් වී ඇත්තේ 1702-1761 කාලයෙහි ය. කලින් ජීවත් වූවකු පසුව ජීවත් වූවකු ගේ අදහස්‌ වර්ධනය කරන්නේ කෙසේ ද යන්න මූලික ප්‍රශ්නයකි.

ඉතා පැහැදිලිව අමරතුංග මහතා තමාට නො තේරෙන විෂයයක්‌ සම්බන්ධයෙන් ඉංගිරිසියෙන් ඇති ජනප්‍රිය පොත් කියවා තම ඊනියා පාණ්‌ඩිත්‍යය ලොවට හෙළි කිරීමට ගොස්‌ අමාරුවේ වැටී ඇත. "ඕනෑ ම අදහස්‌ දෙකක්‌ සැලකිල්ලට භාජන කිරීමේ දී එකක්‌ අනෙකට ආධාරකයක්‌ වන්නේ හෝ එකග වන්නේ කිනම් ප්‍රමාණයකට ද යන්න ගණනය කළ හැකි බව ඔවුහු පැවසුවෝ ය. මේ ගණනය කිරීම සම්භාවිතාව (Probability) ලෙස හැඳින්වේ". මෙහි පළමු වාක්‍යයෙන් කියෑවෙන්නේ අවසානයේ දී බේස්‌ සංඛ්‍යානය ලෙස සම්මත වී ඇති අදහස්‌වල ප්‍රාථමික ප්‍රකාශයකි. ඒ දෙවැනි වාක්‍යHයෙන් කියෑවෙන පරිදි සම්භාවිතාව නො වේ.

සම්භාවිතාව වඩා සාධාරණ සංකල්පයකි (සාධාරණ යනු කුමක්‌ දැයි අමරතුංග මහතාට නො තේරෙයි) බේස්‌ ගේ නමින් ඇති සම්භාවිතාවෙන් කෙරෙන්නේ වඩා විශේෂිත වූ සම්භාවිතාවක්‌ ගණනය කිරීමකි. අමරතුංග මහතා එහෙත් මෙහෙන් ජනප්‍රිය පොත්වලින් කරුණු අහුලා ගෙන පාඨකයා නොමග නො යවන්නේ නම් මැනවි. බේස්‌ සම්භාවිතාවෙන් කෙරෙන්නේ යම්කිසි සිද්ධියක්‌ සිදුවීමෙන් පසු යන්නට යටත් ව වෙනත් සිද්ධියක්‌ සිදුවීමේ සම්භාවිතාව ගණනය කිරීම ය. උපන්‍යාස අලුතෙන් එකතු වීම සලකා බැලුව හොත් මෙහි දී කියෑවෙන්නේ යම්කිසි ප්‍රවාදයක ඊනියා සත්‍ය උපන්‍යාසය සොයා ගැනීම ගැටලුවක්‌ වන බව ය.

ඕනෑ ම ප්‍රවාදයක්‌ ඉතා සරල නො වේ නම් උපන්‍යාස ගණනාවකින් යුක්‌ත වෙයි. නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි උපන්‍යාස ගණනාවක්‌ වෙයි. ඕනෑ ම අංශු දෙකක්‌ (විශ්වයේ කොතැනක කවදා තිබුණත්) එකිනෙක ආකර්ෂණය කරන බව පළමු උපන්‍යාසය වෙයි. මේ සැම උපන්‍යාසයක්‌ ම යම් කිසිවකු විසින් ගොතන ලද කතාන්දරයක්‌ පමණක්‌ බවත් ඒ කතාන්දර ගොතන්නේ යම්කිසි පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ තේරුම්ගැනීම සඳහා යෑයි කියමින් බවත් පැහැදිලි කරගත යුතු ය. මේ කතාන්දර පට්‌ටපල් බොරු ය. ඊනියා විද්‍යාඥයන්ගේ හිතළු ය.

නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි අනෙක්‌ උපන්‍යාසවලින් කියෑවෙන්නේ ඉහත සඳහන් ගුරුත්වජ ආකර්ෂණයේ අගය නිර්ණය කරන ආකාරය ය. එය කොටස්‌ කිහිපයකින් යුක්‌ත වෙයි. ආකර්ෂණය අංශුවල ස්‌කන්ධ (ඊනියා ගුරුත්වජ ස්‌කන්ධ) මත පදනම් වෙයි. වැඩිදුරටත් ගත හොත් එය ස්‌කන්ධවල ගුණිතයට සමානුපාතික වෙයි. එමෙන් ම ආකර්ෂණය අංශු අතර ඇති දුර මත පදනම් වෙයි. වැඩිදුරටත් එය දුරෙහි වර්ගයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වෙයි.

දැන් නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි ඊනියා සත්‍යතාව රැඳී ඇත්තේ කිනම් උපන්‍යාසයක ද? එසේත් නැත්නම් සියලු උපන්‍යාසවල ද? නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය තව තවත් උපන්‍යාස (බොරු කතාන්දර) එකතු කිරීමෙන් වර්ධනය කළ හැකි ද? අප මෙහි දී මතක තබාගත යුත්තක්‌ නම් කාල් පොපර් ගේ ඊනියා අසත්‍යකරණය මෙහි අනෙක්‌ පැත්ත බව ය. යම් ප්‍රවාදයක්‌ අසත්‍යකරණයට ලක්‌ කිරීම යනුවෙන් කියෑවෙන්නේ කුමක්‌ ද? අසත්‍යකරණයට ලක්‌ කෙරෙන්නේ කිනම් විශේෂිත වූ උපන්‍යාසය ද? එසේත් නැත හොත් සියලු උපන්‍යාස ද?

අමරතුංග මහතා නො දන්නවාට, තේරුම් නො ගත්තාට, ඔහුට අනුව මනස විකෘති වූ ෆෙයරාබන්ඩ් තම විධික්‍රමයට එරෙහි ව (Against method) කෘතියෙහි පොපර්ට විරුද්ධව ගෙන එන්නේ අමරතුංග මහතා තමන්ට නො තේරී සෝපාධික නිගාම්වාදයට එරෙහි ව උපුටා දැක්‌වීමට යත්න දරන අදහස්‌වල අනෙක්‌ පැත්ත ය. විකෘති වී ඇත්තේ කා ගේ මනස දැයි තේරුම් ගැනීම ම ගැටලුවක්‌ වෙයි.

සෝපාධික නිගම්වාදයෙහි ප්‍රශ්නය වනුයේ ඊනියා සත්‍ය ප්‍රකාශය වනුයේ ප්‍රවාදයක කිනම් උපන්‍යාසයක්‌ ද යන්න ය. ඊනියා අසත්‍යකරණයට ලක්‌ කිරීමේ ලා ප්‍රශ්නය වනුයේ අසත්‍යකරණයට ලක්‌ කෙරෙන්නේ ප්‍රවාදයක කිනම් උපන්‍යාසයක්‌ ද යන්න ය. අපි බොහෝ විට සාකච්ඡා කර ඇති උදාහරණයක්‌ ගනිමු. බුධ ග්‍රහ වස්‌තුවෙහි චලිතය නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට අනුකූල ව සිදු නො වන බව බටහිර විද්‍යාඥයෝ මුල සිට ම මෙන් දැන සිටිය හ. බුධ ග්‍රහ වස්‌තුව සූර්යයා වටා අචල ඉලිප්සයක චලනය නො වෙයි.

මෙයින් කියෑවෙන්නේ ඊනියා සත්‍යතාව කෙසේ වෙතත් නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය අසත්‍ය බව ය. දැන් ප්‍රශ්නය වනුයේ එසේ අසත්‍යය වනුයේ ප්‍රවාදයෙහි කිනම් උපන්‍යාස (උපන්‍යාසය) ද යන්න ය. එකල විසූ ඇතැම් බටහිර විද්‍යාඥයෝ අසත්‍යය උපන්‍යාසය ලෙස දුරෙහි වර්ගයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික යන උපන්‍යාසය සැලකූ හ. ඔවුහු ඒ අනුව ඒ උපන්‍යාසය ඉවත් කර වෙනත් උපන්‍යාසයක්‌ හඳුන්වා දුන් හ.

ඔවුන් හඳුන්වා දුන් උපන්‍යාසයට අනුව ගුරුත්වාකර්ෂණයෙහි අගය දුරෙහි වර්ගයට නො ව වෙනත් බලයකට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික විය. නව උපන්‍යාසයට අනුව එය
d1.99999999999ට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික විය. එලෙස ගුරුත්වාකර්ෂණයෙහි අගය වෙනස්‌ කළ විට (9 ඉලක්‌කම් සංඛ්‍යාව ඉහත සඳහන් අයුරෙන් ම යෑයි නො සැලකිය යුතු ය. අපට මෙහි දී වැදගත් වන්නේ සංකල්පය ය) බුධ ග්‍රහ වස්‌තුවෙහි සූර්යයා වටා චලිතය විස්‌තර කළ හැකි විය. එසේ නම් අසත්‍යකරණයට ලක්‌ වූයේ නිවුටෝනීය ප්‍රවාදයේ එකී උපන්‍යාසය ද?

එහෙත් පසු කලෙක අයින්ස්‌ටයින් මුළු මහත් ප්‍රවාදය ම ප්‍රතික්‍ෂෙප කළේ ය. ඔහුට අනුව මුල් ම උපන්‍යාසය ම වැරැදි ය. එනම් අංශු අතර ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක්‌ නැත. දැන් අසත්‍යකරණයට ලක්‌ වූයේ මූලික උපන්‍යාසය මිස අප්‍රධාන උපන්‍යාසයක්‌ නො වේ. බටහිර විද්‍යාවේ ප්‍රවාද හා උපන්‍යාස යනු බටහිර විද්‍යාඥයන් ගොතන කතාන්දර මිස වෙනත් දෙයක්‌ නො වන බව අමරතුංග මහතා තම ලිපිවලින් තහවුරු කිරීම ගැන ඒ මහතාට කෘතඥ වෙමි.

නලින් ද සිල්වා