logo3.gif (702 bytes)

HOME


ගුරුත්වාකර්ෂණය යනු විශ්වාසයක්‌ ද?

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් කියා ඇති එහෙත් අබමල් රේණුවක තරම් වත් නො තේරෙන දේ ගැන යම් ප්‍රමාණයකින් වුවත් සඳහන් කිරීමට මේ ලිපිය ද ඉදිරි ලිපි ද යොදාගනිමු. ඒ පිළිබඳ ඒ මහතා ගේ නොදැනුවත්කම පසුගිය ජුනි 27 වැනි දා මහනුවර දී විද්‍යා සංවාද කුලකය විසින් සංවිධානය කෙරුණු රැස්‌වීමේ දී හෙළිදරව් වූ නමුත් එදින ඒ මහතා ව්‍යාජ හේතු දක්‌වා රැස්‌වීමට සහභාගි නො වී පැන ගියේ ය. ඒ රැස්‌වීමේ වීඩියෝ පටයක්‌ විද්‍යා සංවාද කුලකයෙන් ලද වහා ම අන්තර්ජාලයට එකතු කිරීමට බලාපොරොත්තු වෙමි. එවිට අමරතුංග මහතාට මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ගුරුත්වාකර්ෂණය හා සාපේක්‍ෂතාවාදය සම්බන්ධයෙන් කියා ඇත්තේ කුමක්‌ දැයි අසාගැනීමට හැකි වනු ඇත. එහෙත් ඔහුට එය තේරුම්ගත හැකි වේ ද යන්න සැක සහිත ය.

ඔහුට ආත්ම විශ්වාසයක්‌ ඇති නම් ඔහු කළ යුත්තේ මට ද සහභාගි විය හැකි

රැස්‌වීමක ගුරුත්වාකර්ෂණය හා සාපේක්‍ෂතාවාදය ගැන දේශනයක්‌ පැවැත්වීම ය. එහෙත් ඔහු එසේ නො කරයි. ඒ වෙනුවට පරිභව කිරීම් නම් බිල්ලකු මවා රැස්‌වීම්වලින් පැන යයි. ඒ පැත්තකින් තබන්න. ඔහුට ආත්ම විශ්වාසයක්‌ හා දැනුමක්‌ නොමැති වීම පිළිබඳ ව අපට කළ හැකි දෙයක්‌ නැත. ඔහු වරක්‌ වෛද්‍ය පීඨ ආචාර්යවරුන් ඉදිරිපිට වකුගඩු රෝගය ගැන දේශනයක්‌ කරන මෙන් මට අභියෝගයක්‌ කළේ ය. මම අභියෝගය පිළිගත්තෙමි. ඒ අනුව වෛද්‍ය පීඨයක බැරි නම් දන්ත වෛද්‍ය පීඨයක ඒ සඳහා දේශනයක්‌ පැවැත්වීමට මට ඉඩකඩ ලබා දීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටියෙමි. එහෙත් අද වන තුරු ඔහු ඒ සඳහා පියවර ගෙන ඇති බවක්‌ නො දන්නෙමි.

ඩීඑස්‌. සී උපාධිධාරියකු වූ ද, සේවාර්ජිත මහාචාර්යවරයකු වූ ද පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයකු වූ ද, මා මෙන් නො ව ඊනියා අධ්‍යයනික විද්වතුන් අතර පිළිගැනීමට ලක්‌ වූ ද අමරතුංග මහතාට අඩු ම තරමෙන් ඒ දේශනය පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයේ පැවැත්වීමට පියවර ගත නො හැකි ද? ඔහු ඒ දේශනය පැවැත්වීමට පියවර ගන්නේ නම් බටහිර විද්‍යාවේ පට්‌ටපල් බොරු ද, ඇතැම් බටහිර වෛද්‍යවරුන් ගේ නොදැනුවත්කම ද, බටහිර දැනුමේ බංකොළොත් බව ගැන ද, කෘෂි රසායනික වකුගඩු රෝගීන්ට මරණය අත් කර දී වුව ද බටහිර වෛද්‍ය විද්‍යාවේ ආධිපත්‍යය රැක ගැනීමට කටයුතු කරන ඇතැම් බටහිර වෛද්‍යවරුන් ගැන ද කරුණු ඉදිරිපත් කිරීමට මට හැකි වනු ඇත.

මේ ලිපියේත් ඉදිරි ලිපිවලත් අමරතුංග මහතා ගේ පසුගිය ලිපිවලින් දීර්ඝ වශයෙන් උපුටා ගැනීමට සිදු වනු ඇත. එසේ නො කර ඒ මහතා ගේ මුග්ධ බව පාඨකයාට හෙළිදරව් කිරීමට නො හැකි ය. හැකිනම් මගේ ලිපිවලින් උපුටාගෙන මා කර ඇති වැරැදි පෙන්වන මෙන් අභියෝග කරමි. එහෙත් අමරතුංග මහතා එසේ නො කරයි. ඒ මහතා සන්දර්භයෙන් තොර ව ඇතැම් වාක්‍යයක්‌ ද බොහෝ විට වාක්‍යයක්‌ වත් නොමැති ව හුදෙක්‌ දිනයක්‌ පමණක්‌ සඳහන් කර තමන්ට හිතෙන දෙයක්‌ ද ඉදිරිපත් කර ඒවාට ඊනියා පිළිතුරු ලබා දෙයි.

උදාහරණ ලෙස අමරතුංග මහතා 2014 ජනවාරි 22 වැනි දා ලිපියෙහි මෙසේ පවසයි. "ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන බැවින් ඒ පිළිබඳ ව ඉදිරිපත් වී ඇති සංකල්ප න්‍යාය බොරු බව නලින් මහතා පවසා ඇත". මා එසේ කියා ඇත්තේ කොහේ ද? කරුණාකර ඒ සඳහා උපුටා දැක්‌වීම් කරන්න. එහෙත් කොතෙක්‌ කීවත් අමරතුංග මහතා එවැනි උපුටා දැක්‌වීමක්‌ නො කරයි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් මා කිසි විටෙකත් ඒ පිළිබඳ ඉදිරිපත් වී ඇති සංකල්ප න්‍යාය බොරු බව අමරතුංග මහතා ගේ අරුතෙන් කියා නැත. මා එසේ කියා ඇත්නම් එයින් කියෑවෙන්නේ ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වූවත් එය "ඇත්තට ම" පවතින බව මා පිළිගන්නා බවත් එහෙත් ඒ පිළිබඳ ව ඉදිරිපත් ව ඇති සංකල්ප හා න්‍යාය බොරු බවත් ය.

මෙරට මහාචාර්යවරු මෙවැන්නෝ ම වෙති. අවාසනාවකට අමාත්‍ය මණ්‌ඩලයට හා රටට ද මොවුන් ගේ හැකියාවන් පිළිබඳ කිසි ම වැටහීමක්‌ නැත. අමාත්‍ය මණ්‌ඩලය මොවුන් ගේ සේවා කාලය අවුරුදු 65 සිට 70 දක්‌වා දීර්ඝ කිරීමට තීරණයක්‌ ගෙන ඇති බව කියෑවෙයි. ඒ අනුව උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද අවශ්‍ය නිර්ණායක සකස්‌ කිරීමේ කාර්යයෙහි නිරත වී සිටියි. අද ලංකාවේ විශ්වවිද්‍යාලවල විවිධ මහාචාර්යවරු 500ක්‌ පමණ සිටිති. මොවුන් ගේ සේවය තවත් අවුරුදු පහකින් දික්‌ කිරීමට තරම් මොවුන් ගෙන් රටට, විෂයයට හෝ වෙනත් කිසිවකට සිදු වී ඇති සේවය කුමක්‌ ද? දළ වශයෙන් ගත හොත් එක්‌ මහාචාර්යවරයකු ගේ සේවා කාලය අවුරුදු පහකින් දික්‌ කිරීමට රුපියල් කෝටියක්‌ පමණ වැය වෙයි.

මෙරට මහාචාර්යවරයකු මෙතරම් වටින්නේ ද? මහාචාර්යවරුන් 500ට ම සේවා දිගු ලැබුණ හොත් එවිට රුපියල් කෝටි 500ක්‌ පමණ වෙයි.

අමරතුංග මහතා දැන් හැත්තෑ විය පසු කර සිටින බැවින් ඔහුට මේ සේවා දිගුව නො ලැබෙයි. මට ද එය නො ලැබෙන්නේ මා ද හැත්තෑවට ආසන්න බැවිනි. එහෙත් ප්‍රශ්නය රටට අහවල් දෙයක්‌ කර ඇතැයි කිව නොහැකි මහාචාර්යවරුන් සඳහා අවුරුද්දකට දළ වශයෙන් රුපියල් කෝටි සියයක්‌ මහජන මුදලෙන් වැය කළ යුතු ද යන්න ය. අමරතුංග මහතා ගේ ලිපි අහඹු ලිපි නො වේ. මහාචාර්යවරුන් ගේ වැටහීමේ ශක්‌තිය ඒ ලිපිවලින් මනාව පැහැදිලි වෙයි.

ගුරුත්වාකර්ෂණය යනු "ඇත්තට ම" පවතින දෙයක්‌ නො වෙයි. එය ප්‍රපංචයක්‌ (සංසිද්ධියක්‌-ඡයෑබදපැබදබ) නො වෙයි. එය ආනුභවික නො වේ. ආනුභවික බොරු යන ලිපිය යටතේ මා සඳහන් කළ පරිදි ආනුභවික වන්නේ පැහැය, තද බව ආදිය මිස පොල්ගෙඩි වැනි වස්‌තු නො වේ. ඒ අරුතෙන් ගත් කල පොල්ගෙඩි පොළොවට වැටීම ද පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංච නො වේ. අපි පොල්ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක්‌ ලෙස උපකල්පනය කළ ද, ගුරුත්වාකර්ෂණය යනු එලෙස ගත හැකි ප්‍රපංචයක්‌ නො වේ. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් විසින් නිර්මාණය කරන ලද සංකල්පයක්‌ පමණි.

සංකල්ප, න්‍යාය ආදිය ගැන මෙලෝ හසරක දැනුමක්‌ නොමැති අමරතුංග මහතා "ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන බැවින් ඒ පිළිබඳ ව ඉදිරිපත් වී ඇති සංකල්ප න්‍යාය බොරු බව නලින් මහතා පවසා ඇත." යනුවෙන් පවසයි. සංකල්පය ගුරුත්වාකර්ෂණය ය. එය ඊනියා ප්‍රපංචයක්‌ නො වේ. න්‍යාය යනුවෙන් අමරතුංග මහතා අදහස්‌ කරන්නේ ප්‍රවාද (Theory) විය යුතු ය. එහෙත් න්‍යාය යනු අපේ සම්ප්‍රදාය අනුව නම් ලොජික්‌ ය. අමරතුංග මහතා න්‍යාය බිංදු නම් ග්‍රන්ථය ගැන අසා තිබේ දැයි නො දනිමි. ඔහු එය කියවා ඇත් ද යන්න මට ප්‍රශ්නයක්‌ නො වන්නේ කියවුවත් ඔහුට එය නො තේරෙන බැවිනි. අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණය සංකල්පයක්‌ නො වේ. එවැනි බලයක්‌ ඇතැයි කිව හැකි යෑයි ඔහු කියයි.

අමරතුංග මහතා 2014 ජනවාරි 22 වැනි දා ලිපියෙහි ම මෙසේ ද සඳහන් කරයි. "ගුරුත්වාකර්ෂණය සෘජු ව ම ඉන්ද්‍රිය ගෝචර නො වන්නට පුළුවන. එනමුත් ගුරුත්වාකර්ෂණය යනුවෙන් හැඳින්විය හැකි යම් කිසි බලයක්‌ තිබෙන බවට ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි එමට ඇත. ගිලිහුණ වස්‌තූන් එතැන ම නො රැ`දී උඩු ගුවනට නො යා, වෙන කොහේ වත් නො යා පෘථිවිය මතට වැටෙන්නේ පෘථිවිය සහ එම වස්‌තුව අතර ඇති යම් කිසි ආකර්ෂණාත්මක බලයක්‌ නිසා බව කිව හැකි ය. පෘථිවියෙන් ඈතට යන විට මේ බලය කෙමෙන් අඩු වන බව ද සොයාගෙන ඇත. හඳ මත එම බලය ඉතා ම අඩු ය. තව ද එම බලය යම් තරමකින් මිනිසාට දැනෙන අවස්‌ථා ඇත. හඳට ගොස්‌ ඇති ගගනගාමියකුට පෘථිවියේ සහ සඳ මත මතුපිට ඇති එම බලයේ වෙනස දැනෙන්නට ඇත. වස්‌තූන් දෙකක්‌ අතර ඇති මේ බලය ගණනය කිරීම සඳහා අයිසැක්‌ නිව්ටන් න්‍යාය කිහිපයක්‌ ඉදිරිපත් කොට ඇත. මා ගේ පෙර ලිපියක සඳහන් කර ඇති අන්දමට අභ්‍යවකාශය තරණය කිරීම පිණිස අද ද භාවිත කරන්නේ මේ න්‍යාය බව මතක්‌ කළ යුතු ව ඇත. ගගනගාමීන් හඳට පා තැබුවේ ද මේ න්‍යාය භාවිත කොට ය."

අමරතුංග මහතා සඳහන් කරන න්‍යාය කුමක්‌ ද? වස්‌තූන් අතර ඇති බලය ගණනය කිරීමට නිව්ටන් න්‍යාය කිහිපයක්‌ ඉදිරිපත් කර ඇතැයි අමරතුංග මහතා කියයි. මේ ඊනියා න්‍යාය (ප්‍රවාද) කවරේ ද? එම ඊනියා න්‍යායට ගුරුත්වාකර්ෂණ සංකල්පය ඇතුළත් නො වන්නේ ද? නිව්ටන් වස්‌තු එකිනෙක ආකර්ෂණය කරන බව ද ඒ ආකර්ෂණය යම් සූත්‍රයකට යටත් ව සිදු කරන බව ද පවසයි. නිව්ටන්ට අනුව වස්‌තු (අංශු) දෙකක්‌ අතර ගුරුත්වාකර්ෂණ බලය GMm/d2 මගින් දෙනු ලැබෙයි. මෙහි ඨ යනු ගුරුත්වාකර්ෂණ නියතය ද M හා m යනු වස්‌තු (අංශු) දෙකෙහි ගුරුත්වාකර්ෂණ ස්‌කන්ධ ද වෙයි. d යනු වස්‌තු (අංශු) දෙකෙහි ගුරුත්වාකර්ෂණ ස්‌කන්ධ ද වෙයි. d යනු වස්‌තු (අංශු) දෙක අතර දුර වෙයි.

අමරතුංග මහතා උසස්‌ පෙළ භෞතික විද්‍යා විෂයයෙන් සමත් වී ඇතැයි සිතමි. ඒ විෂය සඳහා ඔහු නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඉගෙනගන්නට ඇත. එහෙත් ලංකාවේ පරීක්‍ෂණවලින් සමත් වීමට විෂය පිළිබඳ අවබෝධයක්‌ අවශ්‍ය නො වේ. අමරතුංග මහතා වැන්නන්ට ලංකාවේ මහාචාර්යවරුන් විය හැක්‌කේ එබැවිනි. නිව්ටන් ගේ ප්‍රවාදය එකකි. එහි ප්‍රවාද (ඊනියා න්‍යාය) කිහිපයක්‌ නැත. එම ප්‍රවාදයෙහි වැදගත් ම කොටස වන්නේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ සංකල්පය ය. එහෙත් කිසිවක්‌ නො තේරෙන අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණය ප්‍රවාදයෙහි කොටසක්‌ නො වේ. ඔහුට අනුව ගුරුත්වාකර්ෂණය ඇත. ඒ බව ඔහු කියා ඇත්තේ මෙසේ ය.

"ගිලිහුණු වස්‌තූන් එතැන ම නො රැ`දී උඩු ගුවනට නො යා, වෙන කොහේ වත් නො යා පෘථිවිය මතට වැටෙන්නේ පෘථිවිය සහ එම වස්‌තුව අතර ඇති යම් කිසි ආකර්ෂණාත්මක බලයක්‌ නිසා බව කිව හැකි ය. පෘථිවියෙන් ඈතට යන විට මේ බල කෙමෙන් අඩු වන බව ද සොයා ගෙන ඇත." මෙය නම් මහාචාර්යවරයකු ගේ මුවෙන් පිට විය යුත අගනා වැකියකි. එවැන්නකු අතින් ලියෑවිය යුත්තකි. නිව්ටන් ඉපදුණේ නැතත් අමරතුංග මහතාට මේ ආකර්ෂණ බලය ගැන කිව හැකි ව තිබිණි. ගිලිහුණු වස්‌තුවක්‌ පොළොවට වැටෙන්නේ කිසියම් ආකර්ෂණ බලයක්‌ නිසා බව කිව හැකි යෑයි අමරතුංග මහතා කියනුයේ නිව්ටන් අනුගමනය කරමින් ද නැත් ද? අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇතැයි කිව හැකි ය. ඒ සඳහා නිව්ටන් කෙනකු අවශ්‍ය නො වේ. නිව්ටන් කර ඇත්තේ මේ ගුරුත්වාකර්ෂණ බලය ගණනය කිරීමට සූත්‍රයක්‌ සම්පාදනය කිරීම ය. අමරතුංග මහතා නිව්ටන්ට කලින් ඉපදිණි නම් ඔහු ගුරුත්වාකර්ෂණ බලය ගැන කීමට ඉඩ තිබිණි. පොළොවට පොල් වැටෙන්නේ ආකර්ෂණාත්මක බලයක්‌ නිසා නො වේ නම් අහවල් කෙංගෙඩියක්‌ නිසා ද?

එවිට අයින්ස්‌ටයින් කළේ කුමක්‌ ද යන ප්‍රශ්නය අසනු වැළැක්‌විය නො හැකි ය. ඔහු ගුරුත්වාකර්ෂණ බලයක්‌ නැතැයි කීවේ ය. ඔහු කියා සිටියේ පොල් පොළොවට වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා බව ය. අවකාශ කාල වක්‍රතාව යනු ගුරුත්වාකර්ෂණය තේරුම් කර දෙන න්‍යායක්‌ නො වේ. අමරතුංග මහතාට එසේ සිතෙන්නේ ඔහු ගුරුත්වාකර්ෂණය ඊනියා ප්‍රපංචයක තත්ත්වයට ඔසවන බැවිනි. අමරතුංග මහතා ගුරුත්වාකර්ෂණය ඊනියා ප්‍රපංචයක්‌ ලෙස දකින තාක්‌ ඔහුට මේ කිසිවක්‌ අවබෝධ කරගැනීමට නො හැකි ය.

ගුරුත්වාකර්ෂණය ද ඊනියා ප්‍රපංචයක්‌ නම් පොළොවට පොල් වැටීම හා ගුරුත්වාකර්ෂණය අතර ඇති වෙනස කුමක්‌ ද? අමරතුංග මහතාට අනුව පොළොවට පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා යෑයි කිව හැකි ය. මෙහි නිසා යන වචනයෙහි තේරුම කුමක්‌ දැයි අමරතුංග මහතා කල්පනා කර ඇත් ද? එක්‌ පැත්තකින් පොල් පොළොවට වැටෙයි. අනෙක්‌ පැත්තෙන් ගුරුත්වාකර්ෂණය වෙයි. අමරතුංග මහතාට අනුව වුවත් ඒ දෙක එකක්‌ නො වේ. එකක්‌ සිදු වන්නේ අනෙක නිසා ය. එනම් පොල් පොළොවට වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය ය. එහෙත් අයින්ස්‌ටයින්ට අනුව පොළොවට පොල් වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා ය. මේ නිසා නම් වචනය නිසා (නැවතත් නිසා) අමරතුංග මහතා වැටී ඇත්තේ මොන තරම් අමාරුවක ද?

බටහිර විද්‍යාවේ සැම විටෙක ම බාහිර බල, සාධාරණ වශයෙන් (සාමාන්‍යයෙන් නො වේ) බාහිර හේතු දැක්‌වෙයි. මෙය සිංහල බෞද්ධ හේතුඵලවාදය නො වේ. පොළොවට පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා යෑයි බටහිර විද්‍යාවෙහි කියෑවෙයි. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ ඊනියා ප්‍රපංච සඳහා වියුක්‌ත හේතු සෙවීම ය. අමරතුංග මහතාට ඒ බව තේරුම්ගැනීමට තරම් වියුක්‌ත ව කල්පනා කිරීමට නොහැකි ය. ඔහු 2014 පෙබරවාරි 05 වැනි දා මෙසේ කීවේ ය. "ගිලිහුණු ගෙඩියක්‌ එතැන ම නො තිබී උඩුගුවනට හෝ වෙනත් කොහේ වත් නො යා පොළොවට පතිත වීම සිද්ධාන්තයක්‌ ලෙස පිළිගත හැකි ය. මෙහි දී වැදගත් සාධකය වන්නේ ගෙඩිය එතැන ම නො තිබීම, උඩුගුවනට නො යැම, අහසේ වෙන කොහේ වත් නො යැම, පොළොවට පතිත වීම යන්න ය. මේ ක්‍රියාදාමය මේ ලෙස සිදු වන්නේ ගෙඩිය ඇදගැනීමේ බලයක්‌ පොළොව සතු විය යුතු නිසා බව සිතිය හැකි ය. මේ විශ්වාසය පහත සඳහන් සිද්ධාන්තයෙන් කිසිසේත් ම වියුක්‌ත වී නැත. සත්තකින් ම මෙතැන විශ්වාසය පැනනැඟ ඇත්තේ සිද්ධාන්තය තුළින් ම ය. මෙවැනි සිද්ධාන්ත සෑහෙන ප්‍රමාණයක්‌ නිව්ටන් තම පර්යේෂණ ම`ගින් රැස්‌ කරගෙන ඇත. මේ සිද්ධාන්ත එකිනෙකට ආධාරකයක්‌ වූ සාක්‌ෂි ගොන්නක්‌ බව පැහැදිලි ය. ගුරුත්වාකර්ෂණය නමැති සංකල්පය පැනන`ගින්නේ මේ සාක්‌ෂි තුළිනි. එය එතැන් සිට පිටතින් ආරූඪ කළ දෙයක්‌ නො වේ."

ගිලිහුණු ගෙඩියක්‌ එතැන ම නො තිබී හෝ වෙනත් කොතැනක නො ගොස්‌ පොළොවට පතිත වීම සිද්ධාන්තයක්‌ ලෙස පිළිගත හැකි යෑයි කීමෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? සිද්ධාන්තයක්‌ යනු කුමක්‌ ද? කලක්‌ සිද්ධාන්ත යන්න ප්‍රවාද යන්න සඳහා යොදා ගැනිණි. අමරතුංග මහතා මේ සංවාදයෙහි කිසි දිනෙක වචන භාවිතය ගැන සැලකිල්ලක්‌ දක්‌වා නැත. කරුණාකර සිද්ධාන්ත යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි කරන මෙන් අමරතුංග මහතා ගෙන් ඉල්ලා සිටිමි. සිද්ධාන්තයක්‌ යනු නිරීක්‌ෂණයක්‌ ද? එය එසේ නම් ඉහත සඳහන් ඡේදයෙහි කිසි ම තේරුමක්‌ නැත. සිද්ධාන්තය යන්න ප්‍රවාදය යන තේරුමෙන් යොදාගෙන ඇත්නම් අමරතුංග මහතා සඳහන් කරන විශ්වාසය කුමක්‌ ද? ඉහත සඳහන් ඡේදයට අනුව නම් ඒ විශ්වාසය ගෙඩිය ඇදගැනීමේ ශක්‌තියක්‌ පොළොව සතු වීම ය. මේ ශක්‌තිය යනු එනර්ජි (Enegy) ද? එසේ නැත්නම් කර්ම ශක්‌තිය වැන්නක්‌ ද? අපි මෙය පසුව තවදුරටත් විශ්ලේෂණය කරමු.

නලින් ද සිල්වා