logo3.gif (702 bytes)

HOME


පිටතින් ගෙනෙන බාහිර හේතු

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තවත් මාස නවයක්‌ හෝ වැඩි කාලයක්‌ හෝ විදුසරෙහි පිටු නාස්‌ති කිරීමට ඉටාගෙන ඇති බව පැහැදිලි ය. ඔහු ජුලි 30 වැනි දා ලිපියෙන් අභියෝග හා බහුභූත යන මැයෙන් තවත් ලිපි පෙළක්‌, එහෙත් තමාට කීමට ඇති කරුණු කිහිපය නැවත නැවතත් කීම සඳහා පමණක්‌ යොදාගැනීමට, ආරම්භ කර ඇති බව පැහැදිලි ය. ඔහුට අනුව මා ඔහු ගේ කිසි ම තර්කයකට පිළිතුරු දී නැත. ඔහු මා වැරැදි දේ කියා ඇති බව තම ලිපිවලින් කියයි. එහෙත් ඔහු මගේ ලිපියකින් හෝ ලිපිවලින් හෝ අදාළ ඡේදය හෝ ඡේද හෝ උපුටා දක්‌වා එය විශ්ලේෂණය කර එහි ඇති වරද කුමක්‌ දැයි පෙන්නුම් නො කරයි. එහෙත් එක්‌ ලිපියකින් කිසි ම විශ්ලේෂණයකින් තොර ව මා වැරැදි බව කියා ඉන්පසුව තවත් ලිපියකින් ඔහු කියන්නේ කලින් ලිපියකින් මා වැරැදි බව පෙන්නුම් කර ඇති බව ය. ඔහු ගේ විධික්‍රමය අපූරු ය.

මා කිහිප වතාවක්‌ ම ඒ මහතා ගෙන් ඉල්ලා ඇත්තේ මගේ ලිපිවලින් අදාළ ඡේද උපුටා දක්‌වා ඒ වැරැදි බව පෙන්වා දෙන ලෙස ය. එහෙත් ඔහු ඒ ඉල්ලීමට කිසි ම ප්‍රතිචාරයක්‌ නො දක්‌වයි. කරුණාකර මීළඟ ලිපියෙන් වත් මගේ ලිපිවල ඇති වැරැදි උපුටා දක්‌වා විශ්ලේෂණය කර පෙන්වන මෙන් ඉල්ලමි. එසේ නොමැති ව කරන විවාදයක්‌ සම්ප්‍රදාය විරෝධී ය. මේ ඊනියා විවාදය මෙතරම් කලක්‌ ඇදි ඇදී යැමට හේතුවක්‌ වනුයේ ද එය ය.

ඒ මහතාට මුහුණ ට මුහුණ දී කරන විවාදයකට අභියෝග කළ ද ඔහු ඉන් පැන යන්නේ අපහාස කිරීම නමැති ගෝනි බිල්ලකු මවා ය. මා බොහෝ දෙනා සමග වේදිකාවල විවාද කර ඇති මුත් කිසි විටෙකත් ඒ විවාදවල එවැනි අපහාස කිරීම් වී නැත. අමරතුංග මහතා පෙන්නුම් කළේ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා පවත්වන ලද දේශනයේ දී මා ඒ මහතාට අපහාස කරන බව ය. එහෙත් එහි දී එවැන්නක්‌ සිදු නො වූ බවට හොඳ ම සාක්‌ෂිය මහාචාර්ය තෙන්නකෝන් මහතා ම ය. තමා මහාචාර්ය තෙන්නකෝන් මහතා හොඳින් දන්නා බව අමරතුංග මහතා කියයි. අමරතුංග මහතා දැන් වත් කළ යුත්තේ තෙන්නකෝන් මහතා ගෙන් ඒ දේශනය පිළිබඳ කරුණු විමසා බැලීම ය. අමරතුංග මහතා දේශනය පවත්වා සති පහකට වඩා ගත වීත් තෙන්නකෝන් මහතා ගෙන් ඒ ගැන විමසා ඇති බවක්‌ නො කියයි.

එසේ කළ හොත් අමරතුංග මහතාට තෙන්නකෝන් මහතා එකඟ වන්නේ මා සමග ද තමා සමග ද යන්න දැනගැනීමට හැකි වනු ඇත. සාධාරණ සාපේක්‍ෂතාවාදය යන්නට තෙන්නකෝන් මහතා ද සාමාන්‍ය යන්න යොදාගන්නවා විය හැකි ය. එහෙත් එය වැරැදි ය. මේ හුදෙක්‌ වචන හරඹයක්‌ හෝ ඉස්‌පිල්ලක පාපිල්ලක ප්‍රශ්නයක්‌ නො වේ. එය සංකල්ප පිළිබඳ ප්‍රශ්නයකි. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි දී කෙරෙන්නේ සාමාන්‍යකරණයක්‌ නො ව සාධාරණීකරණයකි. තෙන්නකෝන් මහතා ගුරුත්වාකර්ෂණය හා සාපේක්‍ෂතාවාදය පිළිබඳ ප්‍රශ්නයෙහි දී මා සම`ග එකඟ වීම නිසා මා නිවැරැදි වන්නේ යෑයි මම නො කියමි. මා එසේ පවසන්නේ අමරතුංග මහතා ජුලි 30 වැනි දා කර ඇති අභියෝගයට පිළිතුරක්‌ ලෙස පමණ ය.

අමරතුංග මහතා ඒ අභියෝගය කරන්නේ තම ලිපියෙහි 4 වැනි අභියෝගය යටතෙහි ය. අමරතුංග මහතා මෙන් නො ව මම එය උපුටා දක්‌වමි. "4 වැනි අභියෝගය - සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය තුළ ගුරුත්වාකර්ෂණය නැති බව නලින් මහතා පවසා ඇත. ඒ බව ඔහු ඔප්පු කොට නැත. ඒ බව ඔප්පු කර ඇති විද්‍යාඥයකු ඇතොත් පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට පිළිතුරු නැත. සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය විසින් ගුරුත්වාකර්ෂණය ද ආවරණය කරන බවට මා ඕනෑ තරම් සාක්‌ෂි සහ ලිපි ලේඛනවල නිර්දේශ ඉදිරිපත් කළ විට ඔහු කියන්නේ පොත්පත්වල තිබූ පලියට අප ඒවා පිළිගත යුතු නැති බව ය. මා පිළිගන්නේ සාක්‌ෂි ඇතොත් පමණි. කවුරුන් හෝ කුමක්‌ හෝ කී පලියට මා එය පිළිගන්නේ නැත. සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය ගුරුත්වාකර්ෂණය ද ආවරණය කරන්නේ නැති බවට කිසි ම සාක්‌ෂියක්‌ නලින් මහතා ඉදිරිපත් කොට නැත. එහෙත් ඔහු කියන දෙය සාක්‌ෂි නැතත් අප පිළිගත යුතු ය. පත පොතේ ඇති දේ සාක්‌ෂි ඇතත් අප පිළිගත යුතු නැත. මෙවැනි බහුභූතවාදියකු ලොව කිසි තැනක සිටිය හැකි ද?"

අපි අමරතුංග මහතා ගේ අභියෝගවලින් 4 වැනි අභියෝගය පළමුව ගනිමු. එසේ කරන්නේ අමරතුංග මහතා ගේ අභියෝගය ගැන නො දැන සිටියත් ජුලි 30 වැනි දා ලිපියෙන් ගුරුත්වාකර්ෂණය හා සාපේක්‍ෂතාවාදය ගැන තවදුරටත් කතා කිරීම අප ආරම්භ කර තිබූ බැවිනි. පොත්පත්වල තිබූ පලියට අප කිසිවක්‌ පිළිගත යුතු නැතැයි මම නැවතත් කියමි. සාපේක්‍ෂතාවාදය ගැන ලියෑවී ඇති බොහෝ පොත්පත්වල සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ගුරුත්වාකර්ෂණය අඩංගු වේ යෑයි සඳහන් වෙයි. එහෙත් එය වැරැදි ය. විඤඤාදුන් ගැන ද සඳහන් කරන බුදුන් වහන්සේ පොත්පත්වල තිබූ පමණින් අප යමක්‌ නොපිළිගත යුතු බව දේශනා කර ඇති බව අමරතුංග මහතා ද දනියි. පොත්පත්වල ඇතැයි කියමින් පොත්පත්වල නම් සඳහන් කිරීම තේරුමක්‌ නැත. අමරතුංග මහතාට හැකි නම් ප්‍රමුලධර්මවලින් තමාට අවශ්‍ය දේ, එනම් සාධාරණ සාපේක්‌ෂතාවාදයෙහි ගුරුත්වාකර්ෂණය අඩංගු බව පෙන්නුම් කරන්න.

මා කියන දෙය සාක්‌ෂි නැතත් පිළිගත යුතු යෑයි මා කියා ඇත්තේ කොහේ ද? ඔහු තමාට රිසි අයුරෙන් අසත්‍ය ප්‍රකාශ කර ඉන්පසු බහුභූතවාදියා ආදී වශයෙන් අපහාස කරයි. තෙන්නකෝන් මහතා සම`ග කතා කළ හොත් අමරතුංග මහතාට මා කියන දෙය අවබෝධ කරගැනීමට පහසු වනු ඇත. තෙන්නකෝන් මහතා මා සම`ග එක`ග වූ පමණින් මා නිවැරැදි යෑයි මම නො කියමි. එහෙත් අමරතුංග මහතාට අවශ්‍ය ඊනියා සාක්‌ෂි නම් ඒ මහතා තෙන්නකෝන් මහතා සම`ග සාකච්ඡා කිරීමේ වරදක්‌ ඇතැයි මම නො කියමි.

එහෙත් අමරතුංග මහතා ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇත. ඒ මහතා තම ජූලි 30 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය ගුරුත්වාකර්ෂණය ද ආවරණය කරන්නේ නැති බවට කිසි ම සාක්‌ෂියක්‌ නලින් මහතා ඉදිරිපත් කොට නැත." ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක්‌ නැත. එය ගිළුහුණු ගෙඩි වැටීම පිළිබඳව නිවුටන් ගෙතූ වියුක්‌ත කතාවක්‌ පමණ ය. සාධාරණ සාපේක්‌ෂතාවාදය ද තවත් එවැනි ම වූ වියුක්‌ත කතාවක්‌ පමණ ය. සාධාරණ සාපේක්‌ෂතාවාදයෙහි කතාවට අනුව පොල් ගෙඩි ද ඇතුළු ව ගෙඩි ගිලීSහිමෙන් පසුව වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාව හේතු කොටගෙන ය. මේ එක්‌ කතාවකින් අනෙක්‌ කතාව ආවරණය විය යුතු යෑයි අමරතුංග මහතා කියන්නේ ඔහු ගුරුත්වාකර්ෂණය (ගුරුත්වාකර්ෂණ බලය) ප්‍රපංචයක්‌ ලෙස සිතන බැවිනි. අමරතුංග මහතාට ඒ බව මේ කපේ දී තේරුම්ගත නො හැකි ය.

අපි නැවතත් අමරතුංග මහතා ගේ පෙබරවාරි 5 වැනි දා ලිපිය උපුටා දක්‌වමු. මා එසේ කරන්නේ සාමාන්‍ය (මෙහි දී නම් සාධාරණ යන්න වැරැදි ය) පාඨකයන් මගේ පසුගිය සතියේ ලිපිය සොයා ඒ කියවීමට මහන්සි නො වන බැවින් ය. අමරතුංග මහතා ගේ අදාළ ඡේදය මෙසේ ය. "ගිලිහුණු ගෙඩියක්‌ එතැන ම නො තිබී උඩුගුවනට හෝ වෙන කොහේ වත් නො යා පොළොවට පතිත වීම සිද්ධාන්තයක්‌ ලෙස පිළිගත හැකි ය. මෙහි දී වැදගත් සාධක වන්නේ ගෙඩිය එතැන ම නො තිබීම, උඩු ගුවනට නො යැම, අහසේ වෙන කොහේ වත් නො යැම, පොළොවට පතිත වීම යන්න ය. මේ ක්‍රියාදාමය මේ ලෙස සිදු වන්නේ ගෙඩිය ඇදගැනීමේ බලයක්‌ පොළොව සතු විය යුතු නිසා බව සිතිය හැකි ය. මේ විශ්වාසය ඉහත සඳහන් සිද්ධාන්තයෙන් කිසිසේත් ම වියුක්‌ත වී නැත. සත්තකින් ම මෙතන විශ්වාසය පැන නැ`ග ඇත්තේ සිද්ධාන්ත ය තුළින් ම ය. මෙවැනි සිද්ධාන්ත සෑහෙන ප්‍රමාණයක්‌ නිවුටන් තම පර්යේෂණ මගින් රැස්‌ කරගෙන ඇත. මේ සිද්ධාන්තය එකිනෙකට ආධාරකයක්‌ වූ සාක්‌ෂි ගොන්නක්‌ බව පැහැදිලි ය. ගුරුත්වාකර්ෂණය නමැති සංකල්පය පැනන`ගින්නේ මේ සාක්‌ෂි තුළිනි. එය එතැනට පිටතින් ආරූඪ කළ දෙයක්‌ නො වේ."

අපි මේ ප්‍රකාශය තවදුරටත් විශ්ලේෂණය කරමු. ගිළිහුණු ගෙඩිය එතැන ම නො රැඳී උඩට නො ගොස්‌ පහතට වැටෙන්නේ ගෙඩිය ඇදගැනීමේ බලයක්‌ පොළොව සතු වීම නිසා යෑයි සිතිය හැකි යෑයි අමරතුංග මහතා කියයි. මේ විශ්වාසය කිසිසේත් ම ඉහත සඳහන් සිද්ධාන්තයෙන් වියුක්‌ත වී නැතැයි කියන අමරතුංග මහතා විශ්වාසය පැන නැ`ගී ඇත්තේ සිද්ධාන්තය තුළින් ම යෑයි ද කියයි. මේ කියන සිද්ධාන්තය කුමක්‌ ද? මා මැදිහත් වී සිද්ධාන්තය ගැන කියනවාට වඩා අමරතුංග මහතා ගේ මහාචාර්ය කටින් ම ඒ බව ඉදිරිපත් කිරීම වැඩදායක ය. ඊනියා සිද්ධාන්තය කුමක්‌ දැයි අමරතුංග මහතා ගේ පෙබරවාරි 5 වැනිදා ලිපියෙහි සඳහන් වෙයි.

ඒ මෙසේ ය. "ගිළිහුණු ගෙඩියක්‌ එතැන ම නො තිබී උඩුගුවනට හෝ වෙන කොහේ වත් නො යා පොළොවට පතිත වීම සිද්ධාන්තයක්‌ ලෙස පිළිගත හැකි ය." අමරතුංග මහතා මා මෙන් නො ව දන්ත වෛද්‍ය විද්‍යාවට අමතරව ගුරුත්වාකර්ෂණය හා සාපේක්‌ෂතාවාදය ගැන ද දන්නා ඩී එස්‌ සී උපාධිධාරි සම්මානිත මහාචාර්යවරයෙකි. එහෙත් ඒ මහතා සිද්ධාන්ත යනු කුමක්‌ දැයි නො දන්නා අප කෙරෙහි කරුණාවෙන් කියන්නේ ද? සිද්ධාන්තයක්‌ යනු හුදු නිරීක්‌ෂණයක්‌ ද? ඉහත සඳහන් වාක්‍යය කියවන විට හැඟෙන්නේ සිද්ධාන්තයක්‌ යනු නිරීක්‌ෂණයක්‌ බව ය.

බොහෝ දෙනා කලක්‌ සිද්ධාන්තය යන්න යොදාගත්තේ ප්‍රවාදයක්‌ (එයෑදරහ) යන තේරුමෙන් ය. සෛද්ධාන්තික භෞතිකවාදය වැනි යෙදුම් බටහිර විද්‍යාවට එකතු වූයේ එලෙසිනි. සෛද්ධාන්තික භෞතික විද්‍යාව යන්න යෙදෙන්නේ තියරටිකල් ෆිසික්‌ස්‌ (Theoretical Physics) යන පද වෙනුවට ය. තියරි යන්න ප්‍රවාද ලෙස ව්‍යවහාර කිරීමට පටන්ගැනීමෙන් පසු එය ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ලෙස වෙනස්‌ විය යුතු ව තිබිණි. එහෙත් මෙරට බුද්ධිමත්තු එසේ නො කරති. සංගත වීම සිංහල සංස්‌කෘතියෙහි අංගයක්‌ නො වන බැවින් ඒ සංස්‌කෘතියෙන් බිහි වන ඊනියා බුද්ධිමතුන්ට ද සංගත වීමේ අවශ්‍යතාවක්‌ නැත.

කෙසේ වෙතත් අමරතුංග මහතා සිද්ධාන්තය යන්න යොදාගන්නේ තියරි සඳහා විය නොහැකි ය. යම් අයුරකින් ඒ මහතා සිද්ධාන්තය යන්න තියරි සඳහා යොදාගත්තේ නම් ගෙඩිය පොළොවට පතිත වීම ම ප්‍රවාදයක්‌ හෙවත් තියරියක්‌ (ගුණදාස අමරසේකර මහතා ගේ බසින් නම්) විය යුතු ය. එවිට නිරීක්‌ෂණයක්‌ හා ප්‍රවාදයක්‌ අතර ඇති වෙනස කුමක්‌ ද? අමරතුංග මහතාට මේ කිසිවක්‌ ප්‍රශ්න නො වේ. ඔහුට සංකල්ප පිළිබඳ නිරවුල් අවබෝධයක්‌ නැත. සංකල්ප පිළිබඳ නිරවුල් අවබෝධයක්‌ අවශ්‍ය වනුයේ නිරවුල් ව කල්පනා කරන අයකුට ය. ලංකාවේ මහාචාර්යවරු නිරවුල් ව තබා කොහොමට වත් කල්පනා නො කරති. ඔවුන් දන්නේ අවබෝධ කරගැනීම නො ව තමන් දන්නා ආකාරයට තමන්ට තේරෙන ආකාරයට මතක තබාගැනීමටත් පසුව එය විභාගවල දී හෝ ඊනියා ඉදිරිපත් කිරීම්වල (Presentations) දී වැමෑරීමත් ය. මෙය අමරතුංග මහතාට විශේෂිත වූ කරුණක්‌ නො වේ. එය මෙරට මහාචාර්යවරුන් ගේ සාධාරණ ගුණයකි.

අමරතුංග මහතා සිද්ධාන්තය යන්නෙන් අදහස්‌ කරන්නේ සාධාරණකරණයට ලක්‌ වූ නිරීක්‌ෂණයක්‌ විය හැකි ය. ගිළුහුණු ගෙඩියක්‌ පොළොවට ඇද වැටෙනු අපි දැක ඇත්තෙමු. ඒ නිරීක්‌ෂණ සීමිත ය. අප කොතෙක්‌ වෙලා සිටියත් එවැනි සියලු අවස්‌ථා නිරීක්‌ෂණය කිරීමට අපට නොහැකි ය. කළු කපුටා සුදු වන තුරු, මෝල් ගහේ දලු ලන තුරු ආදි ව්‍යවහාර සිංහල සංස්‌කෘතියෙහි වෙයි. අප කෙතරම් කළු කපුටන් නිරීක්‌ෂණය කර ඇතත් යම් දවසක සුදු කපුටකු නිරීක්‌ෂණය කිරීමේ සම්භාවිතාවක්‌ තිබිය හැකි ය. ඒ සම්භාවිතාව නැත්නම් ඉඩ ශූන්‍ය නම් අපට කිසි ම දිනෙක සුදු කපුටකු දැකීමට නොහැකි ය. එහෙත් සුදු කපුටකු දැකිය හැකි බවට විශ්වාසයක්‌ (එය නම් විශ්වාසයකි) සිංහලයන් අතර වෙයි. ඒ සඳහා කොපමණ කාලයක්‌ බලා සිටිය යුතු දැයි අපි නො දනිමු.

කෙසේ වෙතත් අමරතුංග මහතා ගෙඩිය පොළොවට වැටීම සිද්ධාන්තයක්‌ යෑයි එකහෙළා නො කියයි. ඔහු කියන්නේ එය සිද්ධාන්තයක්‌ ලෙස පිළිගත හැකි බව ය. "ගිලිහුණු ගෙඩියක්‌ එක තැන ම නො තිබී උඩුගුවනට හෝ කොහේ වත් නො යා පොළොවට පතිත වීම සිද්ධාන්තයක්‌ ලෙස පිළිගත හැකි ය". සිද්ධාන්තයක්‌ වීම සිද්ධාන්තයක්‌ ලෙස පිළිගැනීම යනු එකක්‌ නො ව දෙකකි. අමරතුංග මහතා පාඨකයන්ගේ කාලය කා නො දමා තමා සිද්ධාන්තයක්‌ යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි ඉක්‌මනින් ම පවසන්නේ නම් මැනවි.

මෙතෙක්‌ නිරීක්‌ෂණය කෙරී ඇති සියලු පොල් ගෙඩි හා වෙනත් ගෙඩි ගිලිහීමෙන් පසු පොළොවට ඇද වැටී ඇතැයි අපි සිතමු. එහෙත් එයින් කියෑවෙන්නේ කිසි දිනෙක ගිළිහුණු ගෙඩියක්‌ එතැන ම රැඳී සිටිය නොහැකි බව හෝ ගෙඩිය උඩට යැමට හැකියාවක්‌ නැති බව හෝ නො වේ. සමහර විට යම් දවසක ගිළුහුණු පොල් ගෙඩියක්‌ උඩට යැමට ඉඩ ඇත. අමරතුංග මහතා සිතන්නේ කවදා වත් එසේ වීමට ඉඩක්‌ නැති බව විය හැකි ය. ඒ මහතා ගිළුහුණු ගෙඩි පොළොවට වැටීම සිද්ධාන්තයක්‌ ලෙස සලකන්නේ එබැවින් විය හැකි ය.

අමරතුංග මහතා ගේ ලිපියෙහි මේ කොටස සලකා බලමු. " මේ ක්‍රියාදාමය මේ ලෙස සිදු වන්නේ ගෙඩිය ඇදගැනීමේ බලයක්‌ පොළොව සතු විය යුතු නිසා බව සිතිය හැකි ය. මේ විශ්වාසය ඉහත සඳහන් සිද්ධාන්තයෙන් කිසිසේත් ම වියුක්‌ත වී නැත. සත්තකින් ම මෙතත විශ්වාසය පැනනැඟී ඇත්තේ සිද්ධාන්තය තුළින් ම ය. මෙවැනි සිද්ධාන්ත සෑහෙන ප්‍රමාණයක්‌ නිව්ටන් තම පර්යේෂණ මගින් රැස්‌ කරගෙන ඇත. මේ සිද්ධාන්ත එකිනෙකට ආධාරකයක්‌ වූ සාක්‌ෂි ගොන්නක්‌ බව පැහැදිලි ය. ගුරුත්වාකර්ෂණය නැමති සංකල්පය පැනන`ගින්නේ මේ සාක්‌ෂි තුළිනි. එය එතැනට පිටතින් ආරුඪ කළ දෙයක්‌ නො වේ."

අමරතුංග මහතාට අනුව ගිළුහුණු ගෙඩිය පොළොවට වැටීම (එය කුමක්‌ වුවත්) සිද්ධාන්තයකි. එසේ වන්නේ ගෙඩිය ඇදගැනීමේ බලයක්‌ තිබෙන නිසා යෑයි විශ්වාස කළ හැකි ය. ඒ විශ්වාසය ඊනියා සිද්ධාන්තයෙන් වියුක්‌ත වී නැත. විශ්වාසය

පැන න`ගින්නේ ම සිද්ධාන්තය තුළින් ය. අමරතුංග මහතා තවමත් වියුක්‌තය යන්න යොදාගන්නේ වෙන් වීම යන අර්ථයෙන් යෑයි ඉහත සඳහන් වාක්‍යවලින් සිතිය හැකි ය. අමරතුංග මහතා ගේ විශ්වාසය, එනම් පොළොව සතු බලය, ඊනියා සිද්ධාන්තයෙන් වෙන් වී නැති බව අමරතුංග මහතා ගේ අදහස යෑයි කිව හැකි ය. මේ ඊනියා විශ්වාසය, එනම් පොළොවට ඇතැයි කියන බලය ඊනියා හේතුවක්‌, කතාවක්‌, ප්‍රවාදයක්‌ මිස අනෙකක්‌ නො වේ. ඒ විශ්වාසය නිවුටන් ගේ වේ වා අමරතුංග මහතා ගේ වේ වා යම් නිරීක්‍ෂණයක්‌ (ඊනියා සිද්ධාන්තයක්‌) තේරුම්ගැනීමට යෑයි කියමින් ඉදිරිපත් කර ඇති ප්‍රවාදයක්‌, ගොතන ලද කතාවක්‌ පමණකි. එය වියුක්‌ත (Abstract) කතාවකි. එය පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. අමරතුංග මහතා ගේ ඊනියා සිද්ධාන්තය පංචෙන්ද්‍රියයන්ට ගෝචර යෑයි සිතුවත් ඒ මහතා ගේ විශ්වාසය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එය බාහිර හේතුවක්‌ මිස අන් කිසිවක්‌ නො වේ. බාහිර හේතුව ලෙස ඉදිරිපත් කළේ ම පිටතින් ය. ඒ නිවුටන් පිටතින් ගෙනා බාහිර හේතුවකි. අයින්ස්‌ටයින් එලෙස ම වෙනත් බාහිර හේතුවක්‌ පිටතින් ගෙනාවේ ය. ඒවා බාහිර හේතු වන්නේ පිටතින් ගෙනෙන නිසා නො වේ. බටහිර දැනුමේ ඇත්තේ බාහිර හේතු ය. එය බාහිර දෙවියන් වහන්සේ ගෙන් ගලා එයි

නලින් ද සිල්වා .