logo3.gif (702 bytes)

HOME


බංකොළොත් බටහිර දාසයෝ

ඩී.එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම "නලින් ද සිල්වා මහතා සාපේක්‍ෂතාවාදය වත් වටහාගෙන නැත" මැයෙන් වූ මැයි 28 වැනි දා ලිපියෙන් ද සුපුරුදු පරිදි ගිරාපෝතකභාවය පෙන්නුම් කරයි. ඔහු මෙසේ කියයි. "විශේෂ යන වචනයේ අදාළ අරුත නො දන්නා නලින් මහතා මා නො කිව් දෙයක්‌ ගැන බහුභූත කතා කියයි. මෙවැනි බහුභූත කිව හැක්‌කේ සාපේක්‍ෂතාවාදය ගැන හාන්කවිසියක්‌ නො දන්නා කෙනකුට ය. විද්‍යා පීඨයේ භෞතික විද්‍යාව හදාරන සිසුවකු ගෙන් වත් අසා දැනගැනීමට අවශ්‍ය ප්‍රාථමික ඥානය නලින් මහතාට නැත................. නලින් මහතා මගෙන් ඉගෙන ගන්න කැමැති බව කියා ඇත. එසේ නම් පළමු පාඩම මෙසේ සඳහන් කරමි. කුමක්‌ හෝ දෙයක්‌ අධ්‍යයනය කරන විට එහි නම පිළිබඳව හොඳ වැටහීමක්‌ පළමුව ලබාගන්න. විද්වත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාද දෙක වෙන් කොට හැඳිනගැනීම පිණිස විශේෂ සහ සාමාන්‍ය යන වචන යොදා ඇත්තේ ඉතා ම වැදගත් තේරුමක්‌ ඇති ව ය. විශේෂ යන වචනයෙන් අදහස්‌ වන්නේ විශේෂ සාපේක්‌ෂතාවාදය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමුවලට පමණක්‌ ය යන්න ය. ඉහත සඳහන් ලෙස මා පවසා ඇත්තේ එය ය."

අමරතුංග මහතා පොදු සහතික පත්‍ර (සාමාන්‍ය) පෙළ පරීක්‍ෂණයෙන් පසු ගණිතය ක්‍රමවත්ව හදාරා නැත. ඔහුට සමහර විට ගණිතය පිළිබඳ පොතපතින් කියවූ දැනුමක්‌ තිබිය හැකි ය. එමෙන් ම ඔහු පොදු සහතික පත්‍ර (උසස්‌) පෙළ පරීක්‍ෂණයෙන් පසු භෞතික විද්‍යාව ක්‍රමවත් ව හදාරා නැත. ප්‍රවාදාත්මක (සෛද්ධාන්තික) භෞතික විද්‍යාව ක්‍රමවත් ව හැදෑරීමට ගණිතය පිළිබඳ ක්‍රමවත් දැනුමක්‌ අවශ්‍ය වෙයි. අමරතුංග මහතාට සාපේක්‍ෂතාවාදය පිළිබඳ ක්‍රමවත් දැනුමක්‌ නොමැති බව පැහැදිලි ය. අයින්ස්‌ටයින්ට පවා ගණිතය පිළිබඳ විශේෂඥ දැනුමක්‌ නො වී ය. එහෙත් යුදෙවුවකු ලෙස ඔහුට ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි වූ විශිෂ්ටත ප්‍රතිභාවක්‌ (අන්තර්ඥානයක්‌ - Intuition) විය. ඔහු අවශ්‍ය වූ විට ගණිතය පිළිබඳ දැනුම මින්කොව්ස්‌කි වැනි අය ගෙන් ලබාගත්තේ ය. (මා මෙයින් කීමට අදහස්‌ කරන්නේ මා අයින්ස්‌ටයින්ට වඩා ශේ්‍රෂ්ඨ බව නො වේ යෑයි අවධාරණය කළ යුතු ය.) එහෙත් අමරතුංග මහතාට ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි නො ව සිංහල බෞද්ධ චින්තනයෙහි ද ප්‍රතිභාවක්‌ නැති බව ඔහු ලියන දෙයින් පැහැදිලි වෙයි. ඔහු පොතපත කියවන්නට ඇත. එහෙත් පොත්පත්වල ඇති කරුණු පිළිබඳ ඔහුට කිසි ම අවබෝධයක්‌ නැත. ඒ මහතා විද්‍යා පීඨයේ භෞතික විද්‍යාව හදාරන සිසුවකු ගෙන් ඇතැම් දේ දැනගත යුතු යෑයි මා සඳහන් කළේ එබැවිනි.

දැන් අමරතුංග මහතා තම ගිරාපෝතක විධික්‍රමයට අනුව මට විද්‍යා පීඨයේ භෞතික විද්‍යාව හදාරන සිසුවකු ගෙන් වත් අසා දැනගැනීමට අවශ්‍ය ප්‍රාථමික ඥානය නැතැයි කියයි. ඔහුට ගිරාපෝතකයකු නො වී, මා කියන දේ පුනරුච්චාරණය නො කර වෙනත් යමක්‌ සිතාගැනීමට තරම් ප්‍රතිභාවක්‌, නිර්මාණාත්මක හැකියාවක්‌ නැත. කෙසේ වෙතත් කැලණිය විශ්වවිද්‍යලයයේ ගණිතමය භෞතික විද්‍යාව හැදෑරූ සිසුන්ට සිව්වැනි වසරේ දී සාධාරණ සාපේක්‍ෂතාවාදය ඉගැන්වීමට මට ඉඩ දීමෙන් කැලණිය විශ්වවිද්‍යාලය කර ඇත්තේ වරදක්‌ විය යුතු ය. ඒ මතු ද නො වේ. සාධාරණ සාපේක්‍ෂතාවාදයට අදාළව දර්ශනපති උපාධි අපේක්‍ෂකයන් තුන් දෙනකුගේ නිබන්ධන උපදේශක ලෙස මා පත් කිරීමෙන් ද ඒ විශ්වවිද්‍යාලය ශිෂ්‍යයනට අසාධාරණයක්‌ කර ඇත. එහෙත් ඒ සියල්ලටමත් වඩා එංගලන්තයේ සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලය මට සාපේක්‍ෂතාවාදී තාරකා භෞතිකයෙන් ((Relativistic Astrophysics) විශ්වවේදයට (Cosmolgy) අදාළව ආචාර්ය උපාධියක්‌ ප්‍රදානය කර සමාව නො දිය හැකි වරදක්‌ කර ඇත. ඒ උපාධිය මගේ අවශ්‍යතාවකට ලබාගත්තක්‌ නො වන බවත් එය මගේ නිබන්ධන උපදේaශකවරයා ගේ බලවත් උනන්දුව හා වුවමනාව මත මට ලබා දුන් එකක්‌ බවත් අවුරුදු 45කට පමණ පසුව තවමත් සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය උපාධියක්‌ සඳහා නිබන්ධනය අඩු ම කාලයකින් පිළිගැන්වීම පිළිබඳ වාර්තාව (මාස 18කින්) මා සතු බවත් අමරතුංග මහතා ගේ දැනගැනීම පිණිස සඳහන් කළ යුතු ය. විද්‍යාඥයකු වීමට නොහැකි බව මා තේරුම් ගත්තේ සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයට ගිය දිනවල ම ය. විද්‍යාඥයකු වීමේ අභිලාශයෙන් බටහිර විද්‍යාව හැදෑරූ මට විද්‍යාඥයකු නො වී හුදු ආචාර්ය උපාධියක්‌ ලබාගැනීමට අවශ්‍ය නො වී ය. එසේ තිබිය දීත් සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලය තමන් ගේ අවශ්‍යතාව මත මට ආචාර්ය උපාධියක්‌ ලබා දීමෙන් ඔවුන් කළ වරද කිහිප ගුණයකින් වැඩි වෙයි. ඒ සියල්ල තිබිය දී සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් හා විශ්වවේදයෙන් ඊනියා ජාත්‍යන්තර සඟරාවල පළ වූ මගේ පත්‍රිකා ඇත. මා මේ සියල්ල සඳහන් කරන්නේ පුරසාරමකට නොව අමරතුංග මහතා ගේ ගිරාපෝතක ප්‍රතිචාරයට පිළිතුරක්‌ ලෙස ය.

කෙසේ වෙතත් මට දැනගැනීමට ලැබී ඇති ආකාරයට අමරතුංග මහතා ඇතැමුන් විසින් දැවැන්තයකු ලෙස ද තවත් අය විසින් මතුපිට පා වන හිස්‌ බුබුළක්‌ ලෙස ද සලකනු ලබන භෞතික විද්‍යාඥයකු ගෙන් සාපේක්‍ෂතාවාදය පිළිබඳ උපදෙස්‌ ගනියි. එය සත්‍යයක්‌ දැයි නො දනිමි. එය සත්‍යයක්‌ නම් හා අමරතුංග මහතා ලියන දේ එකී භෞතික විද්‍යාඥයා අනුමත කර ඇත්නම් ඒ විද්‍යාඥයාට ද සාපේක්‍ෂතාවාදය පිළිබඳ දැනුමක්‌ නැති බව නිගමනය කිරීමට සිදු වෙයි. ඔහු සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් පත්‍රිකා පළ කර ඇත් දැයි නො දනිමි. අමරතුංග මහතා තමා හා එකී භෞතික විද්‍යාඥයා අතර ඇති සම්බන්ධයක්‌ වේ නම්, එය, එනම් තමා කිනම් ආකාරයක උපකාර ලබාගන්නේ ද යන්න, විස්‌තර කරන්නේ නම් කෘතඥ වෙමි. එවිට අපට එකී භෞතික විද්‍යාඥයා ගේ ද සාධාරණ සාපේක්‍ෂතා දැනුම පිළිබඳ පැහැදිලි නිගමනයකට එළඹීමට හැකි වනු ඇත.

අමරතුංග මහතා ගේ වචන පාවිච්චිය පිළිබඳ මා කියා ඇත්තේ වරක්‌ දෙවරක්‌ නො වේ. ඔහුට වචනවල තේරුම් ගැන කිසි ම අවබෝධයක්‌ නැති අතර ඔහු ඒ ගැන කිසි ම සැලකිල්ලක්‌ නො දක්‌වයි. දැන් ඔහු ගිරාපෝතක පෙත්තප්පු ක්‍රමයට වචන පිළිබඳ හොඳ වැටහීමක්‌ ලබාගැනීමට යෑයි මට පාඩමක්‌ ම`ගින් කියා දෙයි. ඔහු කියා දෙන පාඩම අනුව විශේෂ හා සාමාන්‍ය සාපේක්‍ෂතවාද යනුවෙන් සාපේක්‍ෂතාවාද දෙකක්‌ ඇත. අමරතුංග මහතා තම නොදැනුවත්කම් තවදුරටත් හෙළිදරවු කිරීමෙන් පසුව මේ පිළිබඳ තරමක දීර්ඝ විස්‌තරයක්‌ කරමි. මා ඇතැම් අවස්‌ථාවල පිළිතුරු දීම පමා කරන්නේ අමරතුංග මහතාට තම නොදැනුවත්කම පාඨකයාට හෙළි කිරීමට අවස්‌ථාව ලබා දීමට ය. කෙසේ වෙතත් අමරතුංග මහතා සාමාන්‍ය යන්න යොදන්නේ ඉංගිරිසි ජෙනරල් (General) යන පදය සඳහා ය. ජෙනරල් යන්නට විවිධ තේරුම් ඇත. වචනයකට, ඡෙදයකට, සූත්‍රයකට තේරුමක්‌ ලැබෙන්නේ යම් සන්දර්භයක ය. හමුදාවේත් ජෙනරල්වරු සිටිති. එමෙන් ම ඇතැම් ආයතනවල සාමාන්‍යාධිකාරිවරු සිටිති. ඇතැම් ආයතනවල ඇත්තේ මහා ලේකම්වරුන් ය. පොදු අධ්‍යයන සහතික පත්‍ර ලෙස හැඳින්වෙන සහතික පත්‍ර වෙයි. ඒවා ඉංගිරිසියෙන් ජෙනරල් සර්ටිකේට්‌ ඔ එඩියුකේෂන් (General certificate of education) ලෙස හැඳින්වෙයි. ජෙනරල් රෙලට්‌විටි යන්නට සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය යනුවෙන් ව්‍යවහාර කිරීම වැරැදි ය. ඒ බව මා කියා ඇති මුත් වචනවල තේරුම් ගැන සන්දර්භයෙහි ඇති වැදගත්කම ගැන සැලකිල්ලක්‌ නො දක්‌වන අමරතුංග මහතාට ඒ පිළිබඳ වගක්‌ නැත. සාපේක්‍ෂතාවාදයෙහි ජෙනරල් යන්න යොදාගැනෙන්නේ සාධාරණ යන අර්ථයෙනි.

එහි ඇත්තේ සාධාරණීකරණයට ලක්‌ වු (Generalized) යන අර්ථයකි. එහි සාමාන්‍ය යන අර්ථය නැත. සාමාන්‍ය මිනිසකු යන අර්ථයෙන් සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයක්‌ ගැන නො කියෑවෙයි. සාධාරණීකරණය වියුක්‌ත වෙයි. තවමත් වියුක්‌ත යනු කුමක්‌ දැයි නො දන්නා අමරතුංග මහතා සාධාරණ යන වචනය යොදාගැනීමට උනන්දු නො වීම ගැන අප පුදුම විය යුතු නො වේ. විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාද ගැන අමරතුංග මහතාට තවදුරටත් කරුණු දැක්‌වීමට ඉඩ තැබිය යුතු යෑයි සිතමි. එහෙත් ඒ අතර නො කියා ම බැරි කරුණක්‌ දෙකක්‌ වෙයි. ඒ මහතා තම මැයි 28 ලිපියෙහි මෙසේ කියා ඇත. "සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය වලංගු වන්නේ සැම රාමුවකට ම සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන්ට ය (Gravitational effects)ග මේ කිසිවක්‌ නලින් මහතා වටහාගෙන නැත. එම නිසා ය ඔහු මේ ගැන මා පැවසූ දේ පිළිබඳව බහුභූත කතා කියන්නේ". සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීම ය. කෙසේ වෙතත් මේ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන් යනු මොනවා ද? එෙක්‌ට්‌ස්‌ යන වචනය වෙනුවට ප්‍රත්‍ය යන්න යෙදෙන්නේ කෙසේ ද? ඒ සඳහා පාරිභාෂික ශබ්දමාලාවල හා ශබ්දකෝෂවල යෙදෙන්නේ ආචරණය, ඵලය, ප්‍රතිවිපාක ආදී වචන ය. අමරතුංග මහතා උසස්‌ පෙළ භෞතික විද්‍යාව සිංහලෙන් හැදෑරූවේ නම් අඩු ම තරමෙන් ඩොප්ලර් ආචරණය ගැන අසන්නට තිබිණි. ප්‍රත්‍යය යන්න, අමරතුංග මහතා දන්නේ යෑයි ද මා නො දන්නේ යෑයි ද කියන පටිච්චසමුප්පදායෙහි නම් යෙදෙයි. අනෙක්‌ අතට ගුරුත්වාකර්ෂණීය යනු කුමක්‌ ද? එය යම්කිසි ආකාරයක ආකර්ෂණීය සංසිද්ධියක්‌ ද? වචන භාවිතය පිළිබඳ අමරතුංග මහතා සැලකිල්ලක්‌ නො දක්‌වන බැවින් ඔහුට බොහෝ දේ ගැන නිරවුල් අවබෝධයක්‌ නැත. මා ඉතා පැහැදිලි ව හා නොපැකිළ ව කියන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ඊනියා ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන්, ගුරුත්වාකර්ෂණ බලයක්‌ හෝ ගුරුත්වාකර්ෂණයක්‌ හෝ නැති බව ය. අමරතුංග මහතා ගේ භෞතික විද්‍යා දැවැන්තයා ද මා සමග මෙහි දී එකඟ නො වන්නේ නම් කරුණාකර මීළඟ සතියෙහි ම ඒ බව පවසන මෙන් අමරතුංග මහතා ගෙන් ඉල්ලා සිටිමි. එවිට මට දෙදෙනාට ම පොදු (සාධාරණ හෝ සාමාන්‍ය හෝ නො වේ) පිළිතුරක්‌ දිය හැකි වනු ඇත.

අමරතුංග මහතා අවස්‌ථිති සමුද්දේශ රාමු ගැන කියන දේ පසුව විශ්ලේෂණය කරමි. එතෙක්‌ ඒ මහතා ගේ මැයි 28 දා ලිපියෙහි මේ ප්‍රකාශය සලකා බලමු. "මා සඳහන් කළ 3 වැනි කරුණ වන්නේ (විශේෂ සාපේක්‍ෂතාවාදය පවසන්නේ සිදුවීම් දෙකක්‌ අතර තිබෙන්නේ නිශ්චිත කාල පරාසයක්‌ පමණක්‌ නො ව නිශ්චිත අවකාශ කාල පරාසයකි" යන්න ය. මෙය මා සඳහන් කර ඇති පත පොතේ ඇති ඉංගිරිසි වාක්‍යයක සිංහල පරිවර්තනයයි. එම ඉංගිරිසි වාක්‍යය පහත දැක්‌වෙයි. Rather than an invariant time interval between two events, there is an invariant space-time interval. මේ ගැන නලින් මහතා පවසන්නේ "විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි සිදුවීම් (සිද්ධි) දෙකක්‌ අතර නිශ්aචිත (අමරතුංග මහතා අදහස්‌ කරන්නේ අවිචලක යන්න ද?) කාල පරාසයක්‌ (අවිචලක කාල පරාසයක්‌) නැතZ යන්න ය. මා පවසා ඇත්තේ සිදුවීම් දෙකක්‌ අතර කාල පරාසයක්‌ ඇති බව නො ව විශේෂ සාපේක්‌ෂතාවාදයට අනුව සිදුවීම් දෙකක්‌ අතර ඇත්තේ අවකාශකාල පරාසයක්‌ බවයි. මා නිශ්චිත යන වචනය යොදා ඇත්තේ invariant යන ඉංගිරිසි වචනයේ තේරුම ඉදිරිපත් වීම සඳහා ය. Invariant යන ඉංගිරිසි වචනයේ තේරුම "වෙනස්‌ නො වන" "නිත්‍ය" "නිශ්චිත" වන්නේ ය. නිශ්චිත යන වචනයෙන් මා අදහස්‌ කරන්නේ අවිචලක දැයි නලින් මහතා අසයි. නලින් මහතා කියන්නේ සිදුවීම් දෙකක්‌ අතර නිශ්aචිත (අවිචලක) කාල පරාසයක්‌ නැති බව ය."

පළමුවෙන් ම අප්‍රේල් 30 වැනිදා ලිපියෙහි මේ සම්බන්ධයෙන් මා සඳහන් කර ඇති දේ සම්පූර්ණයෙන් උපුටා දක්‌වන්නේ අමරතුංග මහතා කොටස්‌ පමණක්‌ උපුටා දක්‌වා පාඨකයා මුළා කිරීමට යත්ත දරන බැවිනි. "සාපේක්‌ෂතාවාදය ගැන ගැන අමරතුංග මහතාට කිසි ම අවබෝධයක්‌ නැති බව පහත අප්‍රේල් 23 ලිපියෙහි සඳහන් ප්‍රකාශවලින් ද පැහැදිලි වෙයි.

1. සාපේක්‌ෂතාවාදය රපවතින්නේ සමුද්දේශ රාමු මත වන්නේ ය. 2. විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එම වාදය වලංගු වන්නේ අවස්‌ථිත (වෙනස්‌ නො වන වේගයකින් චලනය වන) සමුද්දේශ රාමුවලට පමණක්‌ වන නිසා ය. 3. විශේෂ සාපේaක්‌ෂතාවාදය පවසන්නේ සිදුවීම් දෙකක්‌ අතර තිබෙන්නේ නිශ්චිත කාල පරාසයක්‌ පමණක්‌ නො ව නිශ්චිත අවකාශ-කාල පරාසයක්‌ බවයි.

1. සාපේක්‌ෂතාවාදය පමණක්‌ නො ව සියල්ල සමුද්දේශ රාමු මත ර පවතියි. එබැවින් සමුද්දේශ රාමු මත ර පැවතීම විශේෂ සාපේක්‌ෂතාවාදයට විශේෂිත වූවක්‌ නො වේ. 2. මෙහි වෙනස්‌ නො වන යන්නෙන් කියෑවෙන්නේ කා හට සාපේක්‌ෂව යන්න ද? අවස්‌ථිත යන්නෙහි තේරුම වරහන් අතර සඳහන් වන ආකාරයට වෙනස්‌ නො වන වේගයකින් චලනය වන්නේ ය යන්න නො වේ. 3. විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි සිදුවීම් (සිද්ධි) දෙකක්‌ අතර නිශ්චිත (අමරතුංග මහතා අදහස්‌ කරන්නේ අවිචලක යන්න ද?) කාල පරාසයක්‌ (අවිචලක කාල පරාසයක්‌) නැත. අමරතුංග මහතාට විද්‍යා පීඨයේ භෞතික විද්‍යාව හදාරන සිසුවකු ගෙන් මේ කරුණු සවිස්‌තර ව දැනගත හැකි ය."

මේ අවුලට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ අමරතුංග මහතා තම අප්‍රේල් 23 ලිපියෙහි (අමරතුංග මහතා මැයි 28 වැනි දින ලිපියෙහි අප්‍රේල් 21 වැනි දා විදුසරක්‌ ගැන සඳහන් කළ ද එදින පළ වූ විදුසරක්‌ නැත. අමරතුංග මහතා සංකල්ප ගැන නො ව එවැනි දේ ගැන වත් සැලකිල්ලක්‌ නො දක්‌වයි) "සිදුවීම් දෙකක්‌ අතර තිබෙන්නේ නිශ්චිත කාල පරාසයක්‌ පමණක්‌ නො ව නිශ්චිත අවකාශ කාල පරාසයකි" යනුවෙන් සඳහන් කිරීම ය. පට්‌ච්චසමුප්පාදය අවබෝධ කරගෙන නොමැති මා වැනි පෘථග්ජන පාඨකයකු මෙයින් තේරුම් ගන්නේ කුමක්‌ ද? සිද්ධි දෙකක්‌ අතර නිශ්චිත කාල පරාසයක්‌ පමණක්‌ නො ව නිශ්චිත අවකාශ කාල පරාසයක්‌ ඇති බව ය. මා සඳහන් කර සිටියේ සිද්ධි දෙකක්‌ අතර අවිචලක කාල පරාසයක්‌ නැති බව ය. දැන් (මැයි 28) අමරතුංග මහතා කියන්නේ තමා ඒ ප්‍රකාශයෙන් තමා "පවසා ඇත්තේ සිදුවීම් දෙකක්‌ අතර කාල පරාසයක්‌ ඇති බව නො ව විශේෂ සාපේක්‌ෂතාවාදයට අනුව සිදුවීම් දෙකක්‌ අතර ඇත්තේ අවකාශකාල පරාසයක්‌ බවයි." ඒ බවක්‌ අප්‍රේල් 23 වැනි දා ලිපියෙන් ගම්‍ය වේ ද? එහි අමරතුංග මහතා ඉතා පැහැදිලි ව සිද්ධි දෙකක්‌ අතර ඊනියා නිශ්චිත කාල පරාසයක්‌ ඇති බව කියයි. ඔහු මැයි 28 වැනි දා උපුටා දක්‌වා ඇති ඉංගිරිසි පාඨය වැරැදියට පරිවර්තනය කර ඇත. ඉංගිරිසි පාඨයෙහි පමණක්‌ නො ව යන අරුත නැත. අමරතුංග මහතා කිසි දිනෙක කිසිවක්‌ ගැඹුරින් හදාරා නැත. ඔහුට ඇත්තේ මතුපිටින් එකතු කරගත් දැනුමකි. සිද්ධි (events - මේ සිදුවීම් නො වේ. අමරතුංග මහතා ඊනියා දැවැන්තයකු ගෙන් හෝ වෙනත් අයකු ගෙන් හෝ භෞතික විද්‍යා පාරිභාෂික ශබ්ද මාලාවක්‌ හැකි ඉක්‌මනින් ලබාගන්නේ නම් මැනවි. බටහිර භෞතික විද්‍යාව ද පට්‌ටපල් බොරු වුවත් එහි දී යොදාගත යුත්තේ පාරිභාෂික වචන මිස එදිනෙදා භාවිත කරන වචන නො වේ. අවුල් මනස්‌ ඇතියවුනට නම් ඕනෑ ම වචනයක්‌ යොදාගැනීම ප්‍රශ්නයක්‌ නො වේ) දෙකක්‌ අතර අවිචලක කාල පරාසයක්‌ නැති බව මා අප්‍රේල් 30 වැනි සඳහන් කළේ අප්‍රේල් 23 වැනි දා අමරතුංග මහතා එයට පටහැනි දෙයක්‌ කියා තිබූ නිසා ය.

ඉහත සඳහන් (1) හා (2) හා තවත් කරුණු ගැන වැඩි විස්‌තර පසුව සඳහන් කරන බැවින් (3) ගැන අවධානය යොමු කරමු. යම් සමුද්දේශ රාමුවක සිද්ධි දෙකක්‌ අතර අවකාශ කාල ප්‍රාන්තරයක්‌ (අමරතුංග මහතාට අනුව කාල පරාසයක්‌) ද වෙයි. විශේෂ හෝ සාධාරණ හෝ සාපේක්‌ෂතාවාදයෙහි යම් සමුද්දේශ රාමුවක සිට නිරීක්‌ෂණය කළ විට ඕනෑ ම සිද්ධි දෙකක්‌ අතර කාල පරාසයක්‌ වෙයි. අමරතුංග මහතා තම දැවැන්තයා ගෙන් ඒ ඇසිය යුතු ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ තමා "පවසා ඇත්තේ සිදුවීම් දෙකක්‌ අතර කාල පරාසයක්‌ ඇති බව නො ව" වෙනත් දෙයක්‌ බව ය. සාපේක්‌ෂතාවාදය හදාරා නොමැති අමරතුංග මහතා යම් සමුද්දේශ රාමුවක නිරීක්‌ෂණය කළ විට සිද්ධි දෙකක්‌ අතර කාල ප්‍රාන්තරයක්‌ පමණක්‌ නො ව අවකාශ කාල ප්‍රාන්තරයක්‌ ද ඇති බව දන්නේ කෙසේ ද? එහෙත් සමුද්දේශ රාමු දෙකක හෝ වැඩි ගණනක හෝ නිරීක්‌ෂණය කළ විට සිද්ධි දෙකක්‌ අතර අවිචලක කාල ප්‍රාන්තරයක්‌ හෝ අවිචලක අවකාශ ප්‍රාන්තරයක්‌ හෝ නැත. මෙහි දී වැදගත් වන්නේ රාමු එකකට වඩා වැඩි සංඛ්‍යාවක්‌ හා අවිචලක යන විශේෂණ පදය ය, ඇත්තේ අවිචලක අවකාශ කාල ප්‍රාන්තරයකි. ඒ බව මා කීම අවශය නැත. උසස්‌ පෙළ පරීක්‌ෂණයෙන් පසු භෞතික විද්‍යාව ක්‍රමවත් ව හදාරා නැති අමරතුංග මහතාට විද්‍යා පීඨයේ භෞතික විද්‍යා ශිෂ්‍යයකු ගෙන් ඒ බව දැනගත හැකි ව තිබිණි. අවිචලක යන වචනය යෙදෙන්නේ සමුද්දේශ රාමු එකකට වඩා ඇති කල ය. අවිචලක යන්න වෙනස්‌ නො වන නිශ්චිත හෝ නියත හෝ යන තේරුම් නො දෙයි. ඒ වචන එක ම සමුද්දේශ රාමුවක වුවත් යොදාගත හැකි ය. මේ පිළිබඳ තවත් දේ පසුව කියමි. අමරතුංග මහතාට මේ සැම වචනයකින් ම එක ම අරුතක්‌ ගෙන දෙයි ෘ ඔහු මැයි 28 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "Invariant යන ඉංගිරිසි වචනයේ තේරුම "වෙනස්‌ නො වන", "නිත්‍ය", "නිශ්චිත" වන්නේ ය.

පටිච්චසමුප්පදාය සූත්‍රවල සන්දර්භය ආදිය ගැන දැනටමත් මා යම් අදහස්‌ පළ කර ඇති නමුත් මතුපිටින් කරුණු තේරුම්ගන්නා අමරතුංග මහතාට ඒ කිසිවක්‌ අවබෝධ නො වේ. කෙසේ වුවත් ඒ පිළිබඳ විස්‌තරයක්‌ කිරීමට අද ඉඩ නැත. එය ද පසුවට කල් තැබීමට සිදු වෙයි. ඔහු මැයි 28 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "නලින් මහතා සාපේක්‌ෂතාවාදය විශ්වවිද්‍යාල සිසුන්ට ඉගැන්වූ බව පවසා ඇත. විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනයේ අදාළ තේරුම නො දැන එය කෙසේ කළේ දැයි අපට සිතාගත හැකි ය. පීඨාධිපති ලෙස සිටි නලින් මහතා ගේ පිංතූරයක්‌ වත් කැලණිය විද්‍යා පීඨයේ එල්ලන්නට නොහැකි වීම ගැන පුදුම විය නොහැකි ය." අමරතුංග මහතාග් බංකොළොත්කම හා ද්වේශය එයින් ම එළිදරවු වෙයි. ඒ ගැන අටුවා ටීකා අවශ්‍ය නො වේ. ඒ අතර ඔහු මෙසේ ද සඳහන් කර ඇත. "නලින් මහතා ගේ අන්තිම තුරුම්පුව ද වැරැදී ඇත. දැන් ඔහුට කේන්ති ගොස්‌ අපට අපහාස කරනවාට වඩා දෙයක්‌ කළ නොහැකි ය. අප වැන්නන්ට අපහාස කරනවා හැර වෙන කුමක්‌ කරන්න දැයි ඔහු අසයි. අදහස්‌වලින් බංකොලොත් වූ විට වෙන කුමක්‌ කරන්න ද?" අමරතුංග මහතා මේ සඳහන් කරන්නේ වෙනත් සන්දර්භයක මැයි 18 වැනි දා ඉරිදා දිවයිනට ලියූ කොටසක්‌ ගැන ය. මා එහි දී සඳහන් කර ඇත්තේ මෙයයි. "මේ බටහිර දාසයන්ට අපහාස කිරිම හැර කරන්නට දෙයක්‌ ඇත් ද?" අමරතුංග මහතාට සන්දර්භය කුමක්‌ වුවත් කම් නැති. ඔහු තමා බටහිර දාසයකු ලෙස සලකන්නේ නම් අපි කුමක්‌ කරමු ද?

නලින් ද සිල්වා