logo3.gif (702 bytes)

HOME


ඇත්ත හා බොරුවේ ද්වෛතය

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා මේ සතියේ දී මා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නම් මැනවි. එවිට ඇත්ත හා බොරුව පිළිබඳ ඒ මහතා දරන මතය කුමක්‌ දැයි පාඨකයනට පැහැදිලි වනු ඇත. ඒ මහතා ගේ පිsළිතුර කුමක්‌ වුවත් අපට දැනටමත් පැහැදිලි වන කරුණ නම් ඇත්ත හා බොරුව යන්න ද සාපේක්‍ෂ බව ය. යමකුට එක්‌ එක්‌ කාලවල, එක්‌ එක්‌ දේශවල දෙන, දී ඇති නිර්වචන වෙනස්‌ වී ඇත. එහෙත් අපි ඇත්ත හා බොරුව යන්න නිරපේක්‍ෂ ලෙස සැලකීමට පුරුදු වී සිටිමු. අප යම්කිසි කාලයක ඇත්ත ලෙස පිළිගන්නේ අදාළ කාලයෙහි ඇත්ත පිළිබඳ ඇති අධිපති මතවාදයට අනුව නිර්මිත වී ඇති නිර්වචනයට එකඟ වූවකි.

එක්‌ කලෙක පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන දේ ද ඇත්ත ලෙස පිළිගැනීමට ඇතැම් සංස්‌කෘතීන් සූදානම් ව සිටි බව පැහැදිලි ය. වෛදිකයෝ බ්‍රහ්මන් සත්‍ය යෑයි ගත් හ. සත්‍යම් සිවම් සුන්දරම් යන්නෙහි තේරුම ශිව පිළිබඳ වූ සත්‍යය සුන්දර බව ය. ශිව දෙවියන් ලංකාවේ වෙස්‌සගිරිය ආශ්‍රයෙහි විසුවත් නැතත් වෛදිකයන් ශිව දෙවියන් විශ්වාස කරන්නේ එතුමන් පංචෙන්ද්‍රියවලට ගෝචර වන නිසා නො වේ. එමෙන් ම යුදෙවුවන්, කතෝලිකයන් හා මුස්‌ලිමුන් යෙහෝවා, දෙවියන් වහන්සේ, අල්ලා දෙවියන් (ඔවුන් තියෙනා ම එක්‌ අයකු වුව ද නො වුව ද) විශ්වාස කරන්නේ, ඒ සත්‍ය බව පිළිගන්නේ ඔවුන් උන්වහන්සේ දැක ඇති නිසා වත්, අල්ලා බලා ඇති නිසා වත් නො වේ.

අද පහළොස්‌වැනි සියවසෙන් පසුව බටහිරයන් ගේ අධිපති මතවාදය බවට පත් වී ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක්‌ ඇති බව හා ඒ නිසා ඒ ඇත්ත හෙවත් සත්‍යය බව ය. එය එක්‌ කලෙක එක්‌ ප්‍රදේශයක සත්‍යය පිළිබඳ ව නිර්මාණය කරන ලද්දක්‌ වුවත් එය සාපේක්‍ෂ වුවත් අද එය පරම සත්‍යයක්‌ ලෙස අධිපති මතවාදය විසින් පිළිගැනීමට ලක්‌ කෙරී ඇත. මේ ප්‍රවණතාව අදට පමණක්‌ සීමා වූවක්‌ ද නො වේ. බ්‍රහ්මන් පරම සත්‍ය ලෙස ගත්තෝ, එනම් වෛදිකයෝ සත්‍යය පිළිබඳ තම නිර්වචනය නිරපේක්‍ෂ ලෙස ගත් හ. දෙවියන් වහන්සේ විශ්වාස කළ අයට ද උන්වහන්සේ නිරපේක්‍ෂ පරම සත්‍යයක්‌ විය. එහෙත් බ්‍රහ්මන් හෝ දෙවියන් වහන්සේ හෝ පංචෙන්ද්‍රියවලට ගෝචර නො වූ හ.

බුදුදහමෙහි ද ඊනියා පරම සත්‍යය පරමාර්ථය ආදී සංකල්ප ඇත්තේ පසුකාලීන ව මහායානිකයන් මෙන් ම ඇතැම් හීනයානිකයන් ද ඊනියා සත්‍යයක්‌ පිළිබඳ සංකල්පවලට යට වීම නිසා බව පැහැදිලි ය. බුදුන් වහන්සේ පරම සත්‍යයක්‌ ගැන හෝ පරමාර්ථයක්‌ ගැන හෝ දේශනා නො කළ හ. මා දන්නා තරමින් උන්වහන්සේ සම්මුති සත්‍යයක්‌ ගැන ද දේශනා කර නැත. චතුරාර්ය සත්‍යය, සත්‍යය වන්නේ එය නිවන් අවබෝධය සඳහා උපකාරී වන නිසා බැවිනි. අනෙක්‌ අතට වෛදිකයන් ගේ ඊනියා සත්‍ය කිසිවක්‌ සත්‍ය නො වන බව ප්‍රකාශ කිරීමට ද උන්වහන්සේට අවශ්‍ය වන්නට ඇත.

ඒ කෙසේ වෙතත් අප මෙහි දී අවධාරණය කරන්නේ අනෙක්‌ කරුණුවල දී මෙන් ම ඇත්ත හා බොරුව පිළිබඳ කරුණෙහි දී ද, අපට ඇත්තේ මිනිසුන් විසින් ගොතන ලද සාපේක්‍ෂ කතාන්දර පමණක්‌ බව ය. මේ කතාන්දර කාලයෙන් කාලයට, දේශයෙන් දේශයට, දීපයෙන් දීපයට, ගෝත්‍රයෙන් ගෝත්‍රයට, පවුලෙන් පවුලට, වෙනස්‌ වෙයි. අද ඇත්ත ලෙස පිළිගැනෙන්න හෙට ද ඇත්ත ලෙස පිළිගැනේ වි යෑයි නො සිතිය යුතු ය. ඇත්ත හා බොරුව ද පංචෙන්ද්‍රියවලට, සංස්‌කෘතියට හා මනසට සාපේක්‍ෂ ය.

ඉහත සඳහන් වන්නේ ද ඇත්ත හා බොරුව පිළිබඳ තවත් කතාන්දරයක්‌ පමණකි. එය මා විසින් ගොතන ලද්දකි. එය ද ඇත්ත පිළිබඳ ඊනියා සත්‍යයක්‌ නො වේ. එය මා දන්නා, එනම් මා විසින් නිර්මාණය කෙරී ඇති, බුදුදහමට සාපේක්‍ෂ ය. කිසි ම කතාන්දරයක්‌ නිරපේක්‍ෂ නො වේ. සියලු කතාන්දර පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්‌කෘතියට සාපේක්‍ෂ ය. සියලු කතාන්දර මනස විසින් නිර්මාණය කෙරෙයි. නිවන යනු කතාන්දරයක්‌ නො වේ. එහෙත් එයින් කියෑවෙන්නේ නිවන නිරපේක්‍ෂ හෝ පරමාර්ථය බව නො වේ. කතාන්දරවල බොරුව අවබෝධ කරගැනීම, නැති ඇත්ත නැති ඇත්තක්‌ බව අවබෝධ කරගැනීම නිවන් අවබෝධය වෙයි. අපට අවශ්‍ය බොරුවෙන් නිදහස්‌ වීම මිස ඊනියා ඇත්තක්‌ දැනගැනීම නො වේ. නැති ඇත්ත දැනගන්නේ කෙසේ ද?

එහෙත් පාඨකයනට මෙවැනි ප්‍රශ්නයක්‌ ඇති වීම වැළැක්‌විය හැකි නො වේ. ඇත්ත හා බොරුව අතර වෙනසක්‌ ඇත්තේ ම නැද්ද? උසාවියේ දී ඇත්ත බොරුවෙන් වෙන් කරන්නේ නැද්ද? බුදුදහමෙහි මුසාවාදා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි යනුවෙන් කියන විට ඉන් ගම්‍ය වන්නේ කුමක්‌ ද? මේ ප්‍රශ්නවල වැදගත්කමක්‌ ඇත. එබැවින් අප ඒ විශ්ලේෂණය කළ යුතු ය. අප පළමුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ ඇත්ත හා බොරුව යනුවෙන් කියෑවෙන්නේ කුමක්‌ දැයි පැහැදිලි කර ගනිමු.

අප බොහෝ දෙනා එකඟ වන පරිදි මා ඉදිරිපිට ඇති වස්‌තුව පුටුවක්‌ යෑයි කියමු. අප බොහෝ දෙනාට අනුව මේ මොහොතේ මා ඉදිරිපිට පුටුවක්‌ ඇත. එහෙත් රහතන් වහන්සේ නමක නො වන කිසිවකු පැමිණ මෙහි පුටුවක්‌ නැතැයි කීමට ඉඩ ඇත. ඔහු සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු බව ද ඔහු ගේ මනස ද ප්‍රකෘති තත්ත්වයෙන් ඇත යනුවෙන් ද අපි විශ්වාස කරමු. ඔහුට මා ඉදිරිපිට පුටුවක්‌ ඇති බව නො පෙනෙනවා නො වේ. ඔහුට පුටුව පිළිබඳ සංකල්පයක්‌ ඇත. එහෙත් කිසියම් හේතුවක්‌ නිසා මා ඉදිරිපිට පුටුවක්‌ නැතැයි ඔහු කියයි. ඒ හේතුව ඔහුට විය හැකි පාඩුවක්‌, අවාසියක්‌ වැළැක්‌වීම විය හැකි ය.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව ඔහු මා ඉදිරිපිට පුටුවක්‌ නැතැයි කීම බොරුවක්‌ කීම ලෙස ගැනෙයි. අනෙක්‌ සියල්ලන් ම මා ඉදිරිපිට පුටුවක්‌ තිබේ යෑයි කියද්දී ඔහු ඒ බව පිළිගැනීම ප්‍රතික්‌ෂේප කරයි. එය බොරු කීමක්‌ නො වේ ද? එසේ නම් ඇත්ත හා බොරුව යනුවෙන් ද්වෛතයක්‌ (දෙකක්‌) නැද්ද? මෙහි දී අපට පළමුවෙන් ම තේරුම් ගැනීමට සිදු වන්නේ මා ඉදිරියේ පුටුවක්‌ ඇත් ද යන්න ය. මා ඉදිරියේ ඇති පුටුව යන්න සම්මුතියක්‌ පමණි. මා ඉදිරියේ පුටුවක්‌ ඇතැයි කීම සත්‍යයක්‌ නො වේ. පෘථග්ජනයන් ගේ සම්මුතියට අනුව මා ඉදිරියේ පුටුවක්‌ ඇති මුත් එය සත්‍යයක්‌ නො වේ.

එසේ වුවත් මෙවැනි අවස්‌ථාවල අප කියන්නේ සත්‍ය යෑයි අපි ගනිමු. එය සම්මුති සත්‍යයක්‌ නො වේ. එහෙත් එය සත්‍යයක්‌ ලෙස අපි සලකමු. එය එසේ නො වේ යෑයි දැන දැන කීම, එනම් සම්මුතියෙන් ඒ එසේ බව දැන දැනත් එසේ නො වේ යෑයි ද කීම මුසාවක්‌, බොරුවක්‌ ලෙස අපි සලකමු. මා ඉදිරියේ පුටුවක්‌ ඇති බව සම්මුතියෙන් දැන දැනත් මා ඉදිරිපිට පුටුවක්‌ නැතැයි කීම මුසාවක්‌ පැවසීමක්‌ යෑයි අපි සලකමු.

සම්මුතියෙන් ඇත්ත හා බොරුව අතර ඇත්තේ එවැනි වෙනසකි. සම්මුතියෙන් යමක්‌ ඇති බව දැන දැනත් එයට පිටින් ගොස්‌ ඒ නැතැයි කීම බොරු කීමකි. අප වැළකිය යුත්තේ එවැනි බොරුකීම්වලින් ය. පෘථග්ජනයන් ලෙස සිටින තාක්‌ සම්මුතිය ද බොරු බව අපි නො දනිමු. එහෙත් අපට සම්මුතිය සමග එකඟ වීමට සිදු වෙයි. අප සම්මුතිය සමග එකඟ වන්නේ අපේ අනවබෝධය නිසා ය.

දැන් මා ඉදිරිපිට රහතන් වහන්සේ නමක වැඩම කර මෙතැන පුටුවක්‌ නැතැයි දේශනා කරන්නේ යෑයි සිතන්න. උන්වහන්සේ දේශනා කරන්නේ බොරුවක්‌ ද? කිසිසේත් ම නැත. උන්වහන්සේට අනුව මා ඉදිරිපිට පුටුවක්‌ නැත. එබැවින් උන්වහන්සේ මා ඉදිරිපිට පුටුවක්‌ ඇතැයි දේශනා කරන්නේ කෙසේ ද? මෙහි දී ද අපට පෙනී යන කාරණය නම් යමක්‌ ප්‍රකාශ කරන තැනැත්තාට අනුව ද ඇත්ත හා බොරුව තීරණය වන බව ය.

අප නිවන් අවබෝධ කරන තුරු සම්මුතියට එකඟ ව බොරු කියමු. එය වැළැක්‌විය නොහැකි ය. ඒ බොරුව එකකි. නිවන් අවබෝධ නො කර සම්මුතියට එරෙහි ව ඇතැම් ප්‍රකාශ කිරීම සම්මුතියට අනුව බොරු කීමකි. ඒ බොහෝ විට අපේ වාසිය සඳහා විය හැකි ය. අප එවැනි බොරු කීමෙන් වැළකිය යුතු ය. නිවන් අවබෝධ කිරීමෙන් පසුව රහතන් වහන්සේ ඇතැම්විට සම්මුතියකට එරෙහි ව දේශනා කරන කරුණු මුසා නො වේ.

නිවන් අවබෝධ කරන තුරු අපට බොරු කීම හැර වෙනත් දෙයක්‌ කීමට නොහැකි ය. එහෙත් අප කියා ඇත්තේ සත්‍යය යන්න සාපේක්‌ෂ බව ය. අද බටහිරයෝ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ ඇත්ත යෑයි ගනිති. කලකට පෙර වෛදිකයෝ මනසට ගෝචර එහෙත් පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන දේ සත්‍ය ලෙස ගත් හ. මේ එකක්‌ වත් සත්‍ය නො වේ. ඒ සම්මුතීන් පමණකි. මීළ`ග සියවසේ සම්මුතිය කුමක්‌ වේ ද? ගණිතයට සාපේක්‌ෂව විසංවාදවලින් තොර ප්‍රකාශ සත්‍ය ලෙස ගැනීමට බටහිරයෝ සම්මුතියක්‌ තනා ගැනීමට උත්සාහ දරති. එය සාර්ථක වේ දැයි දැනට කිව නොහැකි ය.

ඇත්ත හා බොරුව පිළිබඳ ඒ කෙටි විශ්ලේෂණයෙන් පසුව ඇත්ත හා බොරුව එකිනෙකින් වෙන් කර ගැනීමේ ප්‍රශ්නය වෙත අපි යොමු වෙමු. මෙය අද බටහිර විද්‍යාවේ හා බටහිර දර්ශනයෙහි වැදගත් ප්‍රශ්නයක්‌ බවට පත් වී ඇත. බටහිර දාර්ශනිකයන්ට දැනුම යන්න නිර්වචනය කරගැනීමට නොහැකි ය. පසුගිය සියවසේ පහළ වූ ප්‍රධාන ම බටහිර දාර්ශනිකයකු වූ විටිගන්ස්‌ටයින් දැනුම යනු කුමක්‌ දැයි පැහැදිලි කිරීම අතහැර දැමුවේ ය. බටහිරයන්ට එය කිරීමටත් නොහැකි ය.

බටහිරයෝ දැනුම මිථ්‍යාවෙන් වෙන් කරති. ඔවුන්ට ද්වෛතය (duality) නොමැතිව සිතීමට නො හැකි ය. ඇත්ත හා බොරුව, දැනුම හා මිථ්‍යාව ආදී වශයෙන් ඔවුහු විරුද්ධාර්ථවලින් සිතති. ඇරිස්‌ටෝටලීය න්‍යාය බිහි වී ඇත්තේ ද මේ ද්වෛත මූලික චින්තනය හේතු කොටගෙන ය. දැනුම යනු කුමක්‌ ද? මිථ්‍යාව යනු කුමක්‌ ද? දැනුම සත්‍ය යෑයි බටහිර දාර්ශනිකයෝ පවසති. එවිට මිථ්‍යාව අසත්‍ය වෙයි. අපි නැවතත් සත්‍යය හා අසත්‍යය අතර හිර වෙමු. එහෙත් එය සාපේක්‍ෂ ය. එහි නිරපේක්‍ෂ සත්‍යයක්‌ නැත. අපි මේ බොරුවෙන් මිදෙමු. ඒ සඳහා බොරු මෙන් ම පට්‌ටපල් බොරු ද හඳුනා ගනිමු.

නලින් ද සිල්වා