logo3.gif (702 bytes)

HOME


 ආනුභවික බොරු

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තවත් ලිපි පෙළක්‌ පටන්ගෙන ඇත. ඔහු මා ඇසූ කිසි ම ප්‍රශ්නයකට පිළිතුරු නො දෙයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන්න ඔහු කිසි දිනෙක අවබෝධ කරගන්නක්‌ නො වේ. සැම දා ම සැම තැනක ම තිබුණේ එක ම විද්‍යාව යෑයි ඔහු කීව ද බටහිර වෛද්‍ය විද්‍යාව හා සිංහල පාරම්පරික වෙදකම අතර වෙනසක්‌ ඇති බව ද ඔහු පිළිගනියි. එහෙත් ඔහු සිතන්නේ ඒ සැම දෙයක්‌ ම පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පදනම් වන බැවින් ඒ සියල්ල ආනුභවික (empirical) බව ය. ඔහු පැහැදිලිව ම ආනුභවික යනු කුමක්‌ දැයි නො දනියි. දෙවියන් පංචෙන්ද්‍රිය ගෝචර නැති වුවත් ඔවුන් කී ආසනික්‌ බටහිර අර්ථයෙන් ආනුභවික ය. අද වන විට සහල්වල ආසනික්‌ යම් ප්‍රමාණයක්‌ ඇති බව බටහිර විද්‍යාඥයන්ට ද තේරුම් ගොස්‌ ඇත. සහල්වලට ආසනික්‌ ඇතුළු වන්නේ කෘෂිරසායනික ම`ගින් ය. එය ද ඊනියා ආනුභවික ය. ඒ සියල්ල අනුව ආසනික්‌ පිළිබඳ අදහස කාගෙන් කෙසේ ලැබුණ ද එය ආනුභවික ය. බෙන්සීන් අණුව පිළිබඳ අදහස කෙක්‍යqලේට ලැබුණේ සිහිනෙන් ය. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. බෙන්සීන් අණුව ද පංචෙන්ද්‍රිය ගෝචර නො වෙයි. එහෙත් කාබනික රසායනික විද්‍යාව ආනුභවික ලෙස සැලකෙයි. අමරතුංග මහතාට ආනුභවික යන්න ගැන කිසි ම වැටහීමක්‌ නැත.

මා මෙයින් කීමට අදහස්‌ කරන්නේ බටහිර විද්‍යාව හා සිංහල බෞද්ධ විද්‍යාව අතර වෙනසක්‌ නැති බව නො වේ. බටහිර විද්‍යාව වියුක්‌ත ය. එහි කෙරෙන්නේ ඊනියා ආනුභවික සංසිද්ධි තේරුම් ගැනීම යෑයි කියමින් වියුක්‌ත කතන්දර ගෙතීම ය. මේ කතන්දර වියුක්‌ත වන්නේ ය යන්න අමරතුංග මහතාට මේ කපේ දී තේරුම් ගැනීමට නො හැකි ය. ඔහුට වියුක්‌ත යන්න මේ සංවාදය පටන්ගෙන මාස අටකටත් වඩා කල් ගත වීත් තේරුම්ගැනීමට නො හැකි වි ඇත. මෙරට බොහෝ මහාචාර්යවරුන්ට අවබෝධ කරගැනීමේ ශක්‌තියක්‌ නැත. ඔවුන්ට ඇත්තේ මතක තබාගැනීමේ ශක්‌තියත් කරුණු ඉදිරිපත් කිරීමේ ශක්‌තියත් පමණකි. වියුක්‌ත කතන්දරයක්‌ යනු ඇතැම් විට සිතෙන් මවාගැනීමට වත් නොහැකි, එහෙත් සිතෙන් නිර්මාණය කළ හැකි, පැනවිය හැකි සංකල්පවලින් (පඤ්ඤත්තිවලින්) සෑදුණේ වෙයි. මේ වියුක්‌ත සංකල්ප වර්ග දෙකකි. එක්‌ වර්ගයක්‌ සිතෙන් මවාගත හැකි ය. අනෙක්‌වා සිතෙන් මවාගැනීමට වත් නො හැකි ය. කාලය යනු එවැනි දෙවැනි වර්ගයේ පඤ්ඤත්තියකි.

කාලය පංචෙන්ද්‍රියවලට ගෝචර නො වේ. එය සිතෙන් මවාගැනීමට වත් නො හැකි ය. අපට යමක්‌ සිතෙන් මවාගත හැකි ය යන්නෙන් කියෑවන්නේ අවසාන වශයෙන් ගත් කල පංචෙන්ද්‍රිය ඇසුරෙන් චිත්‍රයක්‌ සිතෙහි ඇඳ ගැනීම ය. ඒ චිත්‍ර ද වියුක්‌ත ය. එසේ වන්නේ ඒ සංයුක්‌තව පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන බැවින් ය. අමරතුංග මහතාට කාලය යන්න සිතෙන් මවාගත හැකි ද? මිනිසුන් කාලය යන සංකල්පය නිර්මාණය කරගෙන ඇත්තේ වෙනස්‌ වීම යන ප්‍රපංචය තේරුම් ගැනීමට ය. වෙනස්‌ වීම යන්න පංචෙන්ද්‍රියවලට ගෝචර වෙයි. මල් පිපී පර වෙයි. ඒ බව සංකල්පවලට යටත් ව අපේ ඇස්‌වලට ගෝචර වෙයි. එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් මනස නොමැති ව එය ඇසට ගෝචර නො වන බව ය. මනස ප්‍රධාන ය. (එහෙත් මනස ද අනෙක්‌ සංකල්ප මෙන් මනසෙහි නිර්මාණයක්‌ වෙයි.) මනස නොමැති ව කිසිවක්‌ පංචෙන්ද්‍රියවලට ගෝචර නො වේ.

වෙනස්‌වීම තේරුම් ගැනීමට අපි කාලය යන සංකල්පය පණවමු. වෙනස්‌ වන්නේ කාලයෙහි යෑයි අපි කියමු. කාලයත් සමග අපි මහලු වෙමු. එහෙත් කාලය යන්න හුදු පඤ්ඤත්තියක්‌ පමණකි. එය සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ වුවත් අවකාශය යන්න එසේ නො වේ. අවකාශය ද වියුක්‌ත සංකල්පයකි. අවකාශය යන්න දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට ද? අවකාශය යනු වස්‌තු අතර වූ හිඩැස යෑයි කිව හැකි ය. වස්‌තුව යන්න ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ නො වේ. පුටුව වැනි වස්‌තුවක්‌ ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට ද? පුටුව යන්න ද වියුක්‌ත සංකල්පයකි. පුටුව ආදී වස්‌තු ඊනියා වාස්‌තවිකවාදීන් කුමක්‌ කීව ද මනසෙහි නිර්මාණ වෙයි. අප අවකාශය යනුවෙන් හඳුන්වන්නේ එවැනි වස්‌තු අතර ඇති ඉඩකඩ ය. එහෙත් මේ ඉඩකඩ වස්‌තුවලින් පිරවීමට වුව ද හැකි ය. අවකාශය යන්න කාලය මෙන් නො ව සිතෙන් මවාගත හැකි ය.

අපට අවකාශයේ දකුණට මෙන් ම වමට ද යා හැකි ය. උතුරට මෙන් ම දකුණට ද යා හැකි ය. නැෙ`ගනහිරට මෙන් ම බටහිරට ද යා හැකි ය. එහෙත් කාලයෙහි එසේ නො වේ. අපට කාලයෙහි ඊනියා ගමනක්‌ නැත. අපට කළ හැක්‌කේ වර්තමානයෙහි ජීවත් වෙමින් අනාගතයක්‌ බලාපොරොත්තු වීම ය. අපට අතීතය බලාපොරොත්තු විය හැකි නො වේ. එලෙස ගත් කල අවකාශයෙහි නොමැති අසමමිතියක්‌ (asymmetry) කාලයෙහි වෙයි. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි හෝ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි හෝ මේ අසමමිතිය සලකා නො බැලෙයි. අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාද ඒ අර්ථයෙන් ගත්ත ද අඩුපාඩුකම් සහිත ය. අනෙක්‌ අතට සාපේක්‌ෂතාවාදවල ෆෝටෝනයකට කාලය ගත නො වෙයි. එනම් ෆෝටෝනයක්‌ වෙනස්‌ නො වෙයි. අමරතුංග මහතා මෙය අනිත්‍ය සමග සම්බන්ධ කරන්නේ කෙසේ ද?

අමරතුංග මහතා බටහිර විද්‍යාවෙන් යම් යම් දේ තමාට වැටහෙන අයුරින් ප්‍රකාශ කළ ද ආනුභවික යනුවෙන් ඉතා වැඩි වශයෙන් ගැනෙන්නේ පංෙච්න්ද්‍රියවලට ගෝචර නො වන මනසෙන් නිර්මාණය කෙරෙන පුටුව වැනි වස්‌තු ය. එසේ නො වේ නම් සියල්ල දන්නා ප`ඩියකු ගේ භූමිකාව රඟ නො පා තමා ආනුභවික යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි ව ප්‍රකාශ කරන්නේ ද? එවිට අපට සංවාදයක යෙදීම පහසු වෙයි. එහෙත් අමරතුංග මහතා එවැනි ප්‍රශ්නවලට පිළිතුරු නො දී පැන යයි. අප මුහුණට මුහුණ දී කරන සංවාදයක දී මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන තෙක්‌ අමරතුංග මහතා ගෙන් ප්‍රශ්න ඇසිය හැකි ය. අප අමරතුංග මහතා ප්‍රසිද්ධ වාදයකට කැඳවන්නේ විදුසර සංවාදයේ දී මෙන් පැන යැමට ඉඩ නො දී පිළිතුරු ලැබෙන තෙක්‌ ප්‍රශ්න කිරීමට ය. නැත්නම් ඔහුට මගෙන් ප්‍රශ්න කිරීමට අවස්‌ථාව ලබා දීමට ය. එහෙත් අමරතුංග මහතා එවැනි ප්‍රසිද්ධ වාදයකට සහභාගි නො වී ම පැන යයි. ඔහු එසේ පැන යැම සඳහා ව්‍යාජ හේතු දක්‌වයි. ඒ අතරින් මා පරිභව කරන්නේ ය යන චෝදනාව ද ඉදිරිපත් කරයි. එහෙත් එය ව්‍යාජ හේතුවක්‌ මිස අනෙකක්‌ නො වේ. මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා සහභාගි වූ රැස්‌වීමෙහි එවැනි පරිභව කිරීමක්‌ නො සිදු විය. ව්‍යාජ හේතු දක්‌වා පැන යැම මහාචාර්යවරුන්ට ආවේණික වූ ක්‍රියාදාමයකි.

මනසේ අධාරයෙන් පංචෙන්ද්‍රියවලට සෘජු ව ගෝචර වන්නේ පැහැය, ගඳ, සුවඳ, රස, තද බව ආදි ගුණ මිස වස්‌තු නො වේ. එහෙත් මිනිස්‌සු පංචෙන්ද්‍රියන්වලට සෘජු ව ගෝචර වන දේට පමණක්‌ ආනුභවික යෑයි නො කියති. පුටුව වැනි පංචෙන්ද්‍රියවලින් එකකටවත් ගෝචර නො වන එහෙත් මනසෙන් නිර්මාණය කෙරෙන දේ ද ආනුභවික ලෙස සලකති. පොල් ගෙඩිය යන්න ද වියුක්‌ත සංකල්පයකි. අමරතුංග මහතා පොල් ගෙඩියක්‌ දැක ඇත් ද? ඔහු එසේ දැක ඇත්නම් ඒ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියක්‌ ආධාර කරගනිමින් ද? අමරතුංග මහතා ද අනෙක්‌ අය මෙන්ම පොල් ගෙඩියක්‌ යනුවෙන් කියන්නේ මනසෙන් නිර්මාණය කරගන්නා දෙයකට ය. අප පොල් ගෙඩිය යෑයි කියන්නේ පැහැය, තද බව, ගඳ ආදිය මේ මේ යෑයි කියන අප නිර්මාණය කෙරෙන දෙයකට ය. එහෙත් එසේ පොල් ගෙඩිය නිර්මාණය කරගත් පසු අප පොල් ගෙඩියක්‌ යනුවෙන් වස්‌තුවක්‌ ඇතැයි ගෙන පොල් ගෙඩියේ පැහැය ආදිය ගැන කතා කරමු. එය, කාලය යනුවෙන් පැණවීමක්‌ කර ඉන් පසු අප කාලයත් සමග මහලු වන්නේ යෑයි කීමට දෙවැනි නො වේ.

ඒ කෙසේ වෙතත් පොල් ගෙඩිය ද අවකාශය ද කාලය ද වියුක්‌ත සංකල්ප වූවත් අපි පොල් ගෙඩියක්‌ අවකාශයෙහි හා කාලයෙහි වැටීම ආනුභවික සංසිද්ධියක්‌ ලෙස සලකමු. අපට අවශ්‍ය වන්නේ එවැනි ඊනියා ආනුභවික සංසිද්ධි "තේරුම් ගැනීමට" ය. අප නැවතත් අවධාරණය කරන්නේ මේ සංසිද්ධි පංෙච්න්ද්‍රියවලට (මනසෙහි ආධාරය ඇති ව) ගෝචර නො වන බව ය. ආනුභවික යන්න බටහිර දර්ශනයෙහි පැහැදිලි ව නිර්වචනය වූ සංකල්පයක්‌ නො වෙයි. බටහිර දාර්ශනිකයෝ ද ආනුභවික යන්න ලිහිල් ව යොදාගනිති. පොල් ගෙඩිය වැටෙන්නේ (සඳ පොළොව වටේ යන්නේ) ඇයි දැයි තේරුම්ගැනීමට යෑයි කියමින් බටහිර විද්‍යාඥයෝ වියුක්‌ත කතන්දර ගොතති. මේ කතන්දර කිසිවක්‌ පංෙච්න්ද්‍රියවලට ගෝචර වන්නේ නො වේ. පෘථග්ජන අප විසින් තනාගනු ලබන පංෙච්න්ද්‍රිය ගෝචර සංකල්ප සියල්ල බොරු ය. ඒ සියල්ල මුසා ය. පැහැය තද බව ආදිය ද පෘථග්ජනයන් විසින් තැනෙන සංකල්ප ය. ඒ සියල්ල බොරු ය.

ඉන්පසු ගණයේ බොරුව වනුයේ පුටුව, පොල්ගෙඩිය වැනි මනසෙන් නිර්මාණය කෙරෙන, එහෙත් සෘජු ව පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන සංකල්ප ය. එමෙන් ම ඒ හා බද්ධ වූ ක්‍රියා ය. පොල් ගෙඩියක්‌ වැටීම, කාන්දමකට යකඩ කැබැල්ලක්‌ ඇදගැනීම ආදිය එවැනි බොරු ය. මේ බොරු ද, පැහැය වැනි බොරු ද ආනුභවික ගණයෙහි ලා සැලකෙයි. මේ ආනුභවික බොරු තේරුම්ගැනීම සඳහා යෑයි කියමින් ගොතන විද්‍යා කතන්දර (ඒවාට ප්‍රවාද ආදී නම්බු නාම හිමි කර දී ඇත) පට්‌ටපල් බොරු වෙයි. මේ පට්‌ටපල් බොරු යොදාගැනීමෙන් ඇතැම් ඊනියා ආනුභවික සංසිද්ධි තේරුම් කරගත හැකි ය යන්නෙන් ඒ පට්‌ටපල් බොරු සත්‍ය බවට පත් නො වෙයි. අමරතුංග මහතා මේ භවයේ දී තේරුම් නො ගන්නා p -> q වලංගු වේ ය හා q සත්‍ය වේ ය යන්නෙන් p සත්‍ය වේ ය යන්න ගම්‍ය නො වේ ය යන්න සමග ඒ බැඳී ඇත. මේ බව කලින් ද සඳහන් කර ඇත. ගුරුත්වාකර්ෂණ බලය යනු පොල් ගෙඩි වැටෙන්නේ ඇයි ද යන්න තේරුම්ගැනීමට යෑයි කියමින් නිව්ටන් ගෙතූ පට්‌ටපල් බොරුවකි. ගුරුත්වාකර්ෂණය මෙන් ම පොල් ගෙඩි වැටෙන්නේ ඇයි ද යන්න තේරුම්ගැනීමට යෑයි කියමින් අයින්ස්‌ටයින් ගෙතූ පට්‌ටපල් බොරුව වූයේ අවකාශ කාල වක්‍රතාව ය. මේ පිළිබඳ ව අමරතුංග මහතාට මෙලෝ හසරක දැනුමක්‌ නැති බව පැහැදිලි ය.

අමරතුංග මහතාට අවකාශ කාල වක්‍රතාව නො ව අවකාශ කාල සන්තානය ගැන වත් අවබෝධයක්‌ නැත. කලින් සඳහන් කරන ලද සමමිතිය සම්බන්ධයෙන් වෙනස්‌ ගුණ සහිත කාලය හා අවකාශය එක්‌ සන්තානයකට එකතු කරන්නේ කෙසේ ද? එමෙන් ම රාමු සම්බන්ධ ගැටලු සාපේක්‌ෂතාවාදවල පැනන`ගී. ඇතැම් පට්‌ටපල් බොරු යොදාගනිමින් ඊනියා ආනුභවික සංසිද්ධි තේරුම් කිරීම බංකොළොත් බටහිර විද්‍යාවේ ලක්‌ෂණයකි.

අමරතුංග මහතා ඉතා බොළඳ කතාවක්‌ කියමින් වෙනත් පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප කිහිපයක්‌ ඉදිරිපත් කරමින් ඒවා සත්‍ය නො වේ ද යන ප්‍රශ්නය න`ගයි. ඒවා ද පට්‌ටපල් බොරු ය. ඇතැම් පට්‌ටපල් බොරුවලට යම් යම් දේ තේරුම් කිරීමට හැකි යෑයි කීමෙන් ඒ පට්‌ටපල් බොරු සත්‍ය බවට පත් නො වේ. අප විසින් ගොඩන`ගනු ලැබ ඇති බොරුවක්‌ වූ මම යන සංකල්පය යොදාගනිමින් අපි කෙතරම් දේ තේරුම් ගනිමු ද? මේ බව මේ සංවාදය ආරම්භයේ දී මෙන් අප විසින් ප්‍රකාශ කෙරුණ ද අමරතුංග මහතා අනාත්මය ගැන කෙතරම් කතා කළ ද එය තේරුම් ගෙන නැත.

කවුරුන් වත් කී නිසා සාධාරණ සාපේක්‌ෂතාවාදය සඳහා සාමාන්‍ය යෑයි යොදාගැනීම මහාචාර්යවරුන් බොහෝ විට කතා කරන කාළාම සූත්‍රයට එක`ග නැත. අමරතුංග මහතා තම ජූලි 9 වැනි දා ලිපියෙන් කිහිප දෙනකු ගේ නම් සඳහන් කරමින් ඔවුන් යොදන්නේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය යන්න බව පවසයි. එහෙත් එපමණකින් ඒ නිවැරැදි වන්නේ කෙසේ ද? අයින්ස්‌ටයින් විශේෂ සාපේක්‌ෂතාවාදය ඉදිරිපත් කළේ ද්‍රව්‍ය හා විකිරණ නැති ලෝකයක ය. නිවුටන් ගේ ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමු ඉදිරිපත් කරන්නේ ද එවැනි ලෝකයක ය. මේ රාමුවල බාහිර බල නොමැති අවස්‌ථාවල අංශු හා වස්‌තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙයි. මේ රාමු ගැන අමරතුංග මහතා ගේ වැරැදි වැටහීම් උපුටා දක්‌වමින් පසුව විස්‌තරයක්‌ ඉදිරිපත් කරමි. අයින්ස්‌ටයින් 1915 දී සිදු කළේ මේ රාමු ද්‍රව්‍ය හා විකිරණ ඇති ලෝකවලට ද සාධාරණය කිරීම ය. එය ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ ජෙනරලයිස්‌ (Generalize) යනුවෙනි. ජෙනරලයිස්‌ යනු සාමාන්‍යකරණයක්‌ නො වේ. අමරතුංග මහතා කළ යුත්තේ සංස්‌කෘත බසින් සාධාරණය යනුවෙන් කියෑවෙන්නේ කුමක්‌ දැයි හැදැරීම ය. ඉඩකඩ ලැබෙතොත් ලබන සතියේ දී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමු.

නලින් ද සිල්වා