logo3.gif (702 bytes)

HOME


පන්සිල් හා මුසා

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මේ සතියේ දී කුමක්‌ ලියා වි දැයි නො දනිමි. ඇතැම් විට බේකන් ගේ සිට අද දක්‌වා බටහිර විද්‍යා දාර්ශනිකයන් ගැන ලිවීමට ඉඩ ඇත. එසේත් නැත හොත් විවේක සුවයෙන් ගත කරනු ඇත්තේ කිසිවක්‌ නො ලියා ය. ඒ කුමක්‌ වුවත් සති කිහිපයකට පෙර අපි සත්‍යය හා අසත්‍යය වෙන් කිරීම ගැන සාකච්ඡාවක්‌ ඇරඹුවෙමු. පසුගිය සති දෙකෙහි ඉන් තරමක්‌ ඈත් වීමට සිදු වූයේ අමරතුංග මහතා ගේ ලිපියකට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ය. අපි නැවතත් සත්‍යයට හා අසත්‍යයට යමු.

සත්‍යය හා අසත්‍යයෙන් වෙන් කරගැනීමක්‌ බුදුදහමෙහි නැත. එහි ඇත්තේ අසත්‍යය, අසත්‍යය ලෙස අවබෝධ කරගැනීම ය. එහෙත් එය කියන තරම් පහසු නො වේ. එසේ නො වන්නට අප බොහෝ දෙනකු මේ වන විට නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතෙර වී තිබිය යුතු ය. එහෙත් බුදුදහමේ සම්‍යක්‌දෘෂ්ටියක්‌ ගැන කියෑවෙන බව අපි දනිමු. එය ද සත්‍යයක්‌ නො වන බව අප සඳහන් කර ඇත.

බුදුදහම වැන්නක්‌ ලොවෙහි ඇත්තේ බුදුදහම පමණකි. අනෙක්‌ පද්ධතීන්ට අප දැනුම් පද්ධති යෑයි කියන නමුත් බුදුදහම දැනුම් පද්ධතියක්‌ යෑයි කිව නොහැකි ය. එහි අවධාරණය කෙරෙන්නේ නොදැනුම හා නොදැනුම නිර්මාණය වන ආකාරයයි. පෘථග්ජනයන් හා සම්බන්ධ පටිච්චසමුප්පාදයෙන් කියෑවෙන්නේ ඒ කරුණ ය. සත්‍යය අසත්‍යයෙන් වෙන් කරගැනීමට අප දැනුම් පද්ධතිවලට යා යුතු ය.

අපි සාමාන්‍යයෙන් මුසා යෑයි හැඳින්වෙන දේ නැවත සාකච්ඡා කරමු. බසයට ගොඩ වූ දරුවකු අතන පුටුවක්‌ ඇතැයි තම මවට පවසන්නේ මුසාවක්‌ ලෙස නො වේ. ඔහු ගේ සංකල්පීය පද්ධතිය අනුව බසයේ පුටු ඇත. එහෙත් මව ගේ සංකල්පීය පද්ධතියෙහි බසයක පුටු නැත. දරුවා කියන්නේ මුසාවක්‌ යෑයි මව වත් මගීහු වත් නො සිතති. එය දරුවා ගේ සුරතල් කතාවක්‌ ලෙස සිතන ඔවුහු මුවගින් සිනහසෙති. ඒ සෙනෙහසිනි.

සම්මත සංකල්පීය පද්ධතියේ විවිධ සංකල්ප ගැන අපි දනිමු. අපි ඒවාට අනුගත වී ඇත්තෙමු. අප ද අනෙක්‌ අය ද ඇති බවට එකඟ වන්නක්‌ නැති බව ඒ අය ගෙන් ම යම් පුද්ගලයකු අතින් පැවසෙන විට එය මුසාවක්‌ යෑයි අපි කියමු. මෙහි දී වැදගත් වන කරුණු කිහිපයක්‌ වෙයි. යම් දෙයක්‌ පවතින බව සංකල්පීය ව පිළිගන්නා පුද්ගලයන් සමූහයක්‌ සිටිය යුතු ය. ඉන් එක්‌ අයකු හෝ කිහිප දෙනකු හැරෙන්නට අනෙක්‌ අය ඒ දෙය ඇති බව පිළිගනිති. අර කිහිප දෙනා නව සංකල්පයක්‌ ඇති කිරීමේ වුවමනාවෙන් බැහැර ව ඒ දෙය නැතැයි කියති. ඒ තමන් ගේ වාසියට වරප්‍රසාද ලබාගැනීම ආදිය සඳහා විය හැකි ය. ඒ දෙය නැතැයි කීම අර සමූහයේ බහුතරය විසින් මුසාවක්‌ පැවසීම ලෙස සැලකෙයි.

දරුවා බසයේ පුටුවක්‌ ඇතැයි කියන විට එය මුසාවක්‌ යෑයි පැවසීමක්‌ ලෙස නො සැලකෙයි. දරුවා බහුතරයේ පුටු සම්මුතියෙහි නැත. යම් දෙයක පැවැත්ම සම්බන්ධයෙන් බහුතරයේ සම්මුතිය නො පිළිගන්නා අයකුට මුසා කිය නොහැකි ය. මුසා පැවසිය හැක්‌කේ ඒ දෙය සම්බන්ධයෙන් බහුතරයේ සම්මුතිය පිළිගන්නා අයට ය. බහුතරයේ සම්මුතිය නො පිළිගන්නා අයට එක්‌කෝ ඔවුන් ගේ ම වූ වෙනත් සම්මුතියක්‌ ඇත. එසේත් නැත හොත් ඔවුහු වෙනත් සම්මුතියක්‌ සොයමින් සිටිති.

බුදුදහමට පළමු ව පන්සිල් තිබුණු නමුත් බුදුදහමෙහි පන්සිල් අනුදැන වදාරා ඇත්තේ පස්‌පව් මමත්වය වැඩි කරන බැවින් යෑයි ද සිතිය හැකි ය. අප බුදුදහම දෙස බලන්නේ අසත්‍යය සත්‍යයෙන් වෙන් කරන්නක්‌ ලෙස නො ව අසත්‍යයෙන් වෙන් වීමට උපකාර කරන්නක්‌ ලෙස ය. අප ඉහත සඳහන් ආකාරයෙන් මුසා බස්‌ දොඩවන්නේ අපේ වාසිය සඳහා ය. එසේත් නැත්නම් යම් වරප්‍රසාදයක්‌ දිනාගැනීමට ය. සාධාරණ ව කිව හොත් මම යන්නකු ඇතැයි ගෙන මමත්වය වැඩි කිරීම සඳහා ය. මුසා බස්‌ දෙඩවීමෙන් වැඩි වන්නේ මමත්වය ය. ඉන් අප අසත්‍යයෙහි තව තවත් ගිලෙයි. අප මුසා බස්‌ නො කිව යුත්තේ මමත්වය අඩු කරගැනීමට ය. එම`ගින් අසත්‍යයෙන් වෙන් වීමට ය.

අනෙක්‌ පන්සිල් පද හතර ද ඒ අයුරෙන් විවරණය කරගත හැකි ය. පස්‌ පව්වල ගැලීමෙන් අපි මමත්වය වැඩි කරගෙන නිවනෙන් ඈත් වන්නෙමු. පන්සිල්

රැකීමෙන් නිවනට ළ`ගා වන්නෙමු. අපේ අරමුණ අසත්‍යයෙන් වෙන් වීම බව නැවත නැවතත් අවධාරණය කරගනිමු. එසේ වෙතත් අපට සම්මුති ලෝකයේ සත්‍යය සමග ඇතැම් විට ජීවත් වීමට සිදු වෙයි.

අපි බටහිර ගණිතයට යමු. එහි සත්‍යයක්‌ නැත. බටහිර ගණිතඥයෝ ඉතා අවංක ව තමන් පවසන්නේ කුමක්‌ දැයි තමන් නො දන්නා බව පවසති. බටහිර ගණිතය නො දන්නෝ බටහිර ගණිතය සත්‍යය ලෙස සලකති. එහෙත් එහි කෙරෙන්නේ යම් ප්‍රස්‌තුතයකින් පටන්ගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් වෙනත් ප්‍රස්‌තුතයක්‌ නිගමනය කිරීම ය. මුල් ප්‍රස්‌තුතය සත්‍ය බව හෝ අසත්‍ය බව හෝ එහි දී විග්‍රහ නො කෙරෙයි. එහෙත් අප්‍රකාශිත වශයෙන් (Implicitly) ඇරිස්‌ටෝටලීය න්‍යාය සත්‍ය බව පිළිගැනෙයි.

බටහිර ගණිතයෙහි පමණක්‌ නො ව බටහිර දැනුම් පද්ධතියෙහි ම ඇරිස්‌ටෝටලීය න්‍යාය සත්‍ය බව පිළිගැනෙයි. අපි පසුව මෙය තවදුරටත් සාකච්ඡා කරමු. බටහිර දැනුම් පද්ධතියෙහි ක්‌වොන්ටම් භෞතිකය බටහිරයන්ට නො තේරෙන පද්ධතියක්‌ බවට පත් වී ඇත්තේ ක්‌වොන්ටම් භෞතිකයෙහි ඇරිස්‌ටෝටලීය න්‍යාය වලංගු නො වන බැවිනි. න්‍යාය (logic) ද මිනිසුන් ගේ නිර්මාණයක්‌ බවත් එය ද අසත්‍යයක්‌ බවත් සිංහල බෞද්ධයනට හැරෙන්නට අනෙක්‌ අයට තේරුම්ගැනීමට හැකි ද යන්න ම ප්‍රශ්නයකි. ඇරිස්‌ටෝටලීය න්‍යාය පමණක්‌ නො ව චතුස්‌කෝටික න්‍යාය ද අසත්‍ය ය. ක්‌වොන්ටම් භෞතිකය චතුස්‌කෝටිකය සමග ගැළපීම හේතුවෙන් ක්‌වොන්ටම් භෞතිකය වත් චතුස්‌කෝටික න්‍යාය වත් සත්‍ය බවට පත් නො වේ.

අපි උසාවියේ දී සත්‍යය හා අසත්‍යය වෙන් කරගන්නා ආකාරය තරමක්‌ දුරට දැන් සාකච්ඡා කරමු. රටේ වැඩියෙන් ම මුසා කියන තැනක්‌ වන්නේ අධිකරණයයි. මිනිසුන් බොරු නො කියන්නේ නම් උසාවි අනවශ්‍ය ය. මිනිස්‌සු හා නීතිඥයෝ උසාවි තුළ බොරු කියති. එසේ වුවත් උසාවිය යුක්‌තිය පසිඳලන තැන ලෙස පිළිගැනෙයි. යම් පුද්ගලයකු සාක්‍ෂි කූඩුවට න`ගින්නේ ම තමන් සත්‍යය හා සත්‍යය පමණක්‌ ප්‍රකාශ කරන බව කියමිනි. අනෙක්‌ පක්‍ෂයේ සාක්‌ෂිකරු ද ඒ දිවුරුම ම දෙමින් සාක්‍ෂි කූඩුවට නැ`ග පළමු සාක්‌ෂිකරු ගේ ප්‍රකාශයට හාත්පසින් ම වෙනත් ප්‍රකාශයක්‌ කරයි.

දැන් විනිශ්චයකාරතුමා ඒ දෙදෙනා ගෙන් සත්‍යය පවසන්නේ කවුදැයි තීරණය කරන්නේ කෙසේ ද? ඔහු ඒ කරන්නේ අනෙක්‌ සාක්‍ෂි සමග හා අභ්‍යන්තර වශයෙන් සාක්‍ෂිය සංගත දැයි සලකා බැලීමෙනි. එමෙන් ම ඊනියා විශේෂඥ සාක්‍ෂි සමග ද ඒ සාක්‍ෂි ගලප්පා බැලෙයි. එහෙත් මේ විශේෂඥ සාක්‍ෂි ගැන ද වචනයක්‌ කිව යුතු ය. පසුගිය ඔක්‌තෝබර් මස 05 වැනි දා දිවයින ඉරිදා සංග්‍රහයට මා ලියූ ලිපියකින් කොටසක්‌ මෙහි දී උපුටා දක්‌වන්නේ එහි ඇති වැදගත්කම සලකමිනි.

"ශ්‍රී ලංකාවේ එක ම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව........ මහත්මිය.......... කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියා ය.

කොළඹ මහාධිකරණ විනිසුරු............ හමුවේ විභාග වන........ නඩුවේ පැමිණිල්ලේ සාක්‌කිකරුවකු ලෙසින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ.......... මහතා ගේ මෙහෙයවීම යටතේ සාක්‌කි දෙමින් එසේ කියා සිටි මහාචාර්යවරිය අහඹු ලෙස ගත් දෙදෙනකු ගේ ඩී. එන්. ඒ. රටා එකක්‌ වීමේ හැකියාවේ සම්භාවිතාව බිලියන තුනකට එකක්‌ වන බවත් ලංකාවේ ජනගහනය මිලියන 20ක්‌ පමණ වන බැවින් එවැනි සම්භාවිතාවක්‌ නොමැති නිසා එක ම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ එක ම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව........ විශ්වවිද්‍යාලයයේ.......... වෛද්‍ය පීඨයේ මහාචාර්ය.......... මහත්මිය...........කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියා ය."

පුවත්පතෙහි සඳහන් වූ පරිදි ඇය බටහිර වෛද්‍ය පීඨයක මහාචාර්යවරියක ද යන්න මම නො දනිමි. ඒ කෙසේ වෙතත් ඇගේ මුග්ධ තර්කය මුල් කරගෙන නඩුවේ තීන්දුව දී ඇත්නම් එයින් විත්තිකරුවා(වනට) සිදු වී ඇත්තේ විශාල අසාධාරණයකි. මේ සාක්‍ෂිකාරියට බටහිර සංඛ්‍යානයෙහි සම්භාවිතාව පිළිබඳ ව මූලික දැනුම වත් නැති බව පැහැදිලි ය. මිලියන විස්‌සක නො ව දෙදෙනකු ගේ නියෑදියක වුව ද ඒ දෙදෙනාට ම එක ම ඩී. එන්. ඒ. රටාවක්‌ තිබිය හැකි ය. එසේ තිබිය නොහැක්‌කේ අදාළ සම්භාවිතාව ශූන්‍ය නම් පමණකි"

මෙහි සඳහන් වන්නේ ඊනියා විශේෂඥ සාක්‍ෂියකි. අදාළ සාක්‍ෂිකාරිය ලංකාවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක මහාචාර්යවරියක යෑයි පැවසෙයි. ඒ කුමක්‌ වුවත් ඇය උසාවියේ පෙනී සිට ඇත්තේ ඩී. එන්. ඒ. පිළිබඳ විශේෂ දැනුමක්‌ ඇති අයකු ලෙස ය. එහෙත් ඇයට බටහිර සංඛ්‍යානයෙහි සම්භාවිතාව පිළිබඳ මූලික දැනුම වත් නැත. ඇගේ සාක්‍ෂිය උසාවිය සත්‍යයක්‌ ලෙස පිළිගන්නට ඇත. එය අසත්‍ය බව එනම් මූලික සම්භාවිතාව සම`ග සැස කල අසංගත බව විරුද්ධ පක්‌ෂයේ නීතිඥ මහතා පෙන්වා ඇති බවක්‌ පුවත්පතෙහි සඳහන් නො වේ. ඊනියා විශේෂඥ සාක්‌ෂි පිළිබඳ තත්ත්වය එබඳු ය.

එහෙත් එයටත් වඩා මූලික ප්‍රශ්නයක්‌ මතු කළ යුතු ව ඇත. මුළු මහත් බටහිර විද්‍යාව ම ර පවතින්නේ සාධාරණීකරණය, සම්භාවිතාව ආදිය මත ය. උඩ දැමූ ගලක්‌ (වස්‌තුවක්‌) පොළොවට වැටෙන බව අප දන්නේ කෙසේ ද? එය සාධාරණ වශයෙන් (සාමාන්‍යයෙන් නො වේ) සිදු වෙයි. ඒ සඳහා විශාල සම්භාවිතාවක්‌ වෙයි. එහෙත් උඩ දැමූ ගලක්‌ (වස්‌තුවක්‌) ආපසු නො වැටෙන අවස්‌ථා ද අපි දනිමු. එසේ නො වන්නට අභ්‍යවකාශයට යවන රොකට්‌ටු ආපසු වැටිය යුතු ය. දැන් මේ කරුණ අප තේරුම්ගන්නේ කෙසේ ද? අපට එහි දී නිව්ටෝනීය ගුරුත්වය, වියෝ ප්‍රවේගය, චලිත සමීකරණ ආදි දැනුම් සම්භාරයක්‌ යොදාගැනීමට සිදු වෙයි.