logo3.gif (702 bytes)

HOME


අභියෝග සහ බහුභූත
01 වැනි කොටස

පසුගිය අවුරුද්දේ ඔක්‌තෝබර් මාසයේ සිට විදුසර සඟරාව ම`ගින් නලින් මහතාට මා කළ අභියෝග එකකට වත් තවමත් පිළිතුරු දී නැත. එම ප්‍රශ්නවලට උත්තර වශයෙන් ඔහු ඉදිරිපත් කොට ඇති අදහස්‌ එකක්‌ වත් මොළේ ඇති කෙනකු පිළිගන්නා දේ නො වන බව විදුසර පාඨකයන් වටහාගෙන ඇතිවාට සැක නැත. මේ ප්‍රශ්නවලට උත්තර සපයනවා වෙනුවට ඔහු කරන්නේ මා ලියන ලිපි සම්පූර්ණයෙන් ම නැවත නැවතත් උපුටා දැක්‌වීම ය. ඒවායේ ඇති ඉස්‌පිලි පාපිලිවල හරි වැරැදි සොයා බැලීම ය. සාමාන්‍ය යන වචනය සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය යන මතවාදය හඳුන්වා දීම පිණිස සුදුසු නැති බව පෙන්වා දීමට විදුසර සඟරාවේ වටිනා පිටු ගණනක්‌ ඔහු නාස්‌ති කළේ ය. ගුණදාස අමරසේකර, කාලෝ ෆොන්සේකා, මාර්ටින් වික්‍රමසිංහ, විමල් දිසානායක, පණ්‌ඩිත් අමරදේව වැනි අග්‍ර ගණයේ විද්වතුන් හෙළාදකින්නට තවත් පිටු ගණන් වැය කොට ඇත.

මේ වාදයට දැන් නව මාසයක්‌ පමණ කල් ගොස්‌ ඇති බැවින් මෙතෙක්‌ කල් මා කළ අභියෝග සහ නලින් මහතා ඒවාට දී ඇති පිළිතුරු සංක්‌ෂිප්තව ආවර්ජනය කිරීමට කාලය පැමිණ ඇත. මා නැඟූ ප්‍රශ්න සහ ඔහු සැපයූ පිළිතුරු පහත දැක්‌වේ.

1 වැනි අභියෝගය- නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්න. මෙය ඔප්පු කල යුත්තේ විද්‍යාව භාවිතා කොට නො ව වෙන ක්‍රමවේදයක්‌ භාවිත කොට විය යුතු ය. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට විද්‍යාව භාවිත කළ හැකි නො වේ.

නලින් මහතා මීට පිළිතුරු වශයෙන් සඳහන් කළේ විද්‍යාවේ එන නොයෙකුත් සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා එම සංකල්ප බොරු බව ය. තව ද ඒ මහතා කියන්නේ බුදුදහමේ ද්වියතානුපස්‌සනා සූත්‍රයට අනුව සැම නාම රූපයක්‌ ම මුසාවක්‌ බවයි. එම නිසා ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි වුව ද මුසාවක්‌ වන්නේ ය. එම නිසා ඉන්ද්‍රිය ගෝචර වුවත් නො වුවත් ලෝකයේ ක්‍රියාදාමයන් සියල්ල නලින් මහතාට අනුව බොරු ය.

මීට පිළිතුරු වශයෙන් මා කියා සිටියේ ඉන්ද්‍රිය ගෝචර නො වන ස්‌වභාවධර්මයේ ඇති නොයෙකුත් ක්‍රියාදාමයන් භාවිත කර ඒවායින් ප්‍රයෝජන ගැනීමේ දී මේ සංකල්ප භාවිත කිරීම අනිවාර්ය වන බව ය. උදාහරණ වශයෙන් මා ඉදිරිපත් කළේ ගුරුත්වාකර්ෂණය, විදුලිය, විද්යුත් චුම්බක කෙෂ්ත්‍ර වූයේ ය. විදුලිය ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එහෙත් විදුලිය කියා දෙයක්‌ නැතැයි කිව හැකි ද?

අවසානයේ නලින් මහතා විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්නේ බුදු දහමේ ද්වියතානුපස්‌සනා සූත්‍රයේ පිහිටෙනි. එම සූත්‍රය පවසන්නේ සැම නාම රූපයක්‌ ම මුසාවක්‌ බව ය. නලින් මහතාට මේ සූත්‍රය දියේ ගිලෙන මිනිසාට පිදුරු ගහක්‌ මෙන් ය. අන් කිසි ම ක්‍රමයකින් විද්‍යාව බොරු බව ඔප්පු කරගන්නට බැරි වූ නිසා ඔහු ද්වයතානුපස්‌සනා සූත්‍රයේ එල්ලී දියෙන් ගොඩ එන්නට බලයි. නලින් මහතා ද්වයතානුපස්‌සනා සූත්‍රය මෙලෙස වැරැදි විදියට පාවිච්චි කරන විට බුදුදහමේ හදවත බඳු පටිච්චසමුප්පාදය ඔහුට අතහැර දමන්නට සිදු වේ. බුදුන් සැම දෙයක ම පැවැත්ම ගැන ඉතා පැහැදිලිව පවසා ඇති පටිච්චසමුප්පාදය නලින් මහතා නො සලකා හරින්නේ තමා ගේ වාසියට ය. බුදුරදුන් කචිචයානගොත්ත සූත්‍රයේ ඉතා ම පැහැදිලිව පවසන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තයක්‌ බව ය. එසේ ම සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තය බව ය. උන්වහන්සේ තොරාගන්නේ මධ්‍යම පිළිවෙතක්‌ බව ය. මින් අදහස්‌ වන්නේ සැම දෙයක්‌ ම නිත්‍ය වශයෙන් පවතින්නේ වත් නිත්‍ය වශයෙන් නො පවතින්නේ වත් නැත යන අනිත්‍ය ධර්මතාව වන්නේ ය. මෙය දේශනා කොට අනතුරුව බුදුහු එම අවස්‌ථාවේ ම පටිච්චසමුප්පාදය දේශනා කළ සේක. අනිත්‍ය ධර්මය දේශනා කොට එය සිදු වන අන්දම පහදා දීමට බුදු දහමේ වැදගත් ම සංකල්පය වන පටිච්චසමුප්පාදය වදාළ හ. නලින් මහතා ද්වයතානුපස්‌සනා සූත්‍රය තේරුම් නො ගෙන ඊට වෙන අරුතක්‌ දෙන විට එය පටිච්චසමුප්පාදය සමග එක`ග නො වන නිසා ඔහු කරන්නේ පටිච්චසමුප්පාදය විකෘති කිරීම ය.

එම විකෘති කිරීම මෙසේ ය. පටිච්චසමුප්පාදය ලෝකය ගැන වත් එහි තුළ ඇති වස්‌තූන් ගැන වත් කිසිවක්‌ නො කියන බව නලින් මහතා පවසයි. එම දහමේ ජාති, ජරා, මරණ යන වචන ඔහුට වැදගත් නැත. ඒ වචනවලින් අදහස්‌ වන්නේ බුදුන්a සඳහන් කළ අනිත්‍ය වූ සැම දෙයක්‌ ම එනම් ලෝකය සහ වස්‌තූන් ඉපදී වෙනස්‌ වී නැති වන බව ය. පටිච්චසමුප්පාදය ලෝකය සහ එහි ඇති වස්‌තූන් පිළිබඳව කිසිවක්‌ කියන්නේ නැතිනම් එය කියන්නේ කුමක්‌ ගැන ද? මිනිසා හඳට පා තැබූ වග නලින් මහාතා ගේ ද්වයාතානුපස්‌සනා සූත්‍රයට අනුව මුසාවකි. නලින් මහතා එම සූත්‍රය තේරුම්ගෙන නැති බව ඉන් පැහැදිලි වන්නේ ය. කච්චයානගොත්ත සූත්‍රයට අනුව හඳ ද, නීල් ආම්ස්‌ට්‍රොaන්ග් ද, හඳට ගිය රොකට්‌ටුව ද යන සැම දෙයක්‌ ම අනිත්‍ය වූ ධර්මතාවට යටත් වන්නේ ය. ඒවා ඇති වී වෙනස්‌ වී නැති වන්නේ ය. අද ලෝකයේ ජීවත් වන ජීවත් විය යුතු අප විශ්වාස කළ යුත්තේ කුමක්‌ ද යන්න මෙතැන දී ඉතා ම පැහැදිලි ය. හඳ වැනි වස්‌තූන් ඇති වී, වෙනස්‌ වී, නැති වී යන බව විද්‍යාව විසින් ද සොයාගනු ලැබ ඇත. අනිත්‍ය වූ ධර්මතාව විද්‍යාව විසින් ද තහවුරු කෙරෙන බව කිව හැකි ය.

බුදුන් මුසාව යන වචනය ද ශුන්‍ය යන වචනය ද භාවිත කොට ඇත්තේ ලෝකයේත් එහි තුළ ඇති වස්‌තූන්වලත්a ආත්මීය හෝ ස්‌වභාව හෝ වැනි ගුණයක්‌ නොමැති බව පෙන්වා දීමට ය. මේ වස්‌තූන් කෙරෙහි ඇල්මක්‌ ඇති කරගැනීමේ තිබෙන මුළාව සහ එහි ආදිනව පැහැදිලි කර දීමට බුදුන් මේ වචන භාවිත කොට ඇත. මේ බව වටහා නො ගෙන නලින් මහතා පිදුරු ගහේ එල්ලී විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කිරීමට ද්වයාතානුපස්‌සනා සූත්‍රයේ පිහිට පතයි. ඔහුට අනුකම්පා කිරීම මිස වෙන කුමක්‌ කරන්න ද?

විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්නට ඔහුට වෙන ක්‍රමයක්‌ නැද්ද? මිනිසා හඳට පා තැබුවේ නැතැයි කියා ඔප්පු කරන්නට ඔහුට බැරි ද? අහස්‌ යානා අහසේ පියාසර නො කරන බව ඔප්පු කරන්නට ඔහුට බැරි ද? අහස්‌ යානා බිමට කඩා වැටෙන්නේ නැති බව ඔහුට ඔප්පු කරන්නට බැරි ද? මෙවැනි ප්‍රශ්න අසන විට ඔහු කියන්නේ මා පොඩි ළමයකු මෙන් ප්‍රශ්න අසන බව ය. එවැනි ප්‍රශ්න අසන්නට සිදු වී ඇත්තේ නලින් මහතා පොඩි ළමයකු මෙන් විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පවසා එය ඔප්පු කරගන්නට බැරි ව පිදුරු ගස්‌වල එල්ලෙන නිසා ය.

2 වැනි අභියෝගය- විද්වත් අයින්ස්‌ටයින් විද්වත් නිව්ටන් ගේ න්‍යාය බොරු කළේ නම් අද වුවත් හඳට යැම සඳහා එම න්‍යාය භාවිත වන්නේ කෙසේ ද? මේ ප්‍රශ්නයට නලින් මහතා පිළිතුරක්‌ දී නැත. නලින් මහතා නිව්ටන් ගේ න්‍යාය මත අයින්ස්‌ටයින් ගේ මතවාද බලපාන්නේ කෙසේ ද යන්න ගැන හාන්කවිසියක දැනුමක්‌ ලබාගෙන නැත. අයින්ස්‌ටයින් ගේ න්‍යාය ආලෝකයේ වේගය ඇතුළුව ඕනෑ ම වේගයකින් චලනය වන වස්‌තුවකට අදාළ වන්නේ ය. නිව්ටන් ගේ න්‍යාය ආලෝකයේ වේගය හෝ ඊට කිට්‌ටු වේගයකින් චලනය වන වස්‌තුවක්‌ සඳහා භාවිත කළ නොහැකි ය. හඳට යන රොකට්‌ටුවක්‌ ආලෝකයේ වේගයට වඩා බොහෝ සෙයින් අඩු වේගයකින් ගමන් කරයි. ආලෝකයේ වේගය තත්පරයට මීටර් 299792458ක්‌ වන්නේ ය. අභ්‍යවකාශ රොකට්‌ටුවක්‌ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදෙන්නට නම් එහි වේගය තත්පරයට මීටර් 7900ක්‌ පමණ විය යුතු ය. මේ වේග දෙක අතර ඇත්තේ විශාල වෙනසකි. රොකට්‌ටුවේ වේගය වැනි අඩු වේගයකින් ගමන් ගන්නා වස්‌තුවක්‌ සම්බන්ධයෙන් නිවිටන් ගේ න්‍යාය සහ අයින්ස්‌ටයින් ගේ න්‍යාය භාවිත කොට ලබාගන්නා ගණිතමය නිගමන අතර ඇති වෙනස අල්ප වන්නේ ය. නො සලකා සිටිය හැකි තරමට අල්ප වන්නේ ය. මේ නිසා ය අඩු වේගයකින් ගමන් ගන්නා වස්‌තු සඳහා නිවිටන් ගේ න්‍යාය භාවිත කළ හැක්‌කේ. ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් ගන්නා වස්‌තූන් (උදා- ඉලෙක්‌ට්‍රොaන) හෝ අධි ගුරුත්වාකර්ෂණ ක්‌ෂෙත්‍ර තුළ ගමන් ගන්නා වස්‌තූන් සඳහා හෝ විද්වත් නිව්ටන්ගේ න්‍යාය භාවිත කළ නොහැකි බව පෙන්වා දී ඇත.

3 වැනි අභියෝගය- විද්වත් අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය නිර්මාණය කර ඇත්තේ ඔහු ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය සහ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය ආවරණය වන පරිදි ය. මෙය වැරැදි බව නලින් මහතා පවසා ඇත. එය වැරැදි බව ඔප්පු කරන මෙන් මා කළ අභියෝගයට පිළිතුරු නැත.

නලින් මහතා විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනයේ වැදගත්කම සහ එහි අරුත දන්නේ නැත. මා මේ බව මගේ පෙර ලිපියකින් පෙන්වා දී ඇත. මෙහි විශේෂ යන්නෙන් අදහස්‌ වන්නේ විශේෂ සාපේක්‌ෂතාවාදය අදාළ වන්නේ අවස්‌තිත සමුද්දේශ රාමුවලට පමණක්‌ බව ය. වෙනත් සමුද්දේශ රාමුවලට එම මතවාදය අදාළ වන්නේ නැත. වැඩි හෝ අඩු නො වන වේගයකින් වෙනස්‌ නො වන දිශාවකට ගමන් ගන්නා සමුද්දේශ රාමු සඳහා අදාළ මතවාදය හැඳිනගැනීම පිණිස විශේෂ සාපේක්‌ෂතාවාදය යන නම යොදන්නේ එය විශේෂ සිදුවීමක්‌ පිළිබඳ වූ මතවාදයක්‌ වන නිසා ය. මා මේ බව පැවසූ විට නලින් මහතා මේ පිළිබඳව පවසා තිබුණේ සාපේක්‌ෂතාවාදය ර පවතින්නේ සමුද්දේශ රාමු මත හෙයින් එහි විශේෂත්වයක්‌ නැත කියා ය. මින් පෙන්නුම් වන්නේ අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාද දෙක වෙන් කොට හැඳින ගැනීමට යොදා ඇති විශේෂ සහ සාමාන්‍ය (සාධාරණ) යන වචන දෙකේ විෂයයට අදාළ වැදගත්කම සහ අරුත පිළිබඳව මෙලෝ හසරක දැනුමක්‌ නලින් මහතාට නැති බව ය. මෙය නො දැන අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය අවබෝධ කොටගත නොහැකි ය. මේ බව නලින් මහතා තේරුම් ගෙන නැති බව මගේ "නලින් ද සිල්වා මහතා සාපේක්‌ෂතාවාදය වත් වටහා ගෙන නැත" යන ලිපියෙන් (විදුසර-25.08.14) පැහැදිලි කොට දී ඇත. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ඉගැන්වූ තමා ගේ ම විෂයයක්‌ වූ සාපේක්‌ෂතාවාදය පිළිබඳව මූලික වූ දැනුමක්‌ නලින් මහතාට නැත්නම් වෙන දේ ගැන කියනුම කවරේ ද?

සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය පිළිබඳව ඔහු පවසන්නේ කිසි ම වැදගත්කමක්‌ නැති දෙයකි. ඔහු කියන්නේ සාමාන්‍ය යන වචනය මේ සඳහා සුදුසු නැති බව ය. සාමාන්‍ය යන වචනය ද සාධාරණ යන වචනය ද මේ දෙක ම ද විද්‍යාව ගැන ලියන විද්‍යාඥයන් සහ ලිපි ලියන්නන් පාවිචිචි කරන බව මා උදාහරණ සමග පෙන්වා දී ඇත. ප්‍රශ්නයේ වැදගත් නැති දෙයක එල්බී ප්‍රශ්නයෙන් පැන යන්නට නලින් මහතා අති දක්‌ෂයෙකි.

4 වැනි අභියෝගය- සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂාතාවාදය තුළ ගුරුත්වාකර්ෂණය නැති බව නලින් මහතා පවසා ඇත. ඒ බව ඔහු ඔප්පු කොට නැත. ඒ බව ඔප්පු කර ඇති විද්‍යාඥයකු ඇතොත් පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට පිළිතුරු නැත. සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය විසින් ගුරුත්වාකර්ෂණය ද ආවරණය කරන බවට මා ඕනෑ තරම් සාක්‌ෂි සහ ලිපි ලේඛනවල නිර්දේශ ඉරිදිපත් කළ විට ඔහු කියන්නේ පොත්පත්වල තිබූ පලියට අප ඒවා පිළිගත යුතු නැති බව ය. මා පිළිගන්නේ සාක්‌ෂි ඇතොත් පමණි. කවුරුන් හෝ කුමක්‌ හෝ කී පලියට මා එය පිළිගන්නේ නැත. සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය ගුරුත්වාකර්ෂණය ද ආවරණය කරන්නේ නැති බවට කිසි ම සාක්‌ෂියක්‌ නලින් මහතා ඉදිරිපත් කොට නැත. එහෙත් ඔහු කියන දෙය සාක්‌ෂි නැතත් අප පිළිගත යුතු ය. පත පොතේ ඇති දේ සාක්‌ෂි ඇතත් අප පිළිගත යුතු නැත. මෙවැනි බහුභූතවාදියකු ලොව කිසි තැනක සිටිය හැකි ද?

5 වැනි අභියෝගය- කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව මම පෙන්වා දුන්නෙමි. ඊට හේතුව දැනුම ලබාගැනීමට ඇති එක ම මාර්ගය ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි පමණක්‌ වන හෙයිනි. මිනිසාට ඇත්තේ මූලික වශයෙන් එක සමාන ඉන්ද්‍රිය පද්ධතියකි. මිනිසා ගේ ලෝකය සහ ස්‌වභාවධර්මය මූලික වශයෙන් එකකි. කරුණු මෙසේ නම් ස්‌වභාවධර්මය පිළිබඳ දැනුම ලබා ගැනීමට වෙනත් ක්‍රමයක්‌ තිබිය හැකි ද? නලින් මහතා මෙය පිළිගන්නේ නැත. දැනුම ලබා ගැනීම සඳහා වෙනත් ක්‍රමයක්‌ ඇතොත් පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට පිළිතුරු නැත.

මේ කරුණ ගැන නලින් මහතාට කියන්නට ඇත්තේ චීනයේ තිබුණේ වෙනත් විද්‍යාවක්‌ බව ය. එහෙත් චීනයේ තිබූ විද්‍යාව අන් රටවල තිබූ විද්‍යාවට වඩා වෙනස්‌ වන්නේ කෙසේ ද යන්න ඔහු පෙන්වා දෙන්නේ නැත. විද්වත් ජොෂොප් නිඩහම් මේ ගැන පවසා තිබෙන දෙය නලින් මහතා තේරුම් ගෙන නැත. නිඩහම් විද්වතාණන් පැවසුවේ චීනයේ විද්‍යාව ලෝකයේ අන් තැන්වල තිබෙන විද්‍යාව ම බව ද වෙනසකට තිබුණේ 15 වැනි ශත වර්ෂය වන විට එය විශාල ලෙස දියුණු වී ඉදිරියෙන් සිටි බව ද යන්න ය. වෙනස්‌ විද්‍යාවක්‌ ඔහු චීනයේ දුටුවේ නැත. මා නැවතත් නලින් මහතාට අභියෝග කරන්නේ වෙනත් විද්‍යාවක්‌ කොහේ හෝ තිබුණා නම් තිබේ නම් ප්‍රශ්නයෙන් පැන නො ගොස්‌ එය පෙන්වා දෙන මෙන් ය. චීනයේ විද්‍යාව 15 වැනි ශතවර්ෂයෙන් පසුව යුරෝපයට සාපේක්‌ෂව ශීඝ්‍රයෙන් දියුණු නො වූයේ එය වෙනස්‌ වූ විද්‍යාවක්‌ නිසා යෑයි නලින් මහතා සිතා සිටින බව පෙනේ. තව ද මේ බව විද්වත් නීඩහම් තහවරු කොට ඇති බව ද ඔහු සිතා සිටියි. නලින් මහතාට කිසිවක්‌ තේරුම්ගන්නට බැරි බව මින් ඔප්පු වේ. විද්වත් නීඩහම් තම පරීක්‌ෂණවලින් සොයාගත්තේ චීනයේ විද්‍යාව සැම විද්‍යාවක්‌ සේ ම ආනුභූතික ක්‍රම මත පදනම් වූ බව ය. (see:- Science and Civilisation in China). තව ද චීනයේ විද්‍යාව යුරෝපයේ මෙන් ආක්‍රමණික අභිලාෂ කෙරෙහි නො යෙදුණේ ටාඔස්‌ සහ කොන්ෆියුසියස්‌ ධර්මයන්හි බලපෑම නිසා බව විද්වත් නීඩහම් පවසා ඇත. (නලින් මහතා කුමක්‌ කීවත් චීනයේ ආගම් ගැන ලියන සැම දෙන මෙන් මා ද පාවිච්චි කරන්නේ ටාඔස්‌ යන වචනය ය. වැදගත්කමක්‌ නැති මෙවැනි කරුණුවල නලින් මහතා එල්ලෙන්නේ අදහස්‌වලින් බංකොලොත් නිසා ය). 15 වැනි ශතවර්ෂයට පසුව යුරෝපයේ විද්‍යාව දියුණු වූයේ ඔවුන් ආක්‍රමණික ප්‍රතිපත්තිවලට යොමු වී අන් රටවල් වල ධනය සොරකම් කර ගෙන තම තාක්‌ෂණය ද කර්මාන්ත ද දියුණු කරගත් නිසා ය. ක්‍රිස්‌තියානි ධර්මය මේ පිළිවෙතට උදව් වූවා මිස විරුද්ධ වූයේ නැත. චීනයේ තිබූ ආගම් මෙවැනි ප්‍රතිපත්තිවලට ඉඩ දුන්නේ නැත. මේ සිදුවීම් සංස්‌කෘතිය විසින් විද්‍යාව කුමක්‌ සඳහා යොදවාගන්නවා දැයි නිගමනය කරනවා මිස විද්‍යාත්මක ක්‍රමවේදය මත බලපෑම් කිරීමක්‌ නො වන්නේ ය. මේ කරුණ මගේ පෙර ලිපියක විස්‌තරාත්මකව සඳහන් කොට ඇත. මේ කරුණු වටහා නො ගන්නා නලින් මහතා සංස්‌කෘතියට විද්‍යාත්මක ක්‍රමවේදය වෙනස්‌ කිරීමට හැකියාවක්‌ ඇති බව මා පිළිගත් බව කියයි. විද්‍යාව සහ බුදුදහම විකෘති කරන නලින් මහතාට මා කියූ දෙයක්‌ විකෘති කිරීම

කඡ්ජක්‌ ද? (මතු සම්බන්ධයි)
මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc