logo3.gif (702 bytes)

HOME


විද්‍යාත්මක දැනුම නව සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වේ

විද්‍යාව යනු සත්‍ය ගවේෂණය වන්නේ ය. සත්‍ය ගවේෂණය යන්නෙන් අදහස්‌ වන්නේ අප ගේ ස්‌වභාවධර්මයේ සහ අප ගේ ජීවිතයේ ක්‍රියාදාමයන් පිළිබඳව සොයාබැලීම සහ අවසානයේ අප ගේ ජීවිතයේ අරුත සොයාගැනීම වන්නේ ය. මේ ලෝකය සහ ජීවීන් ඇති වූයේ කෙසේ ද, කුමක්‌ නිසා ද යන්න සොයාගැනීම සත්‍ය ගවේෂණයේ අවසාන අරමුණ වන්නේ ය. මෙය අප ගේ සත්‍ය ගවේෂණයේ අවසාන අරමුණ විය යුත්තේ මක්‌ නිසා ද? අප ඇති වූයේ කුමක්‌ නිසා දැයි අප දන්නේ නැත. එය නො දැන ජීවත් වීමට අප ගේ සහජ විපරම් කිරීමේ සහ සොයාබැලීමේ අවශ්‍යතාව ඉඩ නො දේ. අප ගේ ජාන ම`ගින් උත්පත්තියෙන් උරුම වූ කුතුහලය, විපරම් කිරීමේ වුවමනාව සහ හැකියාව නිසා අප ගේ ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් පමණක්‌ නො ව ජීවිතයේ අරුත අපට දැනගැනීමට අවශ්‍ය වන්නේ ය. ජීවිතයේ තේරුම කුමක්‌ ද යන්න නිතර අසන ප්‍රශ්නයකි. ජීවිතයේ තේරුම කුමක්‌ දැයි අප දන්නවා නමි අපට මීට වඩා හොඳින් ජීවත් වීමට පුළුවන් විය හැකි ය.

ජාන ම`ගින් උරුම කරගත් විපරමි කිරීමේ අවශ්‍යතාව සහ හැකියාව මිනිසා බිහි වූ දා සිට තිබෙන්නට ඇත. මිනිසා තම ඉන්ද්‍රිය ම`ගින් ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් සොයා බැලීමේ ප්‍රතිඑලයක්‌ ලෙස විද්‍යාව බිහි විය. මෙය කොතැනත් කවදත් සිදු විය. ඔවුහු ගින්දර සොයාගත් හ. ගින්දර ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයකි. එය සොයාගත්තත් නැතත් ස්‌වභාවධර්මයේ ගින්දර තිබිණි. කෑම පිසීම, ශීතලෙන් මිදීම, සතුන් පලවා හැරීම වැනි ප්‍රයෝජන සඳහා ගින්දර යොදවාගැනීමට මිනිසා ඉගෙන ගත්තේ ය. ගින්දර මිනිසා ගේ සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වේ. ගින්දරවලින් කෑම පිසිය හැකි බව සොයාගැනීමක්‌ විය. එම හැකියාව ගින්දර තුළ තිබිණි. මිනිසා එය සොයාගත්තේ ය. ගින්දරවලින් ලබාගත හැකි ප්‍රයෝජත මෙන්ම ඉන් සිදු විය හැකි හානි පිළිබඳව මිනිසා දැනුම ලබා ගත්තේ ය. එහෙත් ගින්දර යනු කුමක්‌ දැයි දැනගත්තේ කලකට පසුව ය. ස්‌වභාවධර්මයේ තිබූ නොයෙකුත් ක්‍රියාදාමයන්වලින් මිනිසා එල ප්‍රයෝජන ලබා ගත්තේ ඒවා පිළිබඳව නියම වැටහීමක්‌ නොමැති ව ය. පසුව ඒවායේ නියම ස්‌වභාවය කුමක්‌ දැයි සොයා දැන ගත්තේ ය. ගහක එල්ලෙන ගෙඩියක්‌ කේක්‌කකින් කැඩූ විට වෙන කොහේ වත් නො යා බිමට වැටෙන බව සොයාගත්තේ ය. එම දැනුම ප්‍රයෝජනයට ගෙන ගස්‌වල තිබූ ගෙඩි කෙක්‌කක්‌ පාවිච්වි කොට කඩා ගත්තේ ය. පසුව ගුරුත්වාකර්ෂණය සොයාගත්තේ ය.

ගින්දර යනු කුමක්‌ දැයි සොයාගැනීම දැනුම නිර්මාණය කිරීමක්‌ වශයෙන් හැඳිනගැනීම වැරැදි නිගමනයකි. ගින්දර යනු කුමක්‌ දැයි නිවැරැදි ව සොයාගැනීම වූ කලි ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයක්‌ හරිහැටි වටහාගැනීම වේ. ඒ සඳහා අවශ්‍ය සාක්‌ෂි තිබේ නමි පමණි එය දැනුමක්‌ වන්නේ. යම් අදහසක්‌ හෝ මතයක්‌ හෝ විශ්වාසයක්‌ ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි සොයාගැනීම දැනුම ලබාගැනීමේ ක්‍රියා මාර්ගය වන්නේ ය. සැම සාක්‌ෂියක්‌ ම සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වන්නේ ය. එම සාක්‌ෂි සියල්ලක්‌ ම ස්‌වභාවධර්මය තුළ පවතින වස්‌තුන් හෝ ක්‍රියාදාමයන් විය යුතු ය. එම සාක්‌ෂි නිර්මිතයක්‌ නො වන්නේ ය. විද්‍යාත්මක ක්‍රමවේදයේ ප්‍රධාන මූලධර්මයක්‌ වන්නේ සැම මතවාදයක්‌ ම ඔප්පු කිරීම පිණිස ස්‌වාභාවික ලෝකයෙන් සාක්‌ෂි සොයා ගත යුතු බව ය. එසේ නොමැති ව තර්කය හෝ ප්‍රතිහානය හෝ දේව වාක්‍ය හෝ යොදාගැනීමෙන් එය කළ නොහැකි ය.

උද්‍රහරණයක්‌ ලෙස ගුරුත්වාකර්ෂණය ගනිමු. ගහෙන් ගිලිහණු ගෙඩියක්‌ පොළොවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන මතය ඔප්පු කිරීම පිණිස සාක්‌ෂි සොයාගත හැකි ද? ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. අපට ඉන්ද්‍රිය ගෝචර වන්නේ ගහෙන් ගෙඩිය බිමට වැටීම ය. තව ද ගිලිහුණු ගෙඩිය එතන ම නො රැඳෙන බව ද උඩුගුවනට හෝ දකුණට හෝ උතුරට හෝ වෙන යම් දිශාවකට හෝ නො යැම ද ඉන්ද්‍රිය ගෝචර වේ. ගහෙන් ගිලිහුණු ගෙඩිය පොළොවට වැටෙන්නේ ගෙඩිය සහ පෘථිවිය අතර ඇති යම් කිසි බලයක්‌ නිසා බව අපට සිතිය හැකි ය. පෘථවියෙන් ඈතට යන විට මේ බලය අඩු වන බව ද සොයාගත හැකි ය. හඳ මත ඇති මේ බලය පෘථවිය මත ඇති බලයට වඩා අඩු බව ද සොයාගත හැකි ය. වස්‌තුවක ස්‌කන්ධය අනුව මේ බලය වෙනස්‌ වන බව ද ස්‌කන්ධය වැඩි වන විට බලය වැඩි වන බව ද වස්‌තු දෙකක්‌ අතර ඇති දුර වැඩි වන විට බලය අඩු වන බව ද සොයාගත හැකි ය. මේ සියලු සාක්‌ෂි ස්‌වභාවධර්මය තුළ පවතින ක්‍රියාදාමයන් මිස අප නිර්මාණය කළ දේවල් නො වන බව ද පෙනී යා යුතු ය. අපි මේ බලය හැඳිනගැනීම පිණිස ගුරුත්වාකර්ෂණ බලය යෑයි නමි කරමු. අප නිර්මාණය කර ඇත්තේ නමක්‌ පමණි. සාක්‌ෂි කිසිවක්‌ අප නිර්මාණය කර නැත. එම සාක්‌ෂි සියල්ලක්‌ ස්‌වභාවධර්මය තුළ පවතින ක්‍රියාදාමයන් වන්නේ ය.

මේ ක්‍රියාදාමයන් පිළිබඳ දැනුම ක්‍රමයෙන් අවස්‌ථාවෙන් අවස්‌ථාවට ලබාගත් එකක්‌ මිස සියලු දේ එකවර ලබාගත් දැනුමක්‌ නො වී ය. උදාහරණයක්‌ ලෙස මිනිසා ගින්දර සොයාගත් විට ගින්දර යනු කුමක්‌ දැයි යන දැනුම ද ඔහුට ලැබුණේ නැත. ගින්දර වනාහි රසායනික ප්‍රතික්‍රියාවක එලයක්‌ බව මිනිසා සොයාගත්තේ පසු කලක දී ය. කාබන් සහ ඔක්‌සිජන් එකතු වී කාබන් ඩයොක්‌සයිඩි සෑදෙන විට ගින්දර ඇති වේ. ගිනි දැල්ල යනු කුමක්‌ දැයි එම රසායනික ප්‍රතිකියාවෙන් පැහැදිලි වන්නේ නැත. ඉන් පිට වන ආලෝකය සහ තාපය කෙසේ සෑදෙන්නේ දැයි සොයාගනු ලැබුවේ ඊටත් පසු ව ය. එම දැනුම ද සමිපූර්ණ වූ අවසාන දැනුම නො වන්නට පුළුවන. එවැනි දැනුමක්‌ කවර දා හෝ ලබාගන්නට පුළුවන. එතෙක්‌ අප ලබා ඇති දැනුමෙන් නොයෙකුත් ප්‍රයෝජන ලබා ගත හැකි ය.

දැනුම ස්‌වභාවධර්මයේ වස්‌තුන් සහ ක්‍රියාදාමයන් ගේ ස්‌වභාවය පිළිබඳ වටහාගැනීමක්‌ නිසා එය නව සොයාගැනිමකි. ක්‍රියාදාමය ගැන පූර්ණ වූ වටහාගැනීමක්‌ නැතත් යමි ප්‍රමාණයක සත්‍ය වූ වැටහීමක්‌ ලබාගත හොත් එම දැනුම භාවිත කොට එල ප්‍රයෝජන ලබා ගත හැකි වන්නේ එහි සත්‍යතාවක්‌ තිබෙන නිසා ය. කාබන් සහ ඔක්‌සිජන් ප්‍රතික්‍රියාවේ යෙදීම ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයකි. එම දැනුම භාවිත කොට නොයෙකුත් එල ප්‍රයෝජන අපට ලබාගත හැකි ය. එම ප්‍රතික්‍රියාව සිදු වන විට තාප ශක්‌තිය පිට වන බව සොයාගන්නා ලදී. එම තාප ශක්‌තිය ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයකි. එම නිසා මේ දැනුම නිර්මිතයක්‌ නො ව සොයාගැනීමකි. කාබන් සහ ඔක්‌සිජන් රසායනික ප්‍රතික්‍රියාවක යෙදෙන බව පැවසීම අප ගේ නිර්මාණයක්‌ වන්නේ ද? කාබන් සහ ඔක්‌සිජන් එකතු වී සිදු වන ක්‍රියාදාමය රසායනික ප්‍රතික්‍රියාවක්‌ යනුවෙන් පැවසීම එම ක්‍රියාදාමය හැඳිනගැනීම පිණිස යෙදෙන වචන මිස නව නිර්මාණයක්‌ නො වන්නේ ය. කාබන් සහ ඔක්‌සිජන් පරමාණු අතර සිදු වන සංයෝගය විස්‌තර සහිත ව පැහැදිලි කිරීම නිර්මාණයක්‌ නො ව සොයාගත් දෙයක්‌ පැහැදිලි කිරීම ය.

විද්‍යාත්මක දැනුම පදනම් වී ඇත්තේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත වන්නේ ය. මිනිසුන් සිය දෙනකු ගෙන් 95 දෙනකුට වැඩි ප්‍රමාණයකට ගසක්‌ පෙනෙනවා නමි ගසක්‌ ඇති බව විශ්වාස කළ හැකි ය. එම ගසේ කඳ, අතු ඉති, කොළ, මල්, ගෙඩි, මුල් අවශ්‍ය නම් සිය දෙනකු ලවා පරීක්‌ෂා කරවා තවත් සාක්‌ෂි ලබාගත හැකි ය. අවශ්‍ය නම් ගසේ කොටස්‌ අණ්‌වික්‍ෂයක මාර්ගයෙන් පරීක්‌ෂා කරගෙන ගස පිළිබඳ ව තවත් සාක්‌ෂි ලබා ගත හැකි ය. මේ සාක්‌ෂි ගොන්න ස්‌වභාවධර්මය තුළ පිහිටි ඒවා ය. එම සාක්‌ෂි එකකට එකක්‌ ආධාරකයක්‌ ලෙස කටයුතු කරන්නේ ය. ඒවා මිනිසා ගේ සොයාගැනීමක්‌ මිස නිර්මිතයක්‌ නො ෙවි. එම සාක්‌ෂි ගසේ පැවැත්ම ව්‍යහය සහ ක්‍රියාකාරීත්වය ඔප්පු කොට පෙන්වන්නේ ය.

රෝදය සොයා ගැනීමක්‌ ද නැතිනම් නිර්මාණයක්‌ දැයි ප්‍රශනයක්‌ අසන්නට ඉඩ ඇත. රෝදයක හැඩය ඇති ස්‌වභාවධර්මයේ පවතින වස්‌තුන් පිළිබඳව මිනිසා පර්යේෂණ කරන්නට ඇත. රවුම් වූ ලී කොට පලතුරු වැනි වස්‌තු පෙරළෙමින් චලනය වනවා ඔවුන් දකින්නට ඇත. රවුම් වූ වස්‌තුවකට පෙරළිය හැකි බව ඔවුන් සොයාගත් මුල් දැනුම වන්නේ ය. මේ දැනුම භාවිත කොට ඔවුන් රෝදය සහ ඊට පසු වාහන සාදාගන්නට ඇත. එම දැනුම භාවිත කොට අත් කරත්තය, අශ්ව කරත්තය, ගොන් කරත්තය වැනි වාහන ඔවුන් නිපදවන්නට ඇත. මේ නිපදවීම් පිණිස රෝදය පිළිබඳ මුල් දැනුම සහ තවත් දැනුම් රාශියක්‌ ඔවුන් භාවිත කරන්නට ඇත. රෝදයට පෙරළීමට හැකි ය යන දැනුම සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වන්නේ ය. මෙතැන වැදගත් ම අදහස වන්නේ රෝදයට පෙරළිය හැකි ය යන්න දැනුමක්‌ බවත් එය සොයාගැනීමක්‌ බවත් ය. දැනුම භාවිත කොට නොයෙක්‌ දේ නිර්මාණය කිරීම දැනුම නිර්මාණය කිරීමක්‌ නො වන්නේ ය.

දැනුම නිර්මාණයක්‌ යෑයි නලින් ද සිල්වා මහතා පවසන්නේ කුමන සාධක මත පදනමි වී දැයි පැහැදිලි කොට නැත. යමි කිසි මතයක්‌ හෝ අදහසක්‌ හෝ විශ්වාසයක්‌ හෝ දැනුමක්‌ බවට පත් කිරීමට අවශ්‍ය සාක්‌ෂි සොයාගෙන ඒවා සාක්‌ෂි ලෙස පිළිගැනීම සිදු වන විට නැත හොත් එම මතය සමග සාක්‌ෂි සම්බන්ධ කරන විට යමි කිසි නිර්මාණයක්‌ සිදු වන්නේ ද? ගහෙන් ගිලිහුණු ගෙඩිය බිමට වැටීම යන සිද්ධිය ගුරුත්වාකර්ෂණය සමග සම්බන්ධ කරන විට අප දැනුම නිර්මාණය කරන්නේ ද? ගෙඩිය බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන නිගමනය අපගේ නිර්මාණයක්‌ ද? සාධත මත පදනමි වූ නිගමනයක්‌ නිර්මාණයක්‌ විය නොහැකි ය. ගුරුත්වාකර්ෂණය පිළිබඳ සාක්‌ෂි ගොන්නක්‌ ඇත. ඒවා එකකට එකක්‌ ආධාරකයක්‌ ලෙස ක්‍රියා කරයි. ඒවා එකතු වන්නේ ඒ ලෙස ය. ඒවා එකතු කෙරෙන්නේ විද්‍යාඥයා විසින් නො වේ. ඒවා එකතු වන්නේ විද්‍යාඥයා විසින් ඒවාට එකතු කරන ලද ගුණයක්‌ නිසා නො ෙවි. ඒවා එකට එකතු කොට දර මිටියක්‌ වැනි සාක්‌ෂි ගොන්නක්‌ බවට පත් කරන්නේ ඒවා තුළ ඇති ගුණයක්‌ නිසා ය. එම ගුණය වනාහී ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන් බව පැවසිය හැකි ය. මෙවැනි ක්‍රියාවලියක්‌ පිළිබඳ සොයාගැනීම විද්‍යාඥයා ගේ නිර්මාණයක්‌ බව පැවසීම නිර්මාණයක්‌ යනු කුමක්‌ දැයි නො දන්නා කෙනකු පවසන දෙයකි.

කරත්තයක්‌ නිර්මාණය කරන විට එහි කොටස්‌ එකට එකතු කිරීම පිණිස වඩුවා එම කොටස්‌වලට යමි කිසි ගුණයක්‌ එකතු කරයි. උදාහරණයක්‌ ලෙස රෝදය අලවංගුවට සවි කිරීම පිණිස එහි මැද රවම් සිදුරක්‌ තැනිය යුතු ය. මේ ගුණාංග එම කොටස්‌වලට සහජයෙන් ස්‌වාභාවික ව තිබුණු ඒවා නො ව වඩුවා විසින් එකතු කරන ලද ඒවා ය. එකතු වීමට අවශ්‍ය ගුණාංග එම කොටස්‌වල ස්‌වාභාවිකව තිබුණේ නැත. මේ ක්‍රියාවලිය සහ ගුරුත්වකර්ෂණයනට අදාළ සාක්‌ෂි එකට එකතු වීම සහමුලින් ම වෙනස්‌ ය.

නිර්මාණකරුවා නිර්මාණයක දී ඉහත සඳහන් පරිදි ස්‌වභාවධර්මය තුළ පවතින දෙයක්‌ යම්කිසි වෙනසකට භාජන කරයි. ස්‌වභාවධර්මය පිළිබඳ සොයාගැනීමක දී එවැනි වෙනස්‌ කිරීමක්‌ සිදු වන්නේ නැත. ගහෙන් ගිලිහුණු ගෙඩිය එතන ම නො තිබීම, බිමට වැටීම, උඩු ගුවනට නො යැම, උතුරට දකුණට හෝ වෙන කොහේ වත් නො යැම යන සාක්‌ෂි එකතු වන්නේ ස්‌වාභාවිකව ය. ඒවා කෘත්‍රිම ලෙස නිර්මාණත්මක ව එකතු කරන්නට අවශ්‍ය නැත. ඒවා ස්‌වාභාවිකව එකතු වන බව සොයාගැනීම විද්‍යාත්මක සොයාගැනීමක්‌ වන්නේ ය. ගුරුත්වාකර්ෂණය පිළිබඳ ඉහත සඳහන් අනෙකුත් සාක්‌ෂි ගැන ද කිව යුතු වන්නේ මේ දේ ම ය.

ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් එවැනි බලයක්‌ ඇති බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි ඕනෑවටත් වඩා සොයාගෙන ඇත. ස්‌වභාවධර්මයේ නොයෙකුත් ක්‍රියාදාමයන් ඉන්ද්‍රිය ගෝචර නො වේ. උදාහරණ ලෙස විදුලිය, චුමිබක්‌තවය, විද්යුත්චුම්බක ක්‍ෂේත්‍ර, X කිරණ, infra red ultra violet කිරණ ඉදිරිපත් කළ හැකි ය. මේ ක්‍රියාදාමයන් පවතින බව ඔප්පු කිරිමට අවශ්‍ය සාක්‌ෂි සොයාගෙන ඇත. ෙමි ක්‍රියාදාමයන් සමහරක්‌ ශක්‌ති ප්‍රභේද වශයෙන් පවතියි. එක ශක්‌ති ප්‍රභේදයක්‌ වෙනත් ශක්‌ති ප්‍රභේදයකට පරිවර්තනය වීම ස්‌වභාවධර්මය තුළ සිදු වන ක්‍රියාදාමයකි. උදාහරණයක්‌ ලෙස සූර්යයා ගෙන් ලැබෙන ආලෝකයේ තිබෙන ශක්‌තිය හරිතප්‍රද ලවයන් තිබෙන ශාක විසින් ප්‍රභාසංශ්ලේෂණය ම`ගින් ආහාර නිපදවා ශක්‌තිය ලෙස තැන්පත් කරගනියි. මෙසේ ලබාගත් ශක්‌තිය ශාකයේ නොයෙකුත් ක්‍රියාවන් සඳහා භාවිත කරයි. මේ ස්‌වාභාවික ක්‍රියාදාමය පවතින බව ඔප්පු කිරීමට සාක්‌ෂි සොයාගෙන ඇත. ගුරුත්වාකර්ෂණය ද මිනිසා ගේ ප්‍රයෝජනයට භාවිත කළ හැකි බව පෙන්වා දිය හැකි ය. වතුර ඇද ගැනීමට බාල්දියක්‌ ළිඳ තුළට දැමිය හැකි වන්නේ ගුරුත්වාකර්ෂණ බලයක්‌ තිබෙන නිසා ය. අහස්‌ යානාවක්‌ බිමට බැස්‌විය හැක්‌කේ ගුරුත්වාකර්ෂණ බලය තිබෙන නිසා ය. අපට ඇවිදගෙන යා හැකි වන්නේ ගුරුත්වාකර්ෂණ බලය තිබෙන නිසා ය. හඳ මත ඇවිදීම අමාරු කාර්යයක්‌ වන්නේ ඒ මත ගුරුත්වාකර්ෂණ බලය අඩු බැවිනි.

කුමක්‌ හෝ මතයක්‌ අදහසක්‌ හෝ විශ්වාසයක්‌ ඔප්පු කිරීම සඳහා පර්යේෂණයක්‌ සිදු කරන විට විද්‍යාඥයා සාක්‌ෂි නිර්මාණය කරනවා ද නැතිනමි සාක්‌ෂි සොයා ගන්නවා දැයි සොයා බැලිය යුතු ය. සාක්‌ෂි නිර්මාණය කරනවා නමි විද්‍යාත්මක දැනුම සොයාගැනීමක්‌ නො ව නිර්මාණයක්‌ ලෙස සැලකිය හැකි ය. යම්කිසි බෙහෙතකට යම්කිසි රෝගයක්‌ සුව කිරීමේ හැකියාවක්‌ ඇත් දැයි සොයාබැලීම සඳහා පර්යේෂණයක්‌ සිදු කළ හැකි ය. එම රෝගයෙන් පෙළෙන රෝගීන් සෑහෙන ප්‍රමාණයක්‌ වයස සහ ස්‌ත්‍රි පුරුෂභාවයට අනුව සමාන කණ්‌ඩායම් දෙකකට බෙදා එක කණ්‌ඩයාමකට බෙහෙත ද අනෙක්‌ කණ්‌ඩායමට බෙහෙත වෙනුවට පෙනුමෙන් ඊට සමාන ශරීරයට හානියක්‌ නො කරන ද්‍රව්‍යයක්‌ ද දිය හැකි ය. (මෙය මේ පර්යේෂණය පිළිබඳ ඉතා කෙටි විස්‌තරයකි). බෙහෙත් ලැබූ කණ්‌ඩයාම සුව වන බව ද බෙහෙත් නො ලැබූ කණ්‌ඩායම සුව නො වන බව ද නිරීක්‌ෂණය කළා නම් එම රෝගයට එම බෙහෙත සුදුසු බව නිගමනය කළ හැකි ය. මෙතැන දී සිදු වන්නේ සාක්‌ෂි නිර්මාණය කිරීමක්‌ නො වන බව පැහැදිලි ය. මෙතැන සාක්‌ෂි වන්නේ බෙහෙත් ලැබූ රෝගීන් සුව වීමත් වෙනත් ද්‍රව්‍යයක්‌ ලැබූ රෝගීන් සුව නො වීමත් ය. රෝගය සුව වීම සහ සුව නො වීම ස්‌වාභාවික සිදුවීමි ය. සුව වීම සහ සුව නො වීම නිරීක්‌ෂණය කරන්නේ රෝගය හඳුනාගන්නා රෝග ලක්‌ෂණ සහ පරීක්‌ෂණ මගිනි. රෝගය සුව වීම හෝ නො වීම නිගමනය කිරීම නිරීක්‌ෂකයා ගේ නිර්මාණයක්‌ නො වීම පිණිස පර්යේෂණය පාලනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයේ නිතිරීති පද්ධතියක්‌ ඇත. උදාහරණයක්‌ ලෙස රෝග ලක්‌ෂණ නිරීක්‌ෂණය කිරීම එම නීති රීතිවලට අනුකූල ව ප්‍රමිතිකරණයකට ලක්‌ කළ හැකි ය. රසායනික ක්‍රම භාවිත කොට රෝගයකට ප්‍රතිකාර කිරීම පිණිස අලුත් බෙහෙතක්‌ නිෂ්පාදනය කළා යෑයි සිතමු. මෙය සොයාගැනීමක්‌ ද නැතිනමි නිර්මාණයක්‌ ද? අලුත් බෙහෙත නිෂ්පාදනය කරන්නට යම්කිසි දැනුම් කිහිපයක්‌ භාවිත කරන්නට ඇත. එම දැනුම් එකක්‌ වත් නිර්මාණයන් නො වන බව ද ඒවා සොයාගැනීම් බව ද පෙන්වා දිය හැකි ය. තව ද එම අලුත් බෙහෙතට එම රෝගය සුව කිරීමේ හැකියාව තිබෙන බව සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වන්නේ ය. සැම තාක්‌ෂණික නිර්මාණයක්‌ ගැන ම පැවසිය හැක්‌කේ මේ දේ ම ය.

පර්යේෂණවල දී කෙතරමි නිතිරීතිවලට අනුව ක්‍රියා කළා වුව ද නිගමනය තුළ සම්පූර්ණ නිවැරැදි බවක්‌ හෝ නිශ්චිත බවක්‌ හෝ දැකිය නොහැකි ය. රෝගයක්‌ සඳහා සුදුසු බෙහෙත රෝගීන් 100කට දුන් විට 100 දෙනා ම සුව නො වන්නට පුළුවන. 95 දෙනකුට වැඩි ප්‍රමාණයක්‌ සුව වේ නමි එම රෝගය සුව කිරීෙමි හැකියාව එම බෙහෙතට තිබෙන බව නිගමනය කළ හැකි ය. රෝගීන් 100 දෙනා ම සුව නො වූ නිසා එම බෙහෙත සුදුසු නැතැයි කියා අහක දැමිය නොහැකි ය. දැන් ප්‍රශ්නය වන්නේ රෝගියකුට මේ බෙහෙත දුන් විට නිශ්චිත වශයෙන් රෝගය සුව වේ යෑයි දැනගෙන එම බෙහෙත භාවිත කළ හැකි ද යන්න ය. සුව වීමේ සමිභාවිතාව 95%ක්‌ වන නිසා ය. විද්‍යාත්මක නිගමනයන් තුළ බොහෝ විට මෙවැනි අවිනිශ්චිතතාවක්‌ තිබිය හැකි ය. ස්‌වල්ප දෙනකු ගේ රෝගය ඒ බෙහෙතෙන් සුව නො වන්නට හේතු තිබිය හැකි ය. එම කරුණ වෙන ම සොයා බැලිය හැකි ය. විද්‍යාත්මක දැනුම තුළ සමිපූර්ණ

නිවැරැදි බවක්‌ හෝ නිශ්චිත බවක්‌ හෝ දැකිය නොහැකි වූවාට එය මිනිසා ගේ නිර්මාණයක්‌ නො වන්නේ ය.

(මතු සම්බන්ධයි)
මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc