logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතා තව තවත් අසංගත වෙයි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ විද්‍යාවේ දාර්ශනික පදනම මැයෙන් ලියා ඇති ලිපි පිළිබඳව කෙටියෙන් වුව විග්‍රහයක්‌ කළ යුතු ය. එසේ කරන්නේ ඇත්ත හා බොරු යන මැයෙන් මා ලියන ලිපි පෙළ තාවකාලිකව නවතා දමමිනි. අප සැම දාමත් කියා ඇති පරිදි අමරතුංග මහතා සංගත වීම ගැන කිසිදු සැලකිල්ලක්‌ නො දක්‌වයි. අමරතුංග මහතා කියන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. ඔහුට අනුව විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක්‌ බටහිර ඇති වූ බව බටහිරයන් කියන්නේ ඔවුන් ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා නිසා ය. එවැනි නව විද්‍යාවක්‌ බටහිර ඇති වූ බව අමරතුංග මහතා නො පිළිගනියි. එහෙත් ඔහු බටහිර විවිධ දාර්ශනිකයන් බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම ගැන ඉදිරිපත් කර ඇති මතවාද ගැන මහත් අභිරුචියකින් ලියයි.

අපේ මූලික ප්‍රශ්නය මේ දාර්ශනික පදනම (පදනම්) කෙතෙක්‌ දුරට අමරතුංග මහතා ගේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි යන්න සමග සංගත ද යන්න ය. අමරතුංග මහතා ගේ කතාව ඒ ඊනියා පදනම් (පදනම් එකකට වඩා ඇත) සමග සංගත නම් ඒ පදනම් මගින් පැරැණි චීනයේ, දඹදිව, අරාබියේ, ලංකාවේ ආදී වශයෙන් තිබූ දැනුම් පද්ධති ද බටහිර විද්‍යාව ලෙස හඳුනාගනු ලැබ යුතු ව ඇත. එහෙත් පැහැදිලිව ම බටහිර ඊනියා දාර්ශනිකයන් එකී දැනුම් පද්ධති විද්‍යාව ලෙස හඳුනාගෙන නැත. එසේ වුවත් අමරතුංග මහතා කිසි ම ලඡ්ජාවකින් තොර ව ඔක්‌තෝබර් 1 වැනි දා ලිපියෙහි මෙසේ කියයි.

"විද්‍යා දර්ශනය විසින් විද්‍යාවේ ක්‍රමවේදය නිගමනය කෙරෙන බව කිව හැකි ය. විද්‍යාව සිදු කළ යුත්තේ කෙසේ ද යන්න පහදා දීමට තැත් කෙරෙන්නේ විද්‍යා දර්ශනය විසිනි. මෙහි දී වැදගත් වන්නේ යම් මතවාදයක්‌ කෙතරම් දුරට සත්‍යය සමග එකඟ වන්නේ ද යන්න සොයා බැලීම ය. මෙය විද්‍යා දර්ශනයේ වැදගත් කාර්යභාරයක්‌ වන්නේ ය. මතවාදය සහ යථාර්ථය කෙතරම් දුරට එකඟ වන්නේ ද යන සංවාදය විද්‍යා දර්ශනයේ වැදගත් ම කාර්යය වන්නේ ය. පවතින ලෝකය සමග මතවාද සංකල්ප ආකෘති සහ ආනුභුතික දත්ත එකඟ වන්නේ ද? නැත්නම් එම සම්බන්ධය දියුණු කළ හැක්‌කේ කෙසේ ද යන්න විද්‍යා දර්ශනය මඟින් පහදා දීමට උත්සාහ කළ යුතු ය. මෙය විද්‍යාවේ ප්‍රතිෂ්ඨාව (Foundation) කුමක්‌ දැයි වටහාගෙන එය තවත් දියුණු කිරීමට ගන්නා ප්‍රයත්නයක්‌ බව කිව හැකි ය."

අපට අමරතුංග මහතාගෙන් අසන්නට ඇත්තේ සරල පැනයකි. මෙතෙක්‌ ඊනියා විද්‍යාවේ දාර්ශනිකයන් විසින් ගොඩනගනු ලැබ ඇති මතවාදවලින් ඉහත කී පැරැණි දැනුම් පද්ධතීන් බටහිර විද්‍යාව බව පෙන්නුම් කළ හැකි ද? අමරතුංග මහතා නො කීවාට බටහිර දාර්ශනිකයන් කරන්නේ පැරැණි දැනුම් පද්ධතීන් බටහිර විද්‍යාවට සමාන නො වන බව පෙන්නුම් කිරීම ය. අමරතුංග මහතා බොරු (බොරු යනු කුමක්‌ දැයි ඇත්ත හා බොරු ලිපි පෙළෙහි සඳහන් වෙයි) කරන්නේ කවුරුන් රැවටීමට ද?

අමරතුංග මහතා ඉදිරිපත් කරන විද්‍යාවේ දාර්ශනික පදනම ලිපිවලින් කියෑවෙන ප්‍රධාන ම කරුණ නම් බටහිර විද්‍යාව එතෙක්‌ පැවැති දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන බව ය. අමරතුංග මහතා ඊනියා සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව පෙන්වීමට නො ව බටහිර විද්‍යාව මෙතෙක්‌ නො වූ විරූ දැනුම් පද්ධතියක්‌ බව පෙන්වීමට ය. එයින් කියෑවෙන්නේ බටහිර විද්‍යාව සත්‍ය බව නො වේ. බටහිර විද්‍යාව මෙතෙක්‌ නො වූ විරූ පට්‌ටපල් බොරුවක්‌ බව ය.

අමරතුංග මහතා කිසි විටෙකත් වචන ගැන සැලකිල්ලක්‌ නො දක්‌වයි. ඒ බව අපි කිහිප වතාවක්‌ ම පෙන්නුම් කළෙමු. පසුගිය 22 වැනි දා ලිපියෙන් ද ඒ මහතා තම නො සැලකිල්ල පෙන්නුම් කරයි. ඒ මහතා තම නො සැලකිල්ල පෙන්නුම් කරන්නේ සැලකිල්ලෙන් ද? එකී ලිපියෙහි පහත සඳහන් කොටස ද වෙයි. එය කිහිප අතකින් ම වැදගත් වන බැවින් දීර්ඝ ව උපුටා දක්‌වමු.

"මීට පෙර ලිපියේ සෝපාධික නිගාමී ක්‍රමය (Hypothetico Deductive Method) පිළිබඳව පැහැදිලි කිරීමක්‌ සහ එහි ඉතිහාසය සහ වර්ධනය ගැන සඳහනක්‌ කළෙමි. මේ ක්‍රමයේ ඇති දුර්වලතාවන් ගැන කෙටි විස්‌තරයක්‌ කිරීමට මේ ලිපියේ 2 වැනි කොටසින් අදහස්‌ කරමි. සෝපාධික නිගාමි ක්‍රමයට අනුව යම්කිසි උපන්‍යාසයකින් (Hypotheis) ලබාගත හැකි අනාවැකි (Predictions) සාක්‌ෂි මගින් (ස්‌වභාවධර්මයේ තිබෙන) ඔප්පු කළ හැකි නම් එම උපන්‍යාසය සත්‍යයට කිට්‌ටු ලෙස පිළිගත හැකි ය. මෙවැනි ක්‍රමයකින් විද්වත් නිව්ටන් ගේ හෝ අයින්ස්‌ටයින් ගේ හෝ මතවාද ඔප්පු කළ හැකි ය. එහෙත් මෙතැන දී ඔප්පු වන්නේ අනාවැකි මිස උපන්‍යාසය නො වේ. අනාවැකි ඔප්පු වූ පමණින් උපන්‍යාසය සත්‍ය ලෙස පිළිගත හැකි ද යන දාර්ශනික ප්‍රශ්නය මතු වීම වැළැක්‌විය නොහැකි ය. උපන්‍යාසය තුළට තවත් අදහස්‌ ඇතුළු කළා නම් පෙර කිව් පරිදි අනාවැකි ඔප්පු වූ විට එම අදහස්‌ ද සත්‍ය ලෙස පිළිගත හැකි ද? උදාහරණයක්‌ ලෙස විද්වත් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ මතවාදය තුළට තවත් අදහසක්‌ ඇතුළු කළ විට එම මතවාදය පිළිගන්නා විට පසුව ඇතුළු කළ අදහස ද පිළිගන්නට සිදු වේ. මෙය දාර්ශනික තර්කයක්‌ පමණක්‌ බව පාඨකයන් වටහාගත යුතු ය. ඉන් පෙන්නුම් කරන්නේ අනාවැකි ඔප්පු කිරීමෙන් මතවාද සාකල්‍යනය කිරීම (Generalization) හෝ සාධාරණය කිරීම (Justification) කළ නොහැකි බව ය."

පොත් විශාල සංඛ්‍යාවක්‌ කියවා ඇති බව පෙන්වීමට තැත් කරන අමරතුංග මහතා තමාට ඒ නො තේරෙන බව ද ඒ සමග පෙන්වා දෙයි. කෙතරම් පොත් කියෙව්වත් අමරතුංග මහතා පාරිභාෂික ශබ්දමාලා පරිහරණය නො කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වී ඇත. සන්නිවේදනයෙහි දී අප කියන්නේ කුමක්‌ දැයි එකිනෙකා අවබෝධ කරගත යුතු ය. ජෙනරලයිසේෂන් යනු ඊනියා සාකල්‍යනය කිරීමක්‌ නො වේ. එයට බටහිර ගණිතයෙහි දී යෙදෙන්නේ සාධාරණීකරණය යන්න ය. බටහිර දැනුමෙහි සාධාරණීකරණය වඩාත් ම දැකිය හැක්‌කේ ගණිතයෙහි ය. එහි ජෙනරලයිසේෂන් යන්නට යෙදෙන්නේ සාධාරණීකරණය යන්න ය.

එමෙන් ම ජස්‌ටිෆිකේෂන් යන්න සාධාරණීකරණය නො වේ. ඒ සඳහා යෙදෙන සිංහල වචනය යුක්‌තියුක්‌ත කිරීම ය. ජස්‌ටිස්‌ යන්න යුක්‌තිය සමග බැඳී ඇත. අමරතුංග මහතා තමාට අවශ්‍ය පරිදි වචන යොදාගැනීමෙන් පාඨකයා නොමග යවයි. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතා ඉහත කී ඡෙදයෙන් කියන්නට බලාපොරොත්තු වන්නේ කුමක්‌ ද යන්න ඒ මහතාට වත් පැහැදිලි නැති බව නම් පැහැදිලි ය. උපන්‍යාසයකින් අනාවැකි කීමට නො හැකි ය. උපන්‍යාසයක්‌ යොදාගෙන බටහිර විද්‍යාවේ කෙරෙන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය භාවිතයෙන් අපෝහනය (Deductiona) ලබාගැනීම ය.

මේ උපන්‍යාස වියුක්‌ත වෙයි. (අමරතුංග මහතා අදත් වියුක්‌ත යනු කුමක්‌ දැයි නො දනියි.) ඒ පංචෙන්ද්‍රියට ගෝචර නො වෙයි. එහෙත් ඉන් ලබාගන්නා අපෝහන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ හැකි ය. උදාහරණයක්‌ වශයෙන් ගත හොත් නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය (අදාළ සංකල්පය ද සමගින්) වියුක්‌ත ය. ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් ඒ ප්‍රවාදය යොදාගනිමින් ඇරිස්‌ටෝටලීය න්‍යාය භාවිතයෙන් එක්‌ විට එක්‌ උසකින් මුදා හැරෙන වස්‌තු දෙකක්‌ එක්‌ විට පොළොවට වැටෙන බව අපෝහනය කළ හැකි ය. ඒ අපෝහනය පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ හැකි ය.

එසේ එක්‌ විට වැටෙන වස්‌තු නිරීක්‌ෂණය කිරීමෙන් එය අපෝහනය සමග සංගත බව තේරුම්ගැනීමෙන් අපට කිසිවක්‌ කිව නො හැකි ය. එහෙත් බටහිර විද්‍යාවේ දාසයෝ ඉන් කියෑවෙන්නේ උපන්‍යාසය සත්‍ය බව යෑයි හෝ සත්‍යයට ළඟා වන බව යෑයි හෝ කීමට උත්සාහ කරති. එය කිසි ම න්‍යායකට එකඟ වූවක්‌ නො වේ. ඒ බව අපි කිහිප වතාවක්‌ ම කියා ඇත්තෙමු. p ප්‍රස්‌තුතයෙන් q ප්‍රස්‌තුතය අපෝහනය කළ පමණින් හා q නිරීක්‍ෂණය කළ හැකි වූ පමණින් p ප්‍රස්‌තුතය සත්‍ය බව ගම්‍ය නො වේ. එහෙත් බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනමේ එක්‌ කලෙක ඒ බව උපකල්පනය කෙරිණි. අමරතුංග මහතා ද මේ ඊනියා පදනමේ අඩුපාඩු දකින තෙක්‌ එය පාඨකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ය.

අපි එය තවදුරටත් පොපර් කියා ඇති දේ ද විවේචනය කරමින් පසුව සාකච්ඡා කරමු. එහෙත් දැනට කිව යුතු කරුණක්‌ ඇත. අප ද ඉදිරිපත් කරන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම පිළිබඳ මතයකි. ඒ අනුව ඊනියා සෝපාධිත නිගාමි ක්‍රමය මෙන් ම පොපර් ගේ අසත්‍යකරණය ද වැරැදි ය. අපට අනුව බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනම ද පට්‌ටපල් බොරු ය.

නලින් ද සිල්වා