logo3.gif (702 bytes)

HOME


දැනුම යනු අවි්‍යාව නිසා ගොතන බොරුවකි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම පසුගිය 20 වැනි දා ලිපියෙන් කූන් ගේ සුසමාදර්ශ ගැන ලිවීමට පටන්ගෙන ඇත. ඒ මහතා එසේ කරන්නේ මා අගෝස්‌තු 13 වැනි දා මගේ ලිපියෙන් ඔහුට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු නො දෙමිනි. ඇතැම් විට අමරතුංග මහතා කූන් ගේ සුසමාදර්ශය පිළිබඳ ව තමන් නො දන්නා, තේරුම් නො ගන්නා දේ ලියා දැක්‌වීමෙන් පසුව ඒ ප්‍රශ්නවලට පිළිතුරු දේ යෑයි සිතමි. ඒ ප්‍රශ්න එකින් එක ගෙන හෝ සියල්ල එකට ගෙන හෝ ඉක්‌මනින් ම පිළිතුරු ලිපියක්‌ හෝ ලිපි පෙළක්‌ හෝ බලාපොරොත්තු වෙමි.

කූන් ගේ සුසමාදර්ශය පිළිබඳ කතාව මම යම්දුරකට පිළිගනිමි. එහෙත් ඒ පිළිබඳ විස්‌තරයක්‌ කිරීමට මේ අවස්‌ථාව නො වේ. අමරතුංග මහතා ගේ අභියෝග අටට ප්‍රතිචාර දැක්‌වීම අවශ්‍ය වෙයි. අනෙක්‌ අතට කූන් ගේ සුසමාදර්ශ කතාව මා පිළිගත්තත් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි මා කියන්නේ කූන් ගේ සුසමාදර්ශය මත පදනම් වී නො වේ. බටහිර විද්‍යාව පිළිබඳ පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස ගත් කල බටහිර දැනුම හා සාධාරණ වශයෙන් ගත් කල දැනුම යනු කුමක්‌ ද යන්න පිළිබඳ ව මගේ ම වූ කතාවක්‌ මට වෙයි. ඒ කතාව මා ගෙතූ කතාවකි. ප්‍රවාද යෑයි කියන සියලු දැනුම් බටහිර වේ වා පෙරදිග වේ වා ඒ ඒ අය ගෙතූ කතා ය.

අපි පසුගිය සතියේ අමරතුංග මහතා ගේ පළමුවැනි අභියෝගයට පිළිතුරු දීම ඇරඹුවෙමු. එය වඩාත් අර්ථවත් කිරීම සඳහා දැනුම යනු කුමක්‌ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ දිය යුතු ය. අමරතුංග මහතා සත්‍යය යනු කුමක්‌ දැයි තේරුම් කර දීමෙන් පසු පිළිතුරෙහි ඉතිරි කොටසට පිවිසීමට බලාපොරොත්තු වෙමි. බටහිර විද්‍යාව ද දැනුමකි. එය ද මිනිසුන් විසින් ගොතන ලද, එනම් නිර්මාණය කරන ලද දැනුමක්‌ වෙයි. එය සොයාගත් දැනුමක්‌ නො වන්නේ සියලු දැනුම් නිර්මාණය කරනු ලැබූ දැනුම් බැවිනි. සොයාගත් දැනුම යන්න ද නිර්මාණය කරන ලද තවත් දැනුමක්‌ පමණකි.

දැනුම පිළිබඳව මගේ කතාව මා ගොතා ඇත්තේ මා දන්නා බුදුදහම මත පදනම් වෙමිනි. මා දන්නා බුදුදහම ද මගේ කතාවකි. එය මගේ බුදුදහම ය. එය මට සාපේක්‍ෂ ය, එය මගේ නිර්මාණයකි, එය බුදුන් වහන්සේ දෙසූ බුදුදහම යෑයි මම කිසි විටෙක නො කියමි. බුදුන් වහන්සේ දෙසූ බුදුදහම ඒ අයුරෙන් ම දන්නා අයකු ලෝකයේ ඇතැයි මම නො සිතමි. බුදුන් වහන්සේ දෙසූ බුදුදහම ඒ අයුරෙන් ම දන්නේ තවත් බුදුන් වහන්සේ කෙනකුන් ම පමණක්‌ යෑයි මම සිතමි. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ ද, අනෙන් රහතන් වහන්සේ ලා ද නිවන් අවබෝධ කරගත් නමුත් බුදුන් වහන්සේ දෙසූ බුදුදහම ඒ අයුරෙන් ම අවබෝධ කර ගත්තේ යෑයි කිව නො හැකි ය. මුගලන් මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ දෙසූ බුදුදහම ඒ අයුරෙන් ම අවබෝධ කරගත්තේ නම් උන්වහන්සේ විශ්වයේ අන්තය සෙවීමට උත්සාහ නො දරනු ඇත.

අප එකිනෙකාට ඇත්තේ අප එකිනෙකා ගේ බුදුදහම මිස ඊනියා නිරපේක්‍ෂ බුදුදහමක්‌ නො වේ. අමරතුංග මහතා ගේ ද, ගුණදාස අමරසේකර මහතා ගේ ද, මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ බුදුදහමෙහි ද, සරච්චන්ද්‍ර මහතා ගේ බුදුදහමෙහි ද කර්මය, පුනබ්භවය නැත. ඔවුන් ගේ සසර ගමනක්‌ නැත. ඔවුහු වාස්‌තවික ව පුද්ගල පැවැත්මක්‌ උරුම කරගනිති. එනම් ඔවුහු වාස්‌තවික පුද්ගලයන් ලෙස ජීවත් වෙති. මේ පවත්නා වස්‌තු මරණයත් සමග කෙළවර වෙයි. ඔවුන් ගේ පැවැත්ම මරණයෙන් ඡේදනය වෙයි. ඔවුහු උච්ඡේදවාදීහු වෙති. ඔවුහු වාස්‌තවික යථාර්ථයක්‌ ගැන විශ්වාස කරති. ඔවුන් ගේ සාහිත්‍ය නිර්මාණ පදනම් වන්නේ වාස්‌තවික ව පවත්නා යථාර්ථයක්‌ මත ය. ඔවුහු බටහිර වාස්‌තවික නිරපේක්‍ෂ මතවාද කරපින්නාගෙන සිටිති.

මගේ බුදුදහමෙහි නිවන් අවබෝධය යනු දැනුම නොදැනුම බවට පත් කිරීම ය. පසුගිය දා පැරීසියේ වැඩවසන එක්‌ භික්‍ෂුන් වහන්සේ නමක්‌ වෙනත් අයකු උපුටා දක්‌වමින් දේශනා කර තිබුණේ "මම නො සිතමි, එබැවින් මම වෙමි" යනුවෙනි. ඒ දෙකාර්තේ නම් සුප්‍රසිද්ධ ප්‍රංශ දාර්ශනිකයා ගේ හා ගණිතඥයා ගේ "මම සිතමි, එබැවින් මම වෙමි" යන ප්‍රකාශයට ප්‍රතිචාරයක්‌ ලෙස ය. එකී භික්‍ෂූන් වහන්සේ බුදුදහම අවබෝධ කරගෙන ඇත්තේ එක්‌ අයුරකින් බව පැහැදිලි ය. නිවන් අවබෝධ කර නිරෝධ සමාපත්ති සුවයට එළඹි රහතන් වහන්සේ නමක්‌ සම්බන්ධයෙන් නම් කිවයුත්තේ සිතන්නකු නැත යනුවෙනි. එතරම් නිවැරැදි නො වූවත් "මම නො සිතමි, මම නො වෙමි" යනුවෙන් ප්‍රකාශ කළ හැකි ය. එහෙත් එය කිසි දිනෙක "මම නො සිතමි, එබැවින් මම වෙමි" යනුවෙන් ප්‍රකාශ නො විය යුතු ය, යන්න මාගේ අදහස ය.

දැනුම පිළිබඳ ව මා විසින් ගොතන ලද කතාවේ පහත සඳහන් කරුණු ද අඩංගු වෙයි. මේ කතාවට අපි නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යෑයි කියමු. ඒ කතාව කෙටියෙන් මෙසේ ය. අපි නිවන් අවබෝධ කරන තෙක්‌ දැනුම නිර්මාණය කරමු. ඒ දැනුම අප විසින් නිර්මාණය කෙරෙන්නකි. තමන් නිර්මාණය කරන දැනුම තමන්ට සාපේක්‍ෂ ය. දැනුම නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. එහි දී මනස ඇතැම් විට පංචෙන්ද්‍රියවල ද සහාය ලබාගනියි. එහෙත් පංචෙන්ද්‍රියවලට පමණක්‌ දැනුම නිර්මාණය කරගත නො හැකි ය. ඇස තිබූ පමණින් අපට යමක්‌ දැකගත නො හැකි ය. ඒ සඳහා චක්‌ඛු විඤ්ඤාණය ද අවශ්‍ය වෙයි. චක්‌ඛු විඤ්ඤාණය මනසෙහි නිර්මාණය කෙරෙන්නකි.

අප පංචෙන්ද්‍රියවලට යමක්‌ ග්‍රහණය කරගන්නේ යෑයි කියන්නේ අදාළ ඉන්ද්‍රිය ආධාර කරගනිමින් මනස විසින් යම් විඤ්ඤාණයක්‌ සහිත ව සංකල්පයක්‌ නිර්මාණය කිරීමට ය. මා මලක්‌ දකින්නේ මගේ ඇස හා මනස එකතු වී මල දැකීම යන සංකල්ප නිර්මාණය කිරීම හේතුවෙනි. මල ඇත්තේ බාහිර ව යන්න නිවැරැදි නො වේ. මනසින් තොර ව වාස්‌තවික ව නිරපේක්‍ෂ ව බාහිර ව පවත්නා මලක්‌ නැත. මම පසුගිය අගෝස්‌තු 13 වැනි දා අමරතුංග මහතාට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට අමතර ව තවත් ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කරමි. නිරීක්‍ෂකයා ගේ මනසින් තොර ව ස්‌වායත්ත ව පවත්නා මලක්‌ වේ ද? එසේ මලක්‌ වේ යෑයි අමරතුංග මහතා කියන්නේ නම් කරුණාකර මනසින් තොර ව ඒ බව පෙන්වන්න. ඒ මහතාට එහි දී මනස යොදාගැනීමට නො හැකි ය. අපට අවශ්‍ය මනසින් තොර ව යමක්‌ පවතින්නේ යෑයි පෙන්වීම ය. එහි දී මනස යොදාගත හැකි නො වේ.

අභ්‍යන්තර හා බාහිර ලෝකය යනුවෙන් දෙකක්‌ පවතින්නේ ය යනුවෙන් ගැනීම ම වැරැදි ය. බුදුන් වහන්සේ ලෝකය බඹයක්‌ පමණ වූ ශරීරය තුළ ම පනවන්නේ යෑයි දේශනා කළහ. මනස පවතින්නේ කොහේ ද යන්න ප්‍රශ්නයකි. අටුවාචාරීන්වහන්සේට අනුව මනස හදවත ඇසුරෙහි පවතියි. බටහිර විද්‍යාවෙහි මනස මොළයට ඌනනය කිරීමේ වෑයමක්‌ වෙයි. අප අටුවාචාරීන්වහන්සේ ලියා ඇති පමණින් යමක්‌ පිළිගත යුතු නො වේ. මනස අවස්‌ථාව අනුව ඒ ඒ තැන්වල ස්‌ථානගත වන්නේ යෑයි සිතිය හැකි ය.

මනස විසින් යමක්‌ ග්‍රහණය කෙරෙන්නේ සංකල්ප නිර්මාණය කරමිනි. පංචෙන්ද්‍රියයන් හා සමග සම්බන්ධ වන සංකල්ප සංයුක්‌ත සංකල්ප වෙයි. පංචෙන්ද්‍රියවලට මනසෙන් තොර ව යමක්‌ ග්‍රහණය කරගත නොහැකි වුවත් මනසට පංචෙන්ද්‍රියවලින් තොර ව ඇතැම් දේ ග්‍රහණය කරගත හැකි ය. පංචෙන්ද්‍රිය ඇසුරෙන් අපට ලැබෙන්නේ සංජානන ය. මනස සංකල්ප නිර්මාණය කරයි. මෙයින් කියෑවෙන්නේ සංකල්පවලින් තොර ව සංජානන පවතින බව නො වේ. සංජානනය අදාළ සංකල්පය හා බැඳී පවතියි. සංකල්පවලින් තොර සංජානනය නැත. එහෙත් සංජානනවලින් තොර සංකල්ප වෙයි.

පංචෙන්ද්‍රියවලින් තොර ව මනස විසින් නිර්මාණය කෙරෙන්නේ වියුක්‌ත සංකල්ප ය. වියුක්‌ත සංකල්ප වර්ග දෙකකට අයත් වෙයි. එක්‌ වර්ගයක වියුක්‌ත සංකල්ප අපට සිතෙන් මවාගත හැකි ය. අනෙක්‌ සංකල්ප සිතෙන් මවාගැනීමට වත් නො හැකි ය. අප එවැනි සිතෙන් මවාගැනීමට වත් නොහැකි වියුක්‌ත සංකල්ප පඤ්ඤත්ති ලෙස හඳුන්වමු. සිතෙන් මවාගත හැකි ය යන්නෙහි තේරුම පංචෙන්ද්‍රිය ඇසුරෙන් අදාළ සංකල්පය පිළිබඳ චිත්‍රයක්‌ නිර්මාණය කර ගැනීම ය. අප පරසතු මල් දැක නැත. පරසතු මල යන්න වියුක්‌ත සංකල්පයකි. එහෙත් ඒ පිළිබඳ චිත්‍රයක්‌ සිතෙන් මවාගත හැකි ය. එනම් එවැනි චිත්‍රයක්‌ සිතෙහි ඇති කරගත හැකි ය. එහෙත් කාලය යන්න අපට සිතෙන් මවාගත හැකි නො වේ. ගුරුත්වාකර්ෂණ බලය ද එලෙස ම ය.

බලය යන්න අප දන්නේ එක්‌කෝ අතින් හෝ දණ්‌ඩකින් හෝ වෙනත් යමකින් හෝ තල්ලු කිරීමක්‌ ලෙස ය. එසේත් නැත්නම් අතින්, කඹයකින් හෝ වෙනත් යමකින් හෝ තල්ලු කිරීමක්‌ ලෙස ය. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය එලෙස සංකල්පගත කරගත නො හැකි ය. එය අයින්ස්‌ටයින් ගේ බසින් කියන්නේ නම් දුරක දී සිදු වන භූත ක්‍රියාවකි. (Spooky action at a distance). ගුරුත්වාකර්ෂණයට අදාළ ව එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය නිවුටන් ගේ සමකාලීනයන් නිවුටන් ගෙන් ඇසූ නමුත් ඔහුට ඒ ප්‍රශ්නයට පිළිතුරක්‌ නො වී ය. සූර්යයා හා පොළොව අතර ඇති කඹය කොහේ දැයි ඔවුහු ඇසූ හ. එසේත් නැත්නම් පොළොව හා පොල් ගෙඩිය අතර කඹය කොහේ දැයි අපට ඇසිය හැකි ය.

සියලු සංකල්ප මනසෙහි නිර්මාණ වෙයි. මනස ද මනසෙහි නිර්මාණයක්‌ වෙයි. එසේ කෙරෙන්නේ කෙසේ ද යන්න මා විසින් ලියන ලද සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි සඳහන් වෙයි. කලකට පෙර "දිවයින" පුවත්පතෙහි පළ වූ ඒ ලිපිය කාලය වෙබ් අඩවියෙන් (www.kalaya.org) ලබාගත හැකි ය. අමරතුංග මහතාට තවත් ප්‍රශ්නයක්‌ යොමු කරමි. මනස යනුවෙන් යමක්‌ වාස්‌තවික ව නිරපේක්‌ෂ ව පවතින්නේ ද? එසේ නම් ඒ බව මනසින් තොර ව පෙන්වන්න.

අප ඇතැමුන් නිර්මාණය කරන ලද දැනුම සම්මුති බවට පත් වෙයි. ඒවාට සම්මුති සත්‍ය යෑයි මම නො කියමි. අප බහුතරය කරන්නේ යම් යම් සම්මුතිවලට එකතු වීම ය. අප මේ සම්මුතිවලට එකතු කරගන්නේ වැඩිහිටියන්, ගුරුවරුන්, මිතුරන්, පාසල් හා විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය ආදිය විසිනි. පාසල් ඇත්තේ ම ඇතැම් සම්මුතිවලට සිසුන් එකතු කරගැනීමට ය. ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙරෙන්නේ ද එය ම ය. විශ්වවිද්‍යාලයීය ඇදුරෝ අංක එකෙහි අනුකාරකයෝ වෙති.

ඇතැම් සම්මුති විසින් ආධිපත්‍යයක්‌ ගොඩනඟා ගැනෙයි. එසේ කරන්නේ දේශපාලන ආධිපත්‍යය යොදාගනිමිනි. අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ බටහිර දැනුම ය. අප බටහිර විද්‍යාව ඉගෙන ගන්නේ ප්‍රධාන වශයෙන් මේ ආධිපත්‍යය හේතු කොටගෙන ය. එසේ නැති ව එහි ඇති ඊනියා සත්‍යතාවක්‌ නිසා නොවේ. නැවතත් කිව යුත්තේ අමරතුංග මහතා සත්‍යය යනු කුමක්‌ දැයි තේරුම් කර දීමෙන් පසු ඒ පිළිබඳ තවත් සාකච්ඡා කළ හැකි බව ය.

දැනුම යනු නිර්මාණය කෙරෙන්නක්‌ බව ඉහත සඳහන් කළෙමු. එය සොයාගන්නා දෙයක්‌ නො වේ. සොයාගත හැක්‌කේ යමක්‌ පවතින්නේ නම් ය. ගුරුත්වාකර්ෂණ බලය සොයාගත යුත්තේ යෑයි කියන විට ඉන් කියෑවෙන්නේ නිරීක්‌ෂකයා ගෙන් තොර ව පැවතුණු ගුරුත්වාකර්ෂණ බලයක්‌ (නිවුටන් විසින්) සොයාගනු ලැබූ බව ය. එසේ සොයාගැනීමට ගුරුත්වාකර්ෂණ බලයක්‌ තිබිණි යෑයි පැවතිණි යෑයි කීම කච්චායනගොත්ත සූත්‍රයට අනුව අන්තවාදයකි. මා කච්චායනගොත්ත සූත්‍රය නො සලකා හරින්නේ යෑයි අමරතුංග මහතා චෝදනා කර තිබිණි. එහෙත් එකී සූත්‍රයෙහි තමන්ට වාසිදායක යෑයි පෙනෙන කොටස හැර අනෙක්‌ කොටස නො සලකා හරින්නේ අමරතුංග මහතා ය. මා ඇසූ ප්‍රශ්නවලට පිළිsතුරු දීමෙහි දී අමරතුංග මහතාට කච්චායනගොත්ත සූත්‍රය නො සලකා සිටීමට නොහැකි වනු ඇත.

අප පෘථග්ජනයන් (මිනිසුන් දෙවියන් බඹුන් පමණක්‌ නො ව සතර අපායෙහි උපත ලද ප්‍රාණීන් ද) දැනුම නිර්මාණය කරන්නේ, සංස්‌කරණය කරන්නේ අවිද්‍යාව හේතු කොටගෙන ය. මා දැනුම පිළිබඳ කතාව ගොතන්නේ මගේ බුදුදහමට සාපේක්‌ෂව ය. ඒ ඒ අය තම තමන්ගේ දැනුම් නිර්මාණය කරන්නේ, සංස්‌කරණය කරන්නේ යම්කිසි සංස්‌කෘතියකට සාපේක්‌ෂ ව යම් චින්තනයක්‌ මත පදනම් වෙමිනි. මා පදනම් වන්නේ සිංහල බෞද්ධ චින්තනය යනුවෙන් මා විසින් සැලකෙන චින්තනයක ය. ඒ චින්තනයෙහි හා අදාළ සංස්‌කෘතියෙහි පටිච්ච සමුප්පාදය වෙයි. මගේ දැනුම පිළිබඳ කතාව ගෙතී ඇත්තේ අවිඡ්ජා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාද පාඨය පදනම් කරගනිමිනි. ඒ කිසිවක්‌ ගැන නො දන්නා අමරතුංග මහතා මා පටිච්ච සමුප්පාදය ද නො සලකා හැර ඇතැයි කියයි.

මෙහි අවිද්‍යාව යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ කුමක්‌ දැයි නිශ්චිත ව කිව හැකි නො වේ. කලක්‌ මා සිතාගෙන සිsටියේ අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නො දැනීම බව ය. එහෙත් පටිච්ච සමුප්පාදය රහතන් වහන්සේලාට ද යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වන්නේ යෑයි අටුවාචාරීන්වහන්සේ සඳහන් කරති. උන්වහන්සේට අනුව ඵස්‌ස පච්චයා වේදනා දක්‌වා රහතන් වහන්සේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි. ඉන් කියෑවෙන්නේ අවිඡ්ජා පච්චයා සංඛාරා යන්න රහතන් වහන්සේට ද අදාළ බව ය. එවිට අවිද්‍යාව යන්නෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ නො වීම ගම්‍ය වේ යෑයි සිතිය නොහැකි ය.

රහතන් වහන්සේ පිරිනිවන්පානා තෙක්‌ වේදනාව අත්විඳිති. බුදුන් වහන්සේ ද පංචශිඛ ගේ වාදනය අත්විඳි සේක. එහෙත් රහතන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙහි වේදනාවෙන් එහාට නො යති. උන්වහන්සේට උපාදානය ඇති නො වේ. උන්වහන්සේ කිසිවක නො ඇළෙති. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණු විට අවිඡ්ජා ද නැත. සිතීම ද නැත. මෙරට මහාචාර්යවරු ද නො සිතති. අමරතුංග මහතා ගේ ලිපිවලින් ඒ බව මොනවට පැහැදිලි වෙයි. එහෙත් එයින් කියෑවෙන්නේ මහාචාර්යවරුන් නිරෝධ සමාපත්තියට සමවැදී ඇති බවක්‌ නො වේ.

රහතන් වහන්සේ වේදනාවෙන් එහාට නො යන බැවින්, එනම් උන්වහන්සේට පටිච්ච සමුප්පාදයෙහි වේදනාවෙන් පසුව එන කොටස අදාළ නො වන බැවින් ජාති ජරා මරණ නැත. උන්වහන්සේට පුනබ්භවයක්‌ නැත. රහත්භාවය ලැබූ භවයෙන් පසු භවයක්‌ උන්වහන්සේට නොමැත. අමරතුංග මහතා ඇතුළු ඉහත සඳහන් සාහිත්‍යධරයන්ට ද පුනබ්භවයක්‌ නැත. ඒ ඔවුන් රහත්භාවයට පැමිණ ඇති බැවින් නො වේ. ඔවුහු මිසදිටුවෝ වෙති. එහෙත් බෞද්ධ වේශයෙන් සමාජයෙහි වැජඹෙති. මා පටිච්ච සමුප්පාදය නො සලකා හරින්නේ යෑයි කියන අමරතුංග මහතා පටිච්ච සමුප්පාදය විශ්වාස නො කරයි. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරයි.

අප දැනුම ලබාගන්නේ, එනම් දැනුම නිර්මාණය කරන්නේ පංචෙන්ද්‍රිය යොදාගනිමින් පමණක්‌ නො වෙයි. ඒ සඳහා හොඳ ම හා පහසු ම උදාහරණය අභිඥ ය. අභිඥ යන්නෙහි තේරුම ම සාමාන්‍ය ඥනය ඉක්‌මවූවක්‌ ය යන්න ය. අභි යන උපසර්ගය එහි දී යෙදෙන්නේ එබැවිනි. සාමාන්‍ය ඥනය, එසේත් නැත හොත් ව්‍යවහාර ඥනය හෙවත් ව්‍යවහාර දැනුම අප ලබාගන්නේ පංචෙන්ද්‍රියන්ට සාපේක්‌ෂ ව ය. ඒ පංචෙන්ද්‍රිය යොදාගනිමින් ලබාගන්නා දැනුමකි. එහෙත් අභිඥ පංචෙන්ද්‍රිය ඉක්‌මවා යයි. ධ්‍යාන උපදවා ගැනීම යනු තවත් ආකාරයක දැනුමකි. නෙවසඤ්ඤා නා සඤ්ඤා යන අවස්‌ථාවට පැමිණි විට සංඥවක්‌ ඇත්තේ ද නැත නැත්තේ ද යන තත්ත්වයට පැමිණෙයි. එහෙත් තවමත් මනස ක්‍රියාත්මක වෙයි. මනස සම්බන්ධ කරගනිමින් නිර්මාණය කෙරෙන අවසාන දැනුම ලැබෙන්නේ ඒ අවස්‌ථාවේ දී යෑයි සිතමි.

ඉන්පසු රහත්භාවය ගැන කියෑවෙයි. එහි දී දැනුම නොදැනුම බවට පත් වෙයි. අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ තෙරුන් වහන්සේ අඤ්ඤා වූයේ අටුවාවේ සඳහන් වන ආකාරයට උන්වහන්සේට විශේෂිත වූ ඥානයක්‌ තිබූ නිසා යෑයි නො සිතමි. උන්වහන්සේ බුදුන් වහන්සේට පසු දැනුම නොදැනුම බවට පත් කළ ඤා අඤ්ඤා බවට පත් කළ පළමු තැනැත්තා විය. මගේ අර්ථකථනය අනුව උන්වහන්සේ අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ වූයේ ඤා බව අඤ්ඤා බවට පත් කළ නිසා ය.

රහතන් වහන්සේ පෘථග්ජන අප අවිද්‍යාව නිසා ගන්නා දේ මුසා ලෙස දකිති. බටහිර විද්‍යාව ද ඇතුළු පෘථග්ජනයන් ගේ සියලු දැනුම් රහතන් වහන්සේට අනුව මුසා ය. අපට ඒ මුසා නො වන බැවින් එය ඊනියා ඇත්තක්‌ බවට පත් නො වෙයි. (ඇත්ත යනු කුමක්‌ දැයි අමරතුංග මහතා පහදා දෙන තෙක්‌ අපි ඉවසමු.) පෘථග්ජනයෝ අවිද්‍යාව හේතු කොටගෙන මේ මුසා දැනුම ලෙස සලකති. ඒ නිසා ම එහි ඇලෙති. මා යනුවෙන් කෙනකු නැති බව නො දන්නා නිසා පෘථග්ජනයෝ වේදනාවෙහි ඇළෙති. එය බටහිර විද්‍යාවට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. මේ ඇළීම නිසා පෘථග්ජනයන් ගේ සසර දික්‌ වෙයි. අමරතුංග මහතා ඇතුළු විදග්ධයන්ට සසරක්‌ නොමැති බැවින් මෙහි ගැටලුවක්‌ පැන නො න`ගියි.

ඉහත සඳහන් වන්නේ දැනුම සම්බන්ධයෙන් මා විසින් නිර්මාණය කෙරී ඇති, සංස්‌කරණය කෙරී ඇති, ගෙතී ඇති කතාවෙන් බිඳකි. පෘථග්ජනයන් ගේ අනෙක්‌ දැනුම් මෙන් ම එය ද මුසාවකි. බොරුවකි. ඒ ඊනියා සම්මුති සත්‍යයක්‌ නො වේ. එය අඩු තරමෙන් සම්මුතියක්‌ වත් නො වේ. මෙරට කිසි ම උගතකු එය නො පිළිගන්නා බව මම දනිමි. එය අනාගතයේ දී සම්මුතියක්‌ වේ දැයි මම නො දනිමි.

කෙසේ වෙතත් ඒ කතාවට කූන් ගේ සුසමාදර්ශය අබමල් රේණුවක ප්‍රමාණයට වත් යොදාගෙන නැත. කෙසේ වෙතත් කූන් දැනුම් නිර්මාණයක්‌ ගැන නො කියයි. ඔහු කියන්නේ බටහිර විද්‍යාව වර්ධනය වන්නේ සුසමාදර්ශයෙන් සුසමාදර්ශයට මාරු වීම ම`ගින් යන්න ය. එය පොපර් ගේ අසත්‍යකරණයෙන් බටහිර විද්‍යාව වර්ධනය වේය යන්න විවේචනය කරමින් ගොතන ලද්දකි. ඔහු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි නො කියයි. කූන් කියන කතාව යම් සංශෝධනයකට ලක්‌ කරමින් මා කියන්නේ බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ යම් සුසමාදර්ශයක බව ය. කූන් හා මා අතර ඇති වෙනස අමරතුංග මහතා කෙසේ තේරුම් ගන්න ද? බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි පංචෙන්ද්‍රිය ගෝචර කතා තේරුම් කර දීම සඳහා යෑයි කියමින් ගුරුත්වාකර්ෂණ බලය වැනි පංචෙන්ද්‍රිය ගෝචර වත් නො වන කතා ගෙතෙන බැවිනි.

නලින් ද සිල්වා