logo3.gif (702 bytes)

HOME


විද්‍යාව සහ සංස්‌කෘතිය අතර සම්බන්ධය

(1 වැනි කොටස)

විද්‍යාත්මක දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය අත්‍යවශ්‍ය කාර්යයක්‌ කරන බව නලින් මහතා පවසා ඇත. මෙය වැරැදි බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණ වන්නේ ය. මෙය සිදු වන්නේ කෙසේ දැයි ඒ මහතා පැහැදිලි කොට නැත. කෙසේ නමුත් මා පෙන්වා දෙන්නට යන්නේ සංස්‌කෘතිsයේ බලපෑම ඇති විය හැක්‌කේ විද්‍යාත්මක දැනුම සොයා ගන්නට පෙර හෝ පසුව එය කුමක්‌ පිණිස භාවිත කරනවා දැයි යන්න නිගමනය කිරීමට මිස එම සොයාගැනීමේ ක්‍රමවේදය මත නො වන බව ය. විද්‍යාව සත්‍ය ගවේෂණය වන්නේ ය. ජාන ම`ගින් උත්පත්තියෙන් උරුම වූ විපරම් කිරීමේ වුවමනාව සහ හැකියාව විසින් මිනිසා තම ජීවිතයේ සහ ස්‌වභාවධර්මයේ පවතින ක්‍රියාදාමයන් සොයාබැලීමට යොමු කරන ලදී. මිනිසා එය සිදු කළේ තම ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබාගත් සාක්‌ෂි මත පදනමි වීමෙන් ය. එය කොතැනත් කවදත් සිදු වූයේ ය. එය මිනිසා ගේ විද්‍යාව විය. එය වර්ධනය වී අද පවතින නවීන විද්‍යාව ලෙස හඳුන්වන ක්‍රමවේදය දක්‌වා දිගු ගමනක්‌ පැමිණ ඇත. මෙය කෙසේ සිදු වූයේ දැයි මගේ පෙර ලිපිවල විස්‌තරාත්මකව සඳහන් වී ඇත (බලන්න-විදුසර-19.02.14 - 26.03.14).

සංස්‌කෘතිය යනුවෙන් හැඳින්වෙන්නේ මිනිසා ගේ සාමූහික ක්‍රියාවන්හි එලය වන්නේ ය. මේ ලෙස නිර්මාණය වන දේවලින් ප්‍රධාන වන්නේ භාෂාව, ආගම, කලා, සහිත්‍ය, චාරිත්‍ර වාරිත්‍ර සහ ජීවිත දැක්‌ම ය. සාමූහික ලෙස මේ දේවල් නිර්මාණය වන නිසා මිනිස්‌ සමාජය තුළ අනන්‍යාතාව මුල් කරගත් හැඟීම් ද (sense of identity) ජනනය වන්නේ ය. මේ අනන්‍යතාව මුල් වූ හැඟීම ද සංස්‌කෘතියේ වැදගත් ලක්‌ෂණයක්‌ ලෙස සලකනු ලැබේ. මිනිසා ගේ කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් අනන්‍යතාව පිළිබිඹු කරන නිසා ඒවා ද සංස්‌කෘතික අංගෝපාංග ලෙස සැලකේ.

සංස්‌කෘතිය නිර්මාණය වීම පිණිස ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නේ මිනිසා ගේ ඥාන වර්ධනය, භාවාත්මක හැඟීම් සහ ජීවත් වන පරිසරය වන්නේ ය. භාෂාව මුලින් ම බිහි වූයේ අප්‍රිකාවේ සහරාවේ ජීවත් වූ හෝමෝ-සේපියන්ස්‌ (Homo –sapiens) අතරමධ්‍ය ගල් යුගයේ දී බව සොයාගෙන ඇත. එය සිදු වූයේ ස්‌වභාවධර්මයේ ඇති නොයෙකුත් ශබ්ද, සතුන් ගේ සහ මිනිසුන් ගේ ශබ්ද අනුකරණය කිරීමෙන් සහ ඒවා වෙනස්‌ කොට සකසාගැනීමෙන් බව චාල්ස්‌ ඩාවින් පවසා ඇත. තවත් ප්‍රධාන සංස්‌කෘතික අංගයක්‌ ලෙස සලකන ආගම බිහි වූයේ ද ඥානය සහ කරුණාව දයාව වැනි මූලික හැ`ගීම් සහ පරිසරයේ බලපෑම නිසා ය. සාමූහික ආගමක්‌ බිහි වීම පිණිස භාෂාව අවශ්‍ය වේ. අනෙකුත් සංස්‌කෘතික අංගෝපාංග වර්ධනය වීම පිණිස ද සන්නිවේදනය සඳහා භාෂාව අවශ්‍ය විය. මේවායේ වර්ධනය මිනිසා ගේ ඥානයේ වර්ධනයත් මොළයේ කෝටෙක්‌ස්‌ නමැති කොටසේ වර්ධනයත් සමග සම්බන්ධ වී ඇත. පරිසරයේ යහපත් ලක්‌ෂණ මෙන්ම අයහපත් ලක්‌ෂණ ද ආගම බිහි වී වර්ධනය වීමට හේතු විය. චාරිත්‍ර වාරිත්‍ර ද මේ ලෙස ම වර්ධනය විය. මිනිසා ගේ සාමූහික ජීවිත දැක්‌ම බිහි වූයේ මිනිස්‌ ඥානය සහ සහජයෙන් ලැබුණු හොඳ සහ නරක ලෙස සැලකෙන ගතිගුණ එනම් කරුණාව, දයාව, පරෝපකාරය, තෘෂ්ණාව, ක්‍රෝධය, කෲරත්වය, ආත්මාර්ථකාමී බව වැනි ගුණාංගවල බලපෑම හේතු කොටගෙන ය. මේ ජීවිත දැක්‌ම සහෝදර මිනිසා පිළිබඳව ද සතුන් සිව්පාවන් පිළිබඳව ද ස්‌වභාවධර්මයේ වස්‌තූන් සහ ක්‍රියාදාමයන් පිළිබඳව ද ඇති වූ ආකල්ප යෑයි කිව හැකි ය. මිනිසා තම සහෝදර මිනිසුන් සමග ද පරිසරය සමග ද ඇති කරගත් සම්බන්ධතාව වර්ධනය වූයේ මේ ජීවිත දැක්‌මේ බලපෑමට අනුව ය. ජීවිත දැක්‌මේ වර්ධනයට බලපෑ මිනිස්‌ ගුණාංග බොහොමයක්‌ ජාන ම`ගින් ලැබුණු ඒවා විය. එම නිසා ඒවා මිනිස්‌ පරිණාමය සමග කිට්‌ටු සම්බන්ධතාවක්‌ පිළිබිඹු කරයි. සත්ත්වයන් තුළ ද මේ ගුණාංග අඩු වැඩි වශයෙන් පවතින බව දක්‌නට ලැබේ. ආහාරපාන, ඇඳුම් පැළඳුමි වැනි වැදගත්කමින් අඩු සංස්‌කෘතිකාංග බිහි වූයේ ද මිනිස්‌ ඥානය සහ පරිසරයේ බලපෑම හේතු කොටගෙන ය. උෂ්ණ කලාපයක ජීවත් වන මිනිසුන් ගේ සහ ශීත කලාපයක ජීවත් වූ මිනිසුන් ගේ ආහාරපාන ඇඳුමි පැළඳුම් ඉඳුම් හිටුම් වෙනස්‌ විය.

සංස්‌කෘතියක තිබෙන අනගි ලක්‌ෂණයක්‌ වන්නේ එහි තුළ වර්ධනය වන කලාව සහ සාහිත්‍යය ය. සංගීතය, නැටුම්, ගැයුමි, වැයුම්, චිත්‍ර, කාව්‍ය, නවකතා, කෙටිකතා වැනි මිනිසා ගේ භාව්‍ය හැඟීම් ප්‍රකාශ කරන කාර්යයන් මිනිසා සත්ත්වයන් ගෙන් වෙන් කොට උත්තම ගණයට ගෙන යන දේ වන්නේ ය. මිනිසා ගේ ඥානය වර්ධනය වූයේ මොළයේ කෝටෙක්‌ස්‌ (cortex) යන කොටසේ පරිමාව මිනිසාට කිට්‌ටු ම සිවුපාවා වන චිම්පන්සියා ගේ මෙන් තුන් ගුණයක්‌ වැඩි වීමත් සමග ය. ඉහත සඳහන් කලාත්මක හැකියාවන් වර්ධනය වූයේ ද එහි ප්‍රතිඑලයක්‌ ලෙසිනි. මිනිසා ගේ ආධ්‍යාත්මික ගුණ වගාවට ද ආගම හැරුණු කොට කලාව සහ සාහිත්‍යය මහත් සේ ඉවහල් විය. සංස්‌කෘතියක තිබිය යුතු මහැඟි ගුණයක්‌ වන්නේ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පෝෂණය වූ ජීවිත දැක්‌මක්‌ වර්ධනය කරගැනීමේ හැකියාව ය. මෙවැනි ජීවිත දැක්‌ම ජාතියක චින්තනය ලෙස ද හැඳින්විය හැකි ය. මෙවැනි ජාතික චින්තනයක්‌ ගොඩනැෙ`ගන්නේ ඉහත සඳහන් කළ පරිදි වර්ධනය වූ අංකුර සංස්‌කෘතියක්‌ තුළ මිනිසා ගේ ඥානය, ආගම, හොඳ ගතිගුණ, සහ කලාව හේතු කොට බිහි වූ අධ්‍යාත්මික පෝෂණය ලද ජීවිත දැක්‌මක්‌ තුළිනි. පළමුව ඇත්තේ අංකුර සංස්‌කෘතියකි. එහි තුළ ඇති අංකුර ජීවිත දැක්‌ම ආධ්‍යාත්මික ගුණයන්හි පෝෂණය ලැබ ජාතික චින්තනයක්‌ බවට වර්ධනය වේ.

මෙවන් ජාතික චින්තනයක්‌ පිළිබිඹු කරන සංස්‌කෘතියක්‌ පරිසරය සහ ස්‌වභාවධර්මය දෙස බලන්නේ මොන ආකාරයට ද? පරිසරය පරිහරණය කරන්නේ මොන ආකාරයට ද? විද්‍යාව භාවිත කරන්නේ මොන ආකාරයට ද?

මිනිසා ස්‌වභාවධර්මය පාලනය කරගත යුතු ද? පරිසරය අත්පත් කරගත යුතු ද? නැතිනම් මිනිසා ස්‌වභාවධර්මය සමග සහජීවනයෙන් ජීවත් විය යුතු ද? පරිසරය ආරක්‌ෂා කරගෙන ඉන් ප්‍රයෝජන ගත යුතු ද? මෙවැනි ප්‍රශ්නවලට උත්තර නිගමනය වන්නේ චින්තනයේ ස්‌වභාවය අනුව ය. චින්තනය බිහි වී වැඩුණේ පරිසරයේ බලපෑමට ද යටත් ව ය. පරිසරයේ කෲරත්වයක්‌ තිබුණා නමි එය යටපත් කිරීමට අවශ්‍ය වන්නට පුළුවන. පරිසරයේ ශීතල දේශගුණය අධික ලෙස වැඩි වූවා නම් එය මර්දනය කිරීමට තාපය වැඩියෙන් නිපදවන්නට අවශ්‍ය වේ. තාපය වැඩියෙන් නිපදවීමට අවශ්‍ය ශක්‌තිය පරිසරයෙන් ම ලබාගත යුතු වේ. එවිට පරිසරයට යම්කිසි හානියක්‌ සිදු වන්නට ඉඩ ඇත. මෙවැනි අවස්‌ථාවක මිනිසා ගේ ආකල්පය වන්නේ ස්‌වභාවධර්මය පාලනය කිරීම සහ පරිසරය හානිකර ලෙස පරිහරණය කිරීම ය. යහපත් දේශගුණයක්‌ සහිත කලාපයක වැඩුණු සංස්‌කෘතියක්‌ තුළ මේ ලෙස හානිකර වූ ආකල්ප සහිත චින්තනයක්‌ ගොඩනැෙ`ගන්නේ නැත. විනාශකාරී ලෙස අධික වූ ශීත හෝ ග්‍රීෂ්ම කලාපවල වැඩුණු සංස්‌කෘතියක්‌ තුළ පරිසර හිතකාමී චින්තනයක්‌ හෝ ආගමක්‌ හෝ ගොඩනැ`ගීමේ ප්‍රවනතාව අඩු ය.

ක්‍රිස්‌තියානි ධර්මය මැදපෙරදිග ආරම්භ වුව ද ක්‍රිස්‌ත්‍රියානි සංස්‌කෘතිය වර්ධනය වූයේ යුරෝපයේ ශීත කලාපවල ය. ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය පරිසර හිතකාමි නො වූයේ ප්‍රධාන වශයෙන් මේ නිසා ය. හින්දු ආගම සහ බුදු දහම බිහි වූයේ සමශීතෝෂ්ණ කලාපීය රටක ය. පරිසරය යහපත් වූ මේ රටවල වැඩුණු සංස්‌කෘතිය සහ චින්තනය පරිසර හිතකාමි වූයේ ය. ස්‌වභාවධර්මය පාලනය කරන්නට හෝ පරිසරය අහිතකර ලෙස පරිහරණය කිරීමේ අවශ්‍යතාවක්‌ තිබුණේ නැත. ඒ වෙනුවට පරිසරය සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට මිනිසාට හැකි විය. මිනිසා ගේ හොඳ සහ නරක ලෙස සැලකෙන ගුණාංග සැම සංස්‌කෘතියක ම අඩු හෝ වැඩි වශයෙන් පවතී. ජාන මාර්ගයෙන් උත්පත්තියෙන් උරුම වූ මේ ගුණාංග කාටත් පොදු වූවාට ඒවායේ අඩු හෝ වැඩි වීම ර`දා පැවතුණේ සංස්‌කෘතිය මත ය. යහපත් පරිසරයක වැඩුණු සංස්‌කෘතියක්‌ තුළ මේ ගුණාංග යහපත් බවට හැරීම ස්‌වාභාවික ය. උදාහරණයක්‌ ලෙස ගස්‌වැල් අඩු කලාපයක ජීවත් වන මිනිසුන් ගේ ප්‍රධාන ආහාරය වන්නේ මස්‌ මාළු ය. සතුන් ගේ මස්‌ මාළු පමණක්‌ නො ව උන් ගේ ලොම්, හම වැනි කොටස්‌ ද ශීතලෙන් බේරීමට පාවිචිචි කළේ ය. සත්ත්ව කරුණාව මේ මිනිසුන් ළඟ ඇතැයි සිතිය නොහැකි ය. ඔවුන් ගේ කරුණාව සීමිත වූවක්‌ විය හැකි ය. ඔවුන් ගේ ආගම තුළ ද සත්ත්ව කරුණාව තිබිය නොහැකි ය. ආගම තුළ ද ඇත්තේ සීමිත වූ කරුණාවකි. යහපත් වූ පරිසරයක වර්ධනය වූ සංස්‌කෘතියක්‌ තුළ කරුණාව ඊට වඩා දියුණු තත්ත්වයක තිබිය හැකි ය.

තෘෂ්ණාව ද මිනිසා තුළ ජාන මගින් සහජයෙන් පිහිටා ඇති ගුණාංගයකි. මේ අංකුර තෘෂ්ණාව පිටස්‌තර බලපෑම් නිසා වර්ධනය විය හැකි ය. ස්‌වභාවධර්මය පාලනය කරන්නට, පරිසරය අත්පත් කරගන්නට අවශ්‍යතාවක්‌ වර්ධනය වූ රටක සංස්‌කෘතිය තුළ ඇති තෘෂ්ණාව එසේ නොමැති රටකට වඩා වැඩි විය හැකි ය. එවැනි රටක ආගම වුව ද තෘෂ්ණාව අඩු කරන්නට කියා දේශනා කරන්නේ නැත.

ඡේසුස්‌වහන්සේ ගේ ක්‍රිස්‌ත්‍රියානි ධර්මය කරුණාව මුල් කරගත් වූ ආගමක්‌ විය. එනමුත් යුදෙව් බලපෑම් සහ ජෝන් කැල්වින් නමැති පියතුමා ගේ අදහස්‌ නිසා තෘෂ්ණාව ක්‍රිස්‌ත්‍රියානි සංස්‌කෘතිය තුළට ඇතුළු විය. ජෝන් කැල්වින් පියතුමා පැවසුවේ පොහොසත් අය ගුණවත් අය ද වූ නිසා ඔවුන් ධනය ලැබීමට වඩා සුදුසු බව ය. ධනවාදයට රුකුලක්‌ වූයේ දේව ආශිර්වාදයක්‌ බඳු වූ මේ කියමන ය. ධනවාදය තෘෂ්ණාව මත යෑපෙන නිසා ක්‍රිස්‌ත්‍රියානි සංස්‌කෘතිය තුළ තෘෂ්ණාව අධික ලෙස වර්ධනය විය. යුදෙවිවන් සැම දා හිරිහැරයට ලක්‌ වූ ජාතියක්‌ විය. විරුද්ධවාදීන් කෙරෙහි ඔවුන් ගේ ආකල්පය වූයේ ඇසට ඇසක්‌, දතට දතක්‌ (වියුක්‌ත නො වූ) යන්න ය. ක්‍රිස්‌ත්‍රියානි සංස්‌කෘතිය තුළ දැන් දකින්නට ලැබෙන්නේ අධික තෘෂ්ණාව ය. එසේ ම කරුණාව අඩු බව ද පෙනෙන්නට ඇත. ඔවුන් මුළු ලොව ම නතු කරගැනීමට තැත් කරන්නේ මේ නිසා ය.

විද්‍යාව සැම විට ම පදනම් වූයේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත ය. කවදත් කොතැනත් එය එසේ ම විය. වෙනත් විද්‍යාවක්‌ කවදත් කොතැනක වත් තිබුණේ නැත. මෙය නො පිළිගන්නා, හැම දෙයක්‌ ම දන්නවා යෑයි සිතා සිටින, උඩඟු අඳබාලයන් වෙන විද්‍යාවක්‌ කවදා හෝ කොතැනක හෝ තිබණු බවක්‌ මෙතෙක්‌ පෙන්වා දී නැත. මා ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනමි වූ විද්‍යාවක්‌ ගැන නන් දොඩවන බව ඔවුන් පැවසුව ද වෙන විද්‍යාවක්‌ ඇත්නම් පෙන්වා දෙන ලෙස කළ අභියෝගයට පිළිතුරක්‌ නැත. ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව සංස්‌කෘතියේ බලපෑම්වලින් ඈත් කිරීමට විද්‍යාඥයන් විශේෂ වූ ප්‍රයත්නයන් දරන්නේ සංස්‌කෘතිය වනාහි භාව්‍ය හැඟීම්වලට ඉඩ දෙන ඒවායින් පෝෂණය ලබන සාමූහික ක්‍රියාවන්හි ඵලයක්‌ වන හෙයිනි. විද්‍යාඥයා ගේ සංස්‌කෘතික පසුබිම ඔහු ගේ පර්යේෂණයට, නිරීක්‌ෂණයට සහ නිගමනයට බලපෑමක්‌ කළ හොත් ප්‍රතිඑල සත්‍ය ගවේෂණයක ප්‍රතිඑල නො වන්නේ ය. තව ද එම ප්‍රතිඵල භාවිත කොට මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස වැඩ පිළිවෙළක්‌ සකසාගැනීම අන්තරාදායක විය හැකි ය. විද්‍යාත්මක ක්‍රමවේදය නිරන්තරයෙන් විශේෂ වූ ප්‍රයත්නයක්‌ දරන්නේ සංස්‌කෘතික පසුබිමක්‌ සහිත විද්‍යාඥයා ගේ පෞද්ගලික අගතිය (bias) විසින් ඔහු ගේ පර්යේෂණයට හෝ නිරීක්‌ෂණවලට හෝ නිගමනවලට බලපෑමක්‌ සිදු වීම වැළැක්‌වීමට ය. මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය වැඩි දියුණු කිරීම නිතර සිදු වන දෙයකි. විද්‍යාත්මක ක්‍රමවේදයේ වර්ධනය මිනිසා බිහි වූ දා පටන් මේ ලෙස සිදු විය. නීතිරීති සම්පාදනය වී විද්‍යාත්මක ක්‍රමවේදය තුළට ඇතුළු වූයේ මේ සඳහා ය. මින් පෙන්නුම් කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය සංස්‌කෘතියෙන් වෙන් වී ක්‍රියා කිරීමට නිතර තැත් කරන බවයි. නවීන විද්‍යාව වර්ධනය වූයේ මේ ලෙස භාව්‍ය සහ අගතිගාමි බැමිවලින් නිදහස්‌ වෙමිනි. සත්‍ය ගවේෂණය පිණිස මෙවැනි නිදහස්‌ වීමක්‌ අත්‍යවශ්‍ය විය. සත්‍ය සොයාගත හැකි නම් තිබිය හැක්‌කේ එක සත්‍යයකි. එක්‌ එක්‌ සංස්‌කෘති තුළ එක්‌ එක්‌ සත්‍යයන් තිබිය නොහැකි ය.

(මතු සම්බන්ධයි)
මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc