logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතාට ප්‍රශ්න කිහිපයක්‌

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම ජුලි 30 වැනි දින හා අගෝස්‌තු 06 වැනි දින ලිපිවලින් ඊනියා අභියෝග අටක්‌ ඉදිරිපත් කර ඇත. ඒ සැම ඊනියා අභියෝගයකට ම මා පිළිතුරු දී ඇතත් ඒ සියල්ල අමරතුංග මහතා සම්බන්ධයෙන් ගත් කල බීරි අලින්ට වීණා වැයීමකි. අපේ සංවාදය බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන තේමාව යටතේ වෙයි. එහෙත් සත්‍යය යනු කුමක්‌ දැයි අප සාකච්ඡා කර නැත. කලකට පෙර තමා සත්‍යය යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි කරන ලෙස මා අමරතුංග මහතා ගෙන් ඉල්ලා සිටි නමුත් ඔහු එය මුළුමනින් ම නො සලකා හැරියේ ය. කරුණාකර මීළඟ ලිපියෙන් වත් (අගෝස්‌තු 20 වැනි දින) තමන් සත්‍යය යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ දැයි පැහැදිලි කරන මෙන් අමරතුංග මහතා ගෙන් ඉල්ලා සිටිමි.

ඒ අතර ඒ මහතා බොහෝ විට කතා කරන කච්චායනගොත්ත සූත්‍රය පිළිබඳව ද ප්‍රශ්නයක්‌ ඇසීමට කැමැත්තෙමි. අමරතුංග මහතා තම ජුලි 02 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "කච්චායනගොත්ත සූත්‍රය පිළිබඳ ව මොන විකෘති ගෙනහැර පෑවත් එම සූත්‍රයේ බුදුරදුන් පවසා ඇති දෙය බොරු කරන්නට නලින් මහතාට නොහැකි ය. එම සූත්‍රයේ ඉතා පැහැදිලිව ම බුදුන් පවසන්නේ කිසිවක්‌ නිත්‍ය වශයෙන් පවතින්නේ වත් නිත්‍ය වශයෙන් නො පවතින්නේ වත් නැති බව ය." කරුණාකාර එම සූත්‍රයෙහි එසේ දේශනා කර ඇති බව උපුටාගැනීමක්‌ සහිත ව පෙන්වා දෙන්න. මා දන්නා කච්චායනගොත්ත සූත්‍රයෙහි නම් නිත්‍ය වශයෙන් යන්න නැත. මේ පිළිබඳව ද මා ප්‍රශ්න කර ඇති නමුත් අමරතුංග මහතා කිසි විටෙකත් සූත්‍රය උපුටා දක්‌වමින් කරුණු පැහැදිලි නො කරයි. ඒ වෙනුවට තමන්ට හිතෙන දෙයක්‌ හෝ ඒ මහතා හිතන ආකාරයට තමන් තේරුම් ගෙන ඇති දෙයක්‌ හෝ සඳහන් කිරීම ඒ මහතා ගේ පිළිවෙත වී ඇත.

අමරතුංග මහතා එම ලිපියෙහි ම මෙසේ ද සඳහන් කරයි. "කච්චායනගොත්ත සූත්‍රයේ පැවැත්ම ගැන බුදුන් දේශනා කොට නැති බව නලින් මහතා පවසයි. (විදුසර 25.6.2014) බුදුන් එම සූත්‍රයේ පවසන්නේ සැම දෙයක්‌ ම පවතී. මේ එක්‌ අන්තයකි. සැම දෙයක්‌ ම නො පවතී. මේ දෙවැනි අන්තයයි............ ලෝකය සහ ජීවිතයේ අනිත්‍ය වූ පැවැත්ම ගැන සඳහනක්‌ මෙහි නැතැයි කිව හැක්‌කේ සිහි බුද්ධියක්‌ නැති කෙනකුට ය........... සැම නාමරූපයක ම නිත්‍ය වූ හෝ ආත්මීය වූ හෝ කිසිවක්‌ නැති බව පැහැදිලි කිරීමට බුදුන් යොදාගත් තවත් වචනයක්‌ වන්නේ සුන්‍ය යන වචනය ය. සුන්‍ය යන වචනය මේ අදහස ඉස්‌මතු කිරීම පිණිස උන්වහන්සේ යොදාගත් සේක."

මා ජුනි 25 වැනි දින ලිපියෙහි සඳහන් කළේ මෙසේ ය. "කච්චායනගොත්ත සූත්‍රයෙහි නිත්‍ය වූ පැවැත්මක්‌ හෝ නිත්‍ය වූ නො පැවැත්මක්‌ ගැන නො කියෑවෙයි. එහි කියෑවෙන්නේ සියල්ල ඇත (පවතී) යනුවෙන් ගැනීම මෙන් ම සියල්ල නැත (නො පවතී) යනුවෙන් ගැනීම ද අන්ත දෙකක්‌ බව ය. කච්චායනට අවශ්‍ය වුයේ සම්‍යක්‌දෘෂ්ටිය යනු කවරේ දැයි දැනගැනීම ය. කච්චායනගොත්ත සූත්‍රයෙහි සන්දර්භය එය ය. සම්‍යක්‌දෘෂ්ටිය ලෙස බුදුන්වහන්සේ වදාළේ පටිච්චසමුප්පාදය ය. කච්චායනගොත්ත සූත්‍රයෙහි නිත්‍ය හා නිත්‍ය නො වන යන වචන අමරතුංග සංස්‌කරණයෙන් මිස බුදුන්වහන්සේ වදාළ සූත්‍රයෙන් නො වේ." මෙහි වැදගත් වන්නේ සන්දර්භය ය. බුදුන් වහන්සේට අවශ්‍ය වූයේ කච්චායනට සම්‍යක්‌දෘෂ්ටිය කුමක්‌ දැයි තේරුම් කර දීම ය. කෙසේ වෙතත් මෙහි දී අවධාරණය කළ යුත්තේ සම්‍යක්‌දෘෂ්ටිය වුව ද දෘෂ්ටියක්‌ පමණක්‌ බව ය. එය සසරෙන් එතෙර වීමට යොදාගන්නා පහුරකට වැඩි දෙයක්‌ නො වේ. පහුර කරගහගෙන යැම අවශ්‍ය නො වේ.

අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන්නෙහි තේරුම ම කිසිවක්‌ නො පවතී යන්න මිස අනෙකක්‌ නො වේ. නිත්‍ය වූ හෝ ආත්මීය වූ හෝ කිසිවක්‌ නැත යන්නෙහි තේරුම කුමක්‌ ද? එයින් ගම්‍ය වන්නේ නිත්‍ය නො වන ආත්මීය නො වන යමක්‌ පවතින බව ද? එසේ නිත්‍ය නො වී ආත්මීය නො වී පවත්නා දෙයක්‌ ඇත්නම් ඒ කුමක්‌ දැයි අමරතුංග මහතා අගෝස්‌තු 20 වැනි දින ලිපියෙන් විස්‌තර කරන්නේ ද? එමෙන් ම අමරතුංග මහතාට අගෝස්‌තු 20 වැනි දින ලිපියෙන් පිළිතුරු දීම සඳහා තවත් ප්‍රශ්නයක්‌ යොමු කරමි. මේ ප්‍රශ්නය ද මා කලින් අසා ඇත. ප්‍රශ්නය මෙසේ ය. කච්චායනගොත්ත සූත්‍රය අනුව (සන්දර්භයෙන් පිටත) යමක්‌ පවතින්නේ යෑයි ගැනීම ද එක්‌ අන්තයක්‌ නම් අමරතුංග මහතා ගුරුත්වාකර්ෂණය ද ඇතුළු බොහෝ දේ පවතින්නේ යෑයි ගැනීම එක්‌ අන්තයක්‌ නො වන්නේ ද? එවිට අමරතුංග මහතා අන්තවාදියකු වන්නේ ද? ඉහත සඳහන් ප්‍රශ්නවලට කච්චායනගොත්ත සූත්‍රය උපුටා දක්‌වමින් පිළිතුරු බලාපොරොත්තු වෙමි. ප්‍රශ්නවලට පිළිතුරු නො දෙන්නේ නම් සංවාදය දිගින් දිගට ම කරගෙන යැමේ තේරුමක්‌ නැත. අමරතුංග මහතාට ඉහත සඳහන් සියලු ප්‍රශ්නවලට එක්‌ ලිපියකින් පිළිතුරු දීමට නොහැකි නම් ලිපි කිහිපයකින් පිළිතුරු දීමට හැකි ය.

අපි අමරතුංග මහතා ගේ හතරවැනි අභියෝගය සාකච්ඡා කරමින් සිටියෙමු. ඒ අභියෝගයෙන් කොටසක්‌ පාඨකයා ගේ පහසුව සඳහා නැවතත් ඉදිරිපත් කරමි. එය පිටු පිරවීමක්‌ නො ව පාඨකයාගේ පහසුව පිණිස කෙරෙන්නකි. අමරතුංග මහතාගේ ජුලි 30 වැනි දින ලිපියෙහි ඒ අභියෝගය සඳහන් වෙයි. එහි කොටසක්‌ මෙසේ ය. "4 වැනි අභියෝගය - සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය තුළ ගුරුත්වාකර්ෂණය නැති බව නලින් මහතා පවසා ඇත. ඒ බව ඔහු ඔප්පු කොට නැත." සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ගුරුත්වාකර්ෂණය නැති බව මා පෙන්වා දී ඇත. ගුරුත්වාකර්ෂණය යනු කේන්ද්‍රාභිසාරී බලය මෙන් ම පරිකල්පිත බලයක්‌ (Fictitious Force) පමණකි. එවැනි බල ඇත්තේ සමුද්දේශ රාමුව වැරැදියට තෝරාගැනීම හේතු කොටගෙන ය. අයින්ස්‌ටයින් කළේ පළමුවෙන් ම ගුරුත්වාකර්ෂණය පරිකල්පිත බලයක්‌ බව තේරුම්ගැනීමත් දෙවනුව පරිකල්පිත බල ඇති වන්නේ වැරැදි සමුද්දේශ රාමු තෝරාගැනීම නිසා බැවින් ගුරුත්වාකර්ෂණය ද වැරැදි සමුද්දේශ රාමු තෝරාගැනීම නිසා ඇතිවන්නක්‌ බව ප්‍රකාශ කිරීමත් ය. ඔහු ගේ සාධාරණ සමුද්දේශ රාමුවල ගුරුත්වාකර්ෂණයක්‌ නැත. අයින්ස්‌ටයින්ට අනුව ගුරුත්වාකර්ෂණය ඇති වන්නේ වැරැදියට අවස්‌ථිති සමුද්දේශ රාමු ඇතැයි සැලකූ විට ය. ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමුවල ගිලිහුණු පොල්ගෙඩි වැටීම තේරුම්ගැනීම සඳහා ගුරුත්වාකර්ෂණ බලය අවශ්‍ය වෙයි. එහෙත් අයින්ස්‌ටයින් ගේ සාධාරණ සමුද්දේශ රාමුවල එවැනි පොල්ගෙඩි වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයක්‌ නිසා නො වේ.

අමරතුංග මහතාට ඉහත සඳහන් ඡේදය මේ කපේ දී තේරුම්ගත නොහැකි බැවින් අපි වඩා ලිහිල් ව වෙනත් අයුරකින් ඒ තේරුම් කර දීමට උත්සාහ කරමු. අපි ඔහු ගේ අදහස්‌ එහි දී යොදාගනිමු. අමරතුංග මහතා අගෝස්‌තු 06 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "ගුරුත්වාකර්ෂණය විශ්වාසයක්‌ දැයි නලින් මහතා අසයි. (විදුසර 30.07.14) විද්වත් ඉමානුවෙල් කාන්ට්‌ ගේ නිර්වචනයට අනුව දැනුම වනාහි සිද්ධාන්ත (Facts) සමග එකඟ වන විශ්වාසයක්‌ (belief) වන්නේ ය. එම නිසා ගුරුත්වාකර්ෂණය නිකම් ම විශ්වාසයක්‌ නො ව සිද්ධාන්ත සමග එකඟ වන විශ්වාසයක්‌ වන්නේ ය." අමරතුංග මහතා කාන්ට්‌ ගේ නිර්වචනය ප්‍රථමයෙන් ඉංගිරිසියෙන් ලියා ඉන්පසු එය සිංහලයෙන් ඉදිරිපත් කළේ නම් මැනවි. අමරතුංග මහතා නො දැන සිටියත් බටහිර දර්ශනයෙහි දැනුම යනු කුමක්‌ දැයි අදටත් විසඳී නැත. විට්‌ගන්ස්‌ටයින් නම් විසිවැනි සියවසේ විසූ බටහිර දාර්ශනිකයා ද අවසානයේ දී දැනුම යනු කුමක්‌ දැයි පැහැදිලි කළේ නැත. විට්‌ගන්ස්‌ටයින් එසේ පැහැදිලි කර ඇති තැනක්‌ අමරතුංග මහතා දන්නේ නම් එය ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.

අමරතුංග මහතාට කෙතෙක්‌ කීවත් ඔහු වචන භාවිතය ගැන සැලකිලිමත් නො වෙයි. අප ගිය සතියේ ද කී පරිදි සිද්ධාන්ත යනු තියරි වෙනුවට කලක්‌ යොදාගත් වචනය ය. එය ෆැක්‌ට්‌ස්‌ (facts) යන්න සඳහා කෙලෙසක වත් යොදාගත නො හැකි ය. අප කිහිප වතාවක්‌ ම පෙන්වා දී ඇති පරිදි මලලසේකර ශබ්ද කෝෂයෙහි ෆැක්‌ට්‌ යන්න සඳහා දී ඇත්තේ කරුණ, තතුව, සිද්ධිය, තොරතුරු, දත්තය, යථාව, ඇත්ත ආදී වචන ය. සිද්ධිය යනු සිද්ධාන්ත නො වන බව සාමාන්‍ය අධ්‍යාපනයක්‌ ලද්දෝ ද දනිති. ෆැක්‌ට්‌ යනු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ලෙස ද දැක්‌විය හැකි ය. දර්ශනය හා තර්ක ශාස්‌ත්‍රය පාරිභාෂික ශබ්ද මාලාවෙහි ෆැක්‌ට්‌ සඳහා යෙදී ඇත්තේ පරිසිද්ධිය යන වචනය ය. එම ශබ්ද මාලාවෙහි ම තියරි සඳහා නම් සිද්ධාන්තය යන වචනය යෙදී ඇත. අමරතුංග මහතා තම හිතේ ඇති අදහස්‌ වචන නිවැරැදි යෑයි සිතයි. ඒ මහතා ශබ්ද කෝෂ හා ශබ්ද මාලා පරිශීලනය කරන්නේ නම් යොදාගන්නා වචන පිළිබඳව වත් සම්මුතියකට පැමිණිය හැකි ය. අමරතුංග මහතා වචන ගැන සැලකිලිමත් නො වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු අදහස්‌ ගැන ද නිරවුල් ව නො සිතන බව ය. මාස නවයක පමණ කාලයක්‌ ඔහු විදුසර පාඨකයාට පෙන්වා දී ඇති එක ම කරුණ ඔහු ගේ අවුල් මනස ය.

කෙසේ වෙතත් අපි අමරතුංග මහතා කියන පරිදි ගුරුත්වාකර්ෂණය යනු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ (සංසිද්ධි) හෙවත් පරිසිද්ධි හෙවත් ඊනියා සිද්ධාන්ත සමග බැඳුණු විශ්වාස යෑයි සිතමු. ඒ කෙසේ වුවත් අමරතුංග මහතාට අනුව ද ගුරුත්වාකර්ෂණය යනු විශ්වාසයකි. එය පරිසිද්ධි සමග බැඳුණි යන්නෙන් විශ්වාසයට ලැබෙන වැඩි සැලකිල්ල කුමක්‌ ද? අමරතුංග මහතා කියන්නේ ගිළිහුණු පොල්ගෙඩියක්‌ පොළොවට වැටීම නම් පරිසිද්ධිය සමග ගුරුත්වාකර්ෂණය යන විශ්වාසය බැඳී ඇති බව ය. මෙයින් කියෑවෙන ප්‍රධාන කරුණු දෙකක්‌ වෙයි. පළමුවැන්න පොල්ගෙඩිය වැටීම හා ගුරුත්වාකර්ෂණය යනු එකක්‌ නො ව දෙකක්‌ බව ය. එකක්‌ එනම් පොල්ගෙඩිය වැටීම පරිසිද්ධියකි. එනම් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියකි. ප්‍රපංචයකි. අනෙක එනම් ගුරුත්වාකර්ෂණය ඒ පරිසිද්ධිය සමග බැඳුණු විශ්වාසයකි.

පරිසිද්ධිය සමග බැඳුණු විශ්වාසයක්‌ යන්නෙහි තේරුම කුමක්‌ ද? පරිසිද්ධිය ඇති වන්නේ මෙන්න මේ හේතුව නිසා ය යන්න හැරෙන්නට වෙනත් තේරුමක්‌ එයට දිය නොහැකි ය. ගිලිහුණු පොල්ගෙඩිය පොළොවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා යෑයි විශ්වාස කෙරෙයි. ගුරුත්වාකර්ෂණය යන විශ්වාසය ඇති කර ගන්නේ පොල්ගෙඩිය පොළොවට වැටීම යන පරිසිද්ධිය අදාළ ව ය. පොල්ගෙඩිය පොළොවට වැටීම යන්න පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ යෑයි කියෑවෙයි. (මෙය නිවැරැදි නො වේ. පොල්ගෙඩිය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. පොල්ගෙඩිය ගෝචර වන්නේ පංචෙන්ද්‍රියන් ගෙන් කිනම් ඉන්ද්‍රියකට ද? පොළොව ද එලෙස ම පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එබැවින් පොල් ගෙඩිය පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් අපි සම්මුතියෙන් එය පංචෙන්ද්‍රිය ගෝචර යෑයි සලකමු.)

දෙවනුව පොල් ගෙඩිය පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ගෝචර වුවත් විශ්වාසය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණය පොල් ගෙඩිය වැටෙන්නේ ඇයි දැයි තේරුම් කිරීමට යෑයි කියමින් ඉදිරිපත් කරන ලද විශ්වාසයක්‌ පමණකි. එම විශ්වාසය පොල් ගෙඩිය වැටීම සමග බැඳුණත් එය විශ්වාසයක්‌ පමණි. පරිසිද්ධිය පංචෙන්ද්‍රිය ගෝචර වූවත් විශ්වාසය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් ගෙතූ කතාන්දරයක්‌, පට්‌ටපල් බොරුවක්‌ පමණි.

පොල් ගෙඩිය වැටීම නැමති පරිසිද්ධිය සමග බැඳුණු විශ්වාස තිබිය හැක්‌කේ එකක්‌ පමණක්‌ ද? ඒ එසේ නම් සමහර විට ගිළිහුණු පොල්ගෙඩිය වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය යෑයි කීමට යම් ඉඩක්‌ තිබිණි. එහෙත් පොල්ගෙඩිය වැටීම සමග තවත් විශ්වාස බැඳී ඇත්නම් එවිට එක ම පරිසිද්ධිය සඳහා විශ්වාස රාශියක්‌ ඇති බව පැහැදිලි ය. එවිට ඉන්

නිවැරැදි වන්නේ, එසේත් නැත්නම් ඇත්ත වන්නේ කුමක්‌ ද? ඒ සියලු විශ්වාස ඇත්ත ද? එක ම පරිසිද්ධියක්‌ සඳහා ඇත්ත කිහිපයක්‌ තිබිය හැකි ද? අපට ඇත්ත යනු කුමක්‌ ද යන ප්‍රශ්නයට ඉක්‌මන් පිළිතුරක්‌ අවශ්‍ය වන්නේ මෙවැනි කරුණු හේතු කොටගෙන ය.

ගිළුහුණු පොල්ගෙඩි පොළොවට වැටෙන්නේ කෙසේ ද යනු තේරුම් ගැනීමට යෑයි කියමින් අයින්ස්‌ටයින් තවත් විශ්වාසයක්‌ එකතු කළේ ය. ඒ විශ්වාසය අවකාශ කාල වක්‍රතාව විය. අමරතුංග මහතාටත් බොහෝ පාඨකයන්ටත් අවකාශ කාල වක්‍රතාව යනු හුදු වචන කිහිපයක්‌ පමණකි. ගුරුත්වාකර්ෂණය යන්න පංචෙන්ද්‍රිය ගෝචර නො වූවත් බොහෝ දෙනාට පොල්ගෙඩිය හා පොළොව අතර ඇති යම් බලයක්‌ ගැන සිතිය හැකි ය. මතක තබාගත යුත්තක්‌ නම් පොළොව විසින් පොල්ගෙඩිය ඇදගනු ලබන්නාක්‌ මෙන් පොල් ගෙඩිය විසින් ද පොළොව ඇදගනු ලැබීම ය. ඒ ඇදගැනීම නිසා පොළොව ද පොල්ගෙඩිය වෙත ඉතා කෙටි දුරක්‌ වුවත් ඉතා සුළු ත්වරණයකින් වුවත් චලනය විය යුතු ය. එය නිරීක්‌ෂණය කළ හැක්‌කක්‌ නො වේ. එහෙත් අප ඒ ගැන සැලකිලිමත් නො වන්නේ එය නිරීක්‌ෂණය කළ නොහැකි නිසා ම නො ව සංකල්ප පිළිබඳ අපේ අවබෝධය මඳ බැවිනි.

ගුරුත්වාකර්ෂණය යන්න පංචෙන්ද්‍රිය ගෝචර නො වන, වියුක්‌ත (වෙන් වූ අර්ථයකින් නො වන බව අමරතුංග මහතාට අවධාරණය කළ යුතු ය.) එහෙත් යම් අයුරකින් සිතෙහි මවා ගත හැකි සංකල්පයකි. එහෙත් අවකාශ කාල වක්‍රතාව සිතින් මවාගත මැකි සංකල්පයක්‌ වත් නො වේ. එය පඤ්ඤත්තියක්‌ පමණකි. දැන් අවකාශ කාල වක්‍රතාව හා ගුරුත්වාකර්ෂණය අතර ඇති සම්බන්ධය කුමක්‌ ද? පළමුවැන්න දෙවැන්නෙහි වර්ධනයක්‌ ද? කිසිසේත් ම නැත. ඒ සංකල්ප අතර කිසි ම සම්බන්ධයක්‌ නැත. මහනුවර දී දේශනයක්‌ පැවැත්වූ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ද සංකල්පීය වශයෙන් ඒ පද්ධති දෙකක්‌ බව පිළිගත්තේ ය.

මෙවැනි පද්ධති දෙකක යොදා ගැනෙන සංකල්ප අසම්මේය (incommensurable) යෑයි තෝමස්‌ කූන් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා තම විද්‍යා විප්ලවවල ව්‍යුහය (The Structure of Scientific Revolutions) නැමති පොතේ සඳහන් කර ඇත. ඔහුට අනුව එක්‌ පද්ධතියක සංකල්ප අනෙක්‌ පද්ධතියෙහි සංකල්ප ඇසුරෙන් ප්‍රකාශ කළ නොහැකි ය. කූන් අනෙක්‌ දාර්ශනිකයන් විසින් පිළිගැනෙන්නේ නැත ආදී අවිචාර කතා කියමින් මේ ප්‍රශ්නයෙන් පැනගිය නොහැකි ය. ඔහු ඇමෙරිකාවේ මැසචුසෙට්‌ස්‌ තාක්‌ෂණවේදී ආයතනයෙහි මහාචාර්යවරයෙක්‌ විය. ෆෙයරාබන්ඩ් ද කූන් ද කලක්‌ එකට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙහි සේවය කළ හ. ඒ ආයතන ඇමෙරිකාවේ පිළිගත් ආයතන වෙයි. ඇමෙරිකාවේ පිළිsගත් ආයතනවල බටහිර විද්‍යාවේ දර්ශනය සම්බන්ධ මහචාර්යවරුන් වීම හා තමන් නො දන්නා බටහිර විද්‍යාවේ දර්ශනය හා සාපේක්‌ෂතාවාදය ගැන ලියන පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු වීම අතර පිළිsගැනීමට ලක්‌ විය යුත්තේ කවරකු ද කවුරුන් ද යන වග තීරණය කිරීමට පාඨකයාට භාර ය.

අමරතුංග මහතාට අනුව නම් ෆෙයරාබන්ඩ් විකෘති මනසක්‌ ඇති පුද්ගලයෙකි. අමරතුංග මහතා ජුලි 02 වැනි දා ලිපියෙහි මෙසේ කීවේ ය. "විද්‍යාව පිළිබඳ පෝල් ෆෙයරාබන්ඩ් නැමති විකෘති මනසක්‌ ඇති, විද්‍යාඥයන් ශත පහකට ගණන් නො ගන්නා පුද්ගලයන් ගේ අදහස්‌ නලින් මහතා පුනරුච්චාරණය කරයි." අමරතුංග මහතා ගේ මමායනයට සීමාවක්‌ නැත. කෙසේ වුවත් කූන් වත් ෆෙයරාබන්ඩ් වත් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බවක්‌ කියා නැත. එබැවින් මා ඒ එක්‌ අයකු ගේ වත් අදහස්‌ පුනරුච්චාරණය කරන්නේ යෑයි කීම වැරැදි ය.

කූන්ට අනුව නිව්ටන් ගේ සංකල්ප අයින්ස්‌ටයින් ගේ සංකල්පවලින් හෝ විලෝම වශයෙන් හෝ ප්‍රකාශ කළ නොහැකි ය. සන්නිකර්ෂණ වශයෙන් ගත හොත් අයින්ස්‌ටයින් ගේ ගණනය කිරීම් සීමාවේ දී නිව්ටන් ගේ ගණනය කිරීම් සමග එකඟ වන්නේ ය යන්නෙන් ඔවුන් ගේ සංකල්ප පද්ධතීන් එකක්‌ අනෙකෙහි වර්ධනයක්‌ ලෙස සැලකිය හැකි නො වේ. ගිළුහුණු පොල්ගෙඩිය පොළොවට වැටෙන්නේ කිනම් හේතුවක්‌ නිසා ද යන්න සම්බන්ධයෙන් නිව්ටන්ට හා අයිස්‌න්ටයින්ට විශ්වාස දෙකක්‌ විය. ඒ විශ්වාස පමණක්‌ විය. ඒ එක්‌ විශ්වාසයක්‌ අනෙක්‌ විශ්වාසයෙන් ප්‍රකාශ කළ නොහැකි යෑයි කූන් කීවේ ය. ෆෙයරාබන්ඩ් ද ඒ සමග එකඟ විය.

මා කියන්නේ ඒ විශ්වාස දෙක ම පට්‌ටපල් බොරු බව ය. ඇරිස්‌ටෝටලීය න්‍යායට අනුව මේ විශ්වාස දෙක ගැන අපට කිව හැකි කරුණු හතරක්‌ වෙයි. පළමුව විශ්වාස දෙක ම බොරු ය යන්න ය. දෙවනුව විශ්වාස දෙක ම ඇත්ත බව ය. තුන්වැනුව නිව්ටන් ගේ විශ්වාසය සත්‍ය බවත් අයින්ස්‌ටයින් ගේ විශ්වාසය අසත්‍ය බවත් ය. හතරවැනුව අයින්ස්‌ටයින් ගේ විශ්වාසය සත්‍යය බවත් නිව්ටන් ගේ විශ්වාසය අසත්‍ය බවත් ය. අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක්‌ ද යන්න ද ඔහු ගේ අගෝස්‌තු 20 වැනි දා ලිපියෙන් (එදිනට බැරි නම් එදින අරඹන ලිපි පෙළකින්) දැනගනු කැමැත්තෙමි. විශ්වාස දෙක ම සත්‍ය විය නොහැක්‌කේ එකක්‌ අනෙකෙහි වර්ධනයක්‌ නො වන බැවින් හා අවකාශ කාල වක්‍රතාව හුදු පඤ්ඤත්තියක්‌ පමණක්‌ වන බැවින් ය.

නිව්ටන් ගේ විශ්වාසය යොදාගැනීමෙන් මිනිසුන්ට හඳට යා හැකි ය. බෞද්ධයනට අනුව මම යන්න සම්මුතියක්‌ බව වත් එය පවතින බව වත් නො වේ. මම පවතී නම් ඉන් කියෑවෙන්නේ ආත්මවාදය ය. මම ඇතැයි යනුවෙන් කියන්නෝ ආත්මවාදීහු වෙති. මම යන සංකල්පය වැඩක්‌ නැති සංකල්පයක්‌ යෑයි මෙයින් නො කියෑවෙයි. අපට බොරු නැති ව ජීවත් විය නොහැකි ය. මම ඇතුළු සංකල්ප නොමැති ව අප ජීවත් වන්නේ කෙසේ ද? එහෙත් ඒ සංකල්ප සත්‍ය යෑයි අපි නො කියමු. මම යන්න බොරුවකි. එහෙත් එයින් වැඩ ගත හැකි ය. ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවකි. එහෙත් එයින් වැඩ ගත හැකි ය. අවශ්‍ය නම් නැති අයකුට නැති ගුරුත්වාකර්ෂණය යොදාගෙන නැති හඳට යා හැකි ය. අවශ්‍ය කෙනෙකුට අයින්ස්‌ටයින්ගේ නැති අවකාශ කාල වක්‍රතාව ද යොදාගෙන හඳට ගිය හැකි ය.

නලින් ද සිල්වා

නලින් ද සිල්වා .