logo3.gif (702 bytes)

HOME


පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන දෙවියන් වහන්සේ

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මේ සතියේ දී මා න`ගා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දේ වි යෑයි බලාපොරොත්තු වෙමි. ඔහු පිළිතුරු දුන්නත් නැතත් මා පසුගිය සතියේ ප්‍රකාශ කළ පරිදි මගේ ප්‍රතිචාරය වෙනස්‌ නො වනු ඇත. අප සාකච්ඡා කරමින් සිටියේ ඇත්ත හා බොරුව ගැන ය. අපි එය තවදුරටත් ඉදිරියට ගෙන යමු.

කලකට ඉහත, මිනිසුන් මනසින් ගත් දේ ද, එනම් පංචෙන්ද්‍රිය නොමැති ව මනසට පමණක්‌ ගෝචර වූ දේ ද ඇතැයි ගෙන ඇති නමුත් අද බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ ද වෙනත් ඇතැම් සංස්‌කෘතිවල ද අධිපතිවාදී මතය බවට පත් වී ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ පමණක්‌ ඇතැයි ගැනීම මුල් කරගත් මතවාදයක්‌ ය. බටහිර මෙය සිදු වූයේ පහළොස්‌වැනි සියවසෙන් පසුව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය අධිපතිවාදී චින්තනය බවට පත් වීමෙන් පසුව යෑයි සිතිය හැකි ය. අද වන විට අප වැනි රටවල ද බටහිර දේශපාලන ආධිපත්‍යය හේතු කොටගෙන ඒ චින්තනය අධිපතිවාදී චින්තනය බවට පත් වී ඇත. අශෝක අමරතුංග මහතා පමණක්‌ නො ව ගුණදාස අමරසේකර මහතා ද, මාර්ටින් වික්‍රමසිංහ මහතා ද, එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ද බිහි වන්නේ මේ අධිපතිවාදී චින්තනය තම අධ්‍යාපනය ම`ගින් ලබාගැනීම හේතු කොටගෙන ය. ඔවුන් පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන පුනබ්භවය විශ්වාස නො කරන මිසදිටුවන් බවට පත් වී ඇත්තේ එබැවිනි.

මේ කිසිවකුට වත් ලෝකයෙහි ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ පමණක්‌ යෑයි පෙන්වා දිය හැකි නො වේ. වෙනත් වචනවලින් කිව හොත් පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන දේ නැතැයි ඔවුන්ට කිසි ම සැකයකින් තොර ව පෙන්වා දිය හැකි නො වේ. පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන දේ අපට දැකගත නො හැකි ය. ඇසිය නො හැකි ය. ස්‌පර්ශ කළ නො හැකි ය. රස දැනගත නො හැකි ය. ගඳ සුවඳ දැනගත නො හැකි ය. එහෙත් එපමණකින් එවැනි දේ නැතැයි කියන්නේ කෙසේ ද?

අනෙක්‌ අතට පංචෙන්ද්‍රියවලට ගෝචර වූ පමණින් යමක්‌ ඇතැයි කියන්නේ කෙසේ ද? අපි මිරිඟුව ගැන දනිමු. බටහිර භෞතික විද්‍යාවට මිරිඟුව ගැන යම් පැහැදිලි කිරීමක්‌ ඇත. අපි එය පසෙකින් තබමු. අප මිරිඟුව නැති බව දන්නේ කෙසේ ද? මිරිඟුව ඇතැයි පෙනෙන තැනට අප ගිය විට එහි මිරිඟුවක්‌ නැති බව වැටහෙයි. එබැවින් මිරිඟුව මායාවක්‌ බොරුවක්‌ යෑයි අපි කියමු. එහෙත් මිරිඟුව නැති බව වැටහෙන තෙක්‌ අපි මිරිඟුව පසුපස දුවමු. මෙයින් පැහැදිලි වන කරුණ නම් පංචෙන්ද්‍රිය ගැන අපට විශ්වාසයක්‌ තැබිය නොහැකි බව ය.

අනෙක්‌ අතට අපට නො ඇසෙන ඇතැම් ශබ්ද බල්ලන් වැනි වෙනත් සතුන්ට ඇසෙන්නේ යෑයි අපි කියමු. එමෙන් ම අපට නොමැති ඉවක්‌ වෙනත් සතුන්ට ඇතැයි අපි සිතමු. මෙහි ප්‍රශ්නයක්‌ ඇති බව බැලූ බැල්මට ම පෙනෙයි. අපට නො ඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යෑයි අප දන්නේ කෙසේ ද? අප ඇතැයි සිතන්නේ අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක්‌ නම් අපට නො ඇසෙන දේ බල්ලන්ට ඇසෙන බව අප සිතන්නේ ඒ එසේ බව අපේ පංචෙන්ද්‍රියවලින් කිසි ම ඉන්ද්‍රියකට ඒ ගෝචර වීම නිසා නො වේ. අපට නො ඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව අපට ගෝචර වන ඉන්ද්‍රියයක්‌ පංචෙන්ද්‍රිය අතර නැත.

එසේ නම් අපට නො ඇසෙන ඇතැම් ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යෑයි අප නිගමනය කරන්නේ කෙසේ ද? ඒ අපේ ඉන්ද්‍රිය පහෙන් එකකට වත් ගෝචර නො වන බැවින් එය ඇත්ත පිළිබඳ සම්මත නිර්ණායකයට අනුව බොරුවක්‌ විය යුතු ය. එහෙත් අපි එය බොරුවක්‌ යෑයි නො සිතමු, නො ගනිමු, එතැන පරස්‌පරයක්‌ නො වේ ද? පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන ඇතැම් දේ ඇතැයි ගැනීමටත්, වෙනත් ඇතැම් දේ නැතැයි ගැනීමටත් හේතුව කුමක්‌ ද? ඒ දේ අතර වෙනසක්‌ වේ ද?

අපට නො ඇසෙන දේ බල්ලන්ට ඇසෙන්නේ යෑයි අප නිගමනය කරන්නේ හුදෙක්‌ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පදනම් වීමෙන් නො වේ. ඒ අපේ ප්‍රත්‍යක්‍ෂය නො වේ. ප්‍රත්‍යක්‍ෂය යන වචනය මේ සංවාදය මුල දී ම අමරතුංග මහතා ගේ විවේචනයට භාජන වූවකි. ප්‍රත්‍යක්‍ෂ යන්නට ඒ මහතා සංස්‌කෘත නිර්වචනයක්‌ ද දුන්නේ ය. ප්‍රත්‍යක්‍ෂය යන්න සංස්‌කෘත වචනයක්‌ බැවින් නිර්වචනය සංස්‌කෘතෙන් වීම ප්‍රශ්නයක්‌ නො වේ. ප්‍රත්‍යක්‍ෂය යන්න නිර්වචනය කෙරෙන්නේ ඇස්‌ ඉදිරිපිට සෘජු ව ම ආදී ලෙස ය. එනම් වෙනත් සංකල්පයකින් ප්‍රවාදයකින් තොර ව ඇසෙන් සෘජු ව ම ගෝචර වන්නේ ය යන අදහස එහි වෙයි.

මෙය ඇසට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. වෙනත් ඕනෑ ම ඉන්ද්‍රියයකට එය යොදාගත හැකි ය. කණ, නාසය, දිව, සිරුර (හම) ඉන්ද්‍රියයන් සම්බන්ධයෙන් ද ප්‍රත්‍යක්‍ෂය ඉහත කී අර්ථයෙන් යොදාගත හැකි ය. එහෙත් එසේ සෘජු ව තනාගත හැකි සංකල්ප කවරේ ද? අපි ඇස පිළිබඳ උදාහරණය ගනිමු. අපේ ඇස්‌වලට පෙනෙන්නේ වර්ණ ය. එසේත් නැත්නම් හැඩ රුව ය. වර්ණය නිල්, රතු, කොළ ආදිය විය හැකි ය. හැඩය වටකුරු දිගැටි ආදී වශයෙන් විය හැකි ය. එහෙත් මේ සැම තැනක ම එය හුදු සංජානනයක්‌ පමණක්‌ නො වන බව පෙනී යයි. ඒ සැම අවස්‌ථාවක ම සංජානනය හා බැඳුණු සංකල්පයක්‌ වෙයි.

සංකල්පය මනසෙහි නිර්මාණයක්‌ වෙයි. නිල් නම් සංකල්පය නො වන්නට නිල් පාට පිළිබඳ සංජානනයක්‌ නැත. සංකල්පයකින් තොර ව සංජානනයක්‌ නැත. එහෙත් සංජානනයකින් තොර ව සංකල්ප තිබිය හැකි ය. සංකල්ප ඇති වන්නේ මනසෙහි ය. මනසට පංචෙන්ද්‍රියන් ගෙන් තොර ව පැවැත්මක්‌ ඇති බව මනස කියා දෙයි. එහෙත් අධිපතිවාදී ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ඒ නො පිළිගැනෙයි.

අපේ ඇස්‌වලට කිසි දිනෙක කෝප්පයක්‌ නො පෙනෙයි. අපට කෝප්පය පෙනෙන්නේ යෑයි කීම කෙප්පකි. කෝප්පය පෙනෙන්නේ හෝ ගෝචර වන්නේ හෝ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියට ද? කෝප්පය යනු මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පයකි. කෝප්පය ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි සඳහන් කිරීමට හැකි ප`ඩියෙක්‌ සිටින්නේ ද? ප්‍රත්‍යක්‍ෂ යනු පංචෙන්ද්‍රියයන්ට හා මනසට හෝ මනසට පමණක්‌ හෝ වෙනත් සංකල්ප ප්‍රවාද ආදිය නොමැති ව සෘජු සංකල්ප පමණක්‌ භාවිත කරමින් ගෝචර වන දේ යෑයි මම සිතමි. මෙය සංස්‌කෘත සාහිත්‍යයෙහි දක්‌නට ලැබෙන නිර්වචනවලින් තරමක්‌ වෙනස්‌ වනවා විය හැකි ය. එමෙන් ම රහතන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂ පෘථග්ජනයන් ගේ ප්‍රත්‍යක්‍ෂවලින් ද, බුදුන්වහන්සේ ගේ අන් සියලු ප්‍රත්‍යක්‍ෂවලින් ද වෙනස්‌ වන්නේ ය යනු මගේ විශ්වාසය වෙයි.

මට ශබ්දයක්‌ ඇසෙයි. එය මගේ ප්‍රත්‍යක්‍ෂයක්‌ විය හැකි ය. එහෙත් මට නො ඇසෙන ශබ්දයක්‌ බල්ලන්ට ඇසෙන්නේ ය යන්න මගේ ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. එය මා තර්කයෙන් න්‍යායෙන්, නිරීක්‌ෂණවලින් හා වෙනත් ක්‍රම ම`ගින් ලබාගන්නා නිගමනයක්‌ පමණකි. මට කිසි ම වෙනසක්‌ නො දැනෙන අවස්‌ථාවල දී බල්ලන් කන් දික්‌ කරගෙන සිටිනු මම දැක ඇත්තෙමි. එය මගේ පමණක්‌ නො ව තවත් අය ගේ ද අත්දැකීම වෙයි. එහෙත් අපට එයින් බල්ලන්ට නො ඇසෙන ශබ්ද ඇසෙන්නේ යෑයි නිගමනය කළ හැකි ද?

එවැනි නිගමනයකට පැමිණීමට පෙර අප පියවර ගණනක්‌ පසු කළ යුතු ය. එහෙත් ඒ හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. බල්ලන් එසේ කන් දික්‌ කරගෙන සිටීමෙන් පසු බිරීම, සුළු වේලාවකින් වෙනත් සතකු ඒ අසලිsන් ගමන් කිරීම ආදිය මත පදනම් ව මම ඒ බල්ලාට මට නො ඇසුණු යමක්‌ ඇසුණු බව නිගමනය කරමි. එය එක්‌තරා ආකාරයක ප්‍රවාදයකි. ඒ වියුක්‌ත ප්‍රවාදයක්‌ නො විය හැකි ය. එහෙත් එය අඩු ම තරමෙන් සංයුක්‌ත ප්‍රවාදයකි. ඉන්පසු මගේ ඒ බල්ලා පිළිබඳ තිබූ අත්දැකීම් මත පදනම් ව ඒ බල්ලා සම්බන්ධයෙන් සාධාරණ (සාමාන්‍ය නො වේ) උද්ගමනයන්ට (ආගමනය නො වේ) මම අවතීර්ණ වෙමි. ඉන්පසු අනෙක්‌ අය ගේත් අනෙක්‌ බල්ලන් සම්බන්ධයෙන් ඇති අත්දැකීම් මත පදනම් ව අපි වඩාත් සාධාරණ උද්ගමනයන්ට අවතීර්ණ වෙමු.

එය කෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක්‌ ද යන්න පාඨකයනට පැහැදිලි විය යුතු ය. මට නො ඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව අප දන්නේ ප්‍රවාද, අත්දැකීම්, උද්ගමන, තර්ක, න්‍යාය ආදිය යොදාගැනීමෙනි. එහෙත් අපි එය පංචෙන්ද්‍රියවලට ගෝචර අත්දැකීම් ලෙස හඳුන්වමු. තර්ක න්‍යාය ආදිය ද අපේ මනස්‌වල නිර්මාණ බව බොහෝ දෙනාට අමතක වී ගොස්‌ ය. අපට පචෙන්ද්‍රියවලට පමණක්‌ සීමා වූ ලෝකයක ජීවත් විය නො හැකි ය.

ඒ ඒ අය ගේ ලෝකයෙහි වැඩිපුර ඇත්තේ පංචෙන්ද්‍රියවලට පමණක්‌ සීමා නො වූ සංකල්ප, ප්‍රවාද ආදිය ය. එහෙත් අධිපතිවාදී චින්තනයෙහි අපට කියා දෙන්නේ වෙනත් දෙයකි. පංචෙන්ද්‍රියවලට ගෝචර නො වූ දේ නැතැයි යමකු කියන්නේ කිනම් අරුතකින් ද? පංචෙන්ද්‍රියවලට පමණක්‌ ගෝචර වූ ලෝකයක ජීවත් වන්නේ යෑයි කියන අයකු වෙතොත් ඒ බව පෙන්නුම් කරන ලෙස අභියෝග කරමි.

එවිට ප්‍රශ්නය වනුයේ අප ඇතැමුන් යම් යම් කරුණු සම්බන්ධයෙන් පංචෙන්ද්‍රියවලට ගෝචර නො වූ ලෝකයක්‌ ඇති බව පිළිගැනීමත් වෙනත් කරුණු සම්බන්ධයෙන් එසේ නො පිළිගැනීමත් ය. එවිට එසේ පිළිගැනීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක ඉදිරිපත් කළ යුතු වෙයි. මේ ප්‍රශ්න සියල්ල පැනන`ගින්නේ ඇත්ත බොරුවෙන් වෙන් කිරීමට ගිය විට ය. පෘථග්ජන සංකල්ප, ප්‍රවාද ආදී සියල්ල මුසා යෑයි ගත් කල මේ ප්‍රශ්න පැන නො න`ගියි. පංචෙන්ද්‍රියවලට (හා මනසට) ගෝචර වන දේ පමණක්‌ ඇතැයි කී විට දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නය ද පැන න`ගියි. දෙවියන් වහන්සේ පංචෙන්ද්‍රියවලට (හා මනසට) ගෝචර නො වේ. ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි මේ ප්‍රශ්නයට පිළිතුරක්‌ නැත. අද එහි දී කෙරෙන්නේ ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය පරිදි ඒ සම්බන්ධ නිගමනවලට එළඹීමට ඉඩ ලබා දීම ය. මෙය නාථ දෙවියන් පිළිබඳ සංකල්පයට වඩා සංකීර්ණ ය. දෙවියන් වහන්සේ අදාළ සංකල්පයට අනුව සමස්‌ත ලෝකය ම මැවූ හ.