logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
ඥානවන්තයාගේ නිවන

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ මැයි 14 වැනි දා ලිපිය බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ නමින් කෙරෙන සංවාදයට සෘජු ව අදාළ නැත. එහෙත් එම ලිපියෙහි සඳහන් කරුණක්‌ දෙකක්‌ ගැන යමක්‌ නො පවසා සිටිය නො හැකි ය. එසේ වුවත් එයට පළමුව මගේ යෑයි 14 වැනි දා ලිපියෙහි මුද්‍රණ දෝෂ කිහිපයක්‌ නිවැරැදි කළ යුතු ව ඇත. ලිපියෙහි තුන්වැනි ඡෙදයෙහි අවසානයේ මෙසේ සඳහන් වෙයි. "මට කෙළෙඹි කැළක්‌ නැත. එහෙත් මට විරුද්ධව රට පුරා දැනුම් ආධිපත්‍යයක්‌ ඇති කෙළෙඹි කැළක්‌ නම් වෙයි". මෙය රට පුරා දැනුම් ආධිපත්‍යයක්‌ ඇති කොළඹ කැළක්‌ නම් වෙයි යනුවෙන් නිවැරැදි විය යුතු ය. ලිපියෙහි දහවැනි ඡෙදයෙහි පහත සඳහන් වාක්‍යය වෙයි. "කෙහෙල් ගෙඩිය සිතෙන් මවාගත හැකි යෑයි විශ්වාස කරන පුද්ගලයකු මවා ගන්නේ තමන් දැක ඇති කෙහෙල් ගෙඩියකට සමාන කෙහෙල් ගෙඩියක්‌ මිස වියුක්‌ත කෙහෙල් ගෙඩියක්‌ නො වේ." එහි වියුක්‌ත කෙහෙල් ගෙඩියක්‌ යන්න වියුක්‌ත කෙහෙල් ගෙඩිය ලෙස සඳහන් විය යුතු ය. දහවැනි ඡෙදයෙහි වච්චගොත්තයට යන්න කච්චායනගොත්තයනට යනුවෙන් නිවැරැදි විය යුතු ය.

අපි පළමුව අමරතුංග මහතා ගේ මැයි 07 වැනි දා ලිපියෙහි පිළිතුරු දීමට ඇති තවත් කරුණු දෙකක්‌ සලකා බලමු. ඒ මහතා මෙසේ කියයි. "යමක්‌ ඇති වනවා නම් පැවැත්මක්‌ තිබිය යුතු ය. පැවැත්මක්‌ නැත්නම් ඇති වීමක්‌ තිබිය නොහැකි ය. පැවැත්මක්‌ නැත්නම් පටිච්චසමුප්පාදය තිබිය නොහැකි ය." මෙය අමරතුංග මහතා ගේ තවත් කුතර්කයකි. පැවැත්මක්‌ නැත්නම් ඇති වීමක්‌ තිබිය නො හැකි යෑයි ඒ මහතා පවසන්නේ කිනම් න්‍යායකට එකඟ ව ද? සාපේක්‍ෂව හෝ නිරපේක්‍ෂව හෝ ඇති වන්නක්‌ වේ නම් ඒ ගැන අඩු ම තරමෙන් අවස්‌ථා තුනක්‌ සඳහන් කළ හැකි ය. ඇති වන්නක්‌ වේ නම් එය පැවතිය හැකි ය. නැත්නම් පැවතී නැති විය හැකි ය, එසේත් නො වේ නම් නො පැවතී නැති විය හැකි ය. එබැවින් පැවැත්මක්‌ නැත්නම් ඇති වීමක්‌ තිබිය නොහැකි යෑයි කීම වැරැදි ය. මුල් ථෙරවාදයෙහි ඇත්තේ උත්පාද භංග යන්න පමණකි. උත්පාද තිථි භංග යන්න පසුව ථෙරවාදයට එකතු කරගන්නා ලද්දකි. තිථියක්‌ හෙවත් පැවැත්මක්‌ ක්‍ෂණයකට වුව පවතින්නේ යෑයි එකතු කරගැනීමෙන් ථෙරවාදීන් අසීරු තත්ත්වයකට පත් වී ඇත. ක්‍ෂණය අර්ථ දක්‌වන්නේ කෙසේ ද?

පටිච්චසමුප්පාදයෙහි පැවැත්මක්‌ ගැන කියෑවෙන්නේ සාපේක්‍ෂව ය. එහි නිරපේක්‍ෂ පැවැත්මක්‌ ගැන නො කියෑවෙයි. යමක්‌ වේ නම් ඒ ප්‍රත්‍යයෙන් වෙනත් දෙයක්‌ හටගනියි යනුවෙන් පටිච්චසමුප්පදායෙහි කියෑවෙයි. ඒ හටගන්නා දෙයෙහි පැවැත්මක්‌ ගැන එහි නො කියෑවෙයි. මෙහි වැදගත් ම කරුණ නම් යමක්‌ වේ නම් යන්න ය. එය නැත්නම් ඒ ප්‍රත්‍යයෙන් හටගන්නා වෙනත් කිසිවක්‌ ද නැත. ඒ නිරෝධය ය. යමක්‌ වේ නම් යනුවෙන් ඇත්තේ පෘථග්ජනයනට ය. පෘථග්ජන වූ අපි පටිච්චසමුප්පාදයෙහි ඒ පැත්තට, එනම් යමක්‌ වේ නම් යමක්‌ ප්‍රත්‍ය වේ පැත්තට යන්නෙමු. රහතන් වහන්සේලාට ඇත්තේ (මෙහි ඇත්තේ යන වචනය යොදන්නේ එය නිවැරැදි නිසා නො ව වෙනත් වචනයක්‌ නොමැති බැවිනි) එහි අනෙක්‌ පැත්ත ය. උන්වහන්සේ යමක්‌ නැත යනුවෙන් "ගනියි". යමක්‌ නැත්නම් ප්‍රත්‍යයක්‌ ද නැත. ඒ නිරෝධය ය. රහතන් වහන්සේට පටිච්චසමුප්පාදය ද අපට ඇති ආකාරයෙන් නැත. පටිච්චසමුප්පාදය ද ගඟෙන් එතෙර වූ පසු පසෙකින් තබන පහුරකි.

මැයි 07 වැනි දා ලිපියෙහි අමරතුංග මහතා මෙසේ ද කියයි. "ද්වයතානානුපස්‌සනා සූත්‍රයේ පැවසෙන සැම නාම රූපයක්‌ ම මුසාවක්‌ යන අදහසේ එල්බගත් නලින් මහතා බුදුරදුන් කච්චායන සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කොට වදාළ වස්‌තූන් ගේ ඇති වීම, වෙනස්‌ වීම, නැති වීම සහ පටිච්චසමුප්පාද ධර්මය ඉවත දමා, මුසාවක්‌ යන්නෙහි අදහස නො පැවතීම බව පැවසීම ලොකු ම මෝඩකමකි." අමරතුංග මහතා තමාට සුපුරුදු ආකාරයට මුසා බස්‌ දොඩවයි. කච්චායනගොත්ත සූත්‍රයෙහි වස්‌තූන් ගේ ඇති වීම, වෙනස්‌ වීම, නැති වීම ගැන කියා ඇත්තේ කොතැනක ද? හැකිනම් අදාළ ඡෙදය උපුටා දක්‌වන මෙන් අමරතුංග මහතාට අභියෝග කරමි. මේ සූත්‍රයෙහි හෝ පටිච්චසමුප්පදායෙහි හෝ කිසි තැනක වස්‌තු යන වචනය යෙදී නැත. වස්‌තුවල ඇති වීම වෙනස්‌ වීම ගැන කියන්නේ කොහේ ද? අමරතුංග මහතා වැන්නන් බටහිරයන්ට පිළිගැන්වීම සඳහා බුදුදහම විකෘති කරන්නේ බටහිරයන් ගේ වචනවලින් බුදුදහම විස්‌තර කිරීමෙනි.

ද්වයතානුපස්‌සනා සූත්‍රයෙහි පැහැදිලිව කියන්නේ පෘථග්ජනයන් සත්‍ය යෑයි සලකන නාම රූප රහතන් වහන්සේ "සම්බන්ධයෙන්" ගත් කල මුසා බව ය. අප වස්‌තු ලෙස ගන්නා දේ, වස්‌තුවල පැවැත්ම, ආදී සියල්ල රහතන් වහන්සේ "සම්බන්ධයෙන්" මුසා වෙයි. උන්වහන්සේට ඒ නො පවතියි. යමක්‌ පැවතී නම් ඒ ප්‍රත්‍යයෙන් වෙනත් යමක්‌ හටගැනීමක්‌ උන්වහන්සේ "සම්බන්ධයෙන්" සිදු නො වෙයි. මම පෘථග්ජනයන් ලෝකය දකින ආකාරය මුසා ලෙස ගනිමි. පෘථග්ජනයන් ගේ සියලු නාම රූප මුසා වෙයි. ඒ අතරෙන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන බටහිර විද්‍යාවේ වියුක්‌ත සංකල්ප හා ප්‍රවාද පට්‌ටපල් බොරු වෙයි. මුසා හෙවත් බොරු අඩු ම තරමෙන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන්නේ (එලෙස පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන සියල්ල බොරු වුවත්) යෑයි කිව හැකි ය. එහෙත් වියුක්‌ත ප්‍රවාද ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? ඒවා පංචෙන්ද්‍රියයන්ට වත් ගෝචර නො වේ. පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන සංකල්ප ඇහැට කණට පෙනෙන නිසා පවතින්නේ යෑයි උපකල්පනය කළ ද පංචෙන්ද්‍රියයනට ගෝචර නො වන සංකල්ප හා ප්‍රවාද පවතින්නේ ය, සත්‍ය වන්නේ ය යනුවෙන් ගන්නේ කිනම් පදනමකින් ද?

අමරතුංග මහතා සත්‍ය යෑයි කියන්නේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන දෙයට යෑයි සිතමි. මා වැරැදි නම් කල් නො යවා ම ඒ බව ප්‍රකාශ කර තමන් සත්‍යය යන්න නිර්වචන කරන්නේ කෙසේ දැයි ඒ සම`ග ම සඳහන් කරන මෙන් අමරතුංග මහතා ගෙන් ඉල්ලා සිටිමි. අමරතුංග මහතා තම ජනවාරි 22 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "ප්‍රත්‍යක්‌ෂ දැනුම යනුවෙන් හැඳින්වෙන්නේ පැහැදිලි දැනුම බව ප්‍රත්‍යක්‌ෂ යන වචනයේ අරුත සලකා බැලීමේ දී පෙනී යා යුතු ය. මා ගේ මීට පෙර ලිපියේ සඳහන් වූ පරිදි ප්‍රත්‍යක්‌ෂ යන වචනය සෑදී ඇත්තේ ප්‍රති (Before පෙර) සහ අක්‌ෂ (Clear, Obvious) යන වචන දෙක එක්‌ වීමෙනි. එහි අරුත ඇස්‌ ඉදිරිපිට පැහැදිලි (Cකැaරල ධඉඩසදමි) යන්න බව පිළිගත හැකි ය. අප ලබාගන්නා දැනුම පැහැදිලි නම් එය ප්‍රත්‍යක්‌ෂ දැනුම යනුවෙන් හැඳින්විය හැකි ය. දැනුම ලබාගන්නා ක්‍රමය කුමක්‌ වූවත් එය පැහැදිලි නම් එම දැනුම ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ ලෙස සැලකිය හැකි ය. මීට එහා ගිය විශේෂ වූ දැනුමක්‌ එම වචනයෙන් අදහස්‌ කරන බව පිළිගත නොහැකි ය."

අමරතුංග මහතාට අනුව ප්‍රත්‍යක්‌ෂ යනු පංචෙන්ද්‍රිය ගෝචර දැනුම ය. එය ඇස්‌ ඉදිරිපිට පැහැදිලි ලෙස ඒ මහතා අටුවාවක්‌ ද සපයයි. එය සෘජු දැනුමක්‌ යෑයි සිතමි. අප මල රතු පාට යෑයි කී විට එහි රතු යන්න තේරුම් ගැනීමට වෙනත් සංකල්පයක්‌ අවශ්‍ය නො වෙයි. එහෙත් එයින් කියෑවෙන්නේ රතු යන්න මනසෙන් ස්‌වායත්ත බව නො වේ. රතු යන සංජානනය හුදු සංජානනයක්‌ නො වේ. එහි සංකල්පයක්‌ ද වෙයි. රතු යන සංකල්පය නොමැති ව අප රතු පාට යන සංජානනය නොමැත. සංකල්පයකින් තොර සංජානන ඇත්තේ බටහිර දර්ශනයෙහි ය. එහෙත් ගුරුත්වාකර්ෂණය යන්න එවැනි සෘජු ප්‍රත්‍යක්‍ෂයක්‌ වත් නො වේ. ගුරුත්වාකර්ෂණය දැනෙන ඉන්ද්‍රියයක්‌ නැත. එය වියුක්‌ත සංකල්පයක්‌ වන අතර ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වියුක්‌ත ප්‍රවාදයක්‌ වෙයි.

වියුක්‌ත ප්‍රවාද සෘජු ව සත්‍ය යෑයි පෙන්වා දිය නොහැක්‌කේ ඒ ප්‍රවාද ඇස්‌ ඉදිරිපිට නැති බැවිනි. එනම් සෘජුව පංචෙන්ද්‍රිය ගෝචර නොවන බැවිනි. පංචෙන්ද්‍රිය ගෝචර නො වන බටහිර විද්‍යා ප්‍රවාද පිළිගැනෙන්නේ වක්‍ර ව ය. උදාහරණයක්‌ ලෙස පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිගැනෙන්නේ එයින් ලබාගන්නා අපෝහන (නිගමන) පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ සමග යම් සංගත බවක්‌ දක්‌වන බැවිනි. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යොදාගනිමින් හඳට රොකට්‌ටු යෑවිය හැකි ය. එහෙත් එහි සියයට සියයක නිරවද්‍යතාවක්‌ නැත. එය සියයට සියයක්‌ නිවැරැදි වුවත් නිගමන පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ සමග සංගත වූ පමණින් ප්‍රවාදය නිවැරැදි හෝ සත්‍ය හෝ යෑයි ගම්‍ය නො වේ. මේ බව කලින් ද සඳහන් කර ඇත. එහෙත් නැවතත් එය සඳහන් කරන්නේ යම්කිසි පාඨකයකුට ඉන් යහපතක්‌ වේ ය යන බලාපොරොත්තුවෙනි. ච ලු යන්නෙන් හා සත්‍ය වේ යන්නෙන් ච සත්‍ය වේ යෑයි ගම්‍ය නො වේ. අමරතුංග මහතාට කෙතරම් වලිකෑවත් වියුක්‌ත බටහිර විද්‍යා ප්‍රවාද සත්‍ය යෑයි පෙන්වා දිය නොහැකි ය.

කෙසේ වෙතත් අමරතුංග මහතා ප්‍රත්‍යක්‍ෂ යෑයි කියන දේ හා මා ප්‍රත්‍යක්‍ෂ යෑයි කියන දේ අතර වෙනසක්‌ වෙයි. මා ප්‍රත්‍යක්‍ෂ යෑයි කියන්නේ පංචෙන්ද්‍රියයන්ට පමණක්‌ සෘජු ව ගෝචර වන දේට පමණක්‌ නො වේ. මනසට (මනෙන්ද්‍රියට) පමණක්‌ ගෝචර වන දේත් මම ප්‍රත්‍යක්‍ෂ ලෙස සලකමි. ඒ පෘථග්ජනයන් ගේ ප්‍රත්‍යක්‍ෂ සම්බන්ධයෙනි. රහතන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂ ඉන් වෙනස්‌ වන අතර බුදුන්වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂ එයටත් වෙනස්‌ වෙයි. බ්‍රහ්මජාල සූත්‍රයෙන් අපට ලබාගත හැකි එක්‌ නිගමනයක්‌ වනුයේ එය ය. මෙය අමරතුංග මහතා කියන ආනුභවික බටහිර විද්‍යාවට විරුද්ධ ව යයි.

බටහිර දර්ශනයෙහි ආනුභවික (empirical) යන්නෙන් අදහස්‌ කරන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ය. බටහිර දර්ශනයෙහි සංකල්පවලින් වියුක්‌ත වූ සංජානන ගැන සඳහන් වුව ද මනස නොමැති ව කිසි ම සංජානනයක්‌ ලබාගත නො හැකි ය. සංකල්පවලින් තොර ව සංජානන ලබාගත හැකි ක්‍රමයක්‌ දන්නා අයකු වේ නම් ඒ බව පෙන්වා දීමට ඉඩ දිය යුතු ය. බුදුදහමෙහි පංචෙන්ද්‍රිය ගෝචර දේ (එනම් පංචෙන්ද්‍රිය හා මනස සමග සම්බන්ධ) ගැන මෙන් ම පංචෙන්ද්‍රියයනට ගෝචර නැති එහෙත් මනසට පමණක්‌ ගෝචර වන සංකල්ප ගැන ද කියෑවෙයි. කිසිදු සංජානනයක්‌ සංකල්පයකින් ස්‌වායත්ත නො වුව ද සංජානනවලින් ස්‌වායත්ත වූ සංකල්ප වෙයි.

අමරතුංග මහතා නිතර සංකල්ප පටලවාගනියි. ඔහුට තමා සඳහන් කරන කිසි ම දෙයක්‌ ගැන නිරවුල් අවබෝධයක්‌ නැත. ඔහු ලෝකෝත්තර යන්න යොදාගන්නේ පාරභෞතික යන අර්ථයෙනි. ඒ බව ඔහු ගේ මැයි 14 වැනි දින ලිපියෙහි පහත සඳහන් කොටසෙන් පැහැදිලි වෙයි. "මෙම සුත්‍රය (සද්ධර්මපුණ්‌ඩරික) ප්‍රධාන වශයෙන් තැත් කරන්නේ බුදුරදුන් හා බුදුදහම ලෝකෝත්තර වූත් පාරභෞතික වූත් තත්ත්වයකට පත් කිරීමට ය. එම නිසා ලෝකෝත්තර වූත් පාරභෞතික වූත් දහමක්‌ මුල් බුදුදහම තුළ හෝ ථෙරවාදීන් පසුව නිර්මාණය කරන ලද අභිධර්මය තුළ හෝ ඇත් දැයි සොයා බැලීම කළ යුතු ව ඇත. ප්‍රථමයෙන් ලෝකෝත්තර (Transcendental) යන සංකල්පයේ අරුත ආගම්වලට අදාළ වන්නේ කෙසේ දැයි සොයා බැලිය යුතු ය. කෙටියෙන් සඳහන් කරනවා නම් අප ජීවත් වන ලෝකයෙන් ඉක්‌ම ගිය පිටස්‌තර වූ ක්‍රියාදාමයක්‌ ලෝකෝත්තර යනුවෙන් හැඳින්විය හැකි ය. එම ක්‍රියාදාමය අපට අත්විඳිය නොහැක්‌කකි. එය ආනුභූතික වූ අත්දැකීමක්‌ නො වන්නේ ය. තව ද එම ක්‍රියාදාමය අප දන්නා භාෂාවකින් තේරුම් කර දිය නොහැක...... අපට ආනුභූතිකව අත්විඳින්නට නොහැකි දේවල් පිළිබඳ ව බුදුන් ගේ අදහස කුමක්‌ වී දැයි පළමුව සොයා බලමු. බුදුරදුන් විශ්වාසය තැබුවේ අත්දැකීමෙන් ලබාගන්නා දැනුම මත ය. උන්වහන්සේ නිසැකයෙන් ම ආනුභූතිකවාදියෙක්‌ විය...... බුදුන් පැවසුවේ තමන් වහන්සේ දැනුම ලබාගන්නේ මූලිකව අත්දැකීමෙන් බව ය....... මින් අදහස්‌ වන්නේ බුදුන් ගේ ධර්මය මේ ලොවින් ඉක්‌ම ගිය ලෝකෝත්තර වූ එකක්‌ නො වන බව ය. එසේ ම එම ධර්මය අප දන්නා භාෂාවකින් පැහැදිලි කිරීම කළ හැකි බව ය. ඥනවන්ත කෙනකුට ඒ ධර්මය වටහාගත හැකි බවය. බුදුරදුන් උසස්‌ වූ දැනුමක්‌ ලබාගත්තේ දිගුකාලීනව පර්යේෂණ සිදු කොට විශාල පරිශ්‍රමයක්‌ දරා මනස පුහුණු කොට එහි තුළ ඇති කෙළෙස්‌ දුරු කිරීමෙන් ය. එම ක්‍රමය ස්‌වාභාවික වූත් හේතු ප්‍ර්‍රත්‍ය වූත් එකක්‌ විය. භාවනාව මානසික අත්දැකීමක්‌ මිස වෙන කුමක්‌ හෝ විය නොහැකි ය."

පළමුවෙන් ම කිව යුත්තේ අමරතුංග මහතාට අනුව අභිධර්මය ථෙරවාදීන් විසින් පසුව නිර්මාණය කරන ලද්දක්‌ බව ය. එය ථෙරවාදීන් විසින් නිර්මාණය කෙරුණ ද සර්වස්‌ථවාදීන් විසින් නිර්මාණය කෙරුණ ද එය මුල් බුදුසමයට අයත් නො වේ. ධර්මවාදය හා ක්‍ෂණවාදය ගැන කියෑවෙන්නේ අභිධර්ම පිටකයෙහි හා එහි අටුවාවල ය. එනම් ඊනියා ක්‍ෂණයකට වූවත් ඊනියා ධර්ම පැවැත්මක්‌ ගැන කියෑවෙන්නේ මුල් බුදුසමයෙහි නො වේ. කෙසේ වෙතත් අමරතුංග මහතා ලෝකෝත්තර යන්න යොදාගෙන ඇත්තේ ඉංගිරිසියෙන් ට්‍රාන්සෙන්ඩන්ටල් (Transcendental) යනුවෙන් කියෑවෙන සඳහා ය. එයට පාරිභාෂික ශබ්දමාලාවෙහි දී ඇත්තේ අනුභූති- උත්තර යන්න ය. පාරභෞතික යන්න ඉංගිරිසියෙන් මෙටාÁsසික්‌ස්‌ (metaphysics) යන්නට පාරිභාෂික ශබ්ද මාලාවෙහි යෙදෙන්නකි. එය අනුභූති-උත්තර යන්න ම නො වේ.

නිවන අනුභූති-උත්තර අත්දැකීමක්‌ වෙයි. අමරතුංග මහතා කෙතරම් නිවන විස්‌තර කළත් ඒ මහතා තවමත් නිවන් අවබෝධ කරගෙන නැති බව ඒ මහතා ලියන කියන දෙයින් පැහැදිලි ය. ඒ මහතා ලෝභ, ද්වේෂ, මෝහ නැති කර නැත. ඒ මහතා නිවන ගැන දන්නේ නම් ඒ මහතාට නිවන් අවබෝධ නො වන්නේ ඇයි? අමරතුංග මහතා කියන්නේ මහාචාර්ය කළුපහන හා මහාචාර්ය අසංග තිලකරත්න මහතා පවසන අදහස්‌ ය. කළුපහන මහතා මිය ගොස්‌ ඇති බැවින් ඒ මහතාට අභියෝග කළ නොහැකි ය. තිලකරත්න මහතාට හා අමරතුංග මහතාට මා අභියෝග කරන්නේ අප වැනි හුදී ජනයා ගේ යහපත සඳහා නිවන යනු කුමක්‌ දැයි අපට තේරෙන සිංහලෙන් කියා දෙන ලෙස ය. අමරතුංග මහතා හා තිලකරත්න මහතා ඥනවන්ත නො වේ ද? මා එසේ අසන්නේ ඥනවන්ත කෙනකුට දැනගත් පමණින් බුදුදහම නො වැටහෙන්නේ ද යන ප්‍රශ්නය ඇසීමට ය. අප තවමත් සසර දුක්‌ විඳින්නේ අපට බුදුදහම වැටහී නොමැති බැවිනි. බුදු දහම වටහාගත හැක්‌කේ ඥනවන්තයනට නො ව ලෝභ ද්වේෂ මෝහ දුරු කිරීමෙනි. මෝහය නිසා බටහිරයන්ට අවශ්‍ය ආකාරයට බුදුදහම විවරණය කරන්නන්ට ඔවුන් ඥනවන්ත වූවත් නැතත් නිවන් අවබෝධ කරගත නොහැකි වේ. අපට ප්‍රශ්නය වන්නේ අප වැනි පෘථග්ජනයන්ට ලෝභ ද්වේෂ මෝහ දුරුකර ගැනීම ය. ලෝභ ද්වේෂ මෝහ දුරු කරගත හොත් නිවන් අවබෝධ කළ හැකි යෑයි කීම නිවන් අවබෝධය නො වේ. සාපේක්‌ෂතාවාදය ගැන පොත් කියවුව හොත් සාපේක්‌ෂතාවාදය අවබෝධ කරගත හැකි යෑයි යමකුට කිව හැකි ය. එහෙත් ඉන් සාපේක්‌ෂතාවාදය අවබෝධ නො වේ. එපමණක්‌ නො ව පොත් කියෑවූ පමණින් ද අමරතුංග මහතා වැන්නන්ට අවබෝධ කරගත නොහැකි බව පැහැදිලි ය. ඊනියා ඥනවන්තයකුට අවබෝධ කරගත හැකි නිවනක්‌ නැත. ඒ සඳහා කෙළෙස්‌ නැති කළ යුතු ය. බුදුන් වහන්සේ ගේ ආර්යපර්යේෂණය බටහිර විද්‍යාඥයන් ගේ වැනි පර්යේෂණයක්‌ නො වේ. දැන් අමරතුංග මහතාට ද මානසික අත්දැකීම් ගැන කතා කිරීමට සිදු වී ඇත. එහෙත් ඒ ඊනියා ආනුභවික අත්දැකීමක්‌ නො වේ. බටහිර ආනුභවික අත්දැකීම් මනසින් පමණක්‌ ලබාගත නොහැකි ය.

නලින් ද සිල්වා