logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
සිංහල වෙදකමේ සහ ඉංග්‍රීසි වෙදකමේ විද්‍යාත්මක පදනම


(1 වැනි කොටස)

රෝගයක හෝ රෝග ලක්‌ෂණයකට හෝ බෙහෙතකින් හෝ වෙනයම් විද්‍යාත්මක ක්‍රමයකින් ප්‍රතිකාර කිරීම වෙදකම යනුවෙන් හැඳින්විය හැකි ය. පැරැණි ශිෂ්ටාචාර තුළ ද වෙදකම මේ අයුරින් ම තිබුණු බවට සාක්‌ෂි ඇත. විද්‍යාව පමණක්‌ නො ව මිථ්‍යාව ද සමහර අවස්‌ථාවල ප්‍රතිකාර ක්‍රම තුළ දක්‌නට ලැබිණි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යාඥා වැනි දේ මේ සඳහා යොදා ගැනිණ. පසුව මිථ්‍යාව වෛද්‍ය විද්‍යාවෙන් වෙන් වී වෙන ම ක්‍රියාදාමයක්‌ ලෙස පැවතිණි.

වෛද්‍ය විද්‍යාව සැම සංස්‌කෘතියක ම බිහි වූයේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වී ය. යමිකිසි රෝගයකට හෝ රෝග ලක්‌ෂණයකට යම් කිසි බෙහෙතක්‌ සුදුසු බව සොයාගැනුණේ අත්දැකීම් තුළිනි. එය ආනුභූතික වූ දැනුමක්‌ වීය. (empirical knowledge) විද්‍යාත්මක දැනුම කවදත් කොතැනත් ආනුභූතික දැනුම විය. එක්‌ එක්‌ පැරැණි ශිෂ්ටාචාර තුළ නොයෙකුත් බෙහෙත් සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ව අත්හදා බැලීම් සිදු විණි. එහි ප්‍රතිඑලයක්‌ ලෙස රෝගවලට බෙහෙත් සහ ප්‍රතිකාර ක්‍රම සොයා ගැනිණ.

සිංහල වෙදකම යනුවෙන් හැඳින්වෙන්නේ පැරැණි සිංහල වෙදමහතුන් ළඟ තිබූ වෛද්‍ය විද්‍යාත්මක දැනුම සහ දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආයුර්වේදය සහ යුනානි වෙදකම්වල සංකලනයක්‌ බව පැවසේ. ආයුර්වේදය පිළිබඳ ව ඉතා වටිනා ග්‍රන්ථයක්‌ නිර්මාණය කර ඇත්තේ සුශ්‍රැත නම් වූ පැරැණි භාරතයේ විසූ වෛද්‍යවරයෙකි. ඔහු ලෝක ප්‍රසිද්ධ වූයේ ශල්‍යකර්ම පිළිබඳව ය. පැරැණි ලක්‌දිව දියුණු වූ ශල්‍යකර්ම මේ වෛද්‍යවරයා විසින් සොයාගන්නා ලද ශල්‍යකර්ම මත පදනම් වූ වෛද්‍ය විද්‍යාවක්‌ විය. සුශ්‍රැත සංහිතා නමැති එම ග්‍රන්ථය ආයුර්වේදයේ මූලධර්ම විස්‌තරාත්මකව සඳහන් කරයි. එම විස්‌තරයට අනුව මිනිස්‌ ශරීරයේ නීරෝගී පැවැත්මට හේතු වන්නේ වාත, පිත, කප්හ යන පද්ධතියේ සමතුලිතතාව වේ. එම ත්‍රිත්වයේ එක්‌ අංශයක්‌ කෝප වූ විට ලෙඩ රෝග ඇති වන බව එම කෘතියේ සඳහන් වේ.

වාත පිත කප්හ යන මතවාදය විද්‍යාත්මක ලෙස ඔප්පු කරන්නට ආයුර්වේද වෛද්‍යවරුන් හෝ සිංහල වෙද මහත්වරුන් හෝ පරිශ්‍රමයක්‌ දැරූ බවට සාක්‌ෂි නොමැත. සාක්‌ෂි සහිතව ඔප්පු නො කළත් එම මතවාදය දිගට ම පැවතිණි. මෙය ආයුර්වේදයේත් සිංහල වෙදකමේත් විශාල දුර්වලකමක්‌ බව කිව යුතු ය. එම මතවාදය සාක්‌ෂිවලින් ඔප්පු කළ යුතු ව තිබිණි. එසේ නැත්නම් එය ඉවත දමා මිනිස්‌ ශරීරයේ නියම ස්‌වභාවය සහ රෝග ඇති වන ආකාරය සොයා බැලීම පිණිස පර්යේෂණ කිරීමට ඔවුන් යොමු විය යුතුව තිබිණි. අරාබියේ වර්ධනය වූ වෛද්‍ය විද්‍යාව නියම විද්‍යාවක හැඩරුව ගත්තේ පර්යේෂණ ම`ගින් ඔවුන් ගේ අදහස්‌ ඔප්පු කිරීමට වෑයමක්‌ දැරු නිසා ය. මේ ලෙස ලබාගත් දැනුම අරාබි - ලතින් පරිවර්තන තුළින් යුරෝපයට සංක්‍රමණය විය.

ආයුර්ෙවිදයේ සහ සිංහල වෙදකමේ බොහෝ විට සිදු වන්නේ රෝග ලක්‌ෂණවලට වෙදකම් කිරීම ය. උදාහරණයක්‌ ලෙස දණිස්‌වල රුදාව ගනිමු. දණිස්‌ රුදාවට සුදුසු බෙහෙත් ආයුර්ෙවිදයේ ඇත. තෙල් ගැල්විම්, කසාය වර්ග, මේ සඳහා භාවිත කරනවා විය හැකි ය. මේ බෙහෙත්වලින් දණිස්‌ රුදාව සුව වන්නට පුළුවන. දණිස්‌ රුදාවට හේතුව කුමක්‌ දැයි වෙද මහතා සොයාගෙන නැත. ඔහු එය වාත රෝගයක්‌ යෑයි කියන්නට ඉඩ ඇත. වාත රෝගයක්‌ යන්නෙන් හැඳින්වෙන්නේ වාත, පිත, කප්හ යන ශරීර පද්ධතියේ වාත යන අංශයේ කෝප වීමක්‌ හෝ වැඩි වීමක්‌ හෝ නිසා එහි සමතුලිතතාව බිඳීමෙන් හට ගැනෙන රෝගවලට ය. එහෙත් වාත පිත කප්හ පිළිබඳව හෝ වාත අංශය කෝප වන්නේ හෝ වැඩි වනවා යෑයි යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ දැයි හෝ පිළිබඳව සොයාගත හැකි සාධක රෝගියා තුළ නැත. එහෙත් ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත පදනම් ව රෝග ලක්‌ෂණයක්‌ වන දණිස්‌ රුදාවට බෙහෙත් කිරීමේ ක්‍රම වෙද මහතා ඉගෙනගෙන ඇත. නොයෙකුත් අත්හදාබැලීම් තුළින් පැරැණි වෙද මහතුන් මේ බෙහෙත් සොයාගෙන ඇත. ඒ ඔවුන් ගේ කවදත් කොතැනත් තිබුණු විද්‍යාව විය.

දැන් අපි දණිස්‌ රුදාව ඇති රෝගියකුට බටහිර වෛද්‍ය විද්‍යාව (එය බටහිරට සංක්‍රමණය වූවකි) භාවිත කරන වෛද්‍යවරයකු ප්‍රතිකාර කරන්නේ කෙසේ දැයි සලකා බලමු. මේ වෛද්‍යවරයා රෝගයට හේතුව සොයාගන්නට නොයෙකුත් පරීක්‌ෂණ කරන්නට ඉඩ ඇත. රුධිරය, මුත්‍රා, පරීක්‌ෂණ ද හැරුණු කල එක්‌ස්‌රේ ස්‌කෑන් වැනි පරීක්‌ෂණ ද අවශ්‍ය නම් කළ හැකි ය. තව ද මේ වෛද්‍යවරයාට දණිස්‌ හන්දියේ ව්‍යqහය සහ එහි ඇති නොයෙකුත් පටක අස්‌ථි මාංශපේශීන් පිළිබඳ මනා අවබෝධයක්‌ ඇත. එපමණක්‌ නො ව දණිස්‌ රෝග ඇති කරන පරිසරයේ තිබිය හැකි ක්‌ෂුද්‍ර ප්‍රාණීන් වැනි රෝග කාරක පිළිබඳව ද මේ වෛද්‍යවරයාට මනා අවබෝධයක්‌ ඇත. තව ද රෝග සෑදුණු දණිස්‌ පටකවල සෛලවලට සිදු වන හානිය ගැන ද දැනුමක්‌ ඔහුට තිබේ. මේ දැනුම් සම්භාරය භාවිත කොට මේ වෛද්‍යවරයා රෝගියා ගේ දණිස්‌ රුදාවට හේතුව සොයාගනී. දැන් ඔහු මේ රෝගියා ගේ දණිස්‌ රුදාවට සුදුසු ප්‍රතිකාරයක්‌ කිරීමට යොමු වේ.

මේ දැනුම් සම්භාරය ලබාගැනීමේ මාර්ග සොයාගනු ලැබුවේ වෛද්‍ය විද්‍යාවේ සහ තාක්‌ෂණයේ ඉමහත් වූ දියුණුව නිසා ය. බටහිර වෛද්‍යවරයා ගේ මුතුන් මිත්තන්ට ද සිංහල වෙද මහතාට මෙන් මෙවැනි දැනුමක්‌ තිබුණේ නැත. ඔවුන්ට ඒ කාලයේ තිබුණේ සිංහල වෙද මහතාට අද තිබෙන දැනුමට සමාන දැනුමකි. ඔවුන් සිංහල වෙද මහතා මෙන් තමා දන්නා දේ ගැන පුරසාරම් දොඩමින් එය දියුණු කරගන්නට වෑයමක්‌ නො කර සිටියා නමි බටහිර වෛද්‍ය විද්‍යාව ද අද පවතින්නේ නොදියුණු ස්‌ථානයක ය.

ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ ඉතා අනගි ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම තිබෙන බව පිළිගත හැකි ය. මේ බෙහෙත් හේත් සොයාගෙන ඇත්තේ අත්දැකිම් තුළිනි. සැම පැරැණි සංස්‌කෘතියක ම මේ ලෙස සොයා ගනු ලැබූ බෙහෙත් තිබුණු බව පොත් පත්වල ලියවී ඇත. සමහර සංස්‌කෘති තුළ මේ ප්‍රතිකාර ක්‍රම දියුණු වී බටහිරට සංක්‍රමණය විය. උදාහරණ ලෙස අරාබි සංස්‌කෘතිය ඉදිරිපත් කළ හැකි ය. ආයුර්වේදය සහ සිංහල වෙදකම මේ ලෙස දියුණු වූයේ නැත. මේ වෙදකම් විද්‍යාව මත පදනම් වී තිබුණ ද හේතු කීහිපයක්‌ නිසා දියුණුවක්‌ ලැබුණේ නැත. බෙහෙත් සොයාගත් වෙද මහතුන් ඒවා තම පවුලෙන් පිටට යන්නට නො දී රහසක්‌ ලෙස තබාගත් බැවින් මේ බෙහෙත් ගැඹුරු පරීක්‌ෂණයකට ලක්‌ කිරීම කළ නොහැකි විය. මිනිස්‌ ශරීරයේ ක්‍රියාදාමයන්, රෝග ඇති වන ක්‍රියාදාමයන්, බෙහෙත්වල ඇති රසායනික ගුණාංග සහ ද්‍රව්‍යවල ස්‌වභාවය වැනි දේවල් පිළිබඳව විද්‍යාත්මක පරීක්‌ෂණ සිදු වූයේ බෙහෙවින් අඩු ප්‍රමාණයකට ය. තව ද මේ රටවල් යුරෝපීයයන් යටතට පත් වූවාට පසු ඔවුන් ගේ විද්‍යාවන් දියුණු කරගැනීමට තිබු ඉඩ ප්‍රස්‌තාව බොහෝ දුරට අඩු විය.

එසේ සිදු වීමට පෙර එම කාල වකවානුවට සාපේක්‌ෂව දියුණු වෛද්‍ය විද්‍යාවක්‌ ලක්‌දිව තිබුණු බවට සෑහෙන ප්‍රමාණයක සාක්‌ෂි සොයාගෙන ඇත. මා මීට පෙර ලිපිවල සඳහන් කළා සේ ලෝකයේ මුල් වරට රෝහලක්‌ ඉදි වූයේ මේ කුඩා ලක්‌දිව ය. විශේෂයෙන් ශල්‍ය වෛද්‍ය විද්‍යාව වෙන අංශවලට වඩා ඉතා දියුණු මට්‌ටමක පැවතිණි. පුරාණ භාරතයේ විසූ සුශ්‍රැත නම් වූ වෛද්‍යවරයා ගේ අභාෂය ලක්‌දිව ශල්‍ය වෛද්‍යවරුන්ට ලැබුණු බව පිළිගත හැකි ය. මේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව බටහිරට සංක්‍රමණය වූ බවට සාක්‌ෂි ඇත. උදාහරණයන් වශයෙන් සුශ්‍රැත වෛද්‍යවරයා නිර්මාණය කළ විකෘති වූ නාසය ප්‍රකෘති තත්වයට පත් කරන ශල්‍යකර්මය අද ද බටහිර භාවිත වන බව කිව හැකි ය. ලක්‌දිව පොළොන්නරුවේ අලාහන පිරිවෙන (පැරැණි රෝහල) ආශ්‍රිත ප්‍රදේශයේ කැණීම්වලින් සොයාගත් ශල්‍යකර්ම සඳහා භාවිත කරන මෙවලම් ආම්පන්න උපකරණවලින් පෙනී යන්නේ ලක්‌දිව පැරැණි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ සමහර මූලධර්ම දැනට ද වලංගු බව ය. මේවා මෙසේ සිදු වන්නේ බටහිර හෝ ඉන්දියාවේ හෝ ලක්‌දිව හෝ වෙන ඕනෑ ම තැනක වෛද්‍ය විද්‍යාවට තිබිය හැක්‌කේ එක ම පදනමක්‌ වන හෙයිනි. මේ කිසි දෙයක්‌ තේරුම් නො ගන්නා නලින් මහතා මේ ගැන කුමක්‌ දෝ බහුභූතයක්‌ පවසයි.

වාත යනුවෙන් හැඳින්වෙන්නේ චලනය හෝ ධාවනය බව පැහැදිලි ය. ආශ්වාස ප්‍රශ්වාස, රුධිර ධාවනය, මාංශ පේශීන් ගේ ක්‍රියාකාරිත්වය මීට අයත් වේ. පිත විසින් පාලනය කරනු ලබන්නේ ආහාර ජීර්ණය, ශක්‌තිය හුවමාරුව වැනි ක්‍රියාවන් ය. කප්හ යන්නේ අරුත සංගතිය, ඒකාබද්ධභාවය යන්න ය. මේ සංකල්පය පැරැණි ග්‍ර්‍රන්ථවලින් ලබාගෙන සුශ්‍රැත සහ චරක වැනි වෛද්‍යවරුන් තවත් දියුණු කොට ඇත. භාරතීය වෛද්‍ය විද්‍යාඥයන්ට මේවා තවත් දියුණු කරන්නට අවශ්‍ය ප්‍රස්‌ථාව ලැබිණි නමි අද වන විට බටහිර වෛද්‍ය විද්‍යාවේ සංකල්ප හා තාක්‌ෂණයට සමාන සංකල්ප හා තාක්‌ෂණය ඉන්දියාවේ ද ලක්‌දිව ද වර්ධනය වන්නට ඉඩ තිබිණි. මා මෙසේ පවසන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ ය යන සත්‍යය මත පිහිටා ය. මිනිසාට සෑදෙන රෝග බොහෝ සෙයින් සමාන ය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පිහිටා මේ රෝග පිළිබඳ පර්යේෂණ කළ විට ලැබෙන දැනුම ද සමකාලීsන ව එක හා සමාන ප්‍රගතියක්‌ පෙන්නුම් කළේ මේ නිසා ය. නොයෙකුත් හේතූන් නිසා මේ විද්‍යාවන් වර්තමානයේ බටහිර දකින්නට ලැබෙන තත්ත්වය තෙක්‌ දියුණු වූයේ නැත. එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ අධිරාජ්‍යවාදීන් ගේ යටතට මේ රටවල් පත් වීම ය. චීනයේ ටාඔස්‌ සහ කොන්යුසියස්‌ ධර්මයන් නිසා ඒ රටේ විද්‍යාව දියුණු වූයේ නැති බව ශේ්‍රෂ්ඨ දාර්ශනිකයකු වන විද්වත් ජෝශප් නිඩහ්ම් පවසා ඇත. මේ ගැන නියම තතු පැහැදිලි කරන බවට කටමැත දෙඩෙව්ව ද නලින් මහතා එය තවමත් සිදු කොට නැත. මගේ ලිපිවල කොටස්‌ උපුටා දක්‌වා ලිපිය පුරවා නො ගෙන එය කරන මෙන් නැවැත මතක්‌ කරමි.

සුශ්‍රැත සංහිතා නමැති ග්‍රන්ථයට අනුව වාත, පිත, කප්හ යන සංකල්පයේ වාත, යන අංශය යටතට හුස්‌ම ගැනීම සහ රුධිර ධාවනය අයත් වන්නේ ය. හුස්‌ම ගැනීම සහ රුධිර ධාවනය පිළිබඳ පර්යේෂණ සිදු කොට ඒවායේ නියම ස්‌වභාවය ගැන දැනගන්නට භාරතීය වෛද්‍යවරුන්ට නොහැකි වූයේ ඔවුන් ගේ විද්‍යාව දියුණු වීමට තිබූ ඉඩකඩ අධිරාජ්‍යවාදීන් විසින් නැති කර දමන ලද හෙයිනි.

ලක්‌දිව අලාහන පිරිවෙන ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ කැණීම්වලින් සොයාගත් ශල්‍යකර්ම සඳහා භාවිත කරන ලද උපකරණ පරීක්‌ෂා කිරීමේ දී පෙනී යන්නේ කොතැනත් කවදත් තිබුණේ එක හා සමාන වෛද්‍ය විද්‍යාවක්‌ බව ය. මේ උපකරණ පාවිච්චි කරන්නට ඇත්තේ සුශ්‍රැත විසින් කරන ලදැයි කියන ලේඛනගත වී ඇති ශල්‍යකර්ම පිණිස බව පැහැදිලි ය. ඒවායින් සමහරක්‌ නම් විකෘති නාසය සුව කිරිම, නේත්‍ර පටලය සුදු වීම (cataract)ල අත් පා වෙන් කිරීම, අර්ශස්‌ රෝගය වැනි ශල්‍යකර්ම ය. මේ උපකරණ පිළිබඳව අදහස්‌ දක්‌වන මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතා පවසන්නේ ඒවා ඉතා ම නවීන ආකෘතියක්‌ පිළිබිඹු කරන බව ය. වර්තමානයේ ශල්‍ය වෛද්‍යවරුන් පාවිච්චි කරන උපකරණවලට බොහෝ සෙයින් සමාන මේ උපකරණ තුළින් ගම්‍ය වන්නේ කොතැනත් කවදත් තිබිය හැක්‌කේ එක ම විද්‍යාවක්‌ බව ය. Is anything new? යනුවෙන් අළුවිහාරේ මහතා ප්‍රශ්න කළේ මේ නිසා ය. මේ උපකරණ පිළිබඳව ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා පවසන්නේ මේ උපකරණ නිර්මාණය කරන්නට ඇත්තේ බොහෝ ලෙස විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන අනගි විද්‍යාවකට හිමිකම් කියන වෛද්‍යවරුන් විය යුතු බව ය. එහෙත් මේ පර්යේෂණ දිගට ම පවත්වාගෙන යැමට ඔවුනට නොහැකි විය. ඊට හේතු ඉහත සඳහන් කර ඇත.

(මතු සම්බන්ධයි)

මහාචාර්ය

එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc