logo3.gif (702 bytes)

HOME


විද්‍යාවට එරෙහි වන
පශ්චාත් නුතනවාදය


මීට පෙර ලිපියෙන් (විදුසර 03.9.2014) පෝල් ෆෙයරබෙන්ඩ් නමැති විද්‍යා දාර්ශනිකයා ගේ මතවාදවල ඇති දුර්වලකම් පෙන්වා දුන්නෙමි. ෆෙයරබෙන්ඩ් බොහෝ ලෙසින් පශ්චාත් නුතනවාදීන් ගේ අදහස්‌ පිළිගෙන ඒවාට අනුකූලව තම මතවාද සකස්‌ කරගෙන ඇති බව පෙනේ. ඔහු ගේ අදහස්‌ හතක්‌ එම ලිපියේ සඳහන් කළෙමි. විද්‍යාවට ගරහන්නන් බොහෝ දෙනෙක්‌ ෆෙයරබෙන්ඩ් ගේ සහ පශ්චාත් නුතනවාදීන් ගේ අදහස්‌ පුනරුච්ඡාරණය කරන බව පෙනෙන හෙයින් ඒවා හොඳින් අධ්‍යයනය කිරීම විද්‍යාව හදාරන කොයි කවුරුත් කළ යුතු දෙයකි. පශ්චාත් නුතනවාදී අදහස්‌ පෝල් ෆෙයරබෙන්ඩ් ගේ අදහස්‌ සමග සම වන්නේ කෙසේ ද ඒවා විද්‍යාවට බලපාන්නේ කෙසේ දැයි සොයාබැලීම මේ ලිපියේ අරමුණ ය. පළමුව පශ්චාත් නූතනවාදය පිළිබඳව කෙටි සඳහනක්‌ කළ යුතු ය. එය වටහාගැනීම පිණිස නූතනවාදය කුමක්‌ දැයි දැනගත යුතු හෙයින් ඒ ගැන වචනයක්‌ කිව යුතු ය.

පළමුවෙන් ම කිව යුත්තේ නූතනවාදය හෝ පශ්චාත් නූතනවාදය මුළු ලොවට ම අදාළ හෝ පොදු මතවාද නො වන බව ය. නූතනවාදය යන්නෙන් අදහස්‌ කරන්නේ ප්‍රධාන වශයෙන් සාම්ප්‍රදායික වන දෘෂ්ටිය වෙනස්‌ වී ඊට ප්‍රතිවිරුද්ධ වන රටාවක්‌ සහ දර්ශනයක්‌ නිර්මාණය වීම ය. ඊට අනුව සාම්ප්‍රදායික සමාජ අතිශයින් සරල විය. නූතන සමාජ සංකීර්ණ විය. සමාජයට වඩා පුද්ගලත්වය වැදගත් විය. සාම්ප්‍රදායික ආගම් යටපත් කරමින් ලෞකිකත්වය ඉස්‌මතු විය. නව්‍යත්වයේ බලපෑම නිසා මානව සම්බන්ධතා, චර්යා ධර්ම, වෙනස්‌ වී නව සාර ධර්ම, ජීවන රටා බිහි වූයේ ය. කෙසේ වුවත් ශ්‍රී ලාංකික අපට වැදගත් වන්නේ මේ සංකල්ප අපට අදාළ ද මේවා සැම සමාජයකට ම පොදු ලෙස ගත හැකි ද යන්න ය. කෙසේ වුවත් අප ගේ අරමුණ වී ඇත්තේ මේ සංකල්ප විද්‍යාව මත බලපාන්නේ කෙසේ ද යන්න සොයාබැලීම ය. මක්‌ නිසා ද විද්‍යාව සැමට පොදු ක්‍රීයාදාමයක්‌ වන නිසා ය. ලෝක සාහිත්‍යය දෙස බලන විට නූතනත්වය සහ පශ්චාත් නූතනත්වය ගුරුකොට රචනාවේ යෙදෙන ගත්කරුවන් සිටින බව පෙනේ. උදාහරණ ලෙස නූතනත්වය පසුබිම් කොට ලියන කර්තෘන් වන්නේ ටී. එස්‌. එලියට්‌, ෆ්‍රැන්ස්‌ කෆ්කා වැනි අය ය. ගුන්ටර් ග්‍රාස්‌, ගාර්සියා මාකේස්‌ වැනි ලේඛකයෝ පශ්චාත් නූතනවාදයට අනුකූලව රචනාවල යෙදෙන බව පෙනේ. මේ කරුණු ද අපට අදාළ නො වන්නට පුළුවන. අප ගේ සාහිත්‍යයේ පසුබිම විය යුත්තේ අප ගේ සමාජය සහ සංස්‌කෘතිය ය. නූතනත්වය හෝ පශ්චාත් නූතනත්වය යෑයි බටහිර ලෝකය විසින් හැඳිනගැනෙනා ලක්‌ෂණ අප ගේ සංස්‌කෘතියේ නො තිබෙන්නට පුළුවන. එහෙත් විද්‍යාව පිළිබඳව මේ මතවාද ඉදිරිපත් කරන අදහස්‌ අපට වැදගත් වන්නේ ය. මක්‌ නිසා ද කොතැනත් කවදත් ඇත්තේ එක ම විද්‍යාව නිසාය. එය ආරක්‌ෂා කරගැනීම අප ගේ වගකීම සහ උරුමයයි. විද්‍යාවේ හතුරන් එම නිසා අප පරාද කළ යුතු ය.

මුලින් ම පශ්චාත් නූතනවාදය යන තේරුම ඇති වචන යෙදෙන්නේ වර්ෂ 1870 පමණ බව පැවසේ. වොට්‌කින්ස්‌ චැප්මන් නමැති ඉංගී්‍රසි ජාතික චිත්‍ර ශිල්පියා මහජන ප්‍රතිචාර ලබා තිබුණු චිත්‍ර හැඳින්වීම සඳහා පශ්චාත් නව්‍යවාදී චිත්‍ර යන්න යොදාගත් විට මෙය සිදු වූයේ යෑයි විශ්වාස කෙරේ. ඊට පසු වර්ෂ 1934 දී ආර්නල්ඩ් ටොයින්බී නමැති ඉතිභාසඥයා පශ්චාත් නව්‍ය යුගය යනුවෙන් සඳහන් කොට ඇත. මිනිස්‌ සහ ශිෂ්ටාචාරයන්හි වර්ධනය පිළිබඳ අධ්‍යයනයක නිරත වෙමින් ඔහු එම ඉතිහාසය යුග සතරකට බෙදා දක්‌වයි. ඒවා නම් ( අඳුරු යුගය (675 - 1075), මධ්‍යතන යුගය (1075 - 1475), නව්‍ය යුගය (1475 - 1875), පශ්චාත් නව්‍ය යුගය (1875 - අද). වර්ෂ 1950 දී ඇමෙරිකානු සාහිත්‍යකරුවෝ පශ්චාත් නූතනවාදය පිළිබඳව කතා කරන්නට පටන් ගත් හ. වර්ෂ 1970 දී පමණ පශ්චාත් නූතනවාදය පිළිබඳ සාකච්ඡා ශීඝ්‍රයෙන් වැඩි වූයේ ගෘහ නිර්මාණ ශිල්පීන් මේ මතවාදය පිළිගැනීම නිසා ය. කෙසේ නමුත් සමස්‌තයක්‌ ලෙස පශ්චාත් නූතනවාදීන් කොටස්‌ දෙකකට බෙදිය හැකි ය. එක්‌ කණ්‌ඩායමක්‌ කියන්නේ පශ්චාත් නූතනවාදය විසින් සමාජ පිරිහීම පෙන්නුම් කෙරෙන බව ය. දෙවැනි කණ්‌ඩයාමට අනුව එය මානව චින්තන ධාරාවේ වර්ධනයක්‌ ලෙස පිළිගත හැකි ය.

නූතනවාදය සහ පශ්චාත් නූතනවාදය සංසන්දනය කොට ඒවායේ වෙනස තේරුම්ගැනීම පළමුව කළ යුතු ය. එසේ ඒවා සංසන්දනය කරන විට මතු වන ලක්‌ෂණ සමාජ විකාශනයේ වෙනස්‌කම් ලෙස පෙනෙන්නට ඇත. නැතිනම් සංස්‌කෘතික ලක්‌ෂණ ලෙස පෙනෙන්නට ඇත. ඒවා විද්‍යාවට අදාළ වන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක්‌ විය හැකි ය. මේ වෙනස්‌කම් විද්‍යා දාර්ශනිකයන් කෙරෙහි මොන අන්දමේ බලපෑමක්‌ කොට ඔවුන් ගේ චින්තනය වෙනස්‌ කරන්නට ඇත් දැයි සොයා බැලීමෙන් අපට අවශ්‍ය කරුණු දැනගත හැකි ය.

පශ්චාත් නූතනවාදයේ වර්ධනය සඳහා අවශ්‍ය වූ දාර්ශනික පදනම සකසා දුන් චින්තකයන් ගෙන් ප්‍රධාන වන්නේ ෆෙඩ්රික්‌ නිට්‌ෂේ වන්නේ ය. ජර්මන් ජාතික නිට්‌ෂේ වර්ෂ 1844 උපත ලැබුවේ ය. ඔහු බොන් විශ්වවිද්‍යාලයයේ දේවධර්ම විද්‍යාව හා නිරුක්‌ති විද්‍යාව හැදෑරුවේ ය. පසුව ආතර් ෂොපන්හවර් ගේ බලපෑමට ලක්‌ විය.

සත්‍යය පරම සත්‍යය ලෙස නො ව සාපේක්‌ෂ සත්‍යය ලෙස සැලකිය යුතු බව නිට්‌ෂේ පැවසුවේ ය. The Will to Power (1901) නමැති ඔහු ගේ කෘතියේ මේ අදහස්‌ ගැබ් වී ඇත. තව ද සත්‍යය කිසියම් දෘෂ්ටියකට අනුව යුගයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි මිනිසා විසින් නිපදවෙන බව ඔහු පැවසුවේ ය. එසේ ම සත්‍යය භාෂාව විසින් කරන නිර්මාණයක්‌ බව ද ඔහු පැවසුවේ ය. පෝල් ෆෙයරබෙන්ඩ් වැනි විද්‍යා දාර්ශනිකයන් ගේ මනස මත ඇති කරන ලද බලපෑමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ සත්‍යය පිළිබඳව නිට්‌ෂේ විසින් ප්‍රකාශ කරන ලද මේ අදහස්‌ ය. ඔහු මේ අදහස්‌ උපුටාගත්තේ ආතර් ෂෝපන්හවර් නමැති දාර්ශනිකයා ගෙන් බව පෙනේ. ෂෝපන්හවර් පැවසුවේ ලොව කිසි ම දෙයක්‌ දැනගත නොහැකි බව ය. ඔහු ගේ ගෝලයකු වූ නිට්‌ෂේ එම මතය තවත් වර්ධනය කරමින් සත්‍යය පිළිබඳ ඔහු ගේ අදහස්‌ ඉදිරිපත් කළේ ය. මේ අදහස්‌ නිසා නිට්‌ෂේ උච්ඡෙදවාදියකු ලෙස හඳුනාගන්නා චින්තකයින් සිටිති. විද්‍යාව සත්‍ය ගවේෂණය විය යුතු නිසා මේ අදහස්‌ අපට වැදගත් වන්නේ ය.

නිට්‌ෂේ ගේ කාලයේ දී ම පමණ ජීවත් වූ තවත් ජර්මන් ජාතික දර්ශනිකයකු වන මාර්ටින් හයිඩෙගර් ගේ (1889 - 1976) අදහස්‌ ද පශ්චාත් නූතනවාදය හැඩගැස්‌වීමට ඉවහල් වූ බව පෙනෙන්නට ඇත. ඔහු වර්ෂ 1927 පළ කළ Be and Time යන කෘතිය ම`ගින් මේ අදහස්‌ බොහොමයක්‌ විග්‍රහ කොට ඉදිරිපත් කරයි. මේ කෘතිය පළ වන කාලයේ යුරෝපයේ චින්තකයන් ගේ අවධානය ඥාන විභාගය පිළිබඳව යොමු වී තිබිණි. එහෙත් හයිඩේගර් පෙන්වා දෙන්නට තැත් කළේ සත්‍යයේ ඇති බවට ඔහු දුටු ගැටලු වූයේ ය. ඔහු ගේ අවධානය යොමු වූයේ ඉතිභාසයේ ස්‌වභාවය, කාලයේ පැවැත්ම, සත්‍යය සහ භාෂාව වැනි විෂය ක්‍ෂෙත්‍රයන් කෙරෙහි විය.

හයිඩේගර් ඉදිරිපත් කළ භාෂාව පිළිබඳ මතවාදය ඉමහත් ආන්දෝලනයක්‌ ඇති කිරීමට සමත් විය. ඔහු කීවේ මිනිසා භාෂාව හසුරුවනවාට වඩා සිදු වන්නේ භාෂාව විසින් මිනිසා හැසිරවෙන බව ය. සැම අදහසක්‌ මතයක්‌ පිළිසිඳගන්නේ භාෂාව නමැති කෝෂය තුළ බව ඔහු පැවසුවේ ය. ඔහු භාෂාවට දුන් වැදගත්කම අතිශයින් වැඩි බව බොහෝ චින්තකයන් ගේ අදහස විය. මුළු මිනිස්‌ ජීවිත ක්‍රියාදාමය ම මිනිසා විසින් ම නිර්මාණය කරන ලද භාෂාව තුළට කොටු කරන්නට නුපුළුවන් බව ඔවුන් ගේ අදහස විය. භාෂාව පිළිබඳ හයිඩේගර් ගේ අදහස්‌ කෙළින් ම හෝ ප්‍රධාන පශ්චාත්නූතනවාදීන් වන මිචෙල් ෆුකෝ, පියෙර් බොර්ඩියු, ජැක්‌ ඩෙර්ඩා වැනි චින්තකයන් ගේ මාර්ගයෙන් හෝ පෝල් ෆෙයාර්බෙන්ඩ් මත බලපෑමක්‌ ඇති කළ බව පෙනෙන්නට ඇත. මේ බව පැහැදිලි කිරීම සඳහා ෆෙයරබෙන්ඩ් ගේ පහත සඳහන් අදහස දැක්‌විය හැකි ය. විද්‍යාඥයන් කණ්‌ඩායම් දෙකක්‌ තම මතවාද සංසන්දනය කරන විට භාෂාව නිසා එම මතවාද සම්පූර්ණ ලෙසින් ස්‌වභාවධර්මයේ සිද්ධාන්ත සමග එකඟ කරවීමට බැරි බව ෆෙයාර්බෙන්ඩ් පවසා ඇත. ඔහු ගේ මේ අදහස "පෝල් ෆෙයාරබෙන්ඩ් - විද්‍යාවේ හතුරා" යන මැයෙන් මා ලියූ ලිපියෙන් පෙන්වා දුන්නෙමි. (විදුසර 03.09.2014). ඔහු භාෂාව මෙලෙස විශාල ප්‍රශ්නයක්‌ කරගත්තේ පශ්චාත් නූතනවාදීන් ගේ අදහස්‌වලින් ලද අභාෂාය නිසා බව පෙනෙන්නට ඇත.

ඉහත සඳහන් දාර්ශනිකයන් ගේ අභාෂය ලද මිචෙල් ෆුකෝ, ජීන් බ්‍රෝඩියා, ජැක්‌ ඩෙර්ඩා වැනි ප්‍රධාන ගණයේ පශ්චාත් නූතනවාදීන් ඔවුන් ගේ මතවාද වර්ධනය කරගෙන නොයෙකුත් විෂය කේෂත්‍රයන් තුළ ඒවා ව්‍යාප්ත කිsරීමට ප්‍රයත්න දැරුවෝ ය. ඔවුන් ගේ මතවාදවලින් විද්‍යාවට අදාළව ඉතා වැදගත් වන්නේ යථාර්ථය, සත්‍යය, ඥානය සහ භාෂාව පිළිබඳව ඔවුන් ඉදිරිපත් කළ අදහස්‌ ය. යථාර්ථය පිළිබඳව ඉදිරිපත් කළ අදහස්‌ මෙතැන දී ඉතා ම වැදගත් වන නිසා පළමුව ඒ ගැන සොයා බලමු. යථාර්ථය යනු වාස්‌තවික ප්‍රපංචයක්‌ නො වන බව ද එය සමාජ නිර්මිතයක්‌ සහ භාෂාව තුළින් උපන්නක්‌ බව ද ඔවුහු පැවසුවෝ ය. යථාර්ථය වාස්‌තවික නො වන බව බොහෝ අග්‍ර ගණයේ දාර්ශනිකයන් පවසා ඇති දෙයකි. එහෙත් එය සමාජ නිර්මිතයක්‌ බව ද භාෂාත්මක නිපැයුමක්‌ බව ද පැවසීම විද්‍යා දාර්ශනිකයන් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්‌ වූ මතයක්‌ විය. පශ්චාත් නූතනවාදීන්ට අනුව යථාර්ථය සමාජ නිර්මිතයක්‌ සහ භාෂාත්මක නිපැයුමක්‌ යන්නෙන් අදහස්‌ වන්නේ මිනිසාට එය වටහාගත නොහැකි බව ය. ඒ සඳහා දෙවියන් ගේ මැදිහත් වීමක්‌ නැතිනම් හැම දේ දැකීමේ ආශ්චර්යවත් හැකියාවක්‌ ඇත්තකු අවශ්‍ය බව ඔවුන් ගේ අදහස වී ඇත. පශ්චාත් නූතනවාදීන්ගේ මතවාද තුළ ආගමික බලපෑමක්‌ ඇති බව ද එය ක්‍රිස්‌තියානි ආගම විය යුතු බව ද මින් පෙනේ.

ඥානය වෛෂ්‍යයික වූත් පුද්ගල නිශ්‍රිත වූත් දෙයක්‌ නො වන බව පශ්චාත් නූතනවාදීන් ගේ අදහස වී ඇත. විද්‍යාඥයන් සහ ඥාන විභාගය පිළිබඳ ප්‍රධාන වූ දාර්ශනිකයන් ගේ අදහස වූයේ ඥානය නිරපේක්‌ෂ විය යුතු බවයි. විද්‍යාවේ ක්‍රමවේදය නිර්මාණය වී ඇත්තේ පුද්ගල නිශ්‍රිත භාවය අවම කරගැනීම පෙරදැරි කරගෙන ය. ඥාන ගවේෂණය සැමට පොදු මුළු ලෝකයට ම අදාළ සාර්වික වූ විද්‍යාවක්‌ නො වන්නේ එය තුළ ඇති සාපේක්‌ෂතාවය නැත හොත් එය සිදු වන සංස්‌කෘතියට සාපේක්‌ෂ බව නිසා යෑයි පශ්චාත් නුතනවාදීහු පවසති. සංස්‌කෘතියට සාපේක්‌ෂ විය හැක්‌කේ විද්‍යාඥයා ගේ සංස්‌කෘතික පසුබිම නිසා බව ෆෙයරබෙන්ඩ් සහ තෝමස්‌ කූන් පවසා ඇත. මොවුන් දෙදෙනාට පශ්චාත් නූතනවාදීන් ගේ අභාෂය ලැබී ඇති අන්දම මින් පෙන්නුම් වන්නේ ය. මෙතැන දී වැදගත් වන්නේ විද්‍යාව සංස්‌කෘතියට සාපේක්‌ෂ වන බව නො ව එසේ සිදු නො විය යුතු බව ය. එසේ සිදු වේ නම් එය සැමට පොදු සත්‍යයක්‌ නො වන්නේ ය. එහෙත් අපට අවශ්‍ය හැමට අදාළ සාර්වික වූ විද්‍යාවකි. සැමට පොදු නො වන්නේ නම් එය සත්‍ය විය නොහැකි ය. එවැනි දෙයක්‌ ළඟා කරගත නොහැකි බව පශ්චාත් නූතනවාදීන් ගේ මතය වී ඇත. එහෙත් විද්‍යාවේ ඉතිභාසය සහ එහි සාර්ථකත්වය දෙස බලන විට විද්‍යාව සත්‍යයට ළඟා වෙමින් සිටින බව පෙනේ. උදාහරණයක්‌ ලෙස විද්වත් අයිසෙක්‌ නිව්ටන් ගේ සහ විද්වත් අයින්ස්‌ටයින් ගේ න්‍යාය ඉදිරිපත් කළ හැකි ය. නිව්ටන් ගේ න්‍යාය ආලෝකයේ වේගයට කිට්‌ටු වේගයකින් ගමන් කරන වස්‌තුවක්‌ සඳහා භාවිත කළ නොහැකි ය. ඒ සඳහා භාවිත කළ හැක්‌කේ අයින්ස්‌ටයින් ගේ න්‍යාය වන්නේ ය. එහෙත් හඳට යැමට ගගනගාමියකු රොකට්‌ යානාවකට න`ගින්නේ නිව්ටන් ගේ න්‍යාය භාවිත කොට නිර්මාණය කරන ලද ක්‍රමවේදයක්‌ මත සම්පූර්ණ විශ්වාසය තබා ය. නිව්ටන් ගේ න්‍යාය බොරු බව අයින්ස්‌ටයින් ඔප්පු කර ඇත්නම් මෙය මෙසේ සිදු වන්නේ නැත. විද්‍යාව නිව්ටන් ගේ න්‍යායවල සිට අයින්ස්‌ටයින් ගේ න්‍යාය දක්‌වා වර්ධනය වන විට සත්‍යයට තවත් ළඟා වීමක්‌ මිස බොරුවකින් තවත් බොරුවකට යැමක්‌ සිදු වන්නේ නැත. නිව්ටන් ගේ න්‍යාය සාපේක්‌ෂ වන්නේ කුමන සංස්‌කෘතියට ද? අයින්ස්‌ටයින් ගේ න්‍යාය සාපේක්‌ෂ වන්නේ ඒ සංස්‌කෘතියට ම ද? මෙතන පෙනෙන්නේ සාපේක්‌ෂතාවක්‌ නො ව විද්‍යාවේ දියුණුව ය. නැත හොත් සත්‍යයට ළඟා වීම ය. නිව්ටන් ගේ න්‍යාය භාවිත කොට හඳට යා හැකි නම් ඉන් ඔප්පු වන්නේ එහි යම් කිසි සත්‍යතාවක්‌ ඇති බව ය. නැතිනම් යථාර්ථයට එය කිට්‌ටු බව ය. අයින්ස්‌ටයින් ගේ න්‍යාය යථාර්ථයට තවත් කිට්‌ටු වී ඇත.

පෝල් ෆෙයාර්බෙන්ඩ් සහ තෝමස්‌ කූන් සෘජු ව ම හෝ ව්‍යංගයෙන් හෝ විද්‍යාවට ගරහන්නේ පශ්චාත් නූතනවාදීන් ගේ අභාෂය ලැබී ඇති නිසා ය. විද්‍යාවට ගැරහීම විලාසිතාවක්‌ වූ කාලයක්‌ තිබුණු බව සහ එය විලාසිතාවක්‌ කරගන්නට වෑයම් කළ කණ්‌ඩායමක්‌ වූ බව පෙනෙන්නට ඇත. විද්‍යාවේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කළ මිථ්‍යාවාදීන් පෝල් ෆෙයාර්බෙන්ඩ් ගේ අදහස්‌වල එල්බගෙන ඒවා ව්‍යාප්ත කිරීමට ප්‍රයත්න දැරූ හ.

පශ්චාත් නූතනවාදය දැන් අභාවයට යමින් ඇත. එම මතවාදයේ මූලික පදනම වූයේ යථාර්ථයේ ස්‌වභාවය අභියෝගයට ලක්‌ කිරීම විය. පශ්චාත් නූතනවාදය පරිහානියට යමින් ඇත්තේ යථාර්ථය අභියෝගයට ලක්‌ කිරීම නිසා ම විය. මිනිසා ජීවත් වීමට නම් ඔහු යම් කිසි යථාර්ථයක්‌ මත පය ගසා සිටිය යුතු ය. විද්‍යාව එම යථාර්ථය සපයා දීමට නිතර දෙවෙලේ ප්‍රයත්නයක යෙදී සිටියි. එම ප්‍රයත්නයේ එල නෙළාගනිමින් සිටින මිනිසා යථාර්ථය ළඟා කරගැනීම අත් නො හරියි. ඔහු කොතැනත් කවදත් කළේ එය ම ය. කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව ය. එය සත්‍ය ගවේෂණය වන්නේ ය. යථාර්ථය සංස්‌කෘතික හෝ සමාජ නිර්මිතයක්‌ යෑයි පැවසීම අභාවයට යන්නන් ගේ බහුභූතවාදයකි

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc