logo3.gif (702 bytes)

HOME


මනසිකාරයක්‌ වූ මහාචාර්යවරයා

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විද්‍යාත්මක දැනුම නව සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වේ ය යනුවෙන් 2014 ජුනි 04 වැනි දා ලිපියක්‌ ලියා ඇත. එය මතු සම්බන්ධ වන ලිපියක්‌ බැවින් ඒ ගැන සම්පූර්ණයෙන් ම අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් වළකිමි. එහෙත් මා කිව යුත්තක්‌ නම් අමරතුංග මහතා තම ලිපිවල දක්‌වන්නේ මා අවුරුදු 15 පමණ සිට අවුරුදු 35 පමණ වන තෙක්‌ දැරූ අදහස්‌ බව ය. එහි මට කිසි ම නැවුම් සුවඳක්‌ නැත. ඇත්තේ පිළුණු ගඳක්‌ පමණ ය. අමරතුංග මහතා සිතා සිටින්නේ ඔහු තම ලිපිවලින් දක්‌වන කිසිවක්‌ මා නො දන්නා බව ය. සමහර විට ඔහු උපදෙස්‌ ලබාගන්නා ඊනියා දැවැන්ත භෞතික විද්‍යාඥයා ද එසේ සිතනවා විය හැකි ය. මා ප්‍රවාදාත්මක (සෛද්ධාන්තික-theoretical) භෞතික විද්‍යාව හැදෑරීමට තීරණය කළේ අවුරුදු 15 දී පමණ ය. එහෙත් අවුරුදු 35 පමණ වන විට මට එහි ඇති වරද අවබෝධ වන්නට පටන් ගති. ඉන් අවුරුදු 5ක්‌ පමණ ඇවෑමෙන් අප එකිනෙකාට ඇත්තේ එකිනෙකා ගේ (මගේ) ලෝක බව අවබෝධ විය. ඒ සැම ලෝකයක්‌ ම එකිනෙකා ගේ නිර්මාණයක්‌ බව අවබෝධ කරගැනීම අමරතුංග මහතාටත් ඔහු ගේ ඊනියා දැවැන්තයාටත් ප්‍රශ්නයක්‌ වනු ඇත. මගේ ලෝකය යන පොත අමරතුංග මහතා ඊනියා දැවැන්තයා හෝ කියවා ඇත් දැයි නො දනිමි. අද වන විට ඒ පොතෙහි දක්‌වා ඇති අදහස්‌ ඉදිරියට ගෙන යමින් තව තවත් අදහස්‌ නිර්මාණය කිරීමට මට හැකි වී ඇත. මා අවුරුදු 35 දී පමණ ඉවත දැමූ පිළුණු අදහස්‌ තොගයක්‌ අමරතුංග මහතාත් ඔහු ගේ දැවැන්තයාත් අවුරුදු 70 පසු වීත් තළු ගසමින් වමාර වමාරා කන්නේ කුඩා කල ඔවුන්ට ඉගැන්වූ ආකිමිඩීස්‌ ගේ යුරේකා (සොයාගතිමි) කතාවෙන් බැහැර වීමට තරම් නිර්මාණශීලිත්වයක්‌ නොමැති බැවිනි.

ඊනියා පර්යේෂණ පත්‍රිකා පළ කිරීමට කිසි ම නිර්මාණාත්මක හැකියාවක්‌ අවශ්‍ය නො වේ. ඒ බව මම අත්දැකීමෙන් පමණක්‌ නො ව තමන් බටහිර විද්‍යාඥයන් යෑයි පම්පෝරි ගසන අය ලියන කියන දෙයින් ද දනිමි. එහි දී අවශ්‍ය වන්නේ හුදු අනුකරණය හා දාස බව පමණකි. මම අමරතුංග මහතා ගෙන් සරල යෑයි සිතෙන ප්‍රශ්නයක්‌ අසමි. තමා පටිච්චසමුප්පාදය තේරුම් ගෙන ඇති බව අපට ඉඟි කරන අමරතුංග මහතාට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම අපහසු නො වනු ඇත. මා පටිච්චසමුප්පාදය තේරුම් ගෙන නොමැති බව පැවසීම මට ප්‍රශ්නයක්‌ නො වේ. මට අවබෝධ වන ආකාරයට යමකු පටිච්චසමුප්පාදය දකී ද ඔහු ධර්මය දකියි. ධර්මය දැකීම යනු නිවන් අවබෝධය මිස අනෙකක්‌ නො වේ. තවමත් මට නිවන් අවබෝධ වී නොමැති බැවින් මට පටිච්චසමුප්පාදය අවබෝධ නො වීම පුදුමයක්‌ නො වේ. එහෙත් අමරතුංග මහතා එසේ නො වේ. කෙසේ වෙතත් පටිච්චසමුප්පාදය වුවත් ඊනියා වාස්‌තවික යථාර්ථවාදී අර්ථයකින් බුදුන්වහන්සේ දේශනා කර නැත. ඇතැම් තැනක අවිඡ්ජා පච්චයා සංඛාරා යන්න දක්‌නට නැත. ඇතැම් තැනෙක නාමරූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූප යනුවෙන් දේශනා කර ඇත. අමරතුංග මහතා මා වැනි පුහුදුන් ගේ හිත සුව පිණිස විඤ්ඤාණ පච්චයා නමරූප, නාමරූප පච්චයා විඤ්ඤාණං යන්න තේරුම් කර දෙන්නේ ද?

එහෙත් මට අමරතුංග මහතා ගෙන් ඇසීමට ඇති ප්‍රශ්නය එය නො වේ. ප්‍රශ්නය මෙයයි. මා යනුවෙන් කිව හැකි පුද්ගලයෙක්‌ වේ ද? මා යනුවෙන් පුද්ගලයකු වේ නම් ඒ (ඔහු හෝ ඇය හෝ) සොයාගත්තේ කවුද? ප්‍රශ්නය වෙනත් අයුරකින් අසන්නේ නම් ඩී. එස්‌. සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතා පවතින්නේ ද? ඒ මහතා පවතින්නේ නම් ඔහු සොයාගත්තේ කවු ද? පවතින්නේ අජීව වස්‌තු යෑයි කීමෙන් ප්‍රශ්නයෙන් පැන ගිය නො හැකි ය. ජීව වස්‌තුවලට කිනම් ආකාරයක වුව පැවැත්මක්‌ නො වේ ද? අමරතුංග මහතා ඇත්නම් ඒ මහතා සොයාගත්තේ කවුද යන ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තු වෙමි. අමරතුංග මහතා යනුවෙන් කෙනකු නැත්නම් කරුණාකර ඒ බව පවසන්න.

ගුරුත්වාකර්ෂණය යනුවෙන් සංසිද්ධියක්‌ (ප්‍රපංචයක්‌) ඇතැයි අමරතුංග මහතා කියා ඇත්තේ වරක්‌ දෙවරක්‌ නො වේ. ඔහු ලස්‌සන කතා කියයි. මේ කතා සුරංගනා කතා මෙන් රසවත් ය. ඒ ඇසීමෙන් වයසින් වැඩි වුවත් නො මේරූ අය නින්දට යැමට ඉඩ ඇත. අමරතුංග මහතා ගේ මේ කතා නින්දට නො ගොස්‌ අසමු. මේ කතා සියල්ල ඒ මහතා ගේ පසුගිය ජුනි 04 වැනි දා ලිපියෙනි. "ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. අපට ඉන්ද්‍රිය ගෝචර වන්නේ ගහෙන් ගෙඩිය බිමට වැටීම ය. තව ද ගිලිහුණු ගෙඩිය එතන ම නො රැඳෙන බව ද උඩුගුවනට හෝ දකුණට හෝ උතුරට හෝ වෙන යම් දිශාවකට හෝ නො යැම ද ඉන්ද්‍රිය ගෝචර වේ. ගහෙන් ගිලිහුණු ගෙඩිය පොළොවට වැටෙන්නේ ගෙඩිය සහ පෘථිවිය අතර ඇති යම් කිසි බලයක්‌ නිසා බව අපට සිතිය හැකි ය................... ගහෙන් ගිලිහුණු ගෙඩිය බිමට වැටීම යන සිද්ධිය ගුරුත්වාකර්ෂණය සමග සම්බන්ධ කරන විට අප දැනුම නිර්මාණය කරන්නේ ද? ගෙඩිය බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන නිගමනය අපගේ නිර්මාණයක්‌ ද? සාධක මත පදනම් වූ නිගමනයක්‌ නිර්මාණයක්‌ විය නොහැකි ය. ගුරුත්වාකර්ෂණය පිළිබඳ සාක්‌ෂි ගොන්නක්‌ ඇත. ඒවා එකකට එකක්‌ ආධාරකයක්‌ ලෙස ක්‍රියා කරයි. ඒවා එකතු වන්නේ ඒ ලෙස ය. ඒවා එකතු කෙරෙන්නේ විද්‍යාඥයා විසින් නො වේ. ඒවා එකතු වන්නේ විද්‍යාඥයා විසින් ඒවාට එකතු කරන ලද ගුණයක්‌ නිසා නො වේ. ඒවා එකට එකතු කොට දර මිටියක්‌ වැනි සාක්‌ෂි ගොන්නක්‌ බවට පත් කරන්නේ ඒවා තුළ ඇති ගුණයක්‌ නිසා ය. එම ගුණය වනාහී ගුරුත්වාකර්ෂණීය ප්‍රයත්නයන් බව පැවසිය හැකි ය. මෙවැනි ක්‍රියාවලියක්‌ පිළිබඳ සොයාගැනීම විද්‍යාඥයා ගේ නිර්මාණයක්‌ බව පැවසීම නිර්මාණයක්‌ යනු කුමක්‌ දැයි නො දන්නා කෙනකු පවසන දෙයකි."

එක්‌ වාක්‍යයක අමරතුංග මහතා ගිලිහුණු ගෙඩිය පොළොවට වැටෙන්නේ ගෙඩිය හා පෘථිවිය අතර යම් බලයක්‌ තිබෙන නිසා යෑයි සිතිය හැකි බව කියයි. ඒ සිතිවිල්ල වාක්‍ය කිහිපයකින් පසුව ගෙඩිය බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන නිගමනය බවට පත් වෙයි. අමරතුංග මහතා ගේ අසංගත තර්ක හා න්‍යාය ගැන දන්නා අපි මෙවැනි ප්‍රකාශ ගැන එතරම් අවධානයක්‌ නො කරමු. කෙසේ වෙතත් අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණය නමින් ප්‍රපංචයක්‌ ඇත. එමෙන් ම ඒ මහතාට අනුව ගුරුත්වාකර්ෂණය පිළිබඳ සාක්‌ෂි ගොන්නක්‌ ඇත. එහෙත් මෙය පට්‌ටපල් බොරුවකි. අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඒ පිළිබඳ ඒ මහතාට හෝ ඒ මහතා ගේ ඊනියා දැවැන්ත භෞතික විද්‍යාඥයාට හෝ තබා නිවුටන්ට වත් එක ද සාක්‍ෂියක්‌ නැත.

අමරතුංග මහතාට ඇතැම් විට තම ඊනියා දැවැන්තයා ගෙන් දැනගත හැකි කරුණක්‌ නම් නිවුටන් ගේ සමකාලිකයන් ගුරුත්වාකර්ෂණ බලය ඈතක දී ක්‍රියා කරන්නේ කෙසේ දැයි ඔහු ගෙන් ඇසූ විට ඔහුට දිය හැකි පිළිතුරක්‌ නො වූ බව ය. ඔහුට ඒ සඳහා කිසි ම සාක්‍ෂියක්‌ නො තිබිණි. අද වුවත් ඉදිරිපත් කළ හැක්‌කේ සෘජු සාක්‍ෂි නො ව වක්‍ර කතන්දර ය. අප කලින් කියා ඇති පරිදි p→q යන්නෙන් හා q සත්‍ය වේ යන්නෙන් p සත්‍ය වේ යෑයි ගම්‍ය නො වේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් (කතාන්දරයෙන්) පොල් පොළොවට වැටෙන බව නිගමනය කළ හැකි ය. පොල් පොළොවට වැටීම සත්‍ය යෑයි අප ගත්ත ද එයින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍ය යෑයි නිගමනය කළ නො හැකි ය. අමරතුංග මහතාට ගණිත න්‍යාය (mathematical logic) ගැන දැනගත හැකි ඊනියා දැවැන්තයකු කලකට පෙර වත් හන්තාන අඩවියේ අධ්‍යයන ආයතනවල මුණ නො ගැසිණි ද? පංචෙන්ද්‍රිය ගෝචර නො වන ඊනියා ප්‍රපංච (සංසිද්ධි) ඇති බව පෙන්වීමට සෘජු පංචෙන්ද්‍රිය ගෝචර වන සාක්‍ෂි නොමැත.

අප කුමක්‌ කීවත් අමරතුංග මහතා ගුරුත්වාකර්ෂණය නමින් ප්‍රපංචයක්‌ ඇතැයි යන අදහස අත් නො හරින බව පෙනෙයි. අමරතුංග මහතා නිතර ගෙනහැර දක්‌වන කච්චායනගොත්ත සූත්‍රයට අනුව සියල්ල පවතින්නේ ය යනු ගැනීම එක්‌ අන්තයකි. සියල්ල නො පවතී යන්න අනෙක්‌ අන්තය වෙයි. අමරතුංග මහතා කියන්නේ සංදර්භය වැදගත් නො වන බව ය. සංදර්භය වැදගත් නො වන්නේ බුදුන්වහන්සේ වාස්‌තවික ධර්මයක්‌ දේශනා කර ඇත්නම් ය. බුදුන්වහන්සේට අප වැනි දුqහුනන් උදෙසා ධර්මය දේශනා කිරීමට සිදු විය. එහි දී වචන ද සංදර්භය ද වැදගත් ය. වචනවලින් ඇති වන පටලැවීම ගැන ද බෞද්ධ සංස්‌කෘතියෙහි සඳහන් වෙයි.

කච්චායනගොත්ත ගැන අපි කලින් ද සඳහන් කර ඇත්තෙමු. උදාහරණයක්‌ ලෙස මැයි 14 වැනි දා ලිපිය බලන්න. සූත්‍රයෙහි සංදර්භය වූයේ කච්ඡායනගොත්තට සම්‍යක්‌දෘෂ්ටිය යනු කුමක්‌ දැයි දැනගැනීමට වූ අවශ්‍යතාව ය. බුදුන්වහන්සේ සියල්ල ඇත යනුවෙන් ගැනීම මෙන් ම නැත යනුවෙන් ගැනීම ද අන්ත දෙකක්‌ බව පවසා පටිච්චසමුප්පාදය සම්‍යක්‌දෘෂ්ටිය ලෙස දෙසූ හ. පටිච්චසමුප්පාදයෙහි කියෑවෙන්නේ A ඇත්නම් B හටගනියි යනුවෙන් හා A නැත්නම් (නිරෝධය) B හට නො ගනියි යන්න ය. එය සාපේක්‍ෂ වූවකි. පටිච්චසමුප්පාදය වුව ද දෘෂ්ටියක්‌ බව අමතක නො කළ යුතු ය. ඒ අවබෝධ කිරීමෙන් නිවන් අවබෝධ වෙයි. ඒ සමග පටිච්චසමුප්පාදය ද පහුරක්‌ මෙන් ඉවත දැමෙයි.

කච්චායනගොත්ත සූත්‍රයෙන් එක්‌ පැත්තකින් කියෑවෙන්නේ පෘථග්ජනයන් ද්වෛතය සම්බන්ධයෙන් මුහුණපාන ප්‍රශ්නයකි. බුදුන්වහන්සේ ද්වෛතය බොහෝ අවස්‌ථාවල ප්‍රතික්‍ෂෙප කළ හ. කච්චායනගොත්ත සූත්‍රයෙහි ද එසේ කර ඇත. එහෙත් උන්වහස්‌සේ සැම විට ම ද්වෛතය ප්‍රතික්‍ෂෙප කර නැත. ද්වයතානුපස්‌සනා සූත්‍රය එයට උදාහරණයකි. අමරතුංග මහතා මා ද්වයතානුපස්‌සනා සූත්‍රයට තල්ලු කර දැමී යෑයි උදම් අනයි. අපි එයට පසුව එමු. අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණය යන ප්‍රපංචය ඇත. එසේ ගුරුත්වාකර්ෂණය ඇතැයි යනුවෙන් ගැනීම අන්තයක්‌ නො වේ ද? අමරතුංග මහතා එසේ බලන කල අන්තවාදියෙක්‌ ද? ඒ මහතා පටිච්චසමුප්පාදය අනුව නම් ගුරුත්වාකර්ෂණය ගැන කිව යුත්තේ කුමක්‌ ද?

අමරතුංග මහතාට මේ සියල්ල මෝඩ ප්‍රශ්න යනුවෙන් ප්‍රකාශයක්‌ කර ඉවත දැමිය හැකි ය. එනම් ප්‍රශ්නවලින් පැන යා හැකි ය. එහෙත් පෘථග්ජනයකු ලෙස (ඒ මහතා පට්‌ච්චසමුප්පාදය අවබෝධ කර නැත්නම් පමණක්‌) ඒ මහතාට එක්‌කෝ ගුරුත්වාකර්ෂණය ඇතැයි කීමට සිදු වෙයි. නැත්නම් ගුරුත්වාකර්ෂණය නැතැයි කීමට සිදු වෙයි. ඒ මහතා මේ අන්ත දෙකෙන් ඉවත් වන්නේ කෙසේ ද? ගුරුත්වාකර්ෂණය ඇතැයි කීමෙන් කිසිවකු ධර්මාත්මවාදියකු බවට පත් වන්නේ ද?

බුදුදහමෙහි අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ගැන කියෑවෙයි. එයින් කියෑවෙන්නේ බුදුදහම එක්‌ අන්තයක්‌ ගන්නා බව ද? බුදුන් වහන්සේ නිත්‍ය සුඛ ආත්ම ගැන ද නො දෙසා නිත්‍ය අනිත්‍ය ද්වෛතයෙන් එක්‌ අන්තයක්‌ ගන්නේ ඇයි? එලෙස ම සුඛ දුක්‌ඛ ද්වෛතයෙන් ද ආත්ම අනාත්ම ද්වෛතයෙන් ද එක්‌ එක්‌ අන්ත ගත්තේ ඇයි? මා මනසක්‌ යනුවෙන් දෙයක්‌ නැතැයි කියන විට මා අන්තවාදියකු වන්නේ යෑයි අමරතුංග මහතා කියන්නේ ඇයි? මනසක්‌ යනුවෙන් දෙයක්‌ ඇතැයි කීමෙන් යමකු අන්තවාදියකු නො වන්නේ ද?

බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි වියුක්‌ත කතාන්දර ගෙතෙන බැවිනි. ඕනෑ ම කතාන්දරයක්‌ බොරුවකි. ඒ කතාන්දරවලින් වියුක්‌ත කතාන්දර පට්‌ටපල් බොරු වෙයි. අප කරන්නේ විවිධ කතාන්දර ගෙතීම පමණි. කතාන්දර ගෙතීම නවතින්නේ නිවන් අවබෝධයෙනි. මැයි 28 වැනි දා ලිපියෙහි අමරතුංග මහතා මෙසේ කියයි. "සැම නාමරූපයක්‌ ම මුසාවක්‌ යෑයි පවසන සූත්‍රය එසේ පවසන්නේ එම අත්විඳීම තුළ ආත්මීය කිසිවක්‌ නැති බව තහවුරු කිරීමට බව නලින් මහතාට නො තේරෙයි. බුදුන් ශුන්‍ය යන වචනය ද යොදාගන්නේ එවැනි ම අදහසක්‌ ඉදිරිපත් කිරීමට ය. මේ වචනයෙන් බුදුන් අදහස්‌ කළ අරුත ද නලින් මහතා විකෘති කොට ඇත."

කලකට පෙර ශූන්‍ය ගැන කතා කිරීමටවත් අකැමැති වූ අමරතුංග මහතා දැන් ශූන්‍ය ගැන කතා කිරීමට ඉදිරිපත් වීම සතුටට කරුණකි. ඒ මහතා එකල ඇසුවේ ශුන්‍ය ගැන සඳහන් කර ඇත්තේ කිනම් සූත්‍රයක ද යන්න ය. එකල ඔහුට ශූන්‍ය යන්න මහායාන සංකල්පයක්‌ විය. අද අමරතුංග මහතා බුදුන් වහන්සේ ශූන්‍ය යන වචනය යොදාගත් බව පවසයි. ඒ ථෙරවාදයෙහි විය යුත =ය. නොඑසේ නම් අමරතුංග මහතා ඒ ගැන සඳහන් නො කරනු ඇත. බුදුන් වහන්සේ එසේ ශූන්‍ය යන වචනය යොදාගෙන ඇත්තේ කිනම් සූත්‍රයක දැයි අපි අමරතුංග මහතා ගෙන් නො අසමු. එවැනි සූත්‍ර ඇති බව අපි දනිමු. සංයුක්‌ත නිකායෙහි ශූන්‍ය සූත්‍රය එයට උදාහරණයකි. ඒ සූත්‍රයෙහි අත්විඳීමක්‌ ගැන නො කියෑවෙයි. එහි ද සංදර්භයක්‌ වෙයි. ආනන්ද හිමියෝ බුදුන්වහන්සේ ගෙන් ප්‍රශ්නයක්‌ ඇසූ හ. ලෝකය ශූන්‍ය යෑයි කියන්නේ කුමක්‌ සම්බන්ධයෙන් ද යන්න ඒ ප්‍රශ්නය විය. ඇස කණ නාසය ආදියෙහි ද රූපවල ද ආත්මයක්‌ නැති බැවින් ලෝකය ශූන්‍ය යෑයි බුදුන්වහන්සේ දේශනා කළ හ. එහි ද බුදුන්වහන්සේ ආත්ම අනාත්ම යන ද්වෛතයෙහි එක්‌ අන්තයක්‌ ගෙන ඇත. ආත්මයක්‌ ඇතැයි ගැනීම මෙන් ම නැතැයි ගැනීම ද වැරැදි (අන්ත) යෑයි බුදුන්වහන්සේ දේශනා නො කළ හ.

ද්වයතානුපස්‌සනා සූත්‍රයෙන් ද ශූන්‍ය සූත්‍රයෙන් ද කියෑවෙන්නේ ආත්මීය වශයෙන් ලොවෙහි කිසිවක්‌ නැති බව ය. එහි නෛර්යාත්මවාදයක්‌ වෙයි. එය පුද්ගල ආත්මයට මෙන් ම ධර්මාත්මයට ද අදාළ ය. අමරතුංග මහතා කියන්නේ ආත්මීය වශයෙන් කිසිවක්‌ නැති වුවත් වෙනත් ආකාරයකින් යමක්‌ පවතින බව ද? ඒ කුමක්‌ ද? අමරතුංග මහතා ගේ ආත්මීය වශයෙන් නැති එහෙත් අනාත්ම වශයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ ඇති ලෝකය කුමක්‌ දැයි දැනගැනීමට කැමැත්තෙමු. අමරතුංග මහතා පවතින්නේ ද? එසේ නම් ඒ ආත්මීය නො වන ආකාරයට ද? බුදුදහම අවබෝධ කරගැනීම පහසු නො වේ. විශේෂයෙන් ම ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි බටහිරයන්ට එය අවබෝධ කරගැනීම අපහසු ය. අප ඔවුන්ට බුදුදහම අවබෝධ කරවීමට බොරු කිව යුතු නො වේ. අමරතුංග මහතා අත්විඳින ආත්මීය නො වන්න කුමක්‌ දැයි දැනගැනීමට පුළ පුළා බලා සිටිමු.

අප අත්විඳින්නේ අප විසින් නිර්මාණය කෙරී ඇති බොරු ය, මුසා ය. සෑeම නාම රූපයක්‌ ම අපේ නිර්මාණ වෙයි. ඒ ශූන්‍ය ය. එහෙත් අපි එහි යමක්‌ ඇතැයි ගනිමු. අපේ ඊනියා අත්විඳීම් මුසා වෙයි. එයින් කියෑවෙන්නේ කුමක්‌ ද? ආත්මීය වශයෙන් කිසිවක්‌ නැත්නම් ඇත්තේ කුමක්‌ ද? මගේ සරල ප්‍රශ්නය එයයි. එය මෝඩ ප්‍රශ්නයක්‌ යෑයි කියා පැන යැම සුදුසු නො වේ. මා ඇසූ කිසි ම ප්‍රශ්නයකට අමරතුංග මහතා මෙතෙක්‌ පිළිතුරු දී නැත. ඔහු කරන්නේ ඒ මෝඩ ප්‍රශ්න බව පවසමින් පැන යැම ය. අප අත්විඳි පමණින් "යමක්‌" ඇතැයි කීම වැරැදි ය. අත්විඳීම මනසේ ක්‍රියාවකි. අපි නැති දේ අත්විඳිමින් ඒ ඇතැයි ගනිමු. අත්විඳීම ම බොරුවකි. අපි ඒ බොරුව ඇතැයි සිතමු. අපේ ප්‍රශ්නය එයයි.

නැති මනසක්‌ ඇතැයි යනුවෙන් ගනිමින් අපි ඒ මනසින් විවිධ දේ නිර්මාණය කරමු. පොල් ගෙඩිය ද ගුරුත්වාකර්ෂණය ද එසේ නිර්මාණය කෙරුණු මනසිකාර ය. මනසිකාර යනු නාමයේ අංගයක්‌ වෙයි. නාමයේ අනෙක්‌ අංග වනුයේ වේදනා, සංඥා, ෙච්තනා හා ඵස්‌ස ය. මහාචාර්ය අශෝක අමරතුංග ද මනසිකාරයකි.

නලින් ද සිල්වා