logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතා මහනුවර රැස්‌වීමෙන් පලා යයි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට සතුටට පත් විය හැකි එක්‌ කරුණක්‌ පමණක්‌ මහනුවරින් වාර්තා කළ හැකි වෙයි. පසුගිය ජුනි 27 වැනි සිකුරාදා විද්‍යා සංවාද කුලකය විසින් සංවිධානය කරනු ලැබූ "බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු - විදුසර සංවාදයට ආලෝකයක්‌" යන තේමාව යටතේ සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය මැයෙන් මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා විසින් මහනුවර දී පවත්වන ලද දේශනයට සංවිධායකයන් හා ආරාධිතයන් හැරුණු විට හතළිස්‌ දෙනකුට වඩා සහභාගී වූයේ නැත. ඔවුන් පැමිණ සිටියේ ද සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය ගැන දැනගැනීමට මිස බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද යන්න දැනගැනීමට නො වේ යෑයි සිතමි. මෙරට උගතුන් ගෙන් අතිමහත් බහුතරය බටහිර විද්‍යාව සත්‍ය යෑයි විශ්වාස කරන බව පැහැදිලි ය. පසුගිය අවුරුදු හතරක පමණ කාලයක්‌ තිස්‌සේ අප විසින් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ප්‍රකාශ කෙරී ඇති නමුදු එය පිළිගන්නේ අතළොස්‌සක්‌ පමණ ය. මගේ ලිපිවලින් හා දේශනවලින් රටට බලපෑමක්‌ සිදු නො වන බව පැහැදිලි ය. එසේ තිබිය දීත් විදුසර කතුතුමා ඇතුළු කතුවරුන් කිහිප දෙනකු තම පුවත්පත්වල මගේ ලිපි පළ කිරීම පිළිබඳ ව ඔවුන්ට ස්‌තුතිවන්න විය යුතු ය. කෙසේ වෙතත් මා කරන්නේ රටේ සාමාන්‍ය ජනයා අතර තිබෙන අදහස්‌ ඊනියා උගතුන් වෙතට ගෙන යැම ය. එය සාර්ථක වී නැති බව මම පිළිගනිමි. ඉදිරි අවුරුදු කිහිපයෙහි දී ද එය සාර්ථක වන බවක්‌ නො පෙනෙයි. බොහෝ උගතුන්ට අනුව මම විහිළුකාරයෙක්‌මි, මෝඩයෙක්‌මි, හුදු බාල හෝ ලාබ හෝ ප්‍රසිද්ධිය සඳහා අභූත මත පළ කරන්නෙක්‌මි. එහෙත් මට ලැබී ඇති එක ම ලාභය අවුරුදු දහයකට වැඩි කාලයක්‌ රැකියාව නොමැති ව ගෙදර සිටීමත්, දරුවන්ට හා ගෙදරට බරක්‌ වීමත් පමණක්‌ බව ඔවුහු අමතක කරති. කෙසේ වෙතත් මා මිය යනු ඇත්තේ අසාර්ථක, එනම් අසමත් පුද්ගලයකු= ලෙස බව මට පැහැදිලි ය. එසේ වුවත් දැනට මගේ බලාපොරොත්තුව ලිවීමට නොහැකි වන තාක්‌ කල් ලිවීම ය. එම`ගින් උගතුන් හෙළිදරවු කිරීම ද මගේ අරමුණකි.

ඉහත කී දේශනයට සංවිධායකයෝ මට ද ආරාධනා කළ හ. ඒ අනුව මම ද නුවර ගියෙමි. එහි ගිය මට දැනගැනීමට ලැබුණේ සංවිධායකයන් මහාචාර්ය අමරතුංග මහතාට ද ආරාධනා කර තිබූ බව ය. ඔහු පැමිණිය හොත් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන තේමාව යටතේ සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය පිළිබඳ සාකච්ඡාවක්‌ පැවැත්විය හැකි යෑයි මම විශ්වාස කළෙමි. එහෙත් අවාසනාවකට ඔහු නො පැමිණියේ ය. එයට හේතුව මම නො දනිමි. සංවිධායකයන් පැවසුවේ කල් ඇති ව ඔහුට ආරාධනය කළ බව ය. රැස්‌වීමට පැමිණි මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා තම දේශනය පැවැත්වී ය. මහාචාර්ය තෙන්නකෝන් මහතා කලක්‌ මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂවරයා ව සිටියේ ය. දේශනය අවසානයේ දී ප්‍රශ්න කිහිපයකට ඉඩ ලැබිණි. එහි දී මහාචාර්ය තෙන්නකෝන් මහතා නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය හා අයින්ස්‌ටයිනීය අවකාශ කාල වක්‍රතාව යනු සන්නිකර්ෂණ ව සමාන ප්‍රතිඵල ගෙන දෙන එහෙත් සංකල්පීය වශයෙන් එකිනෙකට වෙනස්‌ ප්‍රවාද දෙකක්‌ බව ප්‍රකාශ කළේ ය. අයින්ස්‌ටයිනීය සංකල්පය නිව්ටෝනීය සංකල්පයෙහි වර්ධනයක්‌ හෝ විස්‌තීරණයක්‌ හෝ නො වන බව ඒ මහතා පිළිගත්තේ ය. ඒ පිළිබඳව නම් අමරතුංග මහතාට සතුටු විය හැකි යෑයි මම නො සිතමි.

ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී වූ එක්‌ අශෝභන සිද්ධියක්‌ ද වාර්තා කළ යුතු ය. මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පර්යේෂණ මහාචාර්යවරයකු වන මහාචාර්ය ආසිරි නානායක්‌කාර මහතා ප්‍රශ්නයක්‌ ඇසීමේ මුවාවෙන් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන ප්‍රකාශයට කෝපයෙන් අභියෝග කළේ ය. එහි දී ඒ මහතාට කෝප වීමට තරම් කරුණක්‌ නො තිබුණ ද ඔහු කෝපාවිෂ්ට ව තම හැඟීම් ප්‍රකාශ කර එසැණින් සභාවෙන් පිටත ගියේ ය. අඩු තරමෙන් ඔහු ගේ ප්‍රකාශයට ප්‍රතිචාරයක්‌ වේ දැයි දැනගැනීමට වත් ඔහුට අවශ්‍ය නො වී ය. ඔහුට අවශ්‍ය වූයේ ඔහු ගේ මතය ප්‍රකාශ කිරීම පමණ ය. ඔහුට අනුව බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කීම සිංහල සිසුන් නොමඟ හැරීමකි. එහෙත් ඒ රැස්‌වීමට පැමිණ සිටි සිසුන් දෙතුන් දෙනාට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ නො වී ය. ඔවුන් ප්‍රශ්න ඇසුවේ සාපේක්‍ෂතාවාදය ගැන වැඩිදුරටත් කරුණු දැනගැනීමට ය. අමරතුංග මහතාට වත්, නානායක්‌කාර මහතාට වත් බිය වීමට කරුණක්‌ නැත. මෙරට සිසුන් බොහෝ විට දන්ත වෛද්‍ය විද්‍යාව හෝ භෞතික විද්‍යාව හෝ ඉගෙනීමට පෙලඹෙන්නේ වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට හෝ ඇතුළත් වීමට නොහැකි වූ විට ය. ඔවුහු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි විශ්වාස නො කරති. එසේ විශ්වාස කිරීම ඔවුන් ගේ අනාගතයට පහරක්‌ එල්ල කරයි, ඔවුන් ගේ ජීවන වෘත්තියට බාධා පමුණුවයි. ඉංජිනේරුවකු හෝ බටහිර වෛද්‍යවරයකු හෝ වීමට නොහැකි ව යම්තමින් ලබාගන්නා ඊනියා විද්‍යාඥ රැකියාව ආරක්‌ෂා කරගැනීම ඔවුන් ගේ ප්‍රධාන අපේක්‍ෂාව ය.

අමරතුංග මහතා තම ජුනි 25 ලිපියෙහි මෙසේ කියයි. "17 වැනි ශතවර්ෂය දක්‌වා විද්‍යාව සහ තාක්‌ෂණය අතින් චීනය බොහෝ සෙයින් ඉදිරියෙන් සිටියේ ය. 12 වැනි ශත වර්ෂයේ සිට 15 වැනි ශත වර්ෂය දක්‌වා යුරෝපීය තාක්‌ෂණික දියුණුව අඩපණ වී තිබිණි. මේ කාලයේ අරාබියේ ඥාන ගවේෂණය ඉතා ම ඉහළ මට්‌ටමක පැවැතියේ ය. සැම විද්‍යා අංශයක ම අදහස්‌ නව සොයාගැනීම් ග්‍රන්ථාරූඪ කරන ලදී. මේ පොත්පත් මා පෙර ලිපියක සඳහන් කළ පරිදි ලතින් භාෂාවට පරිවර්තනය වී යුරෝපයට සංක්‍රමණය විය. නිකොලස්‌ කොපර්නිකස්‌, හිපොක්‍රටිස්‌, ගේලන් වැනි විද්‍යාඥයන්ට අදහස්‌ මතවාද සහ දැනුම ලැබුණේa මේ පොත්පත්වලිනි. මේ ඥාන සංක්‍රමණයේ ප්‍රතිඑලයක්‌ වශයෙන් යුරෝපයේ විශ්වවිද්‍යාල ද විද්‍යාව ද තාක්‌ෂණය ද ශීඝ්‍රයෙන් දියුණු විය. ඔවුන් ගේ කර්මාන්තයන් ද වෙළෝදාම ද යටත් විජිත ආක්‍රමණයන් ද තාක්‌ෂණික දියුණුවට රුකුලක්‌ විය. ඔවුන් ගේ සංස්‌කෘතිය තුළ තිබූ තෘෂ්ණාව සහ කරුණාව අඩුකම විසින් අන් රටවල් යටත් කරගැනීමේ ප්‍රයත්නයට ඉඩ දෙන ලදී. චීනයේ තිබූ සංස්‌කෘතිය මීට වෙනස්‌ විය. එය කොන්පියුසියස්‌ සහ ටාඔස්‌ ධර්මයන් ගෙන් පෝෂණය වී තිබුණේ ය. කරුණාව, දයාව, පරෝපකාරය, සාමය පෙරදැරි කරගත් මේ ධර්මයන් ආක්‍රමණකාරී වෙළෝදාමකට, කර්මාන්තයකට හෝ යටත් විජිත විදේශ ප්‍රතිපත්තියකට ඉඩ නුදුන්නේ ය. මේ නිසා 16-17 වැනි ශත වර්ෂවල දී යුරෝපයට චීනය අභිබවා යැමට පුළුවන් විය. සංස්‌කෘතිය විද්‍යාව මත බලපෑමක්‌ කරන්නේ මේ අන්දමට ය."

චීනයේ තිබූ විද්‍යාව පිළිබඳ මගේ මැයි 7 වැනි දා ලිපියෙහි සඳහන් කරුණු කිසි ම ලඡ්ජාවක්‌ හිරිකිතයක්‌ නොමැති ව අමතක කරන අමරතුංග මහතා තමාට රිසි දේ නැවත නැවතත් කියවයි. පාඨකයන් සාමාන්‍යයෙන් මේ ලිපි එකතු කරන සිරිතක්‌ නොමැති බැවින් අමරතුංග මහතාට ටික කලක්‌ ගොස්‌ ඒ සියල්ල නො කී ලෙස සලකා තම තැටිය නැවතත් වාදනය කළ හැකි ය. ලාඕ තුමා, කුං ගුරුතුමා හා බටහිර විද්‍යාව මැයෙන් ලියා තිබූ ඒ ලිපියෙහි මම පහත සඳහන් කරුණ ද සඳහන් කළෙමි. යම් පාඨකයකුට ඒ ලිපිය විදුසර හෝ කාලය හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැකි නම් හෝ අදාළ පුවත්පත තමා සතු ව ඇත්නම් හෝ ලිපිය කියවා අවශ්‍ය කරුණු දැනගත හැකි ය. "බටහිර විද්‍යාව චීනයේ ඇති නො වීමට හේතු වශයෙන් නීඩ්හම් දක්‌වන දේ මම පසුව උපුටා දක්‌වමි. අපි දැනට අමරතුංග මහතා ඒ ගැන කියා ඇති දේ පමණක්‌ සලකමු. "චීනයේ ටාඔස්‌ සහ කොන්පියුසියස්‌ ධර්මයන් නිසා ඒ රටේ විද්‍යාව දියුණු වූයේ නැති බව ශේ්‍රෂ්ඨ දාර්ශනිකයකු වන විද්වත් ජෝශප් නීඩ්හම් පවසා ඇත." ටාඔස්‌ යනු කවුද? අමරතුංග මහතාට ඒ නම් ද ආගන්තුක බව පැහැදිලි ය. සාමාන්‍යයෙන් ඉංගිරිසියෙන් ලාඕ ට්‌සේ කෙනකු ගැන කියෑවෙයි. මේ ඔහු විය යුතු ය. ඒ ගුරුතුමා ගැන චීන බසින් කියෑවෙන්නේ ලාඕතුමා යන අර්ථය ඇති ව ය. එහෙත් එතුමා ගේ නම ලී අර් යන්න ය. ඔහුට ගෞරවයෙන් ලාඕ තුමා යෑයි කියෑවෙයි. එතුමා ගේ දහම තාඕ (මාර්ගය) ලෙස හැඳින්වෙයි. කොන්ෆියුසියස්‌ යන්න ඉංගිරිසියෙන් අදාළ නම උච්චාරණය කෙරෙන්නේ එලෙස බැවින් අමරතුංග මහතාට මෙහි දී චෝදනාවක්‌ නැ`ගිය හැකි නො වේ.

එහෙත් එතුමා ගේ නම උච්චාරණය කෙරෙන්නේ කුං ෆ්-ත්ස ලෙස ය. මෙහි ෆ්-ත්ස යන්නෙහි තේරුම ගුරුතුමා යන්න ය. එබැවින් සුද්දන් කොන්ෆියුසිsයස්‌ යන්නෙන් කියන්නේ කුං ගුරුතුමා ගැන ය. මේ පිළිබඳ අමරතුංග මහතා ගේ දැනුම කෙසේ වෙතත් අපට මෙහි දී වැදගත් වන්නේ ඒ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් ගේ ඉගැන්වීම් නිසා බටහිර විද්‍යාව චීනයේ ඇති නො වූ බවට (අවශ්‍ය නම් වර්ධනය නො වූ බවට) නීඩ්හම් කර ඇති ප්‍රකාශය ය. (නීඩ්හම් තවත් දේ ද කියා ඇත. අපි ඒ පසුව සලකා බලමු). මෙයින් කියෑවෙන්නේ චීනයේ තිබූ චින්තනය බටහිර විද්‍යාව බිහි වීමට විරුද්ධ ව ගිය බව මිස වෙනත් දෙයක්‌ නො වේ. සංස්‌කෘතිය දැනුමට බලපාන අයුරු අපට නීඩ්හම් මගින් කියා දීම ගැන අමරතුංග මහතාට අපි කෘතඥ වෙමු."

ජුනි 25 වැනි දින ලිපියෙහි ද අමරතුංග මහතා ටාඔස්‌ කෙනෙකු ගැන සඳහන් කරයි. මා එය නිවැරැදි කර තිබිය දීත් අමරතුංග මහතා ටාඔස්‌ යන්න ම යොදන්නේ ඔහු කිසිවක්‌ ඉගෙනීමට අකැමැති බැවින් විය හැකි ය. චීනයේ තිබූ සංස්‌කෘතිය බටහිර සංස්‌කෘතියට වඩා වෙනස්‌ බව කියන අමරතුංග මහතා චීනයේ වෙනත් කර්මාන්ත ගැන කියන්නේ මෙලෙසිනි. "චීනයේ තිබූ සංස්‌කෘතිය මීට වෙනස්‌ විය. එය කොන්ෆියුසියස්‌ සහ ටාඔස්‌ ධර්මයන් ගෙන් පෝෂණය වි තිබුණේ ය. කරුණාව, දයාව, පරෝපකාරය, සාමය පෙරදැරි කරගත් මේ ධර්මයන් ආක්‍රමණකාරී වෙළෝදාමකට, කර්මාන්තයකට හෝ යටත් විජිත විදේශ ප්‍රතිපත්තියකට ඉඩ නුදුන්නේ ය" වෙළෙඳාම කර්මාන්තය හා යටත් විජිත විදේශ ප්‍රතිපත්තිය දැනුම නො වේ යෑයි අමරතුංග මහතා කියන්නේ ද? දැනුමක්‌ නොමැති ව කරන වෙළෙඳාම කුමක්‌ ද? සිංහලයන්ට වෙළෙඳාම පිළිබඳ දැනුමක්‌ නැත. ඒ හේතුවෙන් ම අද තම උපන් බිමේ ම සිංහලයෝ පීඩාවට පත් වෙති. සිංහල සංස්‌කෘතියෙහි වෙළෙඳාම පිළිබඳ දැනුමක්‌ වර්ධනය වී නැත. විදේශ ප්‍රතිපත්තිය ද සකස්‌ වන්නේ දැනුමක්‌ මත ය. පැහැදිලිව ම අමරතුංග මහතා සංස්‌කෘතිය විදේශ ප්‍රතිපත්තියට බලපාන බව ප්‍රකාශ කරයි. පෙර රජ දවස මෙරට විදේශ ප්‍රතිපත්තිය සැකසුණේ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ය. එහෙත් අද මෙරට විදේශ ප්‍රතිපත්තිය සැකසෙන්නේ බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ඇති දැනුම අනුව ය. මෙරට උගතුන්ට ඒ දැනුම පුනරුච්චාරණය කිරීම හැර වෙනත් දෙයක්‌ කිරීමට නොහැකි ය. අද අපේ ප්‍රශ්න බොහොමයකට මුල් වී ඇත්තේ බටහිර සංස්‌කෘතියෙහි නිර්මාණය කෙරෙන විදේශ ප්‍රතිපත්තිය ය.

අමරතුංග මහතා වෙළෙම හා විදේශ ප්‍රතිපත්තිය විද්‍යාව සමග සම්බන්ධ නැතැයි කීමට ඉඩ ඇත. එහෙත් නිර්මාණාත්මක සාපේක්‌ෂතාවාදයෙහි මූලික ප්‍රවාදය වනුයේ දැනුම ඉන්ද්‍රිය පද්ධතියට (පංෙච්න්ද්‍රියවලට) මනසට හා සංස්‌කෘතියට සාපේක්‌ෂව නිර්මාණය වන බව ය. බටහිර විද්‍යාව යනු බටහිර දැනුමෙහි එක්‌ කොටසක්‌ පමණකි. ඒ කෙසේ වෙතත් කර්මාන්ත විද්‍යාවට සම්බන්ධ නැතැයි කීමට අමරතුංග මහතාට නොහැකි ය. කර්මාන්තවල පදනම ම විද්‍යාව ය. ඒ ඒ රටේ ඇති වී තිබෙන කර්මාන්ත එකිනෙකින් වෙනස්‌ බව ඉතා පැහැදිලි ය. මේ කර්මාන්ත පදනම් වන විද්‍යාව ද එබැවින් රටෙන් රටට සංස්‌කෘතියෙන් සංස්‌කෘතියට වෙනස්‌ වෙයි. අප මැයි 07 වැනි දා ලිපියෙහි සඳහන් කර ඇති ආකාරයට අමරතුංග මහතා කරුණු ඉදිරිපත් කරන්නේ තමන්ට ම ප්‍රතිපක්‌ෂ ව ය.

අමරතුංග මහතා ගේ ජුනි 25 වැනි දින ලිපියෙන් ද කියෑවෙන්නේ ඒ ඒ රටවල විද්‍යාවන් ඒ ඒ කාලවල දී දියුණු වී තිබූ බව ය. එසේ වීමට හේතුව ඇයි? 12 වැනි සියවසේ සිට 15 වැනි සියවස දක්‌වා යුරෝපයේ විද්‍යාව දියුණු නො වූයේ ඇයි? (එය 12 වැනි සියවසේ සිට නො ව එයට ද පෙර කාලයක සිට යෑයි නිවැරැදි විය යුතු ය.) 15 වැනි සියවසෙන් පසු බටහිර යුරෝපයේ චින්තන විප්ලවයක්‌ සිදු විය. ඒ සමඟ වෙනත් සංස්‌කෘතියක්‌ ද උපත ලැබී ය. මා මේ සියලු කරුණු 1986 පමණ සිට කියා ඇත. මගේ අදහස්‌ විවේචනය කිරීමට අවශ්‍ය අයකු ඒ සම්බන්ධව මා ලියා ඇති සියල්ල සොයාගෙන කියවිය යුතු ය. අඩු තරමෙන් පශ්චාත් උපාධි සඳහා සූදානම් වන සිසුන්ට අදාළ ක්‍ෂෙත්‍රයෙහි සාහිත්‍ය සමීක්‌ෂණයක්‌ කළ යුතු යෑයි ඉගැන්වෙයි. එහෙත් මහාචාර්ය අමරතුංග මහතාට එවැනි හික්‌මීමක්‌ නැත. ඒ මහතා ඒ පොත්පත් තබා මේ සංවාදයෙහි මා විසින් පළ කෙරී ඇති ලිපි වත් නො කියවන බව පැහැදිලි ය. එපමණක්‌ නො ව ඒ මහතා තමා ගේ ලිපි වත් නො කියවයි. එබැවින් එක්‌ සතියක එකක්‌ කියන මහාචාර්යවරයා තවත් සතියක ඊට පටහැනි දෙයක්‌ ම කියයි. මම මගේ ජුනි 18 වැනි දා ලිපියෙහි මේ පරස්‌පර ගැන සඳහන් කර ඇත්තෙමි. ඒ ලිපියෙන් කොටසක්‌ උපුටා දක්‌වන්නේ පාඨකයන් ගේ පහසුව සඳහා ය. එහි සඳහන් අදාළ ලිපිය යනු අමරතුංග මහතා ගේ ජුනි 11 වැනි දින ලිපිය ය.

"අපි අමරතුංග මහතා ගේ අදාළ ලිපියෙන් තවත් කොටසක්‌ උපුටා දක්‌වමු. "15 වැනි ශතවර්ෂයේ යුරෝපීය නො වන රටවල විද්‍යාව සමාන දියුණුවක්‌ ලබා තිබුණේ දැයි යන මෝඩ ප්‍රශ්නය නලින් මහතා නැවතත් අසයි. ඒ මෝඩ ප්‍රශ්නය ඔහු අසන්නේ "කවදා වත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි" යෑයි මා පැහැදිලි කර දුන් මගේ ප්‍රධාන තර්කය වැරැදි යෑයි පෙන්වා දීමට ය. ඒ සඳහා ඔහු කළ යුතු ව ඇත්තේ මෙවැනි මෝඩ ප්‍රශ්න ඇසීම නො ව කවදා හෝ කොහේ හෝ ඉන්ද්‍රීය ගෝචර සාක්‌ෂි මත පදනම් නො වූ වෙනත් විද්‍යාවක්‌ තිබූ බව ඔප්පු කිරීම ය. ...... කවදත් කොතැනත් තිබුණේ සැම විද්‍යා සහ තාක්‌ෂණික අංශයක්‌ ම එක සමාන ලෙස දියුණු වූ විද්‍යාවක්‌ බව මා පවසා නැත. මගේ ඉහත සඳහන් ප්‍රධාන තර්කය මඟහැර වෙනත් දේ ඇද ගැනීම බංකොලොත් පිළිවෙතකි. ඔහු ගේ ප්‍රශ්නය මෝඩ එකක්‌ වන්නේ ඒ නිසා ය." එහෙත් ඔහු අප්‍රේල් 30 වැනි දා කියා තිබුණේ මෙයයි. "ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පිහිටා මේ රෝග පිළිබඳ පර්යේෂණය කළ විට ලැබෙන දැනුම ද සමකාලීන ව එක හා සමාන ප්‍රගතියක්‌ පෙන්නුම් කළේ මේ නිසා ය. නොයෙකුත් හේතූන් නිසා මේ විද්‍යාවන් වර්තමානයේ බටහිර දකින්නට ලැබෙන තත්ත්වය තෙක්‌ දියුණු වූයේ නැත. එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ අධිරාජ්‍යවාදීන් ගේ යටතට මේ රටවල් පත් වීම ය." ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පිහිටා මේ රෝග පිළිබඳ පර්යේෂණය කළ විට ලැබෙන දැනුම ද සමකාලීන ව එක හා සමාන ප්‍රගතියක්‌ පෙන්නුම් කළේ මේ නිසා ය. නොයෙකුත් හේතූන් නිසා මේ විද්‍යාවන් වර්තමානයේ බටහිර දකින්නට ලැබෙන තත්ත්වය තෙක්‌ දියුණු වූයේ නැත. එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ අධිරාජ්‍යවාදීන් ගේ යටතට මේ රටවල් පත් වීම ය."

අප්‍රේල් 30 වැනි දා අමරතුංග මහතා ඒ ඒ රටවල විද්‍යාව එක සමාන ප්‍රගතියක්‌ පෙන්නුම් කළ බව කියයි. ඉන්පසු ජුනි 11 වැනි දින එය එසේ නො වේ යෑයි කියා තමන් එවැන්නක්‌ නො කී බවට බොරු ද කියයි. මහාචාර්යවරු තමන් අමාරුවේ වැටෙන විට බොරු කියති. දැන් ජුනි 25 වැනි දා තම අප්‍රේල් 30 ලිපියෙහි කරුණු අනාථ කිරීමට ඒ ඒ රටවලින් නිදර්ශන සපයයි. මෙරට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ගේ තත්ත්වය මෙබඳු බව මම අවුරුදු පනහක අත්දැකීමෙන් දනිමි. ටික කලට වුවත් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු වීම පිළිබඳ වත් 1992-93 කාලයෙහි මේ ඇදුරන් ගේ වැටුප් සටනෙහි නායකත්වය ගැනීම පිළිබඳ වත් මට ඇත්තේ ලඡ්ජාවකි. අමරතුංග මහතාට අනුව මගේ ප්‍රශ්නය මෝඩ ප්‍රශ්නයක්‌ වනුයේ මා ඔහු ගේ ප්‍රධාන තර්කය මඟහැර වෙනත් දේ ඇදගැනීම නිසා ය, එය බංකොළාත් පිළිවෙතක්‌ නිසා ය. මා එසේ කර ඇතැයි සිතුවත් ඒ හේතුවෙන් එය මෝඩ ප්‍රශ්නයක්‌ වන්නේ කෙසේ ද? අමරතුංග මහතා ගේ මෝඩකම කෙතරම් ද යන්න එයින් පැහැදිලි වෙයි. කෙසේ වෙතත් මගේ ඊනියා මෝඩ ප්‍රශ්නවලට අමරතුංග මහතා පිළිතුරු නො දෙයි.

අපි නැවතත් මහනුවර පැවැත්වූ රැස්‌වීම වෙත අවධානය යොමු කරමු. එහි දී මහාචාර්ය තෙන්නකෝන් මහතා ගේ දෙසුමෙන් පසු අමරතුංග මහතාටත් මටත් ඒ දෙසුම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්‌වීමට ආරාධනය කෙරිණි. අමරතුංග මහතා නො සිටි බැවින් මට තනි ව ම ප්‍රතිචාර දැක්‌වීමට සිදු විය. අමරතුංග මහතා එදින එහි සිටියේ නම් තරුණයන් ගේ බසින් කියන්නේ නම් ඇදගෙන නාන්නට තිබිණි. ඔහු නො සිටීම ඔහුට යහපතක්‌ විය. මහාචාර්ය තෙන්නකෝන් මහතා ගේ දේශනයට ප්‍රතිචාර දැක්‌වීම මට අපහසු නො වූයේ ඒ මහතා හා මා අතර පරස්‌පරයක්‌ නො තිබූ බැවිනි. මේ පිළිබඳ වැඩි විස්‌තර අවස්‌ථාව ලැබෙන පරිදි ඉදිරිපත් කරමි. කෙසේ වුවත් අමරතුංග මහතා මහත් වුවමනාවෙන් බලාපොරොත්තු වූ දෙයක්‌ එහි දී සිදු නො විණි. ඔහු රැස්‌වීමේ සංවිධායකයන් ද යම් පමණකට බිය ගන්වා තිබුණේ මා තෙන්නකෝන් මහතා සමග රංඩුවක්‌ (අමරතුංග මහතා ගේ බසින් ම) ඇති කර ගනී වි කියා ය. එහෙත් එවැනි කිසිවක්‌ එහි දී සිදු නො විණි. මහාචාර්ය තෙන්නකෝන් මහතා මා සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය පිළිබඳ කී සියල්ල අනුමත කළේ ය. අමරතුංග මහතා මා සමග ප්‍රසිද්ධ විවාදයකට නො එළඹෙන්නේ රංඩු කිරීමට නොහැකි බව කියමිනි. එහෙත් ඔහුට ඇත්තේ විවාදයෙන් ඔහු පරදින බව පිළිබඳ බිය මිස වෙනත් බියක්‌ නො වේ. අමරතුංග මහතා අඩු තරමෙන් බටහිර වෛද්‍ය විද්‍යා පීඨයක ආචාර්ය මහාචාර්යවරුන් ඉදිරියේ කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ දේශනයක්‌ පැවැත්වීමට මට අවස්‌ථාව ලබා දෙන්නේ ද? මෙය මගේ ඉල්ලීමක්‌ නොව අමරතුංග මහතා කළ අභියෝගයක්‌ පිළිගැනීමක්‌ බව අමරතුංග මහතාට කෙසේ වෙතත් පාඨකයන්ට අමතක වී ඇතැයි නො සිතමි.

නලින් ද සිල්වා