logo3.gif (702 bytes)

HOME


විද්‍යාත්මක ක්‍රමෙවිදයේ වර්ධනය
(1 වැනි කොටස)

කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව බව මා කොතෙකුත් පවසා ඇත. මෙසේ වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය විය හැක්‌කේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ ක්‍රමයකට පමණක්‌ වන හෙයිනි. වෙන ක්‍රමයක්‌ මිනිසාට කවදත් කොතැනක වත් තිබුණේ නැත. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි ම`ගින් දැනුම ලබාගත් මිනිසා විද්‍යාවක්‌ ගොඩනැ`ගුවේ ය. පැරැණි ශිෂ්ටාචාර බිහි වූයේ මේ අන්දමිනි. චීනය, ඉන්දියාව, අරාබිය ඇමෙරිකාව වැනි රටවල මේ අන්දමින් ශිෂ්ටාචාරයක්‌ ගොඩනැ`ගිණි. එම පැරැණි ශිෂ්ටාචාර තුළ භාෂාව, ආගමික විශ්වාස, විද්‍යාව සහ කලාව කෙමෙන් වර්ධනය විය.

අභ්‍යවකාශයේ ගමන් කරන ග්‍රහ වස්‌තුන් මේ පැරැණි ශිෂ්ටාචාරවල ජීවත් වූ මිනිසාට ප්‍රහේළිකාවක්‌ මෙන්ම බිය ජනක දෙයක්‌ විය. ප්‍රහේළිකාවන් විසඳීමට සහජ වුවමනාවක්‌ සහ හැකියාවක්‌ තිබූ මිනිසා මේ ග්‍රහ වස්‌තුවල චලනය නිරීක්‌ෂණයට භාජන කළේ ය. එම චලනය පිළිබඳ සටහන් පවත්වාගත්තේ ය. මෙලෙස අංකුර තාරකා විද්‍යාවක්‌ බිහි විය. එලෙස ම එම ග්‍රහ වස්‌තූන් පිළිබඳව හරි වැටහීමක්‌ නො තිබූ නිසා ඒවායේ බලපෑමක්‌ තම ජීවිතවලට ඇති වන බවට විශ්වාසයක්‌ ඔවුන් තුළ තිබිණි. මේ නිසා ජ්‍යොතිෂ්‍ය ශාස්‌ත්‍රය ද තාරකා විද්‍යාව සමග බැඳී දියුණු විය. බොහෝ පැරැණි ශිෂ්ටාචාරවල මුලින් ම බිහි වූයේ තාරකා විද්‍යාව විය. ඉන්දියාවේ ගණිත ශාස්‌ත්‍රය බිහි වී වර්ධනය විය. තාරකා විද්‍යාව දියුණු කිරීමට ගණිත ශාස්‌ත්‍රය බෙහෙවින් උපකාරී විය. මේ ගණිත ශාස්‌ත්‍රය අරාබියට සංක්‍රමණය වී එම රටේ විද්‍යාවේ වර්ධනයට ද රුකුලක්‌ විය.

මිනිසා ගේ මුල් විද්‍යාවේ ක්‍රමය වූයේ නිරීක්‌ෂණය, අනුමානය සහ නිගමනය විය. පර්යේෂණ එකල එතරම් තිබුණේ නැත. යම් දෙයක්‌ තිබෙන විට හෝ සිදු වන විට හෝ බොහෝ අවස්‌ථාවල දී තවත් දෙයක්‌ තිබෙන බව හෝ සිදු වන බව හෝ නිරීක්‌ෂණය කිරීමෙන් දැනගත්තේ නම් අනාගතයේ ද එසේ සිදු විය හැකි බවට අනුමාන කළ හැකි බව මිනිසා සොයාගත්තේ ය. උදාහරණයක්‌ ලෙස අහසේ කළු වලාකුළු ඝන ව ඒකරාශි වී තිබෙන විට වැසි වසින බව නිරීක්‌ෂණයෙන් දැනගත හැකි විය. නිරීක්‌ෂණයෙන් එහා ගිය අනුමානය මත ගොඩනැඟෙන නිගමනය වන්නේ අනාගතයේ දී ද අහස කළු වලාකුළෙන් බර වූ බොහෝ අවස්‌ථාවල දී වැසි වසින බව ය. මෙසේ ලබාගත් දැනුම භාවිත කොට මිනිසා ගොවිතැන් වැනි කර්මාන්ත විද්‍යාත්මක ලෙස කරන්නට පුරුදු විය.

මින් පෙනී යන්නේ මිනිසා මුල් අවධියේ සිට ම නිරීක්‌ෂණය (observation), අනුමානය (inference) සහ නිගමනය (conclusion) යන විද්‍යාත්මක ක්‍රමවේදයේ පියවර අනුගමනය කළ බව ය. නවීන විද්‍යාවේ ඇත්තේ ද මෙවැනි ම වු කමවේදයකි. අතීතයේ පැවැති එම විද්‍යාව දියුණු වීමට ගණිත ශාස්‌ත්‍රය ඉවහල් වූ බව පෙනෙන්නට තිබේ. උදාහරණයක්‌ ලෙස අහස කළු වලාවෙන් බර වූ අවස්‌ථා කීයෙන් කීයක දී වැසි වැටුණා දැයි ගණන් තබාගත හැකි වන්නේ ගණිත ශාස්‌ත්‍රය භාවිත කිරීමේ හැකියාවක්‌ ඇතොත් පමණි. එවැනි අවස්‌ථා සියයක දී වැසි ඇති වූ අවස්‌ථා ගණනය කිරීමේ හැකියාව තිබිණි නම් අනුමානයන් ලබාගන්නා නිගමනය ගණිතමය වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. අහස කළු වලාවලින් බර වූ විට වැසි වැසීමේ සම්භාවිතාව 90% ලෙස ගණනය කළ හැකි ය. විද්‍යාත්මක ක්‍රමවේදය තුළට ගණිතය ඇතුළු වීමත් සමග එහි නිශ්චිතතාව සහ විශ්වසනීයත්වය දියුණු විය. සූර්යයා, සඳ සහ තාරකාවල චලනයේ ස්‌වභාවය නිරීක්‌ෂණය කොට සටහන් තබාගැනීමට ගණිතය උපකාරී විය. චීනයේ, ඉන්දියාවේ සහ ඉන්කා ශිෂ්ටාචාරය පැවැති ඇමෙරිකාවේ තාරකා විද්‍යාව ගණිතය නිසා දියුණු විය.

නිරීක්‌ෂණය කරන විට ලැබෙන්නේ දත්ත ය. යම් දෙයක්‌ තිබෙන විට හෝ සිදු වන බොහෝ අවස්‌ථාවල දී තවත් දෙයක්‌ තිබෙන බව හෝ සිදු වන බව දැනගැනීම දත්ත වන්නේ ය. ඉන් ආගමනය කරන්නේ ඉදිරි කාලයේ දීත් ඒ ලෙස ම සිදු වීමට ඉඩ ඇත යන්න ය. අතීත කාලයේ දී දත්ත සහ අනුමානය වෙන් කොට හැඳිනගෙන තිබුණේ නැති බව බර්ට්‌්‍රන්ඩ් රසල් නමැති බ්‍රිතාන්‍ය දාර්ශනිකයා පවසා ඇත. එහෙත් බුදුරදුන් ගේ සමකාලිනයකු වූ අර්ත කේසකම්බල නමැති භෞතිකවාදියා දත්ත සහ අනුමානය වෙන් කොට හැඳිනගෙන තිබිණි. මින් පෙනී යන්නේ විද්‍යාත්මක ක්‍රම බටහිරට වඩා දියුණු තත්ත්වයක නැඟෙනහිර රටවල තිබෙන්නට ඇති බව ය. විශේෂයෙන් චීනය බටහිරට වඩා බොහෝ ලෙස ඉදිරියෙන් සිටි බව පෙනේ. එහෙත් විද්‍යාත්මක පදනම හැම රටේ ම එකක්‌ ම විය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත එය පදනම් විය. නිරීක්‌ෂණ, අනුමානය සහ නිගමනය එම ක්‍රමවේදයේ අවස්‌ථා විය. පර්යේෂණ පටන් ගැනුණේ ටික කාලයකට පසු ව ය.

පැරැණි භාරතයේ භාවිත වූ දැනුම ලබාගැනීමේ ක්‍රම උපනිෂද් ග්‍රන්ථවල ලියවී ඇත. ඒවායින් ප්‍රධාන වන්නේ 1) පැරැණි ග්‍රන්ථ 2) තර්කය සහ 3) අත්දැකීම ය. බුදුන් වහන්සේ ද මේ ක්‍රම තුන හඳුනාගෙන තිබිණි. එහෙත් උන්වහන්සේ පැවසුවේ දැනුම ලබාගැනීමට තමන් වහන්සේ භාවිත කරන්නේ අත්දැකීම බවයි.

පර්යේෂණවල අංකුර අවස්‌ථා චීනයේ පටන් ගැනුණු බව විද්වත් ජෝශප් නිඩහම් සොයාගෙන ඇත. චීනයේ රසායනික විද්‍යාව වෙනත් රටවලට පෙර පටන්ගෙන දියුණු විය. වෙඩි බෙහෙත් පිළිබඳව පර්යේෂණ චීනයේ සිදු වූයේ බටහිරට වඩා බොහෝ කලකට පෙර ය. මාලිමා යන්ත්‍රය සොයාගත්තේ නොයෙකුත් පර්යේෂණ සිදු කරමින් ය. තුවක්‌කු, කාලතුවක්‌කු පර්යේෂණ ම`ගින් නිෂ්පාදනය කෙරිණි. මුද්‍රණ යන්ත්‍රය ද ඒ ලෙස ම නිපදවන ලදි. මේ නිෂ්පාදනවලට රුකුලක්‌ වූයේ යකඩ, වානේ සහ අනෙකුත් ලෝහ පිළිබඳ තාක්‌ෂණය ද එලෙස ම දියුණු වීම ය. හැම විද්‍යා අංශයක්‌ ම සහ තාක්‌ෂණය ද අත්වැල් බැඳගෙන වර්ධනය විය. 15 වැනි ශතවර්ෂය වන විට චීනය යුරෝපයට වඩා බොහෝ ඉදිරියෙන් සිටියේ ය. ඔවුන්ට වෙනත් රටවල් ආක්‍රමණය කිරීමේ හැකියාව තිබුණ ද එසේ නො කළේ චීනයේ තිබුණු ටාඕස්‌ සහ කොන්පියුසියස්‌ නමැති ආගම්වල බලපෑම නිසා ය. එම ආගම් දේශනා කළේ සාමය, සමාදානය පෙරදැරි කරගත් ධර්මයක්‌ විය. නලින් මහතාට වැදගත් වන්නේ ටාඕස්‌ යන නම ය. එම නම මා පාවිචිචි කොට ඇත්තේ වැරැදි විදියට බව කියමින් ඔහු කෑගසයි. මේ ආගම්වලින් සිදු වුණු සේවය සහ වෙනස ගැන ඔහුට කියන්නට දෙයක්‌ නැත. එහි වැදගත්කම වනාහි චීනය යුරෝපය යන මඟ නො ගියේ මන්ද යන ප්‍රශ්නයට උත්තරයක්‌ සැපයීම වන්නේ ය. නලින් මහතාට එය වැදගත් නැත. මගේ වැරැදි සෙවීමේ නිරන්තර යුද්ධයක පැටලී සිටින නලින් මහතා සැම වැදගත් කරුණක්‌ ම අමතක කොට ඉස්‌පිල්ලක්‌ පාපිල්ලක්‌ අත නො හැර වැරැදි සොයයි. එහෙත් මා අසන වැදගත් ප්‍රශ්නවලට උත්තර දීම ඒ ලෙස උපක්‍රමශීලීව මඟහරියි.

පර්යේෂණ නිරීක්‌ෂණ සහ නිගමන යන ක්‍රමවේදය මුලින් ම ආරම්භ වූයේ නැඟෙනහිර සංස්‌කෘතිවල බව කිව හැකි ය. චීනයේ ද ඉන්දියාවේ ද එම ක්‍රමය ආරම්භ විය. පර්යේෂණ සිදු කරන ආකාරය පැහැදිලි ලෙස පොත්පත්වල ලියා තැබුවේ චීනයේ ය. පසුව ඉන්දියාවේ ද එම ක්‍රම පිළිබඳව පොත්වල ලියවුණේ ය. 15 වැනි ශතවර්ෂය වන විට ඉන්දියාවේ විද්‍යාව බොහෝ ලෙසින් අරාබි ආක්‍රමණිකයන් විසින් අවශෝෂණය කරගනු ලැබ තිබිණි. මේ අයුරින් ඉන්දියාවේ විද්‍යාව අරාබියට සංක්‍රමණය විය. අරාබියේ මේ ලෙස දියුණු වූ විද්‍යාව 12 වැනි ශත වර්ෂයේ ආරම්භ වී 17 වැනි ශත වර්ෂය දක්‌වා සිදු වූ අරාබි භාෂාවෙන් ස්‌පාඤ්ඤ භාෂාවට පරිවර්තනය වූ විද්‍යාත්මක පොත් පත් ම`ගින් යුරෝපයේ විශ්වවිද්‍යාල තුළට සංක්‍රමණය විය. මේවා ගැන කිසිවක්‌ නො දන්නා නලින් මහතා මා මේවා ගැන මගේ ලිපිවල සඳහන් කළ විට අරාබි නිසොල්ලාශයක්‌ ගැන කියමින් මට පරිභව කරයි. නොදැනුවත්කම නිසා ඔහු වෙන කුමක්‌ කරන්න ද?

මුල් විද්‍යාත්මක ක්‍රමවේදය බොහෝ දුර ගමණක්‌ (17 වැනි ශ.ව. දක්‌වා) පැමිණ ඇත්තේ චීනයේ බව මින් ඔප්පු වේ. අරාබියේ ද මේ ලෙස ම විද්‍යාව දියුණු විය. යුරෝපය අභිබවා යැමට චිනයට ද අරාබියට ද 15 වැනි ශතවර්ෂය වන විට හැකියාව තිබිණි. අරාබිය මේ විද්‍යාව භාවිත කොට ආක්‍රමණිකව විශාල අධිරාජ්‍යයක්‌ ගොඩනැ`ගුවේ ය. එහෙත් චීනය එසේ කළේ නැත. මෙයට හේතු මා ඉහත සඳහන් කොට ඇත. පෙර ලිපියක විස්‌තරාත්මකව ඒ ගැන ලියා ඇත. යුරෝපයේ විද්‍යාව 12 වැනි ශත වර්ෂයේ සිට 15 වැනි ශත වර්ෂය දක්‌වා දියුණු වූයේ නැත. අරාබි-ස්‌පාඤ්ඤ පරිවර්තනයේ ප්‍රතිඑලයක්‌ ලෙස කොපර්නිකස්‌, ගැලිලියෝ, නිව්ටන් වැනි විද්‍යාඥයන් මතවාද ගොඩනැ`ගූ හ. බටහිර රටවල් අන් රටවල් ආක්‍රමණය කොට කොල්ල කෑවේ ය. යුරෝපයේ විද්‍යාව 15 වැනි ශත වර්ෂයෙන් පසුව ශීඝ්‍රයෙන් දියුණු වූයේ මේ කරුණු හේතු කොටගෙන ය.

කොපර්නිකස්‌ භාවිත කළ විද්‍යාත්මක ක්‍රමවේදය තුළ පර්යේෂණවලට වඩා තිබුණේ නිරීක්‌ෂණය සහ තර්කය විය. ඔහුට දුරදක්‌නය තිබුණේ නැත. ඔහු ග්‍රහලෝකවල චලනය නැත හොත් ගමනාගමනය අධ්‍යයනය කළේ තමා ගේ ඇස්‌වලින් කළ හැකි නිරීක්‌ෂණ ම`ගිනි. අරාබි සහ භාරතීය විද්‍යාඥයන් ගේ මතවාද අදහස්‌ ඔහු දැන සිටියේ ය. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව භාරතීය සහ ආරාබි තාරකා විද්‍යාඥයන් දැන සිටියා පමණක්‌ නො ව එම දැනුම ඔවුන් පොත්වල ලියා තිබිණි. කොපර්නිකස්‌ ගී්‍රක සහ ස්‌පාඤ්ඤ බස හොඳින් දැන සිටියේ ය. ඒ භාෂාවලට පරිවර්තනය වී තිබූ අරාබි පොත් පත් පරිශීලනය කරන්නට ඔහුට අවස්‌ථාව ලැබී තිබිණි. එම සොයාගැනීම් සඳහා ලැබිය යුතු ගෞරවය ලැබෙන්නේ මුලින් එය සොයාගත් කෙනාට නො ව කොපර්නිකස්‌ට ය. මෙය බටහිර අධිරාජ්‍යවාදී පිළිවෙතේ තවත් අංගයකි.

විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව ලියවී ඇති ඉතා ම පැරැණි ග්‍රන්ථය වන්නේ එඩ්වින් ස්‌මිත් පැපිරස්‌ (Edwin Smith Papyrus) නමැති වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඊජිප්තුවේ ලියෑවුණු කෘතියකි. පැපිරස්‌ යන්නෙන් අදහස්‌ වන්නේ පත්තර යන්න ය. එඡ්වින් ස්‌මිත් නමැත්තා විසින් සොයාගන්නා ලද හෙයින් ඊට ඒ නම යෙදිණි. එම ග්‍රන්ථය ලියෑවුණේ ක්‍රිස්‌තු පූර්ව 1600 වර්ෂයේ බව කියවේ. එහි ලියවී ඇති වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ රෝගියා පරික්‌ෂා කිරීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය වන්නේ ය. මෙය නවීන විද්‍යාත්මක ක්‍රමවේදයට සමාන කමක්‌ පෙන්වයි.

මෙසොපොතෙමියාවේ බැබිලෝනියානු තාරකා විද්‍යාඥයෝ ග්‍රහලෝකවල චලනයේ ක්‍රියාදාමය ගණිතමය ක්‍රමයකට ඉදිරිපත් කළ හ. විද්‍යාත්මක සොයාගැනීම් ගණිතමය මොඩලයකට අනුව ඉදිරිපත් කළ පළමුවැනි වතාව මෙය බව පැවසුව ද ගණිතය විද්‍යාව තුළට ඇතුළු වූයේ මීටත් පෙර විය හැකි ය.

මුල්වරට විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ ඉදිරිපත් කළේ ග්‍රීක දාර්ශනිsකයකු වන ඇරිස්‌ටෝටල් (ක්‍රි.පූ.300) බව පැවසේ. ඔහු ගේ ක්‍රමය වූයේ ආනුභූතිය (empiricism)සහ තර්කය (logic) විය. ඇරිස්‌ටෝටල් ජීවත් වූයේ ක්‍රි. පූ. 300 වර්ෂයේ පමණ ය. ඊට පෙර කාලයක ජීවත් වූ බුදුරජාණන්වහන්සේ (ක්‍රි. පූ. 500) ආනුභූතිය භාවිත කළ හ. ඇරිස්‌ටෝටල් ගේ තර්ක ක්‍රමය ද්විකෝටික එකක්‌ විය. ඉන් පැවසෙන්නේ යම් මතයක්‌ හෝ ප්‍රශ්නයක්‌ හෝ පිළිබඳව තිබිය හැක්‌කේ විකල්ප දෙකක්‌ පමණක්‌ බව ය. එය හරි හෝ වැරැදි හෝ විය හැකි ය. එය හරි මෙන්ම වැරැදි විය නොහැකි ය. නොයෙකුත් මතවාද ප්‍රතික්‌ෂේප කිරීම පිණිස මේ ක්‍රමය සෑහෙන්නේ නැති බව භාරතීය දාර්ශනිකයෝ දැන සිsටියෝ ය. සමහර මත පිළිබඳව හරි හෝ වැරැදි හෝ පමණක්‌ නො ව තවත් විකල්ප තිබිය හැකි බව ඔවුන් ගේ මතය විය. ජයින සහ ආජීවක වැනි ආගම්වල මෙවැනි තර්ක විද්‍යාවන් ප්‍රගුන කොට තිබිණි. උදාහරනයක්‌ ලෙස ජයිනයෝ විකල්ප හතක්‌ සහිත ක්‍රමයක්‌ ද, ආජීවකයෝ විකල්ප තුනක්‌ සහිත ක්‍රමයක්‌ ද භාවිත කළෝ ය. එසේ ම බුදුන් මතවාද ප්‍රතික්‌ෂේප කරන්නට යොදාගත්තේ චතුස්‌කෝටිකය නමැති තර්ක ත්‍රමය විය. යම් කිසි වාදයක්‌ තුළින් පැනන`ගින ප්‍රශ්නයක්‌ පිළිබඳව විකල්ප උත්තර දෙකක්‌ නො ව හතරක්‌ තිබිය හැකි බව ද එම වාදය ප්‍රතික්‌ෂේප කළ හැක්‌කේ විකල්ප සතර ම නිෂේධ හෝ නිශ්ප්‍රභ කිරිමෙන් බව ද බුදුහු පෙන්වා දුන් හ.

යම් මතවාදයක්‌ හරි බව ඔප්පු කරන්නට බුදුන් මේ ක්‍රමය භාවිත කොට නැත. බුදුන්ට පසුව මේ ක්‍රමය භාවිත කළේ ක්‍රි.ව. 1 වැනි ශත වර්ෂයේ අග භාගයේa හෝ 2 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ ජීවත් වූ නාගර්ජුනපාදයන් ය. උන්වහන්සේ ද ඒ කාලයේ පැවැති ආත්මීය වාද ශාස්‌වත වාද, උච්ඡේදවාද වැනි නොයෙකුත් මතවාද නිෂ්ප්‍රභ කිරීමට චතුස්‌කෝටිය යොදාගත් හ. චතුස්‌කෝටිය මතවාද ඔප්පු කිරීමට බුදුන් හෝ නාගර්ජුනපාදයන් හෝ භාවිත කොට නැත. මේ නිසා නලින් මහතා වැනි කෙනකු අප බෞද්ධයන්ට ඇත්තේ ඇරිස්‌ටෝටලියානු ද්විකෝටික තර්ක ශාස්‌ත්‍රය නො ව චතුස්‌කෝටිය බව පැවසීම තේරුමක්‌ නැති කතාවකි. අපට මේ දෙක ම වැදගත් විය හැකි ය. ඇරිස්‌ටෝටලියානු ක්‍රමය අත් නොහැර බටහිර දාර්ශනිsකයන් චතුස්‌කෝටිය පිළිබඳව දැන් අවධානය යොමු කරන්නේ මේ නිසා ය.

විද්වත් ඇරිස්‌ටෝටල් දාර්ශනිකයාට පසුව යුරෝපයේ විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා වූයේ ප්‍රංශ ජාතිකයෙකු වූ රයුන් ඩෙස්‌කාර්ටේස්‌ ගේ (1596) හේතුවාදය (Rationalism)විය. විද්වත් අයිසෙක්‌ නිව්ටන් ඉදිරිපත් කළේ ආගමනය (induction) සහ අනුමිතිය (deduction) වූයේ ය. මේ ක්‍රම සහමුලින් ම අලුත් ඒවා බව කිව නොහැකි ය. පැරැණි බොහෝ සංස්‌කෘති තුළ මේ ක්‍රම අංකුර අවස්‌ථාවල පැවැති බව පෙනෙන්නට ඇත. භාරතයේ මධ්‍යම උපනිෂද්වල අනුමානය සඳහන් වී ඇත. බුදුන් හේතුවාදය ගැන විශ්වාසයක්‌ තැබුවේ නැත.

ඩෙස්‌කාර්ටේස්‌ (1596) ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණයට වඩා විශ්වාසය තැබුවේ මනස මෙහෙයවා කරන තර්කය මත ය. එහෙත් ඔහු පසුව වටහාගත්තේ පර්යේෂණ මාර්ගයෙන් සැම දෙයක්‌ ම තහවරු කළ යුතු බව ය. ඔහු ගණිත ක්‍රම සහ ජ්‍යාමිතික ක්‍රම විද්‍යාවට පමණක්‌ නො ව දර්ශනය තුළට ද ඇතුළත් කිරීමට උත්සාහ කළේ ය. ඩෙස්‌කාර්ටේස්‌ දර්ශන විද්‍යාවේ පියා ලෙස සැලකේ. නිරීක්‌ෂකයා නිරීක්‌ෂකයෙන් (නිරීක්‌ෂණය වන ක්‍රියාදාමයෙන්) වෙන් කර තැබීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේ ය. ඔහු ගේ තර්ක ක්‍රමය සහ අනුමිතිය පිළිබඳව සෑහීමකට පත් නො වූ දාර්ශනිකයන් පැවසුවේ තර්කය රඳා පැවතිය යුත්තේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත බව ය. එම නිසා විද්‍යාත්මක දැනුම ලබා ගැනීම පිණිස තිබිය හැක්‌කේ අනුභුතික (Empiricism) ක්‍රමය පමණක්‌ බව ය. පැරැණි සංස්‌කෘති තුළ ද මෙවැනි ම වූ අදහස්‌ සහ විවාද පැවතිණි. දර්ශන විද්‍යාව අති දියුණු ව පැවැති කාල පරිෙච්ඡෙදයක්‌ වූ බුදුරදුන් ගේ කාලයේ භාරතයේ ඥාන විභාගය පිළිබඳව පැවැති සංවාදවල මේ ක්‍රම මේ අන්දමට සාකච්ඡා වූයේ ය. බුදුන් (ක්‍රි.පූ. 500) පිළිගත්තේ අනුභූතික නැත හොත් ඉන්ද්‍රිsය ගෝචර ක්‍රමය විය. උන්වහන්සේ ගේ සමකාලීන දාර්ශනිsකයන් ඊට සමාන හෝ වෙනත් අදහස්‌ දැරූ හ. අජිත කේසකම්බල නිරීක්‌ෂණය පිළිබඳව මතවාදයක්‌ සහ අනුමානය තහවරු කිරීමේ මාර්ගයක්‌ සහ අනුභුතිය පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කළේ ය. දෙවියන් වැනි ගුප්ත බලයකින් දැනුම ලබාගත හැකි බව මක්‌ඛලී ගෝසාල (ක්‍රි.පූ. 500) විශ්වාස කළේ ය. සංජය බෙල්ලට්‌ඨිපුත්ත (ක්‍රි.පූ. 500) පැවසුවේ කිසි ම දෙයක්‌ දැන ගත නොහැකි බව ය. ඊට බොහෝ කලකට පසු ජීවත් වූ ආතර් ෂෝපන්හුවර් (1788-1860) පැවසුවේ ද කිසි ම දෙයක්‌ දැනගත නොහැකි බව ය. ඊටත් බොහෝ කලකට පසු ජීවත් වන ආචාර්ය නලින් ද සිල්වා මහතා (ඒ මහතාට මම දීර්ඝායුෂ පතමි) කියන්නේ දෙවියන් ගෙන් දැනුම ලබාගත හැකි බව ය.

මතු සම්බන්ධයි