logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
සිංහල අවුරුදු චාරිත්‍ර තුළ ඇති
විද්‍යාව, මිථ්‍යාව සහ සංස්‌කෘතිය


අප ගේ සංස්‌කෘතිය අප අගය කළ යුතු ය. අප ගේ අනන්‍යතාව රැකගත හැක්‌කේ අපට අගනා පැරැණි සංස්‌කෘතියක්‌ ඇති නිසා ය. අපට ප්‍රෙෘඪ ජාතියක්‌ වශයෙන් නිදහස්‌ ව නිවහල් ව හිස ඔසවා සිටිය හැක්‌කේ අප තුළ ජාතික අභිමානය ඇතොත් පමණි. අප ගේ පැරැණි සංස්‌කෘතිය අගය නො කොට අපට ජාතික අභිමානයක්‌ ගොඩන`ගාගත නොහැකි ය. එහෙත් ජාතික අභිමානය යනු අනෙක්‌ ජාතීන් පහත් කොට සැලකීම හෝ අප අනෙක්‌ ජාතීන්ට වඩා උසස්‌ යෑයි සිතීම නො ව අප ගොඩනැ`ගූ ශිෂ්ටාචාරය අභිමානවත් අනෙකුත් ශිෂ්ටාචාරයන්ට සමාන බව සිතා අප කාට වත් යටත් විය යුතු නැති බව වටහාගැනීම ය. එසේ ම අප ගේ භාෂාව, ආගම, ගතිපැවතුම්, සංස්‌කෘතික අංගෝපාංග, ලෝකයේ අනගි යෑයි සැලකෙන ශිෂ්ටාචාරයන්ට දෙවැනි නො වන බව ද අප වටහාගත යුතු ය. අප ගේ අද්වීතිය සංස්‌කෘතිය බිහි වූයේ මූලික ව ම අප ගේ ආගම වන බුදුදහමේ ආභාසය නිසා ය. සිංහල අවුරුදු උත්සවය ද අප ගේ සංස්‌කෘතියේ වැදගත් ස්‌ථානයක්‌ හොබවයි.

අවුරුදු චාරිත්‍ර සහ වාරිත්‍ර යහපත් වූත්, විචිත්‍ර වූත්, චමත්කාර වූත්, විනෝදජනක වූත් ඒවා වන්නේ ය. පැරැන්නන් ගේ තේරුමක්‌ නැති වැඩ ලෙස ඉවත දැමීමට බටහිර අනුකාරික සමාජය පුරුදු වී සිටීම කණගාටුවට කාරණයකි. ඔවුනට සංස්‌කෘතියේ හෝ ජාතික අභිමානයේ හෝ ඇති වැදගත්කම නො තේරේ. ඔවුන් නවීන අදහස්‌වලට අනුව හෝ විද්‍යාවට අනුව හෝ අවුරුදු චාරිත්‍ර දෙස බලා ඒවා තේරුමක්‌ නැති දේවල් හැටියට සලකනවා විය හැකි ය. අවුරුදු චාරිත්‍ර තුළ මිථ්‍යා මත තිබෙන්නට පුළුවන. එසේ ම විද්‍යාත්මන පදනම් ද තිබෙන්නට පුළුවන. එම මිථ්‍යා මත හානිදායක නො වන අන්දමට විද්‍යාව භාවිත කොට සකසාගත හැකි ය. එවිට අප ගේ සංස්‌කෘතියට හානි නො වන අන්දමට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදිය හැකි ය. උදාහරණයන් ලෙස අවුරුදු දිනයේ දී "කොයි වේලාවේ කෑවාට මොකද", "නැකැත් කියා දෙයක්‌ නැත" යෑයි සිතනවාට වඩා නැකැත් වේලාවට සැවොම එකතු වී වර්ණවත් ඇඳුමින් සැරසී එක්‌ දිශාවක්‌ බලා ආහාර ගැනීම විචිත්‍ර වූත්, චමත්කාර වූත්, විනෝදජනක වූත් චාරිත්‍රයක්‌ හැටියට සැලකිය හැකි ය. මින් ලැබෙන සතුට මානසික සෞඛ්‍යයට ද හිතකර විය හැකි ය. සිංහල අවුරුදු උත්සවය බිහි වී ඇත්තේ ජ්‍යෙතිෂ්‍යයට අනුව සූර්යයා ගේ සංක්‍රමණය මුල් කොටගෙන ය. විද්‍යාවට මුල් තැන දී සංස්‌කෘතිය අත්හරින අය අසන්නේ ඇයි අප සූර්යයාට බුහුමන් කළ යුත්තේ යනුවෙනි. සූර්යයා, හඳ, තාරකා පිළිබඳ දැනුමක්‌ නො තිබුණු පැරැන්නන්ට එම වස්‌තු ගෙන දුන්නේ විස්‌මය, ත්‍රාසය, චමත්කාරය, භීතිය වැනි සිතිවිලි ය. ඔවුන් උරුම කරගෙන තිබූ ඥාන විභාගය, විමසුම, විපරම, සොයාගැනීමට ඇති ආසාව ආදිය නිසා මේ වස්‌තු පිළිබඳ කරුණු සොයාගන්නට ඔවුහු උනන්දු වූ හ. පළමුවෙන් ඔවුහු මිථ්‍යාව මත එල්බ ගත් හ. භීතිය නිසා අභ්‍යවකාශ වස්‌තුන්වලට පුද පූජා පැවැත්වීම, යාඥා කිරීම වැනි දේ කිරීමට ඔවුහු යොමු වූ හ.

මේ ලෙස මිථ්‍යාව නිසා ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රය බිහි විය. විද්‍යාව නිසා තාරකා විද්‍යාව බිහි විය. පළමුව මේ දෙක එකක්‌ ලෙස වර්ධනය විය. ජ්‍යෙතිෂ්‍යය පදනම් වූයේ ග්‍රහලෝකවල පිහිටීම සහ හැසිරීම මනුෂ්‍ය ජීවිතයට බලපාන බවට තිබූ විශ්වාසය මත ය. මේ සඳහා විද්‍යාත්මක සාක්‌ෂි නො තිබූ නිසා තාරකා විද්‍යාව ෙඡ්‍යාතිෂ්‍යයෙන් වෙන් වී වර්ධනය විය. ඉතා ම වැදගත් කාරණයක්‌ වන්නේ මෙසේ වෙන් වූ තාරකා විද්‍යාව අද වන විට හඳට පා තැබීම දක්‌වා දියුණු වූ නමුත් ජ්‍යෙතිෂ්‍යය කිසි ම දියුණුවක්‌ ලබා නැති බව ය. මිථ්‍යාව මත පදනම් වූ හැම විෂයයක්‌ පිළිබඳව ම කිව හැක්‌කේ මෙය ය.

සූර්යයා ගේ උදව් නොමැති ව වගා කිරීම, හොඳ අස්‌වැන්නක්‌ නෙළාගැනීම වැනි කර්මාන්ත නො කළ හැකි බව පැරැන්නෝ දැන සිටිය හ. සූර්යයා මුල් කොටගත් මංගල්‍යවලට එක හේතුවක්‌ වූයේ මේ දැනුම ය. එය විද්‍යාත්මක ආනුභුතික වූ දැනුමක්‌ විය. මේ දැනුම සත්‍යයක්‌ බව අපි දනිමු. සූර්යයා නොමැති ව මනුෂ්‍ය ජීවිතයට ඉඩක්‌ නැත. අප ගේ ජීවිතයට අත්‍යවශ්‍ය ශක්‌තිය ලැබෙන්නේ සූර්යයා ගෙනි. අප ශක්‌තිය ලබාගන්නේ ආහාරවලිනි. ආහාරවල තැන්පත් ශක්‌තිය ඒවාට ලැබී ඇත්තේ සූර්යයා ගෙනි. ගස්‌වැල් පවතින්නේ සූර්යයා ගෙන් ලැබෙන ශක්‌තිය නිසා ය. ගස්‌වැල් නැති ව ජීවත් විය නොහැකි බව ද සූර්යයා නොමැති ව ගස්‌වැල් නො පවතින බව ද පැරැන්නෝ දැන සිටිය හ. එහෙත් සූර්යයාට බියක්‌ ද ඔවුන් ගේ සිත්වල තිබිණි. සූර්ය වන්දනාවට හේතු වූයේ මේ කරුණු ය.

අපට අවශ්‍ය ශක්‌තිය පමණක්‌ නො ව දවාලේ මෙන්ම රාත්‍රි කාලයේ ද අලෝකය ලබා දෙන්නේ සූර්යයා විසිනි. දවල් කාලයේ සෘජු ව ම ද රාත්‍රි කාලයේ වෙනත් ශක්‌ති ප්‍රභේදයක මාර්ගයෙන් ද (විදුලිය, භුමිතෙල් පහන වැනි දේවලින්) සූර්යයා අපට ආලෝකය ලබා දෙයි. අලුත් අවුරුදු දාට දල්වන පොල්තෙල් පහනෙන් ලැබෙන ආලෝකය පවා ලබා දී ඇත්තේ සූර්යයා විසිනි.

අප සූර්ය මංගල්‍යය පැවැත්වූවාට වරදක්‌ නැත. නො පෙනෙන දෙවියන්ට ව`දිනවාට වඩා අප අර්ථවත් කරවන සූර්යයාට කළගුණ සැලකීම යුක්‌ති සහගත ය. මෙය අප කළ යුත්තේ මිථ්‍යාවක්‌ වන ජ්‍යෙතිෂ්‍යය මත එල්බගෙන නො ව විද්‍යාත්මක දැනුම මත පදනම් ව විය යුතු ය. ජ්‍යෙතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම අවුරුදු උත්සවයට මුල් වූ විශ්වාසය විය. මේවා අන්ධ විශ්වාස පමණි. එහෙත් සූර්යයා අපට කොපමණ වැදගත් දැයි අප විද්‍යාව තුළින් සොයාගෙන ඇත. පැරැන්නන් ද එය යම්තාක්‌ දුරකට අවබෝධ කරගෙන තිබෙන්නට ඇත. අවුරුදු චාරිත්‍ර සහ වාරිත්‍ර විද්‍යාව මත පදනම් ව අපට ද අනුගමනය කළ හැකි ය. ජ්‍යෙතිෂ්‍යය විශ්වාස නො කොට එය කළ හැකි ය.

පරණ අවුරුද්ද ඉවර වී අලුත් අවුරුද්ද ආරම්භ විම අතර ඇති කාල පරාසය නොනගතය ලෙස හැඳින්වේ. මෙය ද අමුතු වූ සංකල්පයකි. මෙය වෙන රටවල අවුරුදු උත්සවවල දැකගත නොහැකි දෙයකි. බටහිර අවුරුදු උත්සවය සමරන්නේ දෙසැමිබර් මස 31 වැනි දා රෑ දොළහට ය. පරණ අවුරුද්ද ඉවර වී ඒ මොහාතේ ම අලුත් අවුරුද්ද ආරම්භ වීම එහි දී සිදු වේ. අප ගේ නොනගතය ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව අශුභ හෝ නැකැත් නැති කාලයකි. කර්මාන්තයක්‌ ආරමිභ කිරීම, මුදල් පරිහරණය, ලිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, මේ කාලයේ දී නො කළ යුතු ය. මේ අමුතු චාරිත්‍රය තුළ ඇති චමත්කාරය, විචිත්‍රත්වය, සහ විවිධත්වය අප ගේ ඒකාකාර දිවියට විනෝද සුවයක්‌ ගෙන දෙන බව කිව හැකි ය. නොනගත කාලය පුණ්‍ය කාලය ලෙස ද හැඳින්වේ. මේ කාලය තුළ පින් දහම් වැඩ කටයුතුවල නිරත වීම යෝග්‍ය බව මින් අදහස්‌ වේ. එහෙත් අප පුණ්‍ය කටයුතුවල යෙදෙන්නේ නොනගතයට බියෙන් විය යුතු නැත. නොනැකැත් අපට බියක්‌ ගෙන දිය යුතු නැත. එය මිථ්‍යාවක්‌ නිසා ඊට අප බිය සැක පහළ කොටගත යුතු නැත. පුණ්‍ය කටයුතුවල යෙදීමෙන් අශූභ නැකැතෙන් මිදෙන්නට හැකි බව බෞද්ධයන් විසින් විශ්වාස නො කළ යුතු දෙයකි. පුණ්‍ය කටයුතුවල යෙදිය යුත්තේ බුදු දහමේ අරමුණු ළඟා කරගැනීම පිණිස විය යුතු ය.

සිංහල අවුරුද්ද පිළිපදින මුළු රටේ සියලු දෙනා එක ම වේලාවකට ආහාර පිසීම සහ ආහාර අනුභව කිරීම උත්සවයට චමත්කාරයක්‌ එකතු කරයි. මේ අවස්‌ථාවේ දී වර්ණවත් වස්‌ත්‍රයෙන් සැරසී එක්‌ දිශාවකට මුහුණ ලා පවුලේ සැවොම එකතු වී ආහාර අනුභවය විනෝදය ගෙන දෙන කටයුත්තකි. නැකැතට ආහාර පිසීම හෝ ආහාර අනුභවය නො කළ හොත් මුළු අලුත් අවුරුද්දේ ම ආහාර සම්බන්ධයෙන් කරදරවලට මුහුණ දෙන්නට විය හැකි යෑයි බිය වී මේ දේවල් කළ යුතු නැත. මේ නැකැත් ගැන අනිසි බියක්‌ ඇති කරගැනීම අවුරුදු උත්සවය අඳුරු වලාවකින් වසා දැමීමක්‌ වන්නේ ය.

කෙසේ වෙතත් සිංහල අවුරුදු උත්සවය සඳහා පැරැන්නන් පිළියෙල කළ ආහාරවල ඇති පෝෂ්‍ය ගුණය ඉතා උසස්‌ මට්‌ටමක තිබුණු බව අද විද්‍යාව මගින් ද ඔප්පු කළ හැකි ය. උදාහරණයක්‌ ලෙස හත් මාළුව, කුරහන් තලප, මුං අළුවා, කැකුළු හාලේ කිරිබත් යන ආහාර පෙන්වා දිය හැකි ය. අතීතයේ විසූ වෙද මහතුන්, ගොවි මහතුන්, විද්‍යාඥයන් ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් ව මේ ආහාර වර්ග නිෂ්පාදනය කළ බව පැහැදිලි ය. ශරීරයට ගුණදායක ආහාර පාන ඔවුහු අත්දැකීමෙන් සොයා ගත් හ. සීනි, ලුණු, තෙල් අධික ආහාර අවුරුදු උත්සවයට එක්‌ වූයේ පාරිභෝගික ජීවන රටාව වෙනස්‌ වූ පසු ව ය.

හිස තෙල් ගෑමේ චාරිත්‍රය ද සෞඛ්‍යයට හිතකර විය හැකි ය. බෙහෙත් තෙල් සහ නානු හිස ගැල්විම ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ ද අත්දුටු ප්‍රතිකාර ක්‍රම වේ. තෙල්වල ඇති යම් යම් පදාර්ථ හම තුළට උරාගෙන රුධිරයට එකතු විය හැකි බව විද්‍යාත්මක ක්‍රමවලින් සොයාගෙන ඇත. මේ තෙල්වල ඖෂධිය ගුණ තිබිය හැකි ය. හිස කෙස්‌වල සෞඛ්‍ය තත්ත්වය පවත්වාගැනීම, පීනස්‌ රෝගය අඩු කරගැනීම වැනි හිතකර ප්‍රතිඵල මේ නිසා අත් විය හැකි ය.

මේ නයින් බලන කල බොහෝ අවුරුදු චාරිත්‍ර සහ වාරිත්‍රවලින් සිංහල බෞද්ධයාට යහපතක්‌ සිදු වන බව පෙනෙන්නට තිබේ. ඒවායේ සමහරක විද්‍යාත්මක පදනමක්‌ ද ඇති බව පෙනේ. ඒවායේ ඇති මිථ්‍යාව ඉවත් කිරීමෙන් ලැබෙන යහපත, සතුට, විනෝදය, චමත්කාරය, කිසි ලෙසකින් අඩු වන්නේ නැත. ඒ වෙනුවට මිථ්‍යාව නිසා හටගැනෙන බිය සැක ඉවත් වූ විට සතුට, විනෝදය, යහපත, වැඩි වීම සිදු විය හැකි ය.

සූර්යයා පුම්‍රඛ ග්‍රහලෝක සහ අනෙකුත් වස්‌තුන්වලින් මිනිසාට සෙතක්‌ සැලසෙන බව ඉහත විස්‌තර කරන ලදී. මේ සෙත සැලසෙන්නේ ග්‍රහ ලෝකවල පිහිටීම සහ මිනිසුන් ගේ හඳහන අනුව නො වන බව පැහැදිලි ය. මේ සැලසෙන යහපත කාටත් එක හා සමාන පොදු ක්‍රියාදාමයක්‌ නිසා සිදු වන්නකි. මිනිසුන් ගේ උපන් දිනය හා වේලාව අනුව එය වෙනස්‌ වන්නේ නැත. සූර්යයා ගෙන් අපට ශක්‌තිය සහ ආලෝකය ලැබෙන බව ඉහත විස්‌තර කොට ඇත. තව ද අවකාශයේ තිබෙන සියලු ග්‍රහ වස්‌තුන්හි ස්‌ථාවර පිහිටීම ර`දා පවතින්නේ ඒවා අතර පවතින ගුරුත්වාකර්ෂණීය බලය මත බව සොයාගෙන ඇත. අප ගේ පෘථිවිය ද මේ ක්‍රියාදාමයේ කොටස්‌කරුවෙක්‌ වන්නේ ය. පෘථිවියේ පැවැත්ම ද එම නිසා අප ගේ පැවැත්ම ද රඳාපවතින්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය මත ය.

සූර්යයා ගෙන් ද අනෙකුක්‌ ග්‍රහ වස්‌තූන් ගෙන් ද නොයෙකුත් කිරණ පිට වී අවකාශය පුරා විහිදෙන බව සොයාගෙන ඇත. මේවා විද්යුත්-චුම්බක තරංග ලෙස විහිදේ. මේ කිරණ ප්‍රධාන වශයෙන් අධෝරක්‌ත (infra red) කිරණවල සිට පාරජම්බුල (ultra violet)කිරණ දක්‌වා ශ්‍රේණිගත ව පවතී. ඒ අතරමැද අපේ ඇසට පෙනෙන ආලෝක කිරණ ද ඇත. තව ද සූර්යයා ගේ ක්‍රියා දාමයන් නිසා X ray සහ Gamma ray වැනි කිරණ ද පෘථිවිය මත පතිත විය හැකි ය. Cosmic rays යනුවෙන් හැඳින්වෙන කිරණ සෑදී ඇත්තේ ප්‍රොaටෝන සහ එවැනි පරමාණුක අංශුවලිනි. අවකාශය පුරා විහිදෙන මේ කිරණ පෘථිවියේ වායු ගෝලයට ඇතුළු වන විට වෙනත් අංශුවල ගැටීමෙන් කුඩා අංශු වරුසාවක්‌ හටගනී. මේවා පාථිවිය මතට පතිත වී අඩි 100ක්‌ පමණ ඇතුළට කි`දාබසියි. මේ කිරණ මිනිස්‌ ජීවිතයට අහිතකර විය හැකි ය. ඒවා නිසා භයානක රෝග පවා ඇති විය හැකි ය. පිළිකා රෝගය මේ අතරින් ප්‍රමුඛස්‌ථානය ගනී. Ultra
violet කිරණ නිසා හමේ රෝග සහ ඇස්‌ රෝග සෑදෙන්නට පුළුවන. x කිරණ ද අහිතකර ය. මෙවැනි අහිතකර හානිදායක ක්‍රියාදාමයන් මිනිසුන් ගේ හඳහනට අනුව සිදු වන දේ නො වේ.

මේ නයින් බලන කල පෙනී යන්නේ අභ්‍යවකාශ වස්‌තුන් හේතු කොටගෙන මිනිසාට යහපතක්‌ මෙන්ම අයහපතක්‌ ද සිදු වන බව ය. මේවා සිදු වන්නේ හඳහනට අනුව නො වන බව ද කිව යුතු ය. හඳහනට අනුව සිදු වන බවට කිසිදු සාක්‌ෂියක්‌ නොමැත. මේ යහපත හෝ අයහපත සිදු කරන හේතු ප්‍රත්‍යයන් සැමට එක සේ බලපාන බව සත්‍යයකි. එහෙත් එවායින් අයහපතක්‌ සිදු වන්නේ වෙනත් හේතු සාධක ද එක්‌ ව ක්‍රියා කරන විට ය. උදාහරණයක්‌ ලෙස ශරීර දුර්වලතා සහ පරිසරයේ විෂමතා ද ග්‍රහ වස්‌තූන් ගෙන් පතිත වන කිරණ ද එක ම පුද්ගලයකු මත බලපාන්නේ නම් පිළිකා වැනි රෝග ඇති විය හැකි ය. හිරු එළියට වැඩිපුර ශරීරය නිරාවරණය කොට එළිමහනේ වැඩ කරන සුදු හම ඇති පුද්ගලයන් ගේ හමේ පිළිකා ඇති විය හැකි ය. මින් පෙනී යන්නේ ග්‍රහ ලෝක හේතු කොටගෙන මිනිසාට සිදු වන යහපත හෝ අයහපත මිනිසා ගේ උපන් වේලාව සමග කිසි ම සමිබන්ධකමක්‌ නැති බව ය. වේලා පත්කඩය සහ හඳහන හදන්නේ උපන් වේලාවට අනුව ය. උපන් වේලාවට ග්‍රහලෝක රාශීන් තුළ පිහිටීම අනුව මෙය සිදු කරයි. ඊට පසුව මුළු ජීවිත කාලය තුළ ම මේ ග්‍රහලෝක රාශියෙන් රාශියට මාරු වන විට එවායින් එම පුද්ගලයාට ඇති විය හැකි යහපත හෝ අයහපත තීරණය වේ. අයහපත කෙසේ වෙතත් යහපත හැමට ම එක සේ සිදු වන බව ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වේ. කෙටියෙන් කියනවා නම් අප ගේ ජීවිත ර`දා පවතින්නේ සූර්යයා පුමුඛ ග්‍රහලෝක මත ය. ඒ හැරුණු විට වෙන යහපතක්‌ ග්‍රහලෝකවලින් මිනිසාට සිදු නො වේ. මේ යහපත හැමට ම එක සේ සිදු කරයි. ග්‍රහලෝක විසින් උපන් වේලාවට අනුව මේ යහපත සිදු නො කෙරෙයි.

ග්‍රහලෝක නිසා අයහපතක්‌ සිදු වන්නේ වෙනත් හේතු සාධක ද සමග එක්‌ ව බැවින් හැමට ම එක හා සමාන අයහපතක්‌ සිදු නො වේ. මේ නිසා ග්‍රහලෝකවල පිහිටීම අනුව නැත හොත් හඳහනට අනුව මිනිස්‌ ජීවිතයට සිදු වන යහපත හෝ අයහපත පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි ය. උදාහරණයක්‌ ලෙස මේ ලැබූ අලුත් අවුරුද්ද යම් පුද්ගලයකු ගේ හඳහනට අනුව ශුභදායක හෝ අශුභදායක දැයි අනාවැකි පළ කළ නොහැකි ය.

තාරකා විද්‍යාවට අනුව පර්යේෂණ ම`ගින් අභ්‍යවකාශයේ සිදුවිය හැකි විස්‌මයජනක සිදුවීම් පිළිබඳව අනාවැකි පළ කළ හැකි ය. මේ අනාවැකි ඉතා නිවැරැදි බව ද අපි දනිමු. සූර්යග්‍ර්‍රහණ, චන්ද්‍රග්‍රහණ ඉන් සමහරකි. එනමුත් ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව මෙවැනි අනාවැකි පළ කළ නොහැකි ය. තාරකාවල පිහිටීම අනුව මිනිස්‌ ජීවිත පිළිබඳ අනාවැකි ඉදිරිපත් කරන්නට පසුබට නො වන ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයට තාරකාවල පිහිටීම නිසා ඒවා අතර සිදු වන විස්‌මයජනක සිදුවීම් ගැන අනාවැකි ඉදිරිපත් කරන්නට නොහැකි වීම පුදුමයක්‌ නො වන්නේ එය මිථ්‍යාවක්‌ වන නිසා ය.

මිථ්‍යාවක්‌ වන ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රය භයානක වන්නේ ඉන් කියවෙන අනාවැකි නිසා ජනතාව කරදරයේ වැටෙන්නට ඉඩ ඇති නිසා ය. අප ගේ සංස්‌කෘතියේ වටිනා අංගයක්‌ වන සිංහල අවුරුදු චාරිත්‍ර අප පිළිපැදිය යුත්තේ මිථ්‍යාවට බියෙන් නො ව සතුටින් සහ සාමයෙන් ය. විනෝදය මෙන්ම ශාරීරික සහ මානසික සෞඛ්‍යය ලබා දෙන අවුරුදු චාරිත්‍ර සහ වාරිත්‍ර අප ගේ සංස්‌කෘතිය රැකගෙන අප ගේ ජාතික අභිමානය ද වඩවයි. ඒවා බොරු වැඩ යෑයි කියා අහක දැමීම අනුවණකමකි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc