logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
නලින් ද සිල්වා මහතා සාපේක්‍ෂතාවාදය වත් වටහාගෙන නැත


විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශේෂ යන වචනයෙන් අදහස්‌ වන්නේ කුමක්‌ දැයි නලින් මහතා දන්නේ නැත. මෙය නො දැන සාපේක්‍ෂතාවාදය වටහාගත නොහැකි ය. විද්වත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාද දෙක වෙන් කොට හැඳිනගැනෙන්නේ විශේෂ (සීමිත) සහ සාමාන්‍ය (සාධාරණ) යන වචනවල අදාළ අරුත මඟින් ය. විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශේෂ යන වචනයෙන් අදහස්‌ වන්නේ එම මතවාදය වලංගු වන්නේ අවස්‌ථති සමුද්දේශ රාමුවලට පමණක්‌ වන බව ය. අවස්‌ථිති සමුද්දේශ රාමු ලෙස ගැනෙන්නේ එකිනෙකට සාපේක්‍ෂව නියත වේගයකින් ගමන් කරන රාමු ය. වෙනත් රාමු ද ඇත. එකිනෙකට සාපේක්‍ෂව වේගය අඩු වන හෝ වැඩි වන රාමු ඒ ගණයට අයත් වේ. සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය වලංගු වන්නේ සැම රාමුවකට ම සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන්ට ය (gravitational effects)ග මේ කිසිවක්‌ නලින් මහතා වටහාගෙන නැත. එම නිසා ය ඔහු මේ ගැන මා පැවසූ දේ පිළිබඳව බහුභූත කතා කියන්නේ.

සාපේක්‌ෂතාවාදය ගැන මා පැවසූ කරුණු මෙසේ ය.

1. සාපේක්‍ෂතාවාදය රඳා පවතින්නේ සමුද්දේශ රාමු මත ය.

2. විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එම වාදය වලංගු වන්නේ අවස්‌ථිති (වෙනස්‌ නො වන වේගයකින් චලනය වන) සමුද්දේශ රාමුවලට පමණක්‌ වන නිසා ය. (විදුසර - 26.2.2014).

මා පැවසු දෙය වැරැදි බව කියමින් මේ ගැන නලින් මහතා මෙසේ පවසයි."සාපේක්‍ෂතාවාදය පමණක්‌ නො ව සියල්ල සමුද්දේශ රාමු මත පවතියි. එබැවින් සමුද්දේශ රාමු මත රපැවතීම විශේෂ සාපේක්‍ෂතාවාදයට විශේෂ වූවක්‌ නො වේ" (විදුසර - 30.4.2014). සමුද්දේශ රාමු මත රඳා පැවතීම විශේෂ සාපේක්‍ෂතාවාදයට විශේෂ වූවක්‌ බව මා පවසා නැති බව ඥානවන්ත පාඨකයාට පෙනී යනවා ඇත. විශේෂ යන වචනයේ අදාළ අරුත නො දන්නා නලින් මහතා මා නො කිව් දෙයක්‌ ගැන බහුභූත කතා කියයි. මෙවැනි බහුභූත කිව හැක්‌කේ සාපේක්‍ෂතාවාදය ගැන හාන්කවිසියක්‌ නො දන්නා කෙනකුට ය. විද්‍යා පීඨයේ භෞතික විද්‍යාව හදාරන සිසුවකු ගෙන් වත් අසා දැනගැනීමට අවශ්‍ය ප්‍රාථමික ඥානය නලින් මහතාට නැත.

නලින් මහතා මගෙන් ඉගෙන ගන්න කැමැති බව කියා ඇත. එසේ නම් පළමු පාඩම මෙසේ සඳහන් කරමි ( කුමක්‌ හෝ දෙයක්‌ අධ්‍යයනය කරන විට එහි නම පිළිබඳව හොඳ වැටහීමක්‌ පළමුව ලබාගන්න. විද්වත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාද දෙක වෙන් කොට හැඳිනගැනීම පිණිස විශේෂ සහ සාමාන්‍ය යන වචන යොදා ඇත්තේ ඉතා ම වැදගත් තේරුමක්‌ ඇති ව ය. විශේෂ යන වචනයෙන් අදහස්‌ වන්නේ විශේෂ සාපේක්‍ෂතාවාදය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමුවලට පමණක්‌ ය යන්න ය. ඉහත සඳහන් ලෙස මා පවසා ඇත්තේ එය ය. සාමාන්‍ය යන වචනයෙන් අදහස්‌ වන්නේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය වලංගු වන්නේ සියලු සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍ය (gravitational effects) ස`දහා බව ය. මේවා විද්වත් අයින්ස්‌ටයින් පැවසූ අදහස්‌ ය. සමුද්දේශ රාමු මත රපැවතීම විශේෂ සාපේක්‍ෂතාවාදයට විශේෂ වූවක්‌ යෑයි මා පවසා නැත. මා එසේ පවසා ඇතැයි නලින් මහතා සිතන්නේ විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශේෂ යන වචනයේ වැදගත්කම සහ අරුත ගැන ඔහු මෙලෝ හසරක්‌ නො දන්නා නිසා ය.

විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශේෂ යන වචනය අදාළ අරුත හරිහැටි තේරුම් නො ගෙන සාපේක්‍ෂතාවාදය තේරුම් ගන්නේ කෙසේ ද? විද්‍යා පීඨයේ භෞතික විද්‍යාව හදාරන සිසුවකු ගෙන් මේ ගැන අසා දැනගත යුතු යෑයි ඔහු මට අණ කරයි. නලින් මහතා කළ යුත්තේ උසස්‌ පෙළ හදාරන සිසුවකු ගෙන් භෞතික විද්‍යාවේ මුල් පාඩම් අසා දැනගෙන මුල සිට පටන් ගැනීම ය.

නලින් මහතා සාපේක්‍ෂතාවාදය විශ්වවිද්‍යාල සිසුන්ට ඉගැන්වූ බව පවසා ඇත. විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශේෂ යන වචනයේ අදාළ තේරුම නො දැන එය කෙසේ කළේ දැයි අපට සිතා ගත හැකි ය. පීඨාධිපති ලෙස සිටි නලින් මහතා ගේ පින්තූරයක්‌ වත් කැලණිය විද්‍යා පිඨයේ එල්ලන්නට නොහැකි වීම ගැන පුදුම විය නොහැකි ය. විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශේෂ යන වචනය ඉතා ම වැදගත් ය. චලනය පිළිබඳ සමුද්දේශ රාමු මත පදනම් වූ අනෙකුත් මතවාදවලින් විශේෂ සාපේක්‍ෂතාවාදය වෙන් කෙරෙන්නේ විශේෂ යන වචනය විසින් ය. විශේෂ යන වචනය යෙදෙන්නේ එම වාදය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමු (inertial reference frame)වලට පමණක්‌ වන නිසා බව විද්වත් අයින්ස්‌ටයින් පවසා ඇත (1905). අවස්‌ථිති යන වචනයේ තේරුම හැටියට වරහන් තුළ මා යොදා ඇත්තේ "වෙනස්‌ නො වන වේගයකින් චලනය වන" යන්නය (විදුසර 23 .4.14). මෙය වැරැදි බව නලින් මහතා පවසයි. එය වැරැදි වන්නේ කෙසේ දැයි ඔහු පහදා දී නැත. අවස්‌ථිති යන වචනය යෙදෙන්නේ inertial යන ඉංග්‍රීසි වචනයේ අරුත ලෙස ය. inertial යන ඉංගි්‍රසි වචනයේ තේරුම මා සඳහන් කර ඇති පත පොතේ විස්‌තර වන්නේ frames of reference moving at constant speed යන ආකාරයට ය. "වෙනස්‌ නො වන වේගය" යන වචන මා භාවිත කොට ඇත්තේ මේ අදහස ඇතුව බව පැහැදිලි ය. මෙහි වරදක්‌ නැති බව ඥානවන්ත පාඨකයාට තේරුම් යනවා ඇත. නලින් මහතා ඒ ගණයට නො වැටෙන නිසා එහි වරදක්‌ දකී. විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශේෂ යන වචනය යොදන්නේ කුමක්‌ නිසා දැයි නො දන්නා නලින් මහතා මේවායේ වැරැදි දැකීම පුදුමයක්‌ නො වේ. Intertial යන ඉංගී්‍රසි වචනයේ තේරුම inherent property of objects to continue at rest or unfirom motion in a straight line වන්නේ ය. අවස්‌ථිති යන සිංහල වචනය මේ සඳහා යොදන බව මම දනිමි.

මා සඳහන් කළ 3 වැනි කරුණ වන්නේ ( "විශේෂ සාපේක්‍ෂතාවාදය පවසන්නේ සිදුවීමි දෙකක්‌ අතර තිබෙන්නේ නිශ්චිත කාල පරාසයක්‌ පමණක්‌ නො ව නිශ්චිත අවකාශ කාල පරාසයකි" යන්න ය. මෙය මා සඳහන් කර ඇති පත පොතේ ඇති ඉංගී්‍රසි වාක්‍යයක සිංහල පරිවර්තනයයි. එම ඉංගි්‍රසි වාක්‍යය පහත දැක්‌වෙයි Rather than an invariant time
interval between two events, there is an invariant space-time interval මේ ගැන නලින් මහතා පවසන්නේ "විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සිදුවිමි (සිද්ධි) දෙකක්‌ අතර නිශ්චිත (අමරතුංග මහතා අදහස්‌ කරන්නේ අවිචලක යන්න ද?) කාල පරාසයක්‌ (අවිචලක කාල පරාසයක්‌) නැත" යන්න ය. මා පවසා ඇත්තේ සිදුවිමි දෙකක්‌ අතර කාල පරාසයක්‌ ඇති බව නො ව විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව සිදුවීම් දෙකක්‌ අතර ඇත්තේ අවකාශකාල පරාසයක්‌ බවයි. මා නිශ්චිත යන වචනය යොදා ඇත්තේ invariant යන ඉංගි්‍රසි වචනයේ තේරුම ඉදිරිපත් වීම සඳහා ය. Invariant යන ඉංගී්‍රසි වචනයේ තේරුම "වෙනස්‌ නො වන" "නිත්‍ය" "නිශ්චිත" වන්නේ ය. නිශ්චිත යන වචනයෙන් මා අදහස්‌ කරන්නේ අවිචලක දැයි නලින් මහතා අසයි. නලින් මහතා කියන්නේ සිදුවිම් දෙකක්‌ අතර නිශ්චිත (අවිචලක) කාල පරාසයක්‌ නැති බව ය. සිදුවීමි දෙකක්‌ අතර ඇත්තේ කුමක්‌ දැයි ඔහු පවසා නැත. සිදුවීම් දෙකක්‌ අතර නිශ්චිත (අවිචලක) අවකාශ-කාල පරාසයක්‌ ඇතැයි ඔහු පවසා නැත. ඔහු කියන්නේ විද්‍යා පීඨයේ භෞතික විද්‍යාව හදාරන සිසුවකු ගෙන් අසා දැන ගන්න කියා ය. එහෙත් විද්වත් අයින්ස්‌ටයින් කියා ඇත්තේ සිදුවීම් දෙකක්‌ අතර ඇත්තේ අවකාශ-කාල පරාසයක්‌ බව ය. මා පවසා ඇත්තේ අයින්ස්‌ටයින් පවසා ඇති දෙය ය. මා පවසා ඇති දෙය විකෘති කරන්නේ නලින් මහතා සාපේක්‍ෂතාවාදය ගැන කිසිවක්‌ නො දන්නා නිසා ය.

නලින් මහතා මේවා ගැන මගෙන් ඉගෙන ගැනීමට කැමැති බව පවසා ඇත. එසේ නම් දෙවනි පාඩම මෙසේ ය ( විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව කාලය සහ අවකාශය වෙන් කොට නිර්වචනය කළ නොහැකි ය. මේ මතවාදයේ විශේෂතත්වය වන්නේ අවකාශය සහ කාලය එකට එකතු වී අඛණ්‌ඩ සන්තානයක්‌ බවට පත් වීම ය. අද ජීවත් වන ස්‌ටීවන් හෝකින්ස්‌ ඇතුළු පළමු පෙළේ භෞතික විද්‍යාඥයන් මේ මතවාදය සහ අවකාශකාල සංකල්පය පිළිsගෙන අවසාන ය. නලින් මහතා මෙය නො පිළිගන්නේ කුමක්‌ නිසා දැයි පහදා දී නැත. එය බොරුවක්‌ බව ඔප්පු කළ හැකි බවට පුරසාරම් පමණක්‌ ඔහු දොඩවයි. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීම පිණිස වියුක්‌ත යන වචනය සහ බුදුදහමේ ද්වයාතානුපස්‌සනා සූත්‍රය ඔහු විසින් යොදාගනු ලැබීම විහිළුවක්‌ බව මා පෙන්වා දී ඇත (විදුසර - 07.5.14).

අවස්‌ථිති නො වන වෙනත් සමුද්දේශ රාමු (එකිනෙකට සාපේක්‍ෂව වැඩි වන හෝ අඩු වන වේගයකින් ගමන් කරන) සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍ය සඳහා විශේෂ සාපේක්‍ෂතාවාදය වලංගු නො වන බැවින් විද්වත් අයින්ස්‌ටයින් සහ තවත් විද්‍යාඥයෝ මේ සැම දෙයක්‌ ම ආවරණය වන පරිදි එක්‌ මතවාදයක්‌ නිර්මාණය කරන්නට ප්‍රයත්නයක්‌ දැරුවෝ ය. එම ප්‍රයත්නයේ ප්‍රතිඑලයක්‌ වශයෙන් විද්වත් අයින්ස්‌ටයින් විසින් සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය නිර්මාණය කරන ලදී. සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයේ සාමාන්‍ය යන වචනය යෙදෙන්නේ එම වාදය සැම සමුද්දේශ රාමු සඳහා ද ගුරුත්වාකර්ෂණ ප්‍රත්‍ය සඳහා ද වලංගු නිසා ය.

නලින් මහතා සාපේක්‍ෂතාවාදය පිළිබඳව නො දන්නේ මෙය පමණක්‌ නො වේ. ඔහු පවසා ඇති පහත සඳහන් කරුණුවලින් ද නලින් මහතාට සාපේක්‍ෂතාවාදය පිළිබඳව පැහැදිලි අදහසක්‌ නැති බව පෙනේ.

1. සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය නිර්මාණය වී ඇත්තේ විශේෂ සාපේක්‍ෂතාවාදය සහ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය ආවරණය වන පරිදි පොදු මතවාදයක්‌ නිර්මාණය වන පරිදි නො වේ. (විදුසර - 05.03.14)

2. සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය ලැබෙන්නේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීමෙනි. (විදුසර 16.4.14)

3. සමුද්දේශ රාමු ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය පිළිගත නොහැකි ය.

ප්‍රථමයෙන් කිව යුත්තේ නලින් මහතා ෙමි දේවල් ප්‍රකාශ කරන විට, විශේෂයෙන් විදුසර 16.4.2014 දින ලියා ඇති ලිපියේ සඳහන් කරුණු සලකා බලන විට පෙනී යන්නේ නලින් මහතා සිතා සිටින්නේ අවස්‌ථිත සමුද්දේශ රාමු හැර වෙනත් සමුද්දේශ රාමු නැතැයි කියා ය, සාමාන්‍ය (ඔහු කියන පරිදි සාධාරණ) සාපේක්‍ෂතාවාදය අවශ්‍ය වූයේ වෙනත් සමුද්දේශ රාමු තිබෙන නිසාත් සමුද්දේශ රාමු සැම එකක්‌ ම ආවරණය වන පරිදි ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍ය ද (gravitational effects) ඇතුළුව පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම සඳහාත් ය. අයින්ස්‌ටයින් පමණක්‌ නො ව තවත් කිහිප දෙනෙක්‌ මෙවැනි මතවාදයක්‌ නිර්මාණය කිරීමට මහන්සි වූ හ. විද්වත් අයින්ස්‌ටයින් පිළිගත හැකි මතවාදයක්‌ ඉදිරිපත් කළේ වර්ෂ 1915 දී ය. සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය විසින් විශේෂ සාපේක්‍ෂතාවාදය සහ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය පොදු මතවාදයක්‌ යටතට ගෙන ගුරුත්වාකර්ෂණය වනාහි අවකාශය සහ කාලයේ (අවකාශ-කාලය) ජ්‍යාමිතික ගුණයක්‌ බව පැහැදිලි කරයි, අවකාශ-කාල ආකෘතියේ ජ්‍යාමිතික වක්‍රභාවය නියෝජනය කරන්නේ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන් ය. නලින් මහතා මේ බවක්‌ දන්නා බව පෙනෙන්නට නැත. ඒ නිසා ය ඔහු සාධාරණ සාපේක්‍ෂතාවාදය ලැබෙන්නේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීමෙන් යෑයි පවසන්නේ. ඒ ලෙස ගුරුත්වාකර්ෂණය ඉවත් කරනවා නමි විද්වත් අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයේ අවශ්‍යතාව කුමක්‌ ද?

වර්තමානයේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ ඕනෑ ම සාකච්ඡාවක හෝ ඒ පිළිබඳ ඕනෑ ම පර්යේෂණයක හෝ ගවේෂණයක දී භාවිත වන්නේ විද්වත් අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය බව නලින් මහතා දන්නවා නම් මෙවැනි දේ නො කියනු ඇත. ගුරුත්වාකර්ෂණය පිළිබඳව සර්ව සම්පූර්ණ වූ මතවාදයක්‌ ඉදිරිපත් වී ඇත්තේ විද්වත් අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය තුළින් බව නලින් මහතා දන්නවා නම් මෙවැනි දේ නො කියනු ඇත. ෙමිවා මගේ අදහස්‌ නො ව අද ජීවත් වන පළමු පෙළේ භෞතික විද්‍යාඥයන් ගේ අදහස්‌ ය. මේ පිළිබඳ ලියවී ඇති ලිපිවලට අදාළ නිර්දේශ මගේ විදුසර 26.2.2014 දින ලිපියේ සඳහන් කොට ඇති නිසා නැවත සඳහන් කිරීමට අවශ්‍ය නැත.

සමුද්දේශ රාමු ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ එය මන(කල්පිත ගණිතමය - ජ්‍යාමිතික - ආකෘතියක්‌ (geometrical model) නිසා ය. සාපේක්‍ෂතාවාදය පැහැදිලි කිරීමට නිර්මාණය කර ඇති මේ ආකෘති ඉන්ද්‍රිය ගෝචර විය නොහැකි ය. මෙවැනි මතවාද විද්‍යාඥයන් ගේ සිතට ආ විට ඒවා පරීක්‌ෂා කොට බලන්නේ ගණිතය භාවිත කොට බව අපි දනිමු. විද්වත් අයින්ස්‌ටයින් සාපේක්‍ෂතාවාදය පළමුව ඉදිරිපත් කළේ ගණිතමය මොඩලයක්‌ ලෙස ය. එම මතවාදය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි ඔහු ළඟ තිබුණේ නැත. සාක්‌ෂි ලැබුණේ කලකට පසු ව ය. එම මතවාදය තුළින් මතු වූ අනාවැකි දැන් වන විට සියල්ලක්‌ ඔප්පු වී අවසාන ය. මේ අනාවැකිවල නම් සමහරක්‌ මම ඉංගි්‍රසියෙන් පහත සඳහන් කරමි.- Gravitational time dilation, Gravitational lensing, Gravitational redshift of light, Gravitational time delay මේ අනාවැකි ඔප්පු වීමෙන් පෙනී යන්නේ විද්වත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය පිළිගත හැකි බව පමණක්‌ නො ව ඔහු කෙතරම් විශිෂ්ට විද්‍යාඥයකු ද යන්න ය. (අයින්ස්‌ටයින් දෙවැනි වන්නේ කිසිවක්‌ ඔප්පු කරන්නට බැරි ආචාර්ය නලින් ද සිල්වා මහතාට පමණි). මේ අනාවැකි ඔප්පු කොට ඇති බව පැහැදිලි කොට ඇති ලිපියක නිර්දේශය පහත සඳහන් වේ.Roberts T & Schleif S (2007) Usenet Physics

විද්වත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය තුළින් මතු වූ ඉහත සඳහන් අනාවැකි ප්‍රකාශ කරන්නට හැකි වූයේ ඒවා ගණිතය භාවිතයෙන් සොයාගන්නට පුළුවන් වූ නිසා ය. ඉහත සඳහන් අනාවැකි සියල්ලක ම නම්වල Gravitational නැත හොත් ගුරුත්වාකර්ෂණය යන වචනය භාවිත කිරීමෙන් පෙනී යන්නේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය තුළින් ගුරුත්වාකර්ෂණය ඉවත් කොට නැති බවත් එය එහි තුළ ඇති බවත් ය. සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය ලැබෙන්නේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීමෙනි යන නලින් මහතා ගේ කියමන (විදුසර -16.4.14) කරුණු හරිහැටි තේරුම් කර නො ගෙන කළ එකක්‌ බව පැහැදිලි ය.

ගුරුත්වාකර්ෂණය හෝ එහි ප්‍රත්‍ය ඉවත් කොට ඇත්තේ විශේෂ සාපේක්‍ෂතාවාදයේ බව නලින් මහතා නො දනී. එම නිසා ය ඔහු එම කරුණ පටලවාගෙන ඇත්තේ. එම නිසා ය ඔහු සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය ලැබෙන්නේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීමෙනි යෑයි කියන්නේ. විශේෂ සාපේක්‍ෂතාවාදයේ අවකාශ කාලය පැතලි ය. (flat) එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය සලකා බලා නැති නිසා ය. සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයේ දී අවකාශය වක්‍ර හැඩයක්‌ ගනී. එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය. මේවා මෙසේ වන්නේ ගණිතමය මොඩලයක ය. අවකාශ-කාල සංකල්පය ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ඒ නිසා ය.

අවසානයේ විද්‍යාව පටිටපල් බොරුවක්‌ බව නලින් මහතා ඔප්පු කරන්නේ ද්වයතානුපස්‌සනා සූත්‍රයේ පිහිටිනි. මෙපමණ කලක්‌ මේ ගැන ඔහු පැවසූ දේවල් ඔප්පු කරගන්නට බැරි වූ විට සෑeම නාම රූපයක්‌ ම මුසාවක්‌ යෑයි පවසන ද්වයතානුපස්‌සනා සූත්‍රයේ පිහිට පතා ඇත. (විදුසර 7.5.2014). ඔහු මෙතැනට තල්ලු කිරීම ගැන මම නිහතමානී ව ආඩමිබර වෙමි. මෙය විද්‍යාව හදාරන සැම ගේ සතුටට කාරණයක්‌ වන බවට නොඅනුමාන ය. ඔවුන් වෙනුවෙන් කවුරුන් හෝ මෙය කළ යුතු ව තිබිණි. විද්‍යාව පිස්‌සන් කොටුවේ යටතට පත් වනවා බලා සිටිය නොහැකි ය. නලින් මහතා සැම දෙයක්‌ ම තැත් කර බැරි තැන ද්වයතානුපස්‌සනා සූත්‍රයේ පිහිට පැතීම පරාජය භාර ගැනීමක්‌ වන්නේ ය.

මිනිසා ගේ සහ ලෝකයේ පැවැත්ම පිළිබඳව බුදු දහම පවසා ඇත්තේ කුමක්‌ ද යන්න සාකච්ඡා කරන විට ද්වයතානුපස්‌සනා සූත්‍රය ඉදිරියට දැමීම කච්ඡායන සූත්‍රය පටිච්චසමුප්පාදය සහ අනෙකුත් සූත්‍රවල පැවැත්ම ගැන බුදුන් ඉදිරිපත් කර ඇති අදහස්‌ ඉවත දැමීමකි. මේ සූත්‍රවල සන්දර්භයට වඩා වැදගත් වන්නේ ඒවායේ අරුත සහ අන්තර්ගතය වන්නේ ය. නලින් මහතා සන්දර්භය ඉදිරියට ගෙන අරුත සහ අන්තර්ගතය ඉවත දමයි. සන්දර්භය පෙන්නා ඔහුට අවශ්‍ය පරිදි සූත්‍රය විකෘති කරයි. සැම නාම රූපයක්‌ ම මුසාවක්‌ නිසා නො පවතී නමි පටිච්චසමුප්පාදය අවශ්‍ය වන්නේ කුමකට ද? කච්චායන සූත්‍රය සහ පටිච්චසමුප්පාදය දේශනා කළේ නිත්‍ය වූ පැවැත්ම සහ නිත්‍ය වූ නො පැවැත්ම යන අන්තවාද දෙක ම ඉවත දමා වස්‌තූන් සහ ක්‍රියාදාමයන් ඇති වී වෙනස්‌ වී නැති වන අන්දම පහදා දීමට ය. මෙය ලෝකය පිළිගන්නා කච්ඡායනගොත්ත සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. නලින් මහතා වැනි අන්තවාදීන්ට නියම පිළිතුරක්‌ බුදුන් දී ඇත්තේ මේ සූත්‍රයේ ය.

මිනිසා සහ ලෝකයේ පැවැත්ම පිළිබඳව වෙනත් සූත්‍රවලද බුදුන් මෙවැනි අදහස්‌ පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. උප්පාද-ස්‌ඨති-භංග යන අවස්‌ථා ත්‍රිත්වය සැම වස්‌තුවක ම සහ ක්‍රියාදාමයක ම ඇති බව අංගුත්තර නිකායේ සඳහන් වේ. සතර මහා භුතයන් ගෙන් සැදුණු කය වෙනස්‌ වන්නේ ඉතා සෙමින් බව ද විඤ්ඤාණය ඉතා වේගයෙන් වෙනස්‌ වන බව ද සංයුක්‌ත නිකායේ අස්‌සුවන්තු සූත්‍රයේ සඳහන් වේ. කිසිවක්‌ නැත්නම් ඇති වන්නේ, වෙනස්‌ වන්නේ සහ නැති වන්නේ කුමක්‌ ද?

පටිච්චසමුප්පාදය දේශනා කොට ඇති සූත්‍රයේ සන්දර්භය කුමක්‌ ද? ඒ සන්දර්භය නිසා එහි අන්තර්ගතය අංශු මාත්‍රයකින් වෙනස්‌ වන්නේ ද? අපට වැදගත් වන්නේ අපට අත්විඳිය හැකි ජීවිතය සහ ලෝකයේ පැවැත්ම පිළිබඳව බුදුන් දේශනා කළ දෙය ය. සැම නාම රූපයක්‌ ම මුසාවක්‌ යෑයි පවසන සූත්‍රය එසේ පවසන්නේ එම අත්වි`දීම තුළ ආත්මීය කිසිවක්‌ නැති බව තහවුරු කිරිමට බව නලින් මහතාට නො තේරෙයි. බුදුන් ශූන්‍ය යන වචනය ද යොදාගන්නේ එවැනි ම අදහසක්‌ ඉදිරිපත් කිරීමට ය. මේ වචනයෙන් බුදුන් අදහස්‌ කළ අරුත ද නලින් මහතා විකෘති කොට ඇත.

අප අත්විඳින ජීවිතයක්‌ සහ ලෝකයක්‌ ඇත. එය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිත්වයට යටත් වන ක්‍රියාදාමයකි. මෙහි කිසිවක්‌ නැතැයි පැවසීම නිශ්ෂේධ නැත හොත් උච්ඡේදවාදී දහමකි. නලින් මහතා වැනි අන්තවාදීහු අද මෙන්ම බුදුන් ගේ කාලයේ ද සිටිය හ. ඔවුන්ට නිසි පිළිතුරු දීමට වච්චගොත්ත සූත්‍රය සහ පටිච්චසමුප්පාදය දේශනා කරන ලදී. අවශ්‍ය නම් සන්දර්භය එය ය. එම සූත්‍රයේ අරුත අන්තර්ගතය සහ සන්දර්භය සලකා බලන විට එහි වැදගත්කම මොනවට පැහැදිලි වේ. බුදුන් පැවසුවේ පටිච්චසමුප්පාදය වටහාගැනීම බුදු දහම වටහා ගැනීම වන්නේ ය යනුවෙනි. නලින් මහතා පටිච්චසමුප්පාදය වටහා නො ගෙන බුදු දහම වටහාගන්නේ කෙසේ ද? පටිච්චසමුප්පාදය වටහාගත් කෙනෙක්‌ සැම නාම රූපයක්‌ ම මුසාවක්‌ නිසා විද්‍යාව මුසාවක්‌ යෑයි පවසන්නේ නැත. සැම වස්‌තුවක්‌ සහ ක්‍රියාදාමයක්‌ ම ඇති වී වෙනස්‌ වී නැති වන බව විද්‍යාත්මක ක්‍රම ම`ගින් ද ඔප්පු කළ හැකි ය.

කෙසේ නමුත් විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීම බුදු දහම තුළින් ද නො කළ හැකි බව පෙනෙන්නට ඇත. නලින් මහතා ගේ අන්තිම තුරුම්පුව ද වැරැදී ඇත. දැන් ඔහුට කේන්ති ගොස්‌ අපට අපහාස කරනවාට වඩා දෙයක්‌ කළ නොහැකි ය. අප වැන්නන්ට අපහාස කරනවා හැර වෙන කුමක්‌ කරන්න දැයි ඔහු අසයි. අදහස්‌වලින් බංකොලොත් වූ විට වෙන කුමක්‌ කරන්න ද?

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc