logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතාට කළ හැක්‌කේ අපහාස කිරීම පමණ ය

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තුළ මා කෙරෙහි ඇත්තේ ද්වේෂයක්‌ බව ජුලි 02 වැනි දා ලිපියෙන් තවදුරටත් තහවුරු කරයි. ජුනි මස 25 වැනි දා මහනුවර පැවැති රැස්‌වීමට ආරාධනය කර තිබිය දීත් එහි බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන තේමාව යටතේ සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය යන මැයෙන් මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා දේශනයක්‌ පවත්වන බව හොඳාකාරව ම දැන සිටිය දීත් අඩු ම තරමෙන් තමන් සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් කියන දෑ සමග තෙන්නකෝන් මහතා එකඟ වන්නේ ද යන්න දැනගැනීමට වත් එහි නො පැමිණ පළා ගියේ අමරතුංග මහතාට තමා කියන දේ පිළිබඳව විශ්වාසයක්‌ නොමැති බැවින් ය. තෙන්නකෝන් මහතා එහි දී කී දේ සෘෂි භාෂිතය බව වත් ඔහු කී පමණින් අප ඒ සම`ග එකඟ විය යුතු බව වත් අපි නො කියමු. එහෙත් ඔහු කියන්නේ කුමක්‌ දැයි දැනගැනීමටත් ඔහු කියන දේ සමග එකඟ නො වන්නේ නම් ඒ බව නොපැකිළ ඔහු ඉදිරියේ ම කීමටත් බුද්ධිමතකු නො වුව ද උගතකුට වුවත් හැකි විය යුතු ය. එහෙත් ඒ තමා ගේ උගත්කම ගැන ආත්ම විශ්වාසයක්‌ ඇති අයකුට ය. එසේ නැති අයකු පළා යැම හැර කුමක්‌ කරන්නට ද?

අතනින් මෙතනින් පොතක්‌ පතක්‌ කියවා කරුණු අහුළාගෙන ඇති අමරතුංග මහතාට ඒ බොහෝ දේ අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත. ඔහු අපේ සංවාදයට අදාළ ව තමන් දන්නේ යෑයි සිතන සියල්ල දැන් කියා අවසාන බව පෙනී යයි. එබැවින් ඔහුට දැන් ඉතිරි ව ඇත්තේ සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන්ට උරුම වූ අපහාස කිරීම් පමණ ය. අමරතුංග මහතා මට ලැබුණු මහාචාර්ය පදවිය රැකගැනීමට නොහැකි වී යෑයි වරක්‌ සඳහන් කළේ ය. තවත් අවස්‌ථාවක කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨ මාණ්‌ඩලික රැස්‌වීම් ශාලාවේ මගේ ඡායාරූපය එල්ලා නැත්තේ සාපේක්‍ෂතාවාදය පිළිබඳ මගේ නොදැනුවත්කම නිසා යෑයි ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක්‌ කළේ ය. මගේ නොදැනුවත්කම ගැන මා උගන්වා ඇති පේරාදෙණිය, කොළඹ හා කැලණිය යන විශ්වවිද්‍යාල විසින් දැනගත යුතු ව තිබිණි. එහෙත් ඒ විශ්වවිද්‍යාලවල මට වෙනත් නොයෙකුත් දේශපාලන ප්‍රශ්න ඇති වුව ද ඒ කිසිවක දී වත් කිසිවකුට වත් මගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක්‌ නො වී ය. මහනුවර දී මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතාට ද ඒ ප්‍රශ්නයක්‌ නො වී ය. සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයයේ දී මගේ ආචාර්ය උපාධි නිබන්ධනය (සාධාරණ) සාපේක්‍ෂතාවාදී තාරකාභෞතිකය (Relativistic Astrophysics) සම්බන්ධයෙන් විය. ඒ විශ්වවිද්‍යාලය මගේ නිබන්ධනය සඳහා ආචාර්ය උපාධියක්‌ පිරිනැමුවා පමණක්‌ නො ව අවුරුදු එක හමාරක්‌ වැනි සුළු කාලයක දී නිබන්ධනය ඉදිරිපත් කිරීමට විශේෂ අවසරයක්‌ ද ලබා දුන්නේ ය. 1986 දී පමණ මා බටහිර විද්‍යාවේ ඊනියා පරීක්‍ෂණ අත්හැර දමන තුරු විද්‍යා පරික්‍ෂණ පත්‍රිකා පළ කරන සඟරා අතර ප්‍රධාන තැනක්‌ ගන්නා නේචර් සඟරාවේ පළ කෙරුණු පත්‍රිකා දෙකක්‌ ඇතුළුව ජාත්‍යන්තර යෑයි කියාගන්නා සඟරාවල පත්‍රිකා පළ කර ඇත්තෙමි. විද්‍යාභිවර්ධන සංගමයේ සැසිවාරවල දී සාරාංශ රාශියක්‌ ඉදිරිපත් කර ඇත්තෙමි. මට සහාය මහාචාර්ය ධූරයක්‌ ලැබුණේ කොළඹ විශ්වවිද්‍යාලයයේ සේවය කරන අවධියේ ම ය.

මා 1986න් පමණ පසු නැවතත් ඊනියා විද්‍යා පර්යේෂණවල නිරත නො වූ නමුත් 2003 දී කැලණියට සම්බන්ධ වීමෙන් පසුව ලකුණු ටිකක්‌ ලබාගැනීමටත් 2006 දී පමණ කැලණිය විශ්වවිද්‍යාලයයේ ගණිතමය භෞතික විද්‍යා විෂය හා සම්බන්ධ විශේෂ උපාධිය ආරම්භ කිරීමෙන් පසුව අවසාන වසරේ සිසු සිසුවියන් ගේ ව්‍යාපෘති අධීෂණය කිරීමටත් පශ්චාත් උපාධි සිසු සිසුවියන් ගේ නිබන්ධන උපදේශක ලෙස කටයුතු කිරීමටත් සිදු විය. 2011 දී කැලණියෙන් මා විශ්‍රාම යන විට අවසන් වසරේ සිසුන් දහ දෙනකුට වැඩි සංඛ්‍යාවක ගේ ව්‍යාපෘති අධීක්‍ෂණය කර තිබුණේ සාපේක්‍ෂතාවාදයෙන් හා ඒ ආශ්‍රිත විශ්වවේදයෙනි. ඔවුන් ගෙන් කිහිප දෙනකුට ම ඒ ඒ වසරවල විද්‍යාභිවර්ධන සංගමය විසින් හොඳ ම ව්‍යාපෘතියට පිරිනැමෙන ත්‍යාගය ගණිතයෙන් හෝ භෞතික විද්‍යාවෙන් හෝ දිනාගැනීමට හැකි විය. ඒ කාලය තුළ ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙන් එක්‌ දර්ශනපති (M.Phil) උපාධියක්‌, සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් එක්‌ දර්ශනපති උපාධියක්‌, විශ්වවේදයෙන් දර්ශනපති උපාධි දෙකක්‌ හා න්‍යාය (Logic) විෂයයෙන් ආචාර්ය උපාධියක්‌ දිනාගැනීමටත් මගේ සිසු සිසුවියෝ සමත් වූ හ. ඔවුන් ද අවසන් වසරේ ව්‍යාපෘති සිසුන් ද පළ කර ඇති සාරාංශ හා පත්‍රිකා ගණනාවක්‌ වෙයි. සාපේක්‍ෂතාවාදය ගැන මට දැනුමක්‌ නැතැයි කියන ලෝකයේ සිටින එක ම පුද්ගලයා අමරතුංග මහතා ය. ඔහු දන්නා සාපේක්‍ෂතාවාදයක්‌ නැති බව පෙන්වීම අසීරු කරුණක්‌ නො වේ. එහෙත් ඔහු න`ගන අභූත චෝදනාවලට පිළිතුරු දීමට සිදු වන බැවින් ඒ සඳහා ඉඩක්‌ නො ලැබෙයි. අමරතුංග මහතාට වාක්‍ය දෙක තුනකින් කිසි ම සාක්‍ෂියක්‌ නොමැති ව කිසිවක්‌ කියා පැන ගිය හැකි ය. එහෙත් එයට සාක්‍ෂි ඇති ව පිළිතුරු දීමේ දී ඡේද ගණනාවක්‌ වෙන් කිරීමට සිදු වෙයි.

ඉහත සඳහන් සියල්ල නැතත් යම් ප්‍රමාණයක්‌ මා විටින් විට අමරතුංග මහතා ගේ අපහාස කිරීම්වලට පිළිතුරු ලෙස මේ සංවාදයෙහි දී ප්‍රකාශ කර ඇති නමුත් ඒ නැවතත් සඳහන් කිරීමට සිදු වූයේ අමරතුංග මහතා ජුලි 02 වැනි දා ලිපියෙන් කරන අපහාසවලට ප්‍රතිචාරයක්‌ ලෙස ය. අමරතුංග මහතා ඒ ලිපියෙහි මහාචාර්වයවරුන් සාමාන්‍යයෙන් කරන පරිදි ම අපහාස කරන්නේ වෙනත් කිසිවක්‌ කරකියාගැනීමට නොහැකි වූ විට ය. අපි ඒ මහතා ගේ සම්ප්‍රදායට බිඳක්‌ ඉඩ දෙමු. "ඔහු සන්දර්භය උපයෝගී කරගනිමින් බුදුදහම විකෘති කරයි. විශ්aවවිද්‍යාල කථිකාචාර්යවරුන්ට සන්දර්භයේ වටිනාකමක්‌ නැතැයි පවසමින් නිකරුණේ ඔවුන්ට අපහාස කරයි. මෙසේ කරන්නේ හීනමානය නිසා ය. හීනමානය ඇති වී තිබෙන්නේ විශ්aවවිද්‍යාල පද්ධතිය විසින් මහාචාර්ය වැනි උසස්‌ තනතුරු ලබාගැනීමට නියම කොට ඇති පර්යේෂණ ලිපි කිසිවක්‌ ඒ සඳහා පළ වන පිළිගත් සඟරාවල පළ නො වීම නිසා යාන්තමින් කාගෙන් හෝ පිහිටෙන් එම තනතුර ලබාගෙන කලට වේලාවට විශ්‍රාම නො ගිහින් තනතුරේ එල්ලී හිඳ විශ්‍රාම යන විට අමාරුවෙන් ලබාගත් මහාචාර්ය පට්‌ටම ද නැති වී ගිය නිසා ය. සන්දර්භයේ වටිනාකම නො දන්නා කථිකාචාර්යවරුන් ලොව ම පිළිගත් පර්යේෂණ සිදු කරන විට ඒ සැම දෙය ම දන්aනා කෙනා හීනමානය දක්‌වා "දියුණු" වී ඇත."

කැලණිය විශ්වවිද්‍යාලයට මා මහාචාර්ය ධූරයක්‌ සඳහා ඉල්ලුම් කළ මුල් අවස්‌ථාවේ වෙනත් විශ්වවිද්‍යාලවල දී මෙන් ම දේශපාලන හේතු නිසා ඉල්ලුම් පත්‍රය නො සලකා හරිනු ලැබිණි. ඉන්පසුව විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්‌ඩලයට මා අභියාචනයක්‌ ඉදිරිපත් කිරීමේ ප්‍රතිsඵලය වූයේ මා ගේ ඉල්ලුම් පත්‍රය සලකා බැලීමට ඔවුන් නියෝග කිරීම ය. 2003 දී කැලණිය විශ්වවිද්‍යාලය මා මහාචාර්ය ධුරයකට නො ව සහාය මහාචාර්ය ධුරයකට පත් කළේ මට දී තිබු ලකුණු යම් ප්‍රමාණයක්‌ අඩු කිරීමෙනි. (මට ඒ බව ඔප්පු කිරීමට සාක්‌ෂි ඇත. මට ලබා දුන් හා කැපූ ලකුණු පිළිබඳ විස්‌තර ඇතුළත් ලේඛනය දැන් මා සතු ව තිබේ). එසේ සහාය මහාචාර්ය ධුරයකට පත් කිරීමට බඳවාගැනීමේ පටිපාටියෙන් ඉඩක්‌ නැත. කැලණිය විශ්වවිද්‍යාලයයේ ගණිත අධ්‍යයනංශයේ ඇතැමුන් සිතුවේ සහාය මහාචාර්ය ධුරයකට පත් කිරීම බඳවාගැනීමේ පටිපාටියට (චක්‍රලේඛයට) එකඟ නො වන බැවින් විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම ඒ පත්වීම අනුමත නො කරාවි ය කියා ය. එහෙත් අවසානයේ දී කඹ ඇදීමකින් පසුව පාර්ලිමේන්තුවේ ද ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් පසු එ ජා ප රජයක්‌ යටතේ (1994 සිට 2002 දක්‌වා විවිධ රජයන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යටතේ ශ්‍රී ල නි පක්‌ෂයේ ප්‍රධානත්වයෙන් පැවතියත් මා ළමා වියේ සිට දන්නා ඉන්දික ගුණවර්ධන මහතා කලක්‌ උසස්‌ අධ්‍යාපන ඇමති වුවත් මම තනතුරක්‌ ලබාගැනීම සඳහා ඔවුන් ගේ පිහිට නො පැතුවෙමි. ඔවුහු ද මට උපකාරයක්‌ නො කළ හ) ප්‍රතිපාදන කොමිසම මා කැලණිය විශ්වවිද්‍යාලයයේ සහාය මහාචාර්ය ධුරයකට පත් කිරීම අනුමත කළේ ය. කැලණිය විශ්වවිද්‍යාලයට මා පත් කිරීම හැර කරන්නට දෙයක්‌ නැති විය. එය සම්ප්‍රදායට අනුව නම් නීති විරෝධි පත් කිරීමකි. ඒ බව අමරතුංග මහතා වත් කැලණිය විශ්වවිද්‍යාලය වත්, ප්‍රතිපාදන කොමිසම වත්, පාර්ලිමේන්තුව වත් අද වන තුරු නො දනියි. සමහර විට එය දැන සිටි එක ම තැනැත්තා මා විය හැකි ය. (මා ඒ පිළිබඳ ව මගේ භාර්යාවටත් මිතුරන් කිහිප දෙනකුටත් පමණක්‌ කියා ඇත). මෙරට විශ්වවිද්‍යාල පරිපාලනය සිදු වන්නේ එලෙස ය. දෛවයේ සරදමකට මෙන් දැන් මම ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයෙක්‌ වෙමිෘ

මා සහාය මහාචාර්ය ධුරයකට පත් කිරීම බඳවාගැනීමේ පටිපාටියට එකඟ නො වුණ ද මම එයට නුසුදුස්‌සෙක්‌ නො වීමි. මා එයට පහළොස්‌ වසරකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයයේ සහාය මහාචාර්ය ධූරයක්‌ දැරීමි. කොළඹ පත් කිරීම වත්, කැලණිය පත්කිරීම වත් සම්බන්ධයෙන් මම කිසිවකු පසුපස නො ගියෙමි. චක්‍රලේඛයට අනුව අවශ්‍ය ලකුණු මට අඩුවක්‌ නැති ව තිබුණේ මා 1986 පමණ වන තුරු ඊනියා පර්යේෂණ පත්‍රිකා ද පළ කර තිබූ බැවිනි. කැලණියේ දී කැපුණු ලකුණු නැවත ලබාගැනීම පිළිබඳ ප්‍රශ්නයක්‌ නො වී ය. කළ යුතු ව තිබුණේ විශ්වවිද්‍යාලයීය පර්යේෂණ සැසිවාරයේ දී සාරාංශ කිහිපයක්‌ ඉදිරිපත් කිරීම පමණකි. උසස්‌ කිරීමේ පටිපාටියට අනුව 2005 වන තුරු මට මහාචාර්ය ධුරයක්‌ සඳහා ඉල්ලුම් කිරීමට නොහැකි විය. ඒ කාලය තුළ ඊනියා පර්යේෂණ ම`ගින් මම කැපූ ලකුණු නැවත ලබාගත්තෙමි. පර්යේෂණ පත්‍රිකා පළ කිරීම ඉතා සුළු කාර්යයකි. අවශ්‍ය නම් සතියකට එකක්‌ ගණනේ ඊනියා පත්‍රිකා පළ කළ හැකි ය. අවශ්‍ය වනුයේ පට්‌ටපල් බොරු (කතාන්දර) ගෙතීමට හැකියාවක්‌ තිබීම පමණකි.

තනතුරේ එල්ලී සිටීම පිළිබඳ කතාව ගැන ද යමක්‌ කිව යුතුය. මේ කිසිවක්‌ සංවාදයට අදාළ නැති නමුත් අමරතුංග මහතා මට කරන අපහාසවලට පිළිතුරු දීමට සිදු වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් මා විශ්‍රාම ගැනීමට සිටියේ 2010 සැප්තැම්බරයේ දී ය. එවකට මම එහි විද්‍යා පීඨයේ පීඨාධිපති වීමි. මේ ආසනික්‌ ආන්දොaලනය පැවැති අවධිය ය. කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව අපට කියා දී තිබුණේ නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියා ය. ඔහුටත් වඩා එහි දී අපට උපකාරී වූයේ විපස්‌සක දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියා ය. එහෙත් මෙරට කසිකබල් විද්‍යාඥයන් දෙවියන් කී නිසා ආසනික්‌ රෝගයට ප්‍රධාන හේතුව බව නො පිළිගන්නා බව අපි දැන සිටියෙමු. මෙරට උගතුන් දන්නේ බටහිර සරණං ගච්ඡාමි, දුතියම්පි බටහිර සරණං ගච්ඡාමි, තතියම්පි බටහිර සරණං ගච්ඡාමි කීමටත් මම කල්පනා කිරීමෙන් වැළකී සිටිමි, මම සිතීමෙන් වැළකී සිටිමි, මම පංචෙන්ද්‍රිය ගෝචර නො වන දැනුමක්‌ බටහිරයන් නො කීවොත් විශ්වාස කිරීමෙන් වැළකී සිටිමි, ආදී ශික්‌ෂාපද රැකීමටත් ය. එබැවින් බටහිර රසායන විද්‍යාවට අනුව අදාළ ප්‍රදේශවල පසෙහි, ශාකවල, රෝගීන් ගේ සිරුරු කොටස්‌වල, ජලයෙහි හා ඇතැම් කෘෂිරසායනවල ආසනික්‌ තිබෙන බවත් පෙන්වීමට අපට අවශ්‍ය විය. මා විද්‍යා පීඨයෙහි පීඨාධිපති නො වන්නට මේ ආසනික්‌ පර්යේෂණ කිරීමට ඊනියා විද්‍යාඥයන් විරුද්ධ වන බව අපි දැන සිටියෙමු. කෙසේ වුවත් 2010 සැප්තැම්බර් වන විට මේ පර්යේෂණ අවසන් ව නො තිබිණි. මා විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගියේ නම් ඒ පර්යේෂණ සියල්ල කඩා වැටෙන බව නාථ දෙවියෝ ද විපස්‌සක දෙවියෝ ද දැන සිටිය හ. එබැවින් මට සේවා දිගුවක්‌ ලබා දීමේ කාර්යයට ඔවුහු අතගැසූ හ. එහි දී කළ යුතු ව තිබූ සියල්ල, එනම් විවිධ පුද්ගලයන් යොදවා විවිධ ඇමතිවරුන් මුණගැසී කරුණු පහදා දීම් ආදිය, ඔවුහු කළ හ. උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විවිධ පුද්ගලයන් ගේ කියුම් බස්‌ අසා ද, ඔහු ද ඊනියා පංචෙන්ද්‍රිය උගතකු වූ නිසා ද අපට විරුද්ධ ව සිටියේ ය. එබැවින් දෙවියන් ගේ කාර්යය ඉතා අසීරු වූවක්‌ විය. ඔවුන් යොදාගත් ඇමැතිවරුන් කවුරුන් දැයි මට මේ අවස්‌ථාවේ දී කිව නො හැකි ය. අවසානයේ දී දෙවියෝ ජයගත් හ. උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට මගේ සේවය දික්‌ කරන ලෙස ඉල්ලා කැබිනට්‌ පත්‍රිකාවක්‌ යෑවීමට දෙවියෝ අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හ. එසේ කළේ ලේකම්වරයාට ඒ පිළිබඳ එතරම් තේරුමක්‌ නො වන ආකාරයකට ය. අදාළ පුද්ගලයන් විශ්‍රාම ගිය දිනයක මේ සියල්ල හෙළි කරමි.

අමරතුංග මහතා හා පංචෙන්ද්‍රිය උගතුන් මේ කිසිවක්‌ විශ්වාස නො කරනු ඇත. එහෙත් අද ද දෙවියෝ ඇතැම් දේ ආණ්‌ඩුව ලවා කරවති. අද දෙවියන් කරන ඇතැම් ක්‍රියා සම`ග මා එක`ග නො වන බව ද ඒ සම`ග කිව යුතු ය. ඒ කෙසේ වෙතත් මට අවුරුදු තුනක සේවා දිගුවක්‌ ලැබිණි. එය අමාත්‍ය මණ්‌ඩලය විසින් අනුමත කරන ලද එහෙත් විශ්වවිද්‍යාල පනත සම`ග එක`ග නො වන ක්‍රියාවකි. ඒ දිගුව ද මගේ මුල් පත්වීම මෙන් ම සම්ප්‍රදායානුකූලව ගත හොත් නීති විරෝධී ය. එහෙත් විශ්වවිද්‍යාලයේ කිසි ම ආචාර්යවරයකුට වත් වෘත්තිය සමිතියකට වත් ඒ කිසිවකට වත් විරුද්ධව උසාවි යැමට නො හැකි විය. උසාවියේ දී ඔවුන් පරාජය වීමට තිබිණි. නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට ය. මට අවුරුදු තුනක දිගුවක්‌ ලැබුණ ද පීඨාධිපති ලෙස සේවය කිරීමට ඉඩ තිබුණේ තවත් අවුරුදු එකක්‌ පමණකි. ඒ අවුරුද්ද අවසානයේ දී පර්යේෂණවලින් ඉතා වැඩි කොටසක්‌ නිම කර මම ඉල්ලා අස්‌වීමි. අවශ්‍ය නම් මට තවත් අවුරුදු දෙකක්‌ මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට තිබුණු බවත්, එසේ කළේ නම් සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ධූරයක්‌ ලබාගැනීම සඳහා අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කළ හැකි ව තිබූ බවත් සඳහන් කළ යුතු ය. කැලණිය විශ්වවිද්‍යාලයයේ සේවාර්ජිත මහාචාර්යවරයකු වීම සඳහා මහාචාර්යවරයකු ලෙස අවුරුදු අටක්‌ සේවය කර තිබිය යුතු ය. එහෙත් මා විශ්‍රාම යන විට මා මහාචාර්යවරයකු ලෙස සේවය කර තිබුණේ අවුරුදු හතක්‌ (2005- 2011) පමණ ය. මා තව අවුqරුදු දෙකක්‌ සේවය කළේ නම් අවශ්‍ය නිර්ණායකය සපුරාලීමට තිබිණි. එහෙත් කසිකබල් මහාචාර්යකමක්‌ මගේ නමට කලින් ලිවීමේ අවශ්‍යතාවක්‌ මට නැත. එබැවින් මම අමරතුංග මහතා කියන්නාක්‌ මෙන් මහාචාර්ය ධූරයෙහි එල්ලී සිටියා නො ව යම් යම් කාර්යයන් සඳහා අවශ්‍ය නිලතල දරමින් ඒ කාර්යයන් අවසාන වූ වහාම ඉල්ලා අස්‌ වූ පුද්ගලයෙක්‌ වීමි. ප්‍රතිපාදන කොමිසමේ සාමාජික ධූරය ගැන ද මා බලන්නේ ඒ දෘෂ්ටි කෝණයෙනි.

ඉඩ ඇති පරිදි කච්චායනගොත්ත සූත්‍රය ගැන අපි නැවතත් අවධානය යොමු කරමු. ඔහු ජූලි 02 වැනි දා මෙසේ කියයි. "කච්චායනගොත්ත සූත්‍රය පිළිබඳව මොන විකෘති ගෙනහැර පෑවත් එම සූත්‍රයේ බුදුරදුන් පවසා ඇති දෙය බොරු කරන්නට නලින් මහතාට නොහැකි ය. එම සූත්‍රයේ ඉතා පැහැදිලිව ම බුදුන් පවසන්නේ කිසිවක්‌ නිත්‍ය වශයෙන් පවතින්නේ වත් නිත්‍ය වශයෙන් නො පවතින්නේ වත් නැති බව ය. මෙය අනිත්‍ය ධර්මය තහවුරු කිරීමට බුදුරදුන් පැවසූ සූත්‍රය වන්නේ ය. එම සූත්‍රයේ පටිච්චසමුප්පාදය උන්වහන්සේ පහදා දෙන්නේ ඊට අනතුරු ව ය. ............. කච්චායනගොත්ත සූත්‍රයේ පැවැත්ම ගැන බුදුන් දේශනා කොට නැති බව නලින් මහතා පවසයි. (විදුසර 25.6.2014). බුදුන් එම සූත්‍රයේ පවසන්නේ - සැම දෙයක්‌ ම පවතී. මේ එක්‌ අන්තයකි. සැම දෙයක්‌ ම නො පවතී. මේ දෙවැනි අන්තයයි. මේ අන්ත දෙක ම නො පිළිගන්නා තථාගත වහන්ස මැද මාවතට අනුව පටිච්චසමුප්පාද ධර්මය දේශනා කරයි" අමරතුංග මහතා මෙසේ බොරු නො කියා එම සූත්‍රයෙහි බුදුන්වහන්සේ නිත්‍ය අනිත්‍ය කතාවක්‌ දේශනා කර ඇති බව සූත්‍රයෙන් උපුටා දක්‌වමින් පැහැදිලි කරන්නේ ද? මෙය කෙසේ වත් අනිත්‍ය ධර්මය තහවුරු කිරීමට දෙසූ සූත්‍රයක්‌ නො වේ. මෙහි සන්දර්භය සම්‍යක්‌දෘෂ්ටිය කුමක්‌ දැයි කච්චායනට පැහැදිලි කිරීම ය. ඒ අන් කිසිවක්‌ නො ව පටිච්චසමුප්පදාය වෙයි. ඒ බව මා උපුටා දැක්‌වීම් සහිත ව පෙන්වා දී ඇත. අමරතුංග මහතාට අවශ්‍ය නම් නැවතත් ඒ උපුටා දැක්‌වීම් ඉදිරිපත් කළ හැකි ය. අමරතුංග මහතා සිතා සිටින්නේ ඔහු කිසි ම උපුටා ගැනීමක්‌ සාක්‍ෂියක්‌ නොමැති ව කියන දෙය ඔහු ගේ මහාචාර්යකම හා ඩී. එස්‌. සී. උපාධිය නිසා පාඨකයන් පිළිගත යුතු බව ද?

අමරතුංග මහතා උපුටා නො දක්‌වන බැවින් මා විදුසර ජුනි 25 වැනි දා ප්‍රකාශ කළේ කුමක්‌ දැයි පහත සඳහන් කරමි. "කච්චායනගොත්ත සූත්‍රයෙහි නිත්‍ය වූ පැවැත්මක්‌ හෝ නිත්‍ය වූ නොපැවැත්මක්‌ ගැන නො කියෑවෙයි. එහි කියෑවෙන්නේ සියල්ල ඇත (පවතී) යනුවෙන් ගැනීම මෙන් ම සියල්ල නැත (නො පවතී) යනුවෙන් ගැනීම ද අන්ත දෙකක්‌ බව ය. කච්චායනට අවශ්‍ය වූයේ සම්‍යක්‌දෘෂ්ටිය යනු කවරේ දැයි දැන ගැනීම ය. කච්චායනගොත්ත සූත්‍රයෙහි සන්දර්භය එය ය. සම්‍යක්‌දෘෂ්ටිය ලෙස බුදුන්වහන්සේ වදාළේ පටිච්චසමුප්පාදය ය. කච්චායනගොත්ත සූත්‍රයෙහි නිත්‍ය හා නිත්‍ය නො වන යන වචන අමරතුංග සංස්‌කරණයෙන් මිස බුදුන්වහන්සේ වදාළ සූත්‍රයෙන් නො වේ.

කච්චායනගොත්ත සූත්‍රයෙහි හෝ පටිච්චසමුප්පාදයෙහි හෝ කිසි ම තැනක ඊනියා වස්‌තුන් ගැන හෝ ක්‍රියාදාමයන් ගැන හෝ නො කියෑවෙයි. වස්‌තු ගැන කතා කරන්නෝ බටහිර විද්‍යාඥයෝ ය. අමරතුංග මහතාට තමා ඒ සූත්‍රවල ඇතැයි කියන කරුණු අදාළ සූත්‍රවලින් උපුටා දක්‌වා සනාථ කිරීමට නො හැකි ය. අමරතුංග මහතා ගේ වංචනික විධික්‍රමය එබඳු ය. ඔහු පොතක හෝ සූත්‍රයක හෝ නමක්‌ සඳහන් කර එහි තමන්ට අවශ්‍ය දෙයක්‌ ඇතුළත් යෑයි ප්‍රකාශ කරයි. පටිච්චසමුප්පාදයෙහි ඇත්තේ යමක්‌ ප්‍රත්‍ය කරණකොට තවත් යමක්‌ හටගන්නා බව ය. ඒ යමක වාස්‌තවික ව තාවකාලික ව හෝ පැවැත්මක්‌ ගැන එහි සඳහන් නො වෙයි. එමෙන් ම ඇති වී වෙනස්‌ වී නැති වන අන්දමක්‌ ද එහි නො කියෑවෙයි. හැකි නම් එසේ කියෑවෙන්නේ යෑයි අදාළ සූත්‍රවලින් උපුටා දක්‌වන්න." පැවැත්මක්‌ ගැන කතා කිරීම එකකි. යමක්‌ ප්‍රත්‍ය කරණකොට තවත් යමක්‌ හටගන්නා බව කීම තවත් එකකි. අමරතුංග මහතාට හූනු බිජුවක පමණ මොළයක වැටහීමක්‌ තිබිණි නම් මේ ප්‍රකාශ දෙකෙහි වෙනස තේරුම්ගත හැකි ව තිබිණි. එහෙත් මා නැවත නැවතත් අමරතුංග මහතා ගෙන් ඔහු විශ්වාස කරන වාස්‌තවික පැවැත්ම කච්චායනගොත්ත සූත්‍රයෙහි ඇතැයි ගනිමින් අසන ප්‍රශ්නය මෙයයි. කච්චායනගොත්ත සූත්‍රයෙහි අමරතුංග අර්ථකථනය අනුව යමක්‌ පවතී ය යනුවෙන් ගැනීම එක්‌ අන්තයකි. එහෙත් අමරතුංග මහතා නොයෙක්‌ දේ පවතින බව කියයි. අමරතුංග මහතා තමා අන්තවාදියකු බව තම අර්ථකථනය අනුව පිළිගන්නේ ද?

නලීන් ද සිල්වා