logo3.gif (702 bytes)

HOME


විද්‍යාව සහ සංස්‌කෘතිය අතර සම්බන්ධය

(2 වැනි කොටස)

මේලිපියේ පළමු කොටසෙන් පෙන්වා දුන්නේ මිනිස්‌ සමාජය තුළ සංස්‌කෘතිය වර්ධනය වන ආකාරය සහ විද්‍යාව ඉන් නිදහස්‌ වීමේ අවශ්‍යතාව විය. මේ කරුණු තවදුරට සාකච්ඡා කිරීම මේ ලිපියේ 2 වැනි කොටසේ අරමුණ වේ.

විද්‍යාත්මක ක්‍රමවේදය තුළ සංස්‌කෘතියට ඉඩක්‌ නැත. ඥාන විභාගය තුළට බටහිර චින්තනයේ අංගෝපාංග කිසිවක්‌ ඇතුළු වී නැත. එවැනි අංගෝපාංග ඇතුළු වීම වැළැක්‌වීමට නිතර තැත් කරන විද්‍යාත්මක ක්‍රමවේදය ඊට ඉඩ නො දේ. විද්‍යාත්මක ක්‍රමවේදය තුළ බටහිර චින්තනය ගැබ් වී ඇතැයි පවසන අය ඉන් අදහස්‌ කරන්නේ විද්‍යාව සංස්‌කෘතියෙන් වෙන් කිරීමට ගන්නා තැත බටහිර චින්තනයේ බලපෑමක්‌ ය යන්න විය හැකි ය. මිනිස්‌ ක්‍රියාවන් වෙන් කොට සැලකීම නූතනවාදී පිළිවෙතක්‌ බව පැවසේ. සංස්‌කෘතික අංගෝපාංග එකිනෙකෙන් ද විද්‍යාව සංස්‌කෘතියෙන් ද වෙන් කොට සැලකීම නූතනවාදයේ ප්‍රධාන ලක්‌ෂණයකි. සංස්‌කෘතික අංගෝපාංග කෙසේ වෙතත් විද්‍යාව බැඳීම්වලින් නිදහස්‌ වීම අත්‍යවශ්‍ය කාරණයකි. මේ අදහස බටහිර චින්තනයේ එක්‌ අහිතකර ලක්‌ෂණයක්‌ යෑයි කියා නො පිළිගෙන සිටීම මෝඩකමකි. ඒ මත පදනම් ව විද්‍යාව අහක දැමීම ඒ මෝඩකම තවත් ඉදිරියට ගෙන යැමකි. විද්‍යාව සහ සංස්‌කෘතිය එකට බැඳී පැවතිය යුතු ය යන්න තීරණය කළ යුත්තේ එසේ වීම විද්‍යාවට හොඳ ද නරක ද යන්න මත පදනම් ව මිස එය බටහිර හෝ නැෙ`ගනහිර චින්තනයට අනුකූල දැයි සිතා නො වේ. බටහිර "අරහන්" වූ පමණින් මෙවැනි අගතිගාමී තීන්දු තීරණ නො ගත යුතු ය. මෝඩකමට සීමාවක්‌ තිබිය යුතු ය.

ආගම, කලාව, සාහිත්‍යය සංස්‌කෘතියක ප්‍රධාන ලක්‌ෂණයන් වන්නේ ය. මේ ලක්‌ෂණයන් භාව්‍ය හැඟීම්වලට ඉඩ දී ඒවායින් පෝෂණයක්‌ ලබා ඇති ඒවා වන්නේ ය. විද්‍යාව තුළ භාව්‍ය හැඟීම්වලට ඉඩක්‌ නැත. විද්‍යාත්මක ක්‍රමවේදය මේ සැම දෙයින් ම - ආගම, කලාව, සාහිත්‍යයෙන් වෙන් වී නිදහස්‌ ව ක්‍රියාකාරී විය යුතු ය. විද්‍යාත්මක ක්‍රමවේදය සහ සංස්‌කෘතිය අතර ඇති සබඳතාව පුළුවන් තරම් දුරස්‌ වූ එකක්‌ විය යුතු ය. එහෙත් විද්‍යා භාවිතය නැත හොත් විද්‍යාව ම`ගින් ලබාගත් දැනුම පාවිච්චි කරන්නේ කුමක්‌ සඳහා ද යන්න තීරණය කිරීමේ දී සංස්‌කෘතියේ බලපෑම තිබිය හැකි ය. විද්‍යාව කුමක්‌ සඳහා භාවිත කළ යුතු ද යන තීරණය ගැනීමේ දී චින්තනය, ආගම, සාහිත්‍යය සහ කලාව බලපෑමක්‌ කළ හැකි ය. මෙය සිදු විය යුතු ය. උදාහරණක්‌ ලෙස න්‍යෂ්ටික බලය භාවිත කළ යුත්තේ බෝම්බ සෑදීමට ද, ශක්‌තිය ලබාගැනීමට ද, නැත්නම් රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ද යන්න තීරණය කිරීමේ දී මෙවැනි බලපෑමි එල්ල වීම සිදු විය යුතු ය. චින්තනය තුළ තෘෂ්ණාව අරක්‌ගෙන ඇත්නම් කරුණාව අඩු නම් බෝම්බ සෑදීම වැඩි වන්නේ ය. රෝගවලට ප්‍රතිකාර කිරීම අඩු වන්නේ ය. සංස්‌කෘතිය ම`ගින් මෙවැනි බලපෑමක්‌ සිදු කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය මත නොව විද්‍යාව භාවිත කර ලබාගන්නා ප්‍රයෝජනය කුමක්‌ දැයි යන තීරණය මත ය. මේ බලපෑමෙන් විද්‍යාත්මක ක්‍රමවේදයේ කිසි ම වෙනසක්‌ සිදු වන්නේ නැත. විද්‍යාත්මක ක්‍රමවේදයේ පදනම (ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි) වෙනස්‌ වන්නේ නැත. විද්‍යාව සත්‍ය ගවේෂණයක්‌ නම් සංස්‌කෘතිය හෝ එහි අංගෝපාංග විසින් එහි ක්‍රමවේදය හෝ පදනම වෙනස්‌ කිරීම නො කළ යුතු දෙයකි. එසේ කළ හොත් විද්‍යාවේ විශ්වසනීයත්වය දුර්වල වන්නේ ය. විද්‍යාත්මක ක්‍රමවේදයේ නිතිරීති සහ ක්‍රමෝපායන් තව තවත් දියුණු කරන්නේ පෞද්ගලික සමාජය හෝ සංස්‌කෘතික බලපෑම් අවම කිරීමේ අවශ්‍යතාව පෙරදැරි කරගෙන ය. වෙනස්‌ සංස්‌කෘති ඇති රටවල් කිහිපයක පර්යේෂණ මධ්‍යස්‌ථාන එක ම පර්යේෂණය කරන්නේ මෙවැනි අරමුණු ඉටු කරගැනීම පිණිස ය. එසේ සිදු කරන පර්යේෂණ ම`ගින් ලබාගන්නා ප්‍රතිඵල සමානත්වයක්‌ දරන්නේ නම් සංස්‌කෘතික බලපෑම අවම බව පෙන්නුම් කරයි. සංස්‌කෘතියේ බලපෑම සිදු වන්නේ, සිදු විය යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදය විසින් දැනුම සොයා ගත්තාට පසුව මිස එය සිදු වන විට නො වේ.

විද්‍යාත්මක ක්‍රමවේදය මත සංස්‌කෘතියේ බලපෑමක්‌ දැනුම සොයාගන්නට පෙර අවස්‌ථාවේ ඇති කරන්නේ දැයි සොයා බලමු, ප්‍රධාන සංස්‌කෘතිකාංග එකිනෙක ගෙන බලමු, භාෂාව විසින් දැනුම සොයාගන්නට පෙර විද්‍යාත්මක ක්‍රමවේදය මත බලපෑමක්‌ ඇති කළ හැකි බවට සාධක නොමැත. ආගමට එසේ කළ හැකි ද? මෙය නිගමනය වන්නේ ආගමේ ස්‌වභාවය සහ ලබාගන්නා දැනුම හිතකර හෝ අහිතකර ක්‍රියාවකට යොදවන්නේ ද යන්න අනුව ය. ආගම තුළ ඇත්තේ සීමිත කරුණාවක්‌ නම් අහිතකර ක්‍රියාවක්‌ සඳහා භාවිත කළ හැකි දැනුමක්‌ ලබාගැනීමට එවැනි ආගමක්‌ විද්‍යාත්මක ක්‍රමවේදයට ඉඩ දෙනවා විය හැකි ය. ආගම පූර්ණ වූ කරුණාවෙන් යුක්‌ත වූයේ නම් එවැනි දේකට විරුද්ධ වීමට ඉඩ ඇත. හිතකර දෙයකට යෙදවිය හැකි දැනුමක්‌ ලබාගැනීමට ඕනෑම ආගමක්‌ විරුද්ධ නොවනු ඇත.

දැනුම ලබාගන්නට පෙර අවස්‌ථාවේ චින්තනය විසින් විද්‍යාත්මක ක්‍රමවේදය මත කුමන අන්දමේ බලපෑමක්‌ ඇති කළ හැකි ද? චින්තනය වර්ධනය වී ඇත්තේ ආධ්‍යාත්මයේ පෝෂණය ලද ජීවිත දැක්‌ම තුළිsනි. අයිති කරගැනීමේ ප්‍රවණතාව, තෘෂ්ණාව, කෲරත්වය, වැඩි වූ චින්තනයක්‌ මගින් අහිතකර ක්‍රියාවන් සඳහා භාවිත කළ හැකි දැනුමක්‌ ලබාගැනීමට විරුද්ධ නො වන්නට ඉඩ ඇත. බටහිර චින්තනය තුළ අයිති කරගැනීමේ ආකල්ප බොහෝ ලෙසින් වර්ධනය වී ඇත. ආසියාතික රටවල එසේ නොමැත. අහිතකර ක්‍රියාවන්ට යෙදිය හැකි විද්‍යාත්මක සොයාගැනීම් සිදු කිරීමට පෙර ඊට විරුද්ධත්වයක්‌ දැක්‌වීමට බටහිර චීන්තනය ඉදිරිපත් නො වනවා ඇත.

චීනයේ විද්‍යාත්මක ක්‍රමවේදය සහ විද්‍යා භාවිතය කෙසේ සිදු වී දැයි සොයා බැලූ විට විද්‍යාව සහ සංස්‌කෘතියේ ඇති සබඳතාව හොඳින් පැහැදිලි කර ගත හැකි ය. 17 වැනි ශතවර්ෂය දක්‌වා විද්‍යාව සහ තාක්‌ෂණය අතින් චීනය බොහෝ සෙයින් ඉදිරියෙන් සිටියේ ය. 12 වැනි ශත වර්ෂයේ සිට 15 වැනි ශත වර්ෂය දක්‌වා යුරෝපීය තාක්‌ෂණික දියුණුව අඩපණ වී තිබිණි. මේ කාලයේ අරාබියේ ඥාන ගවේෂණය ඉතා ම ඉහළ මටිටමක පැවැතියේ ය. සැම විද්‍යා අංශයක ම අදහස්‌ නව සොයාගැනීමි ග්‍රන්ථාරූඪ කරන ලදී. මේ පොත්පත් මා පෙර ලිපියක සඳහන් කළ පරිදි ලතින් භාෂාවට පරිවර්තනය වී යුරෝපයට සංක්‍රමණය විය. නිකොලස්‌ කොපර්නිකස්‌, හිපොක්‍රටිස්‌, ගේලන් වැනි විද්‍යාඥයන්ට අදහස්‌ මතවාද සහ දැනුම ලැබුණේ මේ පොත්පත්වලිනි. මේ ඥාන සංක්‍රමණයේ ප්‍රතිඑලයක්‌ වශයෙන් යුරෝපයේ විශ්වවිද්‍යාල ද විද්‍යාව ද තාක්‌ෂණය ද ශීඝ්‍රයෙන් දියුණු විය. ඔවුන් ගේ කර්මාන්තයන් ද වෙළෝදාම ද යටත් විජිත ආක්‍රමණයන් ද තාක්‌ෂණික දියුණුවට රුකුලක්‌ විය. ඔවුන් ගේ සංස්‌කෘතිය තුළ තිබූ තෘෂ්ණාව සහ කරුණාව අඩුකම විසින් අන් රටවල් යටත් කරගැනීමේ ප්‍රයත්නයට ඉඩ දෙන ලදී. චීනයේ තිබූ සංස්‌කෘතිය මීට වෙනස්‌ විය. එය කොන්පියුසියස්‌ සහ ටාඔස්‌ ධර්මයන් ගෙන් පෝෂණය වී තිබුණේ ය. කරුණාව, දයාව, පරෝපකාරය, සාමය පෙරදැරි කරගත් මේ ධර්මයන් ආක්‍රමණකාරී වෙළෝදාමකට, කර්මාන්තයකට හෝ යටත් විජිත විදේශ ප්‍රතිපත්තියකට ඉඩ නුදුන්නේ ය. මේ නිසා 16-17 වැනි ශත වර්ෂවල දී යුරෝපයට චීනය අභිබවා යැමට පුළුවන් විය. සංස්‌කෘතිය විද්‍යාව මත බලපෑමක්‌ කරන්නේ මේ අන්දමට ය. චීනය අභිබවා යුරෝපය දියුණු වූයේ චීනයේ විද්‍යාව වෙනස්‌ විද්‍යාවක්‌ වූ නිසා නො වේ. චීනයේ සංස්‌කෘතිය වෙනස්‌ වූ නිසා ය. විද්වත් නිඩහැම් ඔහු ගේ කෘතිවලින් මේ බව පෙන්වා දී ඇත. නලින් මහතා කියන්නේ චීනයේ තිබුණේ බටහිරෙන් වෙනස්‌ වූ විද්‍යාවක්‌ බව ය. එය ඔප්පු කරන්නට ඔහු සාක්‌ෂි ඉදිරිපත් කොට නැත. කොතැනත් කවදත් තිබුණේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ එක ම විද්‍යාවකි. සංස්‌කෘතියට විද්‍යාත්මක ක්‍රමවේදය වෙනස්‌ කරන්නට හැකියාවක්‌ නැත. මේ නිසා ය චීනයේ සංස්‌කෘතිය බටහිර සංස්‌කෘතියෙන් වෙනස්‌ වූ නමුත් විද්‍යාව වෙනස්‌ නො වූයේ.

මෙහි විරුද්ධ පැත්ත සලකා බලමු. එනම් විද්‍යාවට සංස්‌කෘතිය වෙනස්‌ කරන්නට හැකියාවක්‌ ඇති ද? මිනිසා ගේ ජීවිතයේ ප්‍රාථමික අවශ්‍යතා, ද්වීතීයික අවශ්‍යතා, ආයුෂ කාලය පමණක්‌ නො ව සිතුම් පැතුමි පවා වෙනස්‌ කිරීමට විද්‍යාවට හැකියාවක්‌ ඇත. උදාහරණයක්‌ ලෙස රෝග විනිශ්චය, ප්‍රතිකාරය, නිවාරණය, දියුණු වන්නේ විද්‍යාව මාර්ගයෙනි. මිනිසා ගේ නීරෝගිකම, ආයුෂ කාලය වැඩි වන විට සිතුමි පැතුම්, භාව්‍ය හැඟීම් පමණක්‌ නො ව ජීවිත දැක්‌ම සහ චින්තනය ද වෙනස්‌ වන්නට ඉඩ ඇත. මිනිසා ගේ තෘෂ්ණාව වැඩි කරවන විදියේ නිපදවීම් සිදු කිරීමට විද්‍යාව යොදා ගත හැකි ය.

විද්‍යාත්මක දැනුම සොයාගැනීමේ දී සංස්‌කෘතිය විසින් යම් කිසි අත්‍යවශ්‍ය කර්තව්‍යයක්‌ සිදු කෙරෙන්නේ යෑයි නලින් මහතා පවසයි. එය වැරැදි ය. සංස්‌කෘතියට එවැනි දෙයක්‌ කළ නොහැකි ය. විද්‍යාත්මක දැනුම සොයාගන්නට පෙර හෝ පසුව එම දැනුම භාවිත කළ යුත්තේ කුමක්‌ පිණිස ද යන්න සංස්‌කෘතිය විසින් නිගමනය කෙරෙන්නට ඉඩ ඇත. එසේ ම සංස්‌කෘතිය වෙනස්‌ කරන්නට විද්‍යාවට හැකියාවක්‌ ඇත. විද්‍යාව සහ සංස්‌කෘතිය අතර ඇත්තේ මෙවැනි සම්බන්ධතාවකි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc